තව ද නුවණ නැත්තවුන්ගේ සියලු ලෙසින් අඩු ව අඟවනු පිණිස ලාළුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
රට හුන්නාට සසුන් වැද මහණ වූ පමණක් විනා දත මනා දෙයින් කිසිවකු ත් නො දන්නා ඒ ලාළුදායි තෙරුන් වහන්සේ එක් දවසක් මහ තෙරුන් වහන්සේ රැස් ව හිඳ ලා වැඩ පී කල්හි ධර්‍ම සබයට ගොසින් දැන්මක් හඟවමී සිතා නො දැන්ම හඟවන්ට බණ හස්නෙහි හුන් සේක. එ සේ හුන් කලට අමුතුව ලා ආ හෙයින් තරම් පදම් නො දන්නා වහන්දෑ පෙනුම් මහත් ව බණ හස්නෙහි හුන්නා දැක නුවණිනු ත් පෙනුම වනැ යි සිතා සූත්‍ර හා විනය ත් නො දන්නා තෙරුන් වහන්සේ ගෙන් විදම් විචාරා හර නැති ගස් කපා ගෙන ගොසින් හර නැති නියා ව දුටුවා සේ නුවණ හරක් නැති නියා ව විචාළ දෙය කියා ලිය නුහුණු හෙයින්ම දැන ‘බුදුන් හා එක්ව හිඳ ත් මෙ පමණක් දන්ට නැතැ’යි දොඩා ගෙන ගොසින් බුදුන්ට එ පවත් දැන්වූ සේක.
බුදුහු ඒ මුල් කොට ගෙන බණ වදාරන සේක් “නුවණ නැති කෙනෙක් දිවි හිමියෙනු ත් නුවණැත්තවුන් කරා එළඹ උන් කෙරේ වැස මේ බුදු වදනැ’යි කියා වේව යි ‛බුදු වදන් නම් ම තෙකැ’යි කියා වේව යි පර්‍ය්‍යාප්ති ධර්‍මය ත් නො දනිත් ද, ඒ නොදැන්මෙන් ම සූත්‍ර-ප්‍රතිපත්ති දෙකත් නො දනිත් ද, පිළිවෙත් නො දැන්මෙන් මං නො දන්නවුන් ගමන් නො දන්නා සේ පිළිවෙතින් ලද මනා නිවනුත් නොදනිති. කුමක් මෙන් ද යත්: කෙතෙක් දවසු ත් බත් මාළු පෙරළුෑ සැන්ද බත් මාළුවේ රස නො දන්නා මෙනි. යම් සේ සැන්ද කෙතෙක් දවස් බත් පැන ගෑවී තමා කෙටි වන තෙක් ‘මේ මාළුවේ ලුණු ඇත, ලුණු නැත, මී ඇඹුල් දැඩි ය, මී ඇඹුල් මොළක, මේ මාළුව තිත්ත රස ය, මේ මාළුව කට ද යි, මේ මාළුවේ දුවීම නපුර, දුන යහපතැ’යි යනාදී ය නො දනී ද එ මෙන් නුවණ නැත්තෝ කෙතෙක් දවස් නුවණැත්තවුන් හා එක් ව ගෑවුණ ත් දත මනා දෙයින් කුමකු ත් නො දනිති”යි වදාළ සේක. දේශනා කෙළවර අමුතු ව ගිය වහන්දෑ පරණ ව තුබූ සක්ලෙශි කම හැර වදාරා නික්ලෙශි ව රහත් වූ සේක.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ඇති නුවණ ම රැක නො හිඳ නුවණැත්තවුන් කරා ගොසින් අඩු වැඩි විචාරා දැන ගෙන මනා පිළිවෙත හැසිර ගස් කොළ ලා ලා ඊ ප්‍රයෝජන විඳිනා සේ ප්‍රතිපත්තියෙන් ලද මනා අනුසස් ලැබ්බ යුතු.