71. වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද ලඝු වූ ම කුශලයෙහි විපාක ය මහත් නියාව හඟවන්නට වනවාසික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු-

කෙ සේ ද යත්-

සැරියුත් මහ තෙරුන් වහන්සේට පිය වූ වඞ්ගන්ත නම් බමුණානන්ට යාළු වූ මහාසේන නම් බමුණාන කෙනෙක් රජගහ නුවර හිඳිති. සැරියුත් මහ තෙරුන් වහන්සේ එක් දවසක් සිඟා වඩනා ගමනේ ‘මහා සේන නම් බමුණානන්ට පර ලොවින් වැඩක් කෙරෙමි’යි උන්ගේ ගෙ දොරට වැඩි සේක. බමුණානෝ ද වැළි ත් සම්පත් නැති ව දුක් පත් වූහ. සිඟා වැඩි මහ තෙරුන් වහන්සේ දැක, ‘ම පුතණුවන් වහන්සේ මා ගේ ගෙට සිඟා වැඩි සැටියට මමත් ඉතා දුක් පත් වීමි. මා දුක් පත් නියාව ත් දත් සැටි නො වෙයි. දැක අරුණු’ යි කීම් බලාත් නො දැක්වීම යහපතැ’යි සැඟවී ගත්හ. මහ තෙරුන් වහන්සේ උන් ගෙන් ලබන බතකට ත් වඩා තමන් වහන්සේ මුල් ව පරලොවින් උන් ලබන ප්‍රයෝජන ය ම සලකා තව ත් දවසක් එ ගෙට සිඟා වැඩි සේක. බමුණානෝත් තමන්ට පිළිවන් එ ම හෙයින් සැඟවී ගත්හ. ‘කිසිවක් ලදිම් නම් පිළිගන්වමී’ සිතා ත් නො ලැබෙති.

ඉක් බිත්තෙන් එක් දවසක් බමුණන් හෝම කරණ තැනින් දළ හිණ කඩක් හා කිරි බත් තළිය ත් ලදින් ගෙට ගෙනවුත් තබා ලා මහ තෙරුන් වහන්සේ සලකුණු කළහ. මහ තෙරුන් වහන්සේ ත් එ වේලෙහි ධ්‍යානයට සම වැද ලා ධ්‍යානයෙන් නැඟී ඒ බමුණන් දිවසින් දැක ‘බමුණානෝ දිය යුත්තක් ලදින් මා දක්නා කැමැති වු ය. මා එ තැනට ගිය මනා වේ දැ’යි ගැටවටු ගන්වා ගෙන පාත්‍ර ය පටවා ගෙන ගෙදොර සිඟා සිටි සේක. මහ තෙරුන් වහන්සේ දැක බමුණානන්ගේ සිත ඉතා පහන් විය. පහන් සිතින් ගොසින් වැඳ ලා සාදසාමීචි කොට ලා ඇතුළු ගෙයි වඩා හිඳුවා ලා බත් තළිය හැර ගෙන ගොසින් මහ තෙරුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වන්ට වන්හ. භාගයක් විතර පිළිගන්වා ලන්නා උන්ට ත් භාග වුව මනා වේ දැ’යි අතින් පාත්‍රය වසා ගත් සේක.

බමුණානෝ ද ‘ස්වාමීනි, මේ බත එක කෙනකුන්ට මුත් දෙන්නකුට සෑහෙන්නේ නොවෙයි. මෙ ලොවින් කරණ සංග්‍රහයට ත් වඩා මට කළ මනා නම් පරලොව සංග්‍රහ ම ය. මත්තෙහි ලබන සම්පතු ත් කැබැලි නොවුව මනා වේ ද, හැම ම පිළිගන්වමී’ කියා ලා පිළිගන්වා පූ ය. මහ තෙරුන් වහන්සේත් වළඳන නියාව බලා සිත පහදවනු පිණිස එ ගෙයි වැඩ හිඳ ම වැළඳූ සේක. වළඳා අන්තයෙහි ඒ කඩත් පිළිගන්වා ලා වැඳ ගෙන ‘ස්වාමීනි, අපට සෙස්සකින් ප්‍රයෝජන නැත, නිවන් සම්පත් ම ලදිම් නම් යහපතැ’යි නිවන් ම පැතූහ. නිවන් පතා පින් කළ කල සියල්ල ම සමෘද්ධ වන හෙයින් පතා ගත් නියා ව ගැටවා ය. මහ තෙරුන් වහන්සේ ත් ඒ එ සේ ම වේව’යි වදාරා ලා අනුමෙවුනි බණ ත් වදාරා ලා නික්මුණු සේ රඳා කළ මනා ප්‍රයෝජන නිමි හෙයින් දෙව්රම් වෙහෙරට ම වැඩි සේක.

දුක් පත් ව කළ පින් කම් නම් ඉතා ම සිත සතුටු කරවා ලන හෙයින් බමුණානෝ ද ඒ දන් දී ලා පහන් සිතින් ආදි චෙතනා සේ ම, මධ්‍ය වෙතනා සේ ම, අපර චේතනා ත් යහපත් කොට ගෙන මහ තෙරුන් වහන්සේ කෙරෙහි ප්‍රේම ත් බලවත් කළහ කළ ප්‍රේම නො පිරිහෙලා ම මිය ගොසින් කළ යන්තම් උපකාරයට බලවත් ප්‍රත්‍යුපකාර විඳිනා කැමැති ව රට බිම් විචාරා ගෙන යන්නා සේ මහ තෙරුන් වහන්සේ වැඩි සැවැත් නුවර ම ඔබගේ ම උපාසක කුලයෙක පිළිසිඳ ගත්හ. මුන් තමන් මහ පිනැති හෙයින් මෑණියෝ ත් තමන් බඩ දරු කෙනකුන් පිහිටි නියා ව දැන සමණන්ට කිවු ය. උයි ත් උන්ට ඇඹුල් අධික දෙය හැරීම, ලුණු අධික දෙය හැරීම, ඉතා හුණු දෙය හැරීම, ඉතා සිහිල් දෙය හැරීම, යනාදී වූ ගබ පෙරහර දුන්හ. ගබ පෙරහර ලදින් සුව සේ දරු ගැබ පිරිමසන්නා වූ උන්ට මෙ බඳු දොළෙක් ඇති විය.

කෙසේ වූ දොළෙක්ද යත්- ‘සැරියුත් ස්වාමීන් ප්‍රධාන කොට ඇති පන්සියයක් දෙනා වහන්සේට ආරාධනා කොට ගෙයි වඩා හිඳුවා පැන් නුමුසු හුදෙක් කිරින් පැසවා ගත් කිරි බතක් දන් දීලා මම ත් රන් වන් පිළියක් හැඳ පෙරව, රන් තැටියක් හැර ගෙන පාළි කෙළවර හිඳ එ තෙක් වහන්දෑ හළ බතක් අනුභව කෙළෙම් නම් යහපතැ’යි යන දොළෙක. උන් තමන් රන් වන් පිළි හඳිනට පොරෝනට දොළ ඇති වූයේ බඩ උපන් දරුවන් බුදු සස්නෙහි මහණ වීමට පූර්ව නිමිත්ත ය. උපාසිකාවන්ගේ දෙ මවු පියෝ ත් ‘අපගේ දුවණියන්ට ඇති වූ දොළ දුක ඉතා ම යහපතැ’යි සැරියුත් ස්වාමීන් මූල් කොට පන් සියයක් දෙනා වහන්සේට පැන් අමිශ්‍ර කිරිබත් ඉදි කරවා දුන්හ. උපාසිකාවෝ ත් රන් වන් කඩක් හැඳ රන්වන් කඩක් පෙර ව රන් තැටියක් හැර ගෙන පෙළ කෙළවර හිඳ ඉඳුල් බත් අනුභව කළහ. දොළත් සන්හුන්හ. උන් දරුවන් වදන තෙක් සත් මසින් සුණු ගෑම් ආදී වූ මඟුලෙහි ත්, දස මස් අයාමෙන් පුතණුවන් වදා පී කළ කරණ හිරු වඳ වන මඟුල් ආදි වූ මඟුලෙහි ත් ආදි ලෙසින් ම පන්සියයක් දෙනා වහන්සේට කිරි බත් දුන්හ. මේ සියල්ලම කුමාරයන් දෙවන ජාතියෙහි මහාසේන නම් බමුණු ව දීලූ එක කිරි බත් තළියේ විපාක ය.

උපන් මඟුල් කරණ දවස් ඒ කුමාරයන් උදාසන ම නාවා පියා සරහා ලා ශ්‍රී යහනෙහි ලක්‍ෂයක් වටනා පලසක් මොළොකට අතුට ලා වැද හොවා ලූ ය. එහි වැද හොත් කුමාරයෝ ධම් සෙනෙවි ස්වාමීන් බලා පියා ජාති සිහි කරණ නුවණින්’මුන් වහන් සේ මට ආචාරී සේක. මා මේ සා මහත් සම්පත් ලද්දේ මුන් වහන්සේ නිසා ය’යි සිතා ගෙන තවත් ‘මුන් වහන්සේට මේ සම්පතට වඩා වැඩියුරු සම්පතක් ලබන්ට යමක් දෙමී’ සිතා නම් තබන්ට ගෙනෙන ගමනේ වැද හොත් ඒ පලස සුළැඟිල්ලෙන් වෙලා ගත්හ. ඉක්බිත්තෙන් පලස ඇඟිල්ලේ ඇවිණ ගතැයි ඇඟිල්ලෙන් ගළවන්ට පටන් ගත්හ. කුමාරයෝ හඬන්ව වන්හ. දෙ මවු පියෝ දරුවන් නො හඬව’යි කියා ලා පලස හා එක් කොට ම ගෙනවු ය. කුමාරයෝත් මහ තෙරුන් වහන්සේ වඳවන වේලේ පලස ඇඟිල්ලෙන් ගළවා ඔබගේ පාමුල හෙළා ලූය.

දෙ මවු පියෝ තමනුත් සැදෑ ඇති හෙයින් ‘බාල දරුවෝ නො දැන කොළෝ ය’ යි නොකියා ‘දරුවන් දීපු දෙය දීපු යේ ම ය’යි කියාලා ‘ස්වාමීනි, ලක්‍ෂයක් වටනා පලසක් දී ලූ වන්ට නම් තබා වදාළ යහපතැ’යි කිවු ය. ‘කුමන නමක් ද වුවමනා ය’යි වදාළ කල්හි ඔබ ගිහි සමයෙහි උපතිස්ස නම් හෙයින් ඉන් නම් කැබැල්ලක් සලකා ‘ස්වාමීන්ගේ නම වී නම් යහ පතැ’යි කිවු ය. ‘එ සේ වී නම් මෙවක් පටන් මූ තිස්ස කුමාර යෝය’යි නම් තබා වදාළ සේක. මෑණියෝ ත් පුතණුවන්ට යම් අදහසෙක් ඇති වී නම් ඒ අදහස මිරිකා නො පියමි’යි සිතූහ. මෙ සේ කුමාරයන්ට නම් තබන මඟුල ත් කොට ලා නැවත බත් කවන මඟුලේ ද කන් විඳිනා මඟුලේ ද පිළී හඳවන මඟුලේ ද කුඩුම්බ තබනා මඟුලේ ද ධම් සෙනෙවි ස්වාමීන් මුල් කොට පන්සියක් දෙනා වහන්සේට එක කිරිබත් තළියක් නො ගෙවෙන නියාවට පැන් නුමුසු කිරි බත් ම දුන්හ.

කුමාරයෝ ත් වැඩී වර්ධන ව සත් හැවිරිදි අවස්ථාවෙහි ‘මෑණියන්වහන්ස, තෙරුන් වහන්සේ ළඟ ම මහණවෙමි’යි කීහ. ‘යහපත, පුතණ්ඩ, මම ආදි ම මුඹගේ අදහස මිරිකා නොපියමි’ සිතීමි. මහණ වන්නැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේට ආරාධනා කොට ගෙන්වා ගෙන දන්දී ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ ගේ කොලු පැටවා මහණ වෙමි යි කිය යි. මුන් කැඳවා ගෙන සවස්වේලාවට එම්හ’යි විහාරයට මහ තෙරුන් වහන්සේ යවා පියා සවස් වේලෙහි මහණ වන්නවුන්ට කළමනා පූජා කරවා ගෙන වෙහෙරට ගෙන ගොසින් පාවා දුන්හ.

මහ තෙරුන් වහන්සේද පාවාදී ලන්නාම මහණ කොට නො පියා ‘තිස්ස කුමාරයෙනි, මහණ වීම් නම් ඉතා බැරි ය. හුණු කැමැත සිහිල් ලැබෙ යි. සිහිල් කැමැත හුණු ලැබෙ යි. අනුභව කරන්නෙ ත් එක වේලේ ය. තෙපි ත් ඉතා සිවුමැල්ල ව. දුකට පැමිණ ‘ආදී නො වදාළේ හැ යි දැ’යි කියවු නමුත් ය යි කී නියා ය.

කළ මනා කිම් දැ’යි විචාරා මහණ වන්ට ම තර ව ‘වදාළ ලෙසක කෙරෙමී” කී කල්හි මහ තෙරුන් වහන්සේ ත් ගිවිස උන් පිළිකුල් මෙනෙහි කරණ ලෙසට තචපඤ්චක ය පමණක් උගන්වා ලා මහණ කළ සේක.

පඨවි කොටස් විස්ස හා ආපෝ කොටස් දොළොස හා එක් කොට දෙ සොළොස ඉගැන්වුව ත් යහපත. ඒ හැම කියා ගත නොහෙ ත් නම් තච පඤ්චක ය පමණකුත් කිය යුතු. මේ කා ගියා සී කමටහන් නම් සියලු බුදුවරුන් වහන්සේ ම අත් නො හැර පිරිමසන දෙය ය. යම් කෙනෙක් කා ගියා සි නැමැති බෙහෙත් වළඳා ශරීර ශුද්ධියකට නුහුණු වූ නම් නිවන් නමැති අමා රස උන්ගේ සතන ධරාගත නොහෙති. කෙස් ආදී වූ දෙතිස්කොටසින් එ කි එකී කොටසක් ම අරමුණු කොට විවසුන් වඩා රහත් වූ මහණ–මෙහෙණන්ගේ ත් උපාසක-උපාසිකා වරුන්ගේ ත් ගණ නෙක් නැත. අව්‍යක්ත තැන් කුල දරුවන් මහණ කරණ කුල තච පඤ්චකය පමණකු ත් නො කියා මහණ කිරීමෙන් රහත් වන්ට නිසි හේතු ව නසන සේක. එ සේ හෙයින් මහ තෙරුන් වහන්සේ තච පඤ්චක ය වදාරා ලා මහණ කළ සේක.

දෙ මවු පියෝ ත් පුතණුවන් මහණ වූ පූජා කරන්නාහු බුදු පා මොක් සඞ්ඝයා වහන්සේට සතියක් ම විහාරයේ රඳවා ලා පැන් නුමුසු කිරිබත් ම දුන්හ. වහන්දෑ ත් සතියක් මුළුල්ලෙහි ම වළඳා දෙන්නවුන් නුකුසී ව දෙත ත් වළඳන්නට කුසී සේක. දෙ මවු පියෝ ත් සත් දවසක් දන් දී ලා සත්වන දවස් ගෙවලට ගියහ. තිස්ස සාමණේරයන්දෑ ත් මහණ වූ අට වන දවස් වහන්දෑ කැටි ව සිඟා ගිය සේක. සැවැත් නුවර ඇත්තෝ ‘හෙරණුන් වහන්සේ අද සිඟා එන සේක. සාද කරම්හ’ යි පිළි පන් සියයක් හා සමඟ බත් වසුන් පන් සියයක් ඉදි කරවා ගෙන පෙර මඟ සිටියෝ ය. සිට ලා හෙරණුන්දෑ දැක පිළිගැන්වූහ. දෙවන දවස් බත් වසුන් පන් සියයකු ත් පිළි පන් සියයකු ත් විහාරාසන්නයට ම ගෙන ගොසින් දුන්හ. මෙ සේ හෙරණුන්දෑ දවස් දෙකකින් පිළි දහසකු ත් බත් වසුන් දහසකු ත් ලැබ වහන්දෑට දෙවා පූ සේක. බත් වසුන් දහස වන්නා බමුණූ කල දුන් බත් තළියේ අනුහසින. පිළි දහස ලද්දේ කවර පිණකින් ද? යත්-බත් තළිය හා එක් කොට දුන් දළව තිබුන කඩ පොල්ලේ අනුහසින. ඉක්බිත් තෙන් වහන්දෑ පිණ්ඩපාත දායක තිස්සයෝ ය යි නම් තබා ගත් සේක.

නැවත එක් දවසක් හෙරණුදෑ සීත වේලෙක විහාරවල ඇවිදිනා දෑ වහන්දෑ ගිනිහල් ගෙවල් ආදියෙහි සිට ගිනි තපිනා දැක ‘ඇඟ අළු නංවා ඇසට දුම් වද්දා මේ ගිනි තපිනේ හැයි දැ’ යි විචාළ සේක. ‘තොප නම් සග බාල හෙයින් සීත නැත. අප මාලු ව ගිය හෙයින් අපට සීත ඇත්තේ වේ දැ යි සීත හෙයින් ගිනි තපුම්හ’ යි කී කල්හි ‘ස්වාමීනි, සීත වේලට කම්බිලි යහපත් වේ දැ’ යි කී සේක. ‘හෙරණෙනි, තෙපි මහ පිනැති හෙයින් කම්බිලි ලබව. අප තොප සේ පිනක් කට නුහුණ. අපට කම්බිලි කොයින් ද? එ බඳු පින් නො කොට කම්බිලියට ආලය කරමෝ දෑ’ යි කී සේක.

‘එ සේ වී නම් කම්බිලි වුව මනා තැනක් මා හා කැටි ව එන බව ය’ යි ගණ ය මුළුල්ලට කියා ලූ සේක. වහන්දෑ ත් හෙර ණුන් ලා කැටි ව ගොසින් කම්බිලි ලබම්හ’යි පින් කමින් මූකුරා සිටිය ත් වයසින් සත් හැවිරිදි හෙරණුන්දෑ ලා කැටි ව වහන්දෑ දහසක් විතර නික්මුණු සේක. හෙරණු දෑත් බත් තළි ය පිළි ගන්වන ගමනේ බොහෝ ය’යි භාගයක් රඳවා නො ගත් සෙයින් ‘වහන්දෑ බොහෝ ව. මෙ තෙක් වහන්දෑට කම්බිලි කොයින් දැ’යි යන්නක් ම නො සිතා වහන්දෑ දහස පිරිවරා නුවර බලා නික්මුණු සේක. කම් පල අදහා යහපත් අදහසින් දන් දුන්නවුන්ට මේ වන තරම් ය. හෙරණුන්දෑ ත් කම්බිලියේ දෙයක් ම නො කියා ගෙ පිළිවෙළින් නුවරින් පිටත සිඟන ගමනේ කම්බිලි පන්සියයක් ලදින් ඇතුළු නුවරට වන් දෑ ය. මිනිස්සු ත් හෙරණුන්දෑ ගෙන් කන්සන් නැතත් උන්දෑ කළ කුශලයාගෙන් කැනියල් දැඩි හෙයින් ඈතින් මෑතින් කම්බිලි ගෙනෙන්ට පටන් ගත්හ.

එකෙක් තෙමේ සල්පිලක් ළඟින් යන්නේ පන් සියයක් විතර කම්බිලි විකුණන්ට තබා ගෙන හුන් කම්බිලි වෙළෙඳකු දැක තමා යන ගමන් තබා ලා ‘හෙම්බා, එක් හෙරණ කෙනකුන් දෑ කම් බිලි එළවා ඇවිදිනා දෑ ය. තොපගේ කම්බිලි සඟවා ලව’යි කීය. ඌ ඒ අසා ‘කුමක් ද? උන්දෑ දුන් දෙයක් හැරගන්නා දෑ ද? නො හොත් උදුරා ත් හැර ගන්නා දෑ දැ’ යි විචාරා ‘දුන් දෙයක් මුත් කම්බිලි තබා දාහූ වැලයකු ත් නුදුන්නා ගන්නේ නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් දෙම් නම් දෙමි. නො දෙම් නම් නොදෙමි. ඒ භාර මට ම වේ ද? තොප යන ගමන් යව’යි කී ය. නුවණ නැති තද මසුරු සත්තු තමන් ගෙන් දෙන දෙයකු ත් නොව අනුන් ගෙන් දෙන දෙයට මසුරු ව කෙසෙල් රජ්ජුරුවන්ගේ අසදෘශ දානයෙහි සිත පහදවා ගත නො හී කාල නම් සෙනෙවි රදුන් නරකයේ උපන්නා සේ නරකයෙහි උපදිති. අනික් පවක් කළ මැනැවැ’ යි නැත. කම්බිලි වෙළෙඳාණෝ සිතන්නෝ “මේ තෙමේ තමා යන ගමන් තබා ලා මාගේ කම් බිලි සඟවා ලන්ට කී ය.

දුන් දෙයක් ගන්නා දෑ වී නම් දෙම් නම් දෙමි. නො දෙම් නන් නොදෙමි’ කීමි. ලබන්ට නිසි තැනක් දුටුවොත් නුදුන් කල ලජ්ජා ත් කෙරෙයි. තමා සතු දෙය සඟවා ලූ ය’ යි වරද නැත. මේ කම්බිලි පන් සියයෙන් කම්බිලිදෙකක් ලක්‍ෂ ය ලක්‍ෂය වටී. ඒ දෙක සඟවා ලීම් නම් යහපතැ”යි කම්බිලි දෙකෙහි දාවලු එක් කොට ගැට ගසා ලා කම්බිලි හස්සේ සඟවා ලූහ. හෙරණුන්දෑත් සඟ දහස පිරිවරා ගෙන එ තැනට ගිය දෑ ය. කම්බිලි වෙළෙඳාණන් හෙරණුන්දෑ දැක ම මහාසේන නම් බමුණු කල ධම් සෙනෙවි සැරියුත් ස්වාමීන් කෙරෙහි තමන්දෑ කළ ප්‍රේමය මෙන් හෙරණුන්දෑ කෙරෙහි පුත්‍ර ප්‍රේම ය උපන. ඌ තුමූ සිතන්නෝ ‘මුන්දෑ දුටු කල කම්බිලි ය තබා ළෙහි මස් වත් වුව මනා වී නම් දිය යුතු ය’ යි සඟවා තුබූ කම්බිලි දෙක ඔබට දෙන්ට තුබුවා සේ මෑත් කොට ලා හෙරණුන්දෑ පාමුල තබා ලා වැඳ ගෙන ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලබන නිවන් මම ත් ලබම්ව’ යි පැතූය. ‘ඒ එ සේම වේව’ යි කී දෑ ය. හෙරණුන්දෑ ඇතුළු නුවරින් කම්බිලි පන් සියයක් ලත් දෑ ය. මෙ සේ එක දවසින් ම කම්බිලි දහසක් ලැබ ගෙන කැටි ව ගිය වහන්දෑ ත් එ ම කැමැති ව ගිය හෙයින් දහස දහසට දෙවූ දෑ ය. කම්බිලි දන් දී කම්බිලි දායක තිස්සයෝ ය’ යි නම ලත් දෑ ය.

කවර ත් කුශලයක ජවන් සිතින් ප්‍රථම ජවන චෙතනාව මේ ජාතියෙහි විපාක දෙත් මුත් පසු ව ජාත්‍යන්තරයෙහි විපාක දෙන්ට සමර්ථ නො වන හෙයින් නම් තබන දවස් ධසෙනෙවි ස්වාමීන්ට දන් දුන් ලක්‍ෂයක් වටිනා කම්බිලි ය සත් හැවිරිදි අවස්ථාවෙහි දී කම්බිලි දහසක් දෙවාලී ය. යම් තැනකට මඳක් දී ලා විපාකාවස්ථාවෙහි මල්ලිකාදීන් මෙන් බොහෝ සම්පත් ලැබෙත්ද, බොහෝ කොට දී ලා විශාඛාවන් මෙන් ඉතා බොහෝ සම්පත් ලැබෙත් ද, එ සේ වූ තැනෙක් බුදු සස්නට වඩා නැත. වෙළඳාමෙහි දක්‍ෂ කෙනකුන් ම එක මස්සකින් මසු දහසක් කොට ගන්නා සේ තමන්දෑ ත් කුසල් වෙළඳාමෙහි දක්‍ෂ හෙයින් එක කම්බිලියෙන් කම්බිලි දහසක් ලත් සේක. සසර සිටියොත් තව තෙල විතරකින් නො නිම යි.

හෙරණුන්දෑ ත් දෙව්රම් වෙහෙර රඳා හිඳිනා හෙයින් ළංව තිබෙන්නා නෑසුඟු අවුදින් කථා කෙරෙති. එ කල හෙරණුන් දෑ සිතන දෑ ‘මා මී රඳා නෑ සුඟුන් අවුදින් කථා කරණ කල උන් හා කථා කිරීමෙන් මට පිහිටක් කට නො හැක්ක. කරන කථාත් අල්පේච්ඡ කථාදියක් නොවන හෙයින් භස්සාරාමතාවෙහි ඇතුළත් වත් මුත් සාර්ථක කථාවෙකුත් නො වෙයි. මෙ ලෙසින් දවස් යවන කල මහණව ලබන ලොවි ලොවුතුරා ගුණ විශේෂ කවරේද? බුදුන් විචාරා කමටහන් ඉගෙන ගෙන වලකට ම නැඟී ගියෙම් නම්‍ යහපතැ’යි සිතා ලා බුදුන් කරා ගොසින් වැඳ ලා රහත් වීම දක්වා කමටහන් විචාරා ගෙන උපාද්ධ්‍යායයන් වහන්සේත් වැඳලා පා සිවුරු හැර ගෙන ‘ඉඳින් ළඟෙක රඳා හුණ නෑ යෝ සියෝ අර කන්නවුවට මේ කන්නවුවට මා කැඳවති’යි සිතා ලා සාර සිය අසූ ගවුවක් විතර දුරු ව ගිය දෑ ය.

එසේ ගොසින් එක් ගම් දොරකින් යන දෑ එක් මාලු උපා සක කෙනකුන් දැක ‘කුමක්ද උපාසකයෙනි, මේ ගමට සම්භ වූ වහන්දෑ ඇත් නම් රඳා හිඳිනා වනවාස විහාරයෙක් ඇත් දැ’ යි විචාළ දෑ ය. ඇතැ යි කී කල්හි ඊට මං විචාළ දෑ ය. මහාසේන නම් බමුණු මහල්ලන්ට සේ ම මාලු උපාසකයන්ට උන්දෑ දැක පුත්‍ර ප්‍රේම ඇති විය. එතැන සිට ම මඟ නො කියා ‘වැඩිය මැනව, මඟ පෑ ලමි’ කියා ලා කැඳවා ගෙන නික්මුණවු ය.

හෙරණුන්දෑත් උන් හා කැටි ව යන අතුරු මඟ නො එක් මලා මැල්ලෙන් හා නො එක් ඵලාඵලයෙන් ගැවසී ගත් ගසින් කොළින් සැදුණු සතර පස් තැනක් දැක ‘මෙ තැන කිම් ද, මෙ තැන කිම්දැ’යි විචාළ දෑ ය. උයි ත් ඒ ඒ විචාළ තැන නම් කියමින් වනවාස විහාරයට ගොස් ‘ස්වාමීනි, මෙ තැන ඵාසු ය. මෙ තැන විසුව මැනවැ’යි කියා ලා ‘ස්වාමීනි, කිනම් සේක් දැ’යි නමත් විචාරා ගෙන සෙට අපගේ ගමට සිඟා වඩනේ යහපතැ’යි කියා ලා තමා වසන ගමට ගොසින් ‘වනවාසික තිස්ස නම් තෙර කෙනකුන් වහන්සේ විහාරයට වැඩි සේක. ඔබට කැඳ අවුළු පතු ත් දනු ත් ඉදි කරව’යි මිනිසුන්ට විධාන කෙළේ ය.

හෙරණුන්දෑ ත් පළමු දෙමවු පියන් තුබූ නමින් ‘තිස්ස’ නම් ව දෙ වනු ව ‘පිණ්ඩපාතදායක තිස්ස’ නම් ව, තුන් වනු ව කම්බලදායක තිස්ස’ නම් ව, සතර වනු ව ‘වනවාසිකතිස්ස’ නම් ව යයි නම් සතරෙන් ආදි නම් තුන හැරී පසු නමින් ප්‍රසිද්ධ වූ දෑ ය.

හෙරණුන් දෑ ද දෙ වන දවස් උදාසන ම ගමට සිඟා වැඩි සේක. මිනිස්සු බත් පිළිගන්වා ලා වැන්දාහ. ‘සුවපත් වව, දුකින් මිදෙව, යන බස් දෙක පමණක් මුත් බහුභාණි නො වන හෙයින් බසක් නො වදාළ සේක. එක කෙනෙකුත් බත් පිළිගන්වා ලා පිටි පෑ නැඟි යා නො හෙති. බල බලා ම සිටිනාහ. හෙරණුන්දෑත් කෙ තෙක් දෙනා කෙ සේ බත් ගෙනාව ත් තමන්දෑ යැපෙන පමණක් පිළිගත් දෑය. ගම ඇත්තෝ මුළුල්ලම වැඳ පෙරළී පියා ‘ස්වාමීනි, මුඹ වහන්සේ මේ වස් තුන් මස මෙ තැන වැඩහුනො ත් තුන් සුසිරි පුරම්හ. අපත් සසරින් ගළවා මෙහි සුව සේ විසුව මැනැවැ’ ආරාධනා කළහ. උන්දෑ ත් ආරාධනාව ගිවිස නිරන්තරයෙන් එ ගම සිඟන සේක. වැඳි කළත් ‘සුවපත් වව, දුකින් මිදෙව’ යන බස් දෙක ම කියා ලා ‘ලෙඩ දුක් කිම් ද? යනාදීන් අනික් කථාවක් නො කියා ම යන දෑ ය. මෙ ලෙසින් වස් තුන් මසින් දෙමසක් යවා පියා තුන් වන මස නිම ත් නිම ත් සතර වන මසට නො යවා පිළිසිඹියාපත් රහත් වූ සේක.

වස ත් නිමි කලට ධම් සෙනෙවි ස්වාමි බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, තිස්ස හෙරණුන් විචාරන්ට යෙමී’ කී සේක. ‘යහපත යව’යි වදාළ කල්හි තමන් වහන්සේගේ පිරිවර පන් සියයක් දෙනා වහන්සේ හැරගෙන වඩනා සේක් මුගලන් මහ තෙරුන් වහන්සේට ත් තමන් වහන්සේ ඔබ වඩනා නියාව කී සේක. ඔබත් ‘අපිත් එම්හ’යි කියා ලා පිරිවර පන් සියයක් දෙනා වහන්සේ හැර ගෙන නික්මුණු සේක. මෙ ලෙසින් අසූ මහ සවුවන් වහන්සේම සහ පිරිවරින් නික්මුණු සේක. අසූ මහ සවුවන් වහන්සේ හැර පිරිවර වහන්දෑ ම සතළිස් දහසෙක. සතළිස් දහස පිරි වරා අසූ මහ සවුවන් වහන්සේ සාරසිය අසූ ගවුව ගෙවා ගොසින් හෙරණුන්දෑගේ ගොදුරු ගමට ගිය කල්හි හෙරණුන්දෑට නිරන්තර උපස්ථාන කරණ උපාසකයාණෝ ගම් දොරකඩ දී දැක පෙර ගමන් කොට ගොසින් වැඳ ලා සිටියාහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘උපාසකයෙනි, මේ ගම වනවාසයෙක් ඇත් දැ’යි විචාරා ඇතැ’යි කී කල්හි ‘වහන්දෑ ඇත්දැ’යි විචාළ සේක.

ඇතැයි කී කල්හි කිනම් සේක් දැ යි විචාළ සේක් ‘වනවාසී තිස්ස තෙරුන් වහන්සේ ය’යි කී කල්හි එ සේ වී නම් ඒ වන වාසයට මඟ කියව’යි වදාළ සේක. මුඹ වහන්සේ හැම කවුරුන් ගෙ දොර අවුදැ’යි විචාරා හෙරණුන් දෑ ළඟට ආම්හ’යි කී කල්හි එවිට උපාසකයාත් බලා පියා ධම් සෙනෙවි ස්වාමීන් ලා අප්‍රසිද්ධ තැන් නො වන හෙයින් ආදි ත් හඳුනන හෙයින් හැඳින ගෙන බලවත් සමාධිව ‘ස්වාමීනි, මඳක් වැඩ සිටිය මැනැවැ’යි රඳාවා ලා ගමට දිව ගෙන ගොසින් ‘ධම් සෙනෙවි ස්වාමීන් පටන් අසූ මහ සවුවන් වහන්සේ සතළිස් දහසක් වහන්දෑ පිරිවරා හෙරණුන් වහන්සේ විචාරන්ට වැඩි සේක. අප තකා ගෙන උන් තැනගේ තරම යහපත් නියාවමින්ම දනුව. හැඳ-කළාල්-කොට්ට-මාවුළා-පැන් වළන් ආදී වූ දෙය හැර ගෙන වහා නික්මෙව’යි විධාන කළහ. මිනිස්සු ත් ගම ත් නු කුඩා හෙයින් මිනිසුනු ත් බොහෝ හෙයින් වහන්දෑ හැමට සෑහෙන ලෙස කළාල් ආදි ය සපයා ගෙන හඹා ගොසින් තෙරුන් වහන්සේලා කැටි ව ම විහාරයට ගියහ.

හෙරණුන්දෑ ද වහන්දෑ හැඳින ලා ධම් සෙනෙවි සාමීන් පටන් ගණනක් දෙනා වහන්සේගේ පා සිවුරු හැර ගෙන තැන් පත් කොට තබා ලා පා සේදීම් ආදි ය ත් සෙසු තැනට ත් කළ මනා දෑ කරවන කලට අඳුරු දැඩි වි ය. ධම් සෙනෙවි සාමි උපාසකවරුන් බණවා ලා ‘උපාසකවරිනි, අඳුරු දැඩි වෙයි, යව’යි වදාළ සේක. ‘ස්වාමීනි, මෙ තෙක් දවස් බණක් අසා ගන්ට නුවුයේ ය. බණ නො ලත් සිත් නම් පැන් නොලත් ගොයම් හා සරිය. අද වෙනි දවස් මෙ තෙක් දෙනා වහන්සේ රැස් වූ තැන, බණෙක් පැවැත්තේ නම් යහපතැ’ යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් ‘එ සේ වී නම්, හෙරණෙනි, පහන් පුදා ලා බණට හඬ ගාව’යි වදාළ සේක. ඔබ ත් එ ලෙස ම කළ සේක. ඉක් බිත්තෙන් ධම් සෙනෙවි සාමී “තිස්සයෙනි, තොපගේ උපාසකවරු ‘බණ අසම්හ”යි වදාළ සේක. උපාසකවරු එක විට ම නැඟී සිට ‘ස්වාමීනි, අපගේ ‘ස්වාමි ‘සුවපත් වව, දුකින් මිදෙව’ යන බස් දෙක ම තබා අනික් බණක් නො දන්නා සේක. බණ කියන්ට අනික් තැනකට විධාන කළ යහපතැ’යි කිවු ය. හෙරණුන් දෑ රහත් වත් බණට කළ ආරාධනාවක් නැති හෙයිනු ත් තමන්දෑ සිතා ගෙන ත් උන්ට බණක් නො කී දෑ ය.

ධම් සෙනෙවි ස්වාමී ද “හෙරණෙනි, තෙපි සුවපත් වව, දුකින් මිදෙව’ යි කියන්නාවාද? වඩාබණ නොකැමැත්තේ සුවපත් වන්නේත් කෙ සේද? දුකින් මිදෙන්නේ ත් කෙ සේද? තෙල පද දෙකෙහි අර්ථ කියව”යි වදාළ සේක. උන්වහන්සේ ත් යහපතැ’යි වදාරා ලා බණ අස්නට පැන නැඟි ලා විජිනි පත්‍ර ය හැර ගෙන සඟි පසින් අර්‍ථ ත් කාරණා ත් උපමා ත් හැර ගෙන සතර මහ දිවයින එක පැහැර වස්නා වැස්සක් පරිද්දෙන් අභිධර්ම කථාව එළවා ගෙන සත් තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් විදහා කියා ලා ගෙවල් කොට නිමවා ලා කොත් පළඳවන්නා සේ අර්හත්‍වයෙන් දේශනාව කුළු ගෙන රහත් වූ කෙනෙක් සුවපත් වෙති. ඌ ම සියලු දුකින් මිදෙති. සෙස්සෝ ජාති දුක් ආදීන් ද නරක දුක් ආදීන් ද නො මිදෙති”යි කී දෑ ය. මෙ සේ මේ පද දෙකෙහි අර්‍ථ තුන් යම් රාත්‍රියෙහි ම කී දෑ ය. පාන් වත් ම හෙරණුන්දෑගේ උපාසකවරු දෙ භාග වූහ. එක් භාගයෙක් ‘අනේ මෙ සේ වූ තද නමක් නුදුටු විරූම්හ. මවු පිය තරමේ සිට උපස්ථාන කළ අපට මෙ සේ බණ දැනත් නො කී සේකැ’යි මුසුප්පු වූහ. එක් පක්‍ෂයෙක් ‘ගුණා ගුණ නොදැන ම උපස්ථාන ත් කළම්හ. නැතක් දවස් නො වැස තබා ලා මහත් වැස්සක් වස්නා සේ දැන් බොහෝ බණ ත් වදාළ සේක. අපට වූයේ ලාභයෙකැයි සතුටු වූ ය.

බුදුහු එ දවස් අළුයම් වේලෙහි නුවණ දෑළ පතුරුවා ලොව බලන සේක් වනවාසික තිස්ස තෙරුන්වහන්සේගේ උපාසකවරුන් නුවණ දැළෙහි බැඳුණවුන් දැකකුමක් වේ දෝ හෝ යි බලන සේක් උන්ගේ උපාසකවරුන් ගෙන් සමහර කෙනෙක් සතුටු වූ ය. සමහර කෙනෙක් නො සතුටු වූ ය. යම් කෙනෙක් ම පුතණුවන්ට නො සතුටු වූ නම් ඌ අපායට පැමිණෙති. උන් නිසා ත් මා ඔබ යා යුතු ය. ගිය කල මාගේ ගමන් නිසා ම නො සතුටු ව හුන්නෝ ත් උන් කෙරෙහි මෙත් සිත් ඇති ව උන් කියන බස ලෙසට දුකින් මිදෙති. මෙ තෙක් ප්‍රයෝජන මාගේ ගමන් නිසා වෙ යි’ සිතා වදාළ සේක.

ඒ උපාසකවරු ද සතළිස් දහසක් වහන්දෑට ත් අසූ මහ සවුවන් වහන්සේට ත් ආරාධනා කොට ලා ගමට පලා ගොසින් මහත් කොට මඩුවකුත් කරවා ලා කැඳ බත් සපයා අසුනු ත් පනවා ලා පෙර මඟ බල බලා හුන්හ. වහන්දෑ ද වත් සපයා ගෙන සිඟා නික්මෙන වේලෙහි ගමට සිඟා වඩනා සේක් හෙරණුන්දෑ බණවා ලා ‘කුමක් ද, තිස්සයෙනි, තෙපි අප හා කැටි ව සිඟා එවු ද? නොහොත් පසු ව එවුදැ’යි විචාරා ‘මා මෙ තෙක් දවස් එන වේලාට ම එමි. වඩනා බව ය’යි කී කල්හි වහන්දෑ සහළ සිවුරු හා පාත්‍ර හැර ගෙන කොයි වඩිත ත් එ තෙක් ම හෙයින් නික්මුණු සේක.

භික්ඛාය උපගතං දිස්වා - සකත්තානං පරිච්චජි,

දානෙන මෙ සමො නත්‍ථි - එසා මෙ දානපාරමි.

යනු හෙයින් සස ජාතක සිවි ජාතකාදී නො එක් ජාතකවල දන්පැරුම් පිරුව ත්—තව ද:

සූලෙහි විජ්ඣයන්තොපි - කොට්ඨයන්තොපි සත්තිහි,

භොජපුත්තෙන කුප්පාමි - එසා මෙ සීලපාරමී.

යනු හෙයින් සඞ්ඛපාල ජාතක භූරිදත්ත ජාතකාදී නො එක් ජාතකවල සිල් පැරුම් පිරුව ත් තව ද:

මහාරජ්ජං හත්‍ථගතං - ඛෙළපිණ්ඩං ව ඡඩ්ඩයිං,

චජතො න හොති ලගනං - එසා මෙ නෙක්ඛම්මපාරමී.

යනු හෙයින් චූලසුතසෝම ජාතකාදී නො එක් ජාතකවල මහ සැපත් හැර මහණ ව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරුවත් - තවද:

පඤ්ඤාය පටිමායන්තො - බ්‍රාහ්මණං මොචයිං දුඛා,

පඤ්ඤාය මෙ සමො නත්‍ථි - එසා මෙ පඤ්ඤා පාරමී.

යනු හෙයින් සත්තුභත්ත ජාතක-උම්මග්ග ජාතකාදී නො එක් ජාතක වල ප්‍රඥාපාරමිතාව පිරුව ත් - තව ද:

අතීරදස්සි ජලමජ්ඣෙ - හතා සබ්බෙව මානුසා,

චිත්තස්ස අඤ්ඤථා නත්‍ථි - එසා මෙ විරිය පාරමී.

යනු හෙයින් මහාජනක ජාතක-කලන්‍දක ජාතකාදී නො එක් ජාතක වල වීර්‍ය්‍ය පාරමිතාව පිරුව ත් - තව ද:

අවෙතනං ව කොට්ටෙන්තො - තිණ්හෙන ඵරසුනා මම,

කාසිරාජෙ න කුප්පාමි - එසා මෙ ඛන්ති පාරමී.

යනු හෙයින් ක්‍ෂාන්තිවාදි ජාතක-ධර්‍මපාල ජාතකාදි නො එක් ජාතක වල ක්‍ෂාන්ති පාරමිතාව පිරුව ත් - තව ද:

සච්චවාචං අනුරක්ඛන්තො - චජිත්‍වා මම ජීවිතං,

මොචයිං එකසතං ඛත්තියෙ - එසා මෙ සච්චපාරමී.

යනු හෙයින් මහා සුතසෝම ජාතකාදියෙහි සත්‍යපාරමිතාව පිරුව ත් - තව ද:

මාතා පිතා න මෙ දෙස්සා - නපි මෙ දෙස්සං මහා යසං,

සබ්බඤ්ඤුතං පියං මය්හං - තස්මා වතමධිට්ඨහිං.

යනු හෙයින් මූගපක්ඛ ජාතකාදී නො එක් ජාතකවල අදිටන් පැරුම් පිරුව ත් - තව ද:

න මං කොචි උත්තසති - නපිහං භායාමි කස්සචි,

මෙත්තාබලෙනුපත්‍ථද්ධො - රමාමි පවනෙ සදා.

යනු හෙයින් එකරාජ ජාතිකාදී නො එක් ජාතකවල මෙත් පැරුම් පිරුව ත් - තව ද:

සුසානෙ සෙය්‍යං කප්පෙමි - ඡවට්ඨිකං උපනිධාය’හං,

ගොමණ්ඩලා උපාගන්ත්‍වා - රූපං දස්සෙන්තානප්පකං.

යනු හෙයින් ලොමහංස ජාතකාදී නො එක් ජාතකවල උපෙක්‍ෂා පැරුම් පිරුව ත් - නැවත ඒ හැම නො කළා සේ ත්‍රිවිධ චර්‍ය්‍යායෙහි හැසුරුණ ත් පඤ්චවිධ පරිත්‍යාග ය කළ ත් මෙ සේ වූ තැන දී උදාසීනවන්ට නො වන හෙයින් එ තෙක් දෙනා අපාය භාග්වීම අලාභ හෙයිනු ත් තමන්වහන්සේගේ බණ අසා නිවන් දක්නවුන් ඇති හෙයිනුත් බුදුහු දෙව්රම දී ම ගැටවටු ගන්වා ගෙන පාත්‍ර ධාතූන් වහන්සේ ත් හැරගෙන ඇසිල්ලකින් වැඩ වහන්දෑට පෙරාතුව ලා වැඩසිටි සේක.

බුදුහු වැඩසිටි සේකැ යි ගම මුළුල්ල ම ඇසිණ. මිනිස්සු ත් රජ සැපතක් පිට සක්විති සැපතක් සම්භ වූවාක් මෙන් බලවත් සේ සතුටු ව බුදු පාමොක් වහන්දෑ වඩා හිඳුවා කැඳ-අවුළු පත් පිළි ගැන්වූහ. වහන්දෑ කැඳ වළඳා ලා හුන් කලට හෙරණුන් දෑ ත් ගමට සිඟා වන්දෑ ය. ගම ඇත්තෝ ත් මෙ තෙක් දා ලෙසට ගෙන් ගෙන් ගෙනවුත් බත් පිළිගැන් වූහ. යපෙන පමණක් පිළිගෙන බුදුන් ළඟට ගොසින් උපන්නක් දික්කළා සේ සිඟා ගෙන ගිය පාත්‍ර ය බුදුන්ට දික්කළ සේක. බුදුහු ත් ‘මෙ සේ ගෙනෙව, තිස්ස යෙනි’යි වදාරා ජාල ලක්ෂණයෙන් විසිතුරු වූ හස්ත ය දිඟුකොට පාත්‍ර ය අතට හැර ගෙන ‘ශාරීපුත්‍රයෙනි, තොපගේ හෙරණුන්ගේ පාත්‍රය බලව’යි වදාරා පාත්‍ර ය ඔබට පෑ සේක. ඔබ බුදුන් අතින් පාත්‍ර ය ගෙන හෙරණුන්දෑට දී ලා ‘යව’ තොපට යහපත් හස්නෙක හිඳ වැළඳූ කැඳත් නැති බැවින් වළඳව’යි වදාළ සේක.

ගම්වැස්සෝ ද බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා අනුමෙවෙනි බණට ආරාධනා කළහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරණ සේක් ‘උපාසකවරිනි, කුලුපග හෙරණුන් නිසා සතළිස් දහසක් පිරිවර සහිත අසූමහ සවුවනුත් දුටුව. උන් හැම තබා මාත් දුටුව. තොපට වූයේ ලාභයෙකැ’යි වදාළ සේක. මිනිස්සු ත් ඒ අසා ‘බුදුනු ත් වහන්දෑත් සිත් ගෙන හිඳිනා තැනක් ම ලැබ ඔබට උපස්ථාන කළම්හ. අපට වූයේ බලවත් ලාභයෙකැ’යි නො සතුටු ව හුන් යම් කෙනෙක් වූ නම් සතුටු වූහ. සතුටු ව හුන්නෝ වඩ වඩා ම සතුටු වූහ. අනුමෙවෙනි බණ කෙළවර සෝවාන් ඵලාදියට බොහෝ දෙන පැමිණියහ. බුදුහු හුනස්නෙන් නැඟී වැඩි සේක. මිනිස්සු ත් ගමන් පසු කොට ලා නැවැත්තාහ.

බුදුහු හෙරණුන්දෑ ත් කන් සරියේ කොට වඩනා සේක් ‘හෙරණෙනි, මෙ තැන කිනම්දැ’යි විචාරන සේක. හෙරණුන් දෑ ත් ආදි ම තමන් විචාරා දත් හෙයිනු ත් විචාරා නො දත්ත ත් දන්ට බල ඇති හෙයිනු ත් ඒ ඒ තැන නම් කිය කියා ම යන දෑ ය. බුදුහු උන් දෑ වසන තැනට ගොසින් ගල් මුදුනකට නැඟි සේක. එ තැනට නැඟි කලට මහ මුහුද ත් පෙනෙයි. බුදුහු හෙරණුන් දෑ අතින් විචාරන සේක් ‘තිස්සයෙනි, මේ ගල් මුදුනේ සිට ඈත මෑත බලා කුමක් දකුම්ද’යි විචාළ සේක. ‘මහ මුහුද දකිමි’යි කී දෑ ය. ‘මුහුද දැක කුමක් සිතවු දැ’යි විචාළ කල්හි “මා දුකට පැමිණි කල හැඬු කඳුළු මුහුදු සතරේ පැනට ත් වඩා බොහෝව’යි සිතමි, ස්වාමීනි”යි කී දෑ ය.

‘යහපත, තිස්සයෙනි, ඒ එ සේ ම ය’යි වදාරා නැවත ‘තිස්ස යෙනි, තොප සැතපෙන්නේ කොයි දැ’යි විචාරා තෙල ගල් තෙලේ ය’යි කී කල්හි ‘එහි වසන තොප සිතන්නේ කිම් දැ’යි විචාරා ‘ජාති බොහෝ හෙයින් මෙ තැනදී මිය ගිය වාර ගණන් නැතැ’යි සිතමි’ කී කල්හි ‘යහපත, යහපතැ’යි තිස්සයෙනි, ඒ එ සේ ම ය. පමණක් නැති සතුන් අතුරෙන් එක සතකු ම මේ පොළොව වැද හෙව නො මළ තැනක් නැතැ’යි වදාරා ‘අනුන් නො දැවූ තැනක් සොයන ගමනේ පර්‍වත මුදුනෙක ගල් තුනක් හස්ස දැක මෙ තැන දවන්නෝ නැත්තෝ වෙත් දැ’යි සොහොන් බිම කරන්ට වන් තැන සෙසු නමින් ප්‍රසිද්ධ ව මළ කල දැවුවා හැර උපසාළ්හක නමින් ප්‍රසිද්ධව මළ කල දැවූ වාරම තුදුස් දහසෙක’ යනාදීන් දුක නිපාතයෙහි උපසාළ්හක ජාතක ය ත් වදාළ සේක. මෙ සේ පොළොව ආදී නො මළ තැනෙක මියන කෙනෙක් නැත.

අනඳ මහ තෙරුන් වහන්සේ වැනි තැන් නො මළ විරූ තැන තමන් මියන සේක. ඒ එ සේ මැ යි. අනඳ මහ තෙරුන් වහන්සේ එක් සිය විසි හැවිරිදි අවස්ථාවෙහි දී ආයු ශක්තිය බලන සේක් ආයු ගෙවී ගිය නියා ව දැන මෙයින් සත් වන දවස් පිරිනිවන් පාමී’යි වදාළ සේක. ඒ අසා රෝහිණී නම් ගඟ එතෙර මිනිස්සු ‘අපි මහ තෙරුන් වහන්සේට උපකාරීම්හ. අපට ළංව පිරිනිවන් පානා සේකැ’යි කියති. මෙ තෙර මිනිස්සු ‘අපි උපකාරීම්හ. අපට ළංව පිරිනිවන් පානා සේකැ’යි කියති. මහ තෙරුන් වහන්සේ ඒ අසා ‘දෙ තෙර ඇත්තෝ ම උපකාරී වූ ය. මූ උපකාරීහ, මූ උපකාරීහ, මූ අනුපකාරීහ’යි කියන්ට බැරි ය. ඉදින් මම මෙ තෙරදී වුවත් එතෙරදී වුවත් පිරිනිවියෙම් නම් ධාතු නිසා දෙ තෙර ඇත්තෝ ම කළහ කෙරෙති. කලහයෙක් උපදී නම් නමුත් මා නිසා උපද්දී. සන්හිඳේ නමුත් මා නිසාම සන්හිඳෙ’යි වදාරා ලා ‘මෙ තෙර ඇත්තවුන් මෙ තෙරට ම රැස් වුව මැනව. එ තෙර ඇත්තවුන් එ තෙරට ම රැස් වුව මැනැවැ’යි වදාළ සේක.

ඉක් බිත්තෙන් සත් වන දවස් ගං මැඳ සත් තලක් පමණ අහස පලක් බැඳ ගෙන වැඩහිඳ බොහෝ දෙනභට බණ වදාරා ‘මගේ ශරීර ධාතු භාගයෙක් මෙ තෙර වැගිරේව යි, භාගයෙක් එ තෙර වැගිරේව’යි සිතා ලා වැඩ හුන් සේක් ම තේජො ධාතුවට සමවන් සේක. පිරිනිවෙන්නා ම ශරීරයෙන් නැගි ගිනි දැළින් ම සම් මස්, නහර දා ධාතු පමණක් වෙන් ව මැන ලූවාක් මෙන් ඉද්ද මල් රෑසක් සේ ධාතු භාගයෙක් මෙ තෙර වැගිරිණ. භාගයෙක් තෙර වැගිරිණ. බොහෝ දෙන ත් හඬා වැගුරුණවු ය. පොළොව පැළී යන කලක් මෙන් වි ය. බුදුන් පිරිනිවි දවසට ත් වඩා වලප් වලාම් මහත් විය. මිනිස්සු ත් ‘බුදුන් පිරිනිවිය ත් අනඳ මහ තෙරුන් වහන්සේ ජීවත් ව සිටි සේක් වී නම් බුදුන් ජීවත් වූවා හා සරි ය. බුදුන් පිරිනිවියේ අද’යි කිය කියා සාර මසක් මුළුල්ලෙහි ම හැඬු ය. එ සේ හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේ පිරිනිවියේ අනික් කෙනකුන් මළ තැනෙක නො වෙයි.

නැවත බුදුහු හෙරණුන්දෑ අතින් විචාරන සේක් ‘තිස්සයෙනි, මේ වල දිවි ආදීන්ගේ හඬ අසා බවුද, නොබවුදැ’යි විචාළ සේක. ‘මට භයෙක් නැත. උන් හැමගේ හඬ ඇසූ පමණෙකින් මේ වල ඇලුම් ඇති වෙයි’ කියා ලා ගාථා සැටක් විතරින් වන වර්ණනා ව කළ දෑ ය. ඉක් බිත්තෙන් බුදුහු ‘තිස්සයෙනී’යි බණවා ලා ‘අපි යම්හ. අප හා සමඟ තෙපි එවුද, රඳවු දැ’යි විචාළ සේක. ‘අපගේ උපාධ්‍යායයන් වහන්සේ කැඳවා වදාළ සේක් වී නම් රඳමි’යි ශික්‍ෂා ගරුකාර හෙයින් බුදුන්ට ත් වඩා උපාධ්‍යායයන් වහන්සේම ගරු කළ සේක. බුදුහු භික්ෂු සඞ්ඝයා වහන්සේ හැර ගෙන වැඩ පී සේක. හෙරණුන්දෑගේ අදහස නම් එ තැන වාස ඵාසු ව ඇති හෙයින් රඳන්ට මය. ධම් සෙනෙවි ස්වාමි ද අදහස දැන ‘රඳනු කැමැත්තා නම් රඳව’යි වදාළ සේක. හෙරණුන්දෑ ද බුදුනු ත් වහන්දෑ ත් වැඳගෙන රැඳුණු දෑ ය. බුදුහු දෙව්රමට වැඩි සේක.

‘මහණ වූ කල බුදුපාමොක් වහන්දෑ වෙහෙර ම රඳවාලා සති යක් කිරිබත්ම දුන් හ. මහණ වූ අට වෙනි දවස් හා නව වෙනි දවස් හා දෙ දවසින් පිළි දහසක් හා බත් වසුන් දහසක් ලත්හ. නැවත එක් දවසක් පලස් දහසක් ලත්හ. මෙ සේ මෙ තැන රඳා හිඳිනා කල ත් ලාභ සත්කාර මහත. එ සේ වුව ත් ඒ හැම හැර වලට ගොසින් සැඳි බත් පමණෙකින් යපෙති. කරණ දෑ ඉතා ම යහපතැ’යි කථා උපන.

බුදුහු අවුත් විචාරා මේ කථාව නියාව කී කල්හි ‘එ සේ ය, මහණෙනි, ලාභ නිසා පිළිපැදීම අනිකෙක, නිවන් නිසා පිළිපැදීම අනිකෙක, ලාභ නිසා පිළිපදනෝ නිවන් ලදත් නො හෙති. නිවන් නිසා පිළිපදනෝ ලාභයෙහි නො ඇලෙති. ලාභයක් උපදවා ගන්නා කල පවෙහි හැසුරුණ මැනව. කොවුන් කමුත් කළ මැනව. කොවුන් කමෙක් නැත් නම් ලාභයෙක් නැත. කිරි බත් පාත්‍රයට පවා ඉඳුරා ඇඟිල්ල බා ලූව යි ගැලෙන කිරි බතෙක් නැත. මඳක් වුව ත් වක් කොට ලා ඇඟිල්ල බා ලන්නා කිරි බත් ගැලෙන්නේ ය. එ සේ ම ලාභයක් වුව මනා වී නම් අවශ්‍යයෙන් කොවුන් කමත් ඇත මැනව. එ සේ උපදනා ලාභ ය ධාර්මික නො වෙයි. ධුතඞ්ග පූරණාදි මූලික ව උපදනා ලාභ ය ධාර්මික ය. ධුතඞ්ග පූරණාදිය ත් ලාභ නිසා නො වන හෙයින් නිවන් නිසා පිළිපැදීම ය. බුදු සවුවෝ තුමූ ලාභ සන්නිශ්‍රිත ප්‍රතිපදාව හැර නිවනට පමුණුවා ලන ප්‍රතිපදාවෙහි හැසිර වෙසෙත් නම් ලාභ සත්කාරයෙහි ඇලුම් හැර ඇලුම් කළ මනා නිවනෙහි ඇලෙති’යි වදාළ සේක. මේ දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.