56. කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව

star_outline

තව ද බණ දහම් නො දන්නවුන් කුසල්හි නො හැසිර සසර දික් කරණ නියාව ත් ව්‍යතිරේකයෙන් බණ දහම් දැන පින් කර හැසුරුනන්ට සසර ලුහුඬු වන නියාව ත් දක්වනු පිණිස කුමුදුප්පලානීත දුග්ගත සේවක වස්තුව කියමු.

කෙසේ ද යත් -

පසේනදි කොසොල් රජ්ජුරුවෝ එක් උත්සව දවසෙක චන්ද්‍රකාන්ති පුඤ්ජයක් සේ හැළි වූ හස්ත්‍යාභරණයෙන් සරහන ලද පුණ්ඩරීක නම් ඇතු පිට හිඳ මහ පෙරහරින් නුවර පැදකුණු කෙරෙති. ‘ඇළ වව’යි ඇළ වව’යි කිය ලා ලී හැර ගෙන මරා ඉවත් කරතත් දුවන ගමනේ වුව ත් කර නමා රජදරුවන්ගේ ශ්‍රී විභූති බලන්නෝ බොහෝ වෙති. ඒ රජ දරුවන් සසර සිටිනා කල සකසා කල පිනෙයි මහිම ය.

එක් තරා දුක් පත් එකකුගේ අඹුවක්-දුක් පත් බව මිස මාළිගාවක් ඇති නියා වේ ද-සත් මහල් මාලිගාවේ උඩු මාලේ සිටි තැනැත්තී කවුළු දොර මඳක් හැර ලා රජ්ජුරුවන් නික්මෙන ශෝභාව බලා පියා ඉවත් ව ගියා ය. රජ්ජුරුවන්ට ත් උන් ඉවත් කොට ගත් මුහුණ නුවණින් සිතන්ට නුවූ හෙයින් පුන් සඳක් වලා ගබට වන්නා සේ සිතින. රජ්ජුරුවෝ උන් කෙරේ පිළිබඳ සිත් ඇති ව ගෙන ඇත් කඳ පිටින් කාමොන් මාදයෙන් හෙන්නා සේ ව ගොසින් වහා නුවර පැදකුණු කොට පියා රජ ගෙට පිවිස ලෙන් ගතු ඇමත්තකු බණවා ලා ‘අසවල් තැන දී මා බලා සිටි මාළිගාව දිටි දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘ඒ මාළිගාවේ සිටි ගෑනියක දිටි දැ’යි විචාරා ‘දිටිමි’යි කී කල්හි’යා ගොසින් උන් සස්වාමික- අස්වාමික නියාව දැනැ’යි කිවු ය.

උයිත් ගොසින් විචාරා සස්වාමික නියා දැන ගොසින් රජ්ජුරුවන්ට සස්වාමික නියාව කිවු ය. එසේ වී නම් උන්ගේ සමණන් කැඳවා ගෙන එව’ යි කී කල්හි ගොසින් රජ්ජුරුවන් කැඳවූ නියාව කිවු ය. උයි ත් තමන් නුවණැති හෙයින් කැඳ වූ ලෙසින් ම අඹුවන් නිසා ඇති වූ භයෙක් නියා වේ දැ යි දැන ගෙන රාජාඥාව මැඬ ගත නො හී ගොසින් රජ්ජුරුවන් වැඳ ලා සිටියහ. රජ්ජුරුවෝ ‘සේවා කමට නිල කොට ගෙන වරදක් ලා මරවා පියා අඹුව හැර ගනිමි’ සිතා පර ලොව ම නො සලකා ‘අපට සේවා කම් කරව’යි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, සේවා කම නම් පැදෙන[1] කෙනකුන්ට වේ ද? නැවත මම මා රැකෙන ලෙසකින් රැකි රට හුන්නාට නුඹ වහන්සේට බද්දක් දී ලා හිඳිමී’ කිවු ය. ‘තොපගේ බද්දෙන් අපට ප්‍රයෝජන නැත. මෙ වක් පටන් සේවා කම් කරව’යි කියා ලා කඩුවක හා පලඟක්[2] දුන්හ. උයි ත් ආයුධ ලදින් සේවාකමට කළ නිලයක් නො වන නියාව දැන භය බලවත් ව ඇති ව නො පමාව රාජ සේව ය කෙරෙති.

රජ්ජුරුවෝ උන්ගෙන් වරදක් සොයා ගත නො හී කාම තෘෂ්ණාව වඩුත් වඩු ත් වරදක් ලා ලා මරවා පියා ස්ත්‍රි ය හැර ගනිමි’යි සිතා කැඳවා ලා ‘හෙම්බා දරුව, මෙ තැනට සතර ගවුවකින් ඔබේ ගඟ බඩ අසවල් තැනට ගොසින් සවස මා නහන වේලාට කඩුපුල් මල් හා අරුණුවන් මැටි ගෙනවුත් දෙව. එ වේලාට නාවු නම් ආඥා කරවමි’යි කිවු ය. සේවා කම් නම් ගෙයි දා වඩා ගත මඟුල් වහල, මිල දී හැර ගත් වහල, කොල්ල වහල, රැකී ගත නො හී තුමූ ම වහල් වූවෝ ය. යන සතර පක්‍ෂයේ වහලට ත් අඩු හෙයින් හා ඒ වාල් ස්වාමිදරුවන් මෙහෙයක් කී කල්හි ඇඟටනු සුව ය යි කියා ලා රඳන්ට පිළිවන් වුව ත් සේවායන් එ සේ රඳනට බැරි හෙයින් හා තමා අවශ්‍යයෙන්ම මෙහෙවර ගිය මනා හෙයින් ‘කඬුපුල් මල් හා සමඟ අරුණුවන් මැටි ඇත්තේ නාග භවන ය. මම එය කොයින් ලබම් දැ යි සිතා මරණ භයින් තැති ගෙන ගෙට ගොසින් ඇඹේණියනට ‘සොඳුර, බත් උදවු දැ’යි කිවු ය. ‘උදුනේ ය’යි කී කල්හි බත් බා තබන තුරුත් රඳන්ට බැරි හෙයින් ‘සරළුවෙන් පැන් නිමවා හැර පියා දිය සිඳී නො ගිය බත් ම පෙට්ටියෙක ඔබා ගෙන උදවු වූ මාළුවකු ත් ලවා ගෙන ඒ හැර ගෙන සතර ගවුවේ යන්ට නික්මුණාවු ය.

යමින් සිටියදී ම බත් පෙට්ටියේ ඔබා ලූ හෙයින් පැසිණ. නොයිඳුල් කොට බත සුඟක් හැර තබා ලා බත කන තැනැත්තෝ එක් මගී කෙනකුන් දැක නොයිඳුල් කොට තුබූ බත් උන්ට කන්ට දීලා තුමුත් බත් කා ගෙන දියෙහි කුඩ මස්සන්ට බත් මිටක් දමා පියා අත කට සෝධා පියා හඬ ගා කියන්නෝ ‘මේ ගඟ වසන දේවතාවෙනි, නයිනි, කොසොල් රජ්ජුරුවෝ මා මරවනු කැමති ව කොට ලිය නො හැකි මෙහෙවරක් හෙයින් කඩුපුල් මල් හා සමඟ අරුණු වන් මැටි ගෙනෙන්ට මට විධාන කළහ. බත් කන ගමනේ ඉඳුල් නො කොට තබා ලා මගී කෙනකුන්ට බත් දිනිමි. ඊ විපාක දහස් ගණන් ඇත. කුඩ මස්සන්ට ත් බත් ලීමි. ඊ විපාක සිය ගණන් ඇත. ඒ පින් කම් දෙවියන් නයින් අනුමෝ ව ඇති තැනකින් මට කඬු පුල් මල් හා සමඟ අරුණුවන් මැටි ගෙනවුත් දුන මැනැව’යි තුන් විටක් අඬ ගා කිවු ය. එ ගඟ පත්ලේ වසන නා රජ්ජුරුවෝ ඒ අසා මාලු වෙසකින් උන් ළඟට අවුත් ‘කුමක් කියවූ දැ’යි විචාරා ආදි කී ලෙස ම කී කල්හි ‘තොපි එ පින් දෙවු දැ’යි විචාරා දෙමි” කී කල්හි තවත් තවත් විචාරා තුන් විටක් කොට ම දෙමි කියවා ගෙන කඬුපුල් මල් හා සමඟ අරුණු වන් මැටි ගෙනවුත් දුන්හ.

උන් මේ වර යවා ලා රජ්ජුරුවෝ ත් සිතන්නෝ ‘මිනිස්සු නම් බොහෝ උපදෙස් දනිති. යම් කිසි ලෙසකින් ඒ ලද්දු නම් මාගේ අභිමතාර්ථය සිද්ධ නො වෙයි. ඊට උපදෙසක් කළ මනා වේ දැ’යි ආවොතිනු ත් තමා කරා නො එන ලෙසට වේලා පස ම වාසල්වල යතුරු ලවා ලා යතුරු මුදුත් තමන් ළඟ තබ්බවා ගත්හ. සේවාණෝද රජ්ජුරුවන් නහන වේලාට ම වාසල කරා ගොසින් වාසල්වල යතුරු ලූ හෙයින් වාසල් රක්න වුන්ට යතුරු හරින්ට කිවු ය. ‘අප යතුරු හරින්නේ කෙසේ ද? වේලා පස ම යතුරු ලවා පියා යතුරු මුදු රජ ගෙට ම ගෙන්වා ගත් සේකැ’යි කිවු ය.

‘මම රජ්ජුරුවන්ගේ මෙහෙවර ගියෙමි. දොර භරුව’යි කියාත් හරවා ගත නොහී ඉතිකින් රජ්ජුරුවෝ මා නො තබති. කුමක් කෙරෙම් දෝ හෝ’යි සිතා වාසල උඩෙළියේ මැටි පිඬ තබා ලා ඊ පිට කඬුපුල් මල් ගන්වා තබා ලා මහත් කොට හඬ ගා කියන්නෝ, ‘මුළු නුවර ඇත්තෙනි, රජ්ජුරුවන් වහන්සේ වදාළ මෙහෙවර කඬුපුල් මල් හා අරුණු වන් මැටි හා මා ගෙනවුත් වාසල උඩෙළියේ තබා ලූ නියා ව දනුව. රජ්ජුරුවෝ නිවරද මා මරවතී’ තුන් විටක් හඬ ගා කියා පියා මෙ වේලේ කොයි යෙම්දෝ හෝ යි සිතා ‘වහන්දෑ නම් මෙළෙක් අදහස් ඇතිසේක. විහාරයට ගොසින් වැද හෝමී’යි සිතින් ම සනිටුහන් කොට - පැදෙන කල වහන්දෑ ඇති නියාව ත් නො දැන, දුකකට පැමිණි කල විහාරයට යනු කැමැති වෙති - එසේ හෙයින් උයි ත් විහාරයට ගොසින් ඵාසු තැනෙක සැතපී ගත්හ.

රජ්ජුරුවෝ ඇවිටි කළ ස්ත්‍රිය කෙරෙහි සිතිවිල්ලෙන් රෑ නිදි නැති ව කාම තෘෂ්ණාවත් බලවත් ව ‘පාන් වන්නා ම හුන් තැනකින් අර මූ ගෙන්වා ගෙන මරවා පියා ස්ත්‍රි ය ගනිමී’ සිතූහ.

එම රාත්‍රියෙහි දෙ සිය සතළිස් ගවුවක් විතර උස ඇති ලෝකුඹු නරකයේ උපන් නිරෑ වැස්සෝ සතර දෙනෙක් සැළියෙක පැසෙන සාලක් මෙන් සිසෑරි සිසෑරි පැසෙන්නාහු සැළ මුව විට පටන් තිස් දහසක් හවුරුද්දෙන් පැසී සැළ පත්ලට බැස නැවත තිස් දහසක් හවුරුද්දෙන් සැළ මුව විට කරා පැමිණ පැන නැංගෝ ය. ඔහු සතර දෙන සැළ මුව විටින් හිස ඔසවා පියා ඔවුනොවුන් දැක එකි එකී ගාථාවක් කියනු කැමති ව ගාථා පුරා කියනට කල් නැති හෙයින් ගාථා සතරේ මුල මුල අකුරු පමණක් කියා ලා පෙරළා පැසී බසින්ට වන්හ.

නොනිඳා හුන් කොසොල් රජ්ජුරුවෝත් මධ්‍යම රාත්‍රි වේලෙහි නාරකික සත්‍වයන්ගේ ශබ්ද හෙයින් භයානක වූ ඒ ශබ්දය අසා බා ගොසින් ‘මට වන දෙයෙක් දෝ, අග මෙහෙසුන් බිසොවුන්ට වන දෙයෙක් දෝ, රටට වන දෙයක් දෝ’යි සිතා ඇස පිය බානට නැතිව නොනිඳා හිඳ පාන් වන වේලාට පුරෝහිත බමුණන් ගෙන්වා ගෙන ‘ආචාරීනි, මධ්‍යම රාත්‍රියෙහි භයානක ශබ්ද සතරක් ඇසීමි. කුමකින් කුමක් වන බවත් නොදැක තොප ගෙන්වීමි’යි කිවුය. ‘රජ්ජුරුවන් වහන්ස, ඇසූ ශබ්ද කවරේ දැ’ යි විචාළෝ ය. රජ්ජුරුවෝ “දු” යන හඬෙක. ‘ස’ යන හඬෙක. ‘න’ යන හඬෙක. ‘සො’ යන හඬෙක. මින් වන වැඩ අවැඬ සලකව”යි කිවු ය.

බමුණානෝ ඒ අසා අඳුරු ගබකට වන්නා සේ හැඟුණු කුමකු ත් නැති ව ‘හැඟුණු දෙයෙක් නැතැ යි කීම් නම් ලාභ සත්කාර නැති වෙයි’ සිතා තුමූ ත් බා ගියා සේ වලා ‘රජ්ජුරුවන් වහන්ස, කාරණා යහපත් නො වේ යි’ කිවු ය. කුමක් දැ යි විචාළ තැන ‘මුඹ වහන්සේට උවදුරෙක් පෙනෙ’ යි කිවුය. රජ්ජුරුවෝ දියුණ ලා බා ගොසින් ‘ආචාරීනි, ඒ දෙසන්ට නිසි දෑ ඇත් දැ ‘ යි විචාළෝ ය. ‘රජ්ජුරුවන් වහන්ස, මම වේද දනිමි. වේදයේ තෙල සේ වූ දෙයට නිස්ස ඇතැ’යි කියා ලා කුමක් කළ මනා දැයි විචාළ කල්හි ‘තෝරා ලා මස් කෑ යුතු සත්‍වයන්ගේ ම පවත් කියා ලීම් නම් දඩ මස් කනු කැමැති වනැ යි සිතාගතත් නපුරැ’යි සිතා ‘ඇත් සියයක්, අස් සියයක්, ගොන් සියයක්, දෙන් සියයක්, තිරෙළුවන් සියයක්, පලෙළුවන් සියයක්, කුකුළන් සියයක්, හූරන් සියයක්, මුවන් සියයක්, කුඩා කොල්ලන් සියයක්, කිඩෑ කෙල්ලන් සියයක් යයි සියල්ලවුන් ගෙන් සියය සිය ය මරා යාග කිරීම යහපතැ’යි කිවු ය. රජ්ජුරුවෝ ද ‘මාගේ ජීවිතයට වඩා ත් ඇත්ද’යි සියල්ලවුන් ගෙන් ම අල්වන්ට විධාන කළහ. විධාන ලද්දෝ වඩ වඩා ලා බැන්දෝ ය. බොහෝ දෙන තමන්ගේ නෑයන් සියන් බඳනා හෙයින් හඬා නැංගෝ ය. පොළොව පැළී යන්නා සේ වී ය.

මල්ලිකා බිසවු රජ්ජුරුවන් ළඟට ගොසින් විචාළ තැන ‛සියල්ලවුන් ගෙන් සිය ය සිය ය මරා යාගයක් කළො ත් මුත් ජීවිත හානියක් කිවු ය. මළොත් නපුරැ යි යන අදහසින් මුන් හැම ඇල්ලවීමි’ කිවූ ය. මල්ලිකා බිසව ඒ අසා ‘රජ්ජුරුවන් වහන්ස, මගධ නැළියෙන් සොළොස් නැළියක් සාලේ බත් කන සේ දන්නා බව මුත් කට යුත්තක්ම නොදන්නේ භැයි ද ? එක් කෙනකුන් මරා එක් කෙනකුන් ජීවත් වූ නියාවක් කැරුණේ පුවතත් ඇසූ විරූ ඇත් ද? ප්‍රාණ වධ කළවුන් අල්පායුෂ්ක නියාව බණිනුත් නොඇසූ නියා ද? නුවණ නැති බමුණාගේ බස් ගිවිස මෙ තෙක් දෙනාගේ ප්‍රාණ හානි කරන්ට කාරණ කවරේ ද? තුන් කල් දැන්මෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති සියලු ලෝ වැස්සන්ට අග පුඟුල් වූ බුදු රජාණන් වහන්සේ ශරීරාලෝක – ඥානාලෝක දෙකින් බබළ බබළා ළඟ විහාරයේ වැඩ හිඳිනා සේක. ගොසින් ඔබ විචාරා ඔබ වදාළ ලෙසක් කළ මැනැවැ’යි කිවු ය.

රජ්ජුරුවෝ එ සේ කියන්නා ම පිළිවන් වාහනයෙකින් මල්ලිකාවනුත් කැඳවා ගෙන විහාරයට ගොසින් වැද ගත් භය බුදුන් කරා ගොසිනුත් නො හැරුණු හෙයින් කිසිවකු ත් කියා ගත නො හී වැඳලා එකත් පස් ව හුන්හ. බුදුහු නොදත් ලෙසින් ‛රජ්ජුරුවෙනි, වේලින් වේලා පස ම කොයි සිට කුමක් නිසා ආ නියා දැ’යි කථා උපදවනු පිණිස ම විචාළ සේක. කට කෙළ සිඳීලා දෝ රජ්ජුරුවෝ බැණ නො නැංගෝ ය. මල්ලිකා බිසවු “රජ්ජුරුවන් වහන්සේ මධ්‍යම රාත්‍රි වේලෙහි භය ජනක ශබ්දයක් අසා පාන් වූ කල පුරෝහිත බමුණානන්ට කී සේක. ඌ ඒ අසා ‘මුඹ වහන්සේට උපද්‍රවයෙක් පෙනෙයි. සියල්ලවුන් ගෙන් සිය ය සිය ය මරා යාගයක් කළො ත් ඒ උපද්‍රව ය නැති වෙයි’ කිවු ය. රජ්ජුරුවන් වහන්සේ ඇත්-අස්-මිනිස් ආදි වූ බොහෝ දෙනා බන්දවා ගෙන් වූ සේක. දොඩා බැණ මම මුඹ කැඳවා ගෙන අයිමී’යි කිවු ය.

බුදුහු ‘සැබෑ ද, මහරජ’යි විචාරා ‘සැබව’යි කී කල්හි ‘තොප ඇසූ ශබ්දය කවරේ දැ’යි විචාළ සේක. රජ්ජුරුවෝ ඇසූ ලෙස කිවු ය. බුදු රජුන් වහන්සේට අසමින් ම එහි අර්ථ දැනිණ. මහ රජ, තෙපි නො බව. තොපට ත් කාටත් මේ නිසා වන උපද්‍රව නැත. නිරෑ වැසි සත්‍වයෝ නරක දුක් විඳිමින් එ විතරකු ත් කියා පියන්ට යන්තම් අවසරයක් පෙනී ගොසින් තමන් ගන්නා දුක් කියන්ට කිවු ය”යි වදාළ සේක.

‘ස්වාමීනි උන් කළ පව් කවරේ දැ’යි විචාළෝ‍ ය. අසනු කැමැති නියා වේ දැ’යි විචාරා වදාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘මහ රජ යටගිය දවස දඹදිව් වැස්සන්ට විසි දහසක් හවුරුද්දට ආයු ඇති සමයෙහි කසුප් බුදුහු ලොව ඉපැද විසි දහසක් රහතන් පිරිවරා දඹදිව් තෙලෙහි සැරිසරන්නාහු බරණැස් නුවරට වැඩි සේක. බරණැස ඇත්තෝ දෙන්නත්-තුන් දෙනත්-දසයකුත්- විස්සකු ත් – සියයකු ත් වඩා ත් එක් ව ගෙන අමුතු ව ලා ගිය බුදුන්ට අමුතු දන් දුන්හ. එ කල බරණැස සතළිස් කෙළක් ධන ඇති සිටු පුත්‍රයෝ සතර දෙනෙක් මිත්‍ර ව වසන්නාහු එක් දවසෙක කථාවක් කරන්නෝ ‘අප අපගේ බොහෝ වස්තු ඇත. ඒ කුමක් කරමෝ දැ’යි කිවුය. ඉන් එක් කෙනකුත් ‘බුදුන් මෙ නුවරට වැඩි පසු දන් දෙම්හ. පින් කරම්හ’යි නො කීහ.

එක් සිටු පුත්‍රයාණ කෙනෙක් මේ. වස්තුව වියදම් කොට රා හැරගෙන බොම්හ. කුඩමස් ගෙන කම්හ. තවත් තව ත් රුචි ඇති දෙයක් ගෙන කා සුව සේ ඇවිදුම්හ. එ සේ කලට සම්පත වල නො යෙ’යි කිවු ය. අනික් සිටු පුත්‍රයාණ කෙනෙක් ‘තුන් හවුරුදු සුවඳ හැල් සාල් හැර ගෙන රස මසවුළෙන් යුත් හැල් සාලේ බත් කම්හ’යි කිවු’ය. තුන් වන සිටුපුත්‍රයාණෝ ‘අප මෙ තෙක් වස්තුව ඇත්තවුන්ට ත් බත් අරුමද? තෙලුත් පැණිත් ආදිය මිල දී හැර ගෙන නො එක් වර්‍ගයේ කැවුම් ඉදි කරවා කම්හ’යි කිවු’ය. සතර වන සිටු පුත්‍රයාණෝ කියන්නෝ ‘සබඳිනි, ඒ කුමකු ත් නො කැමැත්තේ ය. වස්තු දෙම්හ’යි කී කල කැමැති නො වන කෙනෙක් නම් නැත. වස්තු දී පියා පරදාර කර්‍මයෙහි හැසිරෙම්හ’යි කිවු ය. හැම දෙන ම උන්ගේ කථාව ගිවිස්සෝ ය.

උයි ත් එ වක් පටන් විශිෂ්ට රූ ඇති ස්ත්‍රීන්ට වස්තු දෙවා ලා විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි පරදාර කර්මයෙහි හැසිර මිය ගොසින් අවීචි නරකයෙහි ඉපැද අනන්ත කාලයක් අවීචියෙහි පැසී ඉන් චුත ව තව ත් අකුසල් නොගෙවුණු හෙයින් සැළමුව විට පටන් සැළ පත්ලට දෙසිය සතළිස් ගවුවක් උස ඇති ලෝ දියෙන් පිරුණු ලෝ කුඹු නරකයෙහි ඉපැද තිස් දහසක් හවුරුද්දෙන් සැළ පත්ළට බැස නැවත තිස් දහසක් හවුරුද්දෙන් සැළ මුව විට කරා නැඟී තමන් විඳිනා දුක් කියන්ට එකි එකී ගාථාවක් කියනු කැමැතිව පුරා කියන්ට අකුසල කර්‍මයාණන් අවසර නො පානා හෙයින් ගාථා සතරින් මුල මුල අකුරු ම කියාලා නැවත පෙරළා සැළ ඇතුළට ම වන්හ. මහරජ, මෙ සේ ඇසූ පළමු වන ශබ්ද ය කවරේ දැ’යි විචාරා ‘දු’ යන ශබ්ද ය යි කී කල්හි ඔහු පුරා නො කී ගාථාව කවි පදයක් පුරා පදලන්නා සේම-

“දුජ්ජීවිතං අජීවිම්හ – යෙ සන්තෙ න දදම්හසෙ,

විජ්ජමානෙසු භොගෙසු – දීපං නාකම්හ අත්තනො”යි

පුරා වදාරා ලා ‘යම් බඳු වූ අපි කැමැති විතරකට සම්පත ඇත ත් අපට පිහිටක් කට නුහුණුමෝ ද, එ සේ වූ අප විසි දහසක් හවුරුදු දවස් යවූ නියා වනැ’යි පළමු වන ගාථාර්‍ථය ත් වදාරා ලා දෙ වන ශබ්දය කවරේ දැ යි විචාරා ‛ස’ යන ශබ්ද ය යි කී කල්හි ඔහු පුරා නො කී ගාථාව -

“සට්ඨිං වස්සසහස්සානි - පරිපුණ්ණානි සබ්බසො,

නිරයෙ පච්චමානානං - කදා අන්තො භවිස්සති”යි

පුරා වදාරා ලා ‘මේ නරකයෙහි පැසෙන්නා වූ අපට පැසී බස්නා කල ත්, නැඟෙන කලත්, සැට දහසක් හවුරුදු පිරිණ. කෙළවරෙක් කවරේ දැ’යි අර්‍ථ ත් වදාරා ලා තුන් වන ශබ්දය විචාරා ‘න’ යන ශබ්දය යි කී කල්හි ඔහු අඬාළ කළ ගාථාව -

“නත්‍ථි අන්තො කුතො අන්තො - න අන්තො පතිදිස්සති,

තදාහි පකතං පාපං - මම තුය්හං ච මාරිස”යි.

ගාථාව පුරා වදාරා ලා අප විසිනු ත් තොප විසිනු ත් විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි කරණ ලද අකුශලයෙහි විපාක දී නිමවා පීමෙන් කෙළවරෙක් නැත. කෙළවරෙක් කොයින් ද? මින් මිදීමෙක් නැතැ’යි තුන්වන ගාථාවේ අර්ථ යත් වදාරා ලා සතර වන ශබ්දය කවරේ දැ’යි විචාරා ‘සො’ යන ශබ්දය යි කී කල්හි ඔහු අඬාළ කළ ගාථාව -

“සොහං නූන ඉතො ගන්ත්වා – යොනිං ලද්ධාන මානුසිං,

වදඤ්ඤු සීලසම්පන්නො – කාහාමි කුසලං බහුං”යි.

පුරා වදාරා ලා, ඉදින් මම මෙයින් චුත ව මිනිස් ලොව උපනිම් නම් බොහෝ පින් කෙරෙමි’ සතර වන ගාථාවේ අර්‍ථ ත් වදාරා ලා ‘මෙ සේ මහ රජ ඔහු සතර දෙන එකි එකී ගාථාවක් කියනු කැමැති ව ත් කියා ගත නොහී මුල මුල අකුරු ම කියා ලා නැවත ලෝකුඹු නරකයට ම වන්හ යි වදාළ සේක. පසේනදි කොසොල් රජ්ජුරුවන් ඒ ශබ්දය ඇසූ තැන් පටන් ඌ සතර දෙන සැළ පත්ල බලා පසු බසිති. ඒ අද ව ත් නරකයෙහි ආයු කාල ය වෙන් හෙයින් හවුරුදු දහසකට ත් නැත.

රජ්ජුරුවන්ට ත් උපයෝගි බණක් ම සම්භ ව වූ හෙයින් ඒ බණ අසා බලවත් ව භය ඇති වි ය. ‘අනේ පරදාර කර්‍මය නම් මහා සාවද්‍ය ය, එක ජාතියෙක කළ පරදාර කර්ම බලයෙන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අවීචියෙහි පැසී එයින් චුත ව තව කර්‍ම ය නො ගෙවුණු හෙයින් ලෝ කුඹු නිරයේ ඉපැද ඊ ත් සැට දහසක් හවුරුදු පැසී එයින් මිඳෙන කලක් තව පෙනුණේ නැත. මම ද එ සේ වූ අදහසින් රාත්‍රි ය මුළුල්ලෙහි නිඳි නැති ව මේ භය ජනක ශබ්ද ත් ඇසීමි. ඒ ඇසූ සේ ම යහපත. මෙ වක් පටන් පරදාර කර්මයෙක නො හැසිරෙමි’ යි කියා ගෙන බුදුන්ට දන්වන්නෝ ‘මෙ තෙක් දවස් නිඳා පාන් කරණ හෙයින් නො දත් බව මුත් රෑ දවස බොහෝ නියාව නොනිඳා හුන් හෙයින් ඊයේ රෑ දතිමි’යි කිවු ය. මේ වර ගිය සේවාණෝ ත් නුදුරෙක හුන්නෝ ඒ කථාව අසා ‘මටත් කථා කොට ගන්ට අවසර පෙනිණැ’යි බුදුන්ට දන්වන්නෝ ‘ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සේට රෑ දවස දිග යි දැනුණා සේ ම සතර ගවුව පමණකු ත් දුරු නියාව මටත් දැනිණැ’යි කිවු ය.

බුදුහු උන් දෙපක්‍ෂයෙහි කථාව එක් කොට ගෙන බණ වදාරන සේක්, ‘රාත්‍රිය තමා තිස් පැය වුව ත් මකුණන්ට බත් ව හිර නැඟෙන තෙක් ඇළයෙන් ඇළයට පෙරළි පෙරළී නිද්‍රා පුරන මහ මැළි යන්ට දික් ව නො වැටහෙත ත්, නැවත සුව සේ අනුභව කොට ලා කයට සිතට ඵාසු ඇති ව ශ්‍රී යහන්වල වැද හෙව නිඳන්නවුන්ට දික් ව නො දැනෙත ත් තුන් යම් රාත්‍රි ය මුළුල්ලෙහි ප්‍රධාන වීර්‍ය්‍යයෙන් හෝ බණ කීමෙන් හෝ බණ ඇසීමෙන් හෝ, එක්තරා රෝග දුකෙකින් පෙලීමෙන් හෝ නො නිදන්නවුන්ට දෙ තුන් රැයක් මෙන් දික් ව වැටහෙයි.

සතර ගවුවක් වුව ත් ගමන් ගොසින් විඩා වූවන්ට සෙමින් සිට යන ගමන හෙයින් පෙර මඟ එන්නවුන් දැක අසවල් ගම කෙ තෙක් තැන් දැ’යි විචාරා සතර ගවුවෙකැ යි කී කල්හි තවත් මඳක් ගොසින් විචාරා උනු ත් එ සේ ම සතර ගවුවක් විතර ඇතැ යි කී කල්හි මඳ තැනක් ගොසින් ලා එන්නවුන් අතින් විචාරා සැබ වැ යි කී කල්හි සතර ගවුවෙක් වී නම් නො වේ ද බොහෝ වනැ යි වැට හෙයි. සසර ලුහුඬු කරවා ලන සත් තිස් බෝධිපාක්ෂික ධර්‍ම ය නො දන්නා නුවණ නැත්තවුන්ට සසර ත් හවක්‍ෂය කට නො හෙන හෙයින් දික් වෙ’යි වදාළ සේක.

මේ දේශනා කෙළවර භයින් වෙහෙරට වන් සේවාණෝ ත් සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් දැක සසර නැති කරන්නෝ නැති කොට, ලුහුඬු කරන්නෝ ලුහුඬු කළහ. එ සේ හෙයින් භව ක්‍ෂයට ම තැත් පිරිය යුතු.

රජ්ජුරුවෝ ත් බුදුන් වැඳ ලා යන්නෝ යාගාවාටයෙහි බැන්ද වුන් ඉන වූහ. ගැළවී ගෙන ඉස් සෝධ නා පියා තම තමන් ගෙවලට යන ගෑනු පිරිමි ‘මල්ලිකා බිසොවුන් වහන්සේ බොහෝ කලක් ජීවත් වන සේක්වා’යි මල්ලිකා බිසොවුන්ට ආ වැඩුහ. සවස් වේලෙහි ධම් සෙබෙයි. රැස් ව හුන් වහන්දෑ ත් ‘අනේ, මල්ලිකාවෝ ඉතා නුවණැත්තෝ ය. තමන් නුවණැති හෙයින් මෙ තෙක් දෙන රැකපූ ය’යි කථාව ඉපැදවූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බා මහණෙනි, මල්ලිකාවන් තමන්ගේ නුවණින් බොහෝ දෙනා රැක්කේ දැන් මතු නො වෙයි. යට ගිය දවසත් මෙ ලෙස ම රැක්කෝ ය’යි වදාරා අසනු කැමැති වහන්දෑට ඉකුත් වත ගෙන හැර දැක් වූ සේක.

‘යට ගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ පුතණුවෝ එක් නුග ගසක් කරා ගොසින් ඒ ගස දෙවියාට ආරාධනාවක් කරන්නෝ ‘දෙවි රජ්ජුරුවෙනි, මුළු දඹ දිව රජ දරුවෝ සියයෙකුත් ඇත. අග මෙහෙසුන් බිසෝවරු සියයෙකු ත් ඇත. ඉදින් මම අප ගේ පියාණන් වහන්සේ ගේ අයාමෙන් රාජ්ජය ලදිම් නම් උන් හැම දෙනාගේ බොටුවේ ලේයෙන් තොපට බිලියම් කෙරෙමි’යි කිවු ය. එසේ කියා ලා පියාණන් මළ පසු රාජ්ජය ලදින් ‘දේවතානු භාවයෙන් රාජ්ජය ලත් පසු බිලියම් කෙරෙමි’යි සිතා මහ සෙනඟ පිරිවරා ගොසින් එක් රජ්ජුරු කෙනකුන් වසඟ කොට ගෙන ඒ සෙනඟ ත් තමන්ගේ සෙනඟ ත් හැර ගෙන ගොසින් අනික් කෙනකුනැ’යි සියලු රජදරුවන් ම වසඟ කොට ගෙන අග මෙහෙසුන් බිසෝවරුනු ත් හැර ගෙන හැම රජුන්ට බාල උග්ගසේන රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් දින්නා නම් බිසවුන් දැරි ඇති හෙයින් උන් රඳවා පියා අවුත් මෙ තෙක් දෙනා විෂ පොවා මරමි’යි ගස මුල පවිත්‍ර කැරවූ ය.

දේවතාවාණෝ සිතන්නෝ ‘මේ රජ මෙ තෙක් රජදරුවන් අල්වා ගෙන විෂ පොවා මරන්නේ මට බිලියම් කෙරෙමි සිතා මා නිසා ය. මා ගෙන් ප්‍රයෝගයක් නැති හෙයින් මට පව් නැත ත් මේ රජදරුවන් නටකල දඹදිව රජ පරපුර නස්සි. මා ගේ ගස මුල ත් කුණු වෙයි. මුන්ගේ මේ අකාරි ය මම නවතා ගත නො හෙමි. මට බැරි පසු අනික් සමවායකින් වූව ත් නැවතුව මනා වේ දැ’යි අනික් දෙවතාවකු කරා ගොසින් ‘තොපට මේ නව තන්ට පිළිවන් දැ’යි විචාරා උනු ත් තමන්ට බැරි ය යි කී කල්හි අනික් දේවතා කෙනකුන්, අනික් දේවතා කෙනකුනැ යි සියලු මේ සක්වළ දෙවියන් කරා ගොසින් උන් හැම ත් බැරි ය යි කී කල්හි සතරවරමුන් කරා ගියෝ ය. අපට ත් මේ නවතා ලන්ට බැරි ය. සක් දෙවිඳු තෙමේ නුවණ පින් දෙකින් ම අපට වැඩි සිටිනේ ය. ඔබ කියව’යි කිවු ය.

ඒ දේවතාවා ශක්‍රයන් කරා ගොසින් එ පවත් කියා ‘ඉදින් මුඹ වහන්සේ උපෙක්‍ෂා වූ සේක් නම් රජ මහ වංස නස්සී. උන්ට පිහිට වුව මැනැවැ’යි කිවු ය. ඒ අසා සක් දෙවිඳු ‘මම ත් ඒ නව තාලිය නො හෙමි. තොපට උපදෙසක් කියා ලමි. තොපි ගොසින් රජ්ජුරුවන් බල බලා සිටියදී ම රත් පිළියක් හැඳ ගෙන තොපගේ ගසින් මෑත් ව ලා නික්ම යන ලෙසක් හඟවා ලව. රජ්ජුරුවෝ ද දේවතාවාණෝ යෙති. රඳවමි’යි නො යෙක් ලෙසින් පැරැත්ත ගනිති. තොපි කියන කල ‘රජ දරුවන් සියය ත් බිසෝවරුන් සියය ත්, ගෙනවු ත් උන් බොටුවල ලේයෙන් මට බිලියම් කෙරෙමී යැද ලා උග්ගසෙන රජ්ජුරුවන්ගේ බිසොවුන් හැර පියා නැමී අව. තොප සේ වූ බොරු දන්නවුන්ගේ බලි විධානයෙන් මට ප්‍රයෝජන නැතැ’යි කියව. එ සේ කී කලට රජ්ජුරුවෝ බිසොවුනු ත් ගෙන්වති. ඒ බිසවු රජ්ජුරුවන්ට බණ කියන්නෝ මෙ තෙක් දෙනාට ත් මට ත් බැරි වුව ත් එ තෙක් දෙනා රැක පියතී’ කිවූ ය. දේවතාවා ත් ශක්‍රයන් කියා ලූ ලෙසම කොට ලී ය.

රජ්ජුරුවෝ ත්, ‘මෙ තෙදෑ කොට මෙ පමණක් වරද්දන්නේ කිම්දැ’යි බිසොවුනු ත් ගෙන් වූ ය. අවුත් හැමට ම කෙළවර හුන් තමන්ගේ උග්ගසේන රජ්ජුරුවන් ම වැන්දෝ ය. ප්‍රධාන ව සිටි බරණැස් රජ්ජුරුවෝ තමන් නො වැඳ හැම දෙනාට බාල තැනැත්තවුන් වන්දෑ යි බිසොවුන්ට මුසුප්පු වූ ය. බිසවු උන් මුසුප්පු නියාව දැක ලා කියන්නෝ ‘මුන් වහන්සේ මට ඉසුරු සේක. සම්පතු ත් දුන් සේක. මුන් වහන්සේ නො වැඳ මුඹ කුමට වඳිම් දැ’යි කිවු ය. ගස්හි වසන දේවතාවාණෝ ‘කී නියාව යහපත් ම ය’යි කියා ලා මල් මිටක් දමා ලා දත් ගුණයට පූජා කළහ. බරණැස් රජ්ජුරුවෝ එ විට ‘මා වන්නාට නො වැන්දව. මේ සා මහත් රාජ්‍ය සම්පතක් මට සාධා දුන් දේවතාවාණන් කුමක් නිසා නො වැන්දා දැ’යි විචාළෝ ය.

‘රජ්ජුරුවෙනි, මුඹගේ රාජ්ජය ලැබීමට නිසි පිණින් රාජ්ජය ලත් බව මුත් දේවතාවාණෝ රාජ්ජය දුන්නෝ දැ’යි කිවු ය. එයි ත් අසා දේවතාවාණෝ ‘කිවු නියා යහපත්ම ය. මා මුන්ට රාජ්ජයක් දෙන්ට සිතුවා ත් නැතැ’යි නැවත ත් මල් මිටත් දමා පූජා කළහ. නැවතත් බිසවු රජ්ජුරුවන්ට කියන්නෝ ‘මේ රාජ්ජය දේවතාවා ණන් ගෙන දුන්නැ’යි කියා වේද කියන්නේ. ඒ එසේම ආනුභාව ඇති කල තමන් වසන ගසට උඩු සුළඟ සිටි ගස ගිනි වැද ගෙනදා ගියේය. ඒ නිවා ගත නුහුනැ’යි කිවු ය. නැවත ත් දේවතාවාණෝ ඒ එසේ ම ය යි කියා ලා ආදි සේ ම පූජා කළහ. බිසවු කථා කෙරෙමින් සිට ම ජාති සිහි කරණ නුවණ ත් ඇති ව ගන්නා හඬා ත් පූ ය. සිනාවකු ත් සී පූ ය. ‘සෙතො ත් සිනා ම හා හඬතොත් හඬා ම මුත් එක විට ම සෙන්නෙ ත් හඬන්නෙ ත් වියරුවක් සේ ඇති නියා දැ’යි විචාළ කල්හි ‘රජ්ජුරුවෙනි, වියරු ඇති වුව මැනවුන් හින්දදී අප වැන්නවුන්ට ත් වියරු ඇතිවේ දැ”යි කිවු ය. එ සේ කල හඬන්ට ත් සිනා සෙන්ට ත් කාරණ දැ’යි කිවු ය.

‘රජ්ජුරුවෙනි, එ සේ වී නම් ඇසුව මැනව. මම යටගිය දවස කුල දූ ව ඉපැද සරණ හිඳ රැකෙන්නෙම් අමුතු කෙනකුන් ගෙට ආවුන් දාක උන්ට අමුතු බතක් දෙනු කැමති ව කෙල්ලක අත අංගාණියට රන් යවා ත් දඩ මසක් නොලදින් ගෙ පිටි පස් සේ හොත් නො බොහෝ ඇසිල්ලකින් මියන එළියක හිස කපා පියා දඩ මස් ඇති ව බත් දිනිමි. මම එළියගේ හිස කපා අනන්ත කාලයක් නරකයෙහි පැසී තව කර්‍මය ගෙවන්නට නැති හෙයින් ඇගේ ලොම් ගණනින් හිස් කැපීම් ලදිමි. මෙතෙක් දෙනා මරවා ගැළවෙන්නේ කවර කලෙක දැ’යි මුඹ විඳිනා දුක් සලකා හඬා පීමි’යි කිවු ය. හැඬුයේ වන්නා ඒ නිසා ය. සීපූයේ හැයි දැ’යි විචාළෝ ය. ·කර්‍මය ගෙවුණු හෙයින් ඒ දුකින් මම් මිදිණිමි’යි සමාධි ව සී පීමි’යි කිවු ය. නැවත ද දේවතාවාණෝ ඒ එ සේම ය යි කියා ලා මල් මිටක් දමා ලා පූජා කළහ.

රජ්ජුරුවෝ ‘අනේ පව් කමක් ඉතා උග්‍ර නියා ය. මූ එක එළියක මරා නරකයෙහි අනන්ත කාලයක් පැසී ශේෂව සිටි විපාකයෙන් ඇඟේ ලොම් ගණනින් හිස් කැපුම් ලද්දු ල. මම මෙ තෙක් දෙනා මරා කවර කලෙක ගැළවෙම් දැ’යි සියලු ම රජ දරුවන් හැර පියා වයසින් තමන්ට වැඩි මාලු රජ්ජුරුවන් වැඳ ලා බාල රජ දරුවන් සිප ගෙන ක්‍ෂමා කරවා ගෙන උන්ගේ නුවර වලට යවූහ.

බුදුහු මේ ජාතක කථාව ගෙන හැරවදාරා, ‘හෙම්බා මහණෙනි, මල්ලිකාවන් තමන්ගේ නුවණින් බොහෝ දෙන ගැළවූයේ දැන් මතු නො වෙයි. ගිය දවසත් ගැළවූ ය’යි වදාරා ලා ජාතකය නිම වූ සේක. එ කල බරණැස් රජ්ජුරුවෝ නම් දැන් කොසොල් රජ්ජුරුවෝ ය. දින්නා බිසවු මල්ලිකා දේවි ය. රුක් දෙවියා ණෝ මම් ම ය’යි කියා එයි ත් වදාළ සේක.

එසේ හෙයින් නුවණැත්තවුන් විසින් තමන්ගේ ප්‍රාණයට විනාශයක් වතත් ශාක්‍ය රජදරුවන් මෙන් අනුන් ගේ ප්‍රාණයට විනාශ නො සිතීමෙන් පණිවායෙන් දුරු ව ඉන් දුරු වූවා සේ ම අනික් සතරිනු ත් දුරුව ත්‍රිවිධ සුචරිතය පුරා නිවන් දහම් පසක් කට යුතු.

  1. පැරදෙන

  2. පලිහක්