62. සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව

star_outline

තව ද අධිගතයන් නම් ප්‍රථම මාර්‍ගයෙන් ම සංශ ය ලක්‍ෂණ වූ විචිකිත්සාව නසා පී හෙයින් තුනුරුවන්හි විමති නැති නියාව හඟවන්ට සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

රජගහ නුවර වසන ඇඟ කුෂ්ඨයක් ඇතුව සුප්පබුද්ධ නම් කෙනෙක් ඇඟ කුෂ්ට හෙයින් තමන් පිරිස් මැදට වැද්ද නො දෙන්නා පිරිස් කෙළවර හිඳ බණ අසා සෝවාන් වීමෙන් බණ අසන විට බණ පිරිසට පිටත හුන ත් ආර්‍ය්‍ය ජාතියට ඇතුළත් ව තමන් ලත් ගුණ දහම් බුදුන්ට දන්වන්ට පිරිස් ඇතුළට යනු කැමැති වත් වැද ගත නො හී නුවර ඇතුළේ දී බණ වදාරා ලා විහාරයට වඩනා ගමන හෙයින් බොහෝ දෙනා බණ අසා බුදුන් වැඳ ගෙන පසු ගමන් කොට ගොසින් ලා හැම දෙනා නැවත පී කල්හි තුමූ විහාරයට නික්මුණවු ය.

එ වේලෙහි සක් දෙවිඳු මේ සුප්පබුද්ධ නම් කුෂ්ටයාණෝ තමන් බුදුන් ගෙන් ලත් ගුණ ය ‘මඳක් ලත් කෙනකුන් තමන් ලත් දෙය මඳ නියාව අප ලද්දේ මෙ තෙකැයි දුන්නවුන්ට පානා සේ බුදුන්ට හඟවනු කැමැත්තෝ ය’යි දැන තමන් අධිගත නො වන හෙයින් විමසා පියමී සිතා අවුත් අහස සිට “සුප්පබුද්ධයෙනි, තෙපි මිනිස් දිළිඳාණ කෙනෙක් වුව. මම තොපට බොහෝ වස්තු දෙමි. ‘බුදුහු බුදු නො වන සේක. දහම් දහම් නොවෙයි. සඟහු සඟහු නො වෙති. බුදුන්ගෙනු ත් මට කම් නැත. දහමිනු ත් මට ප්‍රයෝජන නැත, සඟුන්ගෙනු ත් මට නැතැ’යි කියව”යි කිවුය.

ඔහු ඒ අසා ‘තෙපි කවුරු දැ’යි විචාරා ‘මම සක් දෙවිඳු ය’යි කී කල්හි ‘දෙව් සැපත් ලබන්ට පින් ඇති පමණක් මුත් නුවණ නැති, ලජ්ජා ත් නැති, සැදෑ ත් නැති, ශක්‍රයෙනි, තෙපි මා හා කථා කරන්ට තරම්මුද? තෙපි මා දිලිඳු ය යි දුක් පතැ යි කියව යම් කෙනකුන්ට ශ්‍රද්ධාදී වූ සප්තවිධ ආර්‍ය්‍ය ධන ය ඇත්තේ වී නම් උන් කබලක් හැර ගෙන දොර දොර සිඟා කතත් දිළිඳු නොවෙති කියා ත් එසේම ඔවුන්ගේ ජීවත් වීම යහපතැ’යි කියා ත් බුද්ධාදීන්ම වදාළ හෙයින් සත් රුවන් ආදී වූ සත් රුවන් ඇති සක්විත්තනු ත් වුවමනා වස්තුවෙන් මා හා සරි විය නො හෙන හෙයින් ආර්‍ය්‍ය ධන සත ම මට ඇති හෙයින් මම දිළිඳු නො වෙමි’යි තමන් අධිගත නියාව ශක්‍රයන්ට හැඟ වූ ය.

ශක්‍රයෝ උන්ගේ කථාව අසා උන් පසු කොට පියා බුදුන් කරා ගොසින් තමන් කී කථා ත් උන් කී කථා ත් බුදුන්ට දැන්වූහ. බුදුහු ‘හෙම්බා ශක්‍රයෙනි, තොප වැන්නෝ සියයෙකු ත් දහසෙකු ත් වඩා ත් උන් ලවා එ ලෙසක් කියවා පිය නො හෙති. උන්ගේ මාර්‍ගගත ශ්‍රද්ධාවත් සුනිඛාත ස්තම්භයක්[1] සේ නිශ්චලය’යි වදාළ සේක.

සුප්ප බුද්ධ කුෂ්ඨිහු ත් බුදුන් ළඟට අවුත් රූ නපුරු වුව ත් මිනිසුන් තමන් දා දරුවන් හා ප්‍රිය වූ තෙපුලෙන් කථා කරන්නා සේ බුදුනු ත් සාද සාමීචි කළ කල්හි තමන් සෝවාන් වූ නියා ව බුදුන්ට කියා ලා යන්ට නික්මුණවු ය. උන් මඳ තැනක් ගිය කලට අලුත වදා පියා සිටි දෙනක් දෝ හෙවත් එ ලෙසින් සිටි යකින්නක් සුප්පබුද්ධ කුෂ්ඨීන් ඇන මරා පිව.

මේ යකින්න මෙ ලෙසින් ම මැරුයේ මුන් මතු ත් නො වෙයි. මේ එක මුරයෙ ත් නො වෙ යි. මේ යකිනි ඒ ඇසිල්ලෙහි අනැගැමි වූ පුක්කුසාති රජ්ජුරුවනු ත්, රහත් ව ලා මහණ වන්ට සිවුරු සොයා ඇවිදිනා බාහිය නම් වූ දාරුචීරිය තෙරුන් වහන්සේ ත්, ඒ ඇසිල්ලෙහි සෝවාන් වූ තඹදැළි නම් සොර මරුවාණනු ත්, මුහු ත් ය යි මුන් සතර දෙනා වෙන වෙන සියක් අත් බැව දෙන් වෙස් මවා ගෙන මැරුව.

මෙ සේ මරන්ට පූර්ව වෛර කවරේද? යත්-ඔහු සතර පක්‍ෂය යට ගිය දවස සිටු පුත්‍ර ව ඉපැද එක් වේසා දුවක උයනට කැඳවා ගෙන ගොසින් ප්‍රහෙණක ය දී ඈ හා සහවාසය කොට සවස් වේලෙහි දී ‘මෙ තැන අප සතර දෙනා මුත් අනික් කවුරුත් නැත. මෑට දුන් මසු දහස ත්, මෑ පළන් ආභරණත්, මෑ මරා පිය හැර ගෙන යම්හ’යි කථා කොළෝ ය. ඔයි ත් ඒ කථාව අසා ‘අනේ මූ ලජ්ජා නැත්තෝ ය. මා හා සමඟ සහවාස ය ත් කොට පියා වස්තු ලෝභයෙන් මා මරති. මළ ත් මම ත් මුන්ට නිස්සක් කෙරෙමි’යි සිතා ගෙන මරණ වේලෙහි දී ‘මම යකිනි ව ඉපැද පියා මුන් මා මැරුවා සේම මාත් මුන් මැරි ය හෙම්ව’යි පැතුව. එ සේ පතා ගත් ම නිසා මෙ ලෙසින් මුන් මැරුව.

බොහෝ වහන්දෑ සුප්පබුද්ධ කුෂ්ඨින් මළ නියා ව බුදුන්ට දන්වා ලා ‘ස්වාමීනි, උන් මිය උපන්නේ කොයි ද? උන්ට කුෂ්ඨ ඇති වූයේ ත් කුමක් නිසා දැ’යි විචාළ සේක. බුදුහු ත් සෝවාන් ව උන් තව්තිසා දෙව් ලොව උපන් නියාවත් එක් ජාතියෙක තගර සිඛී නම් පසේ බුදුන් දැක කාරා කෙළ දමා ඒ පවින් බොහෝ කලක් නිරෑ දුක් විඳ විපාකාවශේෂයෙන් කුෂ්ඨ ඇති වූ නියා ව ත් වදාරා ලා බණ වදාරන සේක් ‘නුවණ නැති සත්‍වයෝ තුමූ තමන්ට සතුරන් පරිද්දෙන් යමක් කළ කල මෙ ලෝ පර ලෝ දෙකින්ම වැඩෙක් නැත් නම් එසේ වූ ඉතා තදපද වූ දුක් ඇති පව් කම් කොට ඇවිදිති. කරන අවස්ථාවෙහි සතුටු සතුටු ව කෙරෙති. නරකාදී වූ සතර අපායට පැමිණි කල මුසුප්පු මුසුප්පු ව හඬ හඬා දුක් විඳිති’යි වදාළ සේක. මේ දේශනාව අසා ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ආදියෙහි දී ම පව්කම අනිෂ්ට විපාක සලකා විෂ නියාව දත් කල විෂානුභවයට මැළි වන්නා සේ පව් කිරීමට මැළි ව සියලු ලෙසින් පින්කම හැසිර සසර මුහුදු ගෙවා නිවන් පර තෙරට පැමිණිය යුතු.

  1. ශූතිකා ස්තම්භයක්.