75. මහා කප්පින තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද කුශලයෙහි අනුසස් දක්වා සතුන් පිනෙහි ම යොදනු නිසා මහා කප්පින තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.

එහිලා මේ පිළිවෙළ කථාව ය:- යට ගිය දවස ආයු බොහෝ වූ මේ මහා කප්පින මහ තෙරුන් වහන්සේ මහ සවු තනතුරට පියුමතුරා බුදුන් සමයෙහි පතා එ වක් පටන් සසර හැසිරෙන සේක් එක් කලෙක බරණැසට නුදුරු එක් සාලි ගමෙක එ ගම සාලින්ට මුදලි ව උපන් සේක. එ කල දහසක් පමණ පසේ බුදුවරුන් වහන්සේ අට මසක් මුළුල්ලෙහි හිමවු පියස වැස පියා වැසි සාර මස දනවුවට බැස ලුණු-ඇඹුල් මුසු දෙය වළඳනු පිණිස එහි වසන සේක. එක් වස් අවධියෙක බරණැස් නුවරට නුදුරු තැනකට බැස ලා වස් වසන ගෙවල් ඉදි කරවා දෙන නියායෙන් හස්ත කර්‍ම ය නම් එක්තරා ද්‍රව්‍යයක් නො වන හෙයින් ඒ ඉල්වා රජ්ජුරුවන් ළඟට යව යි පසේ බුදුවරුන් වහන්සේ අට නමක් යවූ සේක. එ කල රජ්ජුරුවන්ගේ වප් මඟුලෙක් ඇත. පසේ බුදුවරුන් වහන්සේ වැඩි නියාව අසා වප් මඟුල් විධාන තිබැදී ම අවුදින් වැඩි කරුණු විචාරා ‘සෙට වප් මඟුල් හෙයින් අද ත් සෙටත් අවසර නැත. අනික් දවස් කරවමි’යි කියා ලා පසේ බුදුවරුන් වහන්සේට ආරාධනා නො කොට ම රජ ගෙට ගියහ. පසේ බුදුවරුන් වහන්සේ අට නම ත් ‘අනික් ගමකට සිඟා යම්හ’යි නික්මුණු සේක.

එ වේලෙහි සාලි මුදලියාණන්ගේ ඇඹේණියෝ කිසි කට යුත් තෙක බරණැසට යන්නෝ ඒ පසේ බුදුවරුන් වහන්සේ දැක වැඳ ලා මෙ වේලේ වැඩියේ කුමක් නියා දැයි විචාරා ආදියේ පටන් වැඩි පවත කී කල්හි සැදෑහැත් ඇති එ තරමට නුවණ ත් ඇති උපාසිකාවෝ ‘ස්වාමීනි, සෙට දවසට මිඬියට කරුණා කොට වදාළොත් යහපතැ’යි ආරාධනා කොළෝ ය. ‘උපාසිකාවෙනි, අපි බොහෝ දෙන ය’යි වදාළ සේක. ‘කෙ තෙක් දෙනා වහන්සේ දැ’යි විචාරා ‘දහසක් දෙනම්හ’යි කී කල්හි තමන් නුවණැති නියාවට ‘ස්වාමීනි, මේ සාලි ගම ත් සාලි දහසෙක් ඇත. එකි එකී කෙනෙක් එකි එකී නමට දන් දෙති. එ සේ හෙයින් මට ම භාර වන්ට නැත. ඉවසා වදාරන බව ය. මාගේ බලයෙන් මම් ම හැම දෙනා සමාදන් කරවා වස් වසන තැනු ත් කරවා දෙමි’යි කිවු ය. පසේ බුදුන් වහන්සේ අට නම ද ආරාධනා ඉවසූ සේක.

උපාසිකාවෝ ද ගමට ගොසින් සිහි නැති ව වැද නො හිඳ ගම් මධ්‍යයෙහි සිට හඬ ගා කියන්නෝ ‘මම මුඹ හැම ත් සලකා දහසක් පමණ පසේ බුදුවරුන් වහන්සේට ආරාධනා කොට සෙට මුබ දී වළඳන්ට වඩනට නිල කෙළෙමි. මට ම හැර නොලා ආ කල වැඩ හිඳිනා තැනකු ත් ඉදි කළ මැනව. කැඳ-බත් ආදි වූ දෙය ත්සපයා ලු ව මැනැව’යි කිවු ය. උන්ගේ විධාන අසා තමන් හැම ත් සැදෑ ඇති හෙයින් හැම දෙන ම ලැබුණවු ය. ලැබුණවුන් හැම හැර ගෙන තුමූ මුල් ව මඬුවකුත් ලවා ලා හසුනු ත් පනවාලා දෙ වන දවස් පසේ බුදුන් වහන්සේ දහස වඩා හිඳුවා ලා මධුරාහාර ය වළඳවා ලා වළඳා අන්තයෙහි එ ගම වසන ගෑනු මිනිසුන් කැඳවා ගෙන ගොසින් පසේ බුදුවරුන් වහන්සේ වැඳ ලා වස් වසනට ආරාධනා ත් කොට නැවත ගමට වැද ලා හඬගා කියන්නෝ ‘දෙ මවු පියෙනි, මල් බෑයෙනි, එ කි එකී ගෙන් එ කි එ කී පිරිමි දරුකෙනෙකුන් ම පොරෝ ආදි වූ යකඩ හැර ගෙන වලට පලා ගොසින් දඩු පත්ගෙන’වුත් ස්වාමි දරුවන් වස්වසන තැන් කළ මැනව’යි කිවු හ.

ගම් වැස්සෝ ත් තමන් සිතා ගෙන කරණ දෙයක් නො වන බැවින් උන්ගේ විධානයේ සිට එ කි එකී කෙනෙක් එකක් බැගින් පන් සල් දහසක් කොට ලා තමන් තමන්ගේ පන්සල්වල වස් විසූ පසේ බුදුන්ට වෙන වෙනම සැරහීදන් දුන්හ. වස් අන්තයෙහි ‘තමන් තමන් උපස්ථාන කළ පසේ බුදුන්ට සිවුරු පිළි දෙන්ට වූව මැනවැ’යි සමාදන් කොට එකි එකී නමට දහස දහස නියායෙන් දශ ලක්‍ෂයක් වටනා සිවුරු පිළි දුන්හ. පසේ බුදුවරුන් වහන්සේ ත් වස් අන්තයෙහි බණ වදාරා ලා වැඩි සේක.

නායක සාලි දුවණියන් පටන් ගම් වැස්සෝ ත් මේ පින්කම් කොට එයින් මිය තව්තිසා දෙව් ලොව ඉපැද සමූහ ව ලා උපන් හෙයින් ගණ දෙවතාවෝ යයි ප්‍රසිද්ධ වූහ. ඒ දිව්‍ය ලොකයෙහි ආයු පමණින් දෙව් සැප ත් වලඳා කසුප් බුදුන් සමයෙහි බරණැස් නුවර කෙළෙඹි කුලවල උපන්හ. එ වක නායක සාලියාණෝ නායක කෙළෙඹියාණන්ට පුත් ව උපන්හ. එ වක පින්කමට නායක වූ සාලි දුවණියෝ අනික් කෙළෙඹි මුදලියාණ කෙනෙකුන්ට දූ වූ හ. වැඩි විය පැමිණ සරණ යන්නෝ ත් සාලි අවධියේ ස්වාමි වූ කෙළෙඹි පුත්‍රයාණන් කරා ම සරණ ගියහ. සෙසු සෙස්සෝ අනික් අනික් කෙළෙඹි කුලවල ඉපැද වැඩි විය පැමිණ සරණ යන්නෝ සාලි අවධියේ යම් යම් කෙනෙක් තමන් තමන්ට ස්වාමිවූ නම් උන් උන් කරා ම සරණ ගියහ.

එක් දවසක් වෙහෙර බණට හඬ ගෑ ය. ‘බුදුහු බණ වදාරන සේකැ’යි යනු අසා සියලු කෙළෙඹියෝ තමන් තමන්ගේ කෙළෙඹි දූන් හා සමඟ බණ අසම්හ යි විහාරයට ගියහ. උන් වෙහෙරට යන්නා ම එ වක දහම් වැස්සෙන් තෙමී පිය නොහෙන හෙයින් තෙමෙන්ට වන්නා සේ වැස්සෙක් වස්නට වන. යම් කෙනකුන්ගේ නෑ වහන්දෑ වේව යි පුරුදු වහන්දෑ වේව යි ඇත් නම් ඌ ඒ ඒ වහන්දෑගේ පිරිවෙන් ආදියට වන්හ. මූ හැම තමන් අමුතු ව ලා ගිය හෙයින් එ බඳු තැනක් නැතිව වෙහෙර මැදම තෙමි තෙමී සිටියහ. තෙමී පියා කෙළෙඹි මුදලියාණෝ කියන්නෝ අප හැමට ම වූ දෑ දුටු වූ ද ? කුල දරුවන් ලජ්ජාවන්ට මෙ තෙක් මඳ දැ? යි කිවු ය. හැම දෙන ම ඒ ලජ්ජා වන්ට වන්නා මෙ තෙක් ඇත. ලජ්ජාව පියා කුමක් කරමෝ දැ’යි කිවු ය. නො තෙමී සිටිනට නිසි තැනක් ලබන්ට පෙර පිනක් නො කළ හෙයින් දැන් නො ලදත් මතුත් වී නම් ලබන්ට හැම දෙනමෝ රනක් එක් කොට බා ඒ දී පිරිවෙනක් කරම්හ’යි කිවු ය. උයිත් ‘යහපතැ’ යි ගිවිස්සහ.

නායක තැනැත්තෝ රනින් නායක වූවා සේ ම සෙස්සනු ත් නායක වන්ට මසු දහසක් දුන්හ. සෙසු කෙළෙඹියෝ පන් පන් සිය ය දුන්හ. ගෑනු දහස දෙසිය පනස දෙසිය පනස දුන්හ. මෙ සේ සත් ලක්‍ෂ පනස් දහසක් රන් එක් කොට ගෙන කරවා බුදුන්ට ම පිළිගන්වනු නිසා කුළු ගෙවල් දහසකින් හොබනා මහ පායක් කරවන්ට පටන් ගත්හ.

කර්‍මාන්ත ය මහත් හෙයින් ආදි එක් කළ රන් මඳ නියාව බලා ආදි පන් සිය ය දුන්නවුන් ගෙන් දෙ සිය පනස හා දෙසි ය පනස දුන්නවුන් ගෙන් එක් සිය පස් විස්ස වන නියායෙන් තුන් ලක්‍ෂ පන් සැත්තෑ දහසක් එක් කොට ලා දෙමුරයෙන් කැටි ව එක් වූ එකොළොස් ලක්‍ෂ පස් විසි දහස් සත් සියයක් පමණ රනින් ගඳ කිළිය කරවා ලා කරවා නිමි පූජාව කරවන්නාහු බුදු පාමොක් විසි දහසක් රහතන්ට සතියක් මුළුල්ලෙහි මහ දන් දී සිවුරු පිරිකරත් දී ආදි දහසක් දී ඇති වූ පොහොසත් කමින් එ වක විසි දහසක් දුන්හ. කෙළෙඹි මුදලින්ගේ ඇඹේණියෝ කරන පින්කම හැම දෙන හා සරියේ ත් කොට ලා තමන් නුවණැති හෙයින් වඩා ත් පිනක් කරණු කැමති ව අනෝජා මල් සමූහයක් සේ රන් වන් වූ දහසක් වටනා හිණ කඩකුත් අනෝජා මල් සුමුගකුත් ගෙන්වා ගෙන බුදුන් බණ වදාරන වේලේ අනෝජා මල් පුදා ලා රන්වන් හිණ කඩත් රන් වන් බුදුන් පා මුල තබා ලා ‘ස්වාමීනි, මා උපනුපන් තැන මාගේ ශරීර ය ත් අනෝජා මල් දමක් සේ රන්වන් වේව’යි නම ත් අනික් නමක් නො ව අනෝජා නම් ම වේව යි පැතූ ය. කසුප් බුදු රජුන් වහන්සේ ත් වන නියා ව දැක ‘ඒ එ සේ ම වේව’යි වදාළ සේක.

ඔහු හැමදෙන ත් ආයු පමණින් සිට එයින් සැව දෙව්ලොව ඉපැද මේ අපගේ බුදුන් සමයෙහි දෙව් සැපතින් ම සතුටු නො ව නිවන් සැපතු ත් ලබනු සඳහා දෙව් ලොවින් සැව නායක කෙළෙඹියාණෝ දඹදිව කුක්කුටවතී නම් නුවර රජ කුලෙහි උපන්හ. ඉපැද කප්පින රජ්ජුරුවෝ ය යි ප්‍රසිද්ධ වූහ. කැටි ව පින් කළ සෙන්සෝ ඇමැති කුලවල උපන්හ. නායක කෙළෙඹියාණන්ගේ ඇඹේණියෝ මදු රට සාගල නුවර රජ කුලයෙහි උපන්හ. උන්ගේ‍ ශරීරය ත් අනෝජා මල්දමක් සේ රන්වන් විය. නමත් අනෝජා නම ම තුබූහ. ඌ වැඩිවිය පැමිණ කප්පින රජ්ජුරුවන්ට ම සරණ ගොසින් අනෝජා බිසවු ය යි ප්‍රසිද්ධ වූහ. සෙසු ගෑනු දහසත් ඇමැති කලවල ඉපැද වැඩි විය පැමිණ යම් යම් කෙනෙක් පූර්ව ස්වාමී ව සිටියෝ නම් උන් උන් කරාම සරණ ගියහ.

කප්පින රජ්ජුරුවන් හා එක් ව පින්කළ හැම දෙනම රජකම මුත් සෙසු සැප ත් සරියේ ම අනුභව කෙරෙති. යම් දවසෙක රජ්ජුරුවෝ සූ සැට රාජාභරණ ලා සැරහී ගෙන ඇතකු නැඟී ගෙන ඇවිදිත් නම් එ කල ඌ හැම ත් එ සේ ම ඔටුන්න හැර සෙසු ආභරණ ලා සැරහී ගෙන ඇතුන් නැඟී ගෙන ඇවිදිති. රජ්ජුරුවන් අසු නැඟී හෝ රථය නැඟී හෝ යන කල උන් හැම දෙනත් එ සේ ම අසුන් නැඟී ගෙන හෝ රථ නැඟී ගෙන හෝ යෙති.

මෙ සේ ඔහු හැම දෙන කරණ පින්කමුත් සම සිත් ව එක් ව කළ හෙයින් සම්පතු ත් එක් ව ම එක සරියේ විඳිති.

රජ්ජුරුවන්ගේ ත් වාලය, වාලවාහන ය, පුෂ්ප ය, පුෂ්පවාහනය, සුපත්ත ය යි බලවත් අස්සු පස් දෙනෙක් ඇත. රජ්ජුරුවෝ තුමූ සුපත්ත නම් අසු නැඟෙති. අනික් අසුන් සතර දෙන සතර දිග ගොසින් මුවමිරි හසුන් ගෙනවුත් කියන ලෙසට අසරුවන් සතර දෙනකුට දුන්හ. රජ්ජුරුවෝ උන් සතර දෙනා උදාසන ම බත් කවා ලා ‘තෙල අසුන් නැඟී ගෙන දස දොළොස් ගවු විතර සතර කඩ ගොසින් තුනුරුවන් ලොව පහළ වූ නියාවක් දැන ගෙන මා කන අමා ඕනාක් මෙන් කියව’යි විධාන කොට ලා යවති. ඌ සතර දෙන සතර වාසලින් නික්ම අසුන් පිටින් යන ගමන හෙයින් දස දොළොස් ගවු විතර ගොසින් පියා හස්නක් නො ලදින් ම පෙරළා එති.

එක් දවසක් රජ්ජුරුවෝ සුපත්ත නම් අසු නැඟී ලා ඇමැති දහස පිරිවරා උයනට යන්නෝ වෙළඳුන් පන් සියයක් දුර සිට ආ හෙයින් ගමන් විඩාව නුවරට වදිනවුන් දැක ‘මූ ගමන් විඩාව එන කෙණෙක. මුන්ගෙන් එක් යහපත් අස්නක් අසන්ට වුව මැනැවැ’යි උන් ගෙන්වා ලා ‘කොයි සිට අවුදැ’යි විචාළෝ ය. රජ්ජුරුවන් වහන්ස, මෙ තැනට සාරසිය අසූ ගවුවක් විතරින් ඔබ්බෙහි සැවැත් නම් නුවරෙක් ඇත. ඊ සිට ආම්හ’යි කිවු ය. ‘ඒ තොපගේ රට අමුතු පවත් කිම් දැ’යි විචාළෝය. ‘අනික් අමුත්තෙක් නැත. සව්නේ ගෙවා දත් පස් මරුන් ජය ගෙන සිටි නිවන් පතා පින් කළවුන්ට නිවන් මං පානා තිලෝගුරු බුදු රජුන් වහන්සේ පියවි හිර එක් සක්වළෙක ම ආලෝක පතුරුවන හෙයින් දේශනා ලෝකය හා ශරීරාලෝක ය අනන්තාපර්‍ය්‍යන්ත සක්වළවල පතුරුවන්ට පහළ වූ හිරක් මෙන් පහළ වූ සේක’යි කිවු ය.

රජ්ජුරුවෝ එබස් අසමින් කප් අසඞ්ඛ්‍යයෙකු ත් කන හෙන බසක් නොවන හෙයින් හා තමන් බලවත් සැදෑ ඇති හෙයින් පස් වනක් ප්‍රීතීන්’පිනා ගොසින් කිසිවකු ත් සලකා ගත නො හී මඳක් කල් යවා පියා ‘සගයෙනි, කුමක් කියවු දෑ’ යි දෙ වැනි වත් තුන් වැනි වත් විචාරා, දෙ වැනි වත් තුන් වැනි ව ත් බුදුන් උපන් නියාව කී කල්හි ප්‍රීතීන් පිනා ගොසින් කිසිවකු ත් සලකා ගත නො හී සතර වෙනි වාරයේ විචාරා ‘බුදුහු ලොව උපන් සේකැ’යි කී කල්හි එවිට සලකා පියා ‛සගයෙනි, තොප තෙල කියා ලූ බසට මසු ලක්‍ෂයක් දෙමී’ කියා ලා ‘අනිකුත් අමුත්තෙක් ඇත්දැ’යි විචාළෝ ය. පිටක වසයෙන් තුනක් පමණ වූ, නිකා ය වසයෙන් පසක් පමණ වූ, අඞ්ග වසයෙන් නවයක් පමණ වූ, දහම් කඳ විසින් සුවාසූ දහසක් පමණ වූ පෙළ දහම් හා සමඟ නව ලොවුතුරා දහම් පහළ වූ නියාව කී කල්හි ආදි ලෙසින් ම තුන් වාරයෙක කුල්මත් ව ගොසින් සලකා ගත නො හී සතර වෙනි වාරයේ අසා සලකා පියා ‘තෙල බසට ත් මසු ලක්‍ෂයක් දෙමි’ කියා ලා තව ත් අමුත්තෙක් ඇත් දැ’ යි විචාළෝ ය. ඒ ධර්‍මය දරා සිටිනා වූ සුප්‍රතිපන්නතාදි ගුණ ගණාඞ්ගසඞ්ගත අෂ්ටාර්‍ය්‍ය පුද්ගල සඞ්ඝයා වහන්සේ ලොව පහළ වූ නියාව කී කල්හි රජ්ජුරුවෝ ආදි ලෙසින් ම තුන් වාරයෙක කිසිවකු ත් සලකා ගත නො හී සතර වෙනි වාරයේ අසා සලකා පියා ‘මේ බසට ත් මසු ලක්‍ෂයක් දෙමී’ කියා ලා ඒ අසුන් තුනට වඩනා අනික් හස්නක් සමස්ත ලෝකයෙහි නැති හෙයින් තව ත් අමුතු ඇත් දැ යි විචාරා ඇමැති දහස මූණු බලා ‘සගයෙනි, කුමක් කරවු දැ’යි විචාළෝ ය.

රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේ කරන්නේ කිම්දැ’යි විචාළ කල්හි ‘සගයෙනි, මම තුනුරුවන් ලොව පහළ වූ නියාව අසා නිස්සාර වූ රාජ්‍ය සම්පතක් නිසා පෙරළා ඇතුළු නුවරට නො යෙමි. බුදුන් උදෙසා ගොසින් යන ගමන ත් සාර්ථක කොට ඔබ ළඟ මහණ වෙමී’ කීහ. ‘රජ්ජුරුවන් වහන්ස, පින් ම රැක නො හිඳ බොහෝ ආයාසයෙන් ලද මනා රජ සැපත් හැර මුඹ වහන්සේ මහණ වන්ට යන කල ඇමති සැපතින් අපට කම් කිම්ද? අපිත් කැටිව එම්හ’යි කිවු ය. රජ්ජුරුවෝ බිසොවුන්ට කියා යවන පවත් රන් පටෙක හිඟුලෙන් ලියා යවාලා වෙළඳුන්ට කියන්නෝ ‘අපගේ අනෝජා බිසවු මසු තුන් ලක්‍ෂයක් තොපට දෙති, එයිත් හැර ගනුව. බිසොවුන්ට ත් කියන කල රජ්ජුරුවන් වහන්සේ රජ සැපත් මුළුල්ලම මුඹ වහන්සේට හළ සේක. බිසෝවරුනුත් රජ කමට හැකි හෙයින් රජ සිරි විඳුව මැනැවැ’යි කියව. ඉදින් ‘රජ්ජුරුවන් වහන්සේ කොයි දැ’යි විචාළෝ නම් බුදුන් ළඟ මහණවන්ට ගිය නියාව කියව’යි කිවුය. ඇමති දහසත් තම තමන් ගේ අඹුවන්ට තම තමන් කියා යවන හසුන් කියා යවූහ.

රජ්ජුරුවෝ වෙළඳුන් යවා ලා ඇමැති දහස පිරිවරා ලා ඒ ඒ ඇසිල්ලෙහි ම නික්මුණ වු ය. බුදුහු පෙරාතු දවස් අලුයම ලොව බලන සේක් පිරිවර සහිත වූ කප්පින මහ රජුන් දැක ‘මේ මහා කප්පින රජ වෙළඳුන්ගෙන් තුනුරුවන් ලොව පහළ වූ නියාව අසා බස් තුනට තුන් ලක්‍ෂයක් පුදා රජ සැපත් හැර ඇමැති දහස පිරිවරා මහණ වනු කැමැති ව මා උදෙසා සෙට නික්මෙයි. අවු ත් මාගේ බණ අසා සහපිරිවරින් පිළිසිඹියා පත් රහත් වෙයි. මම ද ඕ හට පෙර ගමන් කොට යෙම්’යි දෙ වන දවස් සක් විති රජ කෙනකුන් කුඩා රජකුට පෙර ගමන් කරණ කලක් මෙන් අනඳ මහතෙරුන් වහන්සේ පමණකුත් නො කැඳවා තමන් වහන්සේම තමන් වහන්සේගේ සඟළත් පාත්‍ර ධාතුව ත් හැර ගෙන සාර සිය අසූ ගවුවක් වැඩ චන්ද්‍රභාගා නම් ගං බඩ නුග ගසක් මුල සවනක් රස් විහිදුවමින් වැඩ හුන් සේක.

රජ්ජුරුවෝ ත් එන්නෝ එක් ගඟක් කරා පැමිණ මේ ගඟ කි නම් දැ යි විචාරා ආරවච්ඡා නමැයි කී කල්හි ගැඹුර - පළල විචාරා ‘ගැඹුරෙන් ගවුවෙක, පළලින් දෙ ගවුවෙකැ’යි කී කල්හි මින් ඈත් වන්ට හොරු-අඟුළු ඇත් දැ’යි විචාරා ‘නැතැ’යි කී ‘කල්හි ‘හොරු - අඟුළු බලා හිඳුමෝ නම් ආයු ගෙවන නියාව උදවු හෙයින් මේ ජාති ය අප ජරාවට පමුණුවයි. ජරාව අවු ත් වැද ලා තමා නො කැමැති දෙයක් අනුන්ට දෙන්නා සේ අප මරණ ට පමුණුවාලයි. පසු ව මහණ වන්ට යන්නෝ කවුරු ද? මම තුනුරුවන් අරභයා විමති නැතු ව මහණවන්ට අයිම් නම් එහි ආනුභාවයෙන් මේ පැන් පැන් නොවෙ’යි කියා සාමාන්‍යයෙනුත් තුනුරුවන් ගුණ සලකා ආවෙණික වූ මේ කාරණයෙනු ත් ‘බුදුහු නිකෙලෙස් සේක යනාදිනව අරහාදී බුදුගුණ සඳහන් කෙරෙමින් අසුන් දහස දිය පිටට පැන්න වූ ය. වඤ්චා අදහසක් නො ව සැබෑ ම අදහස් හෙයින් අස්සු දහස ගල තලෙක නික්මුණු කලක් මෙන් නික්මුණවු ය. කුරවල අක් පමණක් ම තෙමිණ.

රජ්ජුරුවෝ ඒ ගහින් එතෙර ව ලා ඔබ්බේ යන තැනැත්තෝ අනිකුත් ගඟක් දැක ‘මේ ගඟ කි නම් දැ’යි විචාරා නීල වාහිනී නැමැයි කී කල්හි ගැඹුර-පළල විචාරා ගැඹුරෙනුත් පළලිනු ත් දෙ ගවු-දෙ ගවුය යි කී කල්හි හොරු-අඟුළු ආදි ය විචාරා එයි ත් නැතැ යි කී කල්හි සෙස්ස ආදි ලෙසින් ම සලකා ඒ ගඟින් එ තෙර වන රජ්ජුරුවෝ පෙළ දම් සහිත නව ලොවුතුරා දහම් ගුණ සලකමින් ඒ ගඟින් නික්ම ඉදිරියෙහි යන්නෝ අනික් ගඟක් දැක ‘මේ ගඟ කිනම් දැ’යි විචාරා චන්ද්‍ර භාගා නමැ යි කී කල්හි ගැඹුර-පළල විචාරා ගැඹුරෙනුත් පළලිනු ත් සතර ගවු–සතර ගවු පමණ ය යි කී කල්හි සෙස්ස ආදී කී ලෙස ම විචාරා සලකා පියා ඒ ගඟින් ළු තෙර වන රජ්ජුරුවෝ ‘බුදුන්ගේ සවුවන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණි හෙයින් මනාව පිළිපන් සේක’ යනාදීන් සඞ්ඝ ගුණ සලකමින් ඒ ගඟිනු ත් එ තෙර ව ඉදිරියෙහි යන්නාහු වැඩ හුන් නුග ගස කඳ වෙළෙප් ආදි ය නො එක් පෑ ඇති කෙරෙමින් දිවන සවනක් රස් දැක රජ්ජුරුවෝ සිතන්නෝ:

‘මේ අප දුටු ආලොක ය නම් හිරු ආලොකයකු ත් නො වෙයි. රෑ දවසක් නො වන හෙයිනුත් මෙසේ වූ ශෝභාවෙක් ඊ නැති හෙයිනු ත් සඳෙක ආලෝකයකු ත් නො වෙයි. දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණාදීන් අතුරෙන් එක්තරා කෙනකුන්ගේ ශරීරාලෝකයකුත් නොවෙයි. මම එකාන්තයෙන් ම බුදුන් අරභයා අයිමි. ඒ බුදු රජාණන් වහන්සේගේ ශරීරාලෝකය නියා ය’යි බුදු රස් දකිමින්ම අසූ පිටින් බැස පියා බුදු රස් දිවන අතින්ම බුදුන් ළඟට ගොසින් සිරියෙල් කල්කයෙක ගැලෙන කෙනකුන් මෙන් බුදු රස් ඇතුළට වැද බුදුන් වැඳ එකක් පස් ව හුන්හ. බුදුහු පිළිවෙළ කථාව වදාළ සේක.

බණ දෙසුන් කෙළවර රජ්ජුරුවෝ සහපිරිවරින් අසු පිටින් ආ ගමන් හෙයින් ගමන් විඩා මඳ වුව ත් තිබෙන කෙලෙස් විඩා මඳ කළහ. ඉක් බිති හැම දෙන ම මහණ කරන්ට ආරාධනා කළහ.

බුදුහු ත් මුන්ට ඍද්ධිමය වූ පා සිවුරු පහළ වේ දෝ හෝ යි බලා ‘මේ කුලදරුවෝ පසේ බුදුවරුන් දහසකට පිරිකර දහසක් දුන්හ. කසුප් බුදුන් සමයෙහි විසි දහසක් රහතන්ට විසි දහසක් පිරිකර දුන්හ. එක පිරිකරක් - දෙ පිරිකරක් පවා දුන්නන්ට පහළ වන කල මුන්ට පහළ වීම විස්ම නො වෙ’යි දැන රන් වලා ගබෙකින් විදුලියක් මෑත් වන කලක් මෙන් දකුණත දික් කොට වදාරා ‘මහණෙනි, සසර දුක් නසන නිසා බඹසර හැසිරෙන්ට එව’යි වදාළ සේක. ඒ ඇසිල්ලෙහි තුන් සිවුරු පාත්‍රා දීවූ අට පිරිකර දරා සිය වස් ගිය මහ තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්න ව අහසට පැන නැඟි ලා බැස බුදුන් වැඳ ගෙන වැඩ හුන් සේක.

ඒ වෙළෙන්දෝ ද රජ ගෙට ගොසින් රජ්ජුරුවන්ගේ මෙහෙ වර ගිය නියාව කියා යවා බිසොවුනු ත් ‘යහපත, එ ත් ව’යි කී කල්හි ගොසින් වැඳ ලා එකත් පස්ව සිටියහ. බිසවු ‘කුමකට අවු දැ’යි විචාරා ‘රජ්ජුරුවන් වහන්සේ මොබ එවා වදාළ සේක. මසු තුන් ලක්‍ෂයක් දෙවා වදාළ මැනැවැ’යි කී කල්හි ‘සගයෙනි, ඉල්වා ලන නියාව බොහොව. රජ්ජුරුවන් වහන්සේට තොප කළේ කුමක් ද? කුමක් නිසා එක පැහැර මෙ තෙක් වස්තු දෙවූ සේක් දැ’යි විචාළෝ ය. ‘බිසොවුන් වහන්ස, අනික් අප කී කළ දෙයෙක් නැත. එක් අමුතු හස්නක් කියම්හ’යි කිවු ය. බිසවු ඒ අසා ඒ හස්න අපට ත් කියන්ට පිළිවන් දැ’යි විචාළෝ ය. ‘බිසොවුන් වහන්ස, පිළිවන’යි කිවු ය. ‘එ සේ වී නම්, සගයෙනි, කියව’යි ‘කී කල්හි බිසොවුන් වහන්ස, බුදුහු ලොව උපන් සේකැ’යි කිවු ය.

බිසවු ත් අසා රජ්ජුරුවන් පරිද්දෙන් ප්‍රීතීන් පිනා ගොසින් කිසිවකුත් තුන් විටක් කොට සලකා ගත නො හී සතර වෙනි ද්වාරයෙහි සලකා පියා ‘මේ බස අසා රජ්ජුරුවන් වහන්සේ කුමක් දුන් සේක් දැ’යි විචාරා මසු ලක්‍ෂයක් දුන් නියා ව කී කල්හි බිසවු ත් ‘මේ නියා වූ හස්නක් අසා රජ ව සිට ලක්‍ෂයක් දුන් බව රජ කමට තරම් නො වෙ යි. මම උන් වහන්සේ තරමට දුක් පත් නියාවට තුන් ලක්‍ෂයක් දෙමි’යි කීහ. ‘අනික කුමක් කිවු දැ’යි විචාරා ධර්‍ම ය පහළ වූ නියාව ත් සඞ්ඝයා වහන්සේ පහළ වූ නියාව ත් කීම්හ’යි කී කල්හි තුන් වාරයක් සලකා ගත නො හී සතර වෙනි වාරයේ සලකා පියා තුන් තුන් ලක්‍ෂයක් දෙවූහ. වෙළඳු පන් සියය ත් ගිය වෙළඳාම තිබියදී ම රජ්ජුරුවන්ගෙන් තුන් ලක්‍ෂයක් හා බිසො වුන්ගෙන් නව ලක්‍ෂයක් හා එක් කොට දොළොස් ලක්‍ෂයක් තුනුරුවන් ආනුභාවයෙන් ම ලත්හ. බිසවු ද මසුරන් දොළොස් ලක්‍ෂයක් දී ලා ‛රජ්ජුරුවන් වහන්සේ කොයි දැ’ යි විචාළහ. බුදුන් ළඟ මහණ වන්ට ගිය සේකැ’යි කිවු ය. ‘අපට කියා එවුයේ කුමක් දැ’යි විචාරා ‘රාජ සම්පත් ඔබ වහන්සේට ම හැර රජ සිරි විඳින්ට කියා එවූ සේකැ’යි කිවු ය.

‛ඇමැත්තෝ කොයි දැ යි විචාරා ‘උයි ත් රජ්ජුරුවන් වහන්සේ හා කැටි ව ම ගියෝ ය’යි කී කල්හි උන් හැම දෙනාගේ අඹුවන් කැඳවා යවා ලා උන් හැම ආ කල ‘එම්බා’ තොප හැම ස්වාමීහු කප්පින රජ්ජුරුවන් වහන්සේ හා බුදුන් ළඟ මහණවන්ට ගියෝ ල. තෙපි හැම කුමක් කරවු දැ’ යි විචාරා ‘මහණ වන්ට යන ගමනේ උන් හැම අපට කියාලා එවූයේ කුමක්දැ’යි විචාළ කල්හි’තම තමන් ගේ සම්පත් තොප තොපට ම හළ නියාව ත් අභිප්‍රාය ලෙස සම්පතින් ප්‍රයෝජන විඳින්නට කියා එවුය’යි බිසවු කිවු ය. ඒ එසේම ය ‘මුඹ වහන්සේ කරන්නේ කිම් දැ’යි විචාළෝය. ‘හෙම්බා, උන්දෑ රජ ව සිට මඟ සිට ම තුනුරුවන්ට ත් තුන් ලක්‍ෂයක් පුද ලා මේ සා මහත් රජ සැපත් කාරා දමා පු කෙළක් කොට ත් නොසිතා මහණ වන්ට ගිය සේක්මය. මම ද තුනුරුවනේ පවත් අසා නව ලක්‍ෂයක් පිදීමි. ඒ සම්පත වැළි ත් රජ්ජුරුවන්ට ම දුක් එළ වන්නේ නො වෙයි. මම ත් ඇලුම් ඇති ව රැඳිණිම් නම් මටත් දුක් එළව යි. රජ්ජුරුවන් වහන්සේ කාරා දමාපු කෙළක් නො වළහා කටින් හැර ගන්නා සේ උන් වහන්සේ හළ සම්පතෙහි මම ආලය කෙරෙම්ද? උන් වහන්සේට ඉන් ප්‍රයෝජනයක් නැත්තා සේ මටත් ප්‍රයෝජන නැත. මම ද බුදුන් ළඟට ගොසින් මහණ වෙමි’යි කිවු ය.

‘බිසොවුන් වහන්ස, මුඹ වහන්සේ සිතූ සිතිවිලි අපත් සිතූ කල නපුරුද? අපි ත් මුඹ වහන්සේ ලා කැටි ව අවු ත් මහණ වම්හ’යි කිවුය. අදහස් නම් එක තරමේ නො තිබෙන හෙයින් ඉනු ත් ගෑනු අදහස් හෙයින් ‘එ ලෙස කට හැකි වී නම් යහපත් වේ දැ’ යි කියා ලා උන් හැම තරව සිටි කල්හි ‘එසේ වී නම් එව’යි කියා ලා රථ දහසක් යොදවා ලා රථවලට නැඟී උන් හැම හා සමඟ නික්ම අතුරු මඟ දී ගං තුන ම දැක රජ්ජුරුවන් විචාළ සේ ම නම් වෙන වෙන ම අසා දැන ගං වල ගැඹුර හා පළලත් චිචාරා ගංතුනේ ප්‍රමාණය ත් රජ්ජුරුවන් දත්තා සේ ම දැන හොරු ආදි ය විචාරා එයිත් නැති නියාව දැන ගං තුන දී ම අපි හොරු ආදිය ලබන තෙක් හිඳුමෝ නම් ජාති තොමෝ තමා මූල කාරණ හෙයින් සෙසු ත් ප්‍රත්‍යය ජාතය හැරගෙන ජරාවට පමුණුවයි. ජරාව මරණට පමුණුවයි. මළ කල මහණ වන්ට යන්නෝ කවුරු දැ’ යි ‘මේ ගං තුන නම් රජ්ජුරුවන් වහන්සේගේ ත් අපගේ ත් තුනුරුවන් විෂයෙහි විමතියක් නැති ව ම නික්මුණු නියාව හඟවන්ට පහළවූවා සේ වුව. තුනුරුවන් නැමැති හොරු අඟුළු නම් සත්ත්‍වයන් සසර නමැති මහ මුහුදින් වුවත් එතෙර කරත්. බොහෝදෙනා සසර නමැති ඒසා මුහුදකින් පවා ඈත් කොට නිවන් පර තෙරට පමුණුවන්නේ පළලින් ගවු දෙ ගවු පමණ පළල ඇති ගං දෙකක් හා සතර ගවුවක් පමණ පළල ඇති ගඟක් හා ගං තුන පමණකින් අප දහසක් දෙනා එතෙර කොට බුදුන් කරා පමුණුවා නොලාද? අපි තුනුරුවන් ගුණ නමැති හොරු අඟුළු-කරම්හ’යි තුනුරුවනේ ගුණ සලකා තුන් ගඟින් එ තෙර වූහ.

බුදුහු ත් උන් එන නියාව දැන තමන් වහන්සේ ළඟ හුන් සඟ දහස යම් සේ උන්ට නො පෙනෙන සේක් වී නම් ඒ ලෙසට අධිෂ්ඨාන බලයෙන් සඟවා ලූ සේක. උයි ත් යන තැනැත්තෝ අමුතු පෑයක් එවන්ට නොඑක් පෑ ඇති වයිති යොදන්නා සේ බුදුන්ගේ ශරීරයෙන් දිවෙන සවනක් රස් දැක කප්පින රජ්ජුරුවන් සිතූ ලෙස ම සිතා බුදුන් ළඟට ගොසින් වැඳ ලා එකත්පස සිටියාහු ‛ස්වාමීනි, කප්පින රජ්ජුරුවන් වහන්සේ මහණ වන්ට මොබ ආ සේක් වේද, උන් වහන්සේ කොයි ද? අපට පෑ වදාළ යහපතැ’යි කිවු ය. ‘තව සිටුව. හොබ්බකට නො ගොස් මෙ තැ න දී ම දැක්ක හැක්කැ’යි වදාළ සේක. ඌ හැම දෙන ත් මෙ තැන දී ම දකුමෝ ල’යි සතුටු වූ හ. බුදුහු ත් උන් හැම දෙනාගේ අදහස් බලා බණ වදාළ සේක. බණ අසා අනෝජා බිසවු සහ පිරිවරින් ශ්‍රෝත ආපත්ති මාර්‍ග ඥාන නමැති මිහිරි පැන් අනුභව කොට සත්කාය දෘෂ්ට්‍යාදි දෝෂ නමැති පිපාසා සන්සිඳුවා ගෙන ශ්‍රෝත ආපත්ති ඵලාලඞ්කාර ලා සැරහුණාහු ය. මහා කප්පින තෙරුන් වහන්සේ උන් හැමට වදාළ බණ අසා අනුන්ට ලා ලූ දෙයක් කන කලක් පරිද්දෙන් සැඟවී උන් ගමනේ ම ධර්‍මප්‍රතිවෙධ කොට සහපිරිවරින් පිළිසිඹියා පත් රහත් වූ සේක.

එ වේලෙහි බුදුහු ඒ වහන්දෑ බිසවුන්ට පෑ වදාළ සේක. ආ වේලේ නො දැක්කුවේ හැයි ද යත් - ආ විට ම හිස කේ කපා සිවුරු පෙරවා සිටියා දුටු කලට බිසොවුන් ලා ත් ඒ වේලාවට පෘථග්ජන හෙයින් ආදි වෙන සැටියෙක දකිනවුන් දැන් වෙන සැටියෙක දුටු කලට සිත එකඟ නො වන කලට අධිගමයක් කරවා ලිය නො හැක්ක’යි සිතා වදාරා සෝවාන් ව නිසල සැදෑවෙහි පිහිටි කලට රහත් වූ වහන්දෑ දක්වා වදාළ සේක. ඔහු ද ඒ වහන්දෑ දැක පසඟ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමීනි, මුඹ වහන්සේ හැමට මහණ ධර්‍ම මුදුන් පැමිණියේ’යි කියා ලා බුදුන් වැඳ එකත් පස් ව සිටියාහු සෝවාන් පමණෙකින් ශාසන සමය දන්ට නුවූ හෙයින් හෝ දතත් ආරාධනා කළ මනා හෙයින් මහණ කරන්ට ආරාධනා කළහ. බුදුහු ඒ අසා ‘සැවැත් නුවරට ගොසින් මෙහෙණවර මහණ වව’යි වදාළ සේක.

ඌ හැම දෙන ත් ඔබ යන්නාහු අතර මඟ දී බොහෝ දෙනා ගෙන් සාද සාමීචි විඳිමින් පයින් ම සාර සිය අසූ ගවු ව ගෙවා ගොසින් මෙහෙණවර මහණ ව රහත් වූහ. බුදුහු ත් වඩනා ගමනේ තනි ව වැඩිය ත් එක දවසින් ම මහණ මහලු පැවිදි කොට රහත් කරවා ගත් සඟ දහස පිරිවරා දෙව්රම් වෙහෙරට වැඩි සේක. කප්පින මහ තෙරුන් වහන්සේ ද රෑ වසන තැන් දාවල් වසන තැන් ආදියෙහි දී ඉතා සැප ය’යි උදන් අනන සේක. ඒ අසා වහන්දෑ ත්, ස්වාමීනි, කප්පින තෙරුන් වහන්සේ ඉතා සැප ය. ඉතා සැප ය’යි කියන සේක. රජ සැප ත් අරභයා දෝ හෝ’ යි සිතම්හ’යි කී සේක.

බුදුහු ඔබ කැඳවා ලා ‘සැබෑ ද තෙපි කප්පිනයෙනි, රජ සිරි අරභයා උදන් අනවු දැ’යි විචාරා ‘ඒ අරභයා උදන් අනන නියා ත් නො අනන නියා ත් ස්වාමීන්ම දැන වදාර ත් වූ වව. මා අතින් විචාරා වදාරන්නේ හැයි දැ’යි කී කල්හි බුදුහු ‘මහණෙනි, ම පුතණුවෝ රජ සැපතක් අරභයා උදන් අනන්නෝ නොවෙති. ම පුතු තමන් මාගෙන් ලත් නිවන් රස අරභයා උදන් අනතී’ වදාරා ධර්‍ම ය නම් හඹු-උළු-කැන් තැටිවල, මුඩම් වල වත් කොට ගෙන බොන්නා සේ බී පියන්ට බැරි වුව ත් යම් කෙනෙක් පෙළ දහම් ඉගෙන අර්‍ථ රස ය නුවණ තුඬින් බොත් නම් නව ලොවුතුරා දහමින් මාර්‍ග ධර්‍ම ය හවත් නම්, ඵල ධර්‍ම ය සාක්‍ෂාත් කෙරෙත් නම් නිවන් දහම් අරමුණු කෙරෙත් නම්, ඌ ධර්‍ම ය බොන්නා නම් වෙති. කෙලෙස් කිලුටු නැති වීමෙන් ඉතා පහන් සිතින් මෙසේ ධර්‍ම ය බොන්නා වූ සත්‍වයෝ සතර ඉරියවුවෙන් සුව සේ දවස් යවති. නුවණැත්තෝ තුමූ බුද්ධාදීන් විසින් දෙසන ලද සත් තිස් බොධි පාක්‍ෂික ධර්‍මයෙහි හැම කල ම ඇලෙතී’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නව ලොවුතුරා දහම් යථොක්ත ලෙසින් පූහ. එහෙයින් නුවණැත්තවුන් විසින් පෙළ දම් අර්ථ ප්‍රතිවෙධ වශයෙන් බී නව ලොවුතුරා දහම් මාර්‍ග භාවනාදීන් පීමට උත්සාහ කටයුතු.