මේ තැන්හි රහතන්ගේ රහත් ගුණ හඟවනු නිසා ජීවකයන් පැන විචාළ වත ද, මහසුප් ස්වාමීන්ගේ වත ද, බෙලට්ඨිසීස තෙරුන් ගේ වත ද, අනුරුද්ධ තෙරුන් වහන්සේගේ වත ද, කසයින් මහ තෙරුන් වහන්සේගේ වත ද, කොසඹෑ නුවර වසන තිස්ස තෙරුන් වහන්සේගේ වත ද, සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වත ද, නැවත ඔබ පැන විසඳූ වත ද, කිහිරි වෙ නෙහි රෙවත මහ තෙරුන් වහන්සේගේ වත ද නම් ගොත් හෙයින් ප්‍රසිද්ධ නො වන එක්තරා ස්ත්‍රියකගේ වත ද කියමු.
කෙසේද යත් -
එක් සමයෙක දෙවි දත්තු මවු කුසින් බිහි නො ව ම පියාණන්ට සතුරු වූ හෙයින් අජාතසත්තු නම් වූ රජ්ජුරුවන් හා එක් ව ගෙන උන් ලවා උන්ගේ පියාණන් මරවා පියා තුමූ උනු ත් සහාය කොට ගෙන බුදුන් මරමී සිතා ගිජු කුළු පව්වට නැඟී ගල් පාවුල සක්මන් කරණ බුදුන් හිසට ගලක් පෙරළා ලූ ය. බුදුන් ගේ ආනුභාවයෙන් දෙකන්නෙන් ගල් කුළු දෙකෙක් අවුත් ලා උඩින් හෙළූ ගල මැඳ කොට ලා පිළිගත. ගලින් ගල වැද ගෙන නැඟි ගල් පොඩියෙක් ගොසින් බුන් පිටි පත්ලේ වැද ගෙන අකුශල කර්මයෙහි ප්‍රවෘත්ති විපාක ය බුදුන්ට වුව ත් නො නවත්නා නියා ව හඟවමින් මහ මෙරින් ගැසූව ත් ඡවි ය කැඩෙන්ට නැති හෙයින් ලෞයක් එකතැන් කරවා පී ය. වෙදනා ව බලවත් වි ය. වහන්දෑ බුදුන් මද්දකුච්ජි නම් තැනට ගෙන ගිය සේක. බුදුහු පයට පිළියමක් ලවනු කැමති ව බුදා කෙනකුන් වහන්සේට පිළියමක් කරන්ට කප් ලක්‍ෂයක් පතා ආ ජීවකයන්ගේ අඹ උයනට ගෙන යන්ට වදාළ සේක. වහන්දෑ බුදුන් වඩා හැරගෙන ජීවක වනයට වැඩි සේක.
ජීවකයන්ගේ ප්‍රවෘත්ති කථාවත් පිළියම් උන් උගත් ලෙසුත් කියතොත් කරණ ග්‍රන්ථ ය බර වන හෙයින් හළුම්භ. අර්ථි තැනක් කඳුව ත් බලා දත යුතු ය. ජීවකයෝ ද බුදුන් පිටි පත්ලේ ගල් පොඩියක් වැදගත් නියා ව අසා බුදුන් ළඟට ගොසින් එක තැන් වූ ලෙය සිඳෙනු නිසා එ තැන බෙභෙදක් තබා ලා වසා බැඳ ලා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, මම ඇතුළු නුවර එක් මිනිසකුට බෙහෙදක් කෙරෙමින් සිටියෙමි. එ හෙයින් ඌ ළඟට ත් ගොසින් පියා එමි. මේ බැඳ ලූ බෙහෙද ත් මා එන තෙක් නූනා තිබෙන්ට වුව මැනවැ’යි කියා ලා ගොසින් උන්ට කළමනා දෙයක් කොට ලා වාසල් වල යතුරු එළන්නාට පෙරාතු වන්ට එන තැනැත්තෝ එ වේලාවට නැඟී එත නුහුණවු ය. වාසල් වල ත් යතුරු ලවාපුව. ජීවකයෝ ‘අනේ මා කළ දෑ නපුර. සෙසු වණ ඇත්තවුන්ට බඳනා බෙහෙත් සේ බුදුන් පය ත් ලෙස සුන මනා හෙයින් රූක්‍ෂ බෙහෙදක් තබා බැඳලීමි. ඒ බෙහෙද මුදන වේලා ය. මේ වේලේ උනා නූපුවො ත් රාත්‍රිය මුළුල්ලෙහි ම බුදුන්ට ආයාස මහත් වී නම් මා පිළියම් උගත්තේ කිම් ද? අනේ මට වූ දෙයෙක් ය’යි සිතූ ය.
එ වේලෙහි බුදුහු ජීවකයන් නිදන් දන්නා සේ ම පරසිත් බල වත් ව දන්නා හෙයින් ජීවකයන් සිතූ සිතිවිල්ල දැනගෙන අනඳ මහ තෙරුන් බණවා ලා ‘ආනන්‍දයෙනි, ජීවකයෝ සවස බෙහෙත් මුඳන්ට එන තැනැත්තෝ වාසල්වල යතුරු එලා පී හෙයින් නැඟී ආ නුහුණුවු ය. අවුදින් උනාපිය නුහුණ ත් උනන්ට හඬ ගෑවා සේ සිතූ ය. බෙහෙත් මුඳා පියව’යි වදාරා ලා තෙරුන් වහන්සේ ලවා උනවා පී සේක. එක තැන් වූ ලෙය ත් සිඳී වණය ත් නැති විය. ජීවකයෝ ද අරුණු වේලාවට පෙරාතු ම බුදුන් ළඟට වහා අවුත් ‘ස්වාමීනි, කුමක් ද, වනයෙහි දාහ ඇත් දැ’යි විචාළෝ ය.
බුදුහු ‘ජීවකයෙනි, බෝ මැඬ දී ම සියලු දාහ සන්හුන. දැන් සන් හිඳෙන්නේ කිම් දැ’යි විචාරා ලා උන්ට රහත් ගුණ හඟවා බණ වදාරණ සේක් සසර යම් ගමනෙක් ඇත් නම් ඒ ගමන ගොසින් නිම වා පී ශෝක කාරණ වූ ජාති නැති හෙයින් කිසි ද ශෝකයක් නැති, කාමභවාදී වූ සියලු භවයනු ත් අණ්ඩජ ජලාබුජාදී වූ සිය ලු ම යෝනියෙනු ත් දිව්‍ය ගති ආදී වූ සියලු ගතියෙනු ත් එකත්ත කාය එකත්තසඤ්ඤි ආදී වූ විඥාන ස්ථිතීනුත් ඒ සත ම මත්තෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන හා අසඤ්ඤය ලා ලන්නා සත්‍වාවාස නවයෙනුත් මිදී සිටි අභිජ්ඣාකායග්‍රන්ථාදි ග්‍රන්ථ රහිත වූ රහතුන්ට ශීතොෂ්ණාදි වශයෙන් උපදනා ශාරීරිකාබාධ ය ඇත ත් චෙතසිකාබාධ ය කෙලෙසුන් නැති හෙයින් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන්-සෙදගැමි-අනැගැමි රහත් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ශාරීරිකාබාධ ය රහත් වුව ත් නො නවත්නා හෙයින් ඊට කරණ ව්‍යායාම හැර චෙතසිකාබාධ වූ කෙලෙසුන් නසන්ට යත්න කට යුතු.
_________