තව ද මනාවුන් කරා ගොසින් කරණ භජන ය නො සිස් නියාව හඟවන්ට රාධ තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙසේ ද යත් -
ඒ රාධ තෙරුන් වහන්සේද වැළි ත් ගිහි අවස්ථාවෙහි සැවත් නුවර ලොවී සැපතට පින් නැති දුක් පත් බමුණාන කෙණෙක. ඌ තුමූ සෙසු ලෙසකින් ජීවත් විය නො හී වහන්දෑ ළඟ රැකෙමි’යි සිතා වෙහෙර තණ කසළ හරිමින් ගෙ මලු හමඳිමින් දැහැටි පැන් දීම් ආදී වූ අත් පා මෙහෙවර කරමින් ගමට නො ගොසින් විහාරයේ ම රඳති. වහන්දෑ ත් මෙහෙවර කොට ලන හෙයින් බත් දෙවන සේක. උන් තමන් මහණ වීමෙහි රුචි ඇත ත් මෙහෙවර නැති වෙයි යන සිතින් දෝ මහණ නො කරණ සේක. බමුණානෝ ද මහණ වීමෙහි සිතිවිල්ල බලවත් හෙයින් එයි ත් නැති වන්නා සිතිවිලි ගෙන දුර්‍වල වූහ. බුදුහු එක් දවසක් ලොව බලන සේක්- බුදු නුවණින් මේ බමුණානන් දැක ඕ හට කුමක් වේ දෝ හෝ යි බලන සේක් රෙදි කඩෙකින් වසා තුබූ මැණිකක් මෙන් රහත් වන්ට නිසි පින් ඇත්තෝ ය යි දැන ෙදෙ වන දවස් සවස් වේලෙහි වෙහෙරවල සැරිසරන්නාක් මෙන් බමුණානන් ළඟට වැඩ ‘බමුණ, කුමක් කොට ඇවිදිදැ’යි විචාළ සේක.
‘වහන්දෑට වත් පිළිවෙත් කොට ඇවිදිමි’යි කී ය. එ සේ මෙහෙ කොට ත් සංග්‍රහ ත් ලැබෙයි දෑ’ යි විචාරා වදාරා ‘බත් පමණක් ලැබෙමි. මහණ කරන්ට මැළි සේකැ’ යි කී කල්හි කාරුණික වූ බුදුරජුන් වහන්සේ වහන්දෑ රැස් කරවා ලා ‘කුමක් ද, මහණෙනි, මේ බමුණු කළ උපකාරයක් සඳහන් ඇති කෙනෙක් ඇත් දැ’යි විචාළ සේක. ඒ අසා සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘ස්වාමිනි, එක් දවසක් රජගහා නුවර මා සිඟන ගමනේ මුන් තමන්ට ගෙනා බත් සැන්දක් මට ලවා පී නියාවෙක් මා සිත ඇතැ’යි වදාළ සේක. බුදුහු ඒ අසා ‘හැයි, ශාරීපුත්‍රයෙනි, තොපට දුන් දෙයෙහි අනුසස් නම් පමණෙක් නැත. තෙල තරම් උපකාරයක් සිත ඇති වැ තුලුන් සසර දුකින් නුමුදන්නේ හැයිදැ’යි විචාළ සේක. ‘යහපත ස්වාමීනි, එසේ වී නම් මහණ කෙරෙමි’යි වදාරා ලා මහණ කළ සේක.
උන් වහන්සේ වළඳන්ට හිඳුනා කල අලුත මහණ වූ හෙයින් පාළි කෙළවරට පැමිණෙ යි. එ සේ හෙයින් කැඳ බත් ආදියෙන් ඵාසුවෙක් නැත. ධම් සෙනෙවි ස්වාමී ද ඒ බව දැන උන් වහන්සේ කැඳවා ගෙන සැරි සරා වැඩ පී සේක් එක් වන් ‘තොප විසින් මේ කළ මනා දෙය ය. මේ නො කළ මනා දෙය’යි සරිත් වරි ත් සිඛයෙහි හික්මවන සේක. උන් වහන්සේ ද සුවච කීකරු ව අනුශාසනා ලෙස පිළිපදිනා සේක් කීප දවසකින් භාවනාවට ගන්නා දුක් ආදි ම ගෙන නිමවා පූවා සේ රහත් වූ සේක. කළ භජනයත් ඉතා යහපත් විය. මහ තෙරුන් වහන්සේ ද උන් වහන්සේ කැඳවා ගෙන සටන් ජය ගත් කෙනෙකුන් රජදරුවන්ට පාන්ට ගෙන යන්නා සේ බුදුන් කරා ගෙන ගොසින් වැඳ ලා වැඩ හුන් සේක. ඉක් බිත්තෙන් බුදුහු ‘ශාරීපුත්‍රයෙනි. ‘තොපගේ සද්ධි විහාරිකයාණෝ සුවච කීකරුවෝ දැ’යි විචාරා ‘එ සේ ය. ස්වාමීනි, ඉතා ම කීකරුවෝ ය. කවුරුන් කුමක් කීව ත් කිපෙන්නෝ නැතැ’යි වදාළ කල්හි ‘මෙ සේ වූවන් ලබතොත් කෙ තෙක් විතර රඳවවු දැ’යි විචාළ සේක. ‘මෙ සේ වූවන් කෙතෙක් දෙන වුව ත් රැඳවීමෙහි ආයාස මඳ හෙයින් රඳවන්ට පිළිවනැ’යි කී සේක.
ධම් සෙබෙහි ත් කථාවෙක් උපදනේ ‘කළ දෙයෙහි උපකාර දැන් ම සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ ඉතා යහපත. බත් සැන්දක් පමණින් කළ උපකාර සලකා දුක්පත් බමුණානන් මහණ කළ සේක. ඌ තුමූ ත් අවවාදක්‍ෂම ව අවවාදක්‍ෂම තැන් ම ආශ්‍රයට ත් ලත් දැ’යි යන කථාව ය. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, ශාරීපුත්‍රයන් කළ දෙයෙහි උපකාර දන්නේ දැන් මතු නො වෙ යි. යට ගිය දවසත් තමන් ඈත් ව උපන් කල කැලෑවල දඬු පත් කපා ගිය වඩුවන් තමන් පය ඇනුණු හුල් කඩ තමන් කෙරෙහි භයක් නැති ව හැර ලා පය සුව කොට ලූ හෙයින් සුදු ඇත් පැටවකු වඩුවන්ට ගෙනවුත් දුන්හ. එකල එකචාරී ඇතාණෝ නම් සැරියුත් මහතෙරහු ය’ යනාදීන් අලීන චිත්ත ජාතක ය වදාරා ලා-
“හෙම්බා මහණෙනි, භික්ෂූන් විසින් නම් රාධයන් මෙන් විය යුතු ය. වරද දක්වා කවර තරමෙක අවවාද කරත ත් උරණ නො විය යුතු ය. යම් කෙනෙක් තුමූ බාල ව සිට ත් අවවාද කෙරෙත් නම් උන් බාල වුව ත් කරණ අවවාද ය බාල නො වන බැවින් ආලෙස්සම් කොට සිතිය යුතු නො වෙ යි. යම් සේ දුප්පත් කෙනෙක් මරා තළා පියාත් තෙලෙ හැර ගනුව’යි වස්තුවෙන් පිරුණා වූ නිධානයක් පවිත් නම් කෙසේ මරත ත් තළත ත් උන් කෙරේ මුසුප්පු නැති ව සමාධි වෙත් ද, එ මෙන් වරදක් සොයා ගෙන සඟ මැද නුගුණ පතුරුවම්හ’යි යන කුලුණු අදහසින් දක්නා වරදක් නො ව ‘මේ වැරැද්ද කියා නො දත් දෙය දන්වා ලම්හ. දත් දෙය පිරිමස්වා ලම්හ. සීල සමාධ්‍යාදී ගුණෙන් වසා ලම්හ’ යන අදහසින් දුටු වරද කියා අවවාද කරන්නවුන් නිධාන කියන්නවුන් කොට සිතා, නැවත යම් කෙනෙක් සද්ධි විහාරිකාදීන්ගේ අසාරුප්පයක් දැක දැක ‘මූ අපට සකස් කොට අත් පා මෙහෙවර කෙරෙති. ඉදින් මේ අසරුප කියාලූ මෝ නම් කෙරෙමින් සිටි දෙය තබා පියති’ යන සිතින් බැණ නො නැගෙත් නම් ඌ මේ සස්නේ කසළ ලන්නා නම් වෙති. එ සේ වූවන් හැර යම් කෙනෙක් කළ වරද ලෙසට තර්ජනය කෙරෙමින් දඬුවම් කරවා වැඩි වරදට විහාරයෙන් නෙරා හික්මවත් නම් එ ලෙස නිග්‍රහ කරන්නා වූ නැවත ධර්මොප ප්‍රඥාවෙන් යුක්ත වූ සත් පුරුෂයන් භජන ය කටයුතු ය. එ බන්දවුන් භජන ය කරන්නවුන්ට වැඩෙක් ම වත් මුත් අවැඩෙක් නො වෙ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.
එසේ හෙයින් සාධු ගුණයෙන් යුක්තයන් විසින් හීනොපාශ්‍රය නො කොට සත් පුරුෂොපාශ්‍ර ය කොට උන්ගේ අනුශාසනායෙහි පිහිටා යම් සේ ගිනි දඬු පත් ආදි වූ සියල්ල ම දවා ද - එ මෙන් සන්තානයෙහි පවත්නා වූ කෙලෙස් නැමැති මහ කසළ තදඞ්ග විමුක්ත්‍යාදී වූ විමුක්ති නමැති ගින්නෙන් දවා ද, නැවත එ ම ගිනි කා කෙරෙහි ත් දයාවක් කරුණාවක් නැත්තේ ද, එ මෙන් කෙලෙසුන් කෙරෙහි දයාවකු ත් කරුණාවකු ත් නැති ව, තව ද ඒ ගිනි යම් සේ ශීත නසා ද එ මෙන් වීර්‍ය්‍ය නමැති ගින්නෙන් කෙලෙස් නමැති ශීත පීඩා නසා. තව ද ඒ ගිනි අනුනයක් ප්‍රතිඝයක් නැත්තේ ද එ මෙන් ප්‍රතිඝානුන ය නැති ව, තව ද ඒ ගිනි අඳුරු නසා ද, එ මෙන් මොහ නමැති අඳුරු නසා. තව ද ඒ ගිනි ආලෝක පතුරුවා ද එ මෙන් මාර්‍ග ඥාන නමැති ආලෝක පැතිර වීමෙන් ලෝ සසුන් බැබළවි ය යුතු.
__________