තව ද කුල මාත්සර්‍ය්‍යාදියෙහි ආදීනව දක්වනු සඳහා ජම්බුකා ජීවක වස්තුව කියමු.
කෙ සේ ද යත් -
යට ගිය දවස කසුප් බුදුන් සමයෙහි එක් ගමෙක හිඳිනා කෙළෙඹියාණ කෙනෙක් එක් තෙර කෙනකුන් වහන්සේට විහාරයක් කොට දී ලා එහි වසන තෙරුන් වහන්සේට සිවු පසයෙන් උපස්ථාන කෙරෙති. තෙරුන් වහන්සේ එක් වන් උන්ගේ ගෙයි දී වළඳන සේක. එක් රහත් කෙනකුන් වහන්සේ වේලා ආසන්නයෙහි උන්ගේ ගෙට සිඟා වැඩි සේක. කෙළෙඹියාණෝ ඔබ දැක ඔබගේ ඉරියවුවෙහි ම පැහැද ගෙට වඩා ගෙන ගොසින් මධුරාහාර ය සකස් කොට වළඳවා ලා ‘ස්වාමීනි, මාගේ මේ හිණකඩින් සිවුරක් කොට ගෙන රඳා වැළැන්ද මැනවැ’යි සිවුරට සෑහෙන තරම් කඩකු ත් පිළිගන්වා ලා ‘ස්වාමීනි, නුඹ වහන්සේගේ හිස කේ දිග, හිසකේ බාන්ට කරනැවෑමියකු කැඳවා ගෙන විහාරයට එමි. නැවත සැතපෙන්ට හැඳකු ත් ගෙන්වා ගෙන එමී’ කිවු ය.
එක්වන් උන්ගේ ගෙයි දී වළඳන තෙරුන් වහන්සේ උපාසකයන් කොට ලූ සාදය ත් කියා ලූ සාදය ත් දැක ත් අසා ත් සිත පහදවා ගත නුහුණු සේක් ‘මූ මේ ඇසිල්ලෙහි දුටු තැනට මේ තරම් සාදයක් කෙරෙති. තමන්ගේ ම විහාරයෙහි රඳා තමන් ගෙන් ම උපස්ථාන විඳිනා අපට බත් අරුමයකින් හිඳිනා සේ අමුත්තක් නැත්තෝ ය’යි සිතා ගෙන වසන විහාරයට ගිය සේක. රහතන් වහන්සේ ත් උපාසකයන්ගේ ආරාධනාවෙන් උන්වහන්සේ හා කැටි ව ම ගොසින් සිවුරු කොට රඳා ගෙන වැළඳ ගත් සේක. කෙළෙඹියාණෝ ද කරනැවෑමියා කැඳවා ගෙන ගොසින් රහතන් වහන්සේගේ හිස කේ බාවා පියා හැඳක් අතුට ලා ස්වාමීනි, තෙල, හැඳ සැතැපුණ මැනැවැ’යි කියා ලා දෙ දෙනා වහන්සේට ම සෙට දවසට ආරාධනා කොට ලා ගියෝ ය.
නෙවාසික නම ත් එක් කොට කළ ආරාධනාව ත් තමන් වහන්සේ පමණකට නො ව ඔබට ත් කළ හෙයින් එයි ත් ඉවසා ගත නුහුණු සේක. සවස් වේලෙහි රහතන් වහන්සේ සැතපුණු තැනට ගොසින් ලා ‘ආගන්තුකයාණෙනි, තොප අපගේ උපාසක යන් ගෙන් දෙන බත් අනුභව කිරීම් බලා ත් අමෙද්ධ්‍යානූභව ය යහපත. උන් කැඳවා ගෙන ආ කරණැවෑමියා ලවා හිස කේ බෑවීමට වඩා තල් ඇටින් හිස කේ උදුරා පී ම යහපත. උපාසක යන් දුන් සිවුරු වළඳිනා ගමන් උපන් වනින් ම ඇවිදීම යහපත. උපාසකයන් ගෙනා හැඳ හිඳීම් විතරට බිම හෙවීම යහපතැ’යි රහතන්ට තබා දෘෂ්ටිගතික කෙනකුන්ට වුව ත් නො බණන තරමේ මේ සතර කියා බිණුදෑ ය. රහත් තෙරුන් වහන්සේ ත් මේ කාළකණ්ණි තැනැත්තන් බල බලා ත් මා නිසා නො නටමනා දැ’යි කළ ආරාධනාව ත් හැර උදාසන ම වැඩ පී සේක.
නේවාසික වහන්සේද වේලා පස ම වෙහෙර වත් සපයා ලා සිඟා යන වේලෙහි ‘තව දක්වා ත් ආගන්තුකයාණන් නිඳන නියා වේ ද? ගෙඩි ය ගසා ලූ හඬ අසා පුබුදිත් නමුත් ය’යි ගැසූයේ ය’යි පමණට නිය පිටින් ගෙඩි ය ගසා ලා හීන කාලයෙක උපන්නවුන්ට ත් ඇති වන්ට නො තරම් කුණු අදහස් ඇති ව සිඟා ගමට වන්දෑ ය. කෙළෙඹියාණෝ ද දන් සරහා ලා පෙර මහ බල බලා හුන්නෝ ගුණෙන් අතැන් වැසි වූ තැන් වැසි නම දැක ‘ස්වාමීනි, අනික් ස්වාමි කොයි දැ’යි විචාළෝ ය. තැන්වැසි නම ඒ අසා ‘උපාසකයෙනි, කුමක් කියවුද? තොපගේ කුලුපගයාණෝ ඊයේ තොප නැගී එන්නා ම ගබඩාවට වැද ලා නිදන්ට පටන් ගත් තැනැත්තෝ උදාසන පටන් විහාරය හමඳනා හඬත් බොන පැන් නහන පැන් තබන වළඳ පැන් වත් කරණ හඬත් සිඟා එන වේලෙහි ගෙඩි ය ගසා ලූ හඬ ත්, පරමත් ව නිඳන හෙයින් නො දනිති. අපි උදාසනම කළ මනා වත් සපයා ලා නැඟී ආම්හ’යි කී දෑ ය.
උපාසකයෝ ඒ අසා තමන් සැදෑ මතු නො ව නුවණ ත් ඇති හෙයින් ‘මෙ බඳු සන්හුන් පියොවක් ඇති ස්වාමීන් මේ වේලා වනතුරු නිදන්ට කාරණ නැත. මා ඔබ කෙරෙහි ආවෙණික මමායන ය ඇති නියා ව දැන ලා ලාභ-දෙභාග වෙතී යන නපුරු අදහසින් මුන් වහන්සේ කියා ලූ දෙයක් ඇති නියා ය’යි සිතා ගෙන සිත කෙ සේ නො සකස් වුවත් සකස් කොට වළඳ වා ලා පාත්‍ර ය යහපත් කොට සෝධා පියා නො එක් අග්‍ර රසයෙන් යුත් බත පුරා ලා ‘ස්වාමීනි, ඉදින් ඔබ දුටො ත් තෙල බත් පිළිගන්වා ලුව මැනැවැ’යි කිවු ය. ඒ වහන්සේ ද ඒ හැර ගෙන ‘ඉදින් ඌ තුමූ මෙවෙනි බත අනුභව කොළෝ වූ නම් මෙ තැන රඳා ගෙන නො යෙති. උපාසකයෝ ත් ගුණ ප්‍රසන්න හෙයින් රඳවා ගෙන උපස්ථාන කෙරෙති. එ සේ කලට මා ගේ මෙ තැන වාස ය වේ හෝ ය, නොවේ හෝ ය. එ ලෙසක් නො වන ලෙස කෙරෙමි’යි අතුරු මඟ දී ඒ බත් දමා පියා වෙහෙරට ගොසින් විහාර ය මුළුල්ල ම බලා ත් රහතන් වහන්සේ නුදුටුයේ ය.
ඌ තුමූ මේ අකුසල ය නිසා විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කළ මහණ ධම් රැක ලිය නුහුණ. ආයු කෙළවර අවීචියෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පැසී මේ බුදුන් සමයෙහි රජ ගහා නුවර එක් බොහෝ බත් පැන් ඇති කෙනකුන් ගේ ගෙයි උපන්හ.
පියවර ඔසවා ඇවිදින තැන් පටන් ඇඳෙක වැද හෝනට ත් බත් කන්ට ත් නො කැමැත්තෝ ය. තමන්ගේ මුවා පස ම බතට අනුභව කෙරෙති. බාල ගෙයින් නො දැන කෙරෙති සිතා උන් වඩත් මය. වැඩී ගත් කලත් පිළිත් නො හඳිති. බිම හොවිති. අත් පස ම කති. දෙමවුපියෝ ‘මූ අපට තරම් නො වෙති. පිළි නො හැඳ ඇවිදිනා නිවටුන්ට තරම්හ’යි උන් කරා ගොසින් ‘මුන් මහණ කළ මැනැවැ’යි කීහ. උයි ත් ස්වභාවයෙන් ම පිළි නො හඳිනා හෙයින් නො මැළි ව ම මහණ කළහ. මහණ කරණ ගමනේ ත් කරවටක් පමණ වළෙක සිටුවා ලා දෙ දසරුව මත්තෙහි පෝරු ලාගෙන ඊමත්තේ වැඩ හිඳ තල් ඇටින් හිසකේ උදුරා හළවු ය. ඉක් බිත්තෙන් උන්ගේ දෙ මවු පියෝ සෙටයට ආරාධනා කොට ලා ගියහ.
දෙවන දවස් ආජීවකයෝ ‘ගමට දන් කන්ට යම්හ, එව’යි කීහ. ‘මුඹ හැම ගිය මැනව. මම රඳමි’යි කියා නැවත නැවත කීව ත් නො යන හෙයින් හැර පියා ම ගියහ. උයි ත් උන් ගිය නියාව දැන අත් පස් වළ පුවරු උගුළුවා ලා බැස දෑතින් ම උකා ගෙන අත් පස් අනුභව කළහ. ආජීවකයෝ ඇතුළු ගමින් බතුත් එවූ හ. කො තැනට කන්ට ද? එයි ත් නො කැමැති ව පැරැත්ත බොහෝ වත් වත් ‘මම බතක් ලදිමි’ කියා කොයින් දැ යි විචාළ කල්හි මින් ම යයි කිවු ය. දෙ වන දවසු ත් තුන්වන දවසු ත් සතර වන දවසු ත් උන් හැම කෙ සේ තත්පර ව කැන්දූ වත් ‘මම මොබ රඳමි’යි කියා ලා රැඳුණවු ය.
ආජීවකයෝ සිතන්නාහු ‘දවස වස කැඳවුවත් ගමට එන්ට ත් මැළියෝ ය. අප එවූ බතු ත් නො කති. මුබින් ම බත් ලදිමි යි ත් කියති. කුමක් දෝ විමසම් හ’යි ගමට යන ගමනේ ඒ විමසනු නිසා එකකු දෙන්නකු රඳවා ලා ගියහ. ඌ එක් දෙ දෙන ත් අරුන් හැම හා කැටි ව යන බඳු ව ගොසින් ලා සැඟවි සිටියහ. උයි ත් උන් හැම ම ගියහ යි සිතා ආදි ලෙසින් වැසි කිළියට බැස අත් පස හැර ගෙන කර්‍මානුරූප ව අනුභව කළහ. විමසනට සිටියාහු එ දැක ආජීවකයන්ට කීහ. ආජීවකයෝ ඒ අසා ‘මූගේ කටයුත්ත නො කට යුතු වත් මුත් කට යුත්තෙක් නො වෙයි. මහණ ගොයුම්හුගේ සවුවෝ දත්තු නම් ආජීවකයෝ අත් පස් කා ඇවිදිති’යි අපට අපකීර්ති පමුණුවති. මේ අපට තරම් එකෙක් නො වෙ’යි තමන් ලඟින් නෙරපූහ.
උයි ත් එතැනින් පලා ගොසින් බොහෝ දෙන අත් පසට යන එක් ගල් පොත්තෙක් ඇත. ඒ ගල් පොත්තේ ම මහත් වූ ගල් කෙමෙක් පැනින් පිරී සිට්ටි. ඌ එ තැනට ගොසින් රෑ දවස් අමෙද්ධ්‍යානුභව ය කොට ලා බොහෝ දෙන අත් පසට එන වේලාවට එක් පයක් ඔසවා අනෙක් පය දණ කෙරේ තබාගෙණ එක් අතකින් පය එල්බ ගෙන උඩු සුළඟට මූණ ලා සිට කට දල්වති. බොහෝ දෙන ඒ විකට ය දැක ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ කට දල්වාගෙන සිටිනේ කුමක් නිසාදැ’යි විචාරති. ‘මම හෙම්බා, සුළං අනුභව කෙරෙමි. අනික් මා අනුභව කරණ දෙයෙක් නැත’යි කිවු ය. ‘එ සේ කල එක් පයක් ඔසවා අනෙක් පය දණ තබා ගෙන සිටිනේ හැයි දැ’යි විචාළෝ ය. ‘මම බලවත් වූ තපස් ඇත්තෙමි. මම දෙ පය ම සමයේ පොළොව තබා ලීම් නම් පොළොව ධරා ලිය නො හෙයි. එ හෙයින් සිටින ඉරියවුව විනා වැද හිඳීමක් වැද හෙවීමක් නැති හෙයින් එක් අතකින් පය එල්බ එ විතරකු ත් වුව මනා වේ දැ යි සිටිමී කිවු ය.
මිනිස්සු නම් බොහෝ සේ කොහොන්[1] කමෙහි පහදනා හෙයින් ඒ අසා ‘ඉතා ආශ්චර්‍ය්‍ය ය. මෙ සේ වූ තපසු ත් ඇති නියාව මෙතෙක් කල් අප දුටු විරූ නැතැ’යි අඟු රට-මගධ රට ඇත්තෝ ඉතා පැහැද ගොසින් මසින් මසට අවුත් මහත් සත්කාර එළවති. ‘මම සුළං මුත් අනිකක් අනුභව නො කෙරෙමි. මා දුක සේ රැක ගන්නා වූ තපස් නස්සි’යි කවුරුන් ගෙනා කුමකු ත් අනුභව නො කෙරෙති.
මිනිස්සු ත් ‘ස්වාමීනි,අප නො නැසුව මැනව. නොහොත් අපට පර ලොවින් වන වැඩ නො නැසුව මැනව. මුඹ වහන්සේ වැනි ගුණසම්පන්න තැන් අප ගෙනා දෙය අනුභව කළ කල අපට බොහෝ කලක් හිත සුව පිණිස වෙයි’ බොහෝ කොට පෙරැත්ත කියති. උන් හැම කෙ සේ කීව ත් අනුභව කරණ අමෙද්ධ්‍ය ය මුත් උන්ට අනික් දෙයකට රුචි නැත. එතකුදු වුවත් හැමගේ අදහස් මිරිකෙයි සිතා උන් හැම ගෙන ආ තෙල් උක් පැණි ආදි ය හී තණයක් අග ගලා ගෙන මඳක් දිවග ගාලා ‘තොපට පිණට මෙතෙක් සෑහෙයි යව’යි කියා සමු දී යවති. මෙ සේ මූ පස් පනස් හවුරුද්දක් පිළීත් නො හැඳ අමෙද්ධ්‍යානුභවය කෙරෙමින් නැඟි නැඟි සේ කෙස් උදුරුවමින් බිම වැද හෙව දවස් ගළවති.
බුදුවරුන් වහන්සේ අළුයම ලොව බැලීම නම් අත් නො හරනා දැයෙක. එ සේ හෙයින් එක් දවසක් අළුයම් වේලෙහි බුදුන් ලොව බලන කලට ජම්බුකාජීවකයෝ නුවණ දැළ ඇතුළේ පෙනුණ වු ය. බුදුහු ඕ හට වන්නේ කුමක් දෝ හෝ යි සලකා උන් පිළිසිඹියා සමඟ රහත් වන්ට නිසි පින් කළ නියාව දැන ‘මම මුන් මුල් ව එක් ගාථාවක් කියමි. ගාථාව කෙළවර සුවාසූ දහසක් දෙන නිවන් දකිති. මුන් නිසා බොහෝ දෙනාට ත් වැඩ වන්නේ ය’යි දෙ වන දවස් රජගහා නුවර සිඟා වළඳා අන්තයෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ‘ආනන්‍දයෙනි, ජම්බුකා ජීවකයන් ළඟට යම්හ’යි වදාළ සේක ‘ස්වාමීනි. කුමක් ද? මුඹ වහන්සේ ම ම වඩනා සේක් දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, අපි යම්හ’යි වදාරා ලා බුදුහු සෙවණ වඩන වෙලේ උන් ළඟට වඩනට නික්මුණු සේක.
දෙවියෝ ‘බුදුහු ජම්බුකාජීවකයන් ලඟට වඩනා සේක. ඌ ද වැළිත් අශුචින් ම ගැවසී ගත් හෙයින් ඉතා අපවිත්‍ර වූ ගල් පොත්තෙක හිඳිති. ගල් පොත්ත සෝධනු නිසා වැසි වස්වම් හ’ යි තමන්ගේ ආනුභාවයෙන් ඒ ඇසිල්ලෙහි වැසි වැස්වූහ. ගල තලත් සේ ධී ගොසින් ඉතා පවිත්‍ර වි ය. පවිත්‍ර වූ ගල තල මත්තෙහි මලස්නෙක මල් පුදන කලක් මෙන් පස් වනක් මල් වස්වාපීහ.
බුදුහු සවස් වේලෙහි එ තැනට වැඩ ‘ජම්බුකය’ යි හඬ ගා වදාළ සේක. මට ජම්බුක ය යි කියන්නෝ කවුරු දැ’යි සිතා ලා ‘කවුරු දැ’ යි කී ය. අනන්ත කාලයෙක මොළොක් කොට කීම පුරුදු හෙයින් මොළොකෙකින් ‘මම ය ජම්බුක ය’ යි වදාළ සේක. ‘කුමක් ද, මහණැ’ යි කී ය. ‘අද එක රැයට මා සැතපී ගන්ට අවසරයක් පෑ ලව’යි වදාළ සේක. ගල් පොත්ත කුඩා නොවත ත් තමා කරණ කටයුත්ත ප්‍රකාශ වෙයි යන සිතින් ‘මහණ, මෙ තැන අවසර නැතැ’යි කියා අවසර නැත්තා කොට කී ය. ‘ජම්බුකයෙනි, එසේ නො කරව. එක රැයක් ලැග පිය දෙව. පැවිදිවරු පැවිදිවරුන් කැමැති වෙති. මිනිස්සු තමන් සේ ම මිනිසුන් කැමැති වෙති. සිවු පාවෝ සිවු පාවන් කැමැති වෙති. තොප මා කැමැති නො වන්ට කාරණ කිම් දැ’ යි විචාළ සේක.
ජම්බුකයෝ ඒ අසා ‘තෙපි පැවිදි කෙනෙක් දැ’යි විචාළෝ ය එ සේ ය යි වදාළ කල්හි ‘ඉදින් තෙපි පැවිදි කෙනෙක් වූ නම් තොප ගේ කමණ්ඩා ව ත් කොයි ද? දුම් කෙණෙස්ස ත් කොයි ද? යාගසූත්‍රය ත් කොයි දැ’යි තමා දන්නා පැවිදි වරුන් ගේ ඒ හැම ඇති හෙයින් විචාළෝ ය. ‘හෙම්බල, ඒ හැම ම මට ඇති වෙන වෙන හැර ගෙන ඇවිදීම දුක් හෙයින් සිරුර අබතුරෙහි ලා ගෙන ඇවිදිමි’ වදාළ සේක. ‘තෙපි ත් මෙ හැම හැර ගෙන ඇවිදු දැ’යි කිපුනවු ය. බුදුහු අමුතු ව හඟවන සන්හුන් කමක් නො වන බැවින් සන්හිඳී ‘ජම්බුකයෙනි, නො කිපෙව. රෑ ව පියා ආ මා වසන තැනක් ම කියව’යි වදාළ සේක. පෙරළා ත් වසන තැන් නැතැයි කිවු ය. ඔහු වසන තැනට ආසන්නයෙහි ගල් තල්ලෙක් ඇත. බුදුහු ඒ පෑලා ‘ජම්බුක ය, තිලි හිඳින්නෝ කවුරු දැ’යි විචාළ සේක. ‘වසන කෙනෙක් නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් එ තැන මට දෙව’යි වදාළ සේක. ‘මහණ, තෝ ම දනැ’යි කී ය. බුදුහු ඒ ගල් තල්ලේ හිඳිනා කඩ ලා ලා වැඩ හුන් සේක.
පෙර යම් වේලේ සතර වරම් මහ රජ දරුවෝ ශරීරාලෝකයෙන් බබළමින් සතර දිගින් බුදුන් දක්නට අවු ය. ජම්බුකයෝ රාත්‍රි වේලේ සඳ පානකු ත් නො ව මහා ආලෝක ය දැක මේ කෙ සේ වූ ආලෝකයක් දැ යිසිතූ ය. මධ්‍යම රාත්‍රි වේලේ දස දික් බබුළුවමින් සක් දෙවිඳු අවු ය. ජම්බුකයෝ උනු ත් දැක කවුරු දෝ හෝයි සිතූ ය. අළු යම් වේලේ එක් ඇඟිල්ලකින් එක් සක් වළක් හා ඇඟිලි දෙකකින් සක් වළ දෙකක් හා දස ඇඟිල්ලෙන් දස සක් වළක් බබුළුවන්ට තරම් ආනුභාව ය ඇති මහ බඹහු වන ය බබුළුවමින් අවු ය. ජම්බුකයෝ උනු ත් දැක කවුරු දෝ හෝ යි සිතා උදාසන ම බුදුන් කරා ගොසින් සාද සාමීචි කොට ලා එකත් පස් ව සිට ‘මහණ, පෙර යම සතර දිඟුන් බබුළු වමින් තොප කරා ආ සතර දෙන කවුරු දැ’ යි විචාරා, වරම් රජුන් නියා ව වදාළ කල්හි කුමට අවුදැ යි විචාරා තමන් වහන්සේ දක්නට ආ නියා ව වදාළ කල්හි ‘කුමක් ද? තෙපි සතර වරමුන්ට ත් වඩු දැ’යි විචාළහ.
‘එසේ ය, බුදු වූ කල තබා මා බුදු වන්ට ය යි දෙව් ලොවින් චුත ව මවු කුස පිළිසිඳ ගත් තැන් පටන් මවු කුසින් බිහි වන තෙක් මුන් සතර දෙනා ශ්‍රී යහන් ගබඩාවේ සතර මුල්ලේ කඩු හැර ගෙන රකවල සිටි හෙයින් හා දස දහසක් සක් වළ ගල සතළිස් දහසක් වරමුන් ගබඩාවේ එළිපත පටන් සක් වළ ගල දක්වා රකවල් ගත් හෙයින් ද මම උන්ට වඩිමි’ යි වදාළ සේක. ‘මධ්‍යම රාත්‍රි වේලෙහි ආ තැනැත්තෝ කවුරු දැ’ යි විචාරා සක් දෙවිඳු ය යි වදාළ කල්හි කුමකට අවුදැ යි විචාරා දක්නට ය යි වදාළ කල්හි තොප ශක්‍රයන්ට ත් වඬනා නියා දැ’යි විචාළහ. ‘එ සේ ය. ජම්බුකය, ඒ ඒ බුදු මඟුලෙහි මට සක පිඹ සිටි හෙයිනු ත් මා ලෙඩ දුක් විටෙක කැප කරු හෙරණ කෙනකුන් මෙන් මා බලා ලන හෙයිනු ත් මම උන්ට ත් වඩිමි’යි වදාළ සේක. ‘පාන්දර වේලේ සියලු වන ය බබුළුවා ගෙන ආ තැනැත්තෝ කවුරු දැ’යි විචාරා “මෙ ලොව බමුණු ආදීහු කිඹිස පියා ත් ‘මහාබ්‍රහ්මයා වඳුම් හ’යි යමක්හට කිය ත් නම් ඒ මහ බඹ ය”යි වදාළ කල්හි ‘තොප මහ බඹුන්ට වඩනා නියා වේ දැ’ යි කිවු ය. ‘එසේය, ජම්බුකය, මා බිහි වනවේලේ මූ තමා අවුත් රන් දැළකින් පිළිගත් හෙයිනු ත් ඒ ඒ බුදු මඟුලෙහි දී මට කුඩ ලා සිටිනා හෙයිනු ත් මම ඕ හට වඩිමි’යි වදාළ සේක. ‘මහණ, තෝ මහානුභාව ඇත්තෙහි. පස් පනස් හවුරුද්දේ මෙ තැන මා රඳා හිඳිනා ගමනේ ත් මින් එක කෙනකු ත් මා දක්නට නො ආවෝ ය. මම මෙ තෙක් කල් මුළුල්ලෙහි සුළං අනුභව කොට ලා සිටිනා ඉරියවුවෙන් ම දවස් යවා පීමි. මේ තරම් මා ගුණයක් ඇත ත් මින් මට නැමුණු කෙනෙක් නැතැ’යි බුදුන් එ විතරක් තබා වඩා වුව ත් දත හෙන නියාව නො දැන පෙනි පෙනී සිට ම ‘මා සොයා ගනුව’ යි කියන්නා සේ උගුරට සොරා කන බෙහෙදක් සේ කී ය.
බුදුහු ‘ජම්බුක ය, තෝ නුවණ නැත්තවුන් නළවා බදා පුරුද්දට මටත් වළහන්ට සිතයිද? තෝ පස් පනස් හවුරුද්ද මුළුල්ලේ බතට වඩා අමෙද්ධ්‍යානුභව ය ම කෙළෙහි වේ ද? නැවත බිම හොත්තෙහි වේ ද? මෙ දෑතුරෙහි පිළි නො හැන්දෙහිත් වේද? තල් ඇට පළුවෙන් හිස කේ ත් උදුරුවා හළුයෙහි වේ ද? ලෝ වැස්සන් නළවා බැඳුවා මදින් ‘සුළං අනුභව කෙරෙමි. එක් පයින් සිටිමි’ යනාදිය කියා මා ත් වළහයිද? අකුසල් බලයෙන් දෘෂ්ටියකු ත් ලාගෙන මේ පස් පනස් හවුරුද්දෙහි අමෙද්ධ්‍යානුභව යත් කොට ‘පිළි ත්
නො හැඳ තල් ඇටි හිස කේ ත් උදුරුවා බිම ත් වැද හෙව ඇවිද පුවා මදින් තවත් එ ම කරන්ට සිතයි දැ’ යි වදාළ සේක. තමනු ත් සිතා පී නියාවේ ද? මා කෙළේ කුමක් ද, මහණැ’යි විචාළ කල්හි කසුප් බුදුන් සමයෙහි කළා වූ පාප ය හකුළුවා තුබූ පෙත්තක් විදහා පියා පානා කලක් පරිද්දෙන් ප්‍රකාශ කොට වදාළ සේක.
බුදුන් ඒ වදාර ත් වදාර ත් කර්‍ම බලයෙන් වූ නියා ව දැනෙ ත් දැනෙ ත් භය ලජ්ජා ඇති වි ය. එළිල්ලෙන් හුන්නවුට බුදුරජාණන් වහන්සේ නහන කඩ දෙවා වදාළ සේක. ඔහු ඒ හැඳ ගෙන බුදුන් වැඳලා එකත් පස් ව හුන්හ. බුදුහු ත් පිළිවෙළ කථා ව වදාරා ලා චාරිත්‍රානුකූල බණ ත් වදාළ සේක. දේශනා කෙළවර රහත් ව ලා නැඟී සිට බුදුන් වැඳ ලා මහණ කරන්ට ත් මහලු පැවිදි කරන්ට ත් ආරාධනා කළ සේක. එ වකට පෙර කළ පවු ගෙවිණ. එ සේ මැයි. මුන්දෑ රහතන් වහන්සේට ආක්‍රෝශ සතරකින් බිණු හෙයින් දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව යම් පමණ කලෙකින් සත් ගවුවක් පමණ උස් වී ද ඒ තාක් අවීචියෙහි පැසී තව පාප ය නො ගෙවුණු හෙයින් පස් පනස් හවුරුද්දක් මේ සා මුළාවකට පැමිණි දෑ ය. එසේ හෙයින් ඒ පාප ය ගෙවිණ. විසි දහසක් හවුරුදු පිරූ මහණ ධර්‍ම වඳ කට නො හැකි හෙයින් හා එහිභික්ෂුත්‍වයට හෙතු ත් දැක බුදුහු ත් දකුණත දිඟු කොට ලා ‘මහණ, මෙ සේ එව”යි වදාළ සේක. බස වදාරන්නා මගිහි සැටි නැති ව අට පිරිකර හැඟ පහළ ව සැට වස් ගිය මහ තෙර නමක් මෙන් ආකල්ප සම්පන්න වූ සේක.
අඟු රට මගධ රට ඇත්තවුන් උන් වහන්සේට සත්කාර ගෙන ආ දවස දෙ රට ඇත්තෝ උන් වහන්සේ දැක කුමක් දෝ? අපගේ ජම්බුකාජීවකයන් වහන්සේ වඩනා සේක් දෝ නො
හොත් මහණ ගොයුම්හු වඩිත් දෝ හෝ’යි සිතා ‘ඉදින් මහණ ගොයුම්හු වඩිත් නම් ජම්බුකාජීවකයන් වහන්සේ ඔබ යන සේක. ජම්බුකාජීවකයන් වහන්සේ වඩනා බැවින් මහණ ගොයුම්හු මුඛ අවු ය’යි සිතූහ. බුදුහු ත් බොහෝ දෙනාගේ අදහස් දැන ‘ජම්බුකයෙනි, තොපගේ උපාසකවරුන්ගේ සැක ය හැර ලව’යි වදාළ සේක.
උන් වහන්සේ ත් ‘වදාරන තෙක් ම හුනිමි’ වදාරා ලා අර්හත් මාර්‍ග ය හා සමඟම පිළිසිඹියා ත් අභිඥා ත් පහළ වූ හෙයින් අභිඥා වට පිහිට වූ චතුර්ථධ්‍යානයට සම වැද ලා එයින් නැඟී තලක් පමණ අහසට පැන නැඟි ලා ස්වාමීනි, මුඹ වහන්සේ මට ශාස්තෘ සේක. මම මුඹ වහන්සේ ගේ සවු වෙමි’ වදාරා ලා බිමට බැස වැඳ ලා නැවත දෙතලක් පමණකට නැඟ ය, තුන් තලක් පමණට නැඟ ය, යනාදීන් සත් තලක් පමණ විතර අහසට පැන නැඟී ලා බැස තමන් වහන්සේ බුදු සවු නියා ව රැස් වුවන්ට දක්වා ලූ සේක. ඒ විස්ම ය දැක බොහෝ දෙන ‘අනේ බුදුවරුන් වහන්සේ නම් මහානුභාව සම්පන්න සේක. මෙ තරම් තැනට පවා මෙ විතරක් කළ කලය’යි සිතූහ.
බුදුහු ත් රැස් වූවන්ට බණ වදාරන සේක් ශීල සමෘද්ධ්‍යාදී ගුණ රහිත තීර්ථායතනයෙහි උන්ගේ ලබ්ධි ගෙන මහණ වූ අඥානයෝ තපස් කරම්හ යි කියා ලා බණෙක දහමෙක ආ දෙයක් නො ව තමන් ම සිතා ගත් ලබ්ධියක් හෙයින් මසකට එක් දවසක් හී තණ ගලා පැණි ආදි ය දිවග තබා මෙලෙසින් කරණ තපස හවුරුදු සියයක් කෙළේ වී නමුත් ඒ තපස කුශල සන්නිශ්‍රිත නො වන හෙයින් යටත් පිරිසෙයින් සෝවානුනට හෝ උඩ ත් පිරිසෙයින් රහතන්ට වේලාව ඇත ත් නොපෙනේ නම් වේලායෙහි වේව යි වින වීම් ආදි විසින් උපන් බතක් වී නම් එ බත වේව යි කුකුස් ඇති ව යට ත් පිරිසෙයින් සෝවානුන් හා උඩ ත් පිරිසෙයින් රහත්හු අනුභව කෙරෙත් නම් සුන් බත් වීම් විසින් පැවැති එක ම චේතනාව සොළසක් සොළසක් බැගින් සොළොස් වරෙක කොටස් කළ කල සොළොස් වන කොටසින් සොළොස් වන භාගයට ත් හවුරුදු සියයක් මුළුල්ලෙහි අතුරෙක බත් අනුභවයක් නැති ව මසකට එක් දවසක් හීතන අග ගලා පැණි ආදි ය දිවග තබා කරණ තපස බත් නො කෑම් වසයෙන් හවුරුදු සියයේ පැවැති බොහෝ වෙතනා කුසල සන්නිශ්‍රිත නො වන හෙයින් නො අග්ගි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් සුවාසූ දහසක් දෙන නිවන් දුටහ.
එසේ හෙයින් සෞජන්‍යයෙහි පිහිටියවුන් විසින් ආර්යෝප වාදය ත් මහා සාව්‍ය නියාව දැන සෝවාන් ආදී වූ ආර්යයන්ට වේව යි ආර්‍ය්‍ය ගුණ ඇත්තවුන්ට වේව යි තමාට වරදනා ලෙස වරදවා නො බැණ නොදැන වැරද ගියත් බණෙහි කියා ලූ ලෙසින් ආර්යෝපවාද ය දෙසා ගෙන මෙතේ බුදුන් නො වරද දක්නා ලෙසක් සිතු ව යහපති.
-
කොවන් ↑