68. අභි ප්‍රේත වස්තුව

star_outline

එ සේ ම එක් දවසක් මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්ෂණ මහ තෙරුන් වහන්සේ හා සමඟ රජගහා නුවරට සිඟා වඩනට ගිජු කුළු පව්වෙන් බස්නා සේක් සර්පයකු වැනි ප්‍රේතයකු දැක ‘අනේ මූ විඳිනා දුකක් ය’යි ඔහු කෙරෙහි අනුකම්පාව ඇත ත් තමන් වහන්සේ ඒ දුකින් මිඳුණු නියාව සලකා සිනා පහල කළ සේක. ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ සිනා පහළ කළ නියාව දැක ‘සී පිය යුත්තෙක ත් බුදුන් වදාළේ සතුටු පමණක් වුව. සිනා පහළ කිරීමට කාරණ කිම්දැ’යි විචාළ සේක. ‘දැන් සිඟා යන ගමන හෙයින් කියන්ට අවසර නැත. බුදුන් ළඟ දී විචාළ මැනැවැ’යි කී සේක. එ සේ වදාරා ලා රජගහා නුවර සිඟා ගෙන බුදුන් ළඟට ගිය කල්හි ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ මුඟලන් මහ තෙරුන් වහන්සේට ‘ඇවැත්නි, ගිජුකුළු පවුවෙන් බස්නා ගමනේ සිනාවක් පහළ කොට සිනා පහළ කිරීමට කාරණ විචාළ හෙයින් බුදුන් ළඟ දී විචාරන්ට කීයේ ඇත්තේ වේ ද, ඒ කාරණය දැන් කිව මැන වැ’යි කී සේක.

‘මම, ඇවැත්නි, නො කරුණෙක සිනා පහළ කෙළෙම් නො වෙමි. එක් ප්‍රේතයකු දැක ය. ඌගේ හිස නම් මිනිසුන්ගේ හිස වැනි ය. ඌගේ බඳ ත් සියක් ගවු විතර ය. සෙසු අත් බැව නයකු වැනි ය. උගේ හිසින් නැඟි ගිනි දැල් නඟුට දක්වා දවා ගෙන යෙ යි. මැදින් නැගි ගිනි දැල් දෙ දිසාවට දවා ගෙන යෙ යි. දෑලයෙන් නැඟී ගිනි දැල් පිට දවා ගෙන යෙ යි’ වදාළ සේක. බුදුහු ත් දෙස් ව වැඩ සිට ‘හෙම්බා, ඒ ප්‍රේතයන් දුටුවෝ මූ මතු නොවෙති. බුදු වූ දවස් බුදු නුවණින් මමත් දිටිමි. මේ තෙක් කල් නො වදාළේ හැයි දැ යි සිතවු නම් මා කියා පූ කලට හදහා ගත හැකි තරමක් නො වන්නා යමෙක් හදහා නො ගත්තෝ වූ නම් උන්ට බොහෝ පවු පිරෙන හෙයින් නො කීමි. දැන් මා මුන්ට දෙස්ව සිටි හෙයින් මුන් ම දෙස් කොට සිටුවා ගෙන කියමි’යි වදාළ සේක.

වහන්දෑ ද කාක ප්‍රෙතයාගේ අකුශල ය ඌ ගෙන් ම ප්‍රකාශ හෙයින් අභිප්‍රේතයාගේ අකුශල ය විචාළ සේක. බුදුහු ඒ වදාරන සේක් ‘යට ගිය දවස බරණැස නිසා ගඟ බඩ පසේ බුදුකෙනකුන්ට පන්සලක් කළහ. උයි ත් එහි රඳා එක් වන් නුවරට සිඟා යෙති. නුවර ඇත්තෝ ත් උදාසන ත් කැඳ අවුළු පත් ආදි ය ගෙන්වා ගෙන දවස දවස සුවඳ මල් ආදි ය ගෙන්වා ගෙන පසේ බුදුන් වඳින්ට පුදන්ට හා උපස්ථාන කරන්ට ත් යෙති. බරණැස වසන එකෙක් එම ගහ බඩ කුඹුරක් සාන විට බොහෝ දෙනත් පන්සලට යන කල ඒ කුඹුර මැඬ ගෙන යෙති. කුඹුර සානා තැනැත්තෝ ‘මාගේ කුඹුර නොමඬුව’යි කියා ත් වළකා ගත

නො හිණ. බොහෝ දෙනාට කුසල් මං කොට පිටි මඟකුත් තබා නො ලී ය. සී සානා තැනැත්තේ ‘ඉදින් මෙ තැන පසේ බුදුන්ට පන් සැලක් නො වී නම් මාගේ කුඹුර නො මඬිති’යි නුනුවණින් සිතා ගෙන පසේ බුදුන් සිඟා නැඟී ගිය කල කළ- කොතලා-සැළ-තාලි-වක් ගිනි කබල් ආදී වූ වළඳු ත් සපා බිඳ පියා පන්සැලත් ගිනි ලා දවා පී ය. පසේ බුදුහු ත් පන්සල දා ගියා දැක අනික් තැනකට ගියහ. බොහෝ දෙන සුවඳ මල් ආදිය හැර ගෙන අවු ත් පන්සල දා ගියා දැක ‘අනේ, ස්වාමී කොයි වැඩ පී සේක් දෝ හෝ’යි තමන් අතුරේ කිවු ය.

අර කාළකණ්ණියා ත් හැම දෙනා හා කැටි ව අවුත් සපන් කමක් සේ ‘මම ය පන්සල ගිනි ලූයෙමි’යි කීහ. බොහෝ දෙන ‘තෙල පවිටා අල්වව. තුලු නිසා පසේ බුදුන් වහන්සේ දක්නට ත් නැතැ’යි ගසා අල්වා ගෙන’මරා පීහ. එයිත් අවීචියෙහි උපන් තැනැත්තේ අන්තඃ කල්පයක් නරකයෙහි පැසී පියා තව ම අකුසල් ගෙවී නො ගිය හෙයින් ප්‍රෙත ව උපනැ’යි වදාරා ලා බණ වදාරන බුදුහු ‘මහණෙනි, යම් සේ දෙව ගත් කිරි මුසුන් නො ගැසූ නම් හෝ දී තුබූ කිලන් තුබූ වළඳෙක දෙව ගත් වළඳින් නොව ත් කොළෝ නම් ඒ තාක් ම තමාගේ කිරි අවස්ථාව නො හරී ද ඒ හැම කළ කල පසු දී බවට පැමිණීමෙන් කිරි අවස්ථාව හරී ද, එ මෙන් පව්කමු ත් කෙරෙමින් සිටිය දීම විපාක බවට පෙරළී නො යෙයි. ඉදින් එ සේ පෙරළී යේ නම් කිසි කෙනකු ත් පව් කට නො හෙන්නාහු ම ය. යම්සේ හළුවෙන් වැසී තුබූ අඟුරු මැඬ ගත ත් හළුවෙන් වැසී තුබූ හෙයින් තව පය නො දා ද, කල් යවා සිට පී කලට වැසී තුබූ හළු ත් හුණු කොට ගෙන සම් මස් ආදිය දැවීම් වශයෙන් හිස් මුල් දක්වා දවා ගෙන යේ ද, එ පරිද්- දෙන් පව් කමුත් දෙවන අත් බැව හෝ නරකාදි වූ සතර අපායෙහි උපදවා පියා දවා ගෙන යෙයි. කල් ගිය පමණින් නිවන් දුට ත් ප්‍රතිසන්ධි විපාක නැති වූ නමුත් ප්‍රවෘත්ති විපාක වුව ත් දී මුත් නො නවත්ති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් තුනුරුවන් සතු දෙය විෂයකට ත් විෂ ඝොර සර්පයන්ට ත් ගින්නට ත් වඩා දුක් දෙන නියාව සලකා ජීවිත විනාශයක් වත ත් තුනුරුවන් සතු දෙයකට විනාශයක් නො සිතා කාක ප්‍රෙත යා හා අභිප්‍රෙත යා මසැසින් නුදුටත් බණින් අසා දුටු බැවින් එ වැනි දුකින් මිඳෙනු කැමැත් තොත් තුනුරුවන් සතු දෙයෙහි ඇලුම් නො කොට පින් කම හැසිර නිවන් අත් කට යුතු.

___________