තව ද බණ අසා ඒ වූ පරිද්දෙන් පිළිපදුත් මුත් නොපිළි පැදීමෙන් ප්‍රයෝජන නැති නියාව දක්වන්ට ධර්‍මශ්‍රවණ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර එක් වීථියෙක මිනිස්සු එක් ව ගෙන සෑහෙන තරමේ දන් දී ලා රාත්‍රි බණ ත් අසන්ට පටන්ගෙන සියලු රාත්‍රියෙහි අසා ගත නො හී සමහර කෙනෙක් කෙලෙස් සිතින් රැඳී පියා බණ සන්‍ධි නො වන තෙක් ම තමන්ගේ ගෙවලට ගියහ. සමහර කෙනෙක් බොහෝ දෙන රැස් වූ තැන හෙයින් අඬ දබර කොට ගෙන ගියහ. සමහර කෙනෙක් සිත හෙළා අසන්ට නැති හෙයින් ඇසට නිඳි එන්නා නිඳා වැතිර ගියහ. දෙ වන දවස් වහන්දෑ එ පවත ධම් සෙබෙයි දී කී සේක. බුදුහු ත් වැඩ එ පවත් දැන ‘මහණෙනි, සත්‍වයන් අතුරෙන් යම් කෙනෙක් නිවනට පැමිණෙත් නම් ඌ බොහෝ දෙනෙක් නො වෙති. බොහෝ සර්‍වඥවරයන් වැඳ ත් නිවන් දැක ගත නුහුණු සත්හු ම බොහෝ වූ ය. යම් කෙනෙක් බුදුන්ගේ බුදු වදන් අසා මනා පිළිපදිත් නම් එ බඳු තරමක් ඇති වූ කෙනකුන් විසින් මුත් එ තෙර විය නො හැකි කෙලෙස් මරහු වසනු තැනක් වැනි සසර හැර ඌ තුමූ නිවන් පරතෙරට පැමිණෙතී’ වදාළ සේක. මේ දේශනාව කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ නිවන් පුර වන්හ.
එ හෙයින් සත්පුරුෂයන් විසින් යම් සේ සක්විති රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජන සංග්‍රහ කෙරෙත් ද එ මෙන් සිවු වනක් පිරිසගේ අදහස් ලෙසට ධර්‍මදානයෙන් කර්‍ණ කඨෝර නො වන ප්‍රිය තෙපුල්ම කියන බණිනුත් කීමෙන් වැඩෙහි හැසිරීමෙන් අනුශාසනා ලෙස පවත්නවුන්ට ආත්ම සමානතාව ඇති වීමෙන් ද මෙ සේ සතර සංග්‍රහ වස්තුව ත් ඇති ව, තව ද යම් සේ සක්විත්තන් සන්තක සතර මහ දිවයින සොරු නැත් ද, එ මෙන් තමා සතන්හි කෙලෙස් සොරුන් විසිය නො දී, තව ද, යම් සේ සක්විත්තෝ දවස් පතා මුළු පොළොව සිසාරා ඇවිද යහපතු ත් නපුරු ත් දකිත් ද, එ මෙන් දවස් පතා තුන් දොරින් වැරදි සලකා වැරදි දෙයට නිසි වූ ප්‍රතිකාර කොට අකුසලින් දුරුව කුසල් පුරා ත්‍රිවිධ බෝධීන් එක් බෝධියකට පැමිණිය යුතු.