58. ආනන්ද සිටාණන් ගේ වස්තුව

star_outline

තවද කෙතෙක් සම්පත් ඇත ත් ඒ සම්පත සාර ය හැර නො හෙන්නවුන්ට ඒ සම්පත්තීන් මෙ ලොව කෙ සේ වුවත් පාරලෞකික ප්‍රයොජන නැති නියා ව දක්වන්ට ආනන්ද සිටා ණන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර අසූ කෙළක් පමණ වස්තුව ඇති වීමෙන් මහා සම්පත් ඇති ඊට වැඩියුරු තරම් මසුරු සිතුත් ඇති ආනන්ද නම් සිටාණ කෙනෙක් ඇත. ඌ තුමූ දෙ පෝයෙන් දෙ පෝයට නෑයන් රැස් කරවා ලා මූල ශ්‍රී නම් වූ පුතණුවන්ට මාලු කම් කියන කළ ‘මේ අසූ කෙළක් වස්තු ව බොහෝව යි නො සිත ව. ඇති ව තුබූ වස්තු ව කිසි ලෙසකිනු ත් වියදම් නො කර ව. වඩ වඩාලාත් උපයා රැස් කරව. දවස දවස එක මස්සක් වුව ත් වියදම් කරතොත් නොබෝ කලෙකින් ම ගෙවී යෙයි. එ හෙයින් අඳුන් පුරා ලා තුබූ කරඬුවේ දවස් පතා අඳුන් ගානා කලට අඳුන් නිමන නියාව දැක වස්තුව වියදම් කරන්නට ත් නො සිතා තුඩු කුඩා වුව ත් නො මැළි වීමෙන් වේයන් බැඳ නඟන තුඹසේ මහත දැක උපයා රැස් කිරීමෙහි නො මැළි වන්ට සිතා මී මැස්සන් මල් රොන් ආදීන් මී බැඳ ගන්නා ලෙස බලා උපයා ගන්නා උපදෙසු ත් දැන සම්පත් ඇති කෙරෙති’යි තුන් වේලේ ම කියති.

අනුන්ට උපදෙස් කියා ගිය පමණක් මුත් තමන්ට උප දෙසක් ම නොදත් හෙයින් තමන් ගේ මහා නිධාන පමණකු ත් මසුරු සිත් බලවත් හෙයින් පුතණුවන් පමණකට ත් කියා ගත නො හී කුණු මසුරු සිතින් ඉතා කුණාටු ව මිය ගොසින් - එම නුවර වාසලක් ගාවා එක් ගමෙක සැඩොල් කුල දහසක් වෙසෙති - ඉන් එක සැඩොල් කෙල්ලක බඩ පිළිසිඳ ගත්හ. කොසොල් රජ්ජුරුවෝ උන් මළ නියා ව අසා මූලශ්‍රී නම් පුතණුවන් ගෙන්වා ලා සිටු තනතුරු උන්ට දුන්හ.

ඒ සැඩොල් කුල දහස ත් එක් ව බැළ මෙහෙ කරන්නාහු ඌ පිළිසිඳ ගත් තැන් පටන් බැළ තබා බත් පිඬක් පමණ ත් නො ලැබෙති. ඔහු ‘අපට මෙ තෙක් කල් මෙ සේ නැති ව දැන් මෙ සේ වන්ට කාරණ කිම්ද? අප අතුරේ කාලකණ්ණි කෙනකුන් ඇති නියා ය’යි දෙ භාගයක් ව උන්ගේ දෙ මවුපියන් පමණක් වෙන් වන තුරු දෙ භාග වූහ. දෙභාග වීමෙන් උන් තේරී ගියේ කෙ සේද යත්- ආදි දෙ භාග වූ ගමනේ ම යම් භාගයකට නො පැදේ නම් උයිත් දෙ භාග වූහ. ඉනුත් යම් භාගයකට නො පැදේ නම් උයි ත් දෙ භාග වූහ යි මේ ලෙසින් උන්ගේ දෙ මවු පියෝ තේරී ගියහ. උන් තේරී ගිය කළ කාලකණ්ණියා ත් උන් කෙරෙහි නියා ව දැන උන් දෙන්නා තමන් ගෙන් පිට ත් කළහ.

දරුවන් කුස වසන තෙක් එක් දවසෙක යපෙන පමණක් නො ලදින් දුක සේ වැදුව. උපන් කුමරහුගේ අත පය කන් නාසා ඇස මුහුණ විකාර ලෙස මුත් පනතක් ව නො තුබුනේ ය. රූපත් වන පිණක්ම නො කළ හෙයින් විරූප ව පාංශුපිශාචයක්හු මෙන් අප්‍රිය වූයේ ය. එසේ වුවත් වදාපු දරුවන්ට ප්‍රේමය බලවත් හෙයින් මෑණියෝ දමා පියා නො යෙති. මූ කැඳවා ගෙන ගිය දවස් කිසිවකු ත් නොලැබ ගෙයි රඳවා ලා ගිය දවස් බැළ මෙහෙ ලැබෙති. ඉක් බිත්තෙන් ඌ සිඟා ගෙන කන්ට බල ඇතිව ගත් කල දී ලන්ට තැටි පත් නැති හෙයින් කබලක් අතට දී ලා ‘පුත, තොප නිසා මහත් දුකට පැමිණියම්හ. ඉතිකින් තොප රැකලන්ට නොපිළිවන. හෙම්බා, මේ නුවර සිඟන්නන් පුලන්නන්ට තබා දෙන බත් ඇත. සිඟා ගෙන කව’යි කියා හැරපූ ය.

උයිත් ගෙයක් පාසා සිඟා ඇවිදිනෝ ආනන්‍ද නම් සිටු කල උපන් වැඩී ස්ථානයට ගොසින් ජාති සිහි කරණ නුවණ ඇති ව තමන්ගේ ගෙට ගියහ. වාසල් තුනෙක කවුරු ත් සලකා ගත නුහුණු වූ ය. සතර වන වාසල දී මූල ශ්‍රී සිටාණන්ගේ දරුවෝ දැක නො දුටුවිරූ ලෙසක් හෙයින් හඬන්ට වන්හ. සිටාණන්ගේ මිනිස්සු මර මරා නෙරනාහු කසළ ගොඩ ලා පූහ.

බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවාගෙන සිඟා වඩනා සේක් තෙරුන් වහන්සේ බණවා ලා මූලශ්‍රීන් කැඳවා වදාළ සේක. ඒ අමුත්ත දන්නා නිසා බොහෝ දෙන ත් රැස් වූහ. බුදුහු මූල ශ්‍රීන් බණවා ලා ‘තුලුන් හඳුනා දැ’යි වදාළ සේක. නො දනිමි’යි කී කල්හි ‘තොපගේ පියාණෝ ආනන්‍ද සිටාණෝ ය’යි වදාරා ලා ධර්‍ම ස්වරූපය නොදැන නො හඳුනන හෙයින් ‘ආනන්‍ද සිටාණෙනි, තොපගේ පුතණුවන්ට මහා නිධාන පස කියව’යි කියවා ලා දෙ වන ජාතියේ පිය නියා ව සිතට නංවා ලූ සේක. මූලශ්‍රී ත් ඒ ජාතියෙහි නිවන් දක්නට හේතුවක් නැති හෙයින් දෝ නො හොත් නුවණ, ලා හෙයින් සරණ සීලයෙහි පිහිටියහ.

පැමිණි පර්‍ෂදට බුදුහු බණ වදාරණ සේක් ‘නුවණ නැති සත්හු දරු පෙමින් හා වස්තු ලෝභයෙන් ‘අපගේ දරුවෝ ඇත. අපගේ සම්පත් ඇතැ’යි ඇවිද මහිමයෙන් මෙසේ ත් පෙළෙති. දරු වෝ ත් නටවු ය. නස්මින් සිටියෝ ය. ඉදිරියෙ ත් නසිති’යි ‘වස්තුව ත් එසේ ම ය’යි මෙ ලෙසිනු ත් පෙළෙති. නැවත ද දරු මල්ලන් රැකගනුම්හ’යි, සම්පත් උපදවම්හ’යි රෑ ත් දාවලු ත් නො එක් දුක් ගෙන ත් පෙළෙති. පෙළෙන පමණක් මුත් මියනට හැඳ වැදහොත් කලට මරණ දුක් ඇති ව ලා නහර බාන් සිඳී ඇට සන්ධි ගැළවෙන කලට-පියා ලූ ඇසට පරලොව ත් දල්වා ලූ ඇසට මෙ ලොව ත් පෙනෙන වේලෙහි දවස තුන් විටක් නාවා තුන් විටක් වුව ත් වඩා වුව ත් කවා සුවඳ මල් ආදියෙන් සරහා කෙසේ පිරිමැසුව ත් තමාට තෙමේ ත් සහාය ව ගත නොහෙන හෙයින් නැත.

ආනන්‍ද සිටුහු කිසි කෙනකුන්ට කිසිවක් නොදී දරුවන්ට ය යි වස්තුව රැස් කොට ඒ ජාතියෙහි මියයන්ට වැදහොත්තා හටත් දැන් මේ සා මහත් දුකකට පැමිණියා හටත් යම් සේ දරුවෝ ත් නැත් ද, වස්තුව ත් නැත් ද, එ සේ ම තමාට පිහිටක් කොට ගෙන යතොත් දරුවන් කුම් වුව ත් වස්තුව ඇති හෙයින් එ සේ පිහිට නො කළවුන්ට දරුවෝ ත් කොයි දැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර සුවාසූ දහසක් දෙනා නිවන් දැක දරුවන් නිසා ත් සම්පත් නිසා ත් ඇලුම් හළවු ය. එ හෙයින් මේ දේශනා වත් බොහෝ දෙනාට සප්‍රයොජන වි ය.

නුවණැත්තවුන් සම්පතට ත් ජීවිතයට ත් වඩා පිනෙහි මමාය න ය ඇති ව කරණ දෙය ත්, කියන දෙය ත්, සිතන දෙය ත්, පින් විෂයෙහි ම යොදා සිත් සතන් පිරිසුදු කොට ගෙන ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.

________