තව ද ගිවිසිත ත් නො ගිවිසිත ත් ගොඩ ත් දියෙහි ත් වසිනා වැසි පරිද්දෙන් අවවාද කට යුතු නියාව ම හඟවනු පිණිස අස්සජි-පුනබ්බසුක වස්තුව දක්වමු.
කෙ සේ ද යත්:-
මේ දේශනාව කීටාගිරි නම් දනවුවෙහි දී උපන. සවග වහන්දෑ කෙරෙහි ඇතුළත් වූ ඒ අස්සජි – පුනබ්බසුවෝ ද අග සවුවන් වහන්සේට සද්ධිවිහාරික වත් ජාතිසම්පන්නයන්ට දා වත් තරම් නපුරු සේ ඉතා අලජ්ජීහ. පවිටු තරම් ඇත්තෝ ය. තමන්ගේ පිරිවර හා සමඟ බුදුන්ට දුරු ව කළ යම් දෙයක් විකනු නිසා කීටාගිරියෙහි වසන්නාහු කුල සංග්‍රහ සඳහා මල් ගස් රෝපණය කිරීම් ආදී විසින් නො එක් අනාචාර කොට කුලදූෂණයෙන් ලද දෙයින් ජීවත් වන්නාහු තමන් වසන තැන මාලුවා ලිය ය නැඟි ගස් පරිද්දෙන් සිල්වත් තැන්ගේ විසීම නැති කළහ. බුදුහු ත් ඒ අසා වදාරා පබ්බාජනීය කර්‍ම ය නම් කුල දූෂකයන්ට නියම හෙයින් ඔවුන්ට ඒ කර්‍මය කරණු නිසා පිරිවර සහිත අග සවු දෙන ම බණවා ලා ‘ශාරීපුත්‍ර- මෞද්ගල්‍යායනයෙනි, ඔබ ගොසින් යම් කෙනෙක් තොප කීවා නො කෙරෙත් නම් උන්ට පබ්බාජනීය කර්‍ම ය කරව. යම් කෙනෙක් තොප කී ලෙස කෙරෙත් නම් අවවාද අනුශාසනා
කරව.
මෙහි අවවාද නම් උපන් වස්තුව දැක කියන දෙය හෝ ය, හමුයෙහි කියන මාලු කම් හෝ ය, එක විට කියා ලන දෙයක් හෝ ය, අනුශාසනා නම් වරදක් නුදුටත් මත්තෙහි අයසෙක් උපදී. නමුත් ය’ යි දුර තබා කියන දෙය හෝ ය, නො හමුයේ ම කියා යැවීම් හෝ ය, පෙරළ පෙරළා ත් මාලු කම් කීම හෝ ය. නොහොත් අවවාදයම අනුශාසනා නමුත් වෙයි. මෙ ලෙස කොට අකුසලින් දුරු කරවා කුසල්හි හසුරුවව. මෙසේ කරණ අවවාද ත් යහපත් අදහස් ඇත්තවුන්ට ප්‍රිය ය. නපුරු අදහස් ඇත්තවුන්ට අප්‍රිය ය. යහපත් අදහස් ඇත්තෝ රහල් තෙරුන් මෙන් අසා පිළිගනිති. නපුරු අදහස් ඇත්තෝ කර්‍ණ කඨෝර දෙයක් මෙන් අසනු කැමැති නො වෙති. ඒ කෙ සේ වුව ත් අනුශාසක ව සිටියවුන් විසින් අනුශාසනා කට යුත්තේ ය’ යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන මාර්ගාධිගම - ඵලාධිගම කළහ. අග සවු දෙ දෙනා වහන්සේ ද ඔබ ගොසින් අවවාද කළ සේක. සමහර තැන් අවවාද පිළිගෙන සම්‍යක් ප්‍රතිපදාවට පැමිණි සේක. සමහර තැන් සිවුරු හළවුය. සමහර තැන් පබබාජනීය කර්‍ම ය ලද්දාහු ය.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ සුළඟ සුපිපි වන ලැහැබට හමා ද එ පරිද්දෙන් අර්හත් ඵල විමුක්ති නමැති මල් ඇති, අර්හන් මාර්‍ග නමැති ගසින් යුත් නිවන් නමැති මහ වනයෙහි ඇලුම් ඇති ව, යම් සේ මහ සුළඟ තර ව හමා ලා ගස් කොළ වගුරුවා ද එ පරිද්දෙන් රාගාදි කෙලෙසුන් වගුරුවා තව ද ඒ සුළඟ අහස ම හැසිරේ ද - එ මෙන් ලොවුතුරා දහම් අහස සේ උස හෙයින් එහි ම හැසිරෙන්ට උත්සාහ කොට නැවත ඒ සුළඟ යහපත් තැනකට හැමී නම් සුවඳ අනුභව කෙරේ ද, එ මෙන් යහපත් තැනට පැමිණීමෙන් සිල් නමැති සුවඳ විලවුන් ගෙන, නැවත සුළඟ ප්‍රතිනියත වාසස්ථාන නැත්තේ ද එමෙන් කිමෙක ත් ඇලුම් නැති ව, ගුණ දහම් පුරා නිවන් පුර අත් කර ගත යුතු.