තව ද මල් පූජාවෙහි මැළියවුන් මල් පිදීමෙහි ඇවිටි වන්ට සුමන මාලාකාර වස්තුව දක්වමු.
කෙසේද යත්:-
රජගහා නුවර වසන ඒ මාලාකාරයෝ දවස් පතා උදාසනම දෑ සමන් මල් අට නැළියක් බිම්සර මහරජුන්ට දීලා දවස් පතාම මල් නැළියකට මස්සක් බැගින් අට කළඳක් ලැබෙති. ඉක් බිත්තෙන් එක් දවසක් සමන් මල්කරුවන් මල් අට නැළිය හැරගෙන රජගෙට යන්ට නුවරට වන් කල්හි බුදුහු භික්‍ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා රන් විමනෙක රුවන් ගොනැස්[1] උරවන කලක් මෙන් දස දිග සවනක් රස් විහිදුවමින් තවත් අනන්ත වූ බුද්ධානුභාවයෙන් යුක්ත ව ඇස් ඇත්තවුන්ගේ ඇසට රසාඤ්ජනයක් මෙන් නුවරට සිඟා වන් සේක.
බුදුහු සමහර දවසෙක අඟුල්මල් මහ තෙරුන් වහන්සේට පෙර ගමන කොට දොළොස් ගවුවක් වැඩිය ගමන් සේම නො එක් පෑ ඇති රුවන් කඩෙක ලා ලා බඳිනා සේ සවනක් රස් සිවුරු හස්සේ ම සඟවා ගෙන සිඟා වඩනා එක් තරා භික්ෂු කෙනකුන් වහන්සේ මෙන් වඩනා සේක. සමහර දවසෙක කිඹුල්වත් නුවරට වැඩි ගමන සේම සවනක් රස් විහිදුවමින් වඩනා සේක. එදවසුත් බුදුහු සවනක් රස් විහිදුවමින් රජගහා නුවරට සිඟා වන් සේක.
මාලාකාරයෝ ද බුදුන්ගේ දෙ තිසක් විතර මහ පිරිම්නි ලකුණෙන් හා අශීත්‍යානුව්‍යඤ්ජනයෙන් රන් ඇගෑයක් රුවන් ඇගෑයක් වැනි වූ පිණින් ම හඹා පූවාක් වැනි වූ වඩු රියනින් දොළොස් රියන් උස ඇති බ්‍යාම ප්‍රභා සතර රියන් හා කෙතුමාලා දෙරියන් හා එක් කොට අටළොස් රියන් පමණ වූ දිව්‍ය ලෝකයෙහි නඟා ලූ රුවන් තොරණට අපහාස්‍ය කරන්නා වූ අත් බැව් දැක පහන් සිත් ඇති ව ‘මේ නියා වූ බුදුන්ට කවර නම් සත්කාරයක් කෙරෙම් දෝ හෝ’යි සිතා පුදාපිය හැකි අනිකක් නුදුටු වන්නා ම ‘මේ මල් පුද කෙරෙමි’යි සිතූ ය. නැවත ‘මේ මල් වැළි ත් විකුණන්ට ඒ මේ ගෙන යන මල් නො වෙයි. රජ්ජුරුවන්ට දවස් පතා වඩනට ගෙන යන ඒවා ය. රජ්ජුරුවන් වහන්සේ ත් මේ මල් නො ගෙන ගිය කලට මා සිර ගෙයි හෝ ලවා ලන සේක. මරවණ සේක. නැත් නම් රටින් හෝ නෙරනා සේක. කළ මනා කුමක් දෝ හෝ’යි සිතූහ. එ සේ සිතා ලා නැවත සිතන්නෝ ‘රජ්ජුරුවන් වහන්සේ කළ දෙය වැටහෙන හෙයින් මරණ සේක්ව යි, තළන සේක්ව යි, රටින් නෙරපා ලන සේක්ව යි, කුමක් කරතත් කිම? ඉදින් යමක් දෙවතත් මෙලොව ජීවත් වීම් පමණකට යමක් දෙවා පියන සේක.
‘ඉදින් බුදුන්ට මේ මල් සුඟිත්ත පුදා පීම් නම් ඛණ්ඩ සුමන මහ තෙරුන් වහන්සේ සසර සිටිනා කල එක් පෙත්තක් පණුවන් කෑ තුන් පෙති දෑසමන් මලක් පුදාලා හවුරුදු අසූ කෙළක් දිව සැපත් වළඳා කෙළවර නිවන් සම්පතත් ලත් හෙයින් මේ දෑසමන් මල් අට නැළියක් හෙයින් නො එක් කප් කෙළ ගණනේ සැප ත් සාධා දී ලා කෙළවර ලොවුතුරා සැපත ත් සාධා දී ලන්නේ ය’යි සිතා “තමන්ගේ ජීවිත ය මළ ත් සාර්‍ථක වුව මනා වේ දැ’ යි බුදුන්ට ජීවිතය පිදූය. පුදාලා ‘යම් තාක් මා ගේ පහන් සිත පසු නො බසී ද, ඒ තාක් කරන්ට සිතූ පූජා කෙරෙමි’යි සතුටු සිතින් කුල් මත් ව පියා පළමු කොට මල් දෙමිටක් බුදුන්ගේ ඉස් මුදුන දසාවට දමූය. ඒ මල්දෙමිට මුදුනෙහි හී මල් වියනක්ක්ව සිටියේය. තවත් මල් දෙමිටක් බුදුන් දසාවට දැමූ ය. ඒ මල් දෙමිට දකුණත් පස මල් තිරයක් ව සිට ගත. අනිකුත් දෙ මිටක් දැමූ ය. ඒ මල් දෙමිට බුදුන්ගේ ත් පිටි පස්සෙහි මල් තිරයක් ව සිටි ය. තවත් මල් දෙමිටක් දැමූය. ඒ මල් දෙමිට වමත්පස මල් තිරයක්ව සිටියේය.
මෙ සේ අට නැළියක් විතර දෑ සමන් මල් අට මිටක් ව ඉස් මුදුනේ ය, දෑළයේ ය, පිටි පස්සේ ය’ යි සතර දසාවකින් වටා සිටි ය. ඉදිරි දසාවෙනුත් වඩනට අවසර පමණක් හැර ලා දෙ ඇළ ය දසාවෙන් ආ මල් සැරහී සිට ගත. දෑ සමන් මලෙහි නටු ඇතුළත්ව ලා පෙති පිටතට බලා සැලසිණ. බුදුහු ද සුදු මල් වට සැලසී සිට ගත් හෙයින් සවණක් රසුත් මල් හස්සෙහි ලා වෛවර්ණ පට කඩ අතර තුර ලා විදි සුදු පට කඩ තිරයක් වට අද්දා ගත් කලක් මෙන් නික්මුණු සේක. සිත් පිත් නැති මල් වුව ත් බුදුන්ගේ බුද්ධානුභාවයෙන් නොබිඳී නො විසිරී බුදුන් හා සමඟ යෙයි. බුදුන් රඳා සිටි තැන දී සිටිනේ ය.
බුදුන්ගේ ශ්‍රී ශරීරයෙන් සිය රැළි විදුලි ය කලප් දුවන්නා සේ රස් නික්මෙන්ට පටන් ගත. ඉදිරි දසාවෙන්ද, පිටිපස දසාවෙන්ද, දකුණැළය දසාවෙන් ද, වම් ඇළය දසාවෙන්ද, ඉස් මුදුන දසාවෙන්ද නික්මුණා වූ රශ්මි අතුරෙන් එක රශ්මියකු ත් ගිය ගිය අතින් නො ගොස් සියලු රශ්මිම බුදුන් තුන් වටක් පැදකුණු කොට ලා නාඹ තල් කඳ සා ව ඉදිරි දසාවෙන් ම දිවෙයි. අසුරන් වන් දිව්‍ය පුර ය මෙන් සියලු නුවර මුළුල්ල ම ඇළලී ගියේ ය.
රජගහ නුවර ද පවුරෙන් ඇතුළත මිනිස්සු නව කෙළෙක, පවුරෙන් පිටත නව කෙළෙකැයි අටළොස් කෙළක් මිනිසුන් අතුරෙහි එක ද ගෑනු කෙනකුත් පිරිමි කෙනකුත් පිළිගන්වන්ට බතක් ගෙනා කෙනෙක් නැත. බොහෝ දෙන ඔල්වර හඬ ගසා ගෙන බුදුන්ට පෙරදැරි ව ලා යෙති. බුදුහු ත් මාලාකාරයන්ගේ ගුණ පළ කරවනු නිසා තුන් ගවුවක් විතර නුවර රාජ වීථියේ ම වඩනා සේක. මාලාකාරයාණන්ගේ සකල ශරීරය ත් පස් වනක් ප්‍රීතීන් පිනා ගියේ ය. ඌ මඳ තැනක් ම බුදුන් හා කැටි ව ගොසින් ලා සිරියෙල් කල්කයෙක හැලී ගියාක් මෙන් බුදු රැස් ඇතුළට වැද ලා බුදුන් වැඳ සිස් පෙට්ටිය හැර ගෙන ගෙට ගියෝ ය.
ඇඹේණියෝ මල් කොයි දැ යි විචාරා ‘බුදුන්ට පුදා පීමි’ කී කල්හි ‘තෙපි වන්නා පුදව, රජ්ජුරුවන් වහන්සේට කුමක් කරා දැයි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්සේ මරත් කිම? නෙරුත් කිම? මල් තබා ජීවිතය ත් බුදුන්ට ම පුදා පියා මලු ත් පුදා පීමි. මල් අට නැළි ය අට මිටෙක් වි ය. අටමිට ත් මුදුනට මල් වියනක් ව ඉදිරි දසාවෙන් වඩනට අවසර පමණක් තබා වටින් මල් තිරයකුත් විය. බොහෝ දෙනත් ඔල්වර හඬ ගසා ගෙන බුදුන් හා කැටි ව ම යෙති. මෙ තැනට යම් අරගලයෙක් ඇසේ නම් ඒ එ තැන ය’යි කිවු ය.
එ බස් අසමින් නුවණ නැත්තා වූ ඕ තොමෝ එ බඳු පෙළ හරෙක පැහැද ගත නොහී ආ වැඩුව මනා මාලාකාරයන්ට බැණ පියා ‘රජ දරුවෝ නම් තදයෝ ය. මුරයෙක කිපියත් අත් පා කැපීම් ආදි වූ බොහෝ අනර්ථ කෙරෙති. කළ අකාරිය නිසා මට ත් අවැඩක් වේ නමුත් ය’යි තමාගේ දරුවනු ත් කැඳවාගෙන රජ ගෙට ගොසින් රජ්ජුරුවන් දැක මේ කිම්දැ යි විචාළ කල්හි ‘ස්වාමීනි, අපගේ සමණෝ නුඹ වහන්සේට වඩනට ගෙනෙන මල් බුදුන්ට පුදා පියා සිස් පෙට්ටි ය හැර ගෙන ගෙට ගොසින් මල් කොයි දැ’යි මා විචාළ තැන බුදුනට පිදූ නියාවක් කිවු ය.
‘මම උන්ට දොඩා ගෙන බැණ ගෙණ ‘රජදරුවන් වහන්සේ නම් තද සේක. සිතා ගත් කල කවර තරම් අනර්ථයකු ත් කරවා ම නවත ත් මුත් උපකාරී කම් එ මේ දන්ට නැත. තොප කළ දෙයින් මට ත් මුළාවෙක් වේ නමුත් ය’යි උන් අත්හැර නැඟී අයිමි. උන් කළ දෑ යහපත් වත් කිම? නපුරු වත් කිම? ඉන් වන දෙයක් උන්ට ම ය. මා ඊ සබඳකම් නැති ව නැඟී ආ නියාව දැන වදාරන බව ය”යි සඳුන් තුබූ තැනින් අමෙද්ධ්‍යයක් දුරු කළා සේ තමා දුරු වූ නියාව කිව.
බිම්සර මහ රජහු ද බුදුන් ආදියෙන් දුටු දවස් ම තමන් සෝවාන් ව අචල ශ්‍රද්ධාවෙහි පිහිටි හෙයින් ‘අනේ මේ කෙලී නුවණ නැති එකක. මාලාකාරයාට මේ මුල් ව අනර්ථයෙක් වේ නමුත් බුදුන්ට කළ පූජාවෙහි තමා සිත පහදවා ගත මනා තැන කුමක් වේ දෝ හෝ යි සිතාපුව’යි තමන්ට ගෙනෙන මල් පිදූ නියාවට මුසුප්පු වූවා සේ වලා ත් ‘තොප කියන්නේ කුමක් ද? මට ගෙනෙන මල් ඒ පිදී දැ’යි විචාළෝ ය. ‘එ සේ ය, ස්වාමීනි, කී කල්හි ‘ඌ හැර පියා නැඟී ආ බව යහපත. මට ගෙනෙන මල් පිදුවවුට කළ මනා දෙය මම දනිමි’යි කියා ඈ යවා පියා වහා ම බුදුන් කරා ගොසින් වැඳ ලා බුදුන් හා කැටි ව ම පූජා බල බලා නික්මුණවු ය.
බුදුහු රජ්ජුරුවන්ගේ ත් චිත්තප්‍රසාද ය දැන රාජ වීථියෙන් වැඩ රජ්ජුරුවන්ගේ රජ ගෙට ම වැඩි සේක. රජ්ජුරුවෝ පාත්‍ර ය හැර ගෙන ලා ඇතුළු රජ ගෙට වඩා ගෙන යන්ට ආරම්භ කළහ. බුදුහු සෙණ්ඩුලුයෙහි ම වැඩ හිඳිනට කැමැති වූ සේක. රජ්ජුරුවෝ ඒ අදහස් දැන මඬුවක් කරව යි විධාන කොට ලා වහා මඬුවක් ලැවූහ. බුදුහුත් භික්ෂු සඞ්ඝයා වහන්සේ හා සමඟ මඬුවෙහි වැඩ හුන් සේක. රජ ගෙය ඇතුළට නො වැඩ එ තැන වැඩ හුන්නේ කුමක් නිසාදැ යි යත හොත් -
‘ඉදින් මම ඇතුළු රජ ගෙයි උනිම් නම් බොහෝ දෙන මා දැක ගත ත් නො හෙති. මාලාකාරයාගේ ගුණ ත් පහළ නොවෙයි. සෙණ්ඩුලුයෙහි උන් කලට බොහෝ දෙන ත් මා දකිති. මාලා කාරයාගේ ගුණත් පහළ වෙයි’ කියා ය. ගුණ ඇත්තවුන්ගේ ගුණ බුදුවරුන් වහන්සේ සඟවන්ට මැළි සේක. සෙස්සෝ කියන්ට ත් මැළියෝ ය. මල් පට සතර සතර අත සිට ගත. බොහෝ දෙන ත් බුදුන් පිරිවරා සිට ගත්හ. රජ්ජුරුවෝ බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වැළඳවූ ය. බුදුහු වළඳා අන්තයෙහි අනුමෙවෙනි වදාරා ලා මල් පට පිරිවරා බොහෝ දෙනා හා සමඟ විහාරයට වැඩි සේක.
රජ්ජුරුවෝ ද බුදුන් හා කැටි ව ගොසින් ලා නැවත රජ ගෙට අවුත් මාලාකාරයන් ගෙන්වා ලා මට ගෙනෙන මල් කුමක් සිතා කුමක් කියා බුදුන් ට පිදූදැ’යි විචාරා තමන් සිතා කළ සැටි ය මුළුල්ල ම කී කල්හි රජ්ජුරුවෝ තෙපි ජාතීන් කුමක් වුව ත් අදහසින් භා තරමින් ස්වල්ප කෙනෙක් නොවෙ’යි කියා ලා ඇතුන් අට දෙනකු ය, අසුන් අට දෙනකු ය, කොල්ලන් අට දෙනකුය, කෙල්ලන් අට දෙනකු ය, අට දහසක් පමණ රනැයි කියා මෙයි ත් දෙවා ලා නැවත පළඳනට තරම් ආභරණ ත් දෙවා ලා ආහරණ ලා සැරහුණු ගෑනුන් අටදෙනකුත් දෙවා ලා යහපත් ගම්වර අටකුත් දුන්හ. පිදූ මලු ත් අට මිටෙක. එ ම ජාතියෙහි ලද්දේ ත් සියල්ලෙන් අටෙක අටෙක. මල් පුදන්ට මැළි පමණක් විනා තෙල සැප ත් ලබන ලෙස ය.
අනඳ මහ තෙරුන් වහන්සේ සිතන සේක්, ‘අද උදෑසන පටන් බොහෝ විස්ම පැවැත්තේය. මාලාකාරයාණන්ට වන අභිවෘද්ධි ය කවරේ දෝ හෝ’ යි සිතා ගොසින් බුදුන් අතින් විචාළ සේක. බුදුහු ‘ආනන්‍දයෙනි, මූගේ මල් පූජාව ලඝු ය යි නො සිතව. මේ තෙමේ තමාගේ ජීවිතයත් මටම පුදා මල් පූජාත් කෙළේ ය. මෙම කෙරෙහි සිත පහදවා මේ කළා වූ පූජාවෙන් කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො ගොස් දෙව් ලොව දෙව් සැප ත් මිනිස් ලොව මිනිස් සැප ත් වළඳා කෙළවර මෙයට ලක්‍ෂයක් වන කප සුමන නම් පසේ බුදු වෙ යි’ වදාළ සේක.
බුදුන් වෙහෙරට වැඩ ගඳ කිළියට වඩනා කලට ඒ මල් දොරටු වේ වැගිරිණ සවස ධම් සෙබෙයි රැස් ව හුන් වහන්දෑ ද ‘අනේ මාලාකාරයාගේ කටයුත්තක් බලවත් නියා ය. බුදුන්ට දිවි පුදා මල් පූජා ත් කොට ඒ ඇසිල්ලෙහි සියලු ප්‍රයෝජන වස්තුවෙන් අටක් අටක් ලද් දැ’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ගඳ කිළියෙන් ගොචරාශායෙන් ගුහායෙකින් පිටත් වන සිංහරාජයකු මෙන් සියල්ලවුන්ගේ අභිමතාර්‍ථසාධනාශායෙන් නික්ම තුන් තරා ගමනින් එක්තරා ගමනෙකින් ධර්‍ම සබයට වැඩ බුද්ධාසන මස්තකස්ථව ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කෙසේවූ කථාවක් කොට කොට හුන්නු දැ’යි විචාරා, මේ නියා ව කී කල්හි ‘එ සේ ය, මහණෙනි, යමක් කළ කල සත්‍වයෝ පසු තැවිලි නො වෙත් ද, යමෙක විපාක ය කුඩු කැවුම් දී ලා මාලාකර දුවණියන් බිසෝ පට බැඳ සතුටු සතුටු ව රජසිරි වුන්නා සේ සතුටු සතුටුව විඳිත් ද, එ සේ වූ දිව්‍ය ලොකයෙහි උපදවා ශක්‍ර සම්පත් ආදී සම්පතු ත් මිනිස් ලොව උපදවා සක්විති රජ සැපත් ආදී මිනිස් ලොව සම්පතු ත් සාධා දී ලන්ට නිසි වූ සිහි කළ විට බලවත් ප්‍රීති ය උපදවා ලන පින් කම් ම කිරීම යහපතැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් සුවාසූ දහසක් දෙනා මාර්‍ග ඵල නමැති ආභරණ ලා සැරහී ගෙන නිවන් පුර වන්හ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සැදෑ ඇත්තවුන් හැර මිළ දී ගෙන පුදන මල් හෙයින් නො මිලයෙන් ලැබෙන මල් පුදා සෙසු ත් පින් කම හැසිර සුමන මාලාකාරයන් ලත් ලොවී සැපත් ලැබ කෙළවර උන් ලබන නිවන් සම්පතු ත් ලද යහපති.
-
ගෝනැස් ↑