57. මහා කාශ්‍යප සද්ධිවිහාරික එක නමකගේ වස්තුව

star_outline

තව ද අදහස් විෂමයන් හා එක් ව විසීමට ත් වඩා තමාගේ අදහස් යහපත් වී නම් තනි ව විසූ වත් වරද නැතැ යි හඟවනු පිණිස මහසුප් තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික දෙ නමින් අනුන් කළ දෙය තමා ඇඟ ලා ගෙන වඤ්චා ලෙසින් දවස් යවූ නමකගේ වස්තුව දක්වමු.

ඒ කෙ සේ ද යත් -

මහසුප් තෙරුන් වහන්සේ රජගහා නුවර නිසා පුළිල ලෙණ වසන කලට සද්ධිවිහාරික දෙ නමෙක් අත් පා මෙහෙ කරණ සේක. ඉන් එක් නමක් සැදැහැ ඇති ව නො පමාව වත් පිළිවෙත් කරණ සේක. අනික් නම අනුන් කළ දෙය තමා ඇඟ ලා ගෙන දැවිටි පැන් වත් සපයා ලූ නියාව දැන ලා මහ තෙරුන් වහන්සේ කරා අවුත් ‘දැවිටි පැන් සැපවිණ. දැවිටි වළඳා වදාළ යහපතැ’යි කියන දෑ ය. පය සෝධන පැන්, නහන පැන් තබා ලුවත් තමන්දෑ තබා ලූවා සේම අවුත් කියන දෑය. අනික් නම සිතන සේක් ‘මූ නිතර ම මා කළ දෙයම තමන් කළා සේ හඟව ඇවිදිති. වන්නාට ඊට නිස්සක් කෙරෙමි යි’ ඒ නම වළඳා ලා නිදි

ය දීම නහන පැන් හුණු කොට අනික් වළඳෙක වත් කොට ලා නහන කොටුවට පිටි පස්සේ සඟවා තබා ලා පැන් හුණු කරණ සැළ හුණුසුම් නැඟෙන පැන් නැළියක් මනාවක් වත් උදුනේ තබා ලා වැද හුන් සේක.

කෑම් හා නිඳීම් මුත් වතක් ම නො කරණ අනික් නම සවස් වේලාට නිඳා නැඟී සිට පැන් සැළින් හුණුසුම් නැඟෙන්නා ම දැක ළඟට ගොසින් බලා පියන්ට වත් නොව පැන් හුණු කොට නහන කොටුවේ තුබූ නියා ය යි වහා ම ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි, පැන් හුණු කොට ලා නහන කොටු යේ ය. වඩනේ යහපතැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ ලා කැටි වම නහන කොටුවට වන්හ. මහ තෙරුන් වහන්සේ ත් පැන් නො දැක පැන් කොයි දැ යි විචාළ සේක. නො කළ වත් ම කීමෙන් කරණ නම පැන් පළට ගොසින් සාළුව සැළට බා බලා සිස් නියාව දැන ‘සොරුන්ගේ සොර කම් බලව. සිස් සැළ ම උදුනේ තබා පැන් හුණු කරණ ලෙසට හඟවා ලා කොයි ගිය නියා ද? මෙ තෙක් දවසු ත් එ සේම හෙයින් පැන් හුණු කළැ යි සිතා කියා පීමි” යි තතනමින් කළය හැර ගෙන මෙහෙ කොට කුසී ව ගිය කළ මිඬියක මෙන් පැන් තොට ට නික්මුණහ. අනික් නමත් තමන් සඟවා ලා තුබූ තැනින් පැන් ගෙනවු ත් නහන කොටුවේ තබා ලූ සේක.

මහ තෙරුන් වහන්සේ සිතන සේක් “මේ බාලයාණෝ පැන් හුණු කොට නහන තැන තබා ලූයේ ය. වඩනේ යහපතැ’යි කියා ලා දැන් කෙඳිරි ගා මින් කළ ය හැර ගෙන පැන් තොටට යෙති. කුමක් දෝ හෝ යි” දිවසින් බලන සේක් ‘මෙ තෙක් කල් මුළුල්ලෙහි මුන් කළ දෙය තමන් කළා කොට හඟවා ඇවිද්දෝ ය’යි දැනලා සවස අවුත් හුන් නමට “හෙම්බා ඇවැත්නි, වහන්දෑට තරම් නම් තමා ම කළ දෙයක් කළා කොට කීමය. අනුන් කළ දෙය තමා කළ ලෙස කීම නපුර. දැන් තෙපි ‘පැන් හුණු කොට තිබු යේ ය. නහන්ට වඩනේ යහපතැ’යි කියා ලා මා එන්නා ම කළය හැර ගෙන නික්මුණව. පැවිදිවරුන් තෙල ලෙස කිරීම නපුරැ”යි අවවාද වදාළ සේක. ඒ වහන්සේ ත් ‘මහ තෙරුන් වහන්සේ ගේ තරමක් බැලුව මැනව. පැන් පමණකට මට මෙසේ කියන සේකැ’යි මුසුප්පු ව දෙවන දවස් කැටි ව සිඟා ත් නො ගිය දෑ ය. මහ තෙරුන් වහන්සේ ත් අනික් නම කැඳවා ගෙන එක් ගමකට සිඟා වැඩි සේක.

කැටි ව නො ගිය නම බතු ත් වුවමනා හෙයින් මහ තෙරුන් වහන්සේ ගේ උපාසක කුලයන් ගේ ගෙට ගොසින් ‘ස්වාමී කොයි දැ”යි විචාළ කල්හි ‘ඔබ ඇඟට අඵාසු හෙයින් වෙහෙර ම රඳා වැඩ හුන් සේකැ’යි කී දෑ ය. ‘වුව මනා කුමක් දැ’යි විචාළවුන්ට ‘මෙබඳු බතක් දෙව’යි තමන්දෑගේ තරම් කුමක් වුව ත් ඔබගේ තරම් නිසා කී දෑ ය. උයි ත් කී ලෙස ම සපයා දුන්හ. සිතක් මතක් සේ ම කියා ලා කරවා ගත් බත අතුරු මඟදී සිතක් මතක් සේ ම අනුභව කොට ලා විහාරයට ම ගිය දෑ ය.

මහ තෙරුන් වහන්සේ සිඟා වැඩි තැන දී දිග-පළල ඇති සීන් පිළියක් ලදින් තමන් වහන්සේ ලා කැටි ව ගිය නමට දෙවා පී සේක. උන් වහන්සේ ත් ඒ කඩින් තමන් වහන්සේට සිවුරක් කොට ගත් සේක. මහතෙරුන් වහන්සේ දෙවන දවස් තමන් වහන්සේ ගේ උපාසක කුලයට වැඩ ‘මුඹ වහන්සේ ලෙඩව විහාරයේ ම රඳා වැඩ හුන් නියාව අසා මුබ ආ බාල නම කියාලූ ලෙසට බතක් ඉදි කරවා යවුමෝ වේ ද, ඒ වළඳා ගුණ ඇත් දැ’යි විචාළ කල්හි බැණ නො නැඟී සේක. විහාරයට වැඩ සවස ළඟට අවුත් හුන් නමට ‘ඇවැත්නි, තොප ඊයේ මෙබන්දක් කළා ද? පැවිදි වරුන්ට නම් සිඟා උපන් දෙයක් මුත් විනවා අනුභව කිරීම තරම් නො වෙ’යි වදාළ සේක.

දුර්ජන නම කිපී පියා මහ තෙරුන් වහන්සේ කෙරෙහි නිෂ් කාරණයේ වෛර බැඳි දෑය. ‘පෙරාතු දවසෙක පැන් පමණකට මා බොරු කියති කී සේක. අද තමන් වහන්සේගේ උපාසකවරුන් ගෙන් බත් පිඬක් කා පූවාට ඉල්ලා කෑම නොවටී ය යි කියන සේක. ලත් කඩ පොල්ල[1] පමණකුත් කැටි ව ගිය නමට ම දෙවාපී සේක. අනේ මුන් වහන්සේ ගේ තරමක් ය. වන්නාට ඊට නිස් සක් දනිමී’යි දෙ වන දවස් මහ තෙරුන් වහන්සේ ගමට සිඟා යා දී තමන් ද, විහාරයේ ම රඳා සිට දණ්ඩක් හැර ගෙන පැන් වළන් සපා බිඳ පියා මහ තෙරුන් වහන්සේ ගේ පන්සල ගිනි ත් ලා පියා යමක් නො දෑ නම් එය මුගුරෙන් ගසා බිඳ පියා ගොසින් මිය අවීචියේ උපන්හ.

බොහෝ දෙනත් ‘මහසුප් ස්වාමින් ගේ නමෙක් අවවාද ඉවසා ගත නො හී පන්සල ගිනි ලා ගෙන ගිය දෑ ය’යි කථා ව ඉපැදවූහ. පසු ව එක් තරා භික්ෂු කෙනකුන් වහන්සේ ත් බුදුන් දක්නට රජ ගහා නුවරින් නික්ම දෙව්රමට ගොසින් බුදුන් වැඳ ලා සාමීචි කොට ලා කොයි සිට අවුදැ යි විචාරා වදාළ කල්හි රජගහා නුවර සිට ආ නියාව කී සේක. ‘අපගේ පුතණුවන් මහසුප් මහ තෙරුන් වහන්සේට සුව දුක් කිම් දැ’යි විචාළ සේක. ‘අනික් ලෙඩෙක් දුකෙක් නැත. එක් සද්ධිවිහාරික නමෙක් අවවාද කළ තැන මුසුප්පු ව ලා පන්සල ගිනිලා ගෙන ගියහ’යි වදාළ සේක. ‘හෙම්බා මහණෙනි, ඌ අවවාදක්‍ෂම නො වන්නේ දැන් මතු නො වෙයි. පෙරත් අවවාදක්‍ෂම නො වෙයි. ගිනි ලූයෙත් දැන් මතු නො වෙයි. පෙරත් කදලු බිඳ ආ කෙණෙකැ’යි වදාරා ගමන් අවුත් විඩාව හුන් නමට පැනක් දෙවන කලක් මෙන් ඉකුත් වත් ගෙන හැර දක්වන සේක්:-

බරණැස බඹදත් නම් රජකු රජ කරණ කල්හි හිමවු පියස එක් පක්ෂියාණ කෙනෙක් කදල්ලක් ඉදි කොට ගෙන වෙසෙති. එක් දවසක් වැස්සක් වස්නා කල්හි එක් වඳුරෙක් ශීතයෙන් වෙවුල වෙවුලා කදල්ල කරා ගියේ ය. පක්ෂියාණෝ ද ඔහු දැක-

“මනුස්සස්සේව තෙ සීසං - හත්‍ථපාදා ච වානර,

අථ කෙන නු වණ්ණෙන - අගාරං තෙ න විජ්ජති”

යනු හෙයින් ‘වඳුරාණෙනි, තොපගේ හිස ත් අත් පතු ත් මිනිසුන් සේ ම ය. එසේ වූ තොපට අපගේ පවා ගෙවල් ඇති කල ගෙවල් නැත්තේ හැයි දැ’යි විචාළෝ ය. වඳුරාණෝ ඒ අසා-

“මනුස්සස්සෙව මෙ සීසං - හත්‍ථපාදා ච සිඞ්ගිල,

යාහු සෙට්ඨා මනුස්සෙසු - සා මෙ පඤ්ඤා න විජ්ජති”.

යනු හෙයින් මාගේ හිස ත් අත් පතු ත් මිනිසුන් සේ ම බව නියත ය. මිනිසුන්ට යම් නුවණක් ඇත්නම් ඒ නුවණ මට නැත. ගෙවල් නමුත් නුවණින් කළ මනා දෙයක් බැවින් මට ගෙවල් නැතැ’යි කිවු ය. ඒ අසා ඕ හට බණන පක්ෂියාණෝ -

“අනවට්ඨිතචිත්තස්ස - ලහුචිත්තස්ස දුභිනො,

නිච්චං අද්දුවසීලස්ස - සුඛභාවො න විජ්ජති”.

යනු හෙයින් ‘මඬෙහි ඇණි හිරටයක් සේ ලඝු සිත් ඇති, සුළං දැඩි තැනෙක තුබූ දෙයක් මෙන් වහා පෙරළෙන සුලුවූ, තොප සේ වූවන්ට සැප කොයින්ද? තමා සිතා ගෙන කරන්ට නුවණ නැතත් අනුන් කළා බලා ත් කට නොහැකිද? සුව සේ හිඳිනා ලෙසට මා කළා සේ ගෙයක් කොට ගනුව’යි පක්ෂියාණෝ කීහ. වඳුරු තෙමේ අවවාද ලෙස කියා ලූ වා ඉවසා ගත නො හී ‘දැන් සුව සේ වසන ලෙසක් කෙරෙමි’යි කදල්ල බිඳී ය. පක්ෂියාණෝ ත් එක්

කන්නෙකින් පලා ගියහ. එ වක වඳුරු නම් මෙ වක පන්සල ගිනිලූ තැනැත්තෝ ය. පක්ෂියාණෝ නම් මහසුප් මහ තෙරහු ය’යි ජාතක ය නිමවා ලා ‘හෙම්බල මහණ, කාශ්‍යපයන් වැන්නවුන් මෙ සේ වූවන් හා එක් ව විසීමට ත් වඩා තනි ව විසීම යහපත.

‘ශීලාදී ගුණෙන් තමාට වඩනා කෙනකුන් වේව’යි සරි කෙනකුන් වේව’යි ලද නො හැකි වී නම් වඩනා කෙනකුන් සම්භ ව නො වීමෙන් ශීලාදි ගුණෙන් වඩනට නැති හෙයිනු ත් සරි කෙනකුන් සම්භ ව නො වීමෙන් ලද ගුණෙන් නො පිරිහෙන්ට නැති හෙයිනු ත් එ සේ ඒ දෙ පක්‍ෂයෙන් එක පක්‍ෂයකුත් සම්භ ව නො වතො ත් තමාට නො එක් ලෙසින් අඩු තරමුන් හා එක් ව විසීමට ත් වඩා වැඩියුරු ගුණ ලබන්ට වැඩියුරු තැනක් ලබන තෙක් ලද ගුණ පමණක් පවත්වා ගන්ට සරි කෙනකුන් ලබන තෙක් තනි ව වුවත් සිත තර කොට ගෙන විසීම යහපත. බාලයන් හා එක් ව විසීම කවර ලෙසිනු ත් නපුරැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ආගන්තුක ව ගිය භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ගුණින් නුවණින් වඩනා කෙනකුන් හෝ සරි කෙනකුන් හෝ අත් නො හැර වැඩි තරමුන්ගේ වසයෙන් ලද ගුණෙන් නොපිරිහී පිළිවෙත් පුරා නිවන් පුරයට පැමිණිය යුතු.

  1. කඩ මාල්ල - ඇතැම්.