තව ද කියන්ට පටන්ගත් ගමනේ අකුසල කර්‍මයෙහි අනිෂ්ට විපාක දක්වන්නමෝ සට්ඨිකූට ප්‍රෙත වස්තුව කියමු.
කෙ සේ ද යත්:-
ආදි කී ලෙසින් ම මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජු කුළු පව්වෙන් බස්නා සේක් එක් තැනක දී සිනා පහළ කොට කාරණ විචාළ කල්හි බුදුන් ළඟ දී කාරණ විචාරන්ට කියා ලා සිඟා නිමවා ලා බුදුන් ළඟට ගොසින් සිනා පහළ කිරීමට කාරණ විචාළ කල්හි ‘මම, ඇවැත්නි, තුන් ගවුවක් විතර උස ඇති ප්‍රේතයකු දිටිමි. ගිනි ගෙන දිළියෙන යකුළු සැට දහසක් ඔසවා ගෙන එක විට ම හිසට බා ලති. එසේ බැලු කල හිස පැළී ලා කර්‍ම බලයෙන් පෙරළා ත් හට ගන්නේ ය. ඔහු දැක ‘අනේ මේ සංසාර දෝෂ ය මට නැතැ’යි සිතා සිනා පහළ කෙළෙමි”යි වදාළ සේක. බුදුහුත් අසා වදාරා තමන් වහන්සේ ත් බුදු වූ දවස් දුටු නියා ව වදාරා මුගලන් මහ තෙරුන් වහන්සේට දෙස් වූ සේක. තමන් වහන්සේ ත් දුටුවා මුගලන් මහ තෙරුන් වහන්සේ දැක කී හෙයින් ඔබ ත් තමන් වහන්සේට දෙස් කළ සේක. වහන්දෑ අසා පාපයෙහි භය ඇති වනු නිසා ඔහු කළ පව් විචාළ සේක.
බුදුහු වදාරණ සේක් “යට ගිය දවස බරණැස අතකුරු ගැසීමෙහි දක්‍ෂ එක් පිළෙක් ඇත. එ තෙමේ නුවර වාසල් දොර කෙරෙහි සිටි නුඟ ගසක් යට වැද හිඳ කුඩා කොල්ලන් එ තැනට අවුත් ‘අපට තෙලෙ නුඟ පතින් අතකුරු ගසා ඇත් රූ ආදි ය පැව මැනැවැ’යි කී කල්හි අතකුරෙන් ම ඇත් රූ අස් රූ ගොන් රූ ආදියෙන් කැමැති රුවක් ම කප්පවා පෑ ලා උන් ගෙන් කන බොන දෑ ලැබෙයි. එක් දවසක් රජ්ජුරුවෝ උයනට යන ගමනේ එ තැනට අවුත් වන. කුඩා කොල්ලෝ පිළා අරළු හස්සේ ලා ලා දිව පූ ය. හිර මුඳුනේ සිටි වේලේ රජ්ජුරුවන් නුඟ ගස යටට වන් හෙයින් නුඟ පත්වල සිදුරුවලින් ඇත් රූ ආදී ආකාර ඇති අවුව ඇඟ හිණ. මේ කිම්දැ යි උඩ බැලුවා නුඟ පතෙහි ත් ඇත් රූ ආදි ය කැපී සිදුරුවා දැක මේ කොළෝ කවුරුදැ යි විචාරා පිළා නියා ව අසා පිළු ගෙන්වා ගෙන දරුව, අපගේ පුරෝහිත බමුණාණෝ දොඩන්ට සුරු වූහ. මා එක බසක් කියා පී ව ත් අකුරු මුළුල්ලක් සේ දොඩා වගුරුවා පියති. උන් දොඩන විට එළු බෙටි නැළියක් විතර උන් කටට ගසන්ට පිළිවන් දැ’යි විචාළෝ ය.
‘රජ්ජුරුවන් වහන්ස, ඒ පිළිවන. ඒ එළු බෙටි නැළියක් ගෙන්වා මට දෙවා ලා පුරෝහිතයන් හැර ගෙන මුඹ වහන්සේ තිර ය ඇතුළේ හුන මැනව. සෙස්ස මට පිළිවනැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් එලෙස ම කරවා ලූහ. පිළාණෝ ද කතුරු අගින් එළු බෙටි ය විතරට තිරයෙහි සිදුරක් කොට ලා පුරෝහිතයන් රජ්ජුරුවන් හා කථා කරන්ට කට දල්වා ලූ කලට එකි එකී එළු බෙටියක් අතකුරු කොට ගසා ලති. පුරෝහිතයෝ ත් කටට වන් වන් එළුබෙටි සැම තමන් කරණ කථාවෙහි ම හී ගෙන ගිලෙති. පිළාණෝ ද එළු බෙටි නිමි කල තිර ය සොලවා ලූ ය, රජ්ජුරුවෝ ඒ සලකුණෙන් එළු බෙටි නිමි නියා ව දැන ‘ආචාරීනි, මා මුඹ හා කථා කොට පය ඇද ගෙන නැඟී යන්ට බැරි ය. මුඹ වැළි ත් එළු බෙටි නැළියක් විතර ගල ත් දෙඩීම් තබා පියා නො හෙත් දැ’ යි කිවුය. පුරෝහිතයෝ ත් ලජ්ජා ව එ වක් පටන් රජ්ජුරුවන් හා එළු බෙටි බොහෝ ව යේ නමු ත් ය යි බොහෝ කොට කථා නො කෙරෙති. රජ්ජුරුවෝ ත් පිළා ගෙන්වා ගෙන ‘තොප නිසා නැතක් දවස් පටන් කන් කෙටුවීම් නැති ව සුව සේ හුන්නෙමි’ සතුටු ව ප්‍රයෝජනවත් වූ සියල්ලෙන් අටක් අටක් දෙවාලා නුවර සතර දිගින් ගම් සතරක් දුන්හ.
ඉක් බිත්තෙන් එක් මිනිසෙක් පිළාණන් ලත් සම්පත් දැක සිතන්නේ ‘මේ පිළා පවා මේ සිල්පය නිසා මේ සා මහත් සම්පතක් ලද මා ත් මේ ශිල්පය උගත්තො ත් යහපතැ’ යි සිතා උන් කරා ගොසින් වැඳ ලා ‘ආචාරීනි, තෙල සාලිත්තක ශිල්ප ය මා ත් උගන්වා ලුව මැනැවැ’යි කී ය. උයි ත් ඒ ශිල්ප ය ලඝුව යෙතී යන අදහසින් උගන්වන්ට බැරි ය යි මැළිව කිවු ය. වන්නාට ය, සිත් ගෙන ඉල්වා ගනිමි’ සිතා උන්ට කීකරු ව කී යම් දෙයක් ම කොට සිත් ගෙන ලා ශිල්ප ය ඉල්වි ය. උයිත් උපකාරීව සිටි හෙයින් ශිල්පය උගන්වා ලා ශිල්පය ඉගෙන නිමියේ. ඉතිකින් කුමක් කරවු දැ’යි විචාළෝය. ‘පිටතට පලා ගොසින් ශිල්පය අතට ආ නියාව විමසමි’ කීය. ‘විමසන්ට කරන්නේ කිම් දැ’ යි කී හෙයින් ගෙරි සරකක් හෝ මිනිස් කෙනකුන් හෝ පැහැර මරමි’ කී ය. කුඩෙනි, සරකක් මරා පීවොත් දඩ සියයෙක් ඇත. මිනිස් කෙනකුන් මරා ජීවො ත් දඩ දහසෙක. තොප දුප්පත් හෙයින් ඒ පසිඳලන්ට බැරිය. ශිල්ප විමසම්හ යි නොනසුව. යම් කෙනකුන් මළ කල දඩෙක් මුඩෙක් නැත් නම් මවු පියන් නැති සෙසු නෑ සිය කෙනෙකු ත් නැති එ බඳු කෙනකුන් මැරුව මැනැවැ’යි කිවු ය.
උයිත් ‘යහපතැ’යි ගිවිස කිරිවාණ හකුරු ඉන ලා ගෙන එ බඳු කෙනකුන් බලා හැවිදිනේ දෙනක දැක ඈට ත් නො ගසා මිනිසකුත් දැක දඩ දහස දී ලන්ට බැරි හෙයිනු ත් ඌ ගේ දෙ මවු පියන් ඇති හෙයිනු ත් ඌට ත් නො ගසා තවත් බලා ඇවිද්දී. ඵ් කල සුනෙත්ත නම් පසේ බුදු කෙනෙක් නුවර නිසා පන්සලෙක වෙසෙති. සිඟා එන්නවුන් නුවර වාසල කෙරේ දී දැකලා ‘මුන්ගේ මවු පියෝ නැත. මුන් මළ යි දඩ ත් නැතැ’යි සිතා උගත් ශිල්පයෙන් ලබන ප්‍රයෝජනත් නැති ව බොහෝ අකුසල් රැස් කෙරෙමින් පසේ බුදුන්ගේ දකුණු කන් සිදුර කරා අතකුරක් ගසා ලීය. උන්ගේ ත් එ බඳු අකුශල කර්‍මයක් පැමිණ ගසා ලූ හකුර දකුණු කන සිදුරෙන් වැදිලා වම් කන් සිදුරෙන් නික්මිණ. බලවත් දුක්විය. පසේ බුදුහු සිඟාගත නොහී අහසින් පන්සලට ගොසින් පිරිනිවියහ. මිනිස්සු දෙ වන දවස් පසේ බුදුන් නො ආ හෙයින් අපාසුවක් නියා ය යි සිතා පන්සලට ගොසින් පිරිනිවියා දැක හැඩූහ.
ඒ කාලකණ්ණියාත් බොහෝ දෙනා යන්නවුන් දැක තෙමේ ත් ගොසින් පසේ බුදුන් හැඳින ගෙන ‘මූ සිඟා යන ගමනේ වාසල කෙරේදී මට ළං වූ ය. ශිල්පය විමසන්ට යයි අතකුරක් ගැසූ යෙම් මම ය’යි කීය. මිනිස්සු ත් ‘පසේ බුදුන් වහන්සේ මැරුයේ තෙලෙ ල. තුලු අල්වව’යි කියා ලා අල්වා ගෙන මරා පීහ. නිරවද්‍ය ශිල්ප උගත්තෝ ඓහ ලෞකික වූ ත් පාර ලෞකික වූ ත් ප්‍රයෝජන ලැබෙත්. මේ තමා උගත්තා සාවද්‍ය ශිල්ප ය හෙයින් මරණ ලද. මියත් අධොමුඛ නකකින් ශාස්ත්‍රයට පටන් ගත්තා සේ අවීචියෙහි ඉපැද අන්තඃ කල්පයක් පැසී තව අකුසල් නො ගෙවුණු හෙයින් ගිජු කුළු පවුවෙහි ප්‍රේත ව උපනැ යි වදාරා ලා ‘මහණෙනි, අඥානයෝ යම් ශිල්පයක් දනිත් නම් එයින් යම් සම්පතක් ඉසුරක් ලද්දු නම් එයිත් වෑයෙන් පොරොවෙන් කොටන සේ නොදැන කොටන්නවුන්ට අනර්ථ එළවන්නා සේ යම් තාක් ම අනර්ථ එළවයි. කුමක් මෙන් ද? යත් - සාලිත්තක ශිල්පය උගත්තා මෙනි. එ සේ වූවන්ගේ නුවණක් ඇත් නම් එයි ත් නසමින් කුසල් කොටසු ත් නස යි” වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණ නිවන් පුර වන්හ.
නුවණැත්තවුන් විසින් උගන්නා ශිල්පයත් අනර්ථාවහ නො වන නිරවද්‍ය දෙයක් ම ඉගෙන ලබන සම්පතුන් දැහැමෙන් සෙමෙන්ම ලැබ ශිල්ප හා සම්පත් හා දෙකින් ම මෙ ලෝ පර ලෝ වැඩ සාධනු මැනවි..