79. පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද සුව පත් වූ කල ගුණ හීන අසත්පුරුෂයන් උඩඟු ව පවතු ත් මුත් දුක් පත් වූ කල එක් තරමෙක වී නමුත් තමන් දවස් යැවිය හෙන බව හා බඩ සායෙහි නපුර දක්වනු නිසා සිඟන්නන්ගේ දොස් වදාළ පන්සියක් දෙනා වහන්සේ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

බුදුහු පළමු විසි හවුරුදු ඇතුළත වේරඤ්ජාවට වැඩ වේරඤ්ජ නම් බමුණානන්ගේ ආරාධනාවෙන් පන් සියක් දෙනා වහන්සේ හා සමඟ වේරඤ්ජාවෙහි විසූ සේක. වස් වසන්ට ආරාධනා කළ වේරඤ්ජ නම් බමුණානෝ ද මාරයා ඇඟ ආවිෂ්ට ව තමාගේ දිව්‍ය ලෝකයෙන් ඇසිල්ලක් හා මිනිස් ලොවින් තුන් මසක් කුට්ටල ව ඇඟින් පහ නු වූ හෙයින් වස් තුන් මස මුළුල්ලෙහි එක දවසක ත් ආරාධනා කළ නියාවක් වේව” යි බුදුන් එහි විසූ නියාවක් වේව’යි සඳහන් නො කොළෝ ය. වෙරඤ්ජාවෙත් බත් නැත. වහන්දෑ ත් නුවර ඇතුළ පිටත සිඟා ත් බත් නොලදින් මිරිකුණු සේක. එ නුවරට අසුන් විකුණන්ට ගිය අස් වෙළෙන්දෝ යව සාල් නැළිය නැළිය ඔබාදීන් දවස් පතා පන් සියක් නැළි පමණ යව සාල් දෙවූහ.

යව සාල් නමුත් නීරස දෙයක් හෙයින් ඒ වළඳා වෑර ගිය වහන්දෑ දැක මුගලන් මහ තෙරුන් වහන්සේ පොළොව පත්ලෙහි තුබූ රස ඕජාවක් වළන්දනු කැමැති වූ සේක. තමන් වහන්සේගේ ආනුභාවයෙන් උතුරුකුරු දිවයිනට සිඟා හෝ ගෙන යනු කැමති වූ සේක. බුදුහු එක් ව කළ අනිවාර්‍ය්‍ය කර්‍මයක් නියාව දැන නැවතූ සේක. ඒ වහන්දෑට ත් අනඳ මහ තෙරුන් වහන්සේ විනා හැම තැන් ම රහත් හෙයින් රස තෘෂ්ණාව සුන් හෙයිනු ත් තදඞ්ග වසයෙන් වුව ත් අනඳ මහ තෙරුන් වහන්සේට රස තෘෂ්ණාව සුන් හෙයින් බතක් පැනක් නිසා චිත්ත පීඩා නොවී ය. බුදුහු එහි වස් වැස නිම වා ලා ආරාධනා කළ වුන්ට වස් අන්ත නියාව කීම පනතක් හෙයින් කළ උපස්ථානයක් නැත ත් වේරඤ්ජ නම් බමුණානන්ට වදාරා ලා උන් ගෙන් වස් තුන් මසින් වුව මනා උපස්ථාන එක දවසින් ම විඳ ගෙන උන් සරණ සීලයෙහි පිහිටුවා මත්තට හේතු ඇති කරවා ලා එයින් නික් ම පිළිවෙළින් සැරිසරන සේක් එක් සමයෙක සැවැත් නුවරට පැමිණ දෙව්රම වසන සේක.

සැවැත් නුවර වැස්සෝ අමුතු ව ලා වැඩි බුදුන්ට අමුතු දන් දෙන්ට පටන් ගත්හ. එ කල පන් සියයක් පමණ සිඟන්නෝ වහන්දෑ ගෙන් සිඟා කා ලා විහාරේ ම රඳා හිඳිති. ඔහු වහන්දෑ වළඳා ඉතිරි මියුරු ආහාර ය කා ලා වැද නිඳා නැගී සිට ගං තොටට ගොස් මහත් කොට හඬ ගසමින්, ඒ ඒ තන්හි පනිමින් පොර මල්ලව අල්ලමින් කෙළ ඇවිදිති. විහාරයෙහි ඇතුළත ත් පිටත ත් අනාචාර ම කෙරෙති. ධම් සෙබෙයි රැස් වූ වහන්දෑ ‘බලව ඇවැත්නි, මේ සිඟන්නෝ දුගටියා අවධියේ වෙරඤ්ජාවෙහි දී කිසි විකාරයක් නො කළවූ ය. දැන් මෙ බඳු මියුරු ආහාර කා ලා නො එක් විකාර දක්වමින් ඇවිදිති. වහන්දෑ වෙරඤ්ජාවෙහි දීත් උපශාන්ත ව වැස දැනු ත් උපශාන්ත ව ම වසන සේකැ’යි කථාවක් ඉපැදවූ සේක.

එකල බුදුහු ධම් සභා මණ්ඩපයට වැඩ ‘මහණෙනි, මා එන් නාට පළමු කුමක් කියමින් හුනු දැ’යි විචාරා මෙ පවත් කී කල්හි මොහු පෙර ත් ගද්‍රභ යෝනියෙහි පන් සියයක් පමණ කොටළු ව උන්නාහු පැන් නුමුසු රසවත් වූ මිදි පැන් මිරිකා පන් සියක් අසුන් පොවා පිටත දමන ලද ඉඳුල් මිදි සප ගෙන පැනෙහි මැඬ නියඳ වැහැරියෙන් පෙරා පෙවූ රස නැති ලාමක වූ කසට මිදි පැන් බී මී බී මත් වූ බමරුන් මෙන් නාද කෙරෙමින් ඇවිද්දාහු වෙත් දැ’යි වදාරා ආරාධිත වූ බුදුහු -

‘එම්බා මහණෙනි, රස නැති ලාමක වූ පැන් මුසු මිදි පැන් බී පවා එ කල කොටළුවන්ට සත්කාර මදය උපන්නේ ය. අසුන්ට වනාහි පැන් නුමුසු රසවත් වූ සිය දෑ මිදි පැන් පූව ත් සත්කාර මදයෙක් නූපන්නේ ය. එසේ හෙයින් හීන ජාතියෙහි උපන්නාහු යන් තම් රසයක් බීත් එයින් මත්ව උඩඟු වෙති. උතුම් කුලයෙහි උපන් ආචාර සීලයෙන් යුත්ත වූවාහු අග්‍ර රස ය පානය කොට ත් එයින් මත්ව උඩඟු නොවෙති’ යනාදීන් වාලොදක ජාතක ය විස්තර වසයෙන් ගෙන හැර දක්වා ‘සත්පුරුෂයෝ මෙසේ ලෝභ ය දුරු කොට සුව පත් කල්හි ද, දුප්පත් කල්හි ද අන් විකාරයකට නො පැමිණෙන්නාහු ය’ යි පූර්වාපරසන්ධි ගළපා මත්තෙහි ද බණ වදාරන බුදුහු “සන්සුන් ගුණෙන් යෙදුණු සත්පුරුෂ වූ බුද්ධාදී නුවැණැත්තෝ පඤ්චස්කන්‍ධාදී සියලු උපාදාන ධර්‍මයන් කෙරෙහි අන්තර්‍ගත වූ ඡන්‍දරාග ය අර්හන්මාර්‍ග ඥානයෙන් පහ හු දුරින් දුරු කෙරෙති. පඤ්ච කාම ගුණයන් හේතු කොට ගෙන තුමූත් කථා නො කෙරෙති. අනුන් ලවා ත් කථා නො කරවති.

‘යම් කිසි මහණ කෙනෙක් අහර සොයා ගම් වදනාහු ලෝභාභිභූත ව කිමෙක් ද, උපාසකයෙනි, තොපගේ අඹු දරුවන්ට ගවමහිෂාදීන්ට උපද්‍රව නැත් දැ’යි යනාදීන් කියන්නාහු වී නම් ඔහු පස ය පිළිබඳ කථා කරන්නාහු නම. යම් කෙනෙක් එ පරිද්දෙන් කියා ‘එ සේ ය, ස්වාමීනි, අපට කිසි දුකෙක් නැත. දැන් අපට බතින් බුලතින් සැප ය. මෙ තැන ම විසුව මැනැවැ’යි තම හට ආරාධනා කරවන්නාහු වී නම් ඔහු පස ය නිසා කථා කරවන්නාහු නම. බුද්ධාදීහු වනාහි දෙක ම නො කෙරෙති. අෂ්ටලෝක ධර්‍මයෙන් පහරන ලද්දාහු වූ නමුත් සතුටු-නො සතුටු වීම්`වශයෙන් හෝ ගුණ නුගුණ ඇස්වීම් වශයෙන් හෝ උසස් යටත් වූ ආකාරයක් නො දක්වති’යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී වූ සතර මග සතර ඵලයට පැමිණ අමා මහ නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අෂ්ට ලෝක ධර්‍මයෙන් අනභිභූත ව සියලු අකුශලයන් දුරු කොට කුශල කර්‍මයන් පුරා නිවන් සැප සෑදිය යුතු.

________