78. කාණමාතා වස්තුව

star_outline

තව ද නුවණැත්තවුන් විසින් තුමූ සලකා ගත නොහෙත් නමුත් කාරණ දන්නවුන් කී කාරණ අසා සලකන නියාව හඟවනු පිණිස කාණමාතා වස්තුව දක්වමු.

කෙසේද යත් -

කාණ නම් වූ උපාසිකාව සමණන්ගේ ඔබ යන්නී ‘සිසතින් නො ගිය මනා වේ දැ යි මෑණියන් ඉදි කළ කැවුම්, සතර වාරයකින් කැටි ව සතර නමකට දුන් කල්හි කාණාවන්ගේ ගමන් කල් යන හෙයින් රක්‍ෂා කළ සමණන් අනික් අඹු කෙනකුන් ගෙනා කල්හි කාණාවෝ එපවත් අසා ‘හැයි, මේ වහන්දෑ එක් වරෙක හෝ වැඩි ගියේ නම් දෙ වාරෙක හෝ ඉදි කළ කැවුම් පමණක් පිළිගතො ත් කැවුම් ඉදි කිරීමෙන් කල් යන්ට නැති ව ලා ඔබ ගියො ක් උන් ඔබ්බෙන් ගෙනෙන මිනිස්සු නැත්තෝ වෙත්ද, මේ සා හානියක් කළ දෑ වහන්දෑ වේ දැ’යි දුටු දුටු වහන්දෑට කාරණ සලකා පිය නො හී දොඩන්ට බණන්ට වන්හ. වහන්දෑ ත් බිණුම් ඇසිය නො හී ඒ වීථියට සිඟා එන්ට මැළි සේක. බුදුහු එ පවත් දැන කාණාවන්ගේ ගෙ දොරට වැඩි සේක. කාණාමාතාවෝ අවුත් වැඳ ලා සැදෑ ඇත්තවුන්ගේ ගෙ දොර හසුන් පනවා ම තිබෙන හෙයින් පනවන ලද බුදු හස්නෙහි වඩා හිඳුවා කැඳ අවුළු පත් පිළිගැන්වූහ. බුදුහු කැඳ වළඳා ලා ‘කාණාවෝ කොයි දැ’යි විචාළ සේක. මෑණියෝ කියන්නෝ ‘සිත මුසුප්පු බලවත් හෙයින් මුඹ වහන්සේ දැකත් අවුත් නො වැඳ හඬ හඬා සිටින්නෝ තුලු වේ දැ’ යි කිවුය. ‛හඬන්නේ කුමට දැ’යි විචාරා වදාළ කල්හි මෑණියෝ ම කියන්නෝ ‘ස්වාමීනි, මූ තුමූ වහන්දෑ දුටු කල දොඩති, බෙණෙති. එ සේ හෙයින් තමන්ගේ අපරාධ ය සලකා දෝ හඬති‍’ කිවු ය.

බුදුහු උන් කැඳවා ලා ‛හැයි, කාණාවෙනි, මා දැක සතුටු වුව මනා නැත. හඬන්ට කාරණ කිම්ද? හඬන්නේ ශෝකයෙක් ඇතු ව වේ ද? ශෝකයට මුල් වන්නේ ජාතිය වේද? ඒ ජාතිය පවා නැති කරවන්නෙම් ශෝක ය නැති කරවා ලිය නො හෙම්ද? කියව’යි වදාළ සේක. එසේ වුවත් උන් කියා ගත නො හී සිටිනා මෑණියෝ ‘සමණන්ගේ ඔබ මුන් යන ගමනේ සිසතින් යෑම නපුරු වේ දැ’යි තමන් කැවුම් ඉදි කළ නියාව ත් සිඟා ආ නමකට ඒ පිළිගන්වා පියා දෙ වැනි ව ඉදි කොට අනික් නමකට එයිත් පිළිගන්වා තුන් වැනි ව ත් සතර වැනි වත් ඉදි කොට එයිත් ආ ආ දෙනමකට පිළිගන්වා කැවුම් නැති ව මුන් තමන්ගේ ගමන පමා හෙයින් රක්‍ෂා කළ සමණන් අනික් මිනිස් කෙනකුන් ගෙන්වා ගත් නියාව අසා මුසුප්පු බලවත්ව මේ වූයේ වහන්දෑ නිසා වේ දැ යි වහන්දෑට දොඩති, බෙණෙති’ කිවු ය. බුදුහු ඒ අසා වදාරා ‛කුමක්ද, කාණාවෙනි, මාගේ සවුවෝ තොප දුන් දෙයක් පිළිගත්තුද ? නොහොත් නො කැමැති කරවා නුදුන් දෙයක් අරගත්තු දැ”යි විචාරා ‘දීලූ දෙය ය, ස්වාමීනි’යි කී කල්හි ‘ඉදින් මාගේ සවුවෝ සිඟා ආ ගමනේ සිඟා සිට තොප දී ලූ දෙය පිළිගත්තු නම්, උන්ගේ වරද කවරේ දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, වහන්දෑගේ කිසි ත් වරදෙක් නැත. නිරපරාධ වහන්දෑට බිණුවන්ගේ වරද යැ’යි මෑණියෝ කිවු ය.

බුදුහු කාණාවන්ට වදාරණ සේක් ‘මා ගේ සවුවෝ ගෙ පිළි වෙළින් සිඟන ගමනේ ඒ ගෙය ත් සිඟුව මනා ගෙයක් හෙයින් සිඟා සිටියෝ ය. තොපගේ මෑණියෝ කැවුම් පිළිගැන්වූ ය. මාගේ සවුවන්ගේ වරද කවරේ දැ’යි වදාළ සේක. කාණාවෝ ත් ‘ස්වාමීනි, වහන්දෑගේ වරදෙක් නැත. සිතා වරද්දාපු මාගේ වරද ය’යි කියාලා බුදුන් වැඳ ක්‍ෂමා කරවා ගත්හ. බුදුහු ත් තමන් වහන්සේ වැඩි කටයුත්ත තුබූ සේ තුබූ හෙයින් කාණාවන්ට පිළිවෙළ කථාව වදාළ සේක. කාණාවෝ ත් සෝවාන් ව ශෝක දුක් දුර ගෙවූහ.

බුදුහු ත් හුනස්නෙන් නැඟී වෙහෙරට වඩනා සේක් වඩනා තව ත් මං ඇත ත් රජ්ජුරුවන්ගේ සෙණ්ඩුළුවෙන් ම නික්මුණු සේක. රජ්ජුරුවෝත් දැක ‘බුදුහු වඩනා සේක් ය’යි විචාරා එ සේ ය’යි කී කල්හි ‘යව, ගොසින් මා වඳිනට එන නියා ව කියව යි කියා යවා ලා වැඩ සිටි බුදුන් කරා ගොසින් වැඳ ගෙන ‘ස්වාමීනි, වැඩියේ කොයිදැ’යි විචාරා ‘කාණමාතාවන්ගේ ගෙට ය’යි වදාළ කල්හි ‘වැඩි කටයුතු කවරේ දැ’යි විචාළෝ ය.

‘කාණා තොමෝ කාරණ නො සලකා භික්ෂූන්ට බෙණෙ’යි වදාළ කල්හි ‘ස්වාමීනි, නො බණන ලෙසක් කොට වදාළේ ඇත්දැ’යි විචාරා ‘එ සේ ය, මහරජ ලොවුතුරා සැපතින් යන්තම් සැපතක් දෙවා ලා මෙ වක් පටන් නො බණන ලෙසක් කරවා ආම්හ’යි වදාළ කල්හි ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලොවුතුරා සැපත් දෙවූ සේක් නමුත් ලොවි සම්පත්තීන් පිරිහී මුසුප්පු වූ තැනැත්තවුට මම ලොවි සැපත් දෙමි’ කියලා රැඳුණු තැනැත්තෝ වාහනයක් දෙවා, උන් ගෙන්වා ගෙන ශ්‍රෝත ආපත්ති ඵලාලඞ්කාරය සිත සරහා ලන බව මුත් ශරීරය සරහා ලිය නො හෙන හෙයින් ගෑනුන්ට වුවමනා පා මුදු - පාඩගම් ආදී වූ ආභරණයෙන් සරහා ලා නායක දූ තරමේ තබා ලා ‘ම දුන් පාවා ගෙන යන්ට තරම් කෙනකුන් අවුත් කැඳවා ගෙන ගිය මැනවැ’යි විධාන කළහ. රට තොට විචාරා සිටි එක් ඇමැත්තාණ කෙනෙක් මම කැඳවා ගෙන ගොසින් රකිමි’යි කියාලා තමන්ගේ ගෙට කැඳවා ගොසින් සියලු ඉසුරු අතට හැර ලා කැමති ලෙසකින් පින් කරව’යි විධාන කොළෝ ය.

කාණාවෝ ද එවක් පටන් සතර වාසල මිනිසුන් සිටුවා භික්ෂු වහන් දෑ වේව යි, භික්ෂුණී වහන්දෑ වේව යි තමන්ගේ ගෙදොරට ම එත් මුත් තමන් ඔබ යා යුතු තරමට නො කොළෝ ය. උන්ගේ ගෙදොර මහ දන් මහ වතුරක් මෙන් පවත්ති. ධම් සෙබහි ත් කථාවෙක් උපදනේ වැඩිමාලු කල මහණ වූ සතර නමෙක් කැවුම් පිළිගැන්ම ම දත් බව මුත් කාණාවන්ගේ අදහස් නොදැන මුසුප්පු කැර වූ සේක. බුදුහු කැවුම් පිළිගන්නා පමණක් වදාරාලීමෙන් මතු-මත්තෙහි මෙ ලෙසින් උපදනා මුසුප්පුත් හරවා වදාළ සේක. උගේ අදහස දැන බණ ත් වදාරා සෝවාන් කරවා ලීමෙන් මතු නො දොඩන ලෙසට සැදෑ ත් ඇති කරවා ලා භික්ෂු වහන්දෑ වුව ත් මෙහෙණින්නන් වුවත් ආරාධනාවට වේවයි උපස්ථාන කරන්ට වේව යි හුන් හුන් තැනට කාණාවන් තමන් නො ඇවිදුවා භික්ෂු-භික්ෂුණී දෙ පක්‍ෂය ම උන්ගෙන් උපස්ථාන විඳ උන්ගේ ගෙට එළඹෙන ලෙසක් කරවා ලූ සේක. අනේ බුදුන්ගේ ආනුභාවයක් ඉතා යහපත් නියා ය’යි කියා කථා කළ සේක.

බුදුහු වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා මේ නියා ව දැන යටගිය දවස කාණාවන් මී ව උපන් නියාව ත් කැවුම් පිළිගෙන මුසුප්පු කැර වූ මාලු වහන්දෑ සතර නම එ තැන එ වක බළල් ව ඉපැද මීව උපන් කාණාවන්ට මුසුප්පු කැර වූ නියාව ත්, ගල් වඩු ව උපන් තමන් වහන්සේ පිළිවහණ මුවා ගෙයක් කොට මීයාට දී මියාට ඇති වූ මුසුප්පු ව බළලුන්ට පමුණුවා, ඈට ඒ මුසුප්පු හැර වූ නියාව ත් බබ්බු ජාතකයෙන් විස්තර කොට වදාරා ‘මහණෙනි, දැන් බුදු ව හැම දෙනාගේ මුසුප්පු හරවන්ට පොහොසත් අවධිය තබා පැරුම් බිමදීත් හරවා ම ආයෙම් වේ දැ’යි වදාරා ලා-

යම් සේ මහ මුහුද පාතින් සතළිස් දහසක් යොදුන් කුඩ මස් සන්ගෙන් කැළඹෙන හෙයින් හා මුඳුනෙන් සතළිස් දහසක් යොදුන් පමණ තැන් සුළඟින් ඇළලෙන හෙයින් පාතින් හා උඩින් අසූ දහසක් යොදුන් පමණ තැන් හැර මැඳින් සාර දහසක් යොදුන් පමණ ගැඹුර ඇති මුහුදු භාග ය නොහොත් සිවුරඟ සෙනඟ ට ත් කැළඹී නො යන තරම් ගැඹුරු විල නො කැළඹී ප්‍රසන්න ව තිබේද, එ පරිද්දෙන් නුවණැත්තෝ තුමූ බණ අසා යම් සේ ඒ විල නො කැළඹෙන හෙයින් ප්‍රසන්න ද නො සැලෙන හෙයින් ඇළලීම් නැත් ද, එ මෙන් සෝවාන් - සෙදගැමි - අනැගැමි වීමෙන් උපක්ලෙශ රහිත වූ සිත් ඇති බවට පැමිණ පහදිති. රහත් වූවෝ වැළි ත් විශේෂයෙන් පහදිතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ සඳ තෙමේ පෙර දෙ පෝයෙහි කලා පූරණ වසයෙන් වඩීද එමෙන් සීලසමෘද්ධ්‍යාදී ගුණයෙන් දිවි පමණින් වැඩී තව ද යම් සේ සඳ තරු මුළුල්ලටම අධිපති ද එ මෙන් උදාරතර වූ ඡන්‍දාධිපති ආදිය ඇති ව තව ද යම් සේ සඳ ජන සඤ්චාර රහිත රාත්‍රියෙහි හැසිරේ ද එ මෙන් විවේකාධ්‍යාශ ය ඇති ව, තව ද යම් සේ සඳ-හිර-තරු- පෙනෙන දෙව් ලොව විමන්වලින් ඉතා ප්‍රසිද්ධ ද, එ මෙන් සීලාදී ගුණෙන් ප්‍රසිද්ධ ව, තව ද යම් සේ සඳ ආදියෙන් දක්නා කලට මහෝත්සාහයෙන් බලා දකිත් ද එමෙන්ම බොහෝ දෙනා විසින් ප්‍රාර්ථනීය ව කුසල්හි හැසිර භවභෝග සම්පත් සාදාගෙන කෙළවර නිවන් සම්පත් ලැබ්බ යුතු.