තව ද අවවාදක්‍ෂම නො වීමෙහි ආදීනව දක්වන්නමෝ ඡන්න තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත්-
ඒ ආයු බොහෝ වූ සන් තෙරුන් වහන්සේ “මම මේ බුදුන් මහණ වන්ට එන දවස් කෙ තෙක් දෙනා ඇත ත් අත් නො හැර අයිමි. එ දවස් කැටි ව ආ එක කෙනකුනුත් නුදුටුයෙමි. අද මෙ වක ‘සැරියුත් මහ තෙරහු නම් අපි ය’ යි කියා ලා සමහර තැන් පෙනෙන සේක. ‘මුගලන් මහ තෙරහු නම් අපි ය’ යි කියාලා සමහර තැන් පෙනෙන සේක. මේ කිම් දැ”යි දෙ අග සවු තැන් අරභයා බැන ඇවිදිනා සේක. බුදුහු එ පවත් අසා සන් තෙරුන් වහන්සේ කැඳවා ලා අවවාද කරණ සේක. අවවාද කළ වේලේ මඳක් තබා ලා මුඛර ව දොඩන්ට සුරු හෙයින් නැවත ත් බණන සේක් ම ය.
මෙලෙසින් බණන කලට තුන්වාරයක් දක්වා කැඳවා ගෙන්වා ගෙන අවවාද වදාරා ‘සන් තෙරිනි, තෙල අග සවු දෙ දෙන තොපට කල්‍යාණමිත්‍ර ව සිටිති. උතුම් ගුණයෙන් ඉතා උතුම් වත් සිටිති. භජන ය කළ මනා එ බන්දවුන් ම ය. අකුසල්හි හැසිරෙන පවිටු මිත්‍රයන් භජනය නො කළ මැන ව. ගිහි වූවො ත් උමං බිඳීම් ආදියෙහි හෝ ශාසනික වූවොත් එක් විසි අන්වෙෂණයෙහි හෝ යෙදෙන නිකෘෂ්ට සත්‍වයනු දු ළං නො කරන්නේය. එසේ කල භජන ය කළ මනා ත් ළං කළ මනාත් කවුරුන් ද යත් - මේ ලෝ පරලෝ දෙකින් වන්නා වූ වැඩෙහි අසුරුවන බුද්ධාදී වූ සත්පුරුෂයන් ම භජනය කට යුතු ය. සත් පුරුෂයන් ම ළං කළ යුතු ය’ යි වදාළ සේක. දේශනා කෙළවර ආධාන ග්‍රාහී හෙයින් සන් තෙරුන් වහන්සේ හැර බොහෝ දෙන නිවන් දුටහ.
සන් තෙරුන් වහන්සේ මෙ තෙක් අවවාද අසාත් මුණින් නමාලූ කළයක් වස්නා පැනට ආධාර නො වන්නා සේ බුදුන් වදාළ අවවාදයට ත් ආධාර ව ගත නො හී නිරපරාධ තැනට බිණීමෙන් වදනා පාපයට ම ආධාර ව නැවත ත් බණන සේක් ම ය. පෙරළාත් බුදුන්ට දැන්වූ කල්හි ‘මා ඇති තෙක් කල් උන් හික්මවන්ට බැරිය. මා පිරිනිවි කලට පිළිවනැ’යි වදාරා ලා පිරිනිවන් පානා දවස සන් තෙරුන් වහන්සේ කෙරෙහි පිළිපත මනා තරම කවරේ දැ’ යි අනඳ මහ තෙරුන් වහන්සේ විචාළ ගමනේ ‘ආනන්‍දයෙනි, සන් තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය දිය යුතු ය’යි මුඛර තැනට නිල ව තිබෙන කර්‍මය කරන්ට වදාළ සේක.
බුදුන් පිරිනිවි පසු අනඳ මහ තෙරුන් වහන්සේ වදාරා යවූ බ්‍රහ්ම දණ්ඩ ය අසා තුන් විටක් විතර මූර්ච්ඡාව ‘මා නො නැසුව මැනැවැ’යි පැරැත්ත ත් ගෙන යහපත් ව පැවත නො බොහෝ කලකින් ම පිළිසිඹියා පත් රහත් වීමෙන් හැම කර්මයෙන් ම ගොඩ නැඟි හෙයින් බ්‍රහ්ම දණ්ඩයෙනු ත් මිදුණු සේක.
එ හෙයින් සුජනයන් විසින් කට නම් ඇති වූයේ කවුරුන් හාත් දොඩන්ට වේ දැ යි සිතා මුඛර නො ව, යම් සේ පර්වතයෙක් නිශ්චල ද එ මෙන් කා කුමක් කීව ත් නිශ්චල ව, තව ද ඒ පර්‍වත ගල තද බැවින් කිසිවක් හා නො ඇලේ ද එ මෙන් කිසිවෙක ත් නො ඇලී, නැවත ගල මත්තේ බිජුවට හට නො ගනී ද, එ මෙන් සිත් නමැති කුඹුරේ කෙලෙස් නමැති බට තල් හට ගත නො දී, තව ද ඒ පර්‍වත ගල කෙ තෙක් දෑ ලා පුව ත් නො නැමේ ද, ඒ හැම හැර ගත් කලට ඉපිළ ත් නො යේ ද, එ මෙන් ලාභයෙහි දී උඩඟු ත් නො ව අලාභයෙහි දී මඳකු ත් නො බා හැමයට ම එක තරමේ දවස් යවා, චිත්තසුද්ධිය කටයුතු.