63. එක්තරා කර්‍ෂකයක්හු ගේ වස්තුව

star_outline

තව ද කවර ලෙසකිනු ත් නපුරු දෙයක් නො කට යුතු නියා ව හඟවන්ට එක් තරා කර්‍ෂකයක්හු ගේ වත කියමු.

කෙසේද යත් -

ඒ සී සානා තැනැත්තේ සැවැත් නුවරට නුදුරු තැනෙක එක් කුඹුරක් කසෙයි. පෙරාතු දවස් රෑ සොරු නැසින්නෙන් නුවරට වැද ලා එක් පොහොසත් කෙනකුගේ ගෙට උමඟක් බිඳ පියා බොහෝ රත්රන් ආදි ය හැර ගෙන එම නැසින්නෙන් පිටත් වූහ. ඉන් එක් සොරෙක් සෙසු සොරුන්ට සොරා දහසින් බැඳි පියල්ලක් හිණ තබා ගෙන අර මුන් දෙ වන දවස් සානා කුඹුරට ගොසින් සොර කම් කළ දෙය එක් ව බෙදා ගෙන කක්කු වික්කු ව ලා[1] යන ගමන හෙයින් සොරුන්ට සොරාගත් දහසින් බැඳි පියල්ල තබා හිණින් හෙන නියා ව නො දැන සොරා නැඟී ගියේ ය.

බුදුහු එ දවස් අළුයම් වේලෙහි ලොව බලන සේක් සෙට දවස් සැවැත් නුවර ළඟ කුඹුරේ සී සානා තැනැත්තවුන් නුවණ දැළට හසුවූ නිසා ව දැන ඕ හට වන්නේ කුමක් දෝ හෝ යි සලකනසේක් මේ කර්‍ෂකයා උදාසන ම සාන්ට යෙයි. වස්තු ඇත්තො ත් සොරුන් විමසන්ට ගියාහු දහසින් බැඳි පියල්ල මූ ලඟ තුබු වා දැක මොහු අල්වති. මූ සොරකම් නොකළ නියාවට මා විනා අනික් කෙනෙක් දෙස් විය නො හෙති. සෝවාන් වන්ට පිනු ත් ඕ හට ඇතැ’යි දුටු සේක. දැක ලා ‘මාත් ඵ් කුඹුරට යා යුතු ම’යි සිතා වදාළ සේක. සී සානා තැනැත්තෝ උදෑසන ම සාන්ට ගියහ. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ගෙන එතැනට වැඩි සේක. කර්‍ෂකයාණෝ ත් බුදුන් දැක ‘ස්වාමීනි, මෙ බන්දෙක් මට වෙයි. එ තැන දී මට සහාය වුව මැනවැ’යි සහාය වන්ට වඳනා කලක් මෙන් වැඳ ලා නැවත ත් සාන්ට පටන් ගත්හ.

බුදුන් උන්ට කුමකු ත් නො වදාරා රන් පියල්ල තුබූ තැනට වැඩ ප්‍රසාද චක්ෂුසිනු ත් දැක වදාරා අනඳ මහ තෙරුන් වහන්සේට ‘ආනන්‍දයෙනි, සර්පයා දුටු දැ’යි වදාළ සේක. ඔබත්, ස්වාමීනි, සර්ජියා දිටිමි’යි වදාළ සේක. ඒ අසා ලා කර්‍ෂකයාණෝ මෙ තැන නම් වේලෙ ත් නො වේලෙ ත් මා අවුත් සානා තැන ය. මෙ තැන නයකු ඇති නියා වේ දැ’යි සිතා ලා බුදුන් වැඩපී කල්හි ඒ සර්පයා මරා පිය මි යි කැවිට හැර ගෙන ආ තැනැත්තෝ රන් පියල්ල දැක ලා තමන් නුවණැති හෙයින් ‘සර්පයන් පරිද්දෙන් ළං නොවිය යුතු හෙයින් මේ සලකා වදාළ නියා ය’යි සිතා ගෙන ගොසින් තමා සොර කම් නො දන්නා හෙයින් ඉතා මුවාවෙක ත් නො තබා ළඟ තබා ලා පස් සුඟකින් වසා ලා නැවත ත් සාන්ට වන්හ.

මිනිස්සු ත් පාන් ව ගිය කලට උමං බිඳ පියා සොරුන් සොර කම් කළ නියා ව දැක ලුහුබඳවා ගෙන යන්නාහු ඒ කුඹුරට ගොසින් සොරුන් ඒ කුඹුරෙහි දී වස්තු ව බෙදා ගත් නියා ව මඬ ලා තුබූ ලෙසිනුත් හරනට නිස්සක් හළුවා ත් දැක දැන ගෙන සී සානා තැනැත්තන් එ තැනට ආ පිය ත් දුටහ. දැක ලා ඒ හොස්සේ ගොසින් ඉඳුරා වසාලන්ට නු වූ හෙයින් පස් ඉවත් කොට ලා පියල්ල ත් හැර ගෙන තෙපි සොරකම් කොට ලා කුඹුරු සා ඇවිදුදැ’යි කියා ලා මරන්ට වන. මරා පියා බැඳ ගෙන ගොසින් රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ ද එ පවත් අසා පියල්ලෙන් ම නො නිමත් තවත් වස්තු ඇති බැවින් විචාරව’යි නො කියා මරා පියව යි විධාන කළහ. මිනිස්සු ත් උන් හැර ගෙන සැමිටි බාලා මර මරා සොරුන් මරණ තැනට ගෙන යන්ට වන්හ.

උයිත් මර ත් මරත් අනිකක් නොකියා ‘ආනන්‍දයෙනි, සර්ප යා දුටු දැ’යි බුදුන් වදාළ බසත් මහ තෙරුන් වහන්සේ ‘එ සේ ය, ස්වාමීනි, සර්පයා දිටිමි’යි වදාළ බස ත් කිය කියා යෙති. ගෙන යන මිනිස්සු ත් ‘බුදුන් ගේ හා අනඳ මහ තෙරුන් වහන්සේ ගේ ත් කථා වක් කියති. ඒ කිම් දැ’යි විචාරා ‘රජ්ජුරුවන් වහන්සේ දිටිම් නම් කියමී’ කී කල්හි පෙරළා ත් රජ්ජුරුවන් ලඟට ගෙන ගොසින් රජ්ජුරුවන්ට එ පවත් කිවු ය. රජ්ජුරුවෝ ත් කුමක් නිසා කිවුදැ’යි විචාරා තමන් සොර නො වන නියාව ත්, සාන්ට ගිය නියාව ත් බුදුන් ඒ කුඹුරට වැඩ නයෙකැයි වදාළ බසින් නයි මරන්ට ගොසින් දුටු රන් පියල්ල ගෙනවුත් තබා ලූ පමණක් නියාව ත් සියල්ලම කිවු ය.

රජ්ජුරුවෝ ඒ අසා ‘මේ තෙමේ බුදුන් දෙස් කොට පායි. කියන ලෙසින් මුන් ගේ වරදක් කිය නො හැක. මෙයට කළමනා දෙය මම දනිමි’යි ඔහු කැඳවා ගෙන සවස බුදුන් කරා ගොසින් “ස්වාමීනි, අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ගෙන පෙරවරු මූ සානා තැනට වැඩියේ ඇත්දැ’යි විචාරා ‘එ සේ ය, ගියම්හ’යි වදාළ කල්හි ‘එ තැන දැක වදාළේ කුමක් දැ’යි විචාළෝ ය. ‘දහසින් බඳ පියල්ලක් දුටුම්හ’යි වදාරා ‘ඒ දැක වදාළේ කුමක් දැ’යි විචාළ කල්හි ඔහු රජ්ජුරුවන්ට කී ලෙස ම වදාළ සේක. ‘ස්වාමීනි, මේ තෙමේ දෙස් බවට මුඹ වහන්සේ වැනි තැනක් නො ලද්දේ වී නම් අද මූජීවත් වන්ට කොයින් ද? මුඹ වහන්සේ වදාළ බස කියා මරණ නො වී ය’යි කිවු ය. බුදුහු ඵ් අසා ‘මහරජ, මම ත් විතරක් ම කියා ලා ගියෙමි. ඉදින් මේ තෙමේ මා කියා ලූ බසින් දහසින් බඳ පියල්ල නයකු කොට සිතා ගෙන නො ඇල් වී නමුත් යහපත. ඇල්වුව ත් මේ වන ප්‍රයෝජන ය’යි වදාරා ‘මොහු කළ සොර කමෙක් නැත. සොරකම් කොළෝ අනික් කෙනෙක් ම ය’යි කියා නො වදාරා බණ වදාරණ බුදුහු ‘සත්‍වයෝ තුමූ යමක්, කොට පියා ‘අනේ අප කෙළේ කිම් දැ’යි පසුතැවුලි වෙත් නම්, කළා වූ අකුශලයෙහි කටුක වූ විපාක ය කඳුළු වැකුණු මුහුණු ඇති ව හඬ හඬා විඳි ත් නම්, මියෙත ත් එ සේ වූ කටුක කටයුත්ත කිරීම නපුරැ’යි වදාළ සේක.

මේ දේශනා කෙළවර කවුරුන් දෝ ගෙන ගිය රන් පියල්ලක් ගෙන ගොස් ළඟ තබා ලූ පමණකට බුදුන් වදාළ බස මුත් මැරීමට නියත වූ කර්‍ෂකයාණෝ සෝවාන් වූහ. එ වක් පටන් එ සේ තුබූ දෙයකු ත් සොර සිතින් ගෙන යන්ට නො නිසි වූහ. එ තැනට පැමිණි බොහෝ වහන්දෑ ත් නිවන් දුටු සේක. කොසොල් රජ්ජුරුවන් මෙතේ බුදුන් සමයෙහි නිවන් දකිනා හෙයින්දෝ කිසි තැනෙක ත් උන්ගේ අධිගමයෙක් නො පෙනෙයි. අසදිස දාන ය වැනි දනක් දුන්නවුන්ට මෙතේ බුදුන් සමයෙහි වුවත් අධිගම නැති වන්ට කාරණ නැත.

එසේ හෙයින් සත් පුරුෂයන් විසින් දැන් අධිගම බැරිවේ දැ යි නොසිතා මත්තෙහි ලබන අධිගම නිසාත් ත්‍රිවිධ සුචරිත ය පිරිය යුතු.

  1. තක්කු වික්කුවලා