61. භද්ද වග්ගිය තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද නුවණැත්තවුන්ට ධර්‍ම ප්‍රතිවෙධය නිරායාස නියා ව හහවනු පිණිස භද්දවග්ගිය තෙරුන්වහන්සේගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

භද්දවග්ගිය රජ කුමරුවන් තිස් දෙනා-නොසෙවුව මනා දෙය සොයා ඇවිදිනවුන්ට සෙවිය යුතු නව ලොවුතුරා දහම් සොයනු පිණිස බණ වදාළ සේක. ඒ බණ අසා හැම දෙනාට වැඩි මාලු තැනැත්තෝ අනගැමි ව හැමට බාල තැනැත්තෝ සෝවාන් ව තිස් දෙනා ගෙන් රහත් කෙනකුත් පුහුදුන් කෙනකුත් නැතිව මෙ සේ එව, මහණෙනි’ වදාළ බස් පමණින් ම ඍද්ධීන් උපන් පා සිවුරු ධරා මහණ මහලු පැවිදි ව තෙළෙස් දුහඟ සමාදන් ව වසන සේක් කල් යෑමෙකින් බුදුන් කරා එළඹ අනමතග්ග සූත්‍රය අසා අක් මුල් ඇති සසරෙහි තමන් වහන්සේට අක් ඇති ව රහත් වූ සේක.

සෙසු වහන්දෑ ද ‘සමහර කෙනකුන් රහත්වන්ට දවස් ගණන් මාස් ගණන්, හවුරුදු ගණන් දුක් ගන්නා තරමට ත් මේ තිස් නම රහත් වූ නියාව උදවු ය’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ඒ අසා ‘හෙම්බා මහණෙනි, මුන් උදවු වූයේ මෙ වක මතු නො වෙයි. යටගිය දවස ත් මූ තිස් දෙන ධූර්ත ව රා බී ඇවිදිනෝ තුණ්ඩිල ජාතකයෙහි දී මා හූරු ව හූරු තුඩින් කියා ලූ බණ අසා පැයක් විතරට ත් කල් නොයවා පන් සිල් සමාදන් ව රක්ෂා කරණ පන්සිල් කල් යවා සැට දහසක් හවුරුදු රැක එම හේතුවෙන් දැන් පලඟ නූගුළුවා හුන් හස්නෙහි ම හිඳ එ කල රා බීම් හළුවා සේම දැන් සව් කෙලෙසුන් හැර රහත් වූහ’යි වදාරා බණ වදාරන සේක් ‘කළ පින් ලෙසට නුවණැත්තෝ හැසිල්ලෙක ත් නුවණැත්තන් කරා ගොසින් පාලි ඉගෙන අර්‍ථ විචාරා පර්යාප්තියෙහි නියම දැන උන් ගෙන් කමටහනු ත් කියවා ගෙන, පිළිවෙත් පුරා යම් සේ ජිහ්වාප්‍රසාද ය නො නට කෙනෙක් රස ය දන්නා පිණිස ඒ අනුභව කට යුත්ත දිවග තබා ලා ලුණු ඇඹුල් ආදිය දනිත්ද, කල් නො යවත් ද, මෙන් නුවණැත්තෝ සදහම් නමැති අමාව සිත් නමැති තුඬ තබා ලා ම නිවන් රස ය දැන ගනිති’යි වදාළ සේක. මේ දේශනා කෙළවරත් බොහෝ දෙන රහත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ඇති නුවණ දියුණා යම් සේ මඬ බොර නැති ව වැලි බොරලු ඇති තන්හි උනා ඇති වූ පැන් ස්වභාවයෙන් පිරිසුදු ද, එ සේ ම ස්වභාවයෙන් පිරි සුදු අදහස ආගන්තුකොපක්ලේශයෙන් නො කළඹා, නැවත යම් සේ ඒ පැන් හුණු වූ විටෙක මුත් ස්වභාවයෙන් ම සිහිල් ද එ මෙන් කොධූපනාහාදි අවු ගිනි දෙකින් හුනු නො කොට අදහස සිහිල් ලෙස ම තබවා ලා සියල්ලවුන් කෙරෙහි කරුණා ඇතිව, තව ද යම් සේ පැනින් අපවිත්‍රයක් පවිත්‍ර කොට ලා ද එ මෙන් නපුරු තරම් ඇත්තවුන්ට ත් අවවාද කියා තරම් යහපත් කරවා, තව ද යම් සේ ඒ පැන් බී පියන්ට නා පියන්ට බොහෝ දෙනා විසින් ආලය කට යුතු ද එ පරිද්දෙන් තමාගේ යහපත් තරමින් බොහෝ දෙනා විසින් ප්‍රාර්ථනීය ව, තව ද යම් සේ පැන් කවුරුන්ට ත් වැඩ කරු ද එ මෙන් සියල්ලවුන්ට ම ප්‍රයෝජන වත් ව කුසල්හි හැසිරීමෙන් ලද අත් බැව සඵල කොට භවක්ෂ යට ම තැත් පිරිය යුතු.