තව ද සැදෑ ඇත්තවුන් ගේ සැදෑ වඩනට නිසි වූ අනිකුත් කථාවක් දක්වන්නමෝ යම් සේ චක්ඛුපාල තෙරුන් වහන්සේ වෙද ව උපන් ජාතියෙහි නුවණ නමැති ඇස මෝහ නමැති පටලය වැඩීමෙන් කුශල් නමැති ඉඳුරා මග නො දැක අකුසල් නමැති විෂම මගට පැමිණ ලඝු වූ ත් අකුශල ය නිසා රහත් වූ ජාතියෙහි අන්ධ වීමෙන් මේ සා හානියක් වී ද එ සේ නො ව යම් කෙනෙක් නුවණ නමැති පහන් ඇසින් කුශල් මගට බැස ලඝු වූ ත් කුශලයෙහි හැසිරෙත් නම් ඒ නිසා ලබන ලොවී ලොවුතුරා සැපත් මට්ටකුණ්ඩලී වස්තුවෙන් දක්වම් හ.
හේ කෙ සේ ද යත්:—
සැවැත් නුවර අදින්නපුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති. ඌ තුමූ සුධා භොජන ජාතකයෙහි කෙළ ගණන් වස්තු ඇති පියාණන් සක් දෙවිඳුගේ උපදෙසින් දන් දීමෙහි අදහස් ඇති වන තෙක් කිසි කෙණකුන්ට කිසිවක් දී ලන්ට මැළියා සේ, ඉල්ලීස සිටාණන් ඉල්ලීස සිටු වෙස් ගත් සක් දෙවිඳුහු සම්පත් විසුරුවා දන් දෙන තෙක් තමන් දී ගත නුහුණුවා සේ, බුදුන් ගෙන් බණ අසා නිවන් දැක මසුරු සිත් තුනීවන තෙක් තණ අග ගලා තෙල් බින්දුවක් විතර ත් අනුන්ට නුදුන් විරූ ය. එ සේ හෙයින් “අදින්නපුබ්බක” ය යන නම අර්ථාන්විත නමය. උන් ගේ එක ම පුතණු කෙනෙක් ඇත. ජීවිතය සේ ඉතා ප්‍රියයෝ ය. ඒ ප්‍රිය පුතණුවන්ට ආභරණයක් කරවන්ට සිතා කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තෝ නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුවත් අදහස කුඩා බැවින් ආභරණ කරවන්ට බඩාල් කෙනකුන් ගෙනාවොත් කර්මාන්ත කරවන තෙක් දවස් උන්ට බතුත් දිය යුතු ය. එ සේ කලට නැතක් වී සාල් වියදම් වෙයි. නැවත කර්මාන්තය නිම වා දුන් කල මිල ත් දිය යුතු ය. එසේ කලට ආභරණ මෙන් හා කළ මිලය ත් කැටිව බොහෝ වස්තුත් වියදම් වෙයි. දන්නා නො දන්නා තමා ම කරණ කලට වියදම් වන දෙයක් නැත්තේ වේ දැ’යි බොහෝ සිතිවිලි සිතා තුමූ ම රත්රන් හැර ගෙන අකුරු ලියන සේ නො දන්නා කෙනෙකුන් පත්වල හිරි හඳනා සේ කුණ්ඩලාභරණ සේ තලා පියා දුන්හ. ඒ කුණ්ඩලාභරණය උරුට්ටු ආදි වූ සූක්‍ෂම කර්‍මාන්ත නැති හෙයින් මට සිළුටු වී ය. එ සේ හෙයින් කුමාරයන්ට නම් තබන්නෝ මට්ටකුණ්ඩලී නම් තුබූහ.
ඒ කුමාරයන් සොළොස් හැවිරිදි අවස්ථාවෙහි පාණ්ඩුරෝග ඇති වි ය. එක් දවසක කුමරුන් ගේ මෑණියෝ බමුණානන්ට වස්තු ලෝභයෙන් ඊ අවස්ථාවක් නැතත් තුමූ පුතණුවන් ගේ සැටි දැක බමුණානන් බනවා ලා තොපගේ පුතණුවන් ගේ හැටි පෙවෙත් නපුර. උන් තමන් නොකිය ත ත් ලෙඩක් දුකක් ඇත්තා සේ ය. ඊට නිසි පිළියම් දන්නා කෙනෙකුන් ගෙනවුත් පිළියමක් කරව’යි උන්ගේ අදහස් ආභරණ ය කළ ලෙසින් ම නො නැඟුණා සේ කිවු ය. බමුණානෝ ඒ අසා පින්වත් බැමිණිය කුමක් කියයි ද, පිළියමට වෙදවරුන් ගෙනා කල වෙද කම් නිමන තෙක් බතු ත් දුන මැනව. මං කුලී ත් දුන මැනව. කෙළ වර මිළත් දුන මැනව. බලවත් ව තිබෙන ව්‍යාධි හෙයින් මිළ ත් මඳකින් සෑහී නො යෙයි. හී දඬු මිටියකින් හී දණ්ඩක් හයා ගත් කලට අඩු ව පෙනෙන්නා සේ කවර තරම් වස්තුයෙක ත් දවසක් වුවත් ප්‍රයෝජන උන කලට අගය අඩුවන්නා සේ සම් පත් අඩු වන නියාව කලන්‍දක ජාතකයෙහි ලේනාණන් නගුට වැද ගත් පැන් ඉසි පමණකින් මූද පැන් අඩු වූ නියාවෙනු ත් දත මනා වේදැ’යි යන්න තමන් නොදත් හෙයින් දෘෂ්ටාන්ත කොට නොකීවත් සෙසු ලෙස කථා කීමෙන් තමන් ඉතා ලාමක නියාව හැඟ වූ හ.
ඒ අසා බැමිණියෝ බමුණානෙනි, එ සේ කල කළ මනා කිම් දැයි විචාළෝ ය. ‘යම් ලෙස කළ කල මගේ වස්තුවට හානියෙක් නොවේ නම් ඒ ලෙස ත් කෙරෙමි’යි කියා ලා වෙදවරුන් ළඟට ගොසින් පාණ්ඩුරෝග ඇත්තවුන්ට කුමන පිළියම් කරවු දෑ’යි විචාළෝ ය. වෙදවරු අසා රෝග ඇකි කෙණෙකුන් කරා කැඳවා ගෙන ගොසින් නිදන් දන්නා ලෙසට රෝගිනු ත් බලා පිළියම් නො කරවා දුර තබා විචාරන කල රෝගීන් නියම නො කළා සේ අපිත් කියන බෙහෙද නියමක් නැති ව කියම් හ’යි සිතා ගෙන බමුණානන් විචාළ ලෙසින් ම මුන් තමුන්ගේ පුතණුවන්ට පාණ්ඩු රෝග ඇති වන. තමන් ලෝභී හෙයින් වෙද වරුන්ට යමක් දී ලන්ට මැලිව විචාරන වන්නැ’යි සිතා ලා චක්ඛුපාල තෙරුන් වහන්සේ වෙදව උපන් අවධියේ ඇස් නස්නට දුන් බෙහෙත් සේ ම අනික් අනික් ලෙඩකට ම නිසි බෙහෙදක් විධිත් නො කියා පාණ්ඩුරෝගය විෂම වන ලෙසට ම කියා ලති. බමුණානෝ ඒ අසා සුඹුළු ආදිය ගෙන ගොස් කකාරා පෙරා දෙති.
පය බරවායට පිටකර බෙහෙත් බඳිනා සේ ම, ඇස් සරහන්ට තොල අඳුන් ගානා සේ, වරදවා කරන පිළියම් හෙයිනු ත් අවස්ථා දැන නිදන් බලා කරණ පිළියමක් නො වන හෙයිනු ත්, බෙහෙත් කෙරෙමින් සිටිය දී, ඒ ඒ විෂයට ප්‍රතිනියත මන්ත්‍රාදිය තිබිය දී, අනික් මන්ත්‍රාදියකින් විෂ බාමින් සිටිය දී, වඩා ගෙන යන විෂයක් මෙන් රෝග ය බලවත් ව ගොසින් මරණින් මුත් පිළියමින් අසාධ්‍ය බවට පැමිණියේ ය. එ කල බමුණානෝ ආඳා යවා තබා ලා වල්පත ගත්තා සේ, වෙදවරුන් ගෙන්වන අවස්ථාවේ රෝග හානියට ත් වඩා වස්තු හානි ය නො කැමති ව නො ගෙන්වා අතෙකිච්ඡ අවස්ථාවෙහි වෙදාණ කෙණකුන් ගෙන් වූ ය. ඌ අවුත් රෝග බලා සන්සිඳුවන්ට බැරි නියා ව දැන ‘මා අවසර නැත. අනික් වෙද කෙනෙකුන් ගෙන්වා පිළියම් කර වන බවය’යි කියාලා ගියෝය. උන් ගිය ගමනින්ම බමුණානෝ පුතණුවන් මියන නියාව නියම කොට දැන මූ මළ කල ඉළවුවට[1] ආ කෙනෙක් ඇතුළු ගෙයි පුරා තුබූ සම්පත් දැක මෙ තෙක් සම්පත් තබා ගෙන හිඳ දුප්පතා සේ පුතුට පිළියම් පමණකු ත් නො කරවා නසා පී ය. අනේමේ මහා ලෝභි එකෙක් වනැ’යි මා ලෝභී කොටත් සිතා ගනිති” යි සිතා නො මියන තෙක් ම පුතු පිටත් කරවා ගෙන් පිටත පිළ පිට ලවා පූ හ.
බුදුහු එදවස් අලුයම් වේලෙහි මහ කුළුණු සම වතට සම වැද එයින් නැඟී පෙර බුදු වූ බුදුවරුන් වහන්සේ සමයෙහි මහත් සේ කොට පුරා පී පින් කම් ඇති හේතු සම්පන්න පුද්ගලයන් දක්නා පිණිස බුදු ඇසින් ලොව බලන සේක් දස දහසක් සක්වළ නැමැති මහ මුහුද වසා නුවණ දැල දැමූ සේක් මට්ටකුණ්ඩලී නැමැති කුඩ මසු, පිළ නැමැති දිය කෝල් බඩ හොත්තේ බුදුන් ගේ නුවණ දැළට තමා සම්භ වුව මනා හෙයින් වැද හොත් ලෙසින් ම නො සෙල් වී නො පෙරළී නුවණ දැළ බැඳිණ. බුදුහු ඔහු දැක මා එතැනට යාමෙන් වන ප්‍රයෝජන කවරේ දෝ හෝ යි පරීක්‍ෂා කරණ සේක් ‘මා ඵ තැනට ගිය කල මට්ටකුණ්ඩලියා මා කෙරෙහි සිත පහදවා ගෙන කොට ගත් අනික් පින්කමක් නැත ත් සිත පහදවා ගත් පමණකින් මිය ගොස් තවුතිසා දෙව්ලොව එක් සිය විසි ගවුවක් විතර උස ඇති රන් විමනෙක උපද්දී ඔහු පිරිවරා දෙවඟනෝ දහසක් දෙන පහළ වෙති.
“බමුණු මිය ගිය පුතු දවා පියා මළ පුතු අරභයා අඬමින් දවා පූ සොහොනෙහි ඇවිද්දී. දෙව් ලොව උපන් මට්ටකුණ්ඩලී දෙව් පුතුන් ද තුන් ගවුවක් පමණ උස හා ගවුමක් විතර පළන් ඔටුන්න හා එක් ව සතර ගවුවක් උස ඇති ව ගැල් සැටෙක පිරෙන ආභරණයෙන් සැරහුණු දහසක් දෙවඟනන් විසින් පිරිවරන ලද ඉතා ශෝභාමත් වූ ආත්ම භාව ය දැක “මේ දෙව් සැපත නිකම් හුන් පමණකින් ලද හැක්කේ නොවෙ යි. එක් තරා පින් කමකින. කෙසේ වූ පින් කමෙක් දෝ හෝ යි තමා කළ පින් සලකන්නේ ආසන්න කර්‍ම ව සිටි අනික් පින් කමක් නැති හෙයින් මා කෙරෙහි සිත පහදවා ගත් පමණකින් නියාව දැන ‘අනේ! අදින්නපුබ්බක නම් බමුණු ඒ සා මහත් වස්තුව මඳව යෙ යි’ යන මසුරු අදහසින් මට බෙහෙත් පමණකුත් නොකර මා මියන්ට අත්හැර දැන් ආදාහණ භූමියට ගොසින් වසා ලූ කඩ රෙද්දට ලෝභයෙන් හඬන්නා සේ හඬ යි. හඩින්නහු දිවන්නන් ලුහු බඳවන්නා සේ තරයේ ම හඬාපුව මනාවේ දැ’යි පියා කෙරෙහි මුසුප්පුවෙන් මට්ටකුණ්ඩලී ලෙසින් අවුත් සොහොන් බිමට නුදුරු තැනක සිට හඬ යි.
“බමුණු ඔහු දැක තමාගේ පුතු මළ නියාව දන්නා බැවින් ‘තෙපි කවුරු දෑ’යි විචාරා ‘මම තොපගේ පුත් මට්ටකුණ්ඩලියා වේ දැ’යි කී කල්හි ‘කො යි උපනු දැ’යි විචාරා ඔහු තව්තිසා දෙව් ලොව උපනිමි’යි කී කල්හි ඔහු පින් කමක් කරණ නියා වක් තමා නුදුටු හෙයිනු ත් පර සිත් දන්නා නුවණක් තමාට නැති හෙයිනු ත් බුදුන් කෙරේ කළ චිත්තප්‍රසාද ය නො දත් හෙයිනු ත් බුදුන් දුටු නියා දුටත් එ විතරකින් දෙව් ලොව ඉපැද ඒ සා සම්පතක් ලබන නියාවකට බමුණු තමා ගේ වෙදයෙහි නැති බැවිනුත් ‘කුමන පින් කමක් කොටද, ඒ දෙව් ලොව උපන් නේ’ය යි විචාර යි. ඒ අසා දෙව් පුත් ‘මා කෙරෙහි සිත් පහදවා ගත් පමණකිනැ’යි විචාළ බමුණාට කිය යි. බමුණා ඒ අසා හදහගත නො හී මා කරා අවුත් ‘නුඹ වහන්සේ කෙරෙහි සිත් පහදවා එ පමණකින් අනික් පින් කමක් නො කොට දෙව් ලොව උපදින්නෝ ඇද්දැ’යි විචාර යි. විචාළ ඕ හට ‘හෙම්බල බමුණ, මා කෙරෙහි සිත් පහදවා එ පමණකින් දෙව් ලොව උපන්නවුන් සිය ගණනිනුත් දහස් ගණනිනු ත් ලක්ෂ ගණනිනුත් පුඬු කොට කියන්නට බැරි ය’යි කියා ලා ඒ සාධන්ට නො වත ත් ධම්පියා වෙන් ගාථාවක් කියමි. ඒ ගාථාව කියා ලූ අන්තයෙහි සූවාසූ දහසක් දෙන කෙලෙස් සතුරන් ගෙන් කිසි කෙනෙකුන් මරා නිම වා, කිසි කෙනෙකුන් එඩි දර්ප රහිත කොට ලා නිවන් පුර වදිති. නිවන් පුර වැද පසු ව කලෙක දී කෙලෙස් සතුරන් මරා නිමවති. මට්ටකුණ්ඩලී නම් දෙව් පුත් ද කළා වූ චිත්ත ප්‍රසාදයෙහි විපාක දෙව් සැප ත් ලත් පමණකින්-කෙතෙක් බත් කෑව ත් පැන් පූවො ත් මුත් පිපාස සන් නො සිඳෙන්නා සේ – නිවන් දුටු වොත් මුත් නො නිමන හෙයින් දහසක් නයින් සැදුම් ලද සෝවන් පෙලෙහි පිහිටා ලද දිව සැපත තර කොට ගෙන අපායොත්පත්ති නැති කෙරෙති. ඉතා ලෙටි වූ අදින්නපුබ්බක බමුණු ද සෝවාන් ව ඇඹුලකින් තඹ මළකඩ නැතිවන්නා සේ ලෝභ සිත් මඳ ව තමා ගේ වස්තු නිධාන ගත ව තුබූ නියාව නො සේ ම හෙයින් උගුළුවා හැර ගෙන කවර ලෙසිනු ත් නො නස්නා ලෙසට අනුගාමික නිධාන කොට බුදු සසුන් නැමැති ක්ෂේම තැන ලයි.
මෙ සේ මේ කුල දරුවාණන් නිසා බොහෝ ප්‍රයෝජන වෙ යි – දැන වදාරා දෙවන දවස් උදාසන අලතා පිඩෙක ඇති වූ පබලු දළු වැනි වූ හෝ නොහොත්, ලා රසෙහි ගලා ඔසො වා ගත් කොබෝලීල මල්දමක් වැනි වූ තමන් වහන්සේ ගේ හඳනා සිවුර පත් කොට ගෙන ත්‍රි මණ්ඩල පටිච්ඡාදන වසයෙන් පෙකණිය ත් දන මඬුලු ත් වසා පුන් සඳ මඬලෙන් බාගයක් රත්[2]වලායෙකින් වසන කලක් පරිද්දෙන් වැළඳ ගෙන ඊ මත්තෙහි පබළු දළු සමූහයක් රන් පවුවකින් වෙළන කලක් පරිද්දෙන් විදුලියක් හා සමාන වූ පටී ධාතූන් වහන්සේ බැඳ ගෙන, ඉක්බිති නුග පක් සමූහයක් වැනි වූ දෝ හෝ නො හොත් බඳු වද මල් ඇති රියක් වැනි වූ සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන් ද, නො හොත් සියක් රියන් උස ඇති රන් ඇගෑයක් පබළු දැලකින් වසන්නාක්හු මෙන් ද නොහොත් රන් දා ගබක් රත් පලසකින් පිළිගත් සේ ලන කලක් මෙන් ද, නොහොත් යන පුන් සඳ රත් වලායෙකින් වසන්නාක්හු මෙන්ද, නො හොත් රන් පර්‍වත මුදුනකින් පර්‍වත ය වසා ලා රස වගුරු වන්නාක් මෙන්ද, නො හොත් සිතුකුළු පව්ව බඳු වද මල් දමින් වෙන කලක් මෙන් ද සකසා වැළඳ ගෙන රන් ගුහාවකින් නික්මෙන සිංහයක්හු පරිද්දෙන් ගඳ කිළියෙන් නික්ම වඩනා නියාව දස දිග කියා යවන මෙහෙවර කරන්නවුන් මෙන් සකල ශරීරයෙන් සවනක් රස් විහිදුවමින් මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා සැවත් නුවරට වැඩ ගෙ පිළිවෙළින් සිඟා වඩනා සේක් බතක් නිසා සිඟා වඩනා ගමනක් නො වත ත් අදින්නපුබ්බකයන්ගේ ගෙටත් වැඩි සේක.
එ වේලාවට මට්ටකුණ්ඩලී භිත්ති ය දිසාවට මූණ ලා වැද හොත්තේය. බුදුහු තමන් වහන්සේ නො දක්නා නියාව දැන ශරීර ප්‍රදේශයකින් රස් කඳක් විහිදුවා වදාළ සේක. ඒ රස් කඳ ගොසින් බිත ත් වැද ගත. මට්ටකුණ්ඩලී ත් බුදු රස් දැක මියන වේලක – රුවන් සක්මන මුනි පෙත්තක් ගෙන ගොස් සිටුවා ලා පෙත්ත දසාවට නමා ලූ කලක් මෙන් මිදුල දිසාවට නැමී වැදහොත් තැනැත්තෝ දෙතිසක් විතර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්ජනයෙන් හා බ්‍යාම ප්‍රභා කෙතුමාලායෙන් හා දස දිග පතළ සවනක් බුදු රසින් හා කප් ගිනි ගත් රුවන් මෙරක් මෙන් බබලමින් වැඩ සිටි, බැලු බැලූවන් ඇස් සනහන, සිතු සිතූවන් සිත් සනහන, ඇසු ඇසූවන් කන් සනහන, අනල්ප කල්ප කොටි ශත සහශ්‍රයෙහි පිරූ සුචරිත ය එක් කොට හඹා සිටුවා ලූවක් වැනි බුදු රුව දැක ‘නුවණ නැති පියාණන් ගේ සමවාය නපුරු හෙයින් බුදුන් කරා ගොස් වැඳ පියන්ට වේව යි දනක් දී පියන්ට වේව යි බණක් අසා පියන්ට වේව යි මේ සොළොස් අවුරුද්දෙන් අට හවුරුද්දක් විතර ත් නො වී ය.
දැන් ළඟට ගොසින් වැඳ ගන්ට පයත් අවසඟ ය. වැද හෙවත් අත ඔසොවා නළල තබා වඳින්ට අත ත් නො නැමෙ යි. අනික් කළ මනා දෙයකුත් නො පෙනෙ යි. සිත පහදවා ගැන්මෙහි අදහස් ලැබෙන බැවින් ආයාස නැත. මේ අවස්ථාවට පිළිවන් ව තිබෙන සිත පැහැදීම ම කෙරෙමි’යි සිතා පිළියමට දෛව නැත ත් බුදුන් දකින්ට දෛව ඇති බැවින් දැක සිත පහදවා බුදුන් වැඩි ගමන සාර්‍ථක කළ හ.[3] බුදුහු ත් බර එසවි ය නොහෙන්නවුන්ට ශරීර භාර ය ම සෑහෙන්නා සේ ‘මෝහට මෙ විතරෙක් ම සෑහෙයි-සිතා වදාරා ලා ශරීර ගත වූ පාණ්ඩු රෝගයට පිළියම් නො ලැබ මියන මට්ටකුණ්ඩලීන්ට පර ලොව දී කාය පීඩා නැමැති රෝග හට නොගන්ට චිත්තප්‍රසාද නැමැති පිළියම් කරවා වැඩිසේක. බුදු රජුන් වහන්සේ නො පෙනෙන තැනට වැඩ පියන්නා ම පහන් සිත පසු නො බස්වා හොත් තැනැත්තෝ මිය නිදා පුබුත්[4] කෙනකුන් පරිද්දෙන් දුක් මුහුද සියල් ලෙසින් ගෙවන්නට නු වුව ත් එක් ලෙසකින් ගෙවා තව්තිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් විමනෙක දිව්‍ය පුත්‍ර ව උපන්හ.
බමුණානෝ ද මළ පුතණුවන් දවා පියා උරඟ ජාතකයෙහි මහ බෝසතුන් මෙන් තමන් ශෝක නැති වන කාරණ නො දන්නා බැවින් දවස් පතා මසොහොනට ගොසින් ‘අනේ එක පුතණුවෙනි! යනාදි ය කිය කියා හඬති. මට කොඬොල් දෙව් පුත් ද තමාගේ දෙව් සැපත් බලා ලබන්ට නිසි ව දෙ වන ජාතියෙහි කළ පින්කම් විමසනු යේ බුදුන් කෙරෙහි කළ චිත්ත ප්‍රසාද පමණකින් වූ නියාව දැන ‘මේ බමුණු තෙම තමා ගේ වස්තු හානි තකා මාගේ ජීවිත හානියට නිස්ස ම සිතනුයේ බෙහෙත් පමණකු ත් නො කරවා ගොයම් කරණ අවධියේ නො කොට හිඳ පියා, වී අවධියේ නො ලැබ්බ හැකි වියට හඬන්නා සේ එයි ත් එක් දරු පෙමක් සේ සිතාගෙන සොහොන්හි හඬා ඇවිද්දී. මට මේ සා මහත් හානියක් කළ තැනැත්තවුනට මෙ විතරෙක් මඳ, තවත් මුසුප්පු උපදව මි’යි මට්ටකුණ්ඩලී වෙස මවා ගෙන සොහොන් බිම කරා ගොසින් අත හිස තබා ගෙන වැත්තෑ දන්නට ආ නෑ කෙනකුන් මෙන් හඬ හඬා සිටියේය. බමුණානෝ හඬන්නාවූ ඔහු දැක ‘මම වන්නා දරු ශෝකයෙන් හඬමි. මූ කුමට හඬන නියා දෝ හෝ’යි චුල්ලධනුග්ගහ ජාතකයෙහි දෙ මව් පියන් ගෙන්වා පාවා දෙවාලූ සමණන් සොරකු දැක ඌ කෙරෙහි ආලයෙන් ඌ ලවා සමණන් මරවා උන් ගෙනු ත් නො ව, පසු ව සොරුගෙනුත් නොව, ඒ හැම තබා පළන් අභරණින් හා හන් පිළියෙනු ත් නො වතු ව කැළයක් යට හිඳ තමාම වෙහෙසන්ට කැණහිල් වෙසක් මවා ගෙන ආ ශක්‍රයන් හා ලජ්ජා නැතිව ශෝක කාරණ විචාරා කථා කළ ස්ත්‍රිය මෙන් තමන්ගේ ශෝක කාරණ තිබි ය දී විචාරනු නිසා උන් කරා ගොසින් ‘සකල ශරීරයෙහි සඳුන් කල්ක තවරා ගෙන සව් බරණ ලා සැරහී මල් පැළඳ මට්ටකුණ්ඩලී ලෙසින් අවුත් මේ වල් මැද අත හිස තබා ගෙන හඬව. මම වන්නා දරු ශෝකයෙන් හඬමි. තෙපි කුමක් නිසා හඬා දැ’යි විචාළෝ ය. මට්ටකුණ්ඩලී ඒ අසා ‘මාගේ රථ මැදිරියෙක් ඇත. ඒ තෙමේ ත් ගන රන් මුවාය. ඊට නිසි වූ සක් සඟළෙක් නොලැබෙමි. ලදොත් ජීවත්වන්නා මුත් නො ලදොත් ජීවිතය හරිමි’යි කියා ශෝකහරවන්ට කාරණ වූ ශෝක කාර ණ ය කී ය. ඒ අසා බමුණානෝ පුතණුවන් මිය යා දීම ත්‍යාග අදහස බලවත්වූ වාසේ ‘ළදරුවාණෙනි, තොප ඉල්වන සක් සහළ මාගේ සම්පත් බොහෝ ඇති බැවින් රත්රනින් වුව ත් රිදියෙන් වුව ත් මුතු මැණික් ආදියෙන් වුවත් තොප කියා ලූ තරමෙක කරවා දෙමි වුව මනා තරමක් කියව’ යි බත් පමණකින් හා යන්තම් මිලය කින් කරවා දී ලිය නො හී කුණ්ඩලාභරණ ය තුමූ ම කොට දුන් තැනැත්තෝ ‘සත් රුවනින් සක් සඟළක් කරවා දෙමි’යි කි වු ය. ඒ අසා මට්ටකුණ්ඩලී දෙව් පුත් ‘මේ තෙමේ තමා ගේ පුතුට බෙහෙත් පමණක් වුව මනා ලෙස නොකරවා පැන් වත් කළමනා ගසට හුණු පැන් වත් කරන්නා සේ නො බෙහෙද් බෙහෙත් කොට මරා තබා ලා දැන් පුතණුවන් සැටියේ ආ මා කී දෙයක් කරවා දෙමි’යි කිය යි. තරයේ ම මූ චකිත කරවා ලමි. කෙසා විතර සක් සහලක් කරවා දෙව් දැ’යි විචාළහ. ‘තොප කී විතරෙකැ’යි කී කල්හි මාගේ රථමැදිරිය[5] ගනරන් මුවාය. එ සේ හෙයින් ඊට තරම් වතොත් හිර හා සඳ ය. ඒ දෙක සම්භ වී නම් ගමන් බලා ලූ කලට ජවන හංස ජාතකයෙහි හංසරාජ ව උපන් බෝ සතුන්ට කිසි විටෙක පසු බට ත් සෙස්සවුන්ට පසු බැස්මක් නැති හෙයින් ඉතා බලවත. එ සේ හෙයින් හිර හා සඳ සම්භ වී නම් ඒ මාගේ රථ ය හොබ්බී. සෙසු සක්වලින් ප්‍රයෝජන නැතැ’යි කිව.
බමුණු ඒ අසා ‘ළදරුව, තෝ ඉතා ම නුවණ නැත්තෙහි ය. පැතුව මනා දෙය තබා පොල් ගසින් තල් පක් පතන්නා සේ, ගින්නෙන් සිහිල පතන්නා සේ, අකුසලින් සැපත් පතන්නා සේ, නො පැතුව මනා දෙය පතහි. තා හඬා මියත ත් ඒ දෙක ලබන්ට බැරි ය’යි කිවු ය. ඒ අසා මට්ටකුණ්ඩලී දෙව් පුත් ‘බමුණානෙනි, තෙපි මා නුවණ නැතැ යි කිය ව. හැඬීමෙන්
තොප ත් මා ත් සරි පසු නුවණ ඇත්තවුන් නැත්තවුන් වේ ද තේරුව මනා. යම් කෙනෙක් යමක් දැක ඒ ලබන්ට හඬත් නම් ඌ නුවණ නැත්තෝ ද? නොහොත් නො දක්නා දෙයට හඬන්නෝ නුවණ ඇත්තෝ ද? ඒ දෙ පක්ෂයෙන් නුවණ නැත්තවුන් තෝර ලා තව ත් සිතට නො නැංගොත් හඬව’යි කී ය. ඒ අසා බමුණානෝ කියා ලූ කාරණ සාක්‍ෂාත් කාරණ හෙයින් තුමූත් සලකා පියා ‘ළදරුවාණෙනි, තොප කියන්නේ යුක්ති ය. තොප කීවා සේ පෙනෙන හිර සඳ ඉල්වව. පෙනෙන දෙය ඉල්වන හෙයින් තොප ගේ අඥාන කමෙක් නැත. මම මිය පර ලොව ගිය පුතණුවන් අරභයා හඬමි. හඬන පමණකින් ඇසින් වැගිරෙන කඳුලු දකු ත් මුත් උන් දක්නට නැත. මා දිවිහිමියෙන් හඬා ඇවිදිත ත් ඒ උන් දක්නට නැත. නිෂ්ප්‍රයෝජන වූ හඬ හඬන්නා වූ මට වඩා නුවණ නැත්තෝ නැත. මූ මා ගේ ශෝක හර වන නියා කීවෝ වනැ’යි සිතා උන්ගේ බසින් ශෝක හැර උන් ගේ ගුණ කියන්නාහු:-
“ආදිත්තං වත මං සන්තං - ඝතසිත්තං ව පාවකං,
වාරිනා විය ඔසිඤ්චං - සබ්බං නිබ්බාපයෙ දරං
අබ්බහී වත මෙ සල්ලං - සොකං හදය නිස්සිතං,
යො මෙ සොකපරෙතස්ස – පුත්තසොකං අපානුදි
ස්වාහං අබ්බූළ්හසල්ලො’ස්මි - සිතිභූතොස්මි නිබ්බුතො,
න සොවාමි න රොදාමි - තව සුත්‍වන මාණව.”
යනු හෙයින් ළදරුවාණෙනි, යම් සේ මහත් ව ඇවිලෙන ගින්නක් දැක සත්පුරුෂ කෙනෙක් මේ ගිනි මෙ සේ ඇවිළ ඇවිළ තිබී ලා ගම්වල ගෙවල වැද ගෙන ගම් ගෙවල් දවා පියා නමුත් බල බලා යාම තරම් නො වන්නේ වේ දැ යි පැනක් හිස නිවා පිය ත් ද එ පරිද්දෙන් මා ගේ සන්තානයෙහි දරු සෝක නැමැති ගින්න වැද ගෙන අදහස් නමැති ගම් ගෙවල් දවනුවා තෙපි තොප ගේ අනුශාසනා නැමැති පැනින් නිවා පූව. නැවත ශොක නැමැති ශරයෙන් විත් කා පු මා තෙපි තොප ගේ නුවණ නැමති අතින් සෙමෙන් සෙමෙන් ශෝක ශර ය හරා පියා අනුශාසනා නැමැති බෙහෙදින් අදහස් නමැති සැර පහරට බෙහෙත් කොට සුව කළව. එසේ හෙයින් තොප ගේ මාලු කම පිහිටා මෙ වක් පටන් දරු සෝක නො කෙරෙමි. වියොග ය සරි වුව ත් උන් ශෝක නොකරණ කල මා කරණ ශෝකයෙන් වන්නේ ගරීර ය වියැළෙන පමණෙක; කථාව කරණ කල කාරණ නො සැළකෙත ත් පසු ව සලකන කලට නුවණැත්තවුන්ට යහපත් ව හැඟෙ යි. මට ත් අනුශාසනා අසා හැම ම සැලකිණ. යම් කෙනෙක් පෙර පුරුදු කමක් නැති ව අමුතු ව ලා සහායක් වූ නම් උන් හැඳින්න මැනව එ සේ හෙයින් ‘තෙපි කවුරු දැ’යි විචාළෝ ය. ඒ අසා දෙවතාවාණෝ ‘යම් කෙනෙකුන් අරභයා තෙපි භඬවු නම් ඒ තොප ගේ මළ පුතණු වෝ නම් මම ය. ගොසින් දෙව් ලොව උප නිමි’යි කිවුය. ඒ අසා බමුණානෝ ‘තොප මිය වෙන් වන තෙක් අප ගේ ගෙන් වෙන්වූ වා නැති. එ දෑතුරේ දනක් පීනක් කරන්නා නුදුටුම් හ. දෙව් ලොව උපන්නේ කුමන පින් කොට ද? තොප දෙව් ලොව උපදනා කල දෙව් ලොව නූපදනවුන් නැති නිසා වේ දැ’යි විචාළෝ ය.
ඒ අසා දෙවතාණෝ ‘මෙ තැනට අවුත් මා මෙතෙක් කථා කොට බමුණානෝ තුනුරුවන්හි පැහැද පින් කොට නොහොත් නම්, කළ පිට වට වැස්සෙන් කළය ඇතුළට ප්‍රයෝජන නැත්තා සේ මාගේ කථාවෙනුත් ප්‍රයෝජන නැත. කරන මේ කථාවෙන් මුන් ඇතුළු වූ සියල්ලන් සිත පහදවා ගත් පමණකින් දෙව් ලොව සැප ත් සිද්ධකරණ ලෙසට කියමී’ සිතා බමුණානෙනි, තොප කී වා සේ වැඩිමාලු ව සිටි තොපගෙන් එ ලෙස විධානයකු ත් නැති හෙයින් දානා දී වූ සෙසු පින් කමක් කට නුහුණුම් හ. එතෙකු දු වුවත් අහේතුක ප්‍රතිසන්ධික වූ බකමූණන් පවා සර්‍වඥ ප්‍රමුඛ භික්ෂු සඞ්ඝයා වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත් පමණකින් කල්ප ලක්ෂයක් දුගතියට නො ගොස් කෙළවර සොමනස්ස නම් පසේ බුදු වන කල ඒ චිත්ත ප්‍රසාද ය අපට කැල ම පිහිට වන්නේ වේ දැ යි මියන ආසන්නයෙහි පිල් කඩ[6]හොත්තා වූ මම බොහෝ දෙනාට දෙන දෙයක් තෝරා ලා එක් කෙණෙකුන්ට ම දෙවන කලක් පරිද්දෙන් මා ම කෙරෙහි කළ කරුණාවෙන් තැනට වැඩි බුදුන් දැක ඉඳුරා සිතක් ඇති කෙනෙකුන් දැක නො පහදින්ට බැරි හෙයින් සිත ඉඳුරා පහදවා චිත්ත ප්‍රසාද නමැති හිණින් දෙව් ලොවට නැංගෙමි’යි කිවු ය.
දෙවතාවාණන් කථා කෙරෙමින් සිටිය දී ම උන්ට පෙරැත්ත පමණකු ත් එ තෙක් උපකාර ඇත ත් නො කියා එන දවස දිරවා ගන්ට බල ඇති වන හෙයින් ආභස්සර බඹුන් ගේ බඹ
බොජුන් නුපුස්නා පමණ පුරා කා ගෙන සිතිවිල්ලට අවසර ගෙන ‘අනේ බුදුන්ගේ ආශ්චර්‍ය්‍ය තරමක[7] මහත. කළා වූ අනික් එක ද පින් කමක් නැති ව සිත් පහන් පමණකින් මේ සා මහත් දිව සැපතක් මුන් ලත් කල ඒ කුශල ම කවුරුන්ට ත් නපුරු නොවත පහන් සිත් ඇති ව මම ත් බුදුන් සරණ යෙමි’ සිතා තමන් සිතූ ලෙස දේවතාවාණන්ට කිවු ය. දෙවතාවාණෝ ද බතින් සාද විඳ සිටී ය වුන්ට බුලත් දෙවා සාදය නිමවන්නාසේ තමන් ගේ බසින් ශෝක ය හැර බුදුන් සරණ යන්නවුන්ට අඩු ව තුබූ අවවාදයකින් කියන්නෝ ‘බුදුනු ත් සරණ යව. නැවැත බුදුන් විසින් සම්භාවනී වූ ධර්‍මය ත් සරණ යව. තදාධාර වූ සඞ්ඝයා වහන්සේ ත් සරණ යව. මෙ සේ ත්‍රි විධ වෘත්තයට හකුල් වූ තිසරණ පිහිටා කාරුණික වීමෙන් ප්‍රාණ වධයෙන් වැළක අදත්තාදානයත් කාමමිථ්‍යාචාරයත් මෘෂාවාදයත් සුරාපානය ත් විෂ ඝොර සර්පයන් මෙන් සිතා ඉනු ත් දුරු ව පිළිවන් පිළිවන් ලෙසින් පින් කම් හැසිර වසව’යි අවවාද කොළෝ ය. බමුණානෝ ද දෙවතාවාණන් එ ලෙස කළ අවවාද බුදුන්ගේ අවවාද පිළිගැන්මට පූර්‍ව නිමිත්ත යා සේ පිළිගත්හ. දෙවතාවාණෝ මෙ සේ අවවාද කොට ලා තමන් ගේ දෙව් ලොවට ම ගියහ. බමුණානෝ ගෙට ගොසින් බැමිණියන් බණවා ලා “පින්වත, මහණ ගොයුම්හු පවරා ගෙනවුත් දන් වළඳවා ලා ප්‍රශ්න විචාරමි. දන් සරසව’ කියාලා සම්මත කොට ලා වෙහෙරට ගොසින් බුදුන් නො වැඳ ම සාදා සාමිචි[8] ලෙස කථා ත් නො කොට ම එකත් පස් ව සිට, “භවත් ගෞතමයෙනි, භික්ෂු සඞ්ඝයා හා සමග අද අප ගේ ආරාධනා නිසා අප ගේ ගෙයි දී වැළඳුව මැනව’යි කිවුය. බුදුහු ත් බොහෝ ප්‍රයෝජන සලකා ආරාධනාවේ අරුමයක් නැත ත් ඉවසා වදාළ සේක. බමුණානෝ බුදුන් ඉවසා වදාළ නියාව දැන වහා ගෙට ගොසින් නැත ක් දවස් නියඟ කොට තබාලා බිම තෙමා වස්නා මහ වැස්සක් මෙන් නැතක් කලක් ම තමන් කළ විරූ දෙයක් නො වන භෙයින් අරුම යක් සේ දෙන දන යහපත් කොට ම සැරහූ ය, බුදු රජුන් වහන්සේ ද නකත් තරු පිරිවරා නික්මුණු සඳ පරිද්දෙන් මහණ ගණා පිරිවරා බමුණානන් ගේ ගෙට වැඩ පනවන ලද බුදු හස්නෙහි යුගඳුරු මුදුනෙහි වොරජනා ළහිරු මඬලක් මෙන් වැඩහුන් සේකැ. භික්ෂු සඞ්ඝයා වහන්සේ ද රන් නැවක් මධ්‍ය කොට පිපී වැනී ගිය රත් නෙළුම් වනයක් මෙන් වැඩ හුන් සේක. බමුණානෝ ද බුදු පා මොක් සඞ්ඝයා වහන්සේ සිය අතින් සකස් කොට වැළඳ වූ ය. එ දවස් මිථ්‍යා දෘෂ්ටිකයන් ගෙනු ත් සම්‍යක් දෘෂ්ටිකයන් ගෙනු ත් බොහෝ දෙන රැස් වූ හ.
මේ දෙ පක්‍ෂයෙන් මිථ්‍යා දෘෂ්ටිකයෝ ‘මේ බමුණානන් ආරාධනා කොට ශ්‍රමණ භවත් ගෞතමයන් ගෙටම කෙළේ නම් හුදෙක් දන් දෙන්ට මතු නොවෙ යි. ප්‍රශ්න විචාරා වෙහෙස දෙන්නට ය. ශ්‍රමණ භවත් ගෞතමයන්ට වන සිලගු බලම්හ’යි රැස් වූ හ. සම්‍යක් දෘෂ්ටිකයෝ ද අද වූ කලී ‘මේ සම්‍යක් සම්බුද්ධ නැමැති සූර්‍ය්‍ය තෙමේ සැදැහැ නැති බමුණානන් ගේ මිථ්‍යාදෘෂ්ටි නැමැති අඳුරු හරවනු නිසා,දෙශනා නැමැති ආලෝකයත් ශරීරාලෝකයත් එක් කොට යහපත් පෑයක් ගන්නට වයිති හනන්නා සේ, අද ආලෝක දෙකක් විහිදුව යි. අපි ත් ගොසින් ඒ ආලෝකයෙන් කෙලෙස් අඳුරු දුරු කරම් හ. සර්‍වඥ විලාස නමැති රසාඤ්ජනය ඇස ගාම් හ’යි රැස් වූ හ. බමුණානෝ ද වළඳවා අන්තයෙහි බුදුන් කරා එළඹ මිටි හස්නෙක හිඳ ප්‍රශ්න විචාරන්ට පටන් ගත් හ. කෙ සේ ද යත්–
‘මහණ ගොයුමාණෙනි, සරලුවක්[9] පමණ කැඳ වේව යි, සැන් දක් පමණ බත් වේ ව යි, අන් කිසිවක් වේ වයි, තොපට වේ ව යි තොප ගේ සවුවන්ට වේව යි, දන් නොදී පේ ත් නොව බණ ත් නො අසා හුදක් තොප කෙරෙහි සිත් පහදවාගත් පමණකින් දෙව් ලොව ඉපැද දිව්‍ය සම්පත් ලබන්නෝ ඇත්ද යි විචාළහ. බුදු රජුන් වහන්සේ ඒ අසා වදාරා ‘බමුණ, හඳුනන මඟ යෙමින් සිට මං විචාරන්නා සේ මා අතින් කුමක් නිසා විචාරයි ද? තාගේ පුතු මට්ටකුණ්ඩලියා මා කෙරෙහි සිත් පහදවා එ පමණකින් තමා දිව්‍ය සම්පත් ලත් නියාව තට කීයේ වේ දැ’යි තමන් වහන්සේ දිව කනින් අසා වදාළ කටයුත්ත බමුණානන්ට වදාළ සේක. බමුණානෝ කථා කළ දේවතාවා මට්ටකුණ්ඩලී ලෙසින් ආ මුත් අනික් කෙණෙකුනැ යි සිතා ‘භවත් ගෞතමයෙනි, කවර දවසෙක අවුත් කොයි දී මා හා කථා කෙළේ දැ’යි විචාළහ. බුදුහු ඒ තෝරා වදාරණ සේක් ‘යම් දවසෙක තෝ සොහොනේ හඬ හඬා සිටියේ ආභරණ ලා මල් පැළඳ මට්ටකුණ්ඩලී ලෙසින් සොහොන ළඟට අවුත් හඬ හඬා සිටි එකකු දැක ඔහු අතින් ශෝක කාරණ විචාළේ වේ ද? තා පුත් මට්ටකුණ්ඩලියා නම් ඒ ය’යි හඟවන පිණිස මේ මට්ටකුණ්ඩලී වස්තුව වදාළ සේක.
ලියන්නන් ලියාලූ පත් කඩෙහි රජ්ජුරුවන් ලූ ඔප්පුව නිසා ඒ තෙමේ සන්හස් වී ද, එ පරිද්දෙන් මේ වස්තුව ත් බුද්ධ භාසිත නම් වී ය යි මෙ සේ මට්ටකුණ්ඩලී වස්තුව වදාරා ලා, ‘හෙම්බල බමුණ, අසන දෙයටත් වඩා දුටු දෙය ප්‍රත්‍යක්ෂ ය. එතෙකුදු වුව ත් අත් දුටු බෙහෙත් තිබිය දී ඔබ්බේ බෙහෙත් විචාරන්නා සේ ම මා අතිනු ත් විචාරනු, පසු මා කෙරෙහි සිත් පහදවා දෙව් ලොව උපන්නවුන් සිය ගණනිනු ත් දහස් ගණනිනුත් ලක්ෂ ගණනිනුත් නියම කරන්ට බැරිය. අසඞ්ඛ්‍ය ගණනට ඇති හෙයිනැ’යි වදාළ සේක. ඒ අසා ආර්‍ය්‍යයන් හැර සෙස්සෝ මුළුල්ලම ‘මේ කිම් දැ’යි බුදුන් ගේ තරම නො දැන නොහදහන්ට වන් හ. උන් හැම දෙනා ගේ නො හැදහිල්ල හරවන නිසා ත් දෙස් කීව වුන්ට දෙන අත්ලසක් සේ උන්ට ලොවුතුරා සම්පත් දෙවනු නිසා ත් ‘මට්ටකුණ්ඩලී දෙවි පුත් තමා ගේ දිව සැපතින් පිරුණු මාළිගාව හා සමඟ එව’යි සිතා වදාළ සේක. බුදුන් එ සේ සිතා වදාළ සිතිවිල්ලහා සමඟ ම දෙව් බරණින් සැරහුණා වූ තුන් ගවු පමණ අත් බැවින් අවුත් විමනින් බැස පියා බුදුන් වැඳ එකත් පස් ව සිටියේ ය. බුදුහු දෙස් කියවන්නා සේ ඔහු ලවා කියවා ඔහු ලත් සම්පත ත් පෑ සැක ත් හරවනු පිණිස ‘දෙවතාව, කුමන පින් කමක් කොට මේ දිව සැපත් ලද දැ’යි විචාළසේක. දෙවතාවා ද ‘අනික් පින් කමක් නොදනිමි. නුඹ වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් පින්කමින. එයි ත් ලඝු පින් කමක් නො වන හෙයින් මේ සම්පත් ලදිමි’යි බොහෝ දෙනාට අස්වා කිවු ය.
බොහෝ දෙනා දිව්‍යපුත්‍රයා ත් ඔහු ගේ සම්පතත් දැක ‘අනේ බුදුන් ගේ පින් කෙත් ලෙසක් ඉතා විස්ම ය නියා ය. අනික් පින් කමක් නො කළ මට්ටකුණ්ඩලියා පවා බුදුන් කෙරෙහි සිත් පහදවා ගත් පමණකින් මේ සා සම්පත් ලැබ පී ල’යි සතුටු ව පින් කම් කිරීමෙහි උත්සාහ ඇති වූ හ. බුදුහු යම් සේ රජ්ජුරු කෙනෙක් මහ සම්පත් යමෙකුට දෙන කල තමන් ගේ තෑගි කම දක්වනු නිසා සම්පත් වට්ටෝරුවක් කරවා ලා දෙන සම්පත් මෙතෙකැ යි වට්ටෝරුව කියවා ලා දෙත් ද, එ පරිද්දෙන් ම එ තැනට පැමිණි පිරිසට ත් බමුණානන්ට ත් දේවතාවන්ට ත් නිවන් සම්පත් දෙනු නිසා බණ දෙසන සේක් ‘හෙම්බල බමුණ, යම් සේ සියලු පවෙහි ම හැසිරෙන්නවුන්ට යම් සේ සිය ගණනිනු ත් එක් ව සොර කම කරන කල එක් ව කරණ සොර කමින් සරි වුව ත් එක් කෙණෙකුන්ට සොර දෙටුවා ය යි ප්‍රධාන කොට කියා ගන්නා සේ අකුසල් සිත පෙරදැරි වේද එ සේම සියලු ම පින් කම් හැසිරෙන්නවුන්ට එක් ව කෙතෙක් දෙනා පින් කම් කරතත් එක් කෙණකුන් ඊට මුල් වන්නා සේ කුසල් සිත ම මුල් වෙයි.
යම් සේ ප්‍රධාන වූ අකුසල් සිතින් කළ අකුශල ය ගැළ යොදා ගත් ගොන් ගිය ගිය සේ උන් පයට ගැල් සක් ළං වේද, එ මෙන් පහන් සිතින් කළ කුශලය ත් තමා ගේ ඡායාව තමා හැර නො පවත්නා සේ අනුව පවත්ති. අත් නො හරනේ ය. රහත් වීමෙන් වඳ නො වී නම් පිළිසිඳ[10] දෙන්ට නිසි කුශලයක් සුගති භූමියෙහි පිළිසිඳ දී ප්‍රවෘත්ති විපාක දායක කුශල ය ඇස නො වන බිජුවටක් පැළ නැඟී මුත් නො නවත්නා සේ ප්‍රවෘත්ති විපාක දී මුත් නො නවත්ති. එ සේ හෙයින් සියලු ම පින් කමට ප්‍රධාන වූ සිත පහදවා පින් කරව’යි වදාරා මේ දේශනාව නිම වූ සේක.
දේශනාව කෙළවර සුවාසූ දහසක් දෙන ධර්‍මස්කන්ධ ගණනින් අමා මහ නිවනට පැමිණිය හ. මට්ටකුණ්ඩලී දෙව් පුත් දහසක් නය නමැති රුවන් ඔබා කළ සෝවාන් ඵල නැමැති මිණි කොඩොල් ලා සැරහිණ. ත්‍යාග අදහස් මඳකුත් ඒ අවධියට නැති අදින්න පුබ්බක නම් බමුණු ද සෝවාන් පෙලෙහි පිහිටා ත්‍යාගි වී ය. ඔහු ගේ සම්පත් ද නළපාන ජාතකයෙහි වඳුරු ව උපන් බෝසතුන් ගේ උපදෙසින් රාක්‍ෂස පරිගෘහිත විල පැන් අසූ දහසක් වඳුරන්ට ප්‍රයෝජන වූවා සේ බුදු සස්නට ම ප්‍රයෝජන වී ය. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් සද්ධර්‍ම රත්නාවලී නමැති කැට පතින් සදහම් නමැති මූණු බලා ශීල-සමෘධ්‍යාදී ගුණ ශෝභාවෙන් හොබනේ මැනවි.