එ කල්හි සැවැත් නුවර මහ සම්පත් ඇති මහාසුමන නම් කෙළඹියාණන් කෙනෙක් වෙසෙති සම්පත් ඇති පමණ මුත් පල ගන්නා ගස් තමා පල ගන්නා අවධියේ මුත් අතුරෙක පල නො ගන්නා සේ, පුත ප්‍රතිලාභයට නිසි කුසලය නුමුකුරා ගිය හෙයින් දෝ සම්පත් ප්‍රයෝජන විඳ පියන්ට නිසි දරු කෙනෙකුත් නැත. ඒ කෙළෙඹි පුත්‍රයාණෝ එක් දවසක් ගඟට ගොසින් නා පියා එන තැනැත්තෝ අතුරු මඟ අතු පතරින් ගැවසී ගත් මී දෙව් දුව[1] ඉසට පැන් නඟන්ට මුණින් නමා ලූ ඉඳු නිල් මිණිමුවා කළයෙකින් වැම්මෙන ජල ධාරාවක් සේ සූදු කඳක් ඇති, නැවත ඒ මී දෙව් දුව ඉසට කළ පිල් සතක් වැනි සෙසු ගස් කොළට උස් හෙයින් දෝ හෝ නොහොත් මල් නැති ව පල ගන්නා හෙයින් වනස්පතී නම් නුග ගස් ආදියෙන් එක්තරා ගසක් දැක, මේ ගස ඉතා ශෝභාවත. මෙ සේ වූ ගසෙක අනුභාව සම්පන්න දේවතා කෙනකුන් ඇත මැනවැ’යි දෙවතා ආරාධනායෙනුත් දරු කෙනකුන් ලදිම් නම් යෙහෙකැයි සිතා ගස මුල තණ හරවා කසලත් හමඳ වා බෝධිකොටුවක් සේ වට පවුරකු ත් බඳ වා ඒ ඇතුළත මුතු පට සමාන වැලි ලවා වට කොට ධජ පතාක නංවා ගස කඳත් පට කඩ ආදියෙන් සරහා අතුපතරත් මල් වඩම් ආදියෙන් සරහා ලා ‘තව මෙ විතරෙක් නොවෙයි. දෙවතාවාණෙනි, තොප ගේ අනුභාවයෙන් දරු කෙනකුන් ලදිම් නම් කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කොට මහත් සත්කාර කරවමි’ කියා දරුවන් පතාගෙන නුවරට ගියෝ යැ.
වත් කරණ පැන් නැති ව පලදා පමා ව සිටි ගසක් පැන් ලදින් සාර ව උදවු ව පල ගන්නා සේ දේවතා ආරාධනා කළ නො බෝ කලකින් ම උන් ගේ කෙළෙඹි දුවණියන් බඩ දරු කෙනෙක් ඇති වූහ. ඇතිව ගබ පෙරහර ලදින් දස මස් අයාමෙන් දේවතා ආරාධනාවෙන් ලබන දරුවන් අල්ප පුණ්‍යයන් නො වන හෙයින් කළ පින් ඇති පුතණු කෙණෙකුන් වැදූහ. උපන් පුතණුවන්ට නම් තබන කෙළෙඹියාණෝ ගස දෙවියාට කළ රක්‍ෂාව නිසා උපන් හෙයින් පාලිත නම් තුබූහ. ආදි නො පල දා ගසක් පිට පිට හෙළා පල ගන්ට වන්නා සේ අනික් පුතණු කෙණෙකුන් වැදූහ. උන්ට චුල්ලපාලිත නම් තබා ලා වැඩි මාලු පුතණුවන්ට බණවා ලන්ට සුව ලද ය නිසා මහාපාලිතයෝ ය යි මහා යන්නකින් වෙසෙසා නම තබා ලූහ. මෙසේ නම් තබා වැඩි විය පැමිණි දරුවන්ට සුදුසු තැනින් සරණ ගෙන්වා පාවා දී වෙන් කළහ.
සැවැත් නුවර ද වැළි ත් නිවන් දුටුවන් ගෙන් පස් කෙළක් හා නිවන් නොදුටුවන් ගෙන් දෙ කෙළක් හා එක් වසත් කෙළක් විතර මිනිස්සු ඇත. උන් ගෙන් නිවන් දුටුවෝ නිවන් නුදුටුවෝ කුමක් කෙරෙත් දැ යි නිවන් දුටුවන්ට කට යුතු නම් තමන් මාර්‍ගගත අචල ශ්‍රද්ධාවෙහි පිහිටි හෙයින් පෙර වරු වේලෙහි දන් දෙති. දන් දී ලා පස්වරු වේලෙහි සුවඳමල් ආදී වූ පූජා භාණ්ඩ නැමැති පඬුරු හැර ගෙන සම්‍යක් සම්බුද්ධ නැමැති සක්විත්තන් වහන්සේ කරා ගොසින් ගෙන ගිය පඬුරු පාවා දී අනුශාසනා ත් අසා අඩු ව තුබූ මාර්‍ග ඵල නැමැති සංග්‍රහ ලබති.
එක් දවසක් මහා පාලිත කුමාරයෝ පස් වරු වේලෙහි උපාසකවරුන් සැදී පැහැදී ගෙන තමන් අනුභව කළ නිවන් රසයට නො එක් ලෙසින් අඩු වුව ත් තමාට ඇති දෙයක් වේ දැයි ඉක්ෂු-මධු-ගුළ-ශකරාදි ය ත් පාන වර්‍ග ත් ගෙන්වා ගෙන බුදුන් කරා බණ අසන්ට යන්නවුන් දැක ‘මඟුලකට-පූජාවකට යන්නවුන් මෙන් සැරහී පියා කොයි යෙත් දැ’යි විචාරා සම්‍යක් සම්බුද්ධ නැමති සක්විති රජ්ජුරුවන් වහන්සේ දම්සක් පවතුන් සුත් නැමති සක්රුවනෙහි ආනුභාවයෙන් පස් මරුන් නැමැති සතුරන් සාධා ගැන්ම නිසා කෙළ ලක්‍ෂයක් සක්වළ ලැබගෙන ඒ සක්වළ තුබූ මුක්තා-මාණික්‍ය-ශඞ්ඛ-ශිලා-ප්‍රවාලාදි වස්තුව වේදබ්භ ජාත කයෙහි වේදබ්භ නම් මන්ත්‍රය දන්නා බ්‍රාහ්මණයාණන් මන්ත්‍රානු භාවයෙන් වස්වා ලූ සත් රුවන් එක් දහස් පන්සිය එක් කෙණෙකුන්ගේ විනාශයට කාරණ වූවාසේ සොපද්‍රව සෙයින් පෙළ දම් නැමැති මුහුදින් නවලොව්තුරා දහම් නැමැති රුවන් නංවා තබන සේක. ඒ සොයා යෙති’ කී කල්හි එ සේ වීනම් “මම ත් ඔබ යෙමි. ඒ ති ලෝ ගුරු බුදු රජාණන් වහන්සේ තොප හා අප පුරුදු කමෙක් නැත. තොපට බණ කියන්නෝ කවුරුදැ යි නො වදාරත්. එ සේ හෙයින් මම ද බණ අසාලා ලොව් තුරා සැප ත් සාධා ගතිමි නම් යහපත, ලොවී සැපත් ලැබීම අරුම නැත. පදපරම වුවොත් මත්තට හෝ උපකාර වුවත් යහපතැ”යි ගොසින් බුදුන් වැඳ තමන් අමුතු ව ලා ගිය හෙයින් බුදුන් ගෙන් එ සේ අමුත්තක් නැත ත් පර්‍ෂත් කෙළවර හුන්හ.
බුදුහු ද වැළිත් බණ දෙසන කළ පර්‍ෂත් ගේ අදහස් බලා මාර්ගාධිගමයකට උපනිශ්‍ර ය දැක චර්‍ය්‍යා ලෙසින් බණ වදාරණ සේක. එ සේ හෙයින් එ දවස් මහාපාලිත කුමාරයන් ගේ ත් නිවන් දක්නට උපනිශ්‍රය බලා උපනිශ්‍රය ඇති සේ දැක දී ලූ දෙයින් ප්‍රයෝජන විඳිනට බාල හෙයින් නොනිසි දරුවනට භුක්ති විඳිනා අවස්ථාවෙහි භුක්ති විඳිනා නියායෙන් සම්පත් නියමකොට තබන පියාණ කෙණකුන් පරිද්දෙන් වයසින් මූකුරා සිටිය ත් ඉන්ද්‍රිය පරිපාකය තව නු වූ හෙයින් අදහසින් බාල වූ ජාතිශුද්ධි ය නිසා පුත්වන්ට ගිය මහාපාලිත කෙළෙඹියන්ට පසු ව ප්‍රයෝජන විඳිනා ලෙසට ධර්‍ම දායාද දෙන බුදුහු පිළිවෙළ කථාව වදාළ සේක.[2]
පිළිවෙළ කථා නම් - දාන ය නම් දිව සැපත් ආදියට උතුම් වූ කාරණයෙක. නැවත සියලු සම්පතට පිහිට තිබෙයි. සියල්ල වුන්ට ම බන්ධුකෙණෙකුන් හා සරිය. දුකට පැමිණියවුන්ට සහායව සිට දුකින් මුදයි. දානය නම් දුක් මුහුදින් එ තෙර කරණ හෙයින් නැවක් හා ත් සරි ය. පැමිණි භයින් රැක ලන හෙයින් සුරක්ෂිත සුගොපිත නුවරක් හාත් සරිය. මසුරු සිත් සිතන්නවුන් විසින් ළං වන්ට බැරිහෙයින්න් විෂ ඝෝර සර්පයන් වැනිය. මසුරුසිත් හා එක්ව හැඟලීම් නැති හෙයින් දිය හා එක් නොවන පියුම් වැනි ය. දන් දීමට වඩා අනික් පිහිට නිවන්හැර නැතැ යි යන බැවින් නුවණක් ඇති කවර නම් කෙනෙක් දන් නො දෙත් ද? යම් කෙනෙක් නො මැළිව දන් දුන්නු නම් දහස් ගණන් දෙවඟනන් පිරිවරා බොහෝ කලක් දෙව් සැපත් වළඳති. දන් දෙන්නා වූ සත්‍වයෝ කිසි ලෙසකිනු ත් විපිළිසරක් නැති බැවින් හැම වේලේ ම සතුටු වෙති. සියල්ලවුන් විසින් සම්භාවනීය ත් වෙති. බොහෝ දෙනා කෙරෙහි ප්‍රසිද්ධ ත් වෙති. බොහෝ සාද සාමීචියනු ත් ලැබෙති. තව ද මේ දානය නම් සොරුන්ට වත් සතුරන්ට වත් රජදරුවන්ට වත් සාමාන්‍ය නොවන කල කළවුන් තම තමන්ට ම ආවේණික ධනයෙක. උපනිශ්‍රයව සිට ත්‍රිවිධ බෝධීන් එක් තරා අධිමුක්ති වූ ලෙසින් සාධා දී ලයි. යනාදීන් දන් දීමෙහි අනුසස් වදාරා ලා ඊට ඉක් බිති ව යුද්ධ කාලයෙහි පර සතුරන් විදිනා ශර නිවාරණ ය නිසා ලන සන්නාහයක් මෙන් දෙන දනට බාධා කොට කෙලෙස් සතුරන් විඳිනා අකුසල් නැමැති ශර නිවාරණ ය නිසා සිල් නැමැති සන්නාහ ය ලිය යුතු ය. දන් දෙන්නවුන් විසිනුත් දන් දීමට නියැළී නො හිඳ යට ත් පිරිසෙයින් පන් සිල් පමණක් වුවත් රැක්ක යුතු ය.
ශීල ය නම් මෙ ලොව පර ලොව වැඩට මුල ය. පැළඳ ගෙන කෙ තෙක් ආභරණ ලූවත් සිල් නැමැති ආභරණයට වඩනා ආභරණයක් නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නැමැති සුවඳට වඩනා සුවඳකුත් නැත. කෙළෙස් කුණු සෝධා හරනට සිල් නැමැති ජලයට වඩනා පැනකුත් නැත. කෙළෙස් ගිම් නිවා ලීමෙහි සිල් නැමැති පවන භා සම පවනකු ත් නැත. ශීල ය වැනි වූ කීර්ති එළවා දී ලන දෙයකුත් නැති. දිව්‍ය ලෝකයට නැඟෙන්ට හිණෙක් වේ නම් සිල් නැමැති හිණම ය. නිවන්පුර වදනවුන්ට මේ ශීලය වාසලක් වැන්න. තම හට හිත කැමත්තවුන් විසින් අවශ්‍ය යෙන් දවස දවස පන් සිල් වේ ව යි’ පොහොය අට සිල් වේ ව යි, වීර්‍ය්‍ය ඇත දස සිල් වේ ව යි අධිමුක්ති වූ ලෙසින් හෙරණ ව ලා රැක්ක යුතු සතලිස් අඟෙකින් යුක්ත දස සිල් වේ ව යි, මාලු පැවිදිව රැක්ක මනා විනය පිටක පර්‍ය්‍යාපන්න ශික්ෂා පද ශීල ය වේ ව යි රැක්ක යුතු ය යනාදීන් සිල් රක්‍ෂාකිරීමෙහි අනුසස් දක්වා ලා ඉක් බිති ව යම් කෙනෙක් සිල් රක්‍ෂා කොළෝ වූ නම් ශීල විශුද්ධියෙහි පිහිටා ධ්‍යාන වශයෙන් ලොවී ගුණයක් වේව යි මාර්‍ග ඵල වශයෙන් ලොව්තුරා ගුණයක් ලද නුහුනු වූ නමුත් සිව් මහ රජය පටන් සදෙව් ලොව ඉපැද ඒ ඒ දිව්‍ය ලෝකයෙහි ආයු පමණින් දිව සැපත් වලඳති.
දෙව් ලොව දී වුවත් වණ්ණ කිසිණු ලැබෙන හෙයින් ඒ බලා ධ්‍යාන උපදවා ගත්තු නම් බඹ ලොව ඉපැද බඹ සැපත් විඳිති. ඉදින් ධ්‍යාන පාදක කොට භාවනා කෙරෙමින් අනැගැමි වූ නම් අනගැමි යන්ට ම ප්‍රතිනියත වූ ශුද්ධාවාසයෙහි ඉපැද මහා කපින් කප් දහස කුත් කප් දෙ දහසකුත් කප් සාර දහසකුත් කප් අට දහසකුත් කප් සොළොස් දහසකුත් නිවන් රස මුසු වූ බඹ සැපත් වළඳති. එ හෙයින් ස්වර්‍ග සම්පත් නම් වුවමනා දෙයකැ යි වදාරා ලා ස්වර්‍ග සම්පත් ම ඇලුම් කරණ කෙනෙක් ඇත් නම් නිවනට පැමිණ ගත නොහෙන හෙයින් ඊට ආලයහරවනුනිසා ඒ ස්වර්‍ගය නම් නිවන් සේ නොනස්නා දෙයක් නො වෙ යි. ගින්නෙන් කප නස්නා කලට ආභස්සරයෙන් පාත මුළුල්ල නස්සී සුළඟින් නස්නා කලට වෘහත් ඵල නම් බඹලොවින් පාතම්ළුල්ලනස්සී. කල්ප විනාශයෙන් නො නස්නා කල බඹ ලොවත් ව්‍යය ස්වභාව ය ඉක් ම නො පවත්තී එ හෙයින් ඊ ත් ඇලුම් කටයුතු නො වෙයි යනාදීන් වදාරණ කථා ය.
පාලිත නම් සිටු පුත්‍රයාණෝ ද මේ පිළිවෙළ කථා ආද්‍යන්ත කොට අසා මෙසේ වූ මූ කළ[3] සිතිවිල්ලක් සිත ත් සත්වයන් මිය පර ලොව යන කලට උපයා ගත් සම්පත් වේ ව යි ඇති කළ නෑ සිය කෙනෙක් වේ ව යි කැටු ව යන්නෝ නැත. සෙස්ස තබා තමා ගේ ම ය යි මමායන කොට පිරිමැසූ ශරීර ය පමණකුත් ගමන් පසු කොට ලා රඳා ගන්නා සේ තෙමේ පමණකුත් කැටි ව නො යෙ යි. මේ තිලෝ ගුරු බුදුන් ගේ ධෞතශඞ්ඛයක් සේ නිර්‍මලවූ ධර්‍මය නො එක් ලෙසින් සකිලිටු වූ ගිහි ගෙයි රඳා නො වරදවා කට නොහැක්ක වස්තුයෙහි සාරය දන් දීමෙන් හැර ගත හැක්ක. ආත්ම සාරය ශීල සංරක්‍ෂණ යෙන් මුත් ගත නො හැක්ක. ආත්ම සාරය නැති කලට හුදක් භොග සාරය ම නිවන් සාධා ලිය නො හෙයි. එ සේ හෙයින් ගිහිගෙයි රැඳීමෙන් ප්‍රයෝජන නැත. මහණව ගනිමි යි සිතා බණ වදාරා අන්තයෙහි බුදුන් කරා එළඹ මහණ කරන්ට ආරාධනා කළහ. එකලට බුදුහු තොප විසින් අවසර ගත මනා නෑ සිය කෙනෙක් නැද්දැ’යි විචාළ සේක. ඒ අවධියට දෙ මවු පියන් නැති හෙයින් ඇවැස්ස නෑයන් ගෙන් මලණු කෙණෙකුන් ඇති නියාව කිවු ය. ඒ අසා බුදුහු එ සේ වී නම් උන් පමණකට වත් කියව යි වදාළ සේක. රෝගයක් බලවත් කෙණෙකුන් සපයා දෙන්ට කී යම් ම දෙයක් සපයා දී රෝග සන්හිඳුවන්නට කරණ යත්නයක් සේ කෙළෙස් ලෙඩින් මිදෙනු නිසා අනුමැති බෙහෙත් සපයා දීම යහපතැ යි ගිවිස බුදුන් වැඳ ගෙන ගෙට ගොසින් මලණුවන් කැඳවා ලා “මලණ්ඩ, මේ ගෙයි ඇති සියලු සැපතෙක් ඇත් නම් තොපට හළිමි. තෙපි ම ප්‍රයෝජන විඳුව” යි කිවු ය. මළණුවෝ ද ඒ අසා මා ම උත්සාහ කොට, මට ගත මනා ය යි කොට ද නො සිතා හැයි? නුඹ හැනැ’යි විචාළෝ ය.
මම බුදු සසුන් වැද මහණ ව ගන්නා කැමැත්තෙමි. මහණ වන්නවුන්ට තුන් සිවුරු පාත්‍ර විනා ගිහි සැපතිත් ප්‍රයෝජන නැත්තේ වේ ද ඒ නියා ය’යි කිවු ය. ‘බෑණන් වහන්ස, කුමක් කියන නියා ද? දෙ මවු දෙදෙනා නැත ත් නුඹ වහන්සේ වැඩි මාලු බෑණන් වහන්සේ හෙයින් දෙ මව් පිය තරමේ ම සිටි සේක. එක් ව ප්‍රයෝජන විඳින්නට මැළි වූව ත් සම්පත මහත් හෙයින් බෙදා ගණිත ත් පිළිවන. එ බඳු පින් ඇත් නම් චුල්ලසෙට්ඨි ජාතකයෙහි එක මීයා ගෙන් මසු දෙ ලක්ෂයක් උපදවා ගෙන සිටු සම්පතට ත් හිමි වූ චුල්ලන්තෙවාසිකයා මෙන් සම්පත් ලද හැක්ක. නැවත ගිහිගෙයි රඳා ත් පින් කට හැක්ක. මහණ වන්නට නො කැමැත්තේ ය යි කිවු ය. මහාපාලිත කෙලෙඹියාණෝ ද ‘මලණ්ඩ, විහාරයට ගිය ගමනේ බුදුන් ගෙන් බණ ඇසීමි. සිංහතෙලට රන් වළන් මුත් අනික් වළඳක් නිසි නො වන්නා සේ සර්‍වඥ නැමැති සිංහයාණන්ගේ සදහම් නමැති සිංහ තෙලට ශ්‍රාවක සංඝ නැමැති රන් වළන් විනා අගාරික ජන නැමැති සෙසු වළඳෙක් නිසි නො වෙ යි. එ සේ හෙයින් ගිහි ව සිට ඒ බණ පුරා ලිය නො හැක්ක. එසේ හෙයින් මහණ වෙමි’යි කිවු ය. ඒ අසා කුඩා පාලිත කෙළෙඹියාණෝ ‘තව නුඹැ ළදරුදෑ ය. අවශ්‍යයෙන් අපගේ පෙරැත්තත් නොගෙන මහණ වුවමනා වී නම් ළදරු වයස ගිහි සැප ත් වළඳා මාලු වයස මහණ වුවමැනවැ’යි කිවු ය.
ඒ අසා මහා පාලිත කෙළෙඹියාණෝ ‘එම්බා මලණ්ඩ, මාලු කල මහණ දම් කරන්නට බැරි ය. වත් පිළිවෙත් කළ මැනව. ඒ නො කොළොත් වෙළඳාම් නො කළ කලට වස්තුව නැත්තාසේ සිල් නො පිරෙයි. සිල් නොපිරුණු කලට සසර දික් වෙයි. සසර දික් වීමෙන් නිවන් දුරුවෙ යි. නිවන් දුරු කලට මහා අලා භ ය. ජරායෙන් මිරිකි පියා සිඟා ගන්නා පමණකු ත් නැති ව අශක්ති ව කරණ සපන් කම් බලා ත් සියල්ලකට සමර්ථ අවස්ථාවෙහි මහණ වීම යහපත. එ සේ හෙයින් තොප කුමක් කීව ත් වසවත් මරහු නැවතුව ත් නො නැවත ගොසින් මහණ ව බුදු ව වදාළේ මහලු අවස්ථාවෙක නො වේ. විසි නව හවුරුද්දේ ගොසින් මහණ ව පන් තිස් ඇවිරිද්දේ බුදු වූ හෙයින් මහණ වූ යේ ත් සග වයස දී ය. සග කල් ම මහණ ව බුදු ව වදාළ බුදුන් කරා මම ද සග කල ම ගොසින් මහණ ව රහත් වෙමි’යි කියා බුදු සසුන් වැද මහණව මාලු පැවිද්ද ත් ලදින් ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් වහන්සේ ළඟ පස් වසක් වැස ස වෙනි වස වෙන් ව වසන්ට නිසි ව ගෙන බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, නුඹ වහන්සේගේ මේ ශාසනයෙහි ධුර කීයෙක්දැ’යි විචාරා ග්‍රන්ථ ධුර ය විදර්ශනා ධුර ය හා ධුර දෙක ය’යි වදාළ කල්හි තමන් වහන්සේ ආධුනික හෙයින් නොදැන ග්‍රන්ථ ධුර ය කවරේ ද, විදර්ශනා ධුරය කවරේ දැ යි විචාළ සේක.
එ සේ විචාළ ඔබට බුදුහු ග්‍රන්ථ ධුරය නම් තෙවලා බුදු වදන් උගැන් ම ය. ඒ තෙමේ ප්‍රතිපත්ති-ප්‍රතිවෙධ දෙකට මුල් ව සිටී. විදර්ශනා ධුර ය නම් ශීල විශුද්ධි-චිත්ත විශුද්ධි ආදී වූ ෂඩ් විශුද්ධි පරම්පරාවෙන් ගොසින් සත් වැනි වූ ඥාන දර්ශන විශුද්ධිය සපයන්ට කලාප සම්මශීනාදීන් විසින් පැවැති විදර්‍ශනා ධුර ය නම් වෙ’යි බුදුහු වදාළ සේක. ඒ අසා පාලිත තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, මා වැඩි මාලු ව මහණ වූ හෙයින් ග්‍රහණ ධාරණාදිය කරන්ට ඥාන ශක්ති ය අඩු හෙයින් ග්‍රන්ථ ධුර ය පුරා ගත නො හෙමි. ග්‍රන්ථ ධුර පුරත ත් භව ක්ෂය කොට ගන්ට අවශ්‍යයෙන් විදර්‍ශනා භාවනාව ඇත මනා හෙයින් දෙකට කැටි ව ම විදර්‍ශනා ධුරය පුරමි. කමටහන් වදාළ යහපත’යි දැන් වූ සේක. ඒ අසා බුදුහු අර්හත්‍ව ය දක්වා කමටහන් උගන්වා වදාළ සේක. ඔබ ඒ කමටහන් ඉගෙන ගෙන අනික් තැනකට ගොසින් මුත් එතැන් හි දී භාවනාභියොග ය බැරි හෙයින් අනික් තැනකට වඩනා කැමති ව බුදුන් වැඳ ගෙන ‘භාවනා කරම්හ’යි කියා තනි ව නැඟි යෑම කරණ භාවනාවට අනුරූප වන මුත් ශාසනානුරූප නොවන හෙයින් සමඟ වඩනා තරම් ඇති වහන්දෑ සොයා සැට දෙනෙකුන් වහන්සේ ලැබ ගෙන වැඩ හුන් විහාරයෙහි ගමික වත් සපයා ලා සැට දෙනා වහන්සේ හැර ගෙන නික්ම ආවාස ඵාසු තැනක් සොයන සේක් සාර සිය අසූ ගව්වක් ගෙවා ගොසින් එක් පසල් ගමකට පැමිණ සැට දෙනා වහන්සේ ම ගැටවටු ගන්වා සිවුරු වැළඳ ගෙන පාත්‍ර ය පටවා ගෙන සන්හුන් පියෝ ඇති ව වියදඬු පමණකින් වඩා නො බලා සපදාන චාරික ව ගෙ පිළිවෙළින් ම එ ගම සිඟන සේක. ඒ ගම මිනිස්සු ද නව කෙළ දහස් එක්සිය අසූ කෙළ පනස් ලක්ෂ ස තිසක් විතර ආභරණ ලා සැරහීමෙන්—
‛සොභන්තෙවං න රාජානො – මුත්තාමණි විභූසිතා,
යථා සොභන්ති යතිනො - සීල භූසණ භූසිතා.’
යනු හෙයින් වොටුනු ආදී වූ සූ සැට රාජාභරණ ලා සැරහු ණා වූ රජ දරුවන්ට ත් වඩා ඉතා සොභාමත් වූ ඒ වහන්දෑ දැක ආකල්ප සමෘර්දීන් ම ඉතා ඉතුටු ව ආරාධනා කොට පාත්‍ර හැර ගෙන හසුන් පනවා වඩා හිඳුවා අති මධුර වූ නිවන් රස ලබනු සඳහා මධුරාහාරය වළඳවා වදාළ අන්තයෙහි ස්වාමිදරුවෝ කොයි වඩනාසේක් දැ’යි විචාළෝය. එසේ විචාළවුන්ට ’වස් වැස පියන්ට ඵාසු තැනකට යම්හ’යි වදාළ සේකැ. නුවණැති මිනිස්සු ආකාර යෙන් ම වස්වැස ගන්නා විහාර ලැබගන්නා නිසා ඇවිදිනා සේක් වනැයි සිතා ‘ඉදින්, ස්වාමි දරුවෙනි, මේ තුන් මස නුඹ වහන්සේ හැම මෙහි විසූ සේක් වී නම් අපි හැම දෙන වැඳ පුදා ත් ගනුම්හ. පිළිවන් ලෙසකින් දනු ත් දී ගනුම්හ. පොහෝ දවස් පෙහෙ ව ගනුම්හ. ප්‍රත්‍යන්ත ව තිබෙන හෙයින් අමාරු ව කියවන බණ ත් අසම්හ. දවස් පතා පන් සිල් ගෙන පන් සිලු ත් රකුම්හ. මෙහි ම වැස වදාළ යහපතැ’යි ආරාධනා කොළෝ ය.
වහන්දෑ ද, මේ උපාසක වරුන් ආරාධනා කළ බැවින් මී ම රඳා අප ගේ සදහම් නමැති අමා ගඟට තමන් ගේ කන් නැමැති පීලි තබා ගෙන සදහම් නැමැති දිය ගෙන ගොසින් සිත් නැමැති කුඹුරු තෙමා ගෙන සැදැහැ නැමැති බිජුවට වපුට ගෙන ලොවී ලොවුතුරා සැපත් නැමැති වී මිරිකා ගන්නට අවසරත් පාම්භ. අපි ද ඒ උපාසකවරුන් ගේ චතුර්විධ ප්‍රත්‍ය ය නැමැති රුවල් ඇති, සමාධි නැමැති කුඹක් ඇති, විවසුන් නැමැති නැව් නැගී, මාර්‍ගඥාන නැමැති ගල් වත බලයෙන් අනන්ත කාලයකිනු ත් එතෙර විය නො හැකි සසර නැමැති මුහුදින් මේ එක වස් තුන් මසින් එ තෙර ව නිවන් පරතෙරට පැමිණෙම්’යි ආරාධනා ඉවසූ සේක. උපාසකවරු ද ආරාධනා ඉවසූ නියාව දැන රෑ වසන තැන් දාවල් වසන තැන් ඇති ව විහාරයක් කොට දුන්හ. එ වක් පටන් වහන්දෑ ද නිරන්තර ව ම ඒ ගම සිඟන සේක. උපාසකවරු ද ඒ වහන්දෑ සකසා කරණ මහණධර්‍ම සේ ම සකසා උපස්ථාන කෙරෙති. එ ගම හිඳිනා එක් වෙද උපාසක කෙනෙක් ඒ වහන් දෑ කෙරෙහි පැහැද ඒ තමන් ගෙනු ත් වහන්දෑට ප්‍රයෝජනයක් කරනු සඳහා එක් දවසක් වහන්දෑට ‘ස්වාමීනි, බොහෝ තැන් එක් ව රඳා හිඳිනා කලට ලෙඩක් දුකක් පෙනී යන තැනු ත් ඇත. එ බන්දෙක් ඇති වී නම් මා ගෙන් වුව මනා දෙයක් වදාරන්ට ආරාධනා කළ නියා ය. වදාළො ත් යහපතැ’යි කිවු ය.
පාලිත තෙරුන් වහන්සේ ද වස් වසන දවස් ඒ සැට දෙනා වහන්සේ බණවා ලා ‘ඇවැත්නි, අද වස් වසන දවස් වේ ද? මේ වස් තුන් මස සතර ඉරියවුවෙන් ඉරියවු කීයකින් දවස් යවු දැ’යි විචාළ සේක. ඒ වහන්දෑ ද ඔබ ගේ රුචි ය දත නොහී ‘හිඳීමෙන් සිටීමෙන්-වැද හෙවීමෙන්-සක්මන් කිරීමෙන් යන මේ සතර ඉරියවුවෙන් දවස් යවම්හ’යි වදාළ සේක. ඔබ ඒ අසා ‘ඇවැත්නි! වැදහොත් කල නම් නිදි තර වෙයි. නිදා පීමෙනු ත් පිරෙන මහණ ධම් ඇත් ද? නොපමා වුවමනා වේ ද ? අප ත් තකා පතකා මෙ තෙක් තැන් භාවනාවට එන්නමෝ ත් බුදු කෙණෙකුන් වහන්සේ ගෙන් කමටහන් ඉගෙන ආම්හ. බුදුවරුන් හුන් තැන වැඩ හිඳ ම අප හැම කරණ කියන සිතන දෙයක් ඇත් නම් බඩු සහිත කොට සොරුන් අල්වන්නා සේ ම දැන ගන්නා සේක. පදමානවක ජාතකයෙහි චින්තාමණි නම් මන්ත්‍රානුභාවයෙන් දොළොස් හවුරුද්දකින් යට කළ සොර කම් කළවුන් ඔබ ඔබා ගිය පියවර ඔස්සේ ගොසින් දැන ගන්නා කල දැන් බුදුව සර්වඥතා ඥානානුභාවයෙන් කවර කෙණෙකුන් කළ කවර නපුරෙක් දත නො හැකි ද? එසේ හෙයින් බුදුන් සිත් ගත මනා වී නම් සම්‍යක් ප්‍රතිපදාවකින් මුත් බැරි ය. පමා වසන්නවුන්ට සතර අපාය නම් තමා ගේ ගෙවල් හා සරි ය. සතර අපායට යන මං වල්කර තො ත් නො පමාවයි වදාළ සේක. ඒ අසා වහන්දෑ ‘ස්වාමීනි, නුඹ වහන්සේ කෙලෙස කරණ සේක් දැ’යි විචාල සේක. ‘අපි හිඳී මෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් දවස් යවා ත් මුත් වැද හෝනා ඉරියවුවෙන් දවස් නොයවන්ට සිතම්හ. වැද හොත් කලට අප විපස්සනා නැමැති අඞ්ගනාව හා විවාදයට නිද්‍රා නැමැති අඞ්ගනාව තමන් පිළිබඳ හෙයින් එවා ලා උන් දෙන්නා ඔවුනොවුන් හා විවාද කොට දී පඤ්ච නීවරණ නැමැති සොරු පස්දෙන පමාවක් ම වී බලා හිඳිනවුන් හෙයින් උන් ගේ විවාදය නිසා අපගේ පමාව දැක සිත් සතන් නැමැති ගෙයි තුබූ ශීල සමාද්ධ්‍යාදි ගුණ රුවන් පැහැර ගනිත් නමුත් උන්ට අවසර නොවනු නිසා පිට දික් කොට වැද හෝනේ නැතැ’යි වදාළ සේක. ඒ අසා වහන්දෑ ත් යහපත, නොපමා වුව මැනව’යි කියා ලා මහණදමට පටන් ගත් සේක.
පාලිත තෙරුන් වහන්සේට නෙසජ්ජික ධුතාඞ්ගයෙහි උත් කෘෂ්ට ය පිරීම් වසයෙන් හිඳීම්-සිටීම්-සක්මන් මුත් වැද හෝනා ඉරියවුව නැති හෙයින් ධුතාඞ්ගයෙහි තුන් තරමින් ශරීර පොහොනා පමණකුත් හැර ගන්ට නො ව ආයාස මහත් ව වස් විසූ මසක් ගිය කල්හි ඇස රුජා පහරනට පටන් ගත. රාගාදි කෙලෙසුන්ගේ ද්‍රව අවස්ථාවෙක් ඇත් නම් විවසුන් යතින් මඩනා ලදු ව පෙරී වැගිරෙන්නා සේ ඇස් දෙකින් ම දිය ධාරා සිදුරු ඇති කෙළවලින් පැන් ධාරා වැගිරෙන්නා සේ වැගිරෙයි. නොහොත් ධ්‍යාන ස්නෙහ රහිත වීමෙන් විවසුන් වියලෙන්නා සේ ශරීරගත ජලය වගුලො ත් වේ ද, සමාන ගුණ ව ශරීරය ත් වියලෙත් ය යි ශරීරය වියලවන්ට වැගිරෙන්නාක් මෙන් වැගිරෙ යි. උන් වහන්සේ ද තුන් යම් රාත්‍රියෙහි භාවනා කොට පියා අරුණු නැඟෙන වේලේ ගබඩාවට වැද ලා වැඩහුන්සේක. සෙසු වහන්දෑ සිඟා නික්මෙන වේලෙහි පාලිත තෙරුන් වහන්සේ ළඟට අවුත් ‘ස්වාමීනි, සිඟා නික්මෙන වේලා ය’යි කීසේක. ඒ අසා එ සේ වී නම් ඇවැත්නි, සඟළ සිවුරු හා පාත්‍ර ය හැර ගනුව’යි වදාරා පාසිවුරු වහන්දෑ ලවා ගෙන්වා ගෙන ඇස රුජා පහරිතත් සිඟා නික්මුනු සේක. වහන්දෑ ද ඔබ ගේ ඇසින් දිය වැගිරෙන්නා දැක ‘මේ කිම් ද ස්වාමීනි’යි කී සේක. විචාළ වහන්දෑට ඇස රුජා පහරන නියාවත් ඒ වේදනාවෙන් ඇසින් දිය වැගිරෙන නියාව ත් කී සේක. ඒ අසා වහන්දෑ එක් වෙද උපාසක කෙනෙක් ආරාධනා කොළෝ වේද? ආරාධනා නො කළත් අනුදත්තන් තබා සෙස්සන්ට පිළියම් කිරීමෙන් වන විනය විරොධයක් මුත් විචාළයි වන විනය විරොධයක් නැති හෙයින් ඇස රුජාව පහරින නියාව වෙදාණන්ට කිව මනා වේ දැ’යි විචාරා ඔබ ත් යහපතැ යි ගිවිසි කල්හි වෙදාණන්ට කී සේක. ඌ තමන් අතින් ම බෙහෙත් බඩු ලා බෙහෙත් තෙලක් පිස යවු ය.
තෙරුන් වහන්සේ සැතපී වැද හෙව නස්‍ය කළ මනා තෙල ධූතාඞ්ග හෙද හෙයින් හිඳ ම නස්‍ය කොට ලා ඇතුලු ගමට සිඟා වැඩි සේක. වෙදාණෝ දැක ‘ස්වාමීනි, ඇස රුජා පහරීදැ’යි විචාරා ‘එසේ ය, උපාසකයෙනි, වදාළ කල්හි තෙලක් පිස යැවුයෙම් වේද? නස්‍ය කොට වදාළේ ඇයි දැ’යි විචාළෝ ය. එ සේ ය, නස්‍ය කළම්හ’යි වදාළ සේක. ‘නස්‍ය කළ පසු ගුණ කුමක් දැ’යි විචාළ කල්හි ‘ගුණයක් පෙනුණේ නැතැ’යි කියා වදාළ සේක. ඒ අසා වෙදාණෝ මගේ නුවණ නැමති ඇසට කෙළෙස් නැමැති රුජා ඇති නොවන්ට එක විට කළ නස්‍යයෙන් ම රුජා සන් හිඳෙන තරම් තෙලෙක පිස යැවූයේ-නොසන් හිඳෙන්ට කාරණා කිම්ද? හිඳ නස්‍ය කළො ත් තෙල ඉඳුරා හිසට නැඟෙන්ට නැතිවන්නාය. විධි වැරදි කලට බෙහෙදේ අඩු ව කියන්ට බැරි වේදැ’යි සිතා ‘ස්වාමීනි! නස්‍ය කෙළේ හිඳ ද, සැතපී වැදහෙව දැ’යි විචාළෝ ය. තෙරුන් වහන්සේ හිඳය යි කීවො ත්, ශාසන සමය ත් වෙද කම් දන්නා සේම දනිත් නම් නෙසජ්ජික ධූතාඞ්ග පූරක නියාවත් දනිති. ධූතාඞ්ග ප්පිච්ඡතාව නිසා දෝ නොහොත් හිඳ ය යි කී කලට වැදහෙව නස්‍ය කළ මනා වී නම් වැද හෙව නස්‍ය කරන්ට කියති. උන් කෙ සේ කීව ත් මම මගේ අධිටන් බිඳ එ සේ නො කෙරෙමි. නො කළ කලට ඌ මුසුප්පුව පිළියම ආලෙස්සම් ව ගනිතී’යි සිතා දෝ බැණ නො නැගි සේක. බැණ නොනැගෙන්නා විචාරා ආයාස ගැන්මෙන් කිම්ද? විහාරයට ගොසින් සැතපෙන තැන් බලා සැක හරිමි’යි රෝග නිදන් දන්නා සේම කාරණා දන්නා හෙයින් සිතා ගෙන ‛ස්වාමීනි! වඩනා බව යැ’යි තෙරුන් වහන්සේ විහාරයට යවා පසු ව තුමූ විහාරයට ගොස් වසන තැන් බලා සක්මන් කරණ තැන් හා වැඩහිඳිනා තැන් පමණ මුත් වැද හෝනා තැන් නොදැක සැතපෙන තැනක් නැති නියාව දැක විචාළ කලට වදාරතී සිතා පෙරළා ත් නස්‍ය කෙළේ වැද හෙව ද, හිඳ දැ’යි විචාළෝ ය. ඒ තෙරුන් වහන්සේ එ විට ත් බැණ නොනැඟි සේක.
වෙදාණෝ සැකනැතිව ම හිඳ නස්‍ය කළ නියාව දැන’ ස්වාමීනි, තෙල ලෙස විධි වරදවා නො කළ මැනව. භාවනා විධි වරදවා කෙ ලෙස් පිළියම් කළ කලට මාර්‍ග ඥාන නැමැති අස් ලැබ ගත නො හැක්කා සේ මේ ඇස් පිළියම ත් විධි වැරදි කලට ඇස් ලබා ගත නොහැක්ක. විධි නො වරදවා මේ පිළියමින් ප්‍රසාද චක්‍ෂුස ලත් සේක් වී නම් මාර්‍ග ය හා සමග අභිඥා නම් දිවැසු ත් ලද හැක්ක ශුෂ්ක විදර්ශක වුවොත් මාර්‍ග ඥාන නැමැති ඇස් පමණකුත් ලැබ්බ හැක්ක යන අවවාද ලෙසට අවවාද කියා පැරැත්ත ගත්හ. තෙරුන් වහන්සේ ‘උපාසකයෙනි, තෙපි යව. තවත් කථාකොට ලුව මනා කෙනෙක් ඇත. උන් හා ත් කථා කොට ලා කළ මනා ලෙසක් කරම්හ’යි වදාළ සේක. කථා කරන්නේ කවුරුන් හා ද යත්:- කැටි ව ආ වහන්දෑලා හා ත් නො වෙ යි. නෑ සිය කෙණෙකු ත් එ තැන නැති හෙයින් උන් හා ත් නො වෙ යි. වැළි කවුරුන් හා ද යතහොත් තමන් වහන්සේ ගේ ශරීරය හා ය. ශරීරය හා කථා කරණ සේක් ‘ඇවැත්වූ පාලිත යෙනි, කියව. කුමක් ද ඉෂ්ට වූ රූ දක්වා ඊ අනුන ය උපද වන්නා වූ, අනිෂ්ට වූ රූ දක්වා ඊ ප්‍රතිඝ උපදවන්නා වූ, අනිෂ්ට වූ රූ දක්වා ඊ ප්‍රතිඝ උපදවන්නා වූ ඇස් ම වුවමනාද? බුදු සස්න ත් වුව මනා ද? අක් මුල් නැතිව සසර ඇස් නැතිව උපන් වාර ගණන් නැත. ඇති ඇස් නැති වූ වාර ත් ගණන් නැත. සාරා සැකි කප් සුවහස් ඇතුළත බුදුවරුන් වහන්සේ සත් විසි නමෙක් බුදු ව උකුත් වූ සේක. මුන් වහන්සේ අට විසි ගණන පුරා උපන් සේක. යට ත් බොහෝ බුදුවරුන් වහන්සේ බුදු වූ සේක් මය. ඉන් එක නමක් ගෙනු ත් ගුණ විශේෂයක් නොලදුව. ඇස් ම සිතවු නම් මුන් වහන්සේ ගෙනුත් ගුණ විශේෂයක් නො ලබ ව. මේ වස් තුන් මස පිට දික් කොට වැද හෝනේ නැතැ යි අධිෂ්ඨානයකු ත් කළව. එ සේ හෙයින් ‘ඇස් තිබේ වයි, යේ ව’යි කළ ප්‍රතිඥා ලෙසට බුදු සසුන් නැමැති ඇස් ම ලබව’යි මාලු කම් වශයෙන් කථා කළ සේක.
මෙ සේ කථා කොට ශරීරයාණන් ඊට පිටි පෑ කළ කථාවක් නැති හෙයින් හිඳ ම බෙහෙත් තෙල නස්‍ය කොට ලා ගමට සිඟා වැඩි සේක. වෙදාණෝ දැක ආදී විචාළ ලෙසින් ම නස්‍ය කළ නියාව විවාරා ‘නස්‍ය කළම්හ’යි වදාළ කල්හි ගුණා ගුණ විචාරා පෙනුණ ගුණයක් නැති නියාව වදාළ කල්හි වෙදාණෝ නස්‍ය කළ ලෙස විචාළෝ ය. තෙරුන් වහන්සේ රැස් වූ තැන කළ මනා නම් ධර්‍ම දානොපේත කථාව හෝ තුෂ්ණිම්භාව ය හෙයින් මුයෙන් නොබිණු සේක. වෙදාණෝ විධි වූ ලෙස ම කරවනු නිසා නැවත නැවත ත් විචාරා මුයෙන් බැණ නො නැඟෙන හෙයින් ‘ස්වාමීනි! නුඹවහන්සේ ගේ ශාසන විධි ය වෙන. අප ගේ පිළියම් විධිය ත් වෙන. අප කියා ලු ලෙස කොට නොවදාරන පසු නුඹ වහන්සේ කරණ ලෙස මා ත් බැඳෙන්ට බැරි ය. මෙ වක් පටන් මා අතවස කොට අසවල් වෙදාණන් පිස දුන් තෙලින් ඇස පහරනා රුජා ගුණ නුවූයේයැ’යි නුඹ වහන්සේ වදාරන්ටත් නොකැමැත්තේ ය. මමත් කැල ම මාගේ අශක්ති ය හඟවා කියා නො ඇවිදිමි කිවු ය. එ බස් ඇසූ පාලිත තෙරුන් වහන්සේ විහාරයට වැඩ-
“පටික්ඛිත්තො තිකිච්ඡාය-වෙජ්ජෙනාසි විවජ්ජිතො,
නියතො මච්චුරාජස්ස-කිං පාලිත පමජ්ජසි”
යනු හෙයින් තමන් වහන්සේ තමන් වහන්සේට මාලුකම් කියන සේක් ‘වෙදාණෝ තමන් කෙරෙමින් සිටි ඇස් පිළියම් අසාධ්‍ය යැයි හළවූ ය. පිළියම් දෙකක් එක් ව කරණ කලට එකකට කළා, එකකට නො අසන හෙයින් ආයාස වන බව මුත් එකක් පිට තබා ගත් කළ පිළිවන් වේ ද කෙලෙස් පිළියම් වූ විවසුන් වඬව’යි වදාරා විවසුන් වඩන්නට පටන් ගත් සේක.
“චක්ඛූනි හායන්ති මමායිතානි
සොතානි හායන්නි තථෙව දෙහො,
සබ්බම්පි’දං හායති කායනිස්සිතං
කිං කාරණා පාලිත ත්‍වං පමජ්ජසි”
යනු හෙයින් ‘කෙ සේ මමායන කළ ත් ඇසු ත් නස්සී. ඇස් කන් තබා සියල් සිරුරත් නස්සී. මේ හැම නොනස්නා තෙක් තම හට පිහිට වුවමනා වේදැ’යි තර ව භාවනාවට පටන් ගත් දවස් රාත්‍රියෙන් විසි පෑ විතර ගිය කලට පුරාකෘත අකුසල් නැමැති සතුරා සර්‍වඥරූපය දක්වා ලන්ට තරව සහාය ව සිටි ප්‍රසාද චක්ෂුස් නැමැති මිතුරන් දෙන්නා නො නැවත නස්නා ලෙසට ප්‍රයෝගයක් කෙළේය. ඔවුන් ගේ නැසීම හා සමඟ පසුත් පෙරාතුත් නොව මාර්‍ග ඥාන නැමැති මිත්‍රයාණෝ පුරා කෘත අකුසල් සතුරා ඇතුලු වූ සියලු අකුසල් සතුරනු ත් උද්ධම්භාගිය සංයොජන නැමැති ප්‍රධාන සතුරනු ත් පසු ව වියවුලක් නො කරණ ලෙසට නැසූ ය. මෙ ලෙසින් පාලිත තෙරුන් වහන්සේ ශුෂ්ක විදර්ශක ක්ෂීණාශ්‍රව ව ඒ ජාතිය විනා අනික් ජාතියක් නැති බැවින් මවු ගබට වැදීම් නැත ත් වෙහෙර ගබට වැද ලා වැඩ හුන් සේක. වහන්දෑ ත් සිඟා නික්මෙන වේලේ අවුත් සිඟා යන වේලා යැ’යි කී සේක. ඒ අසා තෙරුන් වහන්සේ එ සේ වී නම් තමන් හැම ගිය මැනැවැ’යි වදාළ සේක. ‘හැයි ! නුඹ වහන්සේ නැ’යි වදාළ කල්හි තමන් වහන්සේ ගේ ඇස් නට හෙයින් ගමන බැරි නියා කී සේක. එවේලෙහි වහන්දෑ ඔබ ගේ නට ඇස් බලා දැක ඇසින් කඳුලු ගෙන ‛ස්වාමීනි, මුසුප්පු නුවුව මැනව. නුඹ වහන්සේ ගේ ඇස් දෙක නටුවා අප සැට නම ගේ ඇස් එක් සිය විස්සෙක් කොට නො ලා ද? අපි නුඹ වහන්සේ හුන් තැන ම වැඩ හිඳුවා ලා අත් පා මෙහෙවර කරම්හ’යි අස්වසා ලා ගෙය මලුව හැමදීම ඇතුලු වූ වත් පිළිවෙත් සපයා ලා තමන් වහන්සේ ත් සැතපෙන තැන වත් සපයා ගෙන ගමට සිඟා වැඩි සේක.
ඒ ගම මිනිස්සු පාලිත තෙරුන් වහන්සේ හැම තැනට ම ප්‍රධාන හෙයිනු ත් තමන් හැම දෙනා උන්වහන්සේ කෙරෙහි ආවේණික සම්භාවනා ඇති හෙයිනු ත් ගිය වහන්දෑ අතින් අපගේ අනික් ස්වාමි කොයි දැ යි විචාරා ඇස් නට හෙයින් නොවැඩි නියාව අසා කැඳ-අවුලු පත් විහාරයට යවා තුමූ හැම දවාලට දන් ගෙන්වාගෙන ගොසින් තෙරුන් වහන්සේ වැඳ ඇස් නැති නියාව දැක හඬා පියා ‘ස්වාමීනි! අප හැම දෙනමෝ නුඹ වහන්සේ සිඟා නො ඇවිද්දදී උපස්ථාන කරම්හ. නුඹ වහන්සේට ඇසින් අලාභ වූ බව මුත් අපට පරලොවින් වූයේ බලවත් වූ ලාභයෙක. නුඹ වහන්සේ මුල් ව බොහෝ කුසල් පිරෙන හෙයින් ඇස් නැත්තමෝ වේ දැ’යි මුසුප්පු නුවු ව මැනැවැ’යි අස්වසා ලා ගියෝ ය. එතැන් පටන් කැඳ-බත් ආදිය වෙහෙරටම යවති. තෙරුන් වහන්සේ ද සෙසු වහන්දෑට බසින් කියන බව මුත් ඇසින් බලා පානා දෙයක් නොවන හෙයින් නිරන්තරයෙන් ම අවවාද කරණ සේක. ඒ වහන්දෑ ඔබ ගේ අවවාදයෙහි පිහිටා වස් නිමන ආසන්නයෙහි හැම දෙනා වහන්සේ ම සුප්පාරක ජාතකයෙහි අන්ධ බෝධිසත්‍වයන් ගේ අවවාදයෙහි පිහිටියවුන් වඩබා මුඛයට නො පැමිණ ගොඩ දුටුවා සේ පාලිත තෙරුන් වහන්සේ අන්ධ වූව ත් නුවණැසින් බලා දුන් උපදෙස් අන්ධ නොවන බැවින් සසර නැමති වඩබා මුඛයට නො ගොස් සිවු පිළිසිඹියා නැමැති මහ දිවයින් සතරක් ඇති නිවන් නැමති මුළු සක්වල සාධා ගත් නියාවට අර්හත් ඵල නැමැති වොටුනු පලන් සේක.
මෙ ලෙසින් රහත් ව විසූ වස ත් විශුද්ධි පවුරුණෙන් පවරා වස් නිමවා ලා වස් අන්තයෙහි කළ මනා සිරිතක් බැවින් බුදුන් දක්නා කැමති ව පාලිත තෙරුන් වහන්සේට බුදුන් දක්නට යනු කැමැත්තම්හ’යි කී සේක. එ බස් අසා තෙරුන් වහන්සේ ‘මම ඇස් නැත්තෙමි. අතුරු මඟ ත් යක්ෂොපද්‍රව ඇති. වලු ත් ඇති. මා මුන් හැම එක්ව යන කලට හැම දෙන හට ම මා නිසා අට්ටල සිඟා වළඳන්ට නො පිළිවන. මුන් හැම දෙන පෙරාතුව යවන්නා මා නිසා අට්ටලු ත් නැති ව උපද්‍රව ඇති තැනු ත් වළහා සුව සේ සිඟා වළඳා යෙතී’යි සිතා වදාරා තමන් හැම පෙරාතුව ගිය මැන වැ’යි කී සේක. ‘නුඹ වහන්සේ නැ’යි කී කල්හි තමන් වහන්සේ සිතා වදාළ ලෙස ම’යි වදාළ සේක. අසා වහන්දෑ එ සේ නො කැමැත්තෝ ‘ආයේත් කැටිව වුව, පෙරාතුව ආ ගමනක් නොවත් නුඹ වහන්සේ හා කැටිව ම යම්හ’යි කී සේක. එ සේ කී කල්හි තෙරුන් වහන්සේ ‘අපට එ සේ අඵාසු ය. අපගේ මල් උපාසකයාණෝ තමන් හැම අතින් මා විතාරති. මා ගේ ඇස් අන්ධ නියාව කියන බව ය. ඒ අසා මා ලඟට යම්කෙණෙකුන් එවති. එසේ ආවවුන් හා කැටිව මම එමි. තමන් හැම ගොසින් ති ලෝ ගුරු බුදුනු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් මාගේ වැඳීමෙන් වැන්ද මැනවැ යි විධාන කළ සේක. ඒ වහන්දෑ ත් තෙරුන් වහන් සේ ගේ සිත ත් තමන් වහන්සේ ගේ සිත ත් කමල පත්‍ර ගත ජල බින්දු සේ අනගැමි මගින් ම සුන් හෙයින් කෝප ලව නැත ත් සිරිත් විසින් වැඳ ක්ෂමා කරවා ගෙන සිඟා නික්මෙන වේලාව හෙයින් ඈත් ගමට සිඟා වන් සේක. මිනිස්සු ද වඩා හිඳුව ලා වළඳවා ‘කිමෙක් ද ස්වාමීනි, වඩනා ගමනෙක් ඇද්දැ’යි ආකාරයෙන් ම දැන ගෙන විචාළෝ ය.
උපාසකවරුනි, එසේ ය, බුදුන් නොදක්නේ නැතක් දවස, ගොසින් දක්නා කැමැත්තම්හ’යි කී සේක. ඌ හැම රඳවන්ට ආරාධනා කොට ත් නොරඳන හෙයින් පසු ගමන් කොට ගොසින් හඬමින් වලපමින් නැවැත්තාහ. ඒ වහන් දෑ ද සාර සිය අසූ ගවු වක් විතරමග ගෙවා දෙවුරම් වෙහෙරට ගොසින් තෙරුන් වහන් සේ ගේ වැඳීමෙන් බුදුනු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් වැඳ දෙවන දවස් තෙරුන් වහන්සේ ගේ මලණුවන් හිඳින වීථියට පව තුත් කථා කරණු නිසා සිඟා වැඩි සේක. කෙළෙඹි පුත්‍රයාණෝද බෑණන් වහන්සේ කැටි ව ගිය වහන් දෑ නියාව දැන ගෙන සිඟ මින් සිටිය දී කථා කිරීම යුක්ති නො වන හෙයින් කථා නො කොට ගෙට කැඳවා ගෙන ගොසින් වඩා හිඳුවා ලා වළඳන තෙක් සාද සාමීවි කථාකොට පසු ව බෑණන් වහන්සේගේ පවත් විචාළහ. එ සේ විචාළ සිටු පුත්‍රයාණන්ට ඇස් නට නියාව කී සේක. ඒ අසා හඬා පියා දැන් කළමනා කිම්දැ යි විචාරා ‘තෙරුන් වහන්සේ අප හා කැටි ව නො වැඩි බව මුත් මුබින් යමකු යන්නා උන් හා කැටි වඩනා සේකැ’යි කී කල්හි එසේ වී නම් මේ අපගේ බෑණනුවන් පාලිත කුමාරයන් යවුව මැනවැ’යි කිවු ය. ‘මහණ කොට ලා යවතොත් මුත් මෙ ලෙසින් යවන්නට අතුරු මඟ උවදුරු ඇතැ’යි වදාළ සේක. ‘මහණකොට වුවත් යවන්නා ශාසනාභිරතිය ඇත් නම් රඳාපියති. නැත් නම් ඔබ මුබ වැඩි කලට උන් අභි ප්‍රාවෙකැ’යි උන්ගේ දුර්‍වල අදහස දන්නා සේ ම කීහ.
වහන්දෑ ත් උන් කතර මගින් එතර වනු සඳහා මහණ ලා දෙපෝයක් විතරිත් ආභිසමාචාරික ශික්ෂාවෙහි යොදා ලා මඟ කියා ලා යවූ සේක. ඒ හෙරණුන්දෑ ද මයිලණුවන් වහන්සේ සිඟා වළඳා වැඩ හුන් ගමට ගොසින් ගම්දොර දී එක් යාලු උපාසක කෙණෙකුන් දැක ‘ගමට වැඩි ආරණ්‍යක වහන්දෑ හිඳිනා වන වාසයෙක් ඇද්දැ’යි විචාරා ඇතැයි කී කල්හි එහි වැඩ හිඳිනා සේක් කවුරුන් වහන්සේ දැ යි විචාරා පාලිත තෙරුන් වහන්සේ ය යි කී කල්හි ඔබ නියාව දැන ඊට යන්ට මං විචාරා මුබ වහන්සේ කවුරුන් වහන්සේ දැ’යි විචාළ කල්හිතමන් දෑ බෑන නියාව කී දෑ ය. උපාසකයෝ කැඳවා ගෙන ගොසින් විහාරයෙහි ලා ලූහ. ඒ පාලිත හෙරණුන් වහන්සේත් මලණුවන් වහන්සේ වැඳගෙන දෙපෝයක් විතර වතින් පිළිවෙතින් තෙරුන් වහන්සේට සකසා පිළිපැද ලා පසුව ‘ස්වාමීනි, අපගේ මයිල් උපාසකයෝ නුඹ වහන්සේ දක්නා කැමැත්තෝ ය. වැඩිය මැනව, යම්හ’යි කී දෑ ය. ‘එ සේ වී නම් තෙල යට කෙළවර අල්වා ගනුව යි වදාරා ලා යට කෙළවර අල්වා ගත් කල්හි ඇතුළු ගමට සිඟා වැඩි සේක. ඒ ගම මිනිස්සු වඩා හිඳුවා වළඳවා ලා ස්වාමීනි, මෙතෙක් දවස් විහාරයෙම රඳා වැඩහිඳුත් අද මොබ වැඩියේ ගමනක් ඇති නියාද’යි හෙරණ නම ආ ගමනිනුත් සැක ඇතී ව විචාළෝ ය. ‘එසේ ය, බුදුන් වඳිනට යම්හ’යි වදාළ සේක.
ඒ අසා උපාසකවරු ත් රඳනා ලෙසට නොඑක් ලෙසින් ආරාධනා කොට වඩනට ම තර හෙයින් දෙ සිය සතළිස් ගවුවක් විතර දැක්මෙහි සමාධි බලවත් හෙයින් පසු ගමන් කොට ගොසින් අනික් දෙසිය සතළිස් ගවුව ගෙවා ගියත් තිලෝ ගුරු බුදුන්ගේ රුව බලා පය ඇද ගෙන එත නොහෙන්ට ඇස් නැතත් බණ අසන්ට කන් ඇති හෙයින් සදහම් නැමැති මළ බැඳී ගොසින් පය ඇද ගත නො හෙන සේක් ම වේ ද? ගිය ත් කම් කිම් දැ යි නැවත තමන් ගේ ගමට නැගී අවු ය. හෙරණුන් වහන්සේත් අන්ධ යෂ්ටි ය අල්වා ගෙන යන දෑ අතුරු මඟ මහවල තෙරුන් වහන්සේ ගේ කුලුපග ගමකට පැමිණි දෑ ය. එ සේ පැමිණ සුවඳේ උන් මැස්සන් කිසි කලෙක අමෙද්ධ්‍යයෙහි හිඳිනා සේ එවැනි රහත් කෙණෙකුන් වහන්සේ කැටි ව ලී කෙළවර අල්වා ගෙන යෙමින් සිට ත් එ ගමින් අවුත් වල දර බිඳිනා ගෑනියක කෙලෙස් මරහු කියා ලූ මෙ හෙවරක් හඬ ගා කියන්නා සේ කියන ගීයක් අසා. එක්තරා කමටහනක යෙදී බුදු සස්නෙහි මුල් බැඳීගන්ට නොවූ හෙයින් හා ස්ත්‍රීන් ගේ ශබ්දයට වඩා පුරුෂයන් පොළඹා[4] ගන්නා අනික් ශබ්දයක් නැති බැවින් සම්ප්‍රාප්ත විරති වශයෙන් ගැලවී ගත නො හී ඒ ගීතිකා නාදයෙහි ඇලුම් කොට ලී කෙළවර අතින් හැර ලා ‘ස්වාමීනි, මඳක් වැඩසිටිය මැනව, කටයුත්තෙක් ඇතැ’යි කියාලා ඈ ළඟට ගියහ. හෙ ද වැළි ත් කුණු කසළට කසළ ගොඩ ආධාරයා සේ කෙලෙස් කුණු කසලට තමා ආධාර ව සිටිනා බැවින් අපායොත්පත්තියට උපදේශක බැවින් ළං වූවා ය. ඌ තුමූත් තමන් සැදැහැයකින් මහණ නො වූව ත් ශාසනානුරූපී නො වන නියාව ත් නො සලකා අතුරු මඟ දී තෙරුන් වහන්සේට සහාය නැති නියාව ත් සලකා ගත නො හී-
“බලවන්තො දුබ්බලා හොන්ති - ථාමවන්තො’පි භායරෙ,
චක්ඛුමා අන්‍ධිතා හොන්ති - මාතුගාම වසං ගතා”
යනු හෙයින් නුවණ නැති ව ඈ විෂයෙහි විපන්න ව සිල් නැමැති ගුණ බඩු කෙළෙස් නැමැති වල් සොරුන්ට දී පියා අත මිට සැඟවෙන කිසිවකුත් නැති වූ හ. තෙරුන් වහන්සේ ත් ‘මෙ තැන්හි ගෑනු කෙණෙකුන් ගීයක් කියන හඬකුත් ඇසිණ. ගිය හෙරණුන්ටත් කල් ගියේය. කුමක්දෝ? විපන්නවූ නියා දෝ හෝ යි? දිවස් නැති හෙයින් අනුමානයෙන් සිතූ සේක. ඒ සංසාර ඛාණුක වූ පාපී තැනැත්තෝ ද කුණාල ජාතකයෙහි අහේතුක ප්‍රතිසන්ධික වූ කො වුලු ව උපන් බෝසතුන් ස්ත්‍රීන් ගෙන් සැළකුණු ගුණ තුමූ මනුෂ්‍ය ව සිට ත් සලකා පිය නො හී සිත් ඔස්සේ ගොසින් ඒ සා මහත් හානියකට ගෑනියක නිසා පැමිණ, ගොයම් කළ කෙණෙකුන් ගො යම් මිය පිදුරු පමණකු ත් නොලද්දා සේ ශාසනික ව ත් ගුණ දහමක් ලැබීමට නො නිසි ව ගොසින් තෙරුන් වහන්සේ වැඩ සිටි තැනට අවුත් ‘ස්වාමීනි’ යම්හ’යි-වැඩිය මැනවැ’යි කිවුය. තෙරුන් වහන්සේ ත් ලී කෙළවර නො ගන්වා ම සාමණේර ය, කෙළෙස් සොරුන් අත ගැසී ගුණ බඩු දීපු දැ’යි විචාළ සේක. ඌ තුමූ තමන් ගේ නො සපන් කම් ප්‍රකාශ වන හෙයින් බැණ නො නැංගෝ ය. බැණ නො නැඟි ගමනින්ම උන් ගේ මෝහ නැමති පටල ය වැඩී නුවණැස් නට නියා ව දැන ගෙන ‘ඇස් නැත්තවුන්ට සහාය වුව මනා ඇස් ඇති කෙණෙකුන් වේද?[5] තොපගේ ප්‍රසාද චක්ෂුස් ඇතත් නුවණැස් නැති බැවින් සග-මොක් දෙකට මඟ දැක ගත නො හේ. එ සේ වූ තොප මා අල්වා ගත් ලී කෙලවර අල්වන්ට ත් අල්වා ගෙන අඩියක් වුවත් මා හා කැටිව එන්ට ත් යුක්ති නැතැ’යි වදාළ සේක.
වදාළ බසින් බලවත් වූ මූසුප්පු ඇති ව හඳින්ට නිසි පිළියක් නැති හෙයින් හන් පෙරෙවි සිවුරු ගිහි පිළි සේ හැඳ ගෙන ‘ස්වා මිනි! සුදු පිළි ලෙසට සිවුරු හැඳ ගත් හෙයින් ගිහි වීමි. මහණ වී මත් සැදැහැයෙකින් වූ මහණක්[6] නො වෙයි. සොර භයින් වූ මහ ණ ය. ගොසිනු ත් හරනා ම සිවුරු ය. වඩනේ යහපතැ’යි කිවුය. ඒ අසා තෙරුන් වහන්සේ ‘හෙම්බල? ගිහි පවිටු ත් පවිටු ය. මහණ පවිටු ත් පවිටු ම ය. තෝ ශාසනික ව රඳා සිටිනා දවස් ගණනේ ත් නාන්ට බැස ඇඟ මඬ ගෑවා සේ සසුන් පිළිවෙත් නසා ගත්ති. ගිහි ව සිට කවර තරමෙක් කෙරෙයි ද? තා වැන්න වුන් ලවා ලී කෙළවර ගන්වා යෑමට වඩා නපුරු කොට කිරීමටත් වඩා නො කිරීම් යහපත් සේ මේ වල මිය යෑම යහපතැ’යි වදාළ සේක. ඒ අසා සිවුරළු, සිරුර දා ගිය කෙණෙකුන් මහ අවුවේ ලූවා සේ බලවත් සෝ දුකට පැමිණ හඬමින් වලපමින් කටයුත්තක් සේ සිතා කළ බව මුත් ඉතා ම නො කටයුතු හෙයින් මයිලණුවන්ට ත් පෙනෙන්ට මැළි ව අනික් අතක ම ගියහ.
තෙරුන් වහන්සේ ගේ ද ගුණානුභාවයෙන් තුන්ලක්ෂ සතළිස් දහසක් ගවුවෙන් උඩ තවුතිසා දෙව් ලොව දෙ සිය සතළිස් ගවුවක් විතර දිග ඇති, ගවු දෙ සියයක් පමණ පළල ඇති, සැට ගවුවක් විතර බොල ඇති, බඳු වද මල් ගොඩක් සේ රතු වූ ශක්‍ර යන් වැද හුන් කලට මොළොක් ලෙසින් පෙකණිය දක්වා ගැලෙන, නැගී සිටි කල සම තල වන පඬු ඇඹුල් සල හස්න උන් නො කමැති කරවා හුණු වී ය. එ කල්හි සක් දෙවිඳු හස්න හුණු වීමට කාරණා දිවැසින් බලා තෙරුන් වහන්සේ ගේ ගුණ නැමැති අවු රැස් ගැසී හුණු වූ නියා ව දැන ‘එ සේ වන්නේ ත් එක් තරා කාරණයකින් වේ ද? මේ තමා මා දත මනා වේ ද? උපෙක්ෂා වීම් නම් මා හිස සත් කඩක් ව පැළී ගියේ වී නමුත් නපුරැ, යි සිතා-
“සහස්සනෙත්තො දෙවින්‍දො - දෙවරජ්ජසිරීධරො,
ඛණෙන උපගන්ත්‍වාන – චක්ඛුපාලමුපාගමී”
යනු හෙයින් තෙරුන් වහන්සේ ළඟට ගොසින් තමන් ගිය නියාව ඔබට හඟවා පතුල් බිම ගැසූ හ. ඒ අසා තෙරුන් වහන්සේ කවුරු දැයි විචාරා ශක්‍රයන් ‘මම ස්වාමීනි! මගී එකෙකිමි’ කී කල්හි ‘උපාසකයෙනි, කොයි යවු දෑ’යි විචාල සේක. ‘සැවත් නුවරට යෙමි’ කී කල්හි ඉක්මන් ව යන කෙනෙක් වූ නම් උන්ට කල් යන්නේ වේ දැයි සිතා, එ සේ කල යව, යි වදාළ සේක. මම වන්නා යන්නෙම් වේ ද? ස්වාමීන් වඩනේ කොයි දැ’යි විචාළෝ ය. ‘අපි ත් සැවත් නුවරට යම්හ’යි වදාළ සේක. ‘එ සේ වී නම් කැටි ව යම්හ’යි කිවු ය. ‛උපාසකයෙනි, අප ගේ ඇස් නැති හෙයින් එක් ව යන කලට තොපට කල් යන්නේ වේදැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මා ගේ ඉක්මන් කට යුත්තෙක් නැත. ස්වාමින් හා කැටි ව යෙම් නම් යන ගමනේ දස පින් කිරිය වතින් වෙය්‍යා වත් පමණක් සිද්ධ වූ වත් එ ම විතර කිනු ත් සමාධි වෙමි. එ සේ හෙයින් කැටිව යෙමි’ කිවු ය. තෙරුන් වහන්සේ ද ‘මූ සත් පුරුෂයාණ කෙණෙකැ’යි සිතා වදාරා ‘එ සේ වී නම් තෙල යට කෙළවර අල්වා ගනුව’යි වදාළ සේක. සක් දෙවිඳු ද ලී කෙළවර අල්වා ගෙන-
“සඞ්ඛිපිංසු පථං යක්ඛා - අනුකම්පාය දාරකෙ,
නික්ඛන්තදිවසෙ යෙව - චෙතිරට්ඨමුපා ගමුං”
යනු හෙයින් වෙස්සන්තර ජාතකයෙහි වෙස්සන්තර රජ්ජුරුවන් හිමවත වක් ගල් කුසට නික්මුණු ගමනේ කුමාරවරුන් කෙරෙහි අනුකම්පාවෙන් ජයතුරා නුවර පටන් සෑ රට වැදි රජ දරු වන් ගෙ මයිල් නුවරට එක් සිය විසි ගවුව හකුළුවා සවසට යා හැකි කළා සේ ම යෙමින් සිට දෙ සිය සතලිස් ගවුව හකුළුවා සවස් වේලාවට දෙවුරම් වෙහෙරට ආසන්න කොට සිටුවා ලූ හ. තෙරුන් වහන්සේ සක් පඤ්චයේ[7] හඬ අසා තෙල ගසන්නේ, පිඹින්නේ කො තැන්හි දෑ’යි විචාළ සේක. ‘සැවැත් නුවර ය’යි කිවු ය. ‘යන කල නැතක් දවසින් ගියම්හ. අද උදවු වීය’යි වදාළ සේක. මගී වෙසින් ගිය සක් දෙවිඳු හු “මම ළං මගක් දනිමි” කිවු ය. නිවන් පුරයට ළං මං දත් තෙරුන් වහන්සේ ‘මූ මට සහාය වන්ට ආ දෙවතාන කෙණෙකැ’යි සිතූ සේක. සක් දෙවිඳු ද තෙරුන් වහන්සේ ගේ මලණුවන් කැරැ වූ පන් සලට තෙරුන් වහන්සේ කැඳවා ගෙන ගොසින් හස්නෙහි වඩා හිඳුවා ලා මිත්‍රයාණ කෙණකුන් ගේ ලෙසින් තෙරුන් වහන්සේ ගේ මළණුවන් ළඟට ගොසින් නම කියා හඬ ගා ලා, ‘කුමක් දැ’යි විචාළ කල්හි ‘මුඹ ගේ බෑණන් වහන්සේ වැඩි නියාව නො දන්නෙහිද? වැඩි සේක. මුඹ කරවා ලූ පන් සල වැඩ හුන්නා බල බලා ආමි’ කියා නැගී ගියෝ ය. තෙරුන් වහන්සේ ගේ මල් කෙළෙඹි පුත්‍රයාණෝ ද පන්සලට ගොසින් තෙරුන් වහන්සේ දැක මහ හඬින් හඬමින් වලපමින් ‘මහණ වන්ට නො කැමැත්තේ ය’යි මා කීව ත් නො නැවත ගොසින් මහණ ව මෙ බන්දක් වූ නියා දැ’යි කියා හැඬීමෙන් ප්‍රයෝජන කිම්ද? ඔබට ඵාසුවක් කළ මනා වේ දැ’යි කොලු සුඟුන් දෙන්නකු නිදහස් කොට ඔබ සමීපයෙහි මහණ කරවා ලා ‘ඇතුළු ගමින් කැඳ බත් ගෙනවුත් අඵාසු නො කොට රැක්ක මැනවැ’යි තෘෂ්ණා දාසත්‍වයෙන් මිදී නිදහස් වූ තෙරුන් වහන්සේට නිදහස් දෙන්නා පාවා දුන්නාහ. ඒ පැවිදි වහල් දෙ නම ද තෙරුන් වහන්සේට කළ මනා දෙය නොපමා ව කෙරෙති.
එ කල එක් දවසක් බුදුන් වඳින්නට ඒ ඒ දිගින් ආ වහන්දෑ දෙවුරම් වෙහෙරට අවුත් පළමු බුදු රජුන් වහන්සේ වැඳ, ඉක් බිති ව අසූ මහ සවුවන් වහන්සේ ත් වැඳ, ඒ ඒ විහාර බලා ඇවිදිනා සේක් ඇස් නට හෙයින් එ ලෙසින් ප්‍රසිද්ධවූ චක්ඛුපාල තෙරුන් වහන්සේ වසන තැනට ගොසින් ඒ විහාරය ත් බලම්හ යි නික් මුණු සේක. ඒ වේලාවට සවසු ත් ව ගියේ ය. මහත් කොට වැස්සකුත් නැගී ය. ඒ වහන්දෑ ද සවස් වූ හෙයිනු ත් වැසි හෙයිනු ත් ‘උදාසන යම්හ’යි සිතා රඳා පී සේක. වැසි ත් පෙරයම වැස පියා සිටුවා පී ය. චක්ඛුපාල තෙරුන් වහන්සේ ද වඩනා ලද වීර්‍ය්‍ය ඇති හෙයින් සක්මන් කිරීම බොහෝ කලක් ම අභ්‍යාස වූ හෙයින් සක්මන් කරනු නිසා අලුයම සක්මනට වැඩි සේක. එ දවස් ද වැළිත් වැසි වැස පී හෙයින් සක්මන් කරණ තැන බොහෝ රතිඳු ගොවුවෝ ඇතිවූ හ. තෙරුන් වහන්සේ ඇස් නැති ව කරණ සක්මන් හෙයින් මැඩී බොහෝ දෙන මළෝ ය. වේලින් වේලා පස සක්මන් වත් දැන හැමඳි තැනුත් නැත. විහාර ය බලන්ට ය යි අවුත් සවස් ව ගිය හෙයින් නැවතී වහන්දෑත් දෙවන දවස් අවුත් සක්මන් කළ තැන මැඬුනු ප්‍රාණීන් දැක ‘මෙ තැන සක්මන් කළ සේක් කවුරුන් වහන්සේ දැ’යි විචාළ සේක. තෙරුන් වහන්සේගේ පැවිදි වාල් දෙනම ‘අප ගේ උපාග්න්‍යායයන් වහන්සේ සක්මන් කළ තැන ය’යි කී කල්හි ‘මුන් වහන්සේ ගේ කට යුත්තක් ඉතා නපුරු නියා ය. ඇස් ඇති අවධියේ නිඳා පියා පිළිවෙත නො හැසිර දැන් අන්‍ධ අවස්ථාවෙහි ‘සක්මන් කරම්හ’යි කියා ලා මේ තෙක් ප්‍රාණීන් නසා බොහෝ අවැඩ කරණ සේක. ප්‍රාණීන් නැති තැනක් විචාරා ලා ත් සක්මන් කරන්ට නොහැකි නියා ද? මෙ පවත් බුදුන්ට දැන්වුව මනාවේ දැ’යි බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, චක්ඛුපාල තෙරුන් වහන්සේ සක්මන් කරම්හ’යි බොහෝ ප්‍රාණීන් මරණ සේස්කැ’යි දැන් වූ සේක.
බුදුහු ඒ අසා ‘කුමක් ද? තෙපි උන් ප්‍රාණීන් මරණ නියාව දුටුහු දැ’යි විචාරා දුටුයේ නැතැ යි කී කල්හි යම් සේ තෙපි නුදුටුහුද උයිත් සක්මන් කරණ ගමනේ උන් නුදුටු වූ ය. රහතන්ට වධක චෙතනාව නැතැ’යි උන් වහන්සේ රහත් නියාව වදාළ සේක. ඒ අසා වහන්දෑ ‘ස්වාමීනි, රහත් වන්ට නිසි පින් ඇති කලට අන්‍ධ වූයේ හැයි ද? අර්හත්‍වය සාධා දී ලන තරම් කුශලයා එ විතරක් නවතා ලිය නොහෙන නියා දැ’යි කර්‍ම විෂය බුදුන්ට මුත් තමන් වහන්සේ ලාට අවිෂය හෙයින් විචාළ සේක. බුදුහු ඒ අසා ‘හෙම්බා මහණෙනි, රහත් වන්ට නිසි පින් කම් ඇත ත් බලී අකුශලයක් කළ හෙයින් අනිවාර්‍ය්‍ය වී ය’යි වදාරා ලා ඒ අසා ත් එ බඳු අකුසලින් නො නවත්නා නිසා චක්ඛුපාල තෙරුන් වහන්සේ කළ අකුශල කර්‍ම ය වදාරණ සේක් ‘මහණෙනි. යට ගිය දවස බරණැසැ බඹදත් නම් රජකු රජ කරණ කල්හි ඇස් වෙද කම් දන්නා කෙනෙක් ගම් නියම් ගම් රාජධානිවල ඇවිද වෙදකම් කරන්නෝ එක් තැනක ඇස් ඇඳිරිය ඇති ස්ත්‍රියක දැක ‘තොපට ලෙඩ දුක් කිම් දැ’යි විචාරා ඇස් ඇඳිරිය ඇතැ’යි කී කල්හි ‘බෙහෙදක් කෙරෙම් දැ’යි විචාළෝ ය.
ඒ අසා උයි ත් තමන් පත පතා ත් හිඳිනා එම හෙයින් යහපතැ යි කිවු ය. වෙදාණනු ත් පිනට කරණ දෙයක් නොවන හෙයින් මිල කිම් දැ යි පිළියමින් ඇඳිරිය ගුණ වූ කලට දෙන මිළ විචාළ කල්හි, ඇඳිරිය නැති කරවා ගන්නා රුචින් වෙදාණන් වෙද කමට තරයේ ලබ්බවා ගන්නා නිසා ‘මේ ඇඳිරිය නැති කරවා ලූවොත් සෙසු කුමක් ද? දරු මලු පුඩුවෙන් මම නුඹට මිඩි වෙමි’යි කිවුය. වෙදාණෝ ඒ අසා මෙ විතරක් කී කලට ප්‍රයෝජන ය වැඩි යුරුවක් කරන්නේ වේ දැ යි සිතා බෙහෙදක් ඉදි කොට දුන්හ. එක බෙහෙදින් ම ඇස ඇඳිරිය නැති ව පියවි ඇස් සේ විය. ඇස් ගුණ වුවත් ලෙටි කම ගුණ නු වූ හෙයින් දීමන් දී ලන්ට ලෙටි වත් නැවත ‘මම මුන්ට මිල ගිවිස්නෙම් ඇස් ආසාවෙන් මිඩි වෙමි යි කියාලීමි. තමන්ට අත් වූ කල නම් තකන්නෝ නැත. එක් උපදෙසක් කළ මනා වේ දැ’යි සිතා වෙදාණන් අවුත් ගුණාගුණ විචාළ කල්හි ‘ආදි ඇස් තරමෙක පෙනෙයි. දැන් බෙහෙත් ගෑවක්[8] පටන් තර ව ම නො පෙනෙ’යි කිව. වෙදාණෝ ද ඒ අසා තමන්ගේ බෙහෙදේ තරම තමන්ට ම හැඟෙන හෙයින් ‘මෝ මට කිසිවක් දී ලන්ට, කොට ලන්ට මැළි ව කියන වන ම. දෙන මිලයෙන් මට කම් නැත. වස්තු වුව මනා වී නම් යහපත් පිළියම් දන්නා බැවින් ඔබ්බකටත් පිළි යම් කොට සංග්‍රහ ලබමි. දී ලන්ට අදහස මුන්ට නැති වූවා සේ ම ඇසු ත් නැති කෙරෙමි’ සිතා පර සිතා ගත නොහී ගෙට ගොසින් ඇඹෙණියන්ට ත් එපවත් කිවුය. උයි ත් ඒ අසා නවතා නුලූවෝ ය. කරව යි කියා තමන්ට ත් පව් පිරෙන ලෙසට විධානයකු ත් නො කළෝ ය.[9] වෙදාණෝ එක් විෂම බෙහෙදක් යොදා ලා ගෙන ගොසින් ‘ඇස් ඇඳිරිය තර වී නම් තෙල බෙහෙත් ගාලව’යි දුන්හ.
උයි ත් තමන් ගේ බසින් ඇඳිරිය තර ය යි සිතා අවිෂම ව දුන් බෙහෙදෙකැ’යි සිතා ගෙන ඇස ඇඳිරිය නැත ත් කර්‍ම ඇඳිරිය බලවත් හෙයින් විෂම බෙහෙද ඇස ගැවු ය. බෙහෙද ගාලන්නා ම කර්‍ම ඇඳිරියට නිසි බෙහෙත් හෙයින් පාන් දෙකක් නිවී ගිය කලක් මෙන් ඇස් දෙක ම නැසී ගොසින් බැලුම් නැති වී ය. කර්‍ම ඇඳිරිය ත් තුනී වන්නෙක් හෝ නැති වන්නෙක් වි ය. වෙදාණෝ ත් අනුන් දමා පූ දෙයක් හැර ගන්නා සේ ම උන් ගෙන් ගෙවුණු අකුශලය තමන් කෙරෙහි පිහිටුවා ගත්හ. ‘මහණෙනි, එ කල වෙද්දු නම් දැන් ඇස් පිළියමෙහි තර නොවන කෙලෙස් පිළියමට තර ව මාර්‍ග ඥාන නමැති ඇස් ලත් චක්ඛුපාල තෙරහු ය. පුතණුවන් එ කල්හි කළ අකුශල කර්‍මය දුවන එකකු හඹා දුවන එකක්හු මෙන් මෙ වක දක්වා ම අවසර බල බලා හඹා පසු පස්සෙහි දිවී ය. යම් කෙනෙක් තුන් දොරින් සිද්ධ වන අකුශලින් දුරු විය නුහුණු වූ නම් ඒ අකුශල ය ගැල් අදනා ගොන් ගිය ගිය සේ ගැල් සක් ගොන් ගේ පයට ළං වන්නා සේ සසර නමැති ගැළ යෙදුනු සත්‍ව නමැති ගොන් ගේ විපාක දාන කාල නමැති පයට අකුශල් නමැති ගැල්සක-
“සන්ධිමෙකන්තු කම්මෙකං - ජනෙති න තතො පරං,
අනෙකානි විපාකානි - සඤ්ජනෙති පවත්තියං”
යනු හෙයින් ප්‍රතිසන්ධි විපාක ය එක කර්‍ම ය. එක වරෙක මුත් නො එක් වර නොදෙන බව මුත් ප්‍රවෘත්ති විපාක නො එක් වර දෙන හෙයින් අපරාපර්‍ය්‍ය වෙද්‍ය වශයෙන් අනුපධිශෙෂ නිර්වාණ ධාතුව දක්වා ළං ළං ව දිවෙයි. ම පුතුන් රහත් වූ හෙයින් මෙ තැන්හි දී නැවතී පිය”යි වදාරා මේ දේශනාව නිමවා වදාළ සේක.
තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේම මේ ධර්‍ම දේශනා නමැති බෙහෙදින් තිස් දහසක් දෙනා වහන්සේ භවොත්පත්ති ලෙඩින් අර්හත් ඵල නමැති ගොඩට නැඟී සිත් සතන් සැනැහුණා සේ සත් පුරුෂයන් විසින් අප ගේ සද්ධර්‍මරත්නාවලී නමැති බෙහෙදින් දුශ්චරිත නමැති (ලෙඩින්) ගොඩ නැඟී විෂ්කම්භන – සමුච්ඡෙද දෙක මෙ වක බැරි වුව ත් තදඞ්ග වසයෙන් ක්ලේශ කාලුෂ්‍යාප ගමයෙන් පවිත්‍ර වූ අදහස් ඇති ව ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.