76. පණ්ඩිත සාමණේර වස්තුව

star_outline

තව ද යම් කෙනෙක් ඉතා දුක් පත් වත් පින් කෙරෙත් නම් උන් කෙසේ දුක් පත් වුව ත් කර්‍ම භවයෙහි දී පැවැති කුශල චේතනා ත් විපාක භවයෙහි දී සම්භ වන සමෘර්ධිය ත් දුක් පත් නො වන නියා ව හඟවන්ට පණ්ඩිත සාමණේර වස්තුව දක්වමු.

කෙ සේ ද යත්−

යට ගිය දවස කසුප් බුදුහු විසි දහසක් රහතන් පිරිවරා බරණැස් නුවරට වැඩි සේක. මිනිස්සු තමන්ගේ පෝමන් සලකා දසයකු ත් විස්සකු ත් වඩා ත් එක්ව ගෙන අමුතු ව ලා වැඩි බුදුන්ට අමුතු දන් දුන්හ. එක් දවසක් බුදුහු වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරන සේක් “උපාසකවරිනි, මෙ ලොව සමහර කෙනෙක් තමා සතු දෙය දීම ම යහපත. අනුන් පින් කම සමාදන් කරවා කිම් දැ’ යි තුමූ තමන් සතු දෙයින් දන් දෙති. අනුන් සුඟකු ත් සමාදන් නො කරවති. උන් උපනුපන් තැන උන්ට ධන ධාන්‍ය සම්පත් බොහෝ ව ඇති වෙයි. පරිවාර සම්පතට හේතු වූ සමාදාන ය නුවූ හෙයින් කෙලි-කොලු පමණෙක ත් පරිවාර නැත. සමහර කෙනෙක් බණ දහම් කියා අනුන් සමාදන් කරවති. තමන් දෙය වේයන් බඳනා තුඹස් සේ උපයා රැස් කර ත් මුත් දනක් දී නො ලති. ඌ උපනුපන් තැන පරිවාර සම්පත් ලැබෙති. භෝග සම්පතට හේතුව නුවූ හෙයින් පරිවාරයට ත් වඩා තමන්ට බත් පමණකු ත් ඇත් නම් ඇත.

සමහර කෙනෙක් මසුරු සිත බලවත් හෙයින් තුමූ ත් නො දෙති. පිනකට අදහස් නැති හෙයින් අනුන් සමාදනුත් නො කරවති. උන් උපනුපන් තැන දෙක ම උන්ට නො උපද්දි. සිඟා කා ජීවත් වෙති. තමන් කළ ලෙස සලකා ගත නො හී අනුන්ට මැසෙති. සමහර කෙනෙක් දෙක ම කෙරෙති. උන් උපනුපන් තැන උභය සමෘර්ධි ය ම ඇතැ”යි වදාළ සේක. ඒ බණ අසා එක් ළඟ සිටි නුවණැති කෙනෙක් ‘යම් ලෙසක කළ කල සම්පත් දෙක ම මට සම්භ වේ නම් බුදුන් ම උපදෙස් වදාළ ඒ ලෙස කෙරෙමී’යි ඌ තුමූ බුදුන් වැඳලා ‘ස්වාමීනි, සෙට දිනයට කරුණා කොට වදාළ යහපතැ’යි කිවු ය. ‘වහන්දෑ බොහෝ වුව. කෙ තෙත් විතර වුව මනා දැ’යි විචාරා නිත්‍ය පරිවාර වහන්දෑ කෙතෙක් දෙනා වහන්සේ දැ’යි උපාසකයන් විචාළ කල්හි ‘විසි දහසෙකැ’යි වහන්දෑගේ ගණන වදාළ සේක. ‘ස්වාමීනි, එ සේ වී නම් එක නමකු ත් නො හැර කැඳවා ගෙන සිඟා වඩනේ යහපතැ’යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක.

ඌ ගමට වැදලා තමන් තකා ම කළ ආරාධනාවක් නො වන හෙයින් ‘දෙමවුපියෙනි, නෑයිනි, සියෙනි, සෙට දවසට බුදුපාමොක් සඞ්ඝයා වහන්සේට නුඹ හැමත් තකා ආරාධනා කෙළෙමි. මාගේ ම බලයකට හෝ පොහොසත් කමකට නොවෙයි. යම් විතරකට දන් දෙන්ට පිළිවන් වී නම් එ තරමකට නුඹ නුඹගෙන් දන් දුන මැනැවැ’යි කියා ඇවිදිනෝ තමන් තමන්ගේ බල ය සලකා අපි නමකට දෙම්හ. ‘අපි විසි නමකට දෙම්හ’යි, අපි සඟ සියයකට දෙම්හ, අපි පන් සියයකට දෙම්භ, යනාදීන් කී කල ‘දන් දෙම්හ’යි නිල වූවනු ත් දන් දෙන වහන්දෑගේ සඞ්ඛ්‍යාවත් වට්ටෝරු කොට ගත්හ. එ සමයෙහි වැළිත් ඒ බරණැස් නුවර ඉතා දුක් පත් හෙයින් මහ දුගියා ය යි ප්‍රසිද්ධ වූ කෙනෙක් ඇත. උනු ත් එ තැනට ආවවුන් දැක ‘සබඳ මහදුගිය, බුදු පාමොක් වහන්දෑට සෙටයට ආරාධනා කෙළෙමු. නුවර ඇත්තෝ හැම එක් ව සෙට දන් දෙති. තොපි කී නමකට දන් දී ලිය හෙවු දැ’යි විචාළෝ ය.

‘ස්වාමීනි, මට වහන්දෑ හැයි ද, වහන්දෑ වුව මනා නම් දන් දීලිය හෙන කෙනකුන්ට වේ ද? මාගේ සෙසු පැදීම් තබා සෙට උළු කැන් බී පියන්ට සාල් නැළියකට විදි කිදි ත් නැත. මම බැළ මෙහෙ කොට ලා ජීවත් වෙමි. වහන්දෑගෙන් ලබත් මුත් ඔබ දී ලන්ට මාගේ බලයක් නැති පසු මට වහන්දෑ හැයි දැ’යි කිවු ය. පින් කම සමාදන් කරවන්නවුන් විසින් නුවණැති ත් විය යුතු ය. නුකුසි ත් විය යුතු ය. එ සේ හෙයින් නැතැ’යි කී ව ත් පලා නො ගොසින් ‘සබඳ මහ දුගි ය,මෙම නුවර ඉස්සෝධා නා පියා සුවසේ බත් කාගෙන සළු සොළී පිළී හැඳපියා නො එක් ආභරණ ලා සැරහී ශ්‍රීයහන්වල සැතපෙමින් බොහෝ දෙන කළ පින් ලෙසට සම්පත් විඳිති. තොපි රඟමඬුල්ලෙක පුරමාට්ටු පානා කෙනකුන් මෙන් කුණු රෙද්දකින් අමුඩක් ගොතා ගෙන උදාසන පටන් සවස් වෙලා වනතුරු බැළ මෙහෙ කොට ත් කුස පිරෙන පමණක් නොලැබෙයි. එ සේ වුව ත් ‘දැන් මා නො ලබන්නේ පෙර දනෙහි යොදා යමක් නුදුන් හෙයිනැ’යි නො දත් නියා දැ’යි කිවු ය. ‘දනිමි, ස්වාමීනි’යි කිවු ය. ‘දන්නා කල දැන් දනට පිනට මැළියෙයි න. තොප දුක් පත් බව මුත් වයස් පලා නො ගිය හෙයින් දැඩිතර වුව. කුමකු ත් කොට ලිය හෙත් බැළ මෙහෙ කොට වුව පොහෝනා පමණෙක දන් සුඟක් දුන් කල නපුරු දැ’යි තර ව කිවු ය.

දුගියාණෝ ත් උන් තර ව කියත් කියත් තුමූ ත් කාරණ සිතා පියා අදහස දුගී කම් නැති ව ‘එ සේ වී නම් මට ත් නමක් වට්ටෝරුවේ ලියා ගත මැනව. බැළ මෙහෙයක් කොට ලත් දෙයකින් නම කට දන් දෙමි’යි කිවු ය. දන් විධාන කොට සමාදන් කරවන තැනැත්තෝ ත් දස නම–විසි නම-සඟ සිය ය-පන් සිය ය ලී වට්ටෝරුවල එක නම ලියන්නේ කිම් දැ යි නො ලිවුවෝ ය. එයි ත් මහ දුගියාණන්ගේ ම එ වක සැපතට දෛව නැත ත් නිසි ම තැනක් ලබන්ට වූ නිලයෙක. මහ දුගියාණෝ ද ගෙ පැල් පතට ගොසින් ඇඹේණියන්ට කියන්නෝ ‘සොඳුර, නුවර ඇත්තෝ හැම දෙන එක් ව සෙට මහ දන් දෙති. දන් විධාන කොට සමාදන් කර වන තැනැත්තෝ දුක්පත්මි කීව ත් කර බඳිනා දෙයක් මෙන් නමක් මට ත් නිල කොළෝ ය. අපි ත් නමකට සෙට දවස දන් දෙම්හ’යි කිවු ය. උන්ගේ ඇඹේණියෝ ද ‘අප දුක් පත් වුව ගිවිස්සේ ඇයි දැ’යි නො කියා ‘කළ දෑ ඉතා ම යහපත. පෙරත් කිසිවක් නො දී දැන් දුක් පත් වූම්හ. දැන් යමක් කට නුහුණුමෝ නම් රෑ වත් අඳුර දැඩි වන්නා සේ වඩ වඩා ලා ම දුක්පත්කම් ම ය. අපි දෙන්න කැටි ව බැළ මෙහෙ කොට ඉන් ලද දෙයකින් නමකට දන් දෙම්හ’යි කියා දෙන්න ම බැළ මෙහෙ සොයා ගියහ.

එනුවර මහ සිටාණෝ ද මහ දුගියාණන් දැක ‘කුමක් ද, සබඳ මහ දුගිය, බැළ මෙහෙ කෙරේ දැ’යි විචාරා ‘ඵ සේ ය’යි කී කල්හි ‘කවර කර්මාන්තයක් කෙරෙයි දැ’යි විචාළෝ ය. ‘කුමක් වේව යි වදාළක් කෙරෙමි’යි කී ය. ‘එ සේ වී නම් වහන්දෑ දෙතුන් සිය ය කට සෙට අපගෙන් දන් දෙම්හ දන් පිසන්ට දර පළා දෙව’යි කියා ලා ගැට පැස පියන්ට වෑයකුත් දෙවා ලා දර පළන්ට පොරව කුත් දුන්හ. මහ දුගියාණෝ ද මහා උත්සාහයෙන් වෑයෙන් කැපුව මනා තැන් වෑයෙන් කපමින් පොරොවින් පැළුව මනා තැන් පො රොවින් පළමින් වහ වහා දර පළති. සිටාණෝ දැක ‘සබඳ, තොපි මේ තෙක් දා සේ නො වව. අද මෙහෙ කොට ලන නියා ව බලවත. කාරණ කිම්දැ’යි විචාළෝ ය. “මින් ලද දෙයක් හැර ගෙන නම කට දන් දෙමි සිතා ය”යි කිවු ය. සිටාණෝ ඒ අසා සතුටු ව “අනේ මුන් කරණ දෑ යහපත. “මම දුක් පත්මි’ කියා ලා වැද නො හිඳ එක් නමකට දන් දෙත් ල” යි සිතූය. සිටු දුවණියෝ ද බැළ-මෙහෙයට ගිය දුගී අඹුවන් දැක ‘කුමණ මෙහෙවරක් කරවු දැ’යි විචාරා ‘කැමැති මෙහෙවරකැ’යි කී කල්හි වන්-මොහොල් තිබෙන ගෙට ගොසින් වනුත් මොහොලු ත් දෙවා ලා දන් වී පාරින්ට නිල කළහ.

ඌත් තුමූ සතුටු ව නටන කෙනකුන් මෙන් වී පෑර පෑර වී පූ කෙරෙති. සිටාණන්ගේ ඇඹේණියෝ ද ‘සතුටු සතුටු ව වී පෑරපුව. මිල ආසාවෙන් පාරිනා පමණක් මුත් මහ දුක් වුව. සතුටු වන්ට කාරණ කිම්දැ’යි විචාරා එක් නමකට දන් දෙන්ට සිතන නියාව කී කල්හි සිටු දුවණියෝ ත් ‘දුක් පත් ව සිට කරණ දෑ යහපතැ’යි සිතූහ. සිටාණෝ ද දුගියාණන් දර පළා ලූ කල මේ ‘තොප කළ මෙහෙයට මිල ය’යි හැල් වී සතර නැළියක් දෙවා ලා අනිකුත් හැල් වී සතර නැළියක් මිලයෙන් පිටත්ව සතුටු ව දෙන දේ ය’යි දෙවූහ. ඌ ගෙට ගොසින් ඇඹේණියන්ට ‘මම බැළ මෙහෙ කොට හැල් විකක් ලදිමි. ඒ බතට ඇත. තොප ලබන දෙයට සරි කර දී තෙල් දුරු මිරිස් ආදිය හැර ගනුව’යි කිවු ය. සිටු දුවණියෝ ත් උන්ට කන තෙල් මුට්ටියකු ත් දී අත් පතළයකුත් දුරු මිරිස් ආදිය ත් ඇල් සාල් නැළියකු ත් දෙවූහ. දෙන්නා ගෙන් කැටිව සාල් පස් නැළියක් මුළුලු වී ය.

උන් දෙන්න ම දානෝපකරණ මුළුලු වූ නියාවට සතුටු ව පාන්වන්නා ම නැඟී සිට පලා කඩා ගෙනෙව’යි දුගියන්ට ඇඹේණියෝ විධාන කොළෝ ය. උයිත් අංගාණියට ගොසින් බොහෝ දෙනා ම මිල දී හැරගත් හෙයින් පළා කොළක් නො දැක ගඟ බඩට ගොසින් ‘අද නමකට දන් දෙම්හ’ යන අදහසින් සතුටු සතුටු ව තමන් දුක්පත් තරමේ උගත් ගීයකු ත් කිය කියා පලා සොයා ඇවිදිති. මහ දැල් දමාලා සිටි කෙවුළෝ මහ දුගියා දෙඩු හඬෙකැ’යි සිතා කැඳවාලා කඩන පලා තිබිය දී සතුටු සතුටු ව ගී කියන්ට සිතට ඇති සුව ය කවරේ දැ’යි විචාළෝ ය. ‘පලා කඩමින් සිටියෙමි’ කිවු ය. ‘පලා කුමට දැ’යි විචාළ කල්හි එක් නමකට දන් දෙමි. දනට මාළුවට ය’යි කිවු ය. ‘අනේ තොපගේ පලා කොළ වළඳන වහන්දෑත් තොප සේ ම පින් නැති නියා වේ’ දැ යි කිවුය. සබඳිනි, කුමක් කියා ද? දන් දී ලා වන සුවපත් කමක් මුත් දන් දෙනු නිසා සුවපත් වන්ට ත් බැරිවේ ද? මට උපන් සැටියෙක දෙමි’ කිවු ය.

එ සේ වී නම් මෙ සේ එව’යි කැඳවා ලා තෙල අප දැල් ගසා ලා ලූ කුඩ මස්සන් අකක් අගනා ලෙසට ත් දෙ අකක් අගනා ලෙසටත් කහවණුවක් අගනා ලෙසට ත් වැල්වල අවුණාලව’ යි කිවු ය. උයි ත් එ සේම කොළෝ ය. ඇවුණු ඇවුණු කුඩමස්සන් නුවර ඇත්තෝ තම තමන්ගේ දනට හැර හැර ගෙන ගියෝ ය. උනුත් කුඩමස්සන් වැල්වල අවුණන්නවුන්ට වහන්දෑ සිඟා වඩනා වේලා ආසන්න විය. උයිත් වේලාව සලකා ලා වහන්දෑ සිඟා වඩනා වේලාව ය. මම යෙමී’යි කිවු ය. ඇල්වල අවුණා තුබූ කුඩමස්සෝ ඇත් දැ යි විචාරා නැත, නිම්ම ය යි කී කල්හි ‘එ සේ වී නම් රේමස් සතර දෙනකුන් යන කල ගෙන යම්හ’යි වැලිසාරා ලා සඟවා තබාලුම්හ. ඉදින් නමකට දන් දෙවු නම් උන් ගෙන යව’යි කිවු ය.

එදවස් වැළිත් බුදුහු අළුයම ලොව බලන සේක් ගඟ කුඩ මස්සන් කෙවුළු දැලට හසුවන්නා සේ මහ දුගියාණන් තමන් වහන්සේගේ විනේජන නමැති කුඩමස්සන් හසුකරවන්නට සක් වළ ගබ් නමැති මුහුදට දැමූ, නුවණ දැල බැඳුණවුන් දැක ඕ හට වන්නේ කුමක් දෝ හෝයි බලන සේක් ‘මහ දුගියාණෝ ත් නමක් පමණට දනක් දෙමි’ අඹුව හා දෙන්න බැළමෙහෙ කොළෝ ය. දන් වළඳන්නට කවර නමක් ලැබේ දෝ යි සිතා ‘වට්ටෝරු ලූ ලෙස සඟුන් බෙදී ඒ ඒ ගෙවලට වළඳන්ට ගිය කලට මා විනා අනික් නමක් නොලබන්නේ ය’යි දැක වදාළ සේක.

සර්වඥවරයෝ නම් කරුණා පුඤ්ජයක් සේ හෙයින් දුක්පතුන් කෙරෙහි අනුපම්පා බලවත් ව ඇති සේක. එසේ හෙයින් බුදුහු උදාසන ම සිරුරු කිස සපයා ගෙන මහ දුගියාට කරුණා කෙරෙ මින් හුදකලාව ම කථාකරන්ට වෙන්වූවා සේ ගඳකිළියට වැද ලා වැඩහුන් සේක. මහ දුගියාණන්දෑ කුඩමස්සන්ද හැර ගෙන ගෙට එත් එත් සක්දෙවිඳුගේ පඬු ඇඹුල් සලභස්න හුණු වි ය. හුණු වන්ට කාරණ කිව්වෝ හෝ යි විමසන්නෝ ‘ඊයේ දවස් මහදුගියා වහන්දෑ නමකට දනක් දෙමි’යි තමාගේ අඹුව හා සමඟ බැළ මෙහෙ කෙළේ ය. ඉන් ලද දෙයින් අද දන් දෙයි. ඌගේ දනට නිලවන නම කවුරුන් වහන්සේ දෝ හෝ යි සිතා අනික් නමක් ඕහට සම්භ වන්ට නැත. බුදුහු ඕහට කරුණා කෙරෙමි යි සිතා ගඳ කිළියේ වැඩහුන් සේක.

මහදුගියා ත් තමන්ට පිළිවන් තරමෙක කැඳ බත් ඉදි කරවා දෙයි. මම මහ දුගියාගේ ගෙට ගොසින් ඌ ගෙන් කරන දැය ම සකස් වන ලෙසට අරක්කැමි කමක් කෙළෙම් වී නම් යහපතැ’යි සක් දෙවිඳු වෙස හැර ලා අනික් වෙසකින් මහ දුගියාණන්ගේ ගෙය ළඟට ගොසින් බැළ මෙහෙයකින් ප්‍රයෝජන කාටද’යි විචාළෝ ය. මහදුගියා ද උන් දැක ‘සබඳ, තොපි කුමන කර්‍මාන්තයක් කරවු දැ’යි විචාරා මා නො දන්නා ශිල්පයක් නැත. සෙස්ස තබා සූප ශාස්ත්‍ර ලෙසින් කැඳ බත් ආදි ය පිසන සේ ත් දනිමි’යි කිවු ය. ‘සබඳ අපි වන්නා අපගේ දන් ඉදි කිරීමකුත් ඇති හෙයින් මෙහෙ කරවා ගන්නා කැමැත්තම්හ. මෙහෙය කරවා ගෙන දී ලන්ට මිල නැතැ’යි කිවු ය. ‘තොපට කළ මනා කුමක් දැ’යි විචාරා ‘එක් නමකට දනක් දෙන හෙයින් පිසමනු ත් දන්නා පසු ඒ ඉදි කොට දී ලීම කැමැත්තෙමි’ කී කල්හි ‘ඉදින් වහන්දෑ නමකට දනක් දෙවු නම් තොපගේ මිලයෙන් මට කම් නැත. තොප දුක් පතුන්ට පින් යහපත් කළ මා ත් දුක් පත් තැනැත්තවුට පින් නපුරු දැ’යි කවර කල ත් දුක් පත් කම ම කියා එන ශක්‍රවරුන් හෙයින් එ ලෙස කිවු ය.

ඒ අසා මහ දුගියාණෝ ‘එ සේ වී නම් පලා එව’යි කැඳවූහ. උයි ත් උන් ගෙට ගොසින් සාල් මාළු ගෙන්වා ගෙන ‘තොපි ගොසින් තොපට පැමිණි තැනක් කැඳවා ගෙන එව’යි කියා ලා යවූහ. දන් විධාන කොට සමාදන් කැර වූ තැනැත්තෝ ද වට්ටෝරු වූ ලෙසින් වහන්දෑ ඒ ඒ ගෙවලට යවූහ. මහ දුගියාණෝ ද උන් ළඟට ගොසින් ‘මට නිල කළ වහන්දෑ නම දුන මැනැවැ’යි කිවු ය. ඌ එ වේලේ සලකුණු කොට පියා සලකුණු නො වී ය’යි කිවු ය. මහ දුගියාණෝ ද තමන් දුක සේ සපයා ගත් දනක් හෙයින් සැර පහරක් සේ බස් පහර ලදින් වහා මුසුප්පුව ‘සබඳ, මා කුමට නසයි ද? තර ව කියා නිල කළ හෙයින් දෙ මහල්ලන්ම දවස මුළුල්ලේ ම බැළ මෙහෙ කොට එ සේ ත් විඩා ව අද උදාසන ම පලා සොයා ගොසින් ගං බඩ ඇවිද එ සේත් විඩා ව පියා අයිමි. එ සේ මෙහෙ කොට ඇවිද වූ කාය පීඩා විතරට ත් දැන් ඇති වූ චිත්ත පීඩා විතර මහත. දන්නා යම් ලෙසකින් වහන්දෑ නමක් නිල කළ මැනවැ’ යි කියා ලා හඬන්නට වන්හ.

මිනිස්සු ත් රැස් ව පියා ‘මේ කිම් ද, මහ දුගිය’යි විචාළෝ ය. දුගියාණෝ ද එ පවත් කිවු ය. තෙල සැබෑ දැ’යි විචාරා සැබැව’යි කී කල්හි මෙ තෙක් දෙනාට මෙ තෙක් වහන්දෑ නිල කරන ගමනේ වහන්දෑ විසි දහසක් සෙයින් මඳ නො වත් නමක් පමණ නිල නො කෙළේ නපුරැ’යි සමාදන් කරවා ඇවිදි තැනැත්ත වුන්ට කිවු ය: උයි ත් ඒ අසා මහා මුසුප්පු ව ‘සබඳ මහ දුගිය, මා නො නස ව, තොප නිසා ත් මට වූයේ මහා මුසුප්පු ය. මිනිස්සුත් වට්ටෝරු ලෙසට වහන්දෑ නිල කොට ගෙන තම තමන් ගේ ගෙවලට වඩා ගෙන ගියහ. එක නමක් කිම් දැ’යි වට්ටෝරු කරවන්ට ත් නො වී ය. තම තමන්ගේ ගෙවලට වළඳන්ට ගිය වහන්දෑ මා ඉල්ලුව’යි කියා මට හරින්නේ ත් නැත. බුදුහු වැළිත් තව දක්වා වහන්දෑ ලා කැටිවත් නො වැඩ ගඳ කිළියට වැද ලා වැඩ හුන් සේක.

රජ, යුව රජ, සෙනෙවි ආදීහු බුදුන් ගඳ කිළියෙන් මෑත් වන තෙක් පෙර මඟ බලා හිඳිති. බුදුන්ගේ පාත්‍රය හැර ගන්නා නිසා ය. උන් කෙ සේ හුන ත් බුදුවරුන් වහන්සේ දුක් පතුන් කෙරෙහි අනුකම්පා ඇති සේක. තොපි වෙහෙරට ගොසින් ‘ස්වාමීනි. මම දුක් පතිමි. කරුණාව නම් දුක්ඛිත සත්‍වයන්ගේ දුක්ඛාපගමයකට වේ ද, මට කරුණා කළ මැනැවැ’යි කියා ලා වැඳ ගෙන වැද හෙව. ඉදින් තොපගේ පිනෙක් ඇත් නම් බුදුන් ම ලබව’යි සක් දෙවිඳු අවුත් ඇඟ ආවෙස වූවා මෙන් කිවු ය.

උයි ත් ඒ අසා වෙහෙරට යන්ට නික්මුණාවු ය. මෙ තෙක් දවසු ත් විහාරයට සිහා කන්ට යන හෙයිනු ත් රජ යුව රජ ආදීහු ‘හැයි, මහ දුගිය, තව වළඳන වේලාවක් නොවත් කුමට යෙහි දැ’යි කිවු ය. ‘වළඳන වේලාව නො වන නියා ව දනිමි. බුදුන් වඳින්ට යෙමි” කියමින් ගොසින් ගඳ කිළියේ එළි පත ඉස තබා ලා පසඟ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමීනි, මේ නුවර මට වඩා දුක් පත් කෙනෙක් නැත. බුදුවරුන් වහන්සේ දුක් පතුන් කෙරෙහි කරුණාව ඇත්තේ නියම වී නම් මට කරුණා කරණ බව ය’යි කිවු ය. බුදුහු ගඳ කිළියේ දොර හැර ලා සම්පතක් ඉල්වා අත දික් කළ කෙනකුන්ට මහත් නිල් මැණිකක් දෙන කලක් මෙන් පාත්‍ර ධාතූන් වහන්සේ ඔහුගේ අත තබා ලූ සේක. උයි ත් පාත්‍ර ධාතූන් වහන්සේ ලදින් සක් විති රජ සැපතකට පැමිණි කෙනකුන් මෙන් වූහ. රජ යුව රජ ආදීහු උනුන් මූණු බලා පීහ. මහදුගියාණන්ට බුදුන් දෙවා ලූ පාත්‍ර ය පොහොසත් කමින් ඇරගන්ට සමර්ථ කෙනෙක් නැත. ඔවුහු මෙ සේ කිවු ය.

“සබඳ මහ දුගිය, බුදුන්ගේ පාත්‍රය අපට දිනි නම් තට බොහෝ සම්පත් දෙම්හ. තෝ ඉතා දුක්පත්ති, තට වුවමනා සම්පත් - මිස මේ පාත්‍රයෙන් ප්‍රයෝජන කිම් ද’ යනාදීන් ගුණෙන් කීහ.

දුගියාණෝ ‘කිසි කෙනකුන්ට ත් පාත්‍රය නො දෙමි. මට වස්තුවෙන් කම් නැත. බුදුන් වළඳවමී’ කීහ. පාත්‍ර ය. ඉල්වා නොලදින් සෙසු හැම දෙනම රඳා පීහ. රජ්ජුරුවෝ සිතන්නෝ ‘මේ මහ දුගියා වස්තු දෙම්හ’යි කීව ත් බුදුන්ගේ පාත්‍ර ය නො දෙයි. බුදුන් වහන්සේත් තමන් වහන්සේ දෙවා වදාළා වූ පාත්‍ර ය කිසි කෙනකු ත් හැර ගත නො හෙති. මූ ඉතා දුක් පත් හෙයින් දී ලන දෙය කවර තරමක් බව ත් නො දැනෙයි. මූ තමා දෙය දෙන සැටියක දී පූ කල්හි බුදුන් වඩා රජ ගෙට ගොසින් මට සපයා තුබූ අහර දෙමි’ සිතා බුදුන් හා කැටි ව ම නික්මුණා හ.

සක් දෙව් රජ ද කැඳ බත් ඉදි කොට ලා බුදුන් වැඩ හිඳිනා ලෙසට හසුනකු ත් පනවා ලූහ. මහ දුගියාණෝ බුදුන් වඩා ගෙන ගොසින් ‘ස්වාමීනි, ගෙය ඇතුළට වැඩිය මැනැව’යි බුදුන්ගේ උස තරමට තමන් ගෙය මිටි වුව ත් කිවු ය. උන් දුක් පත් හෙයින් හිඳිනා ගෙය ත් මිටිය. නැඹුරු නො ව වදනට නො පිළිවන. බුදුවරුන් වහන්සේ ත් ගෙවලට වදනා කල කරන පින් කම් මිටි නො කළ මනා හෙයින් කර බා හෙන නො වදිනා සේක. ඒ එ සේ මැයි ගෙවලට වදනා කළ පොළොව හෝ පාත බස්සි. ගෙය හෝ උඩ පැන නැහෙයි. පින් කරන කල කරන පින් සකස් කොට කිරිමෙහි අනුසස ය. නැවත වැඩ පී කලට ආදි ලෙසට ම වෙයි. ඒ කාරණයෙන් බුදුහු කර නො බා ම වැද සක් දෙවිඳු පැනවු හස්නෙහි වැඩ හුන් සේක.

බුදුන් වැඩ හුන් කල්හි රජ්ජුරුවෝ ‘දුගියාණෙනි, තෙපි අප හැම ඉල්වා ත් බුදුන් ගේ පාත්‍ර ය නුදුන්නු ය. තොප ඉදි කරවා තුබූ දන් බලන්ට වුව මැනව. අපට පාව’යි කිවු ය. ඉක්බිත්තෙන් දුක් පත් වෙස් ගත් සක් දෙවිඳු කැඳ බඳුන් ආදියෙහි වැසුම් හැර ලා පෑවූ ය. ඒ බඳුනේ සුවඳ සියලු මුළු නුවර පැතිර සිටියේ ය. රජ්ජුරුවෝ කැඳ ත් අවුළු පතුත් මාළු ත් බලා පියා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, මම මේ දුගියා දෙන දන් කවර තරම් හෝ යි බලා මූ දෙන දෙය දී පී කලට මුඹ වහන්සේ රජ ගෙට කැඳවා ගෙන ගොසින් මට ඉදි කළ බත වළඳවන්ට සිතා අයිමි. මා මේ බඳු බතක් කන්නා තබා දුටු විරූ ත් නැත. මා මේ තැන රඳා පී කලට මහ දුගියාට ගහට වේ දැ’යි බුදුන් වැඳ ගෙන නික්මුණ වු ය.

ශක්‍රයෝ ද තමන් සකසා ඉදි කළ දෑ සකසා ම වළඳවා ලූය. බුදුහු ත් වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරා ලා වැඩ පී සේක. සක් දෙවිඳු ද මහ දුගියාණන්ට ‘බුදුන්ට ගමන් පසු කොට යව’යි විධාන කළහ. මහ දුගී ත් බුදුන් ගේ පාත්‍ර ය එන ගමනේ ත් තමන් ම ගෙනා හෙයින් වඩනා ගමනේ ත් හැර දෙන්ට පාත්‍ර ය තුමූ ම හැර ගෙන නික්මුණවු ය. සක් දෙවිඳු මඳ තැනක් ගොසින් ලා රඳා බුදුන් එක් තරමෙක සංග්‍රහ කළ මහ දුගීන්ට තුමූ මහා සංග්‍රහයක් කරණු කැමැති ව මහ දුගියාණන්ගේ ගෙදොර සිට අහස බලා ලූය. අහස සිස් වුව ත් කළ පින් නො සිස් හෙයින් සත් රුවන් වැසි වැස ලා උන්ගේ ගෙට රෑට බත් පිස කන විතරට ත් අවසර නො කොට සියලු වළඳුත් පුරා ලා සිටිනා පමණකට ත් අවසර නො තබා රුවන් ගෙයක් පුරාලූය. දුගියාණන්ගේ අඹුවෝ ද පින් කොට ත් මේ තරම් නපුරු ගෙවල හිඳුමෝ දැ යි මෑත්වූවා සේ තමන්ගේ දරු පැටවුනු ත් කැඳවා ගෙන මෑත් ව ලා සිටියෝ ය.

දුගියාණෝත් බුදුන් කැටිව ගොසින් ලා පෙරලා ආ තැනැත්තෝ අඹු දරුන් පිටත සිටියවුන් දැක මේ කිම් දැයි විචාරා ගෙය මුළුල්ලේ සත් රුවන් ගෙයින් සිටිනා පමණකටත් අවසර නැති නියාව කී කල්හි ‘මා දුන් දනෙහි විපාක ය පර ලොව ලබනවා තිබිය දී මෙ ලොව ත් පෙණිනැ’යි සිතා ලා රජ්ජුරුවන් ළඟට ගොසින් දැක ලා ‘කුමක් නිසා අවුදැ’යි විචාළ කල්හි ‘අපගේ ගෙය සත් රුවනින් පිරිණ. ඒ වස්තුව ගෙන්වා වදාළ මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ගුණයෙන් මුඳුන් පත් බුදු රජුන්ට දුන් දන් අදම මුඳුන් පැමිණියේ ය යි සිතා සමාධි ව ‘තොපට වුව මනා කුමක් දැ’යි විචාරා ‘ගැල් දහසක් දෙන්ට වුව මැනැවැ’යි කී කල්හි ගැල් දහසක් දුන්හ. ඉක්බිත්තෙන් ගැල් දහස පුරවා ගෙන වස්තුව සෙණ්ඩුළුයෙහි ලූ කලට විටප ලා ගිය තල් ගසක් පමණ ගොඩ විය. රජ්ජුරුවෝ නුවර වැස්සන් එක් කරවා ලා ‘මේ නුවර මෙ තෙක් වස්තු කවුරුන්ගේ ඇත් දැ’යි විචාරා රජ ගෙයක ත් මෙ තෙක් වස්තු ඇත් නම් වේ ද සෙස්සවුන්ට ය’යි කී කල්හි ‘මේ සා මහත් වස්තුවක් ඇත්තවුන්ට දුන මනා තනතුර කවරේ දැ’යි විචාළෝ ය. සිටු තනතුර වේ දැ’යි කී කල්හි රජ්ජුරුවෝ උන්ට පෙරහර කොට සිටු තනතුරු දුන්හ.

ඉක් බිත්තෙන් පෙර එක් සිටාණ කෙනකුන්ගේ බිමක් පාවා ලා “තෙල තැන වල් හරවා පියා ගෙයක් නංවා ලා ගෙන වසව”යි කිවු ය. උනු ත් එ තැන වල් හරවා පියා තලවුව කරන්ට බිම් කණන කල්හි සැළින් සැළ ගැසී නිධාන සැළවල් නැංග. රජ්ජුරුවන්ට කී කල්හි ‘තොපගේ පිණින් උපනුවා තෙපි ම හැර ගනුව’ යි කීහ. උයිත් ගෙය කරවා ලා එම ජාතියේ ආදි එක නමකට දවසෙක දුක සේ දන් දුන් තැනැත්තෝ එ වක බුදු පාමොක් විසි දහසක් රහතුන්ට සතියක් මුළුල්ලෙහි දන් දුන් හ.

එයින් මත්තෙහි ආයු පමණින් පින්කම් කොට ආයු කෙළවර දෙව් ලොව ඉපැද එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව් සැප ත් වළඳා මේ බුදු හමුයෙහි දෙව් ලොවින් චුත ව සැවත් නුවර සිටු කුලයෙක සිටු දුවණියන් කුස පිළිසිඳ ගත්හ. ඒ සිටු කුලයෝ ද වැළි ත් ධම් සෙනෙවි ස්වාමීන්ට උපාසක හිඳිති. ඒ සිටාණෝද සිටු දුවණියන් බඩ, දරුවන් පිහිටි නියාව දැන ගබ පෙරහර දුන්හ. සිටු දුවණියන්ට දොළෙක් ඇති වන්නේ ‘ධම් සෙනෙවි ස්වාමීන් මුල් කොට පන්සියක් දෙනා වහන්සේට රේමස් හා සමඟ බතක් දන් දී ලා රන්වන් පිළී හැඳ පෙර ව පාළි කෙළවර හිඳ වහන්දෑ වළඳා හළ බතින් බත් සුඟක් හැර ගෙන කෑම් නම් යහපතැ’යි මෙ බඳු දොළෙක් උපන. උයිත් සිටාණන්ට එ ලෙස කියා ලා එ සේ කළහ. දොළත් සන්හුන. ඉන් මෑත සත් මසින් සුනු ගැබ් ආදි මඟුල් සතෙහි ත් රේමස් රසෙන් යුත් බත් ධම් සෙනෙවි ස්වාමීන් මුල් වූ පන් සියක් දෙනා වහන්සේට දුන්හ. මෙහි නො කී සියල්ලෙක් ඇත් නම් වනවාසී තිස්ස තෙරුන් වහන්සේ ගේ වත කී ලෙසින් දතයුතු.

මේ කුමරුන් මහ දුගී සමයෙහි දුන්නා වූ දුගී නොවන දනෙහි විපාකය. නම් තබන දවස් වළඳවා ලා’ස්වාමීනි, මුඹ වහන් සේගේ කොලු පැටවුට නම් තබා වදාළ මැනව යි කී කල්හි මුන්ට කුමන නමක් වුවමනාදැ’යි විචාරා ‘ස්වාමීනි, මේ දරුවන් මවු කුස උපන් වක පටන් මේ ගෙයි නුවණ නැති කෙළ තොලු මිනිස්සුත් මහා පණ්ඩිත වූහ. එ හෙයින් මේ දරුවන්ට පණ්ඩිත නම වී නම් යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ඒ නම තබා වදාළ සේක. කුමාරයෝ ත් සත් හැවිරිදි වයස දී මෑණියන්ට ‘තෙරුන් වහන්සේ ළඟ මහණ වෙමි’යි කිවු ය. ‘මහණ වතත් කුමක් කරතත් බාධාවක් නො කෙරෙමි’ යි සිතා හිඳිනා ම නුඹ දැන් අනිකක් නොකියා මා ත් සස්නෙහි ඇතුළත් ව මහණවෙමි’යි කියන්ට බාධා කිම්දැ’යි කියා ලා ධම් සෙනෙවි ස්වාමීන් දන් වළඳවා ලා ‘ස්වාමීනි, මේ දරුවෝ අපගෙන් කීමක් නැති ව මහණ වෙමි යි කියති. මුන් මහණ කළ මැනවැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ වඩා යවා පියා නෑයන් රැස් කරවා ලා ‘අපගේ දරුවන් ගිහි ව වුව මනා යම් සැපතෙක් ඇත්නම් අද ම කරම්හ’යි මහත් වූ සත්කාර කොට උන් කැඳවා ගෙන වෙහෙරට ගොසින් මහ තෙරුන් වහන්සේට මහණ කරවන්ට පාවා දුන්හ.

මහ තෙරුන් වහන්සේ ද මහණ වූ කල වන අට්ටාල් වදාරා ‛ස්වාමීනි’ සිතා ගෙන කිරීම කුමක් වුව ත් මුඹ වහන්සේ වදාළ ලෙස කෙරෙමි” කී කල්හි ‘එ සේ වී නම් මෙ සේ එව’යි හිසකේ තෙමා පියා කපා වදාරා තචපඤ්චකය පමණක් උගන්වා ලා මහණ කළ සේක. දෙ මවු-පියෝ ද සතියක් මුළුල්ලෙහි ම වෙහෙර බිම මහත් හෙයින් වෙහෙර ම රඳා බුදු පාමොක් සඟනට රේමස් රසෙන් යුත් දන් දී සත්වන දවස් ගම් ගෙවලට ගියහ. මහ තෙරුන් වහන්සේ අටවෙනි දවස සිඟා වඩනා ගමනේ වහන්දෑ හා කැටුව සිඟා නො වැඩි සේක. කුමක් නිසාද යතහොත්-අලුත මහණ වූ පණ්ඩිත සාමණේරයන් දෑ ගැටවටු ගන්වා සිවුරු වළඳිනා සේ තව දන්ට ත් නැත. පාත්‍ර ය පටවා ගන්නා සේ දන්ට ත් නැත. ආධුනික හෙයින් ආකල්ප සමෘද්ධිය ත් තව නො ආයේ ය. තව ද මහ තෙරුන් වහන්සේ වෙහෙර කළමනා වතු ත් ඇත. මෙ තෙක් දවසුත් වහන්දෑ සිඟා නැඟී ගිය කලට වෙහෙර මුළුල්ලේ ඇවිද නො හැමඳි තැන් හැමඳ පියා සිස් ව තුබූ පැන් වැළඳේ, පැන් පෙරහා වසා තබා ලා නපුරු ව තුබූ හැඳෙක් - පුටුවෙක් ඇත්නම් එයි ත් තැන් පත් කොට තබා ලා සිස් ව තුබූ වෙහෙරට අවුදින් නපුරුව තුබූවක් දැක මහණ ගොයුම්හුගේ සවුවන් හුන් තැන සැටි බලව’යි තීර්ථකයන් කියන ලෙසට නො තබා වත් මුළුල්ල සපයා ලා පසු ව පියා සිඟා වඩනා සේක. එ හෙයින් එ දවසු’ ත් හෙරණුන් දෑ ලවා සඟල සිවුර හා පාත්‍ර ය ගෙන්වා ගෙන දාවල් කොට සිඟා වැඩි සේක. හෙරණුන් දෑ උපාද්ධ්‍යායයන් වහන්සේ ලා කැටි ව යන දෑ අතුරු මඟ කුඹුරට දිය ගෙන යන ඇළක් දැක ‘ස්වාමීනි, මේ කිම්දැ’යි විචාළ දෑ ය. ‛හෙරණිනි, මීට ඇළ ය යි කියතී’ වදාළ සේක.

‘මින් කරන්නේ කුමක් දැ”යි විචාරා කැමති තැනකට පැන් ගෙන ගොසින් කෙත් වලට නමා ගොයම් කෙරෙතී’ වදාළ කල්හි ස්වාමීනි, මෙ පැනෙයි සිත් ඇත් දැ’යි විචාරා නැතැ යි වදාළ කල්හි ‘මෙසේ සිත් නැති පැන් තමන් කැමැති තැනකට ගෙන යෙත් දැ’යි කී සේක. ‘එ සේ ය, ඇවැත්නි’යි වදාළ කල්හි ‘අනේ මේ සිත් නැති පැන් පවා සිත් ඇති මිනිස්සු අමුණු බැඳීම් ආදි වූ නො එක් උපදෙස් කොට ගෙන තම තමන් කැමති තැනකට ගෙන ගොසින් ගොයම් කෙරෙත් ල. සිත් ඇත්ත වුන් සිත් නැති පැන් පවා පනත් කොට ගන්නා කල තමාගේ සිත් පමණක් පනත් කොට නො හෙන්ට කාරණ කිම් දැ’යි එයි ත් සිත තබාගෙන ඉදිරියේ යන දෑ හී වඩුවන් හී දඬු ගින්නෙහි තව තවා ඇස් කෙළවරින් බල බලා හැද මඬිනවුන් දැක ‘මූ කවුරු දැ’යි විචාරා හී වඩුවෝ ය යි වදාළ කල්හි ‘මුන් කරන්නේ කිම් දැ’ යි විචාරා ‘ගින්නේ තව තවා හී දඬු ඇද මඬති’ වදාළ කල්හි ‘හී දඬුවල සිත් ඇත් දැ’යි විචාරා නැතැ යි වදාළ කල්හි සිත් නැති දඬු පවා හැද හැර ගන්නා කල සිත් ඇත්තවුන් සිතෙහි ම ඇද හැර ගත නො හෙන්ට කාරණ කිම්ද? දණ්ඩට ත් වඩා සිත් ම ඇද නියා දැ’ යි සිතා ඉදිරියෙහි යන දෑ දැවිය, නිම් වළලුය, නැඹ ය යනාදිය සසිනවුන් දැක ‘මූ කවුරු දැ’යි විචාරා වඩුවන් නියාව වදළ කල්හි ‘උන් කරන්නේ කිම් දැ’යි විචාරා ‘ගැල් ආදියට සක් ආදිය කෙරෙති’ යි වදාළ කල්හි ‘එයිත් සිත් ඇත් දැ’යි විචාරා ‘ඊ සිත් නැතැ’යි වදාළ කල්හි ‘සිත් නැති දඬු කඩවල් පවා කපා තමා කැමැති ලෙසට කරණ කල තමාගේ සිත් පමණක් තමාට නම්මවාගෙන සිත් ඇත්තවුන් මහණ ධම් නො කරන්ට කාරණ කිම් දැ’යි මේ කාරණ තුන තර ව සිත තබාගෙන ‛ස්වාමිනි, ඉදින් මුඹ වහන්සේගේ පා සිවුරු මුඹ වහන්සේ ම හැරගත් සේක් නම් මම රඳා පියමි’යි කී සේක.

මහ තෙරුන් වහන්සේ ද කාරණ දන්නා හෙයින් ‘මේ අලුත මහණ වූ හෙරණ අනුබුද්ධ ව සිටි මට මෙ ලෙස කියන්නේ ය’යි නොසිතා ‘මෙ සේ දෙව’යි වදාරා ලා තමන් වහන්සේගේ සඟළ හා පාත්‍රය හැර ගත් සේක. හෙරණුන් දෑ ද උපාද්ධ්‍යායයන් වහන්සේ වැඳ ලා රඳන දෑ ‘ස්වාමීනි, ඉදින් මට බත් ගෙනෙන සේක් වී නම් රේමස් රස හා බත් ගෙනව මැනවැ’යි කී දෑ ය. ‛ඇවැත කෙ සේ කොයින් ලබමෝ දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පිනෙකින් නො ලබතත් මාගේ පිනෙන් ලබන සේකැ’යි කී දෑය. මහ තෙරුන් වහන්සේද හෙරණුන්දෑ ඉතා බාලවත් හෙයින් පිටත හුන් කලට උපද්‍රවයෙක් වේ නමුත් යයි උන්දෑ එදවස් රහත් වන නියාව යයි නො සලකා හෝ සැලකුවත් එලෙසක් කළමනා හෙයින් ගබඩාවේ දොර හරනා කෙස්ස දෙවා ලා ‘මා සැතපෙන ගබඩාවේ දොර හැරලා ගබඩාවේ ඇතුළට වැදලා හිඳුව’යි කී සේක. උන්දෑ ත් එලෙස ම කොට ලා තමන්දෑ ආදි තචපඤ්චකය උගත් බැවින් නුවණැති බව හේතු කොටගෙන අඩුව ත් පුරාගෙන කා ගියා සී කමටහන් මෙනෙහි කරමින් හුන් දෑය. උන්දෑගේ ගුණානුභාවයෙන් ශක්‍රාසන ය හුණු විය.

කාරණ කිම් දෝ හෝ යි ශක්‍රයෝ සලකා ‘පණ්ඩිත හෙරණුන්දෑ මහණ ධම් කිරීමට සිඟා නොගොස් රැඳුණු දෑ ය. මා ත් ඔබ ගිය මැනවැ යි සිතා ලා සතර වරමුන් බණවා ලා ‘විහාරයට ආසන්න යෙහි හඬා අරගළ කරන්නා වූ සමන් කුකුළු ආදි වූ පක්ෂීනුත් දුර පලවා පියා වට රකවල් ගනුව’යි කියා ලා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයනුත් සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයනු ත් දෙන්නා ම බණවා ලා ‘තොප දෙන්නා ගේ විමන් දෙක නො යා දී රඳවා ලව’යි විධාන කොට ලා තුමූ පලා ගොසින් අගුළු කණුව කෙරේ රකවල් ගෙන සිටියාහ. විහාරයේ පරඬලක් සෙලවෙන හඬෙක් නැත. හෙරණුන්දෑගේ භාවනාව කරන්ට සිත එකඟ විය. උන්දෑ පෙරවරු ම විවසුන් වඩා අනැගැමි වූහ. මහ තෙරුන් වහන්සේ ද ‘හෙරණානෝ මහණ දමට වෙහෙර ම රඳා හුන්හ. උන් රුචි ලෙසට බතක් අසවල් තැනින් ලද හැක්කැ’යි සිතා තමන් වහන්සේට ආවෙණික මමායන ඇති එක් ගෙයකට වැඩි සේක.

ඒ ගෙයි මිනිස්සු ද එ දවස් රේමස් ලදින් මහ තෙරුන් වහන්සේ වඩනේ කවර විටෙක දෝ හෝ’යි පෙර මං බල බලා හුන්හ. මහ තෙරුන් වහන්සේ වඩනා දැක ඇතුළු ගෙට වඩා ගෙන ගොසින් ආදිම සපයා තබාලා හුන් හෙයින්දෝ හෝ නොහොත් ඇසිල්ලෙක සපයා කැඳ අවුළු පත් පිළිගන්වාලා රේමස් හා බත් වළඳින්ට පිළිගැන්වූය. මහ තෙරුන් වහන්සේ ගෙන යන ආකාර දැක් වූ සේක. ‘වළඳා වදාරණ බවය. ගෙන යන බතුත් පිළි ගන්වම්හ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ වළඳා අන්තයෙහි රේමස් හා බත් පාත්‍ර ය පුරා ලා දුන්හ.

මහ තෙරුන් වහන්සේ ද ‘නිවන් රස වළඳා සිත් පුරා ගෙන හුන ත් මේ වේලාට බඩසා වේ දැ’යි සිතා වදාරා වහ වහා නික්මුණු සේක. බුදුහු එ දවස් වේලා ඇති ව තිබැදීම වළඳා ලා විහාරයට ගොසින් පණ්ඩිත සාමණේරයෝ උපාද්ධ්‍යායයන්ට පා සිවුරු දී පියා මහණ ධම් කරන්ට නැවැත්තෝ ය. මහණ වූව වුන් සිද්ධ කළ මනා ප්‍රතිපත්ති සාර ය සිද්ධ වීදෝ හෝ’යි නො වීදෝ හෝයි විමසන සේක් තුන් මඟ තුන් ඵලයට පැමිණි නියා ව දැන පලඟ නූගුළුවා රහත් වේ දෝ හෝ නො වේ දෝ හෝ’යි බලන සේක් පෙරවරු ම රහත් වන නියා ව දැන වදාළ සේක.

ඉක්බිත්තෙන් මෙ සේ වූ අදහසෙක් විය. ‘සැරියුත් මහතෙරහු පිටත කිසි කටයුත්තෙක ගොසින් කල් යවා පී මෑණි කෙනකුන් කිරි බොන දරු පොවන්ට වහ වහා දිවෙන කලක් මෙන් බත් හැර ගෙන වහ වහා එති. උන්ගේ ඊම නිසා රහත් වීමට බාධා වී නමුත් නපුර. දොරටුවේ රකවල් ගෙන හිඳ ලා ශාරිපුත්‍රයන් අතින් ප්‍රශ්න සතරක් විචාරමි. ඒ පැන විසඳන කලට හෙරණෝ පිළිසිඹියා පත් ව රහත් වෙති. එ සේ හෙයින් මා ගෙනුත් රකවල් ඇත මැනැවැ’යි ගොසින් දොරටුවේ වැඩ සිට එ තැනට වැඩි මහ තෙරුන් වහන්සේ අතින් ප්‍රශ්න විචාරන බුදුහු ‘ශාරිපුත්‍රයෙනි, තොප ගෙනෙන්නේ කිම් දැ’යි විචාරා ‘අහර ය’යි කී කල්හි ‘ඒ අහර කුමක් එළවා දැ’යි විචාළ සේක.

‘වේදනා උපදව’යි උන් වහන්සේ කී කල වේදනාව කුමක් එළවා දැ’යි විචාරා ‘රූ උපදව’යි කී කල්හි “රූ කුමක් එළවා දැ’යි විචාරා වදාළ සේක. එසේ විචාළ බුදුරජුන් වහන්සේට ‘රූ පස උපදව’යි කී සේක. එ සේ මැ යි. බඩ සාය උපදවයි. බඩ සාය ඇත්තවුන් අනුභව කළ ආහාර ය සා දුක් නසා සැප වූ ශරීර වේදනාව එළව යි. ආහාරානුභවය නිසා සැපයට පැමිණිය හට ශරීර ශෝභාව ඇති වෙයි. එ හෙයින් වේදනාව රූ එලව යි. ආහාරජ රූපයන්ගේ වසයෙන් උපන් සුව සොම්නස් ඇත්තේ හිඳිතත් හොවිත ත් සුවපස ලැබෙ යි. මෙ සේ මේ පැන සතර විසඳා නිමි කලට හෙරණුන් දෑ රහත් වූ දෑ ය. රහත් වීම හා සමඟ ම පඤ්ච ප්‍රකාර අර්‍ථයෙහි ප්‍රභේද ගත ඥාන ය ය, පඤ්ච ප්‍රකාර ධර්‍මයෙහි ප්‍රභෙද ගත ඥානයය, ඒ දෙක හඟවා සිටිනා නිරුක්තියෙහි ප්‍රභේද ගත ඥාන ය ය, ඒ නුවණ තුනෙහි ප්‍රභේද ගත ඥාන ය ය යන පිළිසිඹියා ත් ආ ය.

බුදුහු සැරියුත් මහතෙරුන් වහන්සේට ‘තොපගේ හෙරණුන් ට බත් ගෙන ගොස් දෙව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේද ගොසින් දොර නිය පිටින් ගසා ලූ සේක. හෙරණුන් දෑ අවුත් මහ තෙරුන් වහන්සේ අතින් පාත්‍රය හැර ගෙන එක් තැනෙක තබාලා තල් වැටක් හැරගෙන මහ තෙරුන් වහන්සේට පවන් සැලූ සේක. ‘හෙරණනි, පත් සැලීම් පසු කොට වළඳව’යි වදාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේනැ’යි විචාළ කල්හි ‘අප වළඳා ලා ආම්භ. තෙපි වළඳව’යි වදාළ සේක.

සත් හැවිරිදි වයස මහණ ව අට වෙනි දවස් ඒ ඇසිල්ලෙහි පිපි පියුමක් මෙන් මුඛ ශෝභා ඇතිව අහර පිහිටනා තැන් පිළිකුල් විසින් සලකා වැළඳූ සේක. වළඳා අන්තයෙහි පාත්‍ර ය

සෝධා පියා දිය සිඳ තැන් පත් කොට තබා පීකලට සඳ දෙවි පුත් රඳවා ගෙන සිටි සඳ මඬල හළ රිවි දෙවි පුත් රඳවා ගෙන සිටි හිරු මඬල ත් හළ. සතරවරම් රජහු සතර දිග රකවල් හළහ. සක් දෙවිඳුහු අගුළු කණුව කෙරේ තමන් ගත් රකවල් හළහ. ඉරත් මුදුනෙන් ඉවත් වි ය. වහන්දෑ ත් ඒ දැක ‘අඩු වුව මනා ඡායාව පස් වරු සෙයින් බෝ විය. පණ්ඩිත හෙරණුන්දෑ ත් වළඳා නිමවූ ය. වේලාට වැළඳු දෝ හෝ’ කිම් දෝ හෝ යි කුකුස් කළ සේක.

බුදුහු එ පවත් දැන කුකුස් හරවනු නිසා එ තැනට වැඩ ‘තොප හැම කියන්නේ කිම්දැ’යි විචාළ සේක. එ පවත් දැන් වූ කල්හි ‘මහණෙනි, පින් කරන්ට සතුන් මැළි බව මුත් මහා පිනත්තැන් මහණ ධම් පුරන කල-මහ බෝසතුන් පැරුම් පුරා නිමවා බුදු වන කල යම් සේ දස දහසක් සක් වළ පොළොව බුදු වන නියාව හඬ ගා කියන්නා සේ ගුගුරා ද, නැවත දස දහසක් සක්වළ දෙව් බඹහු බරණැස වැඩ හිඳ ධම් සක් පැවතුන් සුත දෙ සන දවසු ත් නො රඳා බණ අසන්ට එම්හ’යි හඟවන්නාක් මෙන් මේ මඟුල් සක්වළට රැස් වූ ද, තව ද ‘අපි යම් රූපාවචර ධ්‍යාන බලයකින් බඹ ලොව උපනමෝ ද මුඹ වහන්සේ ත් ඒ රූපාවචර ධ්‍යාන ලබන සේකැ’යි හඟවන්නාක් මෙන් මවු කුසින් බිහි වන්නා ම පළමු කොට බඹු පිළිගත්හු ද, ඉක්බිති ව වරම් රජහු පිළි ගත්හු ද, තුන් වැනි ව රූපාවචර ධ්‍යාන ලැබීමට කාරණ ව මිනිස්සු පිළිගත්හු ද -

තව ද බුදු වූ කල මියුරු කට හඬින් බණ කියන්නේ මෙයට වඩා ය යි හඟවන්නාක් මෙන් ඒ ඒ දෙනා පළන් ආභරණ හා ආතත විතතාදී වූ තූර්‍ය්‍යභාණ්ඩ තෙමේ ම නාද පැවැත් වී ද, තව ද සියල්ලන්ගේ මන් බිඳෙන්නේ ත් මෙ ම ලෙස ය යි, හඟවන්නාක් මෙන් බන්ධන ගත සත්‍වයෝ බැම්මෙන් මිදුනා වූ ද, කෙලෙස් ලෙඩ හරණ නියාව හඟවන්නාක් මෙන් සත්‍වයන්ගේ රෝග පීඩා හැරිණි ද, දිවස් ලැබීමට කාරණ ව අන්ධයෝ ඇස් ලද්දු ද, දිව කන් ලැබීමට කාරණ ව බිහිරි ශබ්ද ඇසූ ද, සතර සිහිවටන් ලැබීමට කාරණ ව නුවණ නැත්තෝ නුවණ ලද්දු ද, තව ද ඍද්ධිපාද ලැබීමට කාරණ ව පිළි වූ සත්තු පයින් ගමන් ලද්දු ද, සිවු පිළිසිඹියා ලැබීමට කාරණ ව පටුන් වැරද ගියා වූ නැව්-පඩවු බට මනා තොටවලට ම අවුත් බට ද, තව ද හස්තාමලක න්‍යායයෙන් සියල්ල දැක්මට කාරණ ව බිම වූ ත් උඩ වූ ත් රුවන් බබළා ගියේ ද, එකොළොස් ගිනි නිවීමට කාරණ ව නරක ගිනි නිවිණි ද, හැම තැන නිශ්චල නියාවට කාරණ ව ගං වල පැන් නිශ්චලව සිටයේද-

තව ද මොහඳුරු නැසීමට කාරණ ව ලෝ ඇඳිරි නරකවල ආලෝක පහළ වී ද, නො එක් ජාති ඇත්තවුන් ආර්‍ය්‍ය ජාතීන් සරි වීමට කාරණ ව මුහුදුවල පැන් ලුණු රස නැති ව මිහිරි පැන් වී ද, තව ද දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය හැරීමට කාරණව තද සුළං නො හැමී ද, පඤ්චවිධ විමුක්ති නැමැති මලින් බුද්ධෝත්පාද නමැති කප් රුක සදන නියාවට කාරණ ව දස දහසක් සක් වල ගස් තුරු ලිය ආදියෙහි මල් පිපිණි ද, බොහෝ දෙනාට සිත්කලු වීමට කාරණ ව සඳ ඉතා බබළා ගියේ ද, කයට සිතට පීඩා දුරු වීමට කාරණ ව හිරු රස් මොළොක් වී ද, තව ද බොහෝ දෙනා අනුශාසනාවෙහි පිහිටා සරණ යෑමට කාරණ ව පක්ෂීන් ගේ අහස ගමන් හැර බිම ගමන් වී ද, සදහම් වැසි වැස්වීමට කාරණ ව සතර මහා දිවයින මිහිර පැන් ඇති ව සිටී ද, තව ද බුදුන් බුදු වලා උදන් ඇනීමට කාරණ ව දෙවියන් තම තමන් ගේ විමන්වල සිට කෙළි නළු පැවැත්වී මුත් වීද, නිවන් පුර වදනා අෂ්ටාඞ්ගික මාර්‍ග වාසල් හැරීමට කාරණව දොරවල් තෙමේ ම තමාට හැරිණ ද, තව ද කා ගියා සී නමැති අමා ලැබීමට කාරණ ව සත්‍වයන්ට සා දුක් පිපාසා දුක් නැති වී තව ද බ්‍රහ්ම විහාර සතර ලැබීමට කාරණ ව කවුඩු බකමූණු ආදීන්ට ඒ වේලාට වුව ත් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත් ඇති වී ද. එ පරිද්දෙන් සඳ දෙව් පුත් සඳ මඬල රඳව යි. හිරි දෙව් පුත් හිරු මඬල රඳව යි. සතර වරම්මු වෙහෙර සතර දිග පවත්නා අරගල සන්සිඳුවා රකවල් ගනිති. සක් දෙවිඳු අගුළු කණුව කෙරේ රකවල් ගත.

මම ද ‘සම්‍යක් සම්බුද්ධයෙම් වේ ද’යි නො සිතා ම පුතුන්ට දොරටුවේ රකවල් ගතිමි. මෙ ලෙස රකවල් ගත් කලට ම පුත්තු පොළොව උස් තැන් කැපීමෙන් හා මිටි තැන් පිරවීමෙන් ඇළ වල් හෝ ඉඳි කොට ගෙන පීළි හෝ තබා ගෙන තමන් කැමැති තැනකට පැන් ගෙන යන දියාළුවෝ සිත් පිත් ඇති දෙයක් මෙන් තමන් කැමැති තැනට ගෙන ගොසින් තමාගේ කෙරෙති. හී වඩුවෝ ත් සිත් පිත් නැති දඬු ගින්නෙන් තවා හැද මැඬ ගෙන විදලූ කලට දුර යන ලෙසට ඉදි කෙරෙති. වඩුවෝ වල් විටියල ගෙනවුත් ලා ලූ කලට නිම් වළලු

ගොයම් ආදි ය නිසා සසිනෝ තමන් රුචි ලෙසට වක් වුව මනා වී නම් වක් කෙරෙති. හැද වුවමනා වී නම් එ ලෙසට කෙරෙති.

මෙ පමණක් අරමුණු කොට තමන්ගේ සිතත් කෙතට පැන් ගෙන යන දියාළුවන් මෙන් විවසුන් නැමැති ඇළි අමුණු කෙතට නම්මා ගෙන, භාවනා නමැති ගොයම් කොට, හී වඩුවන් හී දණ්ඩේ හැද හරනා සේ තමන්ගේ සිත ඇති මායා සාඨෙය්‍යාදීවකු ත් හැර චඩුවන් නිම් වළලු ආදියට දඬු සසිනා සේ තදඞ්ගාදි වශයෙන් කෙලෙසුන්ගේ ඖදාරිකාවස්ථා සැස අෂ්ටාඞ්ගික මාර්‍ග නමැති රථාවයවයෙන් අර්හත් ඵල නැමැති රථය කොට ගෙන සසර කතරින් එතෙර වන්ට ඒ රථයට නැංගෝ ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටුවු ය.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් මේ අරමුණු පණ්ඩිත සාමණේරයන්දෑට ම තිබී ආ දෙයක් නොවන බැවින් තම තමා ත් අරමුණු කොට භාවනා කර කාල විපත්ති ආහාර-විපත්ති ආදිය නිසා දැන් එක් තරා ගුණ විශේෂයක් උපදවා ගත නො හෙත ත් මත්තට වුවත් හේතු කට යුතු.