59. ගණ්ඨිභෙදක චෞර වස්තුව

star_outline

තව ද ප්‍රපාතාසන්න එක් පියවර මඟ ගමනක් මෙන් ද, අත් වැල් නැති පෙතැලි නො ව වට ව තිබෙන කුඩා හෙයක ගමන් මෙන් ද, වික්‍ෂෙප රහිත ව බණ ඇසීමෙහි යහපත ද, අසන්නට හුන් වේලෙහි පටන් අසන බණෙහි සිතිවිල්ලක් නැති ව නො එක් සිතිවිලි සිත සිතා බණ ඇසීමෙහි නපුර ද දක්වනු පිණිස ගණ්ඨි භෙදක චෞර වස්තුව දක්වමු.

හේ කෙසේ ද යත් -

සැවත් නුවර වසන සොරු දෙදෙනෙක් බණ අසන්ට යන්නවුන් හා සමග දෙව්රමට ගොසින් එක් කෙනෙක් ජීවත් වනු නිසා සොරකම් කරණ පමණක් මුත් අදහස ඉතා නපුරු නොවන හෙයින් ඉඳුරා බණ ඇසූහ. අනික් තැනැත්තෝ බණ අසන්ට ආවවුන්ගෙන් සොරා හැරගන්ට නිස්සක් ම විමසා බණක් අසා ගත නුහුණ වූ ය. ඉන් ඉඳුරා බණ ඇසූ තැනැත්තෝ නිසොර ව සෝවාන් වූහ. අනික් තැනැත්තෝ රුවන් සොයා ගොසින් කිරි වාණා ලද්දා සේ, වී සොයා ගොසින් දවසෙයියා ලද්දාසේ, එක්කෙනකුන් හිණ ගැට ගසා ලා තුබූ රත්රන් දෑ අකක් ලද්දාහ. ඉන් උන් ගේ ගෙයි බතට නිලයෙක් දවස් ගණනකට වුව ත් පෙණින. සෝ වාන් වූ තැනැත්තවුන් ලැබගත් නිවන් රුවන වික්ක හැක්ක ක් නො වන හෙයින් උන්ගේ ගෙයි බතකට නිලයෙක් නොවීය. උන් තමන්ගේ ඇඹේණියන් තොප ඉතා නුවණ නැති හෙයින් හුළු කැන් පමණකට ත් ගෙයි විදි කිදි නැත. අනික් තැනැත්තවුන්

නුවණැති හෙයින් උන්ට බතින් අඩුවෙක් නො වී ය’යි කියා වෙහෙසූ කල්හි සෝවාන් තෑනැත්තෝ දෙව්රමට ගොසින් එ පවත බුදුන්ට දැන්වූහ.

බුදුහු බණ වදාරණ සේක් “යම්කෙණෙක් තමන් නුවණ නැති නියාව එක් වන් සලකත් ද එ පමණකු ත් සැලකීම නිසා ත් නුවණැත්තවුන් කරා එළඹ උන් හා කථා කිරීම ආදි උපදෙසිනු ත් පසුව පණ්ඩිත හෝ පණ්ඩිත සමාන හෝ වෙති. යම් කෙනෙක් මීවින්නන්ට නගුටු නැත්තාසේ, සාවුන්ට අං නැත්තා සේ, තමන් නුවණ නැත ත්, ගුණ නැත ත් ‘නුවණින් ගුණෙන් අප හා සරි අනික් කවුරු දැ’යි ආත්ම ගර්‍වයක් කොට ගෙන සඤ්ජය පරිව්‍රාජකයන් බුදුන් කරා යන්ට මැළි වූවා සේ, නුවණැත්තවුන් කරා නො ගොසින් නුවණ වඩනා ලෙසක් නො කෙරෙත් නම් කළුවර දෙ පෝයේ සඳ පරිද්දෙන් ගුණෙන් නුවණින් අඩු වෙති” යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් ආදි බත් කා බඩ පිරුණවුන් තමන් රිසි නැති හෙයින් නො කත ත් බඩ සාය ඇත්තවුන් කන බතක් සේ ආදි නිවන් නුදුටු බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් සත්පුරුෂයන් විසින් අවික්ෂිප්තව බණ ඇසීම සොරුන්ට පවා යහපත් වන හෙයින් යහපත් නියා ව සලකා සකසා බණ ත් අසා සෙසු ත් පින්කම හැසිර නිවන ත් අත් පත් කට යුතු.