චිත්ත ප්‍රසාද පමණකින් මට්ටකුණ්ඩලීන් ලත් සම්පත් ප්‍රකාශ කොට සැදෑ ඇත්තවුන් ගේ සැදෑ වඩනා නිසා මට්ටකුණ්ඩලී වස්තුව දැක්වූවා සේ ම යන් තම් කුශල විශේෂයකින් බුද්ධි සම්පන්නව ප්‍රශ්න විසඳීම් වශයෙන් තෙවළා බුදු වදන් නිරවුල් කළ නියා කියා ධර්මාභියෝගයෙහි සත් පුරුෂයන්ගේ උත්සාහ වඩනු පිණිස නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව කියමු. හේ කෙසේ ද යත්:
යට ගිය දවස අප ගේ බුදුන්ට පෙරාතු ව බුදු වූ කසුබ් බුදුන් පිරිනිවිය ත් ඔබ ගේ සස්න වතින් පිළිවෙතින් පමණක් නොනැසී පවත්නා අවධියෙහි ගඟක් බඩ කළ එක් වෙහෙරක වත් පිළිවෙත් සරු වූ බොහෝ වහන්දෑ රඳා හිඳිනා සේක. එ සේ හිඳිනා වහන්දෑ වත් පිළිවෙත නොපමා බැවින් උදෑසන ම නැඟී සිට හමඳනා මුසුන් හැර ගෙන ස්වර්‍ග – මෝක්‍ෂ දෙකට බාධා කථා හැර නව අරහාදී බුදු ගුණ සලකමින් සකස් කොට මළු හැමද කසළ එක් තැන් කොට ලා තමන් වහන්සේ හැමදි කසළ තමන් වහන්සේත් දමා නොපියා එක් කෙනෙකුන් වහන්සේ සාමණේර නමක් බනවා ලා හැමදි කසල අනුන් ලවා වුව ත් දම්මවා නොපීම වත් නොවන හෙයින් ‘හෙරණෙනි, තෙල කසළ දමා පිය’යි වදාළ සේක. හෙරණුන්දෑ අසා ත් නොඇසූ කන් ව ලා යන දෑ ය. නො කීකරු නියා වේ දැ’යි දෙ විටක් කොට තුන් විටක් කොට කීව ත් යන නියා ම ය. කැඳවුව ත් නො එන හෙයින් ‘මේ හෙරණුන්දෑ නොකීකරු නියා වේ දැ’යි උරණ ව හික්මවීම් මුඛයෙන් මුසුන් දණ්ඩෙන් පහරක් ගැසූ සේක.
කිපී කල කාරණ නො සැලකෙන නියාව තිලින්ම දත යුතු ය. හෙරණුන්දෑ ද පහර කා ලා හඬන දෑ නොදැමුවොත් තවත් ගසන සේක් දෝ හෝ යි යන භයින් සිතින් නොසිතින් කසළ හැර ගෙන දමන්ට යන දෑ දමන කල කසළ වුව ත් කසළ දැමීමෙන් සිද්ධ වන කුශල ය නිකසළ හෙයින් ඔබ්බේ විධානයෙන් වුව ත් මේ කසළ දමා පී පිනින් නිවන් දක්නා ජාති දක්වා මෙ දෑතුරේ උපනුපන් තැන මුදුන් පැමිණි හිර පරිද්දෙන් තේජස් ඇතිවෙම් ව යි – පහර කෑයේ තේජස් නැති හෙයින් වේ දැ යි - පළමු කොට පැතූ දෑ ය. කසළ දමා පියා අත සෝධන්ට ත් පැන් සනහන්ට ත් ගඟට යනදෑ ගඟ රළ ගසන්නා දැක ‘මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා මේ ගඟ බොහෝ රළ දිවන්නා සේ ම මාගේ ත් නුවණ නමැති ගඟින් ප්‍රශ්න නමැති බොහෝ රළ නිම්මයක් නැති ව මුඛ නැමැති ගඟස් බඩට[1] දිවේ ව යි හෙවත් බොහෝ කොට වාද කට හෙම් ව’යි අභිමාන පර ව දෙවෙනි ව පැතූදෑ ය.
පහර ගැසූ තැනැත්තන් වහන්සේ ද හැමැඳි මුස්න මුසුන් හල තබා ලා පැන් සනහන්ට ගඟට යන සේක් හෙරණුන් දෑ ගේ ප්‍රාර්‍ථනාව අසා ‘මේ මාගේ විධානයෙන් මා ම හැමැඳි කසළ සිතින් නොසිතින් දමා පී පමණකට මෙ සේ පතයි. මූ කළ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ නම් මුලින් කසළ හැමැඳි මා පැතූ දෙයක් කැල ම සිද්ධ වෙ’යි සිතාත් සිල්වතුන් ගේ ප්‍රාර්‍ථනාව සමෘද්ධ වෙයි, කියා සිතා ගත් හෙයිනු ත් ඔබත් පතන සේක් ‘මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනූපන් ජාතිවල මේ ගඟ රළ ගැස්ම සේ නොගෙවෙන්නා වූ වැටහීම් ඇතිව වාද විසින් මූ විචාළ විචාළ දෙයක් පැකිළීමක් නැති ව කියා ලිය හෙම් වයි. මූ ගේ වාදයෙක් ඇත් නම් මා කරා පැමිණ මේ ගඟ රළ වෙරලාන්තයට පැමිණ බිඳෙන්නා සේ බිඳේව’යි. මූ ගේ මුඛ නමැති මුහුද වාද නමැති දිය සිඳුවා පියන්ට මා ගේ ප්‍රතිවාදය යුගාන්ත සූර්යයා වේව’යි පැතූ සේක. මෙ සේ පතා ඒ දෙ පක්‍ෂය කසුබ් බුදුන් සමයේ පටන් අප ගේ බුදුන් දක්වා මේ අතුර දෙව් ලෝ මිනිස් ලෝ දෙක්හි යවුහ.
අප ගේ බුදුහු සැවත් නුවර දී යමා මහ පෙළහර කොට තිර්‍ථකයන් ගේ මන් බිඳ ලා ත්‍රි පද වික්‍රමයෙන් තව්තිසා දෙව් ලොවට වැඩ පඬු ඇඹුල් සලස්නෙහි වැඩ හිඳ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ දෙවියන්ට විජම් පිටක ය දෙසන ගමනේ ‘මම ධම් සඟුණු - විභඞ්ග - ධාතු කථා− පුද්ගල ප්‍රඥප්ති – යමක – පට්ඨාන දෙසමි. මා පිරිනිවි කල ධර්‍මාශෝක රජ්ජුරුවන් සහාය කොට ගෙන මහානුභාව සම්පන්න රහතන් දහසක් තෝරා හැර ගෙන අශෝකාරාමයෙහි දී තුන් වන සඞ්ගායනාව කොට ලා මොග්ගලී පුත්තතිස්ස මහ තෙරහු:
“යා සට්ඨි තිත්‍ථිය සහස්සනිසාගතං තං
දුල්ලද්දි ඝොරතිමිරං විනිහච්ච සම්මා,
සා තිස්සතෙර රවිනා ගමිතා විකාසං
සංගීති චාරු නලිනී අපි දස්සිතා මෙ.”
යනු හෙයින් සැට දහසක් පමණ තීර්‍ථක මථන ය නිසා සකවාද යෙන් සූත්‍ර පන් සියයක් හා පරවාදයෙන් සූත්‍ර පන් සියයක් හා සූත්‍ර දහසකින් උපලක්ෂිත වූ කථා වස්තුව දෙසති යි යම් සේ වදාළ සේක් ද-එසේම මේ දෙපක්‍ෂය ත් දැක “මා පිරිනිවි පන්සියයක් හවුරුදු ගිය කලට මූ දෙන්නා මිනිස් ලොව ඉපැද මා විසින් සියුම් නුවණ ඇති කෙනෙකුන් මුත් මන්‍ද බුද්ධීන් දැන ගන්ට බැරි සැටියේ සියුම් කොට දෙසන ලද ධර්‍මය තමන්ගේ සියුම් නුවණින් ප්‍රශ්න විචාරීමෙන් හා ප්‍රශ්න විසඳීමෙන් හා ප්‍රශ්න ගිවිස්වා විසඳන්ට උපමා කීමෙන් හා අවුල් වියවුල් නැති කොට දිරා හෙන්නට තුබූ ගෙයක් සොයා තර කොට නැතක් කල් පවත්නා ලෙස කරන්නා සේ පස්වා දහසක් මුළුල්ලෙහි පවත්නා ලෙස කෙරෙතී’ වදාළ සේක.
ඒ වදාළ අවධියෙහි පැතූ පැතීම් ඇති දෙ නමින් සාමණේර නම උපන් තැනින් චුත ව අවුත් දඹදිව සාගල නුවර කවර තරමකටත් පමුණුවා ලන්ට නිසි කොට විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි සකසා රක්‍ෂා කළා වූ ශීල ප්‍රාර්‍ථනාව කෙසේ දෝ වැරද ගිය හෙයින් හීන ව ගොසින් ගුණෙන් හීන ව සිටි ස්ත්‍රීන් ධ්‍යාන පස උපදවා ගතත් පාත බඹ ලොව උපදනා සේ මිළිඳු නම් යොන් රජ ව උපන්හ. ප්‍රාර්ථනා බලයෙන් විදුරු සමාන නුවණැත්තෝය. එසේ හෙයින් බඩු මිල ඇත්තවුන් බොහෝ වස්තු හැර ගන්නා සේ බොහෝ ශාස්ත්‍ර සකසා උගත් හ. ඒ උගත් ශාස්ත්‍රත් ගණිත ගාන්ධර්වාදී වසයෙන් එකුන් විස්සෙක. රජ සම්පතින් ඉතා ආඪ්‍යයෝ ය. තෙජසින් - නුවණින් – බලයෙන් – රූපශෝභාදියෙන් මුළු දඹදිව අනික් රජ්ජුරු කෙනෙක් සරි වන්නෝ නැත.
එක් දවසක් ඒ මිළිඳු රජ්ජුරුවෝ යුද්ධයෙක් පැමිණියේ වී නමුත් රෑස් පිරිස තරම දත මනා වේ දැ යි රැස් පිරිස් දක්නා නිසා මහත් වූ රජ පෙරහරින් අසුර මථනයට නික්මුණු දෙව් පිරිසක් සේ යහපත්ව සැරහුණු සියුරඟ සෙනඟ පිරිවරා තව්තිසා දෙව් නුවරට අපහාස කරන්නාක් වැනි වූ නුවරින් පිටත් ව පිටි නුවර දී සේනාව පුඬු ගස්වා[2] සේනාවේ පමණ දැන තමන් ගොෂ්ඨි කිරීමෙහි ලොල් බැවින් හිර තුබූ තැන් බලා පියා ‘තව හිර නැතක් තැන සිටියේ ය. එ සේ හෙයින් තව නුවරට යන්ට වේලා ඇත. දැන් ම නුවරට ගොසින් කුමක් කරමෝ ද? අප හා කථා කරන්ට තරම් වූ නුවණැති කෙනකුන් ගේ ස්වරූප ඇමැත්තන් අතින් විචාරා උන් කරා ගොසින් කථා කරම්හ’යි සිතා තමන් හා සම තර්‍ක ලෙසින් කථා කරන්නට නිසි කෙනකුන් ඇමැත්තන් අතින් විචාළෝ ය. එසේ විචාළ රජ්ජුරුවන්ට ඇමැත්තෝ සිංහයන් ස්වරූප විචාළ කෙනකුන්ට තිරිසන් යෝනින් හා සිව් පා ලෙසින් සරි කොට සිතා ගෙන කැණහිලුන්ගේ[3] ස්වරූප කියන්නවුන් මෙන් පන්සියයක් පමණ යොන් ඇමැත්තෝ තමන් හැම තකා ගත් පමණකින් මිනිස් කොට සිතා ගෙන “රජ්ජුරුවන් වහන්ස, බුද්ධ කාලයෙහි වූ පූරණකාශ්‍යපාදී වූ ශාස්තෲන්ගේ පරම්පරායෙහි වූ පූරණකාශ්‍යප ය. මක්ඛලීගො සාල ය, නිගණ්ඨනාථ පුත්‍ර ය, සඤ්ජය බෙලට්ඨ ය, අජිතකෙශකම්බලී ය. කකුධකාත්‍යායන ය යන මේ නමින් ප්‍රසිද්ධ වූ බොහෝ පිරිවර ඇති උපදනා දවස් යම් ලෙසකින් උපන්නු නම් එ ලෙස ම ඇවිදිනා වූ සදෙනෙක් ඇත. උන් කරා ගොසින් තර්‍ක කොට වදාළ මැනව, ඔවුහු නුඹ වහන්සේ ගේ සැකයෙක් ඇත්නම් තමන් ගේ ශාස්තෘ පරම්පරාවෙන් දන්නා වූ තර්‍ක හෙයින් ඒ සැකය හරවා ලති’ කිවු ය.
ඒ අසා මිළිඳු රජ්ජුරුවෝ පන්සියයක් පමණ යොන් ඇමැත්තන් පිරිවරා විජයත් රථයට අපහාස කරන්නාක් වැනි වූ සුදු අසුන් යොදන ලද රථයට නැඟී නඳුනුයනට නික්මුණා වූ ශක්‍ර දෙවෙන්ද්‍ර ලීලාවෙන් එකකු ගේ එකකුට නායක කමක් නැතත් නම් පමණකුත් පෙරාතු[4] හෙයින් පූරණ කාශ්‍යපයන් කරා ගොසින් පාපයෙහි භය ලජ්ජාවක් නැති නියාව මෙලෙසින් දනුව’යි දක්වන්නාක් මෙන්, පිළි නො හැඳ හුන්නාහු දැකැ නුවණැති රජ්ජුරුවන් හෙයින් හන් පිළියක් නැත්තා සේ ම සන්තානයෙහි ගුණ නැති නියාව දැන නො වැඳ ‘ගුණ නැතත් නුවණ ඇති වැ විචාරා ලූ දෙයට නිසි කොට කථා කොට ලත් නම් ඉන් ප්‍රයෝජන නම් දසවෙයියා[5] හා කුඩු හැර සාල් පමණක් සේ අපට ප්‍රයෝජන නම් කථා සාර ම ය’යි කථායෙහි ප්‍රයෝජන පමණක් සලකා කන්ට එන බල්ලන්ට අසුරු ගසා සාද කරවන්නා සේ, සාද සාමීචි ලෙස කථා කොට ලා එකත් පස් ව හුන්හ. එකත් පස් ව හුන් රජ්ජුරුවෝ කථාවට ලබ්බවා ගෙන ‘පිරුණු කසුප් වහන්ස, මේ ලොව රක්නා කවුරු දැ’යි විචාළෝ ය. ඒ අසා ගුණෙන් නො පිරුණත් නම් පමණකින් පිරුණු කසුප්පු තමන් ගේ මතයෙහි එ සේ වූ ව්‍යාපාරයක් නැති හෙයින් දෝ හෝ නොහොත් විචාළ බසට පැකිළ පියා හුන් කල තැකිවිල්ල[6] අඩුවන්නේ වේ දැ යි සිතා ‘මහරජ, මෙ ලොව අනික් කවුරු රකිත් ද? ලොව රක්නේ පොළොව ය’යි කීහ.
රජ්ජුරුවෝ ඒ අසා ‘ඉදින් වහන්ස, පොළොව ලෝ වැස්සන් රකී නම් නරක ය නම් පොළොව යට වුව, ඊ උපදින්නෝ පොළොව ඉක්ම ගෙන කෙසේ ඊ උපදිත් ද? මධ්‍යයේ අවුරා සිටි පොළොව තමා පැන ගෙන යන නියා පෙනෙත් සැපයක් විඳිනට යන ගමනෙක් වී නම් බාධා නො කරවතත් දුක් විඳිනට යන ගමන් හෙයින් නො නවතා ඉවතකින් යන ගමනකුත් නො ව. තමා පැනගෙන යන කල ලොව රක්නට නියලී හිඳිනා කල, පුතකු වළෙක හෙන නියා ව බල බලා ඔසවා නො ගෙන සිටිනා මවක මෙන් නරකයට යන නියා ව බල බලා සිටිනට ම කාරණ කවරේ ද? තමා ගේ දරු කෙනෙකුන් නො වන හෙයිනැ යි කිය තත් සියලු පොළොව සියලු ලෝ වැස්සන්ට පිහිට වන නියාවක් මුත් ලෝ වැස්සන් ගෙන් භාගයකට පොළොවින් භාගයක් පිහිට වෙති යන්නක්, වහන්ස, මුඹ ගේ බසින් නො හැඟෙන හෙයින් විචාළ බසට මුඛාපන්න ලෙස කියා ලූ පමණක් මුත් යුක්තියක් නො වත් පිළි නො හැඳීමේ නපුර නො දන්නා සේ ලොව රක්න වුනුත් නොදැන මේ කිවුද? පිළි නොහඳනෝ නම් බාල දරුවෝ ය. වයස් කුමක් වුවත් තරම එ තරමට ම ඇතැ’යි රජ්ජුරුවෝ නිරායුධ වත් සපන් ව සටනට ගිය කෙනෙකුන් නො සපන් එකකු අත වූ ආයුධය උදුරා ගෙන ඌ ම මැරුවා සේ, ඌ කී බස ම හැර ගෙන ඌට උත්තර කියා ඌ බස්වා ලූ ය.
පූරණකාශ්‍යපයෝ ද කියා ලූ දෙය සාධාලිය නො හෙන හෙයින් ගැල පියත් නො හී අනික් උත්තරයක් කියාලන්ට නැති හෙයින් වමාරා පියත් නොහී ගැල ගත වමාරා ගත නො හෙන හෙයින් ගෙලෙයි ගෙන පියා කියා ලිය හැකි උත්තරයත් නැති හෙයින් මුසුප්පුව පියා, බත් කන තැන බලා හිඳත් උළක් පමණක් නො ලත් බල්ලකු පරිද්දෙන් හුන්නේ ය. ඉක්බිති මිළිඳු රජ්ජුරුවෝ පූරණකාශ්‍යපයන් බත කාලි ය හෙන්නා සේ. උත්තර කියා ලිය නො හෙන හෙයින් සෙස්සවුන් ගේ ශක්තියත් ඵ තරම් නියාව දනිතත් ‘සෙස්සවුන් ගෙනුත් විචාරා ම බිඩලු ගළව ලා කෙහෙල් ගස්වල හර නැති නියාව දන්නා සේ නුවණ හරක් නැති නියාව දනිමි’යි සිතා මක්ඛලි ගෝසාලයන්ට ‘මක්කලි ගෝසාල වහන්ස, පින්-පව් දෙකෙක් ඇද්ද? පිනෙහි යහපත් විපාක ය හා පවෙහි නපුරු විපාකත් ඇද්දැ’යි විචාළෝ ය. මක්ඛලි ගෝසාලයෝ ද උමංදායෙහි දික්පිටියා දික්තල ගේ දෙමවුපියන් ගේ නමුත් දික්තල දික්පිටියා ගේ දෙ මවුපියන් ගේ නමුත් විචාරා දන්ට නුවූ හෙයින් නො දත්තා සේ තමා පින්-පව් කවරේ බවත් පරමාර්ථයේ නො හසල හෙයින් නො දන්නා හෙයිනුත් නැවත දික්පිටියා දික්තල ගේ නමුත් දික්තල දික්පිටියා ගේ නමුත් නො දත්තා සේ තමාත් තමා කවුරුන් බවත් නො දන්නා හෙයිනුත් ඒ දැන් ම නම් රූ පමණක් වුවත් පරමාර්ථ දන්නවුන්ට මුත් සෙස්සන්ට අවිෂය හෙයිනුත් විචාළ රජ්ජුරුවන්ට අඹ විචාළවුන්ට දෙල් කියන්නා සේ කිවමනා ලෙස හැර අනික් ලෙසක් කියන්නෝ ‘මහ රජ’ කුසල්-අකුසල් දෙක නැත. බිජුවට තමා ම නැති කලට නැඟෙන පැළ නැත්තා සේ කුසල්-අකුසල් තමාම නැති හෙයින් ඊ විපාකත් නැත. දානාදී වූ පින් කමැ යි යන දෙය නුවණ නැත්තවුන් කියා ගත් දෙයෙක. නුවණැත්තෝ ඒ කටයුත්තක් කොට නො කියති. කුසල්-අකුසල් නැති නියා වටත් ඊට විපාක නැති නියාවටත් දෘෂ්ටාන්තයක් කියම්හ.
දැන් රජ කම් කළ කෙනෙක් ඇත් නම් තමන්ට ම නියම ව තිබී ආ හෙයින් පර ලොව දීත් රජ කම් කෙරෙති. ඒ උන්ට ස්වභාව සිද්ධ ය. දැන් බ්‍රාහ්මණ වූ කෙනෙක් ඇත් නම් උන්ට ම ඒ නියම හෙයින් පර ලොව දී ත් බ්‍රාහ්මණ වෙති. දැන් ව්‍යාපාරයෝ හැම දවස් ම තමන්ට නියම දෙයක් හෙයින් පරලොව දීත් ව්‍යාපාර වෙති. දැන් ගොවි ව උපන් කෙනෙක් ගොවි කර්‍මාන්ත හැම කල ම තමන්ට තිබී ආ හෙයින් පරලොව දීත් ගොවි වෙති. දැන් හීන ජාති ඇති කෙනෙක් ශුද්‍ධයන් අශුද්‍ධ වීමටත් අශුද්ධයන් ශුද්‍ධවීමටත්, යුක්ති නැති හෙයින් පර ලොව දීත් ඔහු ම හීන ජාති ඇති වෙති. කුසල් අකුසල් හා ඊ විපාක ඇත් නම් අකුසල් කළ රජ දරුවන් ඒ අකුසලින් හීන ව උපන මැනව. හීන ව සිටියවුන් පින් කළ කල ඒ පින් කමින් උතුම්ව උපන මැනව. එ සේ නොව රජ-බමුණු ආදී ඒ ඒ ලෙසින් මෙ ලොව ත් පරලොවත් වන්නේ ස්වභාව සිද්ධ හෙයින. පිනින් පවින් වන දෙයෙක් නො වෙයි. කාරණ කියා ලා ම කියම්හ. කිණිහිරි මල් රන්වන් වූයේ කවර පිනකින්ද? යට රන්වන් මල් පිදූ නියා ද? කසා මල් කළු වූයේ කවර පවකින් ද? ස්වභාව සිද්ධ හෙයිනි. එ සේ ම දැනු ත් ලෝක ස්වභාව ලෙසින් පවත්නා බව මුත් කුසලින් හා අකුසලින් වන දෙයෙක් නො වෙයි. කැණවිල් බල්ලන් සිංහ නාද කරන්ට සිතා ත් කැණවිල් හඬම හඬන්නා සේ උත්තර කියන්ට සිතාත් නිකම් නිෂ්ප්‍රයෝජන කථා ම කීහ.
ඒ අසා රජ්ජුරුවෝ මක්ඛලි ගෝසාලයන් ‘ඉදින්, වහන්ස, රජ-බමුණු ආදිව උන්නෝ පෙරළාත් එ සේම වෙත් නම් දැන් මේ ලොව අත් කොට කෙනෙක් පර ලොව දීත් අත් වෙති. මෙ ලොව පා කොට කෙනෙක් පර ලොව දීත් පා කොට වෙති. මෙ ලොව නාසා කොට්ටු පර ලොවත් නසා කොට්ටු වෙති. පර ලොව නමුත් මිනිස් ලොවින්ම කැබෙල්ලෙක් වෙයි. දෙව් ලොව බඹ ලොවත් පර ලොව ම ය. එ සේ වන්නා, වහන්ස, මුඹ ගේ බසින් දෙව් ලොවත් බඹ ලොවත් අත් පා කොටුන් හා කන් නාසා කොටුන් හා ඇත මැනවැ’යි කිවු ය. ඒ අසා මක්ඛලිගොසාලයෝ කියා ලිය හැකි උත්තරයක් නැති වන්නා නිරර්‍ථක කථා කී පවින් ගොළු වූවා සේ මුයෙන් බැණ නො නැගුණාහු ය. ඉක්බිත්තෙන් මිළිඳු රජ්ජුරුවන්ට මෙ සේ අදහසෙක් වි ය. අනේ මේ දඹදිව සිස් නියා ය. මා හා කැටි ව කථා කොට මා විචාළ දෙය සැක හැර කියා ලන කෙනෙකුන් තව ලද නුහුණු යෙමි’යි සිතූහ. එ සේ සිතා ලා මිළිඳු රජ්ජුරුවෝ ඇමැත්තන් බණවා ලා ‘තොප හැම ගේ බසින් තර්‍ක කථා කරන්ට ගොසිනුත්, වෙළඳාමේ ගොසින් සිස් ව නැඟී ආ කලක් මෙන් ලැබ ගත් කථා සාරයෙක් නැත. අද රාත්‍රිය අන්ධකාර දෝෂ රහිත වීමෙන් ඉතා යහපත. මෙසේ වූ රාත්‍රියෙහි කවර නම් නුවණැති මහණ - බමුණු කෙනෙකුන් කරා ගොසින් කර්‍ණ රසායන වූ කථාවක් ලබමෝ දෝ කවර නම් කෙනෙක් තර්‍ක වශයෙන් අප විචාළ දෙයක් කියා ලද්දැ’යි විචාළෝ ය.
ඒ අසා යොන් ඇමැත්තෝ පූරණ කාශ්‍යපාදීන් හැර අනික් කෙනෙකුන් හා තමන් නුපුරුදු හෙයින් හෝ පුරුද්දවුන් ඇතත් උන් හැම ගේ ත් කථා ශක්තිය ආඥා සම්පන්න රජ්ජුරුවන් දුටු කලට මෙ තෙක් ම වේ දැ යි සිතා මුයෙන් නො බැණ කන් ඇසී ත් බස් ගොළුවනට යමක් කියා ලූ කල මූණ බලන්නා සේ රජ්ජුරුවන් ම මූණ බල බලා සිටියහ. එ කල සාගල නුවර ද රජ්ජුරුවන් තර්‍ක කෙරෙතී’ යන භයින් නුවණැත්තන් දුර නැගී යාමෙන් බොල් විනා වියක්[7] නැති කළවිටක් මෙන් නුවණැත්තන් ගෙන් සිස් වි ය. නැගී පලා යා හැකි තැන් නැති හෙයින් රඳා ගිය කෙනෙක් කථාවට එලෙන්ට නිසි කථා නො කෙරෙති. වහන්දෑ බොහෝ සේ හිමවු පියසට වඩනා සේක. එ කල්හි හිමවත රත්ගල් තලාවේ[8] කෙළ සියක්[9] පමණ රහතන් වහන්සේ වසන සේක. එ සේ වසන රහතන් වහන්සේ ගෙන් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ, ‘මා හා කැටිව කථා කරන්ට නිසි මහණ බමුණු කෙනෙක් ඇත් නම් කියව’යි යොන් ඇමැත්තන්ට කී කථාව දිව කනින් අසා වදාරා සත් කුල[10] පව්වෙන් යුගඳුරු මුදුනට කෙළ සියයක් පමණ රහතන් වහන්සේ රැස් කරවා ලා ‘මිළිඳු රජ්ජුරුවන් කියන්නේ මෙ ලෙසක. උන් හා කැටි ව තර්‍ක කථා කරන්ට ශක්ති ඇති තැන් ඇද්දැ’යි විචාළ සේක.
එ සේ විචාළ බසට එක නමකුත් බැණ නො නැගි සේක. දෙවෙනි ව තුන්වෙනි ව විචාළ ත් අශක්ති හෙයින් ම බැණ නො නැගි සේක. බැණ නො නැඟෙන්නා අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා වහන්සේට වදාරණ සේක් ‘තමන් හැම දෙනා බැණ නොනැගෙන බැවින් මෙ සේ ම තුබූ කලට පස්වා දහසින් පන් සියයක් හවුරුදු පමණ ගිය කල ශාසන බල ය මෙ තරම් වූ කලට හවුරුදු ඒ දෙදහසත් ගිය කල කවර තරම් ද? මෙ තැන දී රහතන් ගෙන් ම කෙළ සියයක් විතර ඇති කලට ශාසන බලය ත් පෙනුණ නොවේ ද? ඒ නියාවට තවුතිසා දෙව් ලොව විජයොත් පායට නැගෙන හිර කෙතුමති නම් විමනෙක් ඇත. ඊ මහසෙන නම් දෙව් පුත්හු වෙසෙති. ඌ මිළිඳු රජ්ජුරුවන් හා සීන් හුයකින් සීන් හූ ගළතන කලක් පරිද්දෙන් සාම්‍යොපමා වෙන් සිත් ගෙන කථා කොට ලිය හෙති’ වදාළ සේක.
ඒ අසා කෙළ සියයක් පමණ රහතන් වහන්සේ යුගඳුරු පව්වේ දී අතුරුදහන් වූ සේක් තවුතිසා දෙව් ලොව පහළ වූ සේක. එ කල සක් දෙවිඳු ද වඩනා රහතන් වහන්සේ දුර දී ම දැක පහන් සිත් ඇති ව ප්‍රධාන ව වඩනා අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ කරා ගොසින් වැඳ ලා එකත් පස් ව සිටිය හ. සිට ත් ‘මෙ තෙක් දෙනා වහන්සේ අරුමයක් සේ දෙව් ලොවට වැඩි හෙයින් නො කරුණෙක නොවඩනා සේක. එක් තරා කට යුත්තෙකැ’යි සලකා අස්සගුත්ත මහ තෙරුන් වහන්සේට ‘ස්වාමීනි, කවර ප්‍රයෝජනයක් නිසා වැඩි නියා ද? වදාළො ත් යහපතැ’යි කිවු ය. අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ද එ සේ විචාළ ශක්‍රයන්ට සිතා වදාරණ ශාසනොපකාරයට දෙවතාවනුභාවය ත් ඇති වන පිණිස ‘හෙම්බා ශක්‍රයෙනි, තොපි නො විචාළ ත් කියන්ට ම සිතා ආ ගමනේ විචාළ බැවින් කිව මනා වේ ද? තෙපි තොප ගේ දිව ඉසුරු නිසා නොදතු නමුත් මෙ වක දඹදිව සාගල නුවර මිළිඳු නම් යොන් රජ්ජුරු කෙනෙක් තර්‍කවාදී ව වහන්දෑ කරා අවුත් වාද ලෙසින් කථා කොට බොහෝ පීඩා කෙරෙති. උන් හා කථා කරන්ට නිසි කෙනෙක් මිනිස් ලොව නැත. දැමුවා කසළ බව මුත් උන්ට සම්භ වූ නුවණ නිකසළ ය. එ වක තේජස් නැති ව කසළ දැමුව ත් දැන් අනුන් ගේ නුවණ බැවුම් හරවන ලෙසට තේජස් ඇත්තෝ ය. උන් හා කථා කරන්ට තරම් කෙනේක් දෙව් ලොව ඇත් නම් විමසා කියව’යි ශක්‍රයන් ලවා ත් එවා ගන්නා පිණිස වදාළ සේක.
ඒ අසා සක් දෙවිඳු “ස්වාමීනි, ඒ මිළිඳු රජ්ජුරුවෝ නමුත් ඔබ්බකින් මිනිස් ලොවට ගිය කෙනෙක් නොවෙති. මෙම දෙව් ලොවින් මිනිස් ලොව උපන්හ. තෙල පෙනෙන කේතුමතී නම් විමන වසන මහාසෙන නම් දෙව්පුත් මල්ලව පොරට මල්ලවයන් ම තරම් වන්නා සේ, යකඩ මොළොක් වන්ට ගිනි ම තරම් වන්නා සේ මිළිඳු රජ්ජුරුවන් හා කථාවට තරම. මිනිස් ලොව ඉපැද උන් හා තර්‍ක වාද කරන්ට යාච්ඤා කරම්හ’යි කිවු ය. ඉක්බිත්තෙන් එ සේ කී සක් දෙවිඳුන් හැර ගෙන කෙළ සියයක් පමණ රහතන් වහන්සේ යම් සේ බුදුන් පිරිනිවි හවුරුදු සියයක් ගිය කල විසල් මහ නුවර අලදිවැදි[11] මහණුන් දස දහසක් දෙනා නො දහම් දහම් කොට ගෙන වත් දසයක් පහළ කිරීමෙන් සසුන් මහ විල්හි සදහම් නමැති පැන් නසා අධර්‍ම නමැති වස ලන නියාව දැක යස මහ තෙරුන් වහන්සේ ප්‍රධාන සඞ්ඝයා වහන්සේ කාලාශෝක රජ්ජුරුවන් ගෙන් බල ලදින් වාලුකාරාමයෙහි වැඩ හිඳ පස්වා දහස් මුළුල්ලෙහි ධර්‍මය පවත්නා ලෙසට:
“එත්තාවතා දසසහස්සසු පාප භික්ඛු
නිද්ධූය ධූත දසවත්ථුමලා අකංසු,
යං තෙ සුනිම්මල යසෙන යසෙන සද්ධිං
සංගීතිමුජ්ඣිතමලා අපි දස්සිතා සා”
යනු හෙයින් පවිටු මහණුන් නෙරැ දෙවන දම් සඟා කොට ලා ‘මේ අප කළ ශාසන කාරියට මත්තෙහි වන උවදුරු ඇද්දෝ හෝ’යි දිවසින් බලා බින්‍දුසාර රජ්ජුරුවන් ගේ පුත් ධම්සෝ රජුන් සමයෙහි සැට දහසක් පමණ තීර්‍ථකයන් සිංහ සම් පෙරවි කැනවිලුන්ට[12] සිංහ තරම් නැත්තා සේ යහපත් තරම් නැත ත් ලාභ ය නිසා සසුන් වැද මහණ ව මැණික් තිබිය දී කිරිවාණ පොඩි ගන්නා සේ, තම තමන් ගේ ම ලබ්ධි ම පිරිමැසීමෙන් කරන ශාසන විලොප ය දැක එ කල්හි ඒ උපදනා අර්බුද ය සන්සිඳුවාලන්ට නිසි කෙනකුන් මිනිස් ලොවත් සදෙව් ලො ත් නැති නියාව දැන බඹ ලොව බලා තිස්ස නම් මහ බඹාණන් තුන් වන දහම් සඟා කොට මධ්‍ය දෙශයෙහි තබා පසල් දනවුවලත් ශාසන ය පිහිටුවා ලන්ට බල ඇති නියාව දැන දෙ වන ධම්සඟා කළ වහන්දෑ බඹ ලොවට වැඩි සේක් ද, එ පරිද්දෙන්ම කේතුමතී විමනට වැඩ පළමු සක් දෙවිඳු ලවා මිනිස් ලොව සිපදනට පැරැත්ත ගැන්වූ සේක. ඒ අසා මහාසෙන දෙව් පුත් අරුම නො දත් දෙයෙක ඇල්ම නැත්තා සේ ප්‍රයෝජන නොදත් බැවින් ශක්‍රයන්ගේ පැරැත්ත පමණකින් මිනිස් ලොව උපදනට මැළිවූ ය. මැළිවූ නියාව ත් දැන අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ‘නිදුකාණෙනි, මැළි නො වව. තොප නිසා බලවත් ශාසනෝපකාරයෙක් ඇත. අපි ත් වැළිත් මුළු ලොව බලා ඒ ශාසන සංග්‍රහයට තොප තරම් නියාව දුටුම්හ. එ සේ හෙයින් මෙතෙක් රහතන් ගේ ආරාධනාවෙන් දෙවි – බඹුන්ගේ අයදමෙන් බෝසත් කෙණකුන් මිනිස් ලොව ඉපැද සත්‍වොපකාරය කරන්නා සේ කෘත පුණ්‍ය හෙයින් මෙ තැන්හී රඳා කරණ භවක්‍ෂයෙක් ඇත් නමුත් එයි ත් ඔබ දී ම කරන ලෙසට මිළිඳු රජ්ජුරුවන් තර්ක වාද කිරීමෙන් භික්ෂු සඞ්ඝයා වහන්සේට කරණ පීඩාව සන්හිඳුවන පිණිසත් මිනිස් ලොව උපදුව’යි හැම තැන් ගේ අදහස් ගෙන ආරාධනා කළ සේක.
එ කල්හි මහාසෙන නම් දෙව් පුත්හු “මම වැළි ත් මිළිඳු රජ්ජුරුවන් හා තර්‍ක වාද කොට උන් පරදවා පිය හෙම් ල. මා නිසා සසුන් මහ විල සදහම් පැන් ලැබීම කසළින් නිකසළ වේල. ශාසන සංග්‍රහ බලවත් කොට කට හෙම් ල”යි සතුටු ව අප නිසා සසුන් වැඩක් වන කල ඒ මුල් ව මිනිස් ලොව උපදිමි යි රහතන් වහන්සේ කළ ආරාධනා ගිවිස්සෝ ය. ඒ රහතන් වහන්සේ ද, මහාසෙන දෙවි පුත් මිනිස් ලොව උපදනා ලෙසට ගිවිස්වා ගෙන දෙව් ලොවින් අවුත් හිමවත රක්ගල්තලාවට වැඩි සේක. එ සේ වැඩ අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ බණවා ලා ‘ඇවැත්නි, මේ සඟ රැසැ අප ගේ මේ සසුන් පිළිබඳ කටයුත්තට මුසු නුවූ කෙනෙක් ඇද්දැ’යි විචාරා රෝහණ මහ තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වන් හෙයින් මුසු නුවූ නියාව අසා සඟව හිඳ ඔබ කැඳවා යවු සේක. උන් වහන්සේ ද නිරෝධයෙන් නැගීමට එයි ත් එක් කාරණයක් හෙයින් සති ය ඉකුත් නුවූ වත් නිරෝධයෙන් නැගී රක්ගලතලා වැඩි සේක. වැඩියා වූ රෝහණ මහ තෙරුන්වහන්සේට අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, මිළිඳු රජ්ජුරුවන් හා තර්‍ක ලෙසින් කථා කොට හෙන තෙනක් නැති ව බුදු සස්න පසු බසිමින් සිටි නියාව නො පෙනේ ද. මේ තමා උදාසීන වුව මනා කලෙක්ද? ශාසනයට පිටිවහල් වුව මනා වේ මනා වේ දැ’යි වදාළ සේක.
ඒ අසා රෝහණ මහ තෙරුන් වහන්සේ “දෙව් ලෝ වඩනා ගමනට සහාය වන්ට නුහුණු වූයේ ය[13]. ඉනිබ්බ අප විසින් කළ මනා කිම් දැ’යි විචාළ සේක. ‘ඇවැත්නි, එ සේ නිරෝධයට සමවදනට පෙරාතුව ම සස්න පසු බස්නා නියාව අප හැම දක්නා පසු නුදුටුවා නොව ත් වූවා දැක දැක ත් උදාසීන වූවාට දඬුවම් කළ මැනවැ’යි වදාළ සේක. වදාරා ලා ‛කවර දඬුවමෙක් දැ’යි විචාළකල්හි ‘ඇවැත්නි, සෙසු දඬුවමෙක් නො වෙයි. හිමාල ආසන්නයෙහි කජඞ්ගල නම් බමුණු ගමෙක් ඇත. ඒ ගම උභයකුල පරිශුද්ධ වූ බමුණාන කෙනෙක් වෙසෙති. උන්ට පුතණු කෙනෙක් ඇති ව නාගසේන කුමාරයෝ යැ යි ප්‍රසිද්ධ වෙති. තෙපි ඇවැත්නි, සත් හවුරුදු දස මසක් ම ලබන කිසිවක් ඇත ත් නැත ත් සිඟා උන් ගේ ගෙට යව. සිඟා ඇවිදීමෙන් හත් හවුරුදු දස මස ගිය කලට ඒ නාගසේන කුමාරයන් තොප කරා හැර ගෙන මහණ කළා නම් මුන් නිසා වන ශාසනෝපකාරයට තොප මුල් හෙයින් ඒ දඬුවමින් මිදෙව’යි දඬුවම් පිට තබා මහණ කරවන්ට විධාන කළ සේක. මුසුන් දණ්ඩෙන් ලූ පහර ත් දණ්ඩ කර්‍මයක් මහෙයින් තදනුරූප කොට වදාළ සේ තුබූයේ ය. ඔබ ද ඒ අසා යහපතැ යි ගිවිස ආදි සුමු ව ගත නුහුණත් ඊටත් වඩා පසු ව මුහු වූ සේක.
මහාසේන නම් දෙව් පුත්හු[14] ද දෙව්ලොවින් චුත ව සොණුත්තර නම් බමුණානන් නිසා උන් ගේ බැමිණියන් කුස උපන් හ. උපන් ඇසිල්ලෙහි තේජස් ඇති වීමට කාරණා ව ඒ ගම ආයුධ මුළුල්ල දිළිහී ගියේ ය. නුවණට පළමු වීමට කාරණා ව අග’ස් බතුත් ඇති වී ය. පීඩා නමැති ගිම් නිවීමට කාරණාව මහන් වැස්සකු ත් වට.
රෝහණ මහ තෙරුන් වහන්සේ ද ඒ මහාසේන දෙවි පුතුන් මවු කුස පිළිසිඳ ගත් දවස පටන් පුරා සත් හවුරුදු දස මසක් ඒ ගෙට සිඟා වැඩ බත් සැන්දක් වේවා යි හුළුකැන් සරළුවක්[15] වේව යි නොලත් සේක. ඔබ්බේ තුබූ බත් තබා මුබ්බේ තුබූ වැඳීම් පිදීම් පමණකුත් ලබන්නට නැත. එ සේ කල සිඟා ගොසින් ලබන්නේ කිම්දැ’යි යත හොත් දෙඩීම් බිණීම් පමණෙක. මෙ ලෙසින් සත් හවුරුදු දස මස ගොසින් නාගසේන කුමාරයන් මහණ වන වයසට පැමිණි කල්හි එක් දවසක් රෝහණ මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි ගමනෙහි “අරුණු”ය යි යන බස් පමණක් ලදින් ඔබ්බේ ගෙවලට සිඟා වඩනා සේක. ඒ ගෙයි බමුණානෝ ත් පෙර මග එන තැනැත්තෝ මහ තෙරුන් වහන්සේ දැක ‘කිමෙක් ද පින්වත් වූ මහණ, අප ගේ ගෙට ත් සිඟා ගියෙහි දැ’යි විචාරා ‘එ සේ ය, ගියම්හ’යි වදාළ කල්හි ලත් කිසිවක් ඇද්දැ’යි විචාළහ. බත් කුම් වුව ත් බස් පමණක් සඳහා ‘එසේ ය, ලදුම්හ’යි වදාළ සේක. ඌ තුමූ තමන් සැදෑ ගුණයක් නැති හෙයින් බලවත් හානියකට පැමිණියා සේ මුසුප්පු ව ගෙන ගෙට ගොසින් මේ ‘අප ගේ ගෙට සිඟා ආ මහණාට දුන්නේ ඇද්දැ’යි විචාරා ‘නැතැ’යි යනු අසා ‘එ සේ වී නම් කිසිවක් නො ලත් විරූ හෙයින් රැහැණි ව නැත්තක් කී නියා වේද? බොරුවෙන් හසු කෙරෙමි’ දෙ වන දවස් බෑරකට නො ගොසින් ගෙයි ම රඳා හුන්හ.
මහ තෙරුන් වහන්සේ ද ඒ ගෙට සිඟා ගොසින් ලද මනා අරුණු පමණක් ම නොවන හෙයින් තව ත් ලද මනා දෙයක් ම ඇති වන්නා දෙ වන දවස් ඒ ගෙට ම සිඟා වැඩි සේක. බමුණානෝ මහ තෙරුන් වහන්සේ දැක “ඊයේ දවස් අප ගේ ගෙන් කිසිවකු ත් නො ලදින් ‘ලදුම්හ’යි කියා බොරු කීවා ද? ඒ බොරු කීම යහපත්දැ’යි විචාළහ. එ සේ විචාළ බමුණානන්ට ‘හෙම්බා බමුණානෙනි, මෙ තෙක් කල් මුළුල්ලේ තොප ගේ ගෙන් බස් පමණකුත් නොලදින් ඊසේ දවස් ‘අරුණු’ යන බස් පමණක් ලදුම්හ. එ විතරකු ත් ලත් දේ[16] ලත් නියා වේදැ’යි සිතා ‘ලදුම්හ. බමුණානෙනි, කීම්හ’යි වදාළ සේක. එ බස් අසා බමුණානෝ ‘අනේ මූ මෙ විතරකුත් ලදුම්හ’යි කියන්නෝ මෙඝනාද පමණකින් දරු සම්පත් ලදින් කෙකින්නන් බලවත් ව සතුටු වන්නා සේ මෙ විතරකට සතුටු වූවාහු මේ ගෙන් කනබොන දෙයක් ලද්දු නම් බලවත් ව සතුටු වෙති’යි මහ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද තමන් අනුභව කරන්ට ඉදි කළ බතින් ම බත් සැන් දක් හා ඊට සෑහෙන තරමේ මාළුවකුත් තබා නිල කරවා ලා’තෙල හැම දවස් ම ලැබෙ’යි කි වු ය. මහ තෙරුන් වහන්සේ ද බත් සැන්ද පිට ලා කුමාරයන් මහණ වන වයස් පිරෙන තෙක් සිඟා ඒ ගෙට වඩනා සේක. බමුණානෝ ද එක්වන් වඩනා මහ තෙරුන් වහන්සේ ගේ සන් හුන් තරම දැක පාන් තුඩ ගෑ තෙල් පමණකින් බලවත් ව සතුටු වන්නා සේ තරව පැහැද, නිරන්තරයෙන් තමන්ගේ ගෙයි දීම වළඳන්නට ආරාධනා කොළෝ ය.
මහ තෙරුන් වහන්සේ ආරාධනා ඉවසා දවස්පතා අවුත් වළඳා ලා වඩනා කල වැළඳූ බතට දෙන මිලයක් පරිද්දෙන් යම් තම් බණකු ත් වදාරණ සේක. මේ ලෙස කරන කලට බැමිණියෝ ද මහ පිනැති පුතණු කෙණෙකුන් වැදූහ. උපන් කුමාරයන්ට නාගසේන නම් තුබූහ. නාගසේන කුමාරයෝ ද කලාවෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් වඩනෝ සත් හැවිරිදි වූහ. ඒ අවස්ථාවෙහි දී බමුණානෝ පුතණුවන් බණවා ලා ‘පුත නාගසේන කුමාරයෙනි, ශිල්ප උගැන්ම[17] නම් මේ අවස්ථාවෙහි මුත් මූකුරා ගිය කලට අනිකකට ම සිත යන හෙයින් ඉගෙන ගත නොහැක්ක. බමුණු කුලයෙහි උපන්නවුන් උගතමනා ශිල්ප උගනුව’යි කිවූය. කුමාරයෝ ත් ඒ අසා උගත මනා ශිල්ප කවරේ දැ යි විචාරා වේද තුන නම් අවශ්‍යයෙන් ම උගත මැනව. බත් කන්නවුන්ට මාළු ඇත මනාසේ ම සෙසු ශිල්පත් දත මැනැවැ’යි කී කල්හි ‘යහපත. ඉන් අඩුවක් පායිම් ද? උගනිමි’ කිවු ය. ඵ කල්හි සොණුත්තර නම් පිය බමුණානෝ ඇදුරු ව ශිල්ප උගන්වා ලන තරම් බමුණාන කෙනකුන් ගෙන්වා ගෙන ගුරු පූජා කොට උන්ට මසු දහසක් දෙවා ලා පිටතට යවා ශිල්ප ඉගැන්වීමට මැලි ව මාළිගාව ඇතුළේ ම එක් ගබඩාවෙක යානක් පනවා ලා ඇදුරු බමුණානන්ට ‘තෙල යානෙහි හිඳ ශිල්ප උගන්ව’යි කිවු ය.
එ සේ කී ඉක් බිත්තෙන් ඇදුරු බමුණානෝ නාගසේන කුමාරයන්ට වේද මන්ත්‍ර තමන් ගේ ශාස්ත්‍රයට මුල් ව තිබෙන හෙයින් ඒ උගන්ට කිය ලා කියති. නාගසේන කුමාරයෝ දෙවි ටක් නො කියවා එක විට කියවා ලූගමනින් මඅනඳ මහතෙරුන් වහන්සේ එක ශ්‍රැතීන් ගාථා පසළොස් දහසක් උගත්තා සේ ම අථර්‍වන වෙදය හා සමග වේ ද සතර ත් නිඝණ්ටු කෙටුභාදී වූ සෙසු ශාස්ත්‍රත් කසුප් බුදුන් සමයෙහි හමඳනා මළුව කසළ ත් නොතබා හැමැන්දා සේ උගන්නා ශිල්පයක් සැකයක් නො තබා දිවග ලෙළෙන පරිද්දෙන් කසළ දමන්ට දෙතුන් විටක් කී බව මුත් මේ එ සේ නොකොට එක විටින් මලක්‍ෂ ගණන් ග්‍රන්ථ ජාත වනපොත් කළහ. එ සේ වනපොත් වූ පසු පියාණන් ළඟට ගොසින් මේ බමුණු කුලෙහි උපන්නවුන් උගත මනා ශිල්ප මෙ තෙක් ම ද? තව ත් ඇද්දැ’යි විචාරා අටුවෙක කොටුවෙක ලා ලූ දෙයක් කා නිමි කලට ඒ අටු-කොටුවේ තිබෙන දෙය එ තෙක් ම වන්නා සේ ඔබ්බේ පවත්නා ශිල්ප නො දැනෙන බැවින් ‘අප කෙරෙහි පවත්නා ශිල්ප මෙ තෙක් ම ය’යි කී කල්හි ශිල්ප ඉගැන් වූ ආචාරීන්ට උගත් ශිල්ප වනපොත් දී ලා මාළිගාවෙන් බැස පූර්ව ප්‍රාර්‍ථනා නැමැති අඞ්ගනාව ගේ කැණිය ලින් ඈට කිසිවක් දී පියන්ට උගත් ශිල්ප නැමැති ගෙය මුඵල්ල ප්‍රඥා නැමැති අඞ්ගනාව ලවා සමන්වා බලවා ත් ශිල්ප නැමැති ගෙය මුළුල්ලෙන් ප්‍රයෝජනවත් නො වන දෙයක් විනා ප්‍රයෝජනවත් කිසිවක් නොදැක පූර්‍ව ප්‍රාර්‍ථනා නමැති අඞ්ගනාව ත් සිත් ගත නොහී ‘මේ මා උගත් වේදාදී වූ ශිල්ප ජාත ය බොල් පරිද්දෙන් ඉතා සිස් ව, සිස් හැඳ පුටු සේ සාරයක් දක්නට නු වූ නිසා ය’යි තුමූ ත් නොසතුටු වූ හ.
එ කල්හි රෝහණ මහ තෙරුන් වහන්සේ වත්තනිය නම් සෙනස්නෙහි වැඩ හුන් සේක් කජඞ්ගල නම් බමුණු ගම හුන් නාගසේන කුමාරයන් ගේ නොසතුටු වූ සිතිවිල්ල තමන් වහන්සේගේ පරසිත් දන්නා නුවණින් දැනපා සිවුරු හැර ගෙන රඳා වැඩ හුන් වත්තනි ය නම් සෙනස්නෙන් නික්ම කජඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. නාගසේන කුමාරයෝ ද තමන්ගේ ගෙදොර දොරටුවේ සිටි තැනැත්තෝ වඩනා මහ තෙරුන් වහන්සේ දුර දී ම දැකහුන් තෙනට ගොසින් වුවත් මා උගත් ශිල්පයෙහි සාර විශේෂය විචාළමනා තැන සොයා යන බෙහෙද පෙරමඟ ම දුටුවා සේ සම්භ වූ නිසා යහපතැ’යි සතුටු ව පිපාසා බලවත් කෙනෙකුන් පැන් ගෙනෙන්නා දැක පෙර මඟට ම ගොසින් පැන් ඉල්වා බොන්නා සේ මහ තෙරුන් වහන්සේ කරා එළඹ ඒ ජාතියට තමන් මහණ රුවක් නුදුටු හෙයින් ‘මුසු ව සිවුරු පෙරවී තෙපි කවුරු දැ’යි විචාළෝ ය. විචාළ කුමාරයන්ට ‘අපි එක්තරා පැවිදි කෙණෙකුම් හ’යි වදාළ සේක. “පැවිදි වූ යේ කුමක් නිසා දැ”යි විචාළ කල්හි රාගාදී කෙළෙසුන් දුරු කරන්ට ය’යි වදාළ සේක. ඒ අසා කුමාරයෝ ඒ වන්නාට ය. තෙල හිස කේ සෙස්සන් ගේ හිස කේ සේ දික් නො වෙයි විචාළෝ ය. ඒ අසා මහ තෙරුන් වහන්සේ කපන හෙයිනැ යි යන මෙ විතරක් නො වදාරා මුන් අවුත් මහණ වන ලෙසට කථාව පැවතුව මනා කැලැ යි හිස කේ දෙ පෝයෙන් දෙ පෝයේ මසින් මස කපන හෙයින් දෑඟුල් විතරට දික් නො වෙයි කීවොත් මෙ පමණකින් ගිහි කම් කටුලේ ආයාසය ම දත නො හැක්ක. චිචාළ බසෙහි ම පිහිටා ගිහිකම් කටුලේ දුක් හඟවමි සිතා ‘හෙම්බා කුමාරයෙනි, මේ හිසකේ වඩා පිරී මසන්නවුන්ට අට්ටාල් සොළොසෙක් ඇත. ඒ සොළොස නම් කවරේ ද යත්? හිස කේ සිටුවන්නාහු මුර නො වරදවා සේධු ව මැනව. පැන් නො සිටුවා හිණිගැන්නුව මැනව. බඳිනට පෙරාතු හිස කේ තැනුව මැනව. තෙල් ගා පන්ති කළ මැනව. හිස සෝධා පී කලට මල් සෙව්ව මැනව. මිල දී වුව ත් සුවඳ සෙවුව මැනව. සුවඳ ගැල්වුව මැනව. පණා ගැසුව මැනව. අවුල් කඩා පීරුව මැනව. උකුණන් හැරවුව මැනව. නර පෙනෙන කලට කරුප්පු ලුව මැනව. හිස කේ වැගිරෙන නියාව දුටු කල මුසුප්පු වුව මැනව. මෙකී අට්ටාල් නිසා මෙ සේ කලට ඒ හැම නැති හෙයින් හිසකේ කපම්හ’යි වදාළ සේක.
ඒ අසා නාගසේන කුමාරයෝ ‘ඒ එසේමය. අපිත් ගිවිසුම්හ. හන් පෙරෙවි පිළි සෙස්සන් ගේ පිළි සේ නො වෙ නැ’යි විචාළෝ ය. ඔබත් ඒ අසා සිවුරු ඇවිටි කරවනු නිසා ‘එම්බා කුමාරයෙනි, මෙ පිළි නො කැපීම නිසා අගය ත් පිරි නොහී නො රැඳීම නිසා පැය ත් නො නැසීම සිටී. එ සේ කලට ලෝභ කටයුතු වස්තු හෙයින් සොරු ආදීන් ගෙන් උපද්‍රව මහත. නැවත නට කල ශෝක ත් උපද්දී. ඇපිල්වීම් ආදී වූ අට්ටාලු ත් ඇත. මේ සිවුරු කපා ගොතා කරන හෙයිනුත් අගයත් අඩු ව රැඳීමෙන් පැය ත් අඩුව තිබෙයි. එ හෙයින් ඊ ලෝභ කරන්නෝ නැත. අප ගේ පිළි වෙනස් වන්ට කාරණ මේ’යයි වදාළ සේක. ඒ අසා නාගසේන කුමාරයෝ හිස කෙසේ හා පිළියේ හා වෙනස දැක මා විවාළ කාරණා කියා ගිවිස්වා ලූ නියා යහපත. මේ කාරණා දන්නෙත් එක්තරා ශිල්පයකින් වේද? එසේ දන්නා ශිල්පයෙක් ඇත් නම් ඒ විචාරමි’යි සිතා දන්නා ශිල්පයෙක් ඇද්ද නැද්දැ’යි විචාළෝය. එසේ ය, කුමාරයෙනි, ශිල්ප දනුම්හ’යි වදාළ සේක. වදාර ලා මුන් තමනුත් ශිල්ප දන්නා හෙයින් සාමාන්‍ය කොට සිතා ආලය නො කෙරෙත් නමුත් ආලය උපදවනු පිණිස ‘හස්ත සාර ශිල්පයක් සේ බලවත් ව තිබෙන ශිල්ප ත් අපි දනුම්හ’යි වදාළ සේක. ඒ අසා නාගසේන කුමාරයෝ ඔබ දන්නා ශිල්ප ත් දන්නා කැමති ව ‘මිහිරිදෙයක් ලත් කල සඟවා තබා ගෙන කන්නෝ මසුරු කෙණෙක. පර වැඩ නො හැසිරෙන කෙණෙක. ත්‍යාගි කෙනෙක් අනුන්ටත් දෙති. එ සේ ම නුඹ වහන්සේ දන්නා බලවත් ශිල්ප අප ත් උගන්වාලන්ට පිළිවන් දැ’යි ශාස්ත්‍රලෝභි හෙයින් විචාළෝ ය.
ඒ අසා මහ තෙරුන් වහන්සේ ‘මුන් කළ ප්‍රාර්ථනාව කවර දෙයකු ත් උගන්ට අශක්ති ලෙසකට නොවත් බොධිසත්‍ව චරිතයක් සේ උදාරතර අදහස් ඇති හෙයින් නිසිවුව යි සිතා වදාරා යෙදුණු දඬුවමින් මිදෙන නිසා ත් ‘තෙපි උගනු නම් උගන්වන්ට පිළිවැනැ’යි වදාළ සේක. කුමාරයෝ ඒ අසා කවර ලෙසක සිටුවා කවර ලෙසකින් උගන්වන ශිල්පයක් බවක් නොදැන ‘යහපත, ඒ දන්නා ශිල්පය දුන මැනවැ’යි කිවු ය. සිඟා වඩනා වේලාව හෙයින් දැන් අවසර නැතැ’යි වදාළ සේක. ඒ අසා නාගසේන කුමාරයෝ ආරාධනා කොට පාත්‍ර ය හැරගෙන තමන් ගේ ගෙට වඩාගෙන ගොසින් සිය අතින් සකස් කොට වළඳවා ලා වළඳා අන්තයෙහි මෙ විට අවසර ඇත්තේ වේ දැ’යි ශිල්ප දෙවා වදාළ මැනවැ’යි කිවු ය. එ සේ වී නම් කුමාරයෙනි, මෙ ලෙසින් සිටියා වූ තොපට ශිල්ප උගන්වන්ට නොපිළිවන. දෙ මවු-පියන් අනුදන් වා ගෙන අවුත් අප සේ ම මහණ ව ගතු නම් උගන්වා ලම්හ’යි වදාළ සේක. නාගසේන කුමාරයෝ ද දෙමවු-පියන් කරා ගොසින් දෙ මවු-පියෙනි. මේ තපස්වියානෝ තමන් බලවත් ශාස්ත්‍රයක් දන්නා නියා ව කියා මා ඉල් වූ හෙයින් මහණ වුවහොත් මුත් දෙන්ට බැරිය යි කිවු ය.
මහණ නුවුවො ත් ශාස්ත්‍ර ය සම්භ වන්නට නැත. අරුම නො වන මහණක් නිසා අරුම වූ ශාස්ත්‍රය අපවත් කරන්ට ත් බැරි ය. මා මහණ ව ගෙන ශාස්ත්‍ර ය ඉගෙන ගන්නා ලෙසට අනුදත මැනවැ’යි කිවු ය. දෙ මවු-පියෝ ඒ අසා මූ තුමූ ත් ශාස්ත්‍රයෙහි නියම ය ත් අප අතින් චිචාළෝ ය, අප ගෙන් දත් නිහඬක් නැති බැවින් ඊ නිහඬතුත් මුන් දත මනා පසු ශාස්ත්‍ර ය ඉගෙන ලා සිවුරු හැර එත ත් බාධාවක් නැති පසු අනුදනුම්හ’යි සිතා ‘යහපත මහණ වව’යි විධාන කොළෝ ය. රෝහණ මහ තෙරුන් වහන්සේ ද නාගසේන කුමාරයන් කැඳවා ගෙන වත්තනිය නම් සෙනස්නට වැඩ රෑ සැතපී ලා හිමවත රක් ගල තලා වැඩ කෙළ සියයක් පමණ රහතන් මැද කුමාරයන් මහණ කළ සේක. මහණ වූ පසු ‘අප මහණ වූයෙත් ශිල්පයෙහි කළ ලෝභයෙන. කල් ගිය කල ත් කිම් ද? ශිල්ප එවා ගත මනා වේ දැ යි ඉතිකින් නුඹ වහන්සේ ගේ වෙස් ගත්තමෝ වේ ද? ශිල්පය උගන්වා වදාළ මැනැවැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ‘මුන් සාමණේර භූමියෙහි සිටි හෙයිත් විනය උගන්වන්ට බැරි ය. මූ මහා නුවණැත්තෝ ය. සියුම් දෙය කපන්ට සියුම් මුවාත් ඇති යකඩ නිසි වන්නා සේ මුන් ගේ සියුම් නුවණට සියුම් බණක් නිසි ය. එ හෙයින් විජම් පිටකය උගන්වමි. ශීල නම්: ශීලයෙන් ආදියෙන් කළණ වූ විනය පිටක ය. සමාධි නම් මධ්‍යයෙන් කළණ වූ සූත්‍ර පිටකය. ප්‍රඥාව කෙළවර කළණ වූ විජම් පිටක ය. එ හෙයින් අප දන්නා ශිල්පයේ ආදිය ත් ඇත, මධ්‍යයත් ඇත, කෙළවර ත් ඇත. තුනම කලණ ය. තොප දන්නා ශිල්ප මෙ තරමට ඇත් නම් එ ම පමණය. එ සේ නැත් නම් මෙ අප කියා ලූ තුන හැරගෙන පිරිමසව. විනය හැර ගැන්මෙන් හා ඔප් නඟන රත්රනක් මෙන් පිරිය යුතු සිල් නිර්‍මල කොට ගෙන සූත්‍ර උගැන්මෙන් උපචාර සමාධි අර්පනා සමාධි උපදවා ගෙන අභිධර්‍ම උගැන්මෙන් විවසුන් වඩා මාර්‍ග ප්‍රඥාව උපදවා ගත හැක්ක. මේ ත්‍රිපිටකය උගැන්මෙන් පර්යාප්ති ශාසනය ද එසේම පිළිපැදීමෙන් ප්‍රතිපත්ති ශාසනය ද අධිගමය කිරීමෙන් ප්‍රතිවෙධ ශාසනය ද සිද්ධ වෙයි.
ශීල පූරණයෙන් අධිශීල ශික්‍ෂාව ත් සොපචාර ධ්‍යානයෙන් අධිචිත්ත ශික්‍ෂාව ත් මාර්ගාධිගම ඵලාධිගමයෙන් අධිප්‍රඥා ශික්‍ෂාවත් පිරෙයි. විනය උගන්නා අවස්ථාවට තව නොපැමිණි හෙයින් විනයත් තිබිය දී සූත්‍රයෙන් තොප ගේ නුවණ සියුම් වන්ට නැති හෙයින් එයි ත් පසුකොට විජම් උගනුව”යි වදාරා යටත් ව තුබූ නැයින්නකට යොමු වූ ජල ප්‍රවාහයක් මෙන් ශිල්ප උගන්ට යොමු වූ සිත් සතන් ඇති නාගසේන සාමණෙරයන්දෑ විජම් උගන්වන මහ තෙරුන් වහන්සේ කුශල ත්‍රිකාදී ත්‍රික වශයෙන් හා හෙතු දුකා දී දුක වශයෙන් හෙබියාවූ ධර්‍ම සඟුණු ද, ස්කන්ධ විභඞ්ගාදී විභඞ්ග අටළොසකින් හෙබියා වූ විභඞ්ගය ද, සංග්‍රහාදී වශයෙන් තුදුස් පරිද්දෙකින් විභාග කරණ ලද ධාතු කථාව ද, ස්කන්ධ ප්‍රඥප්තිය ද ස්ව සමයෙන් සූත්‍ර පන්සියයක් හා පර සමයෙන් සූත්‍ර පන්සියයක් හා එක් කොට සූත්‍ර දහසකින් හොබවා දෙසා වදාළ කථා වස්තුවද, මූල යමකය-ස්කන්ධ යමකය යනාදි දස පරිද්දෙකින් දෙසා වදාළ යමකය ද, හෙතු ප්‍රත්‍යය, ආලම්බන ප්‍රත්‍යය ය, අධිපති ප්‍රත්‍යය ය, අනන්තර ප්‍රත්‍යය’ය, සමනන්තර ප්‍රත්‍යය ය, සහජාත ප්‍රත්‍යය ය, අන්‍යොන්‍ය ප්‍රත්‍යයය, නිශ්‍රය ප්‍රත්‍යය ය, උපනිශ්‍රය ප්‍රත්‍යය ය, පුරෙජාත ප්‍රත්‍යය ය, පශ්චාජාත ප්‍රත්‍යය ය, ආසෙවන ප්‍රත්‍යය ය, කර්‍ම ප්‍රත්‍යය ය, විපාක ප්‍රත්‍යය ය, ආහාර ප්‍රත්‍යය ය, ඉන්ද්‍රිය ප්‍රත්‍යය ය, ධ්‍යාන ප්‍රත්‍යය ය, මාර්‍ග ප්‍රත්‍යය ය, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයය, විප්‍රයුක්ත ප්‍රත්‍යය ය, අත්‍ථි ප්‍රත්‍යය ය. නත්‍ථි ප්‍රත්‍යය ය, විගත ප්‍රත්‍යය ය, අවිගත ප්‍රත්‍යය ය යන සූ විසි ආකාරයෙන් දෙසූ පට්ඨානය දැ යි විජම් පිටකය වදාරන්නා ම රාහු අසුරිඳු සේ, කට මහත් කෙනෙකුන් නොඑක් බත් පිඬින් එක විට ම ගැල පියන්නා සේ දෙවිටක් නොකියවා එක විට ම ඉගෙන ගෙන ‘ස්වාමීනි, ඉතිකින් වදාරා ආයාස ගන්ට නො කැමැත්තෙමි. වන පොත් දෙමි’ කියා ලා කෙළ සියයක් පමණ රහතන් කරා රක් ගල් තලා වැඩ ‘මම මේ සියලු විජම් පිටකය දෙ විටක් නො කියවා එක විටින් උගනිමි. ඒ මා උගත් විජම් පිටකය ධම් සඟුණෙහි කුශල ත්‍රිකයෙහි එක් තඹ වළඳෙක බොහෝ දෙයක් පටවන්නා සේ බහා ලා පිරි වසයෙන් පිරිවහම්හ”යි කී සේක.
ඒ අසා රහතන් වහන්සේ ‘තෙල ඉතා අරුම දෙයක් වේ ද, අසනු කැමැත්තම්හ. පිරිවාලව’යි වදාළ සේක. ඉක්බිත්තෙන් නාගසේන හෙරණුන්දෑ ද ප්‍රකරණ සත විස්තර වශයෙන් සත් මසකින් පිරිවූ සේක. නොහොත් නුවණ නමැති තුඬින් සිත් නමැති උගුර තෙමා එක විට බීපු විජම් නමැති පැන් නොමද නියාව හඟවන්නට සත් මසකින් වමාරා නිමවූ සේක. ඒ ආශ්චර්‍යයට අනික් මහත් කොට සාධු කාර දී ලන්ට නිසි කෙනෙකුන් නැති හෙයින් බස මහත් කෙනෙකුන් මහත් කොට සාධු කාර දෙන කලක් මෙන් මහ පොළොව ත් ගුගුරුවා පී ය. නොහොත් ආකාශස්ථ දෙවියන් දෙන සාධු කාරයට පෙරාතු මී දෙව් දූ සාධු කාර දුන. නොහොත් ‘මෙතෙක් දවස් මේ ශාසන භාරය උසුලා ලන තරම් මහ බර ඇති තෙනක් නැති වීමෙන් මට සෑල්ලුව පියා තුබූයේය. දැන් බර මහතැ’යි බර ව ගිය නියාවට ගුගුරන්නාක් මෙන් පොළොව ගුගුරවා පීය. ඉක්බිත්තෙන් දෙවි බඹ නා ගුරුළු ආදිහු ත් සාධු කාර දුන්හ. නැවත නාගසේන හෙරණුන්දෑ වහන්සේ හා තර්‍ක වාද කරන කෙනකුන් අව මැනැවැ යි ඔබට මාරුවේ අපොළන කලක් පරිද්දෙන් මහ බඹු අපොළා පී ය. නැවත සාමණේරයන්දෑ වස්වා ලූ විජම් වැස්සෙන් නැගී පෙණ පිඬු මෙන් දෙවියෝ දිව මල් වැස්වූහ.
ඉක්බිත්තෙන් කෙළ සියයක් පමණ රහතන් වහන්සේ නාගසේන හෙරණුන්දෑට විසි හවුරුද්ද පිරෙන්නා ම මත්තෙහි වන ශාසනාභිවෘද්ධියට යෝග්‍ය කොට රක් ගල් තෙලෙහි දී උපසම්පන්න කළ සේක. උපසම්පන්නවූ පසු එක් දවසක් රෝහණ මහ තෙරුන් වහන්සේ හා එක් ව සිඟා වඩනා නාගසේන තෙරුන් වහන්සේ ‘අනේ අපගේ උපාධ්‍යායන් වහන්සේ නොදන්නා නියාය. විනය හා සූත්‍ර තිබිය දී පළමු කොට මා විජම්[18] උගන්වාපු සේක. ඒ කුමක් කළ නියා දෑ’යි සිතූ සේක. රෝහණ මහ තෙරුන් වහන්සේ ද උන් වහන්සේ සිතූ සිතුවිල්ල තමන් වහන්සේ ගේ සිතින් දැන ගෙන ‘ඇවැත්නි, තොප සිතනා අයුරු[19] නපුර. තෙල සේ වූ සිතිවිලි පිරිමින්ට ගෑනු පළඳනා තරම් නොවන්නා සේ, ගෑනුන්ට පිරිමි වෙස් තරම් නොවන්නා සේ තමන් තරමුන්ට තරම් නොවන්නේ වේ දැ’යි වදාළ සේක. ඒ අසා ‘අනේ අප ගේ උපාද්ධ්‍යායයන් වහන්සේ බලවත් සේක. ළඟ සිට කියා පී බසක් පියවි කනින් අසා දැන ගන්නා සේ මා සිතාපු සිත බඩු සහිත කොට සොරකු අල්වා ගත් කලක් මෙන් දැන ගත් සේකැ’යි සමාධි ව මෙ බඳු තෙනට මෙ සේ සිතු යේ වරද ය. ක්‍ෂමා කරවා ගනිමි යි සිතා ‘ස්වාමීනි, මෙ බන්දක් මෙ වක් පටන් නො සිතමි. වැරද ගිය දෙයට ක්‍ෂමා කොට වදාළ මැනැවැ’යි කී සේක.
ඒ අසා රෝහණ මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා, අපි තෙල විතරකින් - ක්‍ෂමා කළ මැනැවැ යි කී බස් පමණකින් - ක්‍ෂමා නො කරම්හ. ක්‍ෂමා නො කරන්නේ සෙස්සකට නො වෙ යි එක්තරා කටයුත්තක් නිසා ය. කලින් තෙපලින් කළ කී වරදක් නො වන බැවින් සිතා පු සිතිවිලි පමණක් හෙයින් සෙස්සකින් ප්‍රයෝජන නැත. වැඩි වරදක් වුව ත් වරද පිළිගෙන සිටියව. තොප සිත තෙලේ ගෑවුනා සේම අප සිතත් ගෑවෙන දෙයක් ඇත. කවරේ ද යත හොත්? දඹ දිව සාගල නම් නුවරෙක් ඇත. ඊ මිළිඳු නම් යොන් රජ්ජුරුකෙනෙක් රජ කෙරෙති. ඌ තමන් තර්‍ක වාදී හෙයින් ප්‍රශ්න විචාරා වහන්දෑට බොහෝ පීඩා කෙරෙති. තෙපි ඉදින් ඔබ ගොසින් ඒ රජ්ජුරුවන් හා වාද කොට උන් ගේ වාද නමැති-මහ ගල් තොපගේ වාද නමැති ය කුළින් බිඳ පියා කිසි වකට ත් නො ගත හැකි කොට උන් බුදු සස්නෙහි පහදවා ගතු නම්-තව ද සක් විති රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් විසිර තුබූ රුවන් එක්වන්නා සේ තොප ගේ ඥානානුභාවයෙන් දුරු ව පලා ගිය වහන්දෑ ත් එක් තැන් වූ සේක් නම්-එ කල්හි ක්‍ෂමා කරනෙමි යි වදාළ සේක.
ඔබ ඒ අසා නුවණට බෑවුමත් කරණ සේක් ‘ස්වාමීනි, එක මිළිඳු රජ්ජුරු කෙනෙකුන් නො කැමැත්තෙමි. සියලු දඹදිව රජ්ජුරුවෝ අවුත් මා අතින් ප්‍රශ්න විචාළ නමුත් හමදනා මළු බොහෝව යි නාළුවා සේ ම ප්‍රශ්න බොහෝ ය යි නො හරිමි. රන් කතුරකින් පියුම් පෙති සමූහයක් කපා වගුරුවා ලන කලක් පරිද්දෙන් විසඳා ලමි. ක්‍ෂමා කිරීම ඊ ගැසී තුබූ දෙයක් නො වන බැවින් ක්‍ෂමා කරන්නේ යහපතැ’යි වදාළ සේක. එ සේ වදාළ ත් කෙනෙක් අනභිප්‍රාය දෙය ලදත ත් අභිප්‍රාය දෙය නො ලත් කලට නො යැපෙන්නා සේ ‘එ සේ ක්‍ෂමා නො කරම්හ’යි රෝහණ මහ තෙරුන් වහන්සේ වදාළ සේක. එ සේ කලට ක්‍ෂමා කරවා ගන්නා තෙක් ළඟ විසීම ත් නො පිළිවන් වුව. වස් පිරෙන්ට නොවීම නිස පිළිබඳ හෙයින් නිස නොගෙන විසීමත් යුක්ත නොවත්. මේ වස් තුන් මස කවුරුන් වහන්සේ ළඟ වසමෝ දැ යි නිහතමාන බැවින් හා ශික්‍ෂාකාමී බැවින් විචාළ සේක.
ඒ අසා රෝහණ මහ තෙරුන් වහන්සේ “හෙම්බා, එසේ වී නම් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ වත්තනිය නම් සෙනස්නෙහි වසන සේක. තෙපි ඔබ කරා ගොසින් අප ගේ වැඳීමෙනු ත් වඳුව. එ විතරකිනුත් තබා නො පියා තෙපි ත් වැඳ ගනුව. සුව දුක් විචාළ නියා ත් සැළකරව. ආයේ ඇයි දැ යි විචාළොත් මේ වස් තුන් මස ඔබ ළඟ වසන්ට එවූ සේකැ යි කියා ලව. ‘තොප ගේ උපාධ්‍යායයෝ කිනම්හු දෑ’යි විචාළ සේක් වී නම් ‘රෝහණ මහ තෙරුන් වහන්සේ ය’යි කියා ලව. තොප ආචාර ශික්‍ෂාවෙහි හික්මුණු නියාව විමසන්ට ‘මම කි නම් දැ’යි විචාළ සේක් වී නම් ඔබ ළඟ සිට ඔබ ගේ නම කියා ව්‍යවහාර කිරීම ගරුතර නොවන හෙයින් නුඹ වහන්සේ මෙ නම් සේකැ යි නො කියා ‘ඔබ ගේ නම දන්නා සේක් අප ගේ උපාධ්‍යායයන් වහන්සේ ය’යි කියව’යි පටිපජ්ජන ක්‍රම ය වදාළ සේක. ඒ නියෝග ලත් ඔබද රෝහණ මහ තෙරුන් වහන්සේ වැඳ සමු ගෙන පා සිවුරු හැර ගෙන වත්තනිය නම් වෙහෙරට ගොසින් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ වැඳ ගෙන එකත් පස් ව සිටි සේක. එ සේ සිට උපාද්ධ්‍යායයන් වහන්සේ වැඳ එවූ නියාව ත් සුව දුක් විචාරා එවූ නියාව ත් කී සේක. ඔබ ත් ඒ අසා රෝහණ මහ තෙරුන් වහන්සේ ගේ සුව දුක් විචාරා කුමක් නිසා මුඹ එවු දැ’යි විචාළ සේක.
‘නුඹ වහන්සේ ළඟ වස් වසන්නට ය’යි කී කල්හි ‘යහපත වසව’යි නොවදාරා ’තෙපි කිනම් දැ’යි නම විචාළසේක. නාගසේන නමි’ කී කල්හි, උපාධ්‍යායයන් වහන්සේගේ නමුත් විචාළ මනා බැවින් තොපගේ උපාධ්‍යායයෝ කී නම්හු දැ’යි විචාළ සේක. උන් වහන්සේ සම්මුඛ නොවන හෙයින් රෝහණ මහ තෙරුන් වහන්සේ යයි කී සේක. ඉදින් වරදවා අවු නමුත් ‛අපි කි නම්මෝදැ’යි තමන් වහන්සේ ගේ නම විචාළ සේක. ගුරුන් වහන්සේ ගේ නම සම්මුඛයෙහි සිට කීම අවිචාර නොවන හෙයින් ඔබ ගේ නම අප කියන්නේ කිම්ද? අපගේ උපාධ්‍යායයන් වහන්සේ ම දන්නා සේකැ’යි කී සේක. යහපත, තොපත් තොප ගේ උපාධ්‍යායයනු ත් බැහැර නො වන හෙයින් පා සිවුරු හැර ගෙන තබා ලන්ට නිසි කෙනෙකුන් ළඟ නැති හෙයින් තෙපි ම තැන්පත් කොට තබව’යි වදාළ සේක. උන් වහන්සේ ත් පා සිවුරු තැන්පත් කොට තබා ලා රෑ සැතැපී ගෙන දෙවන දවස් උදාසන ම ගෙය ත් මළුව ත් හැම ද පියා දැවටි පැන් ගෙනවුත් තබා ලූ සේක. අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ද ඔබ ගේ සුශික්ෂිත තරම පරීක්‍ෂා කරණ නිසා කසුප් බුදුන් දවස ත් හැමද පුරුදු තැන ගේ හැමදීම් නපුරු නොවතත් හැමඳි තැන් පෙරළා හැමඳ ගෙනවුත් තබා ලූ දැවට පැන් හැර පියා අනික් ම දැවටි පැනක් හැර ගෙන දැවටි වැළඳූ සේක. එ වක මුසුන් දණ්ඩෙන් පහර කා බැන නො නැඟි තැනැත්තන් හින්ද දී තමන් වහන්සේ ත් හැමඳි මළුව පෙරළා හැමැන්දාට ත් ගෙනා දැවටි පැන් නොවැළඳුවාට ත් බැණ නො නැඟි සේක.
මෙ ලෙසින් සතියක් විතර හික්මුණු තරම විමසා පියා අවවාදක්‍ෂම නියාව දැන සත් වන දවස් නැවතත් ආද්‍යන්ත විචාරා ප්‍රාර්‍ථනා නො වැරැද්දා සේ එ ලෙසින් ම නො වරදවා කී කල්හි “යහපත, එ සේ වී නම් වසව”යි වස් වසන්ට අවසර දුන් සේක. එ කල වැළි ත් එක් වැඩි මාලු උපාසිකා කෙනෙක් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේට තිස් අවුරුද්දක් විතර උපස්ථාන කොළෝය. ඒ වස් තුන් මස ත් උපස්ථාන කොට ලා වස් අන්තයෙහි මහ තෙරුන් වහන්සේ ගේ විහාරයට ගොසින් ‘ස්වාමීනි, නුඹ වහන්සේ ළඟ තවත් වහන්දෑ ඇති සේක් දැ’යි විචාළෝ ය. ‘අමුතු ව ආ නාගසේන නම් නමෙක් ඇතැ’යි වදාළ සේක. ‘එ සේ වී නම් දෙ දෙනා වහන්සේ ම සෙට අප ගේ ගෙයි දී වළඳනා බව ය’යි ආරාධනා කළෝය. මහ තෙරුන් වහන්සේ ද ඒ ආරාධනාව ඉවසා දෙවන දවස් නාගසේන තෙරුන් වහන්සේත් කැඳවා ගෙන මෑලි උපාසිකා වන්දෑ ගේ ගෙට ගොසින් වළඳන්ට වැඩ හුන් සේක. උපාසිකාවෝ ද දෙ දෙනා වහන්සේ සිය අතින් වැළඳ වූ ය. මහ තෙරුන් වහන්සේ වළඳා අන්තයෙහි උපාසිකාවන්ට බණ කියන්ට නාගසේන තෙරුන් වහන්සේට විධාන කොට ලා විහාරයට වැඩි සේක. උපාසිකාවෝ ද බණට ආරාධනා කරන්නෝ ‘මම වැළි ත් වැඩි මාල්ලෙමි. කුඩා කුඩා බණින් කම් නැත. මහා බණක් වදාරන්ට වුව මැනවැ’යි කිවු ය. උන් වහන්සේ ත් මහත් බණක් සලකන සේක් අර්ථ වශයෙන් මහත් වූ ආත්මශූන්‍යතායෙන් යුත් විජම් බණ කී සේක. ඒ බණ අසා මෑලි උපාසිකාවෝ එ වකට වයස් ලෙසින් තමන් මැහැලි වුව ත් කෙ තෙක් කලිනු ත් මෑලි නො වන සෝවාන් වූහ.
උන් වහන්සේ ත් එක් කෙනෙකුන්ට බතක් ලා ලා ‘මෙතෙක් බත් මුන්ට ම හැයිද? මම ත් කමි’ අත පොවා හැර ගෙන කන්නා සේ තමන් වහන්සේ වදාළ ධර්‍මයම සලකන සේක් විවසුන් වඩා සෝවාන් ව ශාසනසට මුල් බැස ගත් සේක. වෙහෙර වැඩ හුන් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ දෙ දෙනා ම සෝවාන් වූ නියාව දැන වදාරා තුන් විටක් සාධු කාර දී බන්ධුල මල්ලයන් විදි එක හීයෙන් ලිච්ඡවි රජුන් පන් සියය විත් කෑවා සේ එක කියාලු බණින් දෙ පක්‍ෂයෙන් කැටි ව අපායගාමිනී වූ බොහෝ කෙළෙසුන් නසා පීව යි ගුණ වදාළ සේක. බොහෝ දෙවියෝ ත් සාධුකාර දුන් හ. නාගසේන තෙරුන් වහන්සේද වෙහෙරට වැඩ මඟ තෙරුන් වහන්සේ වැඳ ලා එකත්පස් ව වැඩ හුන් සේක. එ සේ වැඩ හුන් කල්හි අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා ඇවැත්නි, පැළලුප් නුවර අශෝකාරාමයෙහි ධර්‍මරක්ෂිත මහ තෙරුන් වහන්සේ වසන සේක. ශාසන ප්‍රතිපත්තියට මුල් පර්‍ය්‍යාප්තිය ය. පර්‍ය්‍යාප්තිය නැත් නම් ප්‍රතිපත්තිය නැති ප්‍රතිපත්ති නැති කලට ප්‍රතිවේධය නැති. ප්‍රතිවේධය නැති කලට අධ්‍යාශය සම්පන්නයන් නැති හෙයින් ශාසනයත් නො පවත්ති. තොප තරම් බුද්ධිසම්පන්නයන් පර්‍ය්‍යාප්තිය පවත්වා නො ලතහොත් එන දවස පවත්වාලන්නෝ කවුරු ද? තෙපි ඔබ ගොසින් තෙවලා බුදු වදන් උගනුව’යි වදාළ සේක.
ඒ අසා ‘මෙ තෙනට කෙ තෙක් තැන්දැ’යි විචාළ සේක. යොදුන් ගණනින් වී නම් තුන් සියයක් යොදුන. ගවු ගණනින් වී නම් එක් දහස් දෙ සිය ගවුවක් තිබෙ’යි වදාළ කල්හි ‘ස්වාමීනි. ඉතා දුරු වත් තිබෙ’යි. නුපුරුදු හෙයින් අතුරු මග සිඟමනු ත් බැරිය. ගමන කෙ සේ දැ’යි විචාළ සේක. තෙපි ඒ හැම නො සිතව, අතුරු මඟ දී අති පවිත්‍ර වූ හැල් සාලේ බත් ම ලබව. එක දා යන ගමනක් නොව සැතපි සැතපී යන ගමන් හෙයින් ගමනේත් ආයාස නො සිතව’යි වදාළ සේක. ඒ අසා නාගසේන තෙරුන් වහන්සේ ද මහතෙරුන් වහන්සේ වැඳ සමු ගෙන පා සිවුරු හැරගෙන පැළලුප් නුවරට යන්ට නික්මුණු සේක.
එ කල පැළලුප් නුවර සිටාණෝ ද ගැල් පන් සියයකින් බඩු ගෙන්වා ගෙන අවුත් වෙළඳාම් කොට ගෙන පෙරළා පැළලුප් නුවර යන්ට එම මගට පිළිපන් තැනැත්තෝ නාගසේන තෙරුන් වහන්සේ දැක ගැල් රඳවා ලා ඔබ කරා ගොසින් වැඳ සුව දුක් කථා කොට ලා වඩනේ කොයට දැ යි විචාරා ‘පැළලුප් නුවරට යම්හ’යි කී කල්හි දැක ම පුත්‍ර ප්‍රේමය උපන් හෙයින් “යහපත පුතණුවන් වහන්ස, මම ත් ඔබ ම එමි. මා හා කැටි ව සුව සේ වැඩිය මැන වැ’යි කිවු ය. මෙ ලෙස කිය ලා සිය අතින් සකසා දන් වළඳවා ලා වළඳා අන්තයෙහි එකත් පස්ව හිඳ නුඹ වහන්සේ කි නම් සේක් දැ’යි විචාළෝ ය. ‘නාගසේන නමි’යි වදාළ කල්හි ‘කල් දෙස් බලා මහණව ගත් පමණෙක් ම ද? දන්නා බණෙකුත් ඇද්දැ’යි විචාළෝ ය. ‘හෙම්බා සිටාණෙනි, තව අසා පිරිවරා ගුරු මුඛයකින් දැන ගන්ට නුවූ හෙයින් විනය හා සූත්‍ර නො දනුම්හ. සාමණේර භූමියේදීම අසා ගත් හෙයින් විජම් බණ දනුම්හ’යි වදාළ සේක.
සිටාණෝ ඒ අසා ‘ඉතා යහපත. මමත් විජම් බණ දනිමි. දෙමළ දන්නා කෙනෙකුන්ට දෙමළුවෙන් කථා කොට ලිය හෙන කෙනෙකුන් සම්බ වූවා සේ සම්භ වූ නියාව යහපත. දැන් ම නම් එක තරමැ’යි නැති බැවින් වැඩි යුරු ව දන්නා දෙයෙක් උගත හැකි බැවින් විජම් බණ වදාළ යහපතැ’යි කිවූ ය. උන්වහන්සේ ද ඒ අසා විජම් බණ දනුම්හ’යි කී හෙයිනුත් තමන් වහන්සේ ගේ ශක්තිය හඟවත් මේ වරෙහි අඩු වැඩි දන්නා කෙනෙකුන්ට කියන මේ වරක් මෙන් භාවාර්ථයත් නො හැර විජම් බණ වදාළ සේක. සිටාණෝ ද බණ අසා ලොවී සැපත් පිටට ලොවුතුරා සැපත් ලබන්නෝ සෝවාන් වූ හ. සෝවාන් ව ලා පැළලුප් නුවර ආසන්නයේ දෙ මං සන්ධියෙහි දී ගැල් පෙරාතු කොට ලා තුමූ පසුව ලා ගෙන නාගසේන තෙරුන් වහන්සේට ‘තෙලෙ අශෝකාරාමයට ගිය මඟ ය. ඔබ වඩි නා බව ය. පෙර හැඳින්මක් පුරුදු කමක් නැති ව දුටු ගමනේ මුඹ වහන්සේ දුන් ලොවුතුරා සැපතට තරම් සංග්‍රහයක් කට නො හෙතෙ ත් මා අත මා හැඟි පලසෙක් ඇත. ඒ පලස දිගින් සොළොස් රියන. පළලින් අට රියන. පුතණුවන් වහන්ස, ඒ පිළිගත මැනැවැ’ යි කියා පිළිගැන් වූ හ. පිළිගන්වා ලා වැඳ පැදකුණු කොට ලා පැළලුප් නුවරට ගියෝ ය.
උන් වහන්සේ ද අශෝකාරාමයට වැඩ ධර්‍මරක්ෂිත මහ තෙරුන් වහන්සේ වැඳ ලා තමන් වහන්සේ අසා පිරිවාගන්නා කැමති ව වැඩි නියාව කී සේක. කියා ලා ඔබ ළඟ තෙ වළා බුදු වදන් තුන් මසකින් විතර එකවිට කියවා ගත් පමණෙකින් පෙරළා නො කියවා පාළි උගත් සේක. අනිත් තුන් මසකින් උගත් පාළියෙහි අර්ථ සමන්වා ගත් සේක. තෙවළා බුදු වදන් මෙලෙසින් අසා නිමවා ගත් කල්හි නිශ්ශරණ පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධ කොට බණ උගත්
හෙයින් උපදෙස් පමණෙකින් ප්‍රතිපත්ති ප්‍රතිවේධ දෙකක් කොට ගනිති සිතා ධර්‍මරක්ෂිත මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා ඇවත්නි, යම් සේ ගොපල්ලන් ගෙරි සරක් බලත ත් දී කිරින් ප්‍රයෝජනය අනික් කෙනෙකුන්ට ම වේද? සරක් ඇත්තවුන්ට ම හෙයින. එ සේ තොප ත් තෙවළා බුදු වදන් රන් වළඳෙක වත් කළ සිංහ තෙලක් මෙන් ධරණ පමණක් මුත් තොපත් මේ ධර්‍මයට හිමි නො ව ගොපල්ලන් රක්නා ගෙරි පරිද්දෙන් රක්නා පමණෙක. මේ ධර්‍මය අනික් කෙනෙකුන් ම සන්තක ය’යි වදාළ සේක. ඔබද එ පමණක් අසා වදාළ බසෙහි තත්ත්‍වය දැන ගෙන ‘තෙලෙ විතරෙක් ම ඇත. ඔබ්බක් ම නො කැමැත්තේ ය’යි කියා ලා හැම දීමේ තර ව අභ්‍යාස ඇති. කෙනෙකුන් මහා මළුවකු ත් මඟකු ත් සෙස්සන් හමදින්ට සරහන කලට ම වහා හැම ද පියන්නා සේ එක දවසින් ම විවසුන් නමැති හිරටමුස්නෙන් කෙලෙස් කසළ හැමද සිත් සතන් නැමැති මළු මං පෙත් පවිත්‍ර කළ සේක. සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක.
රහත් වන්නා කෙලෙස් සතුරන් හා යුද්ධ කොට නිවන් රට සුඟකුත් නො හැර සාධා ගත් නියාවට දෙවියෝ ආ වැඩූහ. ජයසක් පිඹී කලක් මෙන් පොළොව ගුගුරා පී ය. ජයලත් රජක් හු සම්මැට යන[20] යෝධයන් පටාළ ඇළයේ එළුවාක් මෙන් මහ බඹුහු අත් පොළසන් දුන්හ. ජය ලත් සතුටින් පඬුරු ගෙනවුත් දමා ඉස්නා කලක් මෙන් මල් වැසි වැස පී ය. එ කල කෙළ සියයක් පමණ රහතන් වහන්සේ හිමවත රක් ගල් තලාවේ වැඩහුන් සේක් නාගසේන තෙරුන්වහන්සේ ළඟට ‘තමන් දක්නා කැමැත්තම්හ. අව මැනමැ’යි කියා යවූ සේක. ඒ අසා අශෝකාරාමයෙහි දී අතුරුදන් ව රක් ගල් තෙලෙහි කෙළ සියයක් පමණ රහතන් මැද පෙණුනු සේක. රක් ගල්තෙලෙහි රැස් ව වැඩ හුන් රහතන් වහන්සේ ද එතනට වැඩි නාගසේන මහ තෙරුන් වහන්සේට ‘හෙම්බා ඇවැත්නි, මිළිඳු රජ්ජුරුවන් තර්ක වාද කොට වහන්දෑට කරණ පීඩා මහත. තිස් දහසක් රහතන් කරා උපස්ථානයට ගිය නයාණ කෙණකුන් ගසාගන්ට අහසින් බස්නා ගුරුළකු දැක ඒ ඇසිල්ලෙහි පර්‍වතයක් මවා ලා නාග මාණවකයා අත අල්වා ගෙන පර්‍ව ය පීරා ගෙන නයි රැක පූ සේක් එක් නමෙක. එසේ හෙයින් පැන් එක පැන් වුව ත් රසයේ සේ රහත් ගුණෙන් එක ගුණ වුවත් වෙනස ඇත්තා ආනුභාවයෙන් වෙනස් ඇති හෙයින් කියන නියා ය. තමන් ඔබ ගොසින් උන් හා වාද කොට උන්ගේ වාද බිඳ ඵඩි දර්ප රහිත කළ මැනැවැ’යි වදාළ සේක.
ඒ අසා නාගසේන මහ තෙරුන් වහන්සේ ‘එක මිළිඳු රජ්ජුරු කෙනකුන් තබා දඹ දිව සියලු රජ දරුවෝ මා කරා අවුත් ප්‍රශ්න විචාරත් නමුත් පසු නොබැස විසඳමි. ඒ මට භාර ය. හැම දෙනා වහන්සේම වාද කට හෙත්දෝ හෝයි නොහෙත් දෝ හෝයි නො සිතා උන් ගේ සාගල නුවරට වැඩිය මැනව’යි කී සේක. ඒ අසා රහතන් වහන්සේ සාගල නුවරට වැඩිසේක. එ කල ආයුපාල නම් තෙරුන් වහන්සේ සඞ්ඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක. මිළිඳු රජ්ජුරුවෝ එක් දවසක් ඇමැත්තන් බණවා ලා ‘අඳුරු දොස් නැති වීමෙන් මේ රාත්‍රිය ඉතා සිත්කලුය. මේ නියා වූ රාත්‍රියෙහි කවර කෙනකුන් කරා ගොසින් වාද කරමෝ ද? කවර කෙනෙක් අප හා වාදකටහෙත් දැ’යි විචාළෝ ය. විචාළ රජ්ජුරුවන්ට යොන් ඇමැත්තෝ ‘ආයුපාල නම් තෙර කෙනකුන් වහන්සේ සඞ්ඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක. ඔබ ත්‍රි පිටකධර සේක. එ සේ හෙයින් බහුශ්‍රැත කමත් ඇත. ඔබ ගොසින් උන් වහන්සේ හා කථා කළ මැනැව’යි කිවු ය.
රජ්ජුරුවෝ ද ඇමැත්තන් ගේ බසින් ඔබ දක්නා කැමැති නියාව ඔබට කියා යවා ලා ඔබත් ‘යහපත. එන්ට ය’යි වදාළ කල්හි රජ්ජුරුවෝ රථයකට නැගී ඇමැත්තන් පිරිවරා සඞ්ඛෙය්‍ය පිරිවෙණට ගොසින් ඔබ හා සමග කථා කොට ලා එකත් පස් ව හිඳ ‘ස්වාමීනි, මහණ වන්නේ කුමක් නිසාද? මහණ වීමෙන් ලැබ ගන්නා ප්‍රයෝජනය කවරේ දැ’යි විචාළෝ ය. ‘මහරජ, මහණ වන්නේ නම් ධර්මයෙහි හැසිරෙන්ට ය’යි වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, ධර්‍මයෙහි හැසිරෙන ගිහි ත් ඇද්දැ’යි විචාළෝ ය. ‘ඇත මහ රජ, බුදුන් බරණැස දී දම්සක් පැවතුන් සූත්‍රය දෙසූ දවස් අට ළොස් කෙළක් බඹහු අධිගමය කොළෝ ය. ශාසනික තැනින් කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ පමණෙක. නැවත මහරජ, දික් සඟිය-මහාසමය සූත්‍රය දෙසූ දවස් ද, කුදු ගොත් සඟිය, මහා මඞ්ගල සූත්‍රය දෙසූ දවස්ද. මැඳුම් සඟිය, සමචිත්තපරියාය සූත්‍රය දෙසූ දවස් ද, එම මැඳුම් සඟිය, රාහුලොවාද සූත්‍රය දෙසූ දවස් ද, කුදුගොත් සඟි පරාභව සූත්‍රය දෙසූ දවස් ද අසඞ්ඛ්‍ය අසඞ්ඛ්‍ය ම නිවන් දුටු වූය. ඌ හැම දෙන ම ගිහි වෙද්දැ’ වදාළ සේක.
ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, එසේ වී නම් මහණ වීමෙන් ප්‍රයෝජන නැත. බෙහෙත් නොකා ම සන් හිඳෙන ලෙඩට බෙහෙත් කා දුග්ගන්නා සේ හිණි දඬු නැතිව නැංග හැකි තෙනට හිණි බැඳ දුග්ගන්නා සේ නො මිළයේ ලද හැකි බඩුවට මිළ සොයා දුග්ගන්නා සේ මහණ නොවත් ලද හැකි නිවන් නිසා මහණ ව විඳිනා දුක් නම් යට කළ පවින. දුවඟ පිරීම් නමුත් ප්‍රයෝජනවත් නොවෙයි. යම් තෙනක් එකාසනිකය පුරන සේක් නම් යට ගිය දවස අනුන් කන බොන දෙය උදුරා ගත් නියා ය. අනික් කෙනෙක් නො වෙති. දැන් එ සේ හෙයින් කන්නට බොන්නට රිසි ඇති වත් දෙ වේලේ සම ව බත් පැන් නො ලබති. එසේ හෙයින් ධුතාඞ්ග පූරණයෙන් පෙනෙන අකුශල විපාකයෙක් මුත් කුශල විපාකයෙක් නැත. යම් තැනක් අබ්භොකාසිකය පුරතොත් ඒ තැන් යට ගිය දවස අනුන් ගේ ගෙවල් උදුරා ගත් නියා ය. ඒ පව් කමින් ආදී නෙරනා ලද්දවුන් රුප්පාවල හිඳිනා සේ දැන් රුප්පාවල හිඳිනා නියා ය. නෙසජ්ජිකය පිරීම නම් ගිය දවස මං පැහැරි නියා ය. මං පහරිනා කල මඟ යන්න චුන් බැඳ හිඳුවා ලා අත මිට තුබූ දෙය උදුරා ගත් හෙයින් දැන් හැඳ ඇති වත් උන්වන ම හිඳ පාන් කරන නියා ය. එ සේ හෙයින් ශාසනික ව පුරණ පිළිවෙතින් ප්‍රයෝජන නැත. නිවන් නිසා මුත් අනිකක් නිසා වන හෙයින් ඒ නිවන් ඒ හැම නොකළ ගිහින් ට ත් සිද්ධ වන හෙයින් සියලු ලෙසින්ම දුවඟ පිළිවෙතින් කිසිත් ප්‍රයෝජන නැතැ’යි කම් පල හැදහිල්ලක් නැති ව දැමූ කසළ සේ ම බුදු සස්නෙහි හැදහිල්ලක් නැති ව බුදු සස්නට පහර දෙන්නාක් හු මෙන් වාද ලෙසින් උපවාද කොට කිවු ය.[21]
ඒ හැම අසා ආයුපාල මහ තෙරුන් වහන්සේ දුවඟ පිරීම් නම් කෙලෙසුන් පෙළීම නිසා ය යි මෙ විතරකුත් වදාරා ගත නොහී තමන් වහන්සේ නිරුත්තරයා සේ නිරුත්තර ව වැඩ හුන් සේක. ඇමැත්තෝ මෙ පමණකින් මුන් වහන්සේ උත්තරයක් නොකීවාට ශාසන බලය නො නැසුව මනා වේ දැයි යන අදහසින් දෝ රජ්ජුරුවන් වහන්ස, තෙරුන් වහන්සේ නුවණැති සේක. උත්තර දත ත් කියන්ට ශක්ති නැති සේක. සීන දුටුවන් දුටු සීනය ගොළු කල කියා ලන්ට බැරියා සේ දැන්ම ඇත ත් වාක් ශක්තිය නැති නියා ය. එ සේ හෙයින් උත්තර දත ත් කියා ගත නුහුණු සේකැ’යි කිවු ය. ඒ අසා මිළිඳු රජ්ජුරුවෝ මුන් කුමක් කියත ත් මඳකුත් බැණ නො නැංග මනා ද[22] අනේ මේ දඹ දිව පැන් නැති ගඟක් සේ රජුන් නැති රටක් සේ නුවණැත්තවුන් ගෙන් සිස් නියා ය’යි කිවුය. රජ්ජුරුවන් මෙ සේ කියතත් එ බස් නො ගිවිස හුන් ඇමැත්තන් මුහුණ බලා මුන් මෙ ලෙසින් හිඳිනේ පොර ගෙන කෙළවරට බලී කෙනෙකුන් තබන්නා සේ තවත් නුවණැති කෙනෙකුන් ඇති නියා ය යි සිතා ‘මා හා තර්‍ක වාදයට නිසි තෙනක්[23] කියා පෑනුලු පමණක් විනා තවත් ඇති නියා දැ’ යි විචාළෝ ය.
එ කල්හි නාගසේන මහ තෙරුන් වහන්සේ වැඩි මහලු තෙනින් සතළිස් දහසක් හා බාල තෙනින් සතළිස් දහසක් හා එක් කොට අසූ දහසක් පමණ වහන්දෑ පිරිවරා විසිතුරු නුවණ ඇතිව චිත්‍ර කථික ව[24] මුහුදක් මතින් අළලාලිය නොහැක්කා සේ වාද නමැති මතින් අළලාලිය නො හැකි නුවණ නමැති මුහුදු ඇති ව පියවි පවනින් සොලවා ලිය නොහැකි මහ මෙරක් සේ වාද නමැති පවනින් සොලවා ලිය නොහැකි නුවණ නමැති මහ මෙර ඇති ව රුවණින් පිරුණු සක් වළක් සේ ගුණෙන් නුවණින් පිරුණු සිත් සතන් ඇති ව ලාභයෙන් යසසින් අග පැමිණ අපාය මහ හකුල් හෙළා සග මොක් මං පාමින් මෝහ නමැති අඳුරු ගෙවල සදහම් නමැති පාන් නඟමින් කෙලෙස් සතුරන් දිනූ හෙයින් සදහම් නමැති ධජ නංවා සිවු වනක් පිරිස් රැස් වන්ට සදහම් නමැති සක පිඹිමින් විධානයෙහි පවත්වන්ට සදහම් නමැති අණ බෙර ලවමින් මියුරු වූ කට හඬ නමැති මෙඝ නාද ඇති සියුම් නුවණ නමැති විදුලියෙන් වෙළනා ලද කරුණා නමැති දියෙන් පිරුණු සදහම් නමැති වැසි වස්වමින් ගම් නියම් ගම් රාජධානිවල සැරිසරන සේක් සාගල නුවරට වැඩ සඞ්ඛෙය්‍ය පිරිවෙණ වසන සේක. ඔබ එහි වසන නියාව දෙවමන්තිය[25] නම් ඇමැති දැන “රජ්ජුරුවන් වහන්ස, මඳක් ඉවසාපුව මැනව. ත්‍රි මද ගලිත හස්තීන්ට එ බඳු ඇත් කෙනකුන් ම සම්භවූවා සේ ම වාද නමැති දළෙහි ප්‍රතිවාද නමැති දළ ඇණ ගන්ට ආ ලෙසක් සේ මහ පොළොව හා සමාන මහ නුවණැති නාගසේන නම් තෙරුන් වහන්සේ භික්ෂු සේනාව පිරිවරා මේ නුවරට වැඩි සේක. ඔබ කරා ගොසින් තර්‍ක වාද කොට හදාපුව මැනවැ’යි කීය.
නාගසේන යන නම අසා ම මිහිඳු රජ්ජුරුවන්ට බලවත් භය ඇති විය. එතකුදු වුව ත් රාජ ධෛර්‍ය්‍යයෙන් භය ඇති ලෙස නො හඟවා ‘උන් වහන්සේ මා හා කථා කොට හෙන සේක්දැ”යි නැව තත් දෙවමන්තිය නම් ඇමැත්තාණන් අතින් විචාළෝ ය. ඌ ඒ අසා ‘මුඹ වහන්සේ තබා ශක්‍ර බ්‍රහ්ම මහෙශ්වරාදී වූ කවර තරම් කෙනකුන් හාත් කථා කොට හිරු නැඟි කලට කදෝපැණියන් මෙන් වාද කළවුන් නිෂ්ප්‍රභාකරන්ට බල ඇති සේක. විදුරු පළා පියන දෙය දවසේ ගල නවතී ද? මහ මෙර සොලවා පියන තරම් සුළඟ හිඹුල් පුළුනේ නවතී ද ? නමින් කුඩා පමණක් මුත් නුවණින් බලාලූ කලට මහමෙරටත් වඩා උස් හෙයින් මුඹ වහන්සේ හා කථා කරන්ට උන්වහන්සේට බැරි කිම් දැ’යි කිවු ය. ඒ අසා පී පමණ කින්ම පසු බැස්ම බෑවී හුන් නියාවට තරම් නො වන හෙයින් ‘එ සේ වී නම් මා දක්නා කැමැති නියාව ඔබ කියා යව’යි කිවු ය. රාජනියොග ලත් දෙවමන්තිය නම් ඇමැත්තාණෝ කියා යවු ය. නාගසේන මහ තෙරුන් වහන්සේ ත් ‘යහපත එත්ව’යි කියා යැවූ සේක. ඒ අසමින් මිළිඳු රජ්ජුරුවෝ පන් සියයක් පමණ යොන් ඇමැත්තන් පිරිවරා උතුම් රථයකට නැඟී නාගසේන මහතෙරුන් වහන්සේ දක්නා නිසා සඞ්ඛෙය්‍ය පිරිවෙණට නික්මුණාහු ය.
ඒ වේලාවට නාගසේන මහ තෙරුන්වහන්සේ ද අසූ දහසක් වහන්දෑ පිරිවරා විහාරයේ වටමළුවේ වැඩහුන් සේක. මිළිදු රජ්ජුරුවෝ ඔබ ගේ මහණ පිරිස දැක ‘දෙවමන්තියෙනි, මේ මහණ පිරිස කවුරුන් වහන්සේ ගේ දැ’යි විචාරා ‘නාගසේන මහ-තෙරුන් වහන්සේ ගේ මහණ පිරිස ය’යි කී කල්හි මුසුන් දඬු පහර කෑ දවස් බා ගිය තරමට ත් වඩා එ දවස් සිංහයකුට ළං වූ ඇතක්හු මෙන් ද, ගුරුළකුට ළං වූ නයකු මෙන් ද, පිඹුරෙකුට ළං වූ සිවලෙකු මෙන්ද, නයෙකුට ළං වූ මඩුවෙකු මෙන් ද, දිවියකුට ළං වූ මුවකු මෙන් ද, බළලකුට ළං වූ මීයකු මෙන් ද, යකදුරන්ට ළං වූ පිසාචයකු මෙන්ද, රාහු අසුරිඳුට ළං වූ සඳ මෙන් ද, මැදිරියකට අසු වූ පක්ෂියකු මෙන් ද, දැළකට අසු වූ කුඩ මස්සකු මෙන්ද, මිය යන්ට ආසන්න ව සිටි දෙව් පුතක්හු මෙන් ද, බා ගොසින් බා ගිය නියාව නො හඟවා ‘තෙපි හැම දෙන ම තෙල අසූ දහසක් පමණ වහන්දෑ ගෙන් නාගසේන මහ තෙරුන් වහන්සේ මට නොකියව. මම් ම දැන ගනිමි’යි කියාලා සතළිස්දහසකට පසුව ලා සතළිස් දහසකට පෙරාතු ව ලා මැද[26] වැඩහුන් නාගසේන මහ තෙරුන් වහන්සේ මුසුන් දණ්ඩෙන් පහර කෑ දවස් හැඳින්නා සේ ම හැඳින ගෙන, ‘දෙවමන්තියෙනි, සතළිස් දහසක් වහන්දෑට පසු ව සතළිස් දහසක් වහන්දෑට පෙරාතුව ලා වැඩ හුන් සේක් නාගසේන මහ තෙරුන් වහන්සේ වේ දැ’යි කිවු ය.
දෙවමන්තියයෝ ද ‘දැන වදාළ නියාව යහපත ඔබම ය’යි කිවුය. රජ්ජුරුවන්ට ත් අනික් කෙනකුන් නොවිචාරා ම දැන ගත් නියාව යහපතැයි කියන්නා ම සිත සතුටු ව පාන ඇති කලට අඳුරු නැති වූවා සේ භය නැති වී ය. භය නැති ව ගොසින් සිතිවිල්ලට අවසරගෙන ‘තර්‍ක වාද කරණ තැන් පටන් මෙ වක දක්වා බොහෝ වාදීන් දැකත් අද මුන් වහන්සේ හා මුන් වහන්සේගේ මහණ පිරිස දැක උපන් භය තරම් භයෙක් නු වූ විරූ ය. පැරදී කල වුව මනා භය පෙරාතු ව වූ හෙයින් මා පැරදී නියා ම ය. සටනට පවා ගිය කල සතුරු පිරිස් නොදැක ත් සටන් බෙරහඬ ඇසූ පමණකින් ම බිඳී පලා ගිය ත් බුන් නියා ම ය. ජය වූ කලී කෙවට්ටයන්ට දමා ලූ මැණික මහෞෂධ පණ්ඩිතයන් කරා ගියා සේ මුන් වහන්සේ කරා ම යෙ යි. දිනන සේක් නාගසේන මහතෙරුන් වහන්සේ ය’යි කියා කරණ වාදයට පෙරාතු ව ජය ඔබ ම ලැබ්බ වූ ය.
එ සේ හෙයින් අනුන් හැමැදි කසළ හුදක් සැදහැයෙනු ත් නො ව බලාත්කාරයෙන් දමා පී පමණෙකින් මිළිඳු රජ්ජුරුවන්ට සම්භව වූ යස තෙද ත්, මළු හැමැදි පින් කමින් නාගසේන මහ තෙරුන් වහන්සේට සම්භව වූ නුවණ ත් දැන මෙ පමණකිනු ත් ලඝු වත් කුශලයෙන් සිද්ධ කරණ ඉෂ්ට විපාක ය මහත් නියාව සලකා කුසල්හි හැසිරීමෙන් අකුසලින් දුරු ව සිත් සතන් පවිත්‍ර කට යුතු.
-
ගඟ හස බඩට - ගඟ අස බඩට ↑
-
දුටු ගසවා, ↑
-
කැනවිළුන්ගේ, කැණවිලුන්ගේ. ↑
-
පෙරන ↑
-
දහසෙයියා ↑
-
තැකිල්ල ↑
-
වී ටිකකි, ↑
-
රන්තලවු ගල, ↑
-
කෙළ සියයක්, ↑
-
සන්කුල, ↑
-
අල වාදී ↑
-
කැණවිලුන්ට ↑
-
නුවූයේ ය. ↑
-
දෙව් පුත් ද ↑
-
සාළුවක් ↑
-
ලද්දේය. ↑
-
ඉගැන්වීම. ↑
-
විදම් ↑
-
අළුව. ↑
-
සම්මැටයන් ↑
-
වාත්න්‍වය ↑
-
නො නැඟ මනා ↑
-
කෙනෙක් ↑
-
චිත්‍රකථිව ↑
-
දෙවමන්ත්‍රී ↑
-
මැදි ↑