තව ද උග්‍ර වූ අකුශලයෙහි උග්‍ර වූ විපාක ය දක්වනු පිණිස උත්පලවර්‍ණා වස්තුව කියමු.
කෙ සේ ද යත්:-
ඒ උත්පලවර්ණා මහා ස්ථවිරීහු, මෙහෙණනි අග්‍රශ්‍රාවිකාවන්ට පැරුම් බිම එකාසංඛ්‍ය කප්ලක්‍ෂයක් නොව කප් ලක්‍ෂය ම හෙයින් පියුමතුරා බුදුන් සමයෙහි එක් තරා බුදු කෙනකුන් වහන්සේට අග්‍රශ්‍රාවිකා වීම පතා බුදුන් ගෙන් විවරණ ලදින් කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පින් කරන්නෝ දෙව් ලොව මිනිස් ලොව උපදනාහු මේ අපගේ බුදුන් සමයෙහි දෙව් ලොවින් සැව සැවත් නුවර සිටු කුලයක උපන්හ.
දෙ වන අගසවු වන පිරිමි නමත් ගෑනු නමත් නිල් වුව මනා හෙයින් මුනු ත් ඒ තනතුර ලබන හෙයින් නිල් මහ නෙල් මල් දමක් සේ නිල් වූහ. එ හෙයින් උන්ට උත්පලවර්‍ණා නම තුබූහ. උන් වැඩි විය පත් කල්හි දඹදිව සියලු රජදරුවෝ ද සිටුවරු ද ‘තමන්ගේ දුවණියන් අපට පාවා දුන මැනැවැ’යි කි ය කියා යවති. දඹ දිව රජ දරුවන් ගෙනු ත් සිටුවරුන් ගෙනු ත් උන් සරණ විචාරා නො යවු කෙනෙක් නැත. සිටාණෝ සිතන්නෝ ‘විචාළවුන් ගෙන් එක් කෙනකුන්ට සරණ දිණීම් නම් සෙස්සෝ කළකිරෙති. එ සේ හෙයින් උපායක් කෙරෙමි” යි සිතා දුවණියන් ළඟට කැඳවා ‘මෑණියෙනි. මහණ වවු දැ’යි විචාළහ. පශ්චිම භවික හෙයින් පියාණන් කී වචනයට සතුටු ව ‛පැවිදි වෙමි,පියාණන් වහන්සැ’යි කියා උයි ත් ගිවිස්සෝ ය. සිටාණෝ මහා පූජාවෙන් මෙහෙණවරට ගෙන ගොස් මෙහෙණිනි කැර වූ හ.
අලුත මහණ වුව ත් පොහෝ ගෙයි වත උන්ට පැමිණියේ ය. උයි ත් පහන උදාසන ලා පොහෝ ගෙය හැමඳ පියා ඇවිළෙන පහන බල බලා සිටි තැනැත්තෝ තේජො කසින ධ්‍යාන ය උපදවා එම පාදක කොට විවසුන් වඩා රහත් වූහ. අර්හත් මාර්‍ග ය හා සමඟ ම සිවු පිළිඹියාවත් අභිඥාවත් සම්භ විය. එ දෙකට වෙන කළ උත්සාහ නැත.
ඒ උපුල්වන් මහා ස්ථවිරින්දෑ ද එක් සමයෙක දනවු සැරිසරා පියා පෙරලා අවුත් සැවැත් නුවරට ළං ව තිබෙන අන්ධ වනයට තමන් අනන්ධ හෙයින් වන්හ. එ කල මෙහෙණින් වල්හි විසීම ව්‍යාභිචාරයක් නො පෙනුණු හෙයින් නවතා වදාළේ නැත. උත්පලවර්ණා වහන්දෑ ත් ඒ වෙනෙහි කිළිපැළක් කොට ගෙන වසනු කැමති හෙයින් කිළියක් ඉදි කොට ලා හැඳක් ලා ලා තිරයක් ඇදලූ ය. උන්දෑ ත් සැවැත් නුවරට සිඟා ගොසින් පියා පෙරලා නික්මුණු දෑ ය.
මයිලණු කෙනකුන්ගේ පුත් වූ නන්‍ද නම් ළදරුවාණ කෙනෙක් කාමයෙන් මත් ව මෙහෙණින් දෑ ගිහි කල පටන් පිළිබඳ සිත් ඇති ව ඊට ආ නියා ව අසා ස්ථාවරීන්දෑ සැතපෙන කුටියට උන්දෑ එන්නාට පෙරාතුව ඇවිදින් ඒ කිළි ය ඇතුළට වැද ලා හැඳ යට සැඟවී හිඳ ලා ස්ථවිරින්දෑ අවුත් කිළියට වැද දොර පියා ලා හැඳ වැද හුන් කලට දොර අවුවේ සිට ලා ගෙට වන් හෙයින් ඇස බමන ලෙසක් සන් නො හිඳෙන තෙක් මෝහ පටල ය වැසී කිසි වකු ත් සලකා ගත නොහී යට හැඳින් මෑ ත් ව ලා හැඳට පැන නැහි ලා ‘නුවණ නැති තැනැත්තව ‘නො නැසෙව, නො නැසෙව’යි ස්ථවිරීන්දෑ කියා දී ම අසංඥයන්ට කවරක් අදහසක් නැත්තා සේ උන්දෑට ත් එ බඳු පවිටු අදහසක් නැත ත් ඍද්ධි බලයක් කරන්ට ත් නු වූ හෙයින් නිවට තරම් ඇති තැනැත්තේ තමාගේ පවිටු අදහස පුරාගෙන මෙ ලෝ පර ලෝ දෙක ම නසාගෙන නික්මිණ. භික්ෂුණීන්දෑ ගේ ගුණානුභාවයෙන් ගුණ ය ධරාලන්ට බැරියා සේ පොළොව දෙකක් ව පැළී ගියේ ය. එයි ත් පැළුණු පොළොවින් ගොසින් කළ ලෙසට ලද මනා හෙයින් අවීචියෙහි උපන.
ස්ථවිරීන්දෑ එ පවත මෙහෙණිනි වහන්දෑට කී දෑ ය. ඒ වහන්දෑ භික්ෂූන් වහන්සේට කී දෑ ය. භික්ෂූන් වහන්සේ බුදුන්ට දැන් වූ සේක. බුදුහු භික්ෂූන් වහන්සේ බණවා ලා ‘ භික්ෂු කෙනෙක් වෙත්ව’යි භික්ෂුණී කෙනෙක් වෙත්ව’යි උපාසක කෙනෙක් වෙත්ව’යි උපාසිකා කෙනෙක් වෙත්ව’යි සර්‍වඥානුශාසනාව මැඬ පවත්වා හැසිරෙත් නම් කළා වූ පවු මෙ ලොව වේව යි පරලොව වේව යි යම්තාක් විපාක දී ගත නො හේ ද ඒ තාක් මී සකුරු ආදී වූ මිහිර අනුභව කරන්නවුන් සතුටු සතුටු ව අනුභව කරන්නා සේ කරන්නා වූ පව ත් සතුටු සතුටු ව ඔද වඩ වඩා කෙරෙති. යම් කලෙක වධ බන්‍ධනාදියට පැමිණීමෙන් මෙ ලොව දී වේව යි නරකාදියට පමුණුවා ලා පර ලොව දි වේව යි විපාක තබා ගත් කල නම් පවෙහි තරම එ කල දන්නේ ය’යි බණ වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත්පුරුෂයන් විසින් උග්‍ර පාපය මුත් ලඝු පාපයෙන් කිම්ද යි ගිනි පුපුර ලඝු කොට සිතිය යුතු නො වන්නා සේ ම පාප ය ලඝු කොට නො සිතා මහත් කොට ගන්නා පින් කමක් මුත් ලඝු වූ පිණිනු ත් කිම්දැ යි කුශලය ත් ලඝු කොට නො සිතා ලඝු වූ පවිනු ත් දුරු ව කුශල ය ලඝු වුව ත් එහි හැසිර සසර දුක් ගෙවන්ට ම උත්සාහ කටයුතු.
බුදුහු කොශල රජ්ජුරුවන් ගෙන්වා ‘මහරජ, මාගේ ශාසනයට යම් සේ කුල දරුවෝ අවුත් වැද මහණ වෙත් ද එ පරිද්දෙන් කුලදුනු ත් බොහෝ නෑයන් – සියන් හැර බොහෝ සැප තුත් හැර අවුත් මෙහෙණනි ව වල්හි වෙසෙති. එ සේ වසන කලට රාගයෙන් රැඳුණු පවිටු පුඟුලෝ උන් දුක සේ රැක ගන්නා බඹසරට බාධා කෙරෙති. එසේ හෙයින් මෙහෙණින්නන්ට ඇතුළු නුවර ම වසන තැනක් කරව’යි වදාළ සේක. රජ්ජුරුවෝ ත් යහපතැ’යි ගිවිස නුවර එක් ඇළයෙක මෙහෙණවර කැරවූහ. එවක් පටන් මෙහෙණෙනි වහන්දෑ ඇතුළු ගම ම වසන දෑ ය.
__________