තව ද මඳකු ත් භයක් නැති සඟ සතු කෙත් වත් ආදි වූ ස්ථාවර වස්තුවක් වේව යි පාත්‍ර චීවරාදියක් වේව යි යටත් පිරි සෙයින් වහන්දෑ සන්තක බත් වුවත් සඞ්ඝ ලාභයට යම් කෙනෙක් අලාභ කෙරෙත් නම් බුදුන් සන්තකයට ත් අලාභ කෙරෙ ත් නම් උන්ට වන හානි ය දක්වන්ට කාකප්‍රේත වස්තුව ත් අභිප්‍රේත වස්තුව ත් දෙක කියමු.
කෙ සේ ද යත්-
එක් දවසක් උරුවෙල් කසුප් ආදි තුන් බෑ තෙරුන් වහන්සේගේ දුළුලු දහසට ඇතුළත් වූ ආයු බොහෝ වූ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ හා බුදුන්ට වම ත් සවු වූ මුගලන් මහ තෙරුන් වහන්සේ හා දෙ දෙනා වහන්සේ රජගහා නුවර සිඟම්හ යි ගිජුකුළු පවුවෙන් බස්නා සේක. ඒ දෙ දෙනා වහන්සේ ගෙන් මුගලන් මහ තෙරුන් වහන්සේ එක් කාක ප්‍රේතයකු ගිජුකුළු පවු මුඳුනෙහි ගිනි කඳක් සේ පැසෙන්නාහු දැක ඔහු කළ පව් විචාරන සේක් ‘හෙම්බල ප්‍රේතය, තාගේ දිව විසි ගවුවක් විතර ය. හිස මහතස තිස් ගවුවක් විතර ය. තා ගේ බඳ දිග ත් ගවු සියයක් විතර ය. කෙ සේ වූ පවක් කොට මේ සා දුකකට පැමිණියෙහි දැ’යි විචාළ සේක.
ඒ අසා කාක ප්‍රේතයා තමා කළ පවු කියන්නේ ‘ස්වාමීනි, ගිය දවස කසුප් බුදුන් සමයෙහි බොහෝ වහන්දෑ එක් ගමකට සිඟා වැඩි සේක. එ ගම මිනිස්සු අසුර යුද්ධයට සැරහී ආ දෙවතා සමූහයක් සේ කෙලෙස් සතුරන් හා සටනට සිල් නමැති සන්නාහ ලා නිරන්තරයෙන් සැරහී සිටිනා ඒ වහන්දෑ දැක පැහැද අසුන් හල වඩා හිඳුවා ලා කැඳ ඉදි කරවා කැඳ අවුළු පත් වළඳ වා ලා වහන්දෑගේ පා සෝධා පියා පාවල තෙල් ගල්වා දන් උදවු වන තෙක් බණ අසා හිඳ ලා වේලාසන්නයෙහි පාත්‍ර හැර ගෙන තම තමන්ගේ ගෙවල දී නොඑක් අග්‍ර රසයෙන් යුත් බත් පුරා ලා පිළිගන්වන්ට ගෙන යෙති.
එ කල මම කවුඩු ව ඉපැද අසුන් හල පළ ය පිට හුන්නෙම් ඒ ගෙනෙමින් සිටි බත් දැක කෑ කල වන ආදීනව ය තිරිසන් හෙයින් නො දැන එක් කෙනෙකුන් ගෙනෙන පාත්‍රයෙන් කට ත් පුරා පවුත් පුරා අදහස පිරෙන්ට නැත ත් බත් තුන් කටක් විතර හැර ගෙන කෑමි. එ බතත් වැළිත් තව පිළිගන්වන්ට නු වූ හෙයින් වහන්දෑ සන්තක ත් නො වෙයි. නියම කොට වෙන වෙන ම පිළිගන් වා පූයේ ත් නැත. පාත්‍ර ය පුරා ගෙන ගිය බත් හෙයින් මා කාපු බත් තුන් කට නම් වළඳා ඉතිරි කලට ගෙනාව උන් ම තම තමන්ගේ ගෙවලට ගෙන ගොසින් කන්ට ත් ඇත. හුදෙක් වහන්දෑට පිරිනැමී ගිය පමණෙක. වහන්දෑ සන්තක ගමක් බිමක් හැර ගත්තෙ ත් නැත. ගසක් කොළක් හැර ගත් තෙත් නැත. වාලක් සරකක් හැර ගත්තෙ ත් නැත. සෙසු කිසිවක් හැර ගත්තෙ ත් නැත. වළඳා ත් ඉතිරි වන බතින් තුන් කටක් කාපු පමණෙක. ඒ තුන් කට කා ලා පුරා අන්තඃ කල්පයට ආයු ඇති අවීචියෙහි ඉපැද එහි ආයු පමණින් පැසී පියා තව කර්‍ම ය නො ගෙවුණු හෙයින් දැන් මේ ගිජු කුළු පව්වෙහි කාක ප්‍රේත ව ඉපැද මේ දුක් විඳිමි’යි කී ය.
මේ කාක ප්‍රේත යා කළ පව් ය.