තව ද සත්‍වයන් අධර්මයෙන් වළකා දහම්හි පිහිටුවනු සඳහා ධම්මික තෙරුන් වහන්සේ ගේ
වසතුව දක්වමු.
කෙසේ ද යත්:-
සැවැත් නුවර එක් උපාසක කෙනෙක් දැහැමින් සෙමින් ගිහි ගෙයි වෙසෙති. ඌ තුමූ පැවිදි වනු කැමැති ව එක් දවසෙක ඇඹේණියන් හා සමඟ හිඳ කථා කරන්නෝ ‘සොඳුර, මම මහණ වනු කැමැත්තෙමි’ කිවු ය. එ බසට උන්ගේ ඇඹේණියෝ කියන්නාහු ‘ස්වාමීනි, මා බඩ දරුවන් වදා පියන තෙක් බැලුව මැනැවැ’යි කිවු ය. උපාසකයෝ ද යහපතැ’යි ගිවිස ඵ් දරුවන් බිහි ව පියවර ඔසවන කාලයෙහි නැවතත් ඇඹේණියන් විචාරා පළමු පරිද්දෙන් ම ‘ස්වාමීනී, මේ දරුවන් වැඩී ගන්නා තෙක් බැලුව මැනැවැ’ යි කී කල්හි ‘මුන් විචාරා යෑමෙන් ප්‍රයෝජන කිම්ද, නො විචාරා වී නමුත් ගොසින් මට දුකට පිළිසරණක් කෙරෙමි’යි ගෙන් නික්ම ගොස් මහණ වූ ය.
ඌ තුමූ තමන්ට සුදුසු වූ කමටහනක් ඉගෙන ගෙන උත්සාහ වීර්ය කරන්නෝ තමන්ගේ පැවිදි වීමෙන් වන කාර්‍ය්‍ය ය නිමවා නැවත ඒ දෙ පුතු මවුන් දක්නා පිණිස සැවැත් නුවරට ගොසින් පුතණුවන්ට ගිහි ගෙයි ආදීනව දක්වා බණ කීහ, ඒ පුත් කුමර ගිහි ගෙන් නික්ම මහණව නොබෝ දවසකින් රහත් බවට පැමිණියේ ය. තෙරුන් වහන්සේ ගේ පොරණ ඇඹේණියෝ ද “යම් කෙනකුන් පිණිස මම ගිහි ගෙයි විසීම් ද ඒ දෙ දෙන ම මහණ වූ ය. දැන් ගිහි ගෙයි විසීමෙන් මට ප්‍රයෝජන කිම්ද? මම ත් මහණ වෙමී’යි ගිහි ගෙය හැර ලා ගොස් මහණ ව ලා ම නො බෝ දවසෙකින් රහත් වූ ය.
ඉක්බිති එක් දවසෙක ධම් සෙබෙහි රැස්ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, ධම්මික උපාසකයෝ තුමූ දහම්හි පිහිටි හෙයින් ගිහි ගෙන් නික්ම මහණ ව රහත් ව ලා අඹු දරුවන් ද ගිහි ගෙට වඩා ශාසනයෙන් පිහිට වූ ය’යි කථා කළ සේක. බුදුහු එ තැනට වැඩ කෙරෙමින් සිටි කථාව විචාරා වදාරා කථා පුවත දැන ‘මහණෙනි, නුවණැත්තෝ තුමූ තමන් නිසා වේව යි පණිවා ආදී වූ පව් නො කෙරෙති නැවත දරුවන් වේව යි වස්තු වේව යි. රට තොට වේව යි, කැමැතිව ත් පව් නො කෙරෙති. තමන්ට වන්නා වූ මේ ප්‍රයෝජනයක් ඇත් නම් එයි ත් නුවණැත්තෝ අධර්මයෙන් උපදවන්ට පර ලොවින් ප්‍රයෝජන ලවයක් නැති හෙයින් නො කැමති වෙති. යම් කෙනෙක් යථොක්ත වූ මේ ගුණ ඇත්තෝ වූ නම් සිල්වතු ත් ඌ මය. නුවණැත්තෝ ත් ඌ ම ය. මැදහත්තු ත් ඌම ය. අනික් කෙනෙක් නොවෙති’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන මාර්‍ග ඵලාලඞ්කාරයෙන් සැරහී නිවන් පුරයට වන්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ සක් දෙවිඳු ශක්‍ර සම්පත ඇලී වෙසේ ද, එ මෙන් නිවන් සම්පත ඇලී තව ද යම් සේසක් දෙවිඳු දෙවියන් දැක සංග්‍රහ කෙරේ ද, එමෙන් කුසල් විෂයෙහි පසු නො බස්නා සිතට බල ලබ්බා දීමෙන් හා තෙපුලෙන් සිද්ධවන කුසලයට තෙපුල් ලබ්බා දීමෙන් හා සිතින් සිද්ධ වන කුසලයට සිත ලබ්බා දීමෙන් සංග්‍රහ ශීලී ව – තව ද යම් සේ සක් දෙවිඳු හට දිව සැපතෙහි උකටලී නැත ද, එ මෙන් කුසල් විෂයෙහි උකටලී නොව ත්‍රිවිධ දුශ්චරිතයෙන් දුරු ව ත්‍රිවිධ සුචරිත පුරා ස්වර්‍ග සම්පත් අනුභව කොට කෙළවර නිවන් සම්පතු ත් සාධා ගත යුතු.