70. සුධර්‍ම තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද අනුශාසනා මුඛයකින් නොව ගැටුණු සිතින් ඝටා බිණීමෙහි නපුර හඟවනු නිසා සුධර්‍ම තෙරුන්වහන්සේගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

මච්ඡිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් සිටාණෝ පස් වග වහන්දෑට ඇතුළත් මහානාම තෙරුන් වහන්සේ සුපිළිසන් ලෙසින් සිඟා වඩනා දැක ඔබගේ පියොවෙහි පැහැද පාත්‍ර ය හැර ගෙන ගෙට වඩා ගෙන ගොසින් වළඳවා ලා, වළඳා අන්තයෙහි බණ අසා සෝවාන් වීමෙන් තුමූ නිවන් වළඳා ගෙන මහ මෙර සැලි යේ නමුත් නො සැලෙන සැදෑ ඇති ව තමන්ගේ අම්බාටක වන නම් උයන වහන්දෑට පිළිගන්වනු කැමැති ව මහානාම තෙරුන් වහන්සේ අත පැන් වත් කොට උයන පිළිගැන්වූහ. එ වේලෙහි බුදුසස්න පොළවත් පිහිටියයි දිය පොළොව දක්වා මහ පොළොව වෙවුලා ගියේ ය. මහ සිටාණෝ උයන විහාරයක් කරවා ලා සියලු දිගින් වඩනා වහන්දෑට සාඞ්ඝික කොට පිළිගැන්වූහ.

මච්ඡිකාසණ්ඩ නම් නුවර ත් සුධර්‍ම නම් තෙර කෙනකුන් වහන්සේ නෙවාසිකව හිඳින සේක. පසු ව කලෙක දී චිත්ත නම් සිටාණන්ගේ යහපත් තරම් අසාදෙ අග සවුවන් වහන්සේ උන්ට සංග්‍රහ කරණු කැමැති ව ඒ සිටාණන් වසන නුවරට වැඩි සේක. චිත්ත නම් සිටාණෝ ත් ඔබ දෙදෙනා වහන්සේ වැඩි නියාව අසා දෙ ගවුවක් විතර පෙර ගමන් කොට ගොසින් වඩා ගෙනවු ත් විහාරයේ ලා ලා ආගන්තුක සාද කොට ලා බණ සුඟක් අසනු කැමැත්තෙන් ධම්සෙනෙවි ස්වාමීන්ට ආරාධනා කොළෝය. ඔබ ත් ‘ගමන් ආයාස ඇත. මඳක් අසව’යි වදාරා ලා යන් තම් බණක් වදාළ සේක. ඌ ඔබ ගෙන් බණ අසා අනාගාමි වූ ය. අනාගාමි ව ලා දෙ දෙනා වහන්සේ නිත්‍ය පරිවාර දහසක් දෙනා වහන්සේ හා සමඟ දෙවන දවස් තමන්ගේ ගෙයි දී වළඳනට වඩනට පෙරාතු ආරාධනා කොට ලා පසු ව නේවාසික සුධර්‍ම නම් තෙරුන් වහන්සේත් දෙ දෙනා වහන්සේ ලා කැටිව ම සිඟා යන්ට ආරාධනා කොළෝ ය. පසු කොට ලා ආරාධනා කළ හෙයින් මුසුප්පු ව ලා කීප විටක් කොට උපාසකයන් ආරාධනා කළත් නො ඉවසූ සේක.

උපාසකයෝ ද ‘මුඹ වහන්සේගේ නො දැන්ම නිසා මුඹ වහන්සේම පෙනෙන සේක් වේදැ’යි කියා ලා පලා ගොසින් දෙවන දවස් තමන්ගේ ගෙයි මහ දන් සැරහූ ය. සුධර්‍ම තෙරුන් වහන්සේ ත් සිටාණන් අගසවු වහන්දෑහට දන් සැරහූ සැටි ය. මාගේ වැළදීම් නැතත් සෙට ගොසින් බලා පියමී’ සිතා ලා උදාසන ම පා සිවුරු හැර ගෙන උන්ගේ ගෙට වැඩි සේක. ‘ස්වාමීනි, වැඩහුන මැනැවැ’යි සිටාණන් කීවත් නො රඳා ම ‘සිඟා යෙමි’යි කියා ලා යන ගමන් නැඟී ත් නො ගොසින් සිටාණන්ගේ දන් බලා පියා ආදි මුසුප්පු ඇත ත් දන් මා හැඟි නියාව දැක සමාධි වුව මනා තැන රොෂ සිතින් සිටාණන්ට තල කුලයක් කියා බණනු නිසා ‘සිටාණෙනි, තොපගේ දන් යහපත. එකක් නැති හෙයින් අඩු ව ඇතැ’යි කියා ලා ‘කුමක් ද? නැත්තේ ය’යි විචාළ කල්හි ‛සුණ්ඩැඟි ය’යි කියා සිටාණනු ත් කවුඩන් වැනි කොට දෙඩු කල්හි ආරාධනා පසු කළාට ත් වඩා උරණ ව ‘තෙල තොපගේ විහාර ය පාවා ගනුව. යෙමි’යි කියා තුන් විටක් දක්වා රඳන්ට සිටාණන් කීව ත් නො රඳා බුදුන් ළඟට ගොසින් උන් කී බස ත් තමන් වහන්සේ කී බසු ත් බුදුන්ට දැන්වූ සේක.

බුදුහු සැදෑ ඇති උපාසකයන් තබා සැදෑ නැති කෙනකුන්ට වු වත් ජාත්‍යාදීන් ඝටා බිණීම් නපුර. මුන්ටත් ජාතීන් ඝටා බිණූ බව නපුරැ’ යි වරද තෙරුන් වහන්සේ කෙරෙහි ම නඟනු පිණිස පටිසාරණීය කර්‍මයත් කරවා කර්‍ම ය ලදින් ගියත් සිටාණන් ක්‍ෂමා නො කරණ නියා ව දැන වදාරත ත් ‘මුන්ගේ මන් අධික ය, එක් සිය විසි ගවුවක් ඇවිදුවා ලීමෙන් මන් හරවා ලිය හැක්කැ’යි සිතා වදාරා ක්‍ෂමා කරවන උපදෙස නො වරදවා ම ‘යව, සිටාණන් ක්‍ෂමා කරව’යි යවූ සේක. උන් වහන්සේ ත් ඔබ ගොසින් ‘සිටාණෙනි, වරද අපගේ ම ය. ක්‍ෂමා කරව’යි වදාළ සේක. කළ මනා දෑ තව ඇති හෙයින් නො කෙරෙමී’ සිටාණන් කියන්නා ක්‍ෂමා කරවා ගත නො හී පොළොව පැකිළ ගියවුන්ට පොළොව ම පිහිට වන්නා සේ පිහිට නම් බුදුන් ම හෙයින් පෙරළා ත් බුදුන් ම කරා ගිය සේක.

යෑමෙන් ඊමෙන් දෙසිය සතළිස් ගව්වක් ඇවිද මන් හැර ගත් කලට අනික් නමකට ‘තෙපි ගොසින් ක්ෂමා කරවා ලව’යි වදාරා ලා ‘මහණුන් විසින් නම් අපගේ විහාර ය, අප වසන තැන ය, අපගේ උපාසකයෝ ය. අපගේ උපාසිකාවෝ ය, යනාදීන් සිතා මනක් වේව යි ඊර්ෂ්‍යාවක් වේව යි කිරීම නපුරැ’යි වදාරා ලා බණ වදාරන සේක් “හෙම්බා සුධර්‍මයෙනි, නුවණ නැති මහණ තෙමේ සැදෑ නැතිව ත් සිල් නැතිව ත් ඇසූ පිරුවූ තැන් නැතිව ත් විවේක වාස ය නැති ව ත් සියල්ලෙහි`ම මැළිව ත් සිහි නැතිව ත් රහත් නොව ත් සත්‍වයෝ තුමූ ‘මුන් වහන්සේ සැදෑ ඇති සේක. සිල්වත් සේක. ආගමධර සේක. විවේක වාස ය ඇති සේක. වඩනා ලද විර්‍ය්‍ය ඇති සේක. එළඹ සිටියා වූ සිහි ඇති සේක. එකඟ වූ සිත් ඇති සේක. නුවණැති සේක. රහත් සේකැයි මා දනිත්ව’යි අවිද්‍ය මාන ගුණෙන් ම සම්භාවනා කැමැති වන්නේය. නැවත තමාගේ කිසි දැන්මක් නැතත් ‘සියළු වෙහෙර වහන්දෑ මා ම පිරිවරා ඇවිදිනා සේක් නම් යහපතැ’ යි, ප්‍රශ්න විචාරත ත් මා අතින් ම විචාරතොත් යහපතැ’යි නපුරු අදහසින් භික්ෂූන් පිරිවරා ඇවිදීමත් කැමැති වෙයි.

නැවත සාඞ්ඝික විහාරවලට පලා ගොසින් යහපත් සෙනසුන් හිතමිත්‍ර භික්ෂූනට පමුණුවා පියා තෙමේ ත් යහපත් සෙනස්නක් පමුණුවා ගෙන කසළ ව තිබෙන, දුරුව තිබෙන, උවදුරු ඇති ව තිබෙන, සෙනස්නෙක් ඇත් නම් ‘තමන් තිලි විසුව මැනැවැ’යි ආගන්තුක තැනට පමුණුවමින් මෙසේ විහාරවලත් තමාගේ ඉසුරු පවත්වනු කැමැති ය. නැවත දෙ මවු පිය කමක් වේව’යි සෙසු නෑ සිය කමක් වේව යි නැති ව උපාසක වරුන් සාමාන්‍ය අදහසින් කරණ ලද උපස්ථාන අනුන්ට නො කොට මට ම කෙරෙත් නම් යහපතැ’යි සිතයි. තව ද ‘ගිහින් වුව ත් වහන්දෑ වුවත් විහාරවල යම් යම් කර්‍මාන්තයෙක් ඇත් නම් මාම කරවූ වා කොට සිත ත් මුත් ඒ දෙ පක්‍ෂයට ම අනික් කෙනකුන් කරවූව යි යන අදහසෙක් නො වේව’යි යන මෙ සේ වූ පවිටු අදහසුත් ඇති වෙයි.

තව ද ගිහි වුව ත් වහන්දෑ වුව ත් විහාර කර්මාන්තයෙහි දඬු පත් ගෙනෙන්ට ගැල් හා ගොන් වුව ත් දඬු පත් කොටන්ට යකඩ යසැත් වුවත් ලැබ්බ යුතු වී නම් එයි ත් යටත් පිරිසෙයින් කර්‍මාන්ත කරන්නවුන්ට උළුකැන් පමණක් බත් පමණක් වුව ත් කුඩා මහත් කවර ත් කට යුත්තෙක මා ම මුල් කොට මා විචාරා කරත් මුත් අනික් විධානයෙක නො පවත්ව’ යි යන මෙ සේ වූ අදහසෙකු ත් ඇති වෙයි. යමක් හට මෙ බඳු ඉච්ඡා හා මේ බඳු අදහස් ඇති වූ නම් උන්ට භාවනායෙන් එක් තරා භාවනාවෙකු ත් ඇති නො වෙයි. හෝ හිස වැසි නැති කලට හොය පැන් නැත්තා සේ විවසුන් නැති හෙයින් ම මාර්ගාධිගම- ඵලාධිගම ත් නැත. සඳපානට මූද වඩ නා ‘දිය සේ’[1] හුදක් ස දොර උපදනා තෘෂ්ණාව හා නව විධ මාන ය ම වඩ’යි වදාළ සේක. හුදක් සුධර්‍ම තෙරුන් වහන්සේට ම වදාළ බණක් නො වන හෙයින් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ ඉච්ඡාව ත් මානය ත්, දුරු කළහ.

සුධර්‍ම තෙරුන් වහන්සේ ද මේ අවවාද අසා බුදුන් වැඳ පැදකුණු කොට ලා පාවා දීලූ වහන්දෑ නම කැඳවා ගෙන ගොසින් ගිහි පටිසංයුක්ත හෙයින් උපාසකයන්ට පෙනෙන තැන හිඳ ඇවැත් දෙසා ගෙන උපාසකයන් ක්‍ෂමා කැර වූ සේක. උපාසකයනු ත් මම ක්‍ෂමා කෙළෙමි. මාගේ වරදෙක් ඇත් නම් ඔබ ත් ක්‍ෂමා කළ මැනැවැ’යි කී කල්හි සුධර්‍ම තෙරුන් වහන්සේ ද ක්ෂමා කිරීමෙන් සර්‍වඥ අනුශාසනාවෙහි තර ව පිහිටා කීප දවසකින් පිළිසිඹියා පත් රහත් වූ සේක.

චිත්ත නම් සිටාණෝ ත් ‘මම ත් බුදුන් නො දැක ම සෝවා නුත් වීමි. තව ත් නො දැක ම සෙදගැමි ත් වීමි. අනගැමි ත් වීමි. බුදුනු ත් දිටිම් නම් යහපතැ’යි සිතා දානොපකරණවූ උඳු මුඟු සාල් තල ගිතෙල් මී සකුරු යනාදීන් හා සිවුරු පිළි ආදි වූ මහ පිරිකරින් ගැල් පන් සියයක් පුරා ගෙන ‘බුදුන් දක්නට වඩනා තැනක් වඩනා බව ය. යාදී ත් බතින් අඵාසුවක් නො කෙරෙමි’යි භික්ෂූන් වහන්සේට ත් භික්ෂුණීන් වහන්දෑට ත් උපාසක උපාසිකා වරුන්ට ත් කියා යැවූහ.

උන් හා කැටි ව සඟ පන් සියයෙක් ද, මෙහෙණින් පන්සිය යෙක් ද, උපාසක පන් සියයෙක් ද, උපාසිකා පන් සියයෙක් දැ යි දෙදාසක් විතර පිට ත් අය නික්මුණාහ. සිටාණෝ ඒ දෙ දහසට ද තමන් ගෙන් දහසකට දැ යි තුන් දහසකට එක් සිය විසි ගවුවක් විතර මඟ යම් සේ බතින් බුලතින් අඩුවෙක් නො වේ නම් එ ලෙසට විධාන කළහ. සිටාණන් සැවැත් නුවරට යන නියා ව අසා දෙවියෝ සතර ගවුවෙන් සතර ගවුවට කඳවුරු බැඳ ගෙන දිව බත්, දිව කැඳ, දිව අවුළු පත් ආදියෙන් සිටාණන් හා කැටි ව යන එතෙක් දෙනාහට සංග්‍රහ කළහ. කිසි කෙනකුන්ට කිසිවකිනු ත් අඩුවෙක් නො වී ය. මෙ සේ දෙවියන් ගෙන් සාද විඳිමින් දවසකට සතර ගවුවෙකින් වඩා නො යන සිටාණෝ මසකින් සැවැත් නුවරට ගියහ. ගැල් පන් සිය ය පිරුණු වන තුබූයේ ය. දෙව් මිනිසුන් ගෙනා දෙය ම වියදම් වි ය.

බුදුහු අනඳ මහ තෙරුන්වහන්සේ බණවා ලා ‘ආනන්‍දයෙනි, අද පස් වරු චිත්ත නම් සිටාණෝ පන් සියයක් උපාසකවරුන් පිරිවරා අවුත් මා වඳිති’යි වදාළ සේක. වදාළ ලෙසින් ම අදහස දැන ‛කුමක් ද ස්වාමීනි, උන් අවුත් වඳනා කල වන පෙළහරෙක් ඇත් දැ’යි විචාරා ‘එ සේ ය, ඇතැ’යි වදාළ කල්හි කුමක් දැ යි විචාළ සේක. ‘උන් අවුත් මා වඳනා කලට එක් යාළ දොළොස මුණක් වපයන බිම ඔබා ලූ කලට දණ පමණ ලෙසට පස් වනක් මලින් ඝන වැස්සක් සේ මල් වැස්සෙක් වස්සි’යි වදාළ සේක. ඒ කථාව අසා නුවර වැස්සෝ ‘මෙ බඳු ආනුභාව ඇති චිත්ත නම් සිටාණ කෙනෙක් අවුත් අද බුදුන් වඳිත් ල, මෙ බඳු පෙළහරෙකුත් වේල. අපිත් ඒ මහා පිණැත්තාණන් දකුම්හ’යි දුටු කල දෙන්ට පඬුරු හැර ගෙන මඟ දෙවනත සිටියහ.

විහාර ය ළඟට ගිය කලට පන් සියයක් වහන්දෑ උන් හා කැටි ව ම බුදුන් කරා යාම් කිම් දැ යි පෙරාතු ගිය සේක. චිත්ත නම් සිටාණෝ උපාසිකාවරු පන්සියය පසු වලා එන්ට සම්මත කොට ලා පන් සියයක් උපාසකවරුන් පිරිවරා බුදුන් ළඟට ගියහ. බුදුන් ඉදිරි ව ලා අවුරා ගෙන එ සේ මෙ සේ හිඳිනා කෙනෙකු ත් නැත. සිටිනා කෙණෙකු ත් නැත. ඉදිරි දසාවෙන් කෙ තෙක් තැන් වුවත් බුද්ධ වීථිය භාර ලා දෙවන ත් ව දෙ පෙළේ සිටුවා ලූ ගල් රූ පරිද්දෙන් නිශ්චල ව සිටිති. සිටාණෝත් හැර තුබුවා වූ බුද්ධ වීථියට බටවු ය. අනැගැමි සිටාණන් බැලු බැලූ අත ම උන්ගේ ගුණානුභාවයෙන් වෙවුලන්නා සේ වි ය. බොහෝ දෙන ත් ගුණ ශොභාව ත් වැද ගොසින් ඉතා හොබනා උන්ගේ රූප ශෝභාව බලති. උයි ත් බුදුන් කරා ගොසින් සවනක් බුදු රස් හස්සට වැද ලා අඩු ව තුබූ ශෝභාවෙක් ඇත් නම් ඉන් අඩු ව හැර බුදුන්ගේ දෙ පය වළලුකර දී අල්වා ගෙන වැඳ ගත්හ. එ වේලෙහි යට කියා ලූ ලෙසට බුදුන් කෙරෙහි හැදහිලි නැත්තවුන්ට හැදහිලි උපදවමින් මල් වැස්ස වැස පීය. බොහෝ දෙන සාධු කාර දුන්හ.

මසක් මුළුල්ලෙහි ම බුදුන් ළඟම රඳා හුන්හ. හිඳිනා ගමනේ ත් ඒ මස ම බුදු පාමොක් වහන්දෑ සිඟා නො යවා වෙහෙර ම රඳවා ලා මහ දන් දුන්හ. තමන් හා කැටි ව සෙසු ආවවුනුත් ඇතුළු වෙහෙර ම රඳවා බත් පසුන්හ. එක දවසෙකත් තමන්ගේ ගැල්වලින් වියදම් වූ දෙයෙක් නැත. කරණ වියදමට දෙවි මිනි සුන් ගෙනා දෙය ම ඇති විය. සිටාණෝ තුමූ බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මම මුඹ වහන්සේට දන් දෙන්ට එන්නෙම් අතුරු මඟ මසක් ම රැඳිණිමි. මුබ ත් මසෙක් ගියේ ය. ගැල් පන් සියයෙන් ගෙනා දෙයින් කිසිවකටත් අඩුවෙක් නො පැනිණ. මේ දෙ මස දනට ත් සෙසු වියදමට ත් දෙවි මිනිසුන් ගෙනා දෙය ම සෑහිණ. ඉදින් මම මී හවුරුද්දක් රඳා හුනිම් නමුත් කළ පින් නො ගෙවෙන්නා සේ ම සම්පතු ත් නො ගෙවෙයි. ගැල් අවසර කොට ගෙන යනු කැමැත්තෙමි. දානොපකරණ ය ලවා පියන තැනක් වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු තමන් වහන්සේ ඒ වදාරන්ට තරම් නො වන හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේට ‘ආනන්‍දයෙනි, එක් නිසි තැනක් අවසර කරවා දී ලව’යි වදාල සේක. ඔබ ත් එක් තැනක් අවසර කරවා දුන් සේක. බුදුහු ත් කැප කිළි චිත්ත නම් සිටාණන් මුල් ව අනු දත් සේක.

සිටාණෝ තමන් හා කැටි ව ආ තුන් දහසක් කැඳවා ගෙන සිස් ගැලු ත් ගෙන්වා ගෙන යන්ට නික්මුණවු ය. දෙවි මිනිස්සු ‘හැයි, ස්වාමීනි, මුඹ කළ පින් සිස් ගැල් ගෙන්වා ගෙන යන තරමට දැ’යි ගැල් පන් සිය ය සත් රුවනින් පුරා ලූය. අබුද්ධොත්පාද කාලයෙහි දනක් දෙන්ට සිතූ අඞ්කුර රජ්ජුරුවන්ගේ ගැල් පන් සිය ය සත් රුවනින් පුරා ලූ කල බුදු පාමොක් සඟනට දන් දී යන සිටාණන්ගේ ගැල් පිරී ම විස් ම නො වෙයි. ගැල් පුරා සත් රුවන් තිබිය දී ම මුදල සිටිය දී පොලියෙන් ම ප්‍රයෝජන විඳිනා සේ පෙරළ පෙරළා ත් ගෙනෙන පඬුරෙන් ම කැටි ව යන තැනට බත් පසිඳුවති.

අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ ලා “ස්වාමීනි, චිත්ත නම් සිටාණෝ මුඹ වහන්සේ ළඟට එන ගමන්නේ ත් මසක් විතරින් අවු ය. අවුදිනුත් මසක් රඳා හුන්න. මෙ තෙක් දවස් මුළුල්ලෙහි ගෙන්වා ගෙන ආ දෙය තිබියදී දෙවි මිනිසුන් ගෙන් ලත් පඬුරෙන් ම දන් දුන්හ. දැන් ගැල් අවසර කරවා ගෙන මසක් විතරින් ම සිය නුවරට යෙති. දෙවි මිනිස්සු ගැල් සිස් නියාව දැක ‛කොට පුරා පී පින් කම් විපාකයෙන් සිස් නොවත් ගැල් සිස් වන්ට කාරණ කිම්දැ’යි සත් රුවන් පුරා ලූ ය. තවත් තවත් ලත් පඬුරෙන් කැටි ව යන තැනට බත් දෙවති. කුමක් ද? ‘ස්වාමීනි, මුඹ වහන්සේ ළඟට එන කල ම බුද්ධානුභාවය ත් එක් ව ලා මේ සත්කාර උපද්දීද? නොහොත් අනික් තැනකට යතත් මෙ ලෙස වේදැ’යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, මා කරා එතත් කොයි යෙත ත් තෙල සත්කාර ය, තුලුන්ට වන ලෙස ම ය’යි වදාළ සේක.

ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ උන් පෙර කළ පින් කම් විචාළ සේක. බුදුහු වදාරන සේක් “හෙම්බා ආනන්‍දයෙනි, මූ පියුමතුරා නම් බුදුන් සමයෙහි ‘උපාසකවරුන් ගෙන් අග්‍ර උපස්ථායක ව එක් තරා බුදු කෙනකුන් වහන්සේට උපස්ථාන කට හෙම්ව’යි පතා කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් සැපත් මිනිස් සැප ත් වළඳා කසුබ් බුදුන් සමයෙහි වැදි කුලයෙක ඉපැද වැසි වට දවසෙක මුවන් මරණු නිසා තෙබ හැර ගෙන වලට ගොසින් මුවන් බලන්නෝ එක් ගල් තල්ලෙක හිස් වසා පෙරව ගෙන එක් භික්ෂු කෙනකුන් හුන්නා දැක ‘මුන් වහන්සේ මෙ තැන වැඩ හිඳ මහණ ධර්‍ම පුරන නියා වන.

මුන් වහන්සේට බතක් ගෙනෙමි’යි ‘වහා ගෙට ගොසින් ඊයේ ගෙනවුත් තුබූ දඩ මසකු ත් ඇතී හෙයින් එයි ත් බතුත් පිසවා ලා සිඟා ආ භික්ෂු කෙනකුන් දැක උන්ගේ පාත්‍රය හැර ගෙන ගෙයි හිඳුවා ලා දන් ඉදි කොට මුන්වහන්සේ වළඳව’යි අනික් කෙනකුන්ට විධාන කොට ලා ගෙන යන බත නිසි වළඳෙක ලා ගෙන යන්නෝ අතුරු මඟ දී වන පස මල් කඩා මුළෙක බැඳ ගෙන ගල් තල්ලේ හුන් භික්ෂූන් කරා ගොසින් ‘ස්වාමීනි, කරුණා කළ මැනවැ’යි කියා ලා පාත්‍ර ය පුරා ලා භික්ෂූන්ට පිළිගන්වා ලා වන පස මල් පුදා ලා ‘යම් සේ මේ මල් පූජාව හා සමඟ මස් රසයෙන් යුක්ත වූ මේ බත මා සතුටු කරවා ද, එ පරිද්දෙන් මා උපනුපන් තැන දහස් ගණන් ලක්‍ෂගණන් පඬුරු ගෙනවු ත් මා සතුටු කෙරෙත් වා යි, උපනුපන් තැන පස් වනක් මල් වැසි ත් වසීව’යි පැතූ ය.

ඌ ආයු පමණින් දඩ මස් මැරීමට නො හිඳ පින් කොට දෙව් ලොව උපන්හ. දෙව්ලොව උපන් දණ පමණට මල්වැසි වට මේ ජාතියෙහි ත් උපන් දවස් මල් වැසි වැසීම ත් මෙ තැනට ආ දවස් මල් වැසි වැසී ම ත් මහ වතුරක් මෙන් පඬුරු ගෙනීම ත් සත් රුවනින් ගැල් පිරීමත් වැදි ව උපන් සමයෙහි කළ පින් කමෙහි අමුඛ්‍ය විපාක ය’යි කියා වදාළ සේක.

නුවණැත්තවුන් විසින් එක බත් පාත්‍ර ය ලා එක මල් මුළෙක විපාක මෙ තරම් කල බොහෝ බත් පාත්‍රවල බෝ සේ මල් මුළුවල විපාක කියනු ම කිම් දැ’යි පිළිවන්ව පෙනෙන මලු ත් ඉඳුරාම පුදා අභිඥා මල් පැළඳ නිවන් පුරට යා යුතු.

  1. මූද බඩ දිය සේ, මූද වඩ (නා) දිය සේ