55. සිරිගුත්ත වස්තුව

star_outline

තව ද බුද්ධානුභාව ය නො දැන මඟ[1] තිබිය දී මං මුළා ව වල් වදනවුන් මෙන් තීර්‍ථක භක්ති ගෙන කුසල්හි නො හැසිරෙන් නවුන්ට බුද්ධානුභාව දක්වා මිථ්‍යාදෘෂ්ටි හරවා කුසල්හි හසුරු වනු නිසා සිරිගුත්ත වස්තුව[2] දක්වමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර සිරිගුත්තයෝ ය, ගරහදින්නයෝ ය යන දෙන්නෙක් යාළු මිත්‍ර ව වෙසෙති. ඉන් සිරිගුත්ත නම් තැනැත්තෝ රාජ හංසයන් පියුම් විල ඇලෙන්නා සේ තමන්ගේ පවිත්‍ර අදහස සේම පවිත්‍රයන් කෙරෙහිත්, ගරහදින්නයෝ ගම් හූරන් කසළ ගොඩ ඇලෙන්නා සේ තමන්ගේ අදහස් ලෙසට කුණු අදහස් ඇති නිවටුන් කෙරෙහි ත් ඇලී වෙසෙති. තමන්ට උපාසක ව සිටි ගරහදින්නයන්ට නිවටුන් කියන කල ‘තොපගේ යාළු වූ සිරිගුත්තයන් මහණ ගොයුම්හු කරා ගොසින් ප්‍රයෝජන කිම් ද? ඔහු කරා නො ගොස් අප කරා එන ලෙස ත් ඕ හට දෙන කරණ දෙයක් ඇත් නම් අපට දෙන්ට කරන්ට ත් කථා කොට කරවා ලිය නො හැකි දැ’යි එක් වන් ව කියති. ගරහදින්නයෝ ඒ අසා එක් වන් ව සිරිගුත්තයන් කරා ගොසින් හුන් තැන ත්, සිටි තැනත්, කන තැන ත්, බොන තැන ත්, සිරිගුත්තයන්ට ‘සබඳ සිරිගුත්තයෙනි, තොප මහණ ගොයුම්හු කරා යාමෙනු ත්, ඕ හට දන් දීමෙනු ත් කම් කිම්ද? අපගේ රහතන් කරා අවුත් වැඳ පුදා ත් ගෙන ඔබට දන් දුන් කල නපුරු දෑ’ යි කිවු ය.

සිරිගුත්තයෝ උන් එ සේ කියත ත් නැතක් දවස් බැණ නො නැඟී හිඳි ලා එක් වන් ව කියන හෙයින් මුසුප්පු ව ලා ‘සබඳ, එක් වන් ව ම තෙපි මේ කථාව කට නො හැර කියන්නා සේ කියව. බඩුවක් පවා හැර ගන්නා කල මිල විචාරති. කරන උපස්ථාන ත් ස්ථානයෙක කළ මනා වේ ද ? මා පුරුදු කමක් නැති හෙයින් විචාරණ නියා ය. තොපගේ රහත්හු කුමක් දනිත් දැ’යි විචාළෝ ය. ‘සබඳිනි. එ සේ ආලිස්සම් කොට කියන්ට නො කැමැත්තේ ය. අපගේ රහතන් නොදන්නා දෙයක් නැත. යට ගිය දවස පැවැති දෙයත් දැන් පවතමින් සිටින දෙයක් මතු එන දවස පවතිනා දෙයක් සියල්ල ම හස්තාමලක න්‍යායයෙන් දන්නා සේක. ඒ හැම නො දනිතො ත් රහත් නම් කිම් දැ’යි කිවු ය. සිරිගුත්තයෝ ඒ අසා ‘අනේ, එ සේ කල මෙ තෙක් කල් මට නො කීයේ හැයි ද? මිත්‍ර කමට පිටත ඔබ හැමගේ නුවණේ තරම මා දත්තේ අද ය. යන්නේ, ගොසින් මාගේ ආරාධනාවෙන් ආරාධනා කරන්නැ’යි කිවු ය.

ගරහදින්නයෝ නිවටුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, අපගේ යාළු සිරිගුත්තයෝ සෙටයට ආරාධනා කොට එවු ය’ යි කිවු ය. සිරිගුත්තයෝ තුමූ ම කිවු දැ යි විචාරා එ සේ ය යි කී කල ‘හැයි මෙ තෙක් දවස් මුන් කීව ත් තමන් නො අවුත් මුන් අත කියා එවන්ට කාරණ කිම්ද? යන මේ විතරකු ත් නො සලසා පියා ඇසූ බස් පමණෙකින් ම විඳ ගත් සාදයක් නැත ත් සතුටු ව ‘අප කළ ප්‍රයෝග ය සමෘර්ධ විය. සිරිගුත්තයන් අපට නැමුණු තැන් පටන් කුමකින් අඩු ඇත් දැ’යි කිවු ය.

සිරිගුත්තයනු ත් පොහොසත් හෙයින් ගෙවලු ත් මහත. ඌ තුමූ මහ ගෙට ත් මඬු ගෙට ත් මධ්‍යයෙහි රෑ ම දික් කොට වලක් කණවාපියා බබුරන් ගෙන්වා ගෙන අත්පස් ගෙවල පෝරු උගුළුවා කණවා ලූ වළ අත් පස පුරවා ලා වළ ඒ කෙළවර ත්, මේ කෙළවරත් කණු දෙකක් ගස්වා ලා, ඒ කණු දෙකෙයි රෑණක් බඳවා ලා, හිඳිනට ලන ආසනවල පා මුල දසාවේ පා වළ ඉවුරු අස තබ්බවා ලා ඉස් දොර දසාවේ පා රෑණ පිට තබ්බවාලා, ලූ ය. එ සේ කෙළේ ආසනවල හුන් කල රෑණ මැඬි ලා ආසනවල පා පාත් ව බැස ගොසින් නිවටුන් හිස බිම බලා පා උඩු කොට හෙන නිසා ය. එසේ කොට ලා වළ යම් ලෙසක නො පෙනේ නම් එ ලෙසට අසුන් වසා ත්, වළ මුව විටි වසාත් ඇතිරි අතුරුවා ලූය.

හිඳිනා අසුන් මෙ ලෙසින් පනවා ලා දන් සරහන තැනැත්තෝ මහ ත් සැළවල් සෝධවා පියා ඇතුළේ කැඳ බතක් නැත ත් කැඳ අවුළු, බත්හුළු ත් සැළ පිට ඉස්වා ලා කෙහෙල්පත් වසා බඳවා ලා කුඩා සැළි හා හැඳි හා සෝධවා ලා ඒ ඇතුළෙ ත් කුමක් නැත ත් අවුළු පත් පොඩි වළන් පිට ඉස්වාලා, ඊ ත් අළුත් වළඳ කඩ වසුන් බඳවා ලා, පරණ වළඳ පත් බඳවා ලා අක් පතළා ත් සෝධවා පියා ඇතුළේ කුමක් නැත ත් මත්ස්‍ය මාංස තෙල් ආදි වූ ‘දෙය වළන් පිට ඉස්වා ලා ඊත් පත් බඳවා ලා ගෙන් පිටි පස දසාවේ තබ්බවා ලූය.

ගරහදින්නයෝ ත් උන්ගේ ගෙට උදාසන ම අවුත් ‘දන් සරහා පූයේ ඇද්දැ’යි විචාරා එසේය’යි කී කල්හි කොයි දැ’යි විචාරා දන් වේ වා, කුමක් වේ වා’ සරහා තුබූ තැනට ගොසින් මෙ තෙක් සැළ වල කැඳ, මෙතෙක් සැළ වල බත, මෙ තෙක් වළඳ අවුළු පත, මෙ තෙක් අක්පතළාවල ලාලු ය’යි සිරිගුත්තයන් කී කල්හි රහතන්ගේ නුවණ සේ ම නුවණ හෙයින් සැබවැයි සිතා සමාධිව ගෙන ගියහ.

උන් ගිය කල පන් සියයක් නිවටෝ අවු ය. සිරිගුත්ත යෝ ත් ගෙන් මෑතට අවුත් නො සිතින් වුව ත් පසඟ පිහිටුවා වැඳ ගෙන දොහොත් මුදුනේ තබා ගෙන ඉදිරියේ සිට වාග්භෙද කොට නො කියා සිතින් ම සිතන්නෝ ‘මුඹ හැම තුන් කල් දන් නා දෑ ල, මුඹගේ උපාසකයන් මට කීයේ එ සේ ය. තුන් කල් දන්නේ සැබෑ වී නම් මතු තබා මෙ කල් දනිතො ත් අපගේ ගෙය ඇතුළට වදිනට නො කැමැත්තේ ය. ඉදින් ආ මුත් කැඳ අතළොස්සක් විතර ත් නැත. වළන් පිටත ගෑවුණු දෙයක් මුත් අවුළු පත් පොඩියකු ත් නැත. බතෙක් මාළුවෙක් තමා ම නැත. බතට කළ ආලයෙන් ගෙට ගියො ත් කණවා ඉදි කළ අත් පස් පිරුණු වළ එළවා ගෙන තැළුම් වරක් ලවමී’යි සිතා ලා මිනිසුන්ට විධාන කරන්නෝ, ‘තුලුන් හැම හිඳිනා වේලාට පිටි පස්සේ සිට ලා අතුළ ඇතිරි හැර ගනුව. තුබුවො ත් අත් පස් වැකෙයි’ කිවු ය.

ඉක් බිත්තෙන් නිවටුන් ගෙට කැඳවූ ය. කැඳවන්නා ම ගොසින් තුන් කල් තබා එක කලකුත් නොදන්නා හෙයින් හසුන්වල හිඳිනට ආරම්භ කළහ. මිනිස්සු සිට ලා කියන්නෝ ‘එසේ තව හිඳිනට නො කැමැත්තේ ය. වත් දැන ය හුන මනාය’යි කිවු ය. අභිනව ප්‍රසාද තර කරන්ට කී කීවක් ම කරණ හෙයින් නටන්ට කීව ත් නටන හෙයින් ‘කුමක් කරමෝ දැ’යි විචාළ කල්හි ‘තම තමා පැමිණි ආසන ගාවා සිට ලා එක විට ම හින් ව වුව මැනවැ’යි පෙරාතු එක් කෙනකුන් හිඳ උන් හුනු නියාව බලා ලා සෙස්සවුන් නො හිඳිති’යි සිතා කිවු ය.

උයි ත් යහපතැ යි ගිවිස තම තමන්ට පැමිණි හසුන් ගාවා පන්තීන් සිටියෝ ය. ‘ඉතිකින් නමකට පෙරාතුත් නො ව පසු ත් නො ව හුන මැනැවැ’යි කිවු ය. කිසිවක් ම නො දන්නවුන් හිඳිනට නැමුණු නියා ව දැන ලා ඇතිරිලි එක විට ම හැර ගත්හ. නිවටෝ කා වටයක් සේ එක විට ම හුන්හ. හසුන්වල රෑණ පිට තුබූ පා පාත බටුයේ ය. නිවටෝ හිස් බිම බලා පා උඩුකුරු කොට ලා, අශූචි නිරයට පූර්ව නිමිත්ත සේ අත් පස් වළ හුණුවු ය. උන් හුණු කල්හි සිරිගුත්තයෝ දොරවල් පියවා ගෙන ගොඩට නැගි නැගියවුන් ‘ඔබ්බේ තුබූ දෙ කල් තබා මෙ කලු ත් නො දත්තෝ ය. මේ කල් දන්නා නියා ද? මෙයට එන්ට ම කාරණ කවරේ දැ’ යි මරවා තළවා මෙ තෙක් මුන්ට ඇතැ යි දොරවල් හරවාපුය. උයි ත් නික්ම යන්ට පටන් ගත්හ. හුන් ගමනේ ගහට වුන්නවුන්ට යන ගමනෙ ත් ගහටයක් කළ මනාවේදැ’යි යන මග සුණුවම් කළ බිම නානු බෙළසුල් වත් කරවා පීහ. පය පලා පලා හුණු හුණුවන් පෙරළා ත් තළවා ‘තොපට දන් නම් තෙල තෙකැ’යි කියා ලා යවා පීහ. උයි ත් ‘දන් කන්ට අවුත් ගෙඩි කෑම්හ’යි කියා හඬා මුර ගා ගෙන මඬ වැකී ගිය හූරු මුළක් මෙන් තමන්ගේ උපාසකයන්ට පමුණන්ට ගියහ.

ගරහදින්නයෝ ත් ගාලේ වැද හොවා ලා ගෙට හඬා ගෙන ආ වසු මුළක් මෙන් එ තැනට අවුත් හඬා හුණු තමන්ගේ රහතන්ගේ මේ ලෙස දැක ‘අනේ සිරිගුත්තයන් මට කළ මුළා ය. ‘අත නමා වැන්දවුන්ට ස දෙව් ලොව සම්පත් සාධා දෙන්ට සමර්ථ වූ පින් කෙත් වූ මාගේ රහතන් මරා තළා මේ සා මහත් මුළාවක් කොට පූ ය’යි සිරිගුත්තයන්ට තරයේ ම මුසුප්පු ව රජ ගෙට ගොසින් රජ්ජුරුවන්ට කියා ‘උන් ගෙන් දඩ දහසක් ගන්ව’යි නිල කැරවූහ. රජ්ජුරුවෝ ද දඩ යොදා ලා දඩ ගන්ට කැඳවා යවු ය. සිරිගුත්තයෝ ත් ගොසින් රජ්ජුරුවන් වැඳලා ‘උභය පක්‍ෂයෙන් ම ආද්‍යන්ත අසා ගන්නා දඩෙක් ද? උන්ගේ බස් පමණෙකින් ම ගන්නා දඩෙක් දැ’යි විචාරා ගත මනා ම දඩ හෙයිනැ යි කී කල්හි ‘ගත මනා දඩෙක් ඇති වී නම් ගෙන වදාරති.

එතෙකුදු වුව ත් මාගෙනු ත් අසා වදාරාලා ය’යි කියා ‘ගරහ දින්නයන් හුන් තැන සිටි තැන බුදුන් කරා නො එළඹෙන්ට ත් ඔබට දන් නො දෙන්ට ත් උන් හැම කරා යන්ට ත් උන්ට දන් දෙන්ටත් උන් හැම තුන් කල් දනිති’ කී කථා ත් තුන් කල් දන්නා නියා ව විමසන්ට තමන් කළ දෑ සියල්ලත් කියා ලා ගත මනා දඩක් වුවොත් ගත මැනව’යි කිවු ය. රජ්ජුරුවෝ ගරහදින්නයන් මූණ බලා ‘තොපි තෙල ලෙස කීයෙහි දැ’යි විචාරා සැබැවැ යි කී කල්හි ‘මෙ විතරකුත් නොදන්නවුන්ට රහත්තු ය’යි කියා ගෙන තොප ම තකා ගෙන හිඳිනා මඳින් සර්‍වඥ ශ්‍රාවකයාණන්ට කුමක් නිසා කිවු ද? තුලුන්ට කී වරද තොප කෙරෙහි පිහිටන හෙයින් තොපිම දඩ දෙව’ යි උන්ට ම නිල කළහ. උන්ගේ නිවටුන්ට ම ගහට ත් විය.

ඌ තරයේ ම මුසුප්පු ව එවක් පටන් දෙ පෝයක් විතර සිරිගුත්තයන් ලා බැණ ත් නො නැගී ‘මා මෙ ලෙස හිඳීම යුක්ත නො වෙයි. උන්ගේ රහතන්ටත් මුළාවක් කෙරෙමී’ සිරි- ගුත්තයන් කරා ගොසින් බැණවු ය. ‘කුමක් දැ’යි කී කල්හි ‘නෑයන්ගේ ත් මිතුරන්ගේ ත් හාද ත් වෙයි. ඩබර ත් වෙයි. මා හා බැණ නො නැංගේ හැයි දැ’යි විචාළෝ ය. ‘තොප බැණ නො නැඟෙන හෙයිනැ’යි කී කල්හි ‘වන්නාට ඒ ගියේ ගියේ ම ය. මෙ වක් පටන් සමඟව හිඳුම්හ’ යි බොහෝ සේ එක් ව ම හිඳිනාහ.

එක් දවසක් සිරිගුත්තයෝ මුන් තොරතුරක් සොයා හිඳින නියා ව නොදැන ‘සබඳ, තොපට කුමකුත් නො දන්නා නිවටුන් හැයි ද? උන් කුමකුත් නොදන්නා නියා ව තව ම නො හැඟිණිද? උන් කරා ගොසින් කුමක් ලබවු ද? අපගේ බුදුන් කරා අවුත් ඔබ ත් දැක පියා රා පූ කටින් අමා බොන්නා සේ ඔබට ත් දන් දුන් කල නපුරු දැ’යි කිවු ය. ගරහදින්නයෝ ත් සිරි ගුත්තයන්ට නැමුණේ මෙ විතරකට ම හෙයින් කණ්ඩුති තැනක් කසාපුවා සේ බස අසමින් ම සමාධි ව ‘සබඳ සිරිගුත්තයෙනි, තොපගේ බුදුහු කුමක් දනිත් දැ’යි තමන් අතින් සිරිගුත්තයන් විචාල ලෙසට ම විවාළහ. ‘පින්වත, මාගේ බුදුන්ට තෙල ලෙස නො කිය. හෙම්බල, ඔබ අද දන්නා දෙයක් නො වෙයි. බෝ මැඬ වැඩ හිඳ මහ පොළොව ගුගුරුවා බුදු වූ දවසේ ම සියල්ල ම දත් සේක. ඔබගේ දැන්ම කියතොත් අපට තබා ඔබ සේම බුදු කෙනකුන් වහන්සේට නිමවා කියන්ට ත් බැරි ය. බුදු වූ අවස්ථාවෙහි තබා පැරුම් බිම දී සම්භව කුමර කල සත් හැවිරිදි වයස් වුව ත් මුළු දඹ දිව අනික් කෙනකුන් කියා ලිය නො හෙන ධර්‍ම යාග ප්‍රශ්නයෙහි අර්‍ථ දැන බුදු වූ ලෙසින් සුචීරත නම බමුණන්ට කී සේක. විස්තර කොට කියතොත් පන් සිය පනස් ජාතකයෙන් ප්‍රඥාපාර මිතාව අරභයා වදාළ නොඑක් ජාතක කථා කිව මැනව. සෙස්ස තබා බණ වදාරන කළ කෙ තෙක් පර්‍ෂද් වුව ත් එකි එකි තැනැත්තවුන්ගේ අදහස සොළොස් ලෙසකින් පරීක්‍ෂා කොට බණ වදාරන සේක. නැවත සාරා සැකි කප් සුවහස් මුළුල්ලෙහි නිකම් නුහුන්නා සේ බුදුව ත් දිනචර්‍ය්‍යා වශයෙන් දවස් පතා උදාසන ම නැඟී සිට උවටා තැනට අනුග්‍රහ නිසා ත් ශරීර ඵාසුව පිණිසත් මුව සේදීම් ආදී වූ සිරුරු පිළි දැගීම් කොට සිඟා වඩනා වේලාව එන තුරු විවේක ව වැඩ හිඳ සිඟා වඩනා වේලේ දී ගාමප්ප වෙසන නීහාරයෙන් හඳන ය වැළඳ, පටි දා බැඳ, ගැටවටු ගන්වා සිවුරු වැළඳ පාත්‍ර ධාතූන් වහන්සේ හැර ගෙන කිසි දවසෙක තනි ව ත් කිසි කලෙක වහන්දෑ පිරිවරා ත් ගම් නියම් ගම් රාජධානි වලට සිඟා වඩනා සේක.

‛කිසි දවසෙක සවනක් රස් සඟවා ගෙන වඩනා සේක. කිසි දවසෙක නො එක් පෙළහර දක්වමින් වඩනා සේක. ඒ කෙසේ ද? යත්-බුදුන් සිඟා වඩනා කලට ඔබගේ අදහස සේම මොළොක් වූ පවන් පෙරාතුව ලා ගොසින් වඩනා මඟ කසළ ඉවත් කෙරෙයි. සුදු වලා පටල මඳ මඳ කොට පොද වස්වා බිම ධූලි පැටි කොට ලා වඩනා අතුර මුළුල්ලෙහි වියනක් පරිද්දෙන් සිට්ටි. අනික් පවනෙක් සුවඳ මල් ගෙනවුත් ලා මඟ දිගට අතුර යි. තව ද-

“නින්නං ඨානං උන්නමති - ගච්ඡන්තෙ ලොකනායකෙ,

උන්නතං ච සමං හොති - පඨවී ච අචෙතනා”.

යනු හෙයින් උස් ව තුබූ බිම් පියෙස් මිටි වෙ යි. වළ තැන් පැරුම් පිරුවා සේ ම පිරෙයි. පත්ල බිම තබා ලූ කලට බිම හෝ සුව පහස් ඇති වෙයි. පියුමතුරා බුදුන්ට හැම දවස් මෙන් පොළොව පළා ගෙන පියුම් හෝ නැඟී ලා පතුල් පිළිගනිති. වාසල එළිපතින් ඇතුළේ ශ්‍රී පාදය තබන්නා ම සියල් සිරුරෙන් සවනක් රස් විහිද දකුණු දිග මුහුදින් ගසන රළ පරිද්දෙන් නිල් රස් ද, උතුරු දිග මුහුදින් ගසන රළ පරිද්දෙන් රන්වන් රස් ද, බස්නාහිර මුහුඳින් ගසන රළ පරිද්දෙන් රත් වන් රස්ද, නැඟෙන හිර මුහුදින් ගසන රළ පරිද්දෙන් සුදු රස් ද, උතුරු මුහුද රළ-හා බස්නාහිර මුහුද රළ ත් එක් වූවාක් මෙන් මඳට වන් රස් ද, මුදු සතරේ රළ ම එක් වූ වාක් මෙන් පැහැසර රස්ද, දස දිග දිවෙයි. ඇත් අස් ආදීහු සිටි සිටි තැන ම සිට ලීලොපෙත වූ නාද පවත්වති. පසඟතුරුහු ත් තුමූ ම නාද පවත්වති.

‘මිනිසුන් පලන් ආභරණ ත් එසේ ම නාද පවත්වති. මිනිස්සු ඒ සලකුණෙන් බුදුහු මෙයට සිඟා වැඩි සේකැ යි දනිති. දැන ලා යහපත් ව සැරහී ගෙන සුවඳ මල් ආදි ය ගෙන තම තමන්ගේ ගෙවලින් නික්ම වීථියට බැස ලා එ තැනට පැමිණි බුදුන් ගඳින් මලින් පුදා ලා වැඳ ගෙන තම තමන්ගේ බල පමණින් ‘අපට දස නමෙක, ‘අපට විසි නමෙක’ යනාදීන් උපස්ථාන කිරීමට වහන්දෑ ත් නියම කොට ගෙන බුදුන්ට ත් ආරාධනා කොට පාත්‍ර ය හැර ගෙන හසුන් පනවා වඩා හිඳුවා දන් වළඳවති. බුදුහු වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණ වදාරා-

“සරණාගමනෙ කෙචි - නිවෙසෙති තථාගතො,

කෙචි පඤ්චසු සීලෙසු - සීලෙ දසවිධෙ පරෙ.

කස්සවි දෙති සාමඤ්ඤං - චතුරො ඵලමුත්තමං,

කස්සචි අසමෙ ධම්මෙ - දෙති සො පටිසම්භිදා.

කස්සචි වරසමාපත්තියො - අට්ඨ දෙති නරාසභො,

තිස්සො කස්සචි විජ්ජායො – ඡළභිඤ්ඤායො පවෙච්ඡති.”

යනු හෙයින් බොහෝ දෙන සරණ සීලයෙහි පිහිටුවා හුනස්නෙන් නැඟී විහාරයට වැඩ වහන්දෑ වළඳා ලා වත් සපයා ගෙන එන තෙක් වට මළුවෙහි පනවා තුබූ බුදු හස්නෙහි වැඩ හිඳිනා සේක. වහන්දෑ ආ කලට උපස්ථායක තෙරුන් වහන්සේ ගොසින් දන්වන්නා ගඳකිළියට වඩනා සේක. මේ හැම දවස් ම පෙරවරු පසළොස් පැය ඇතුළත ලෝ වැඩ හැසිරෙන ලෙස ය.

‘පස් වරු පසළොස් පැය ඇතුළත ගඳ කිළි පෙරමාලේ වැඩ හිඳ පය ඇලෙන ධූලි නැත ත් පය සෝධවා ගෙන ගඳ කිළි ඇතුළට වඩනා අතුරෙහි වහන්දෑට ‘මහණෙනි, නොපමා වව. බුදු හමු වත් ලද නොහැක්ක. මිනිස ත් බව ත් ලද නොහැක්ක. මහණ මහලු පැවිදි ත් ලද නො හැක්ක. බණ ඇසීමත් ලද නො හැක්ක. “ලද අත් බැව් සඵල කරව”යි අවවාද කරන සේක. වහන්දෑ ත් බුදුන් වැඳ ලා කමටහන් විචාරන සේක. බුදුහු ත් චරිත බලා කමටහන් දෙන සේක. කමටහන් ඉගෙන ගෙන බුදුන් වැඳ ලා තම තමන් වහන්සේ වසන රුක්මුල්-ගල් ගුහාදියට වඩනාසේක.

‘ඉක්බිත්තෙන් බුදුන් ගඳකිළි ඇතුළට වැඩ ලා අභිප්‍රා ය ඇත් නම් හැසිල්ලක් කෙළක් වටනා රිදී යානෙහි දකුණැලයෙන් සැතපෙන සේක. සැතපී ලා පස් වරු ඇතුළත ම ලොව බලන සේක. ඉක් බිති සම්ප්‍රාප්ත පර්‍ෂදට සවස් නො කොට බණ වදාරන සේක. එ සේ ධර්‍මසෙබෙයි වැඩ හිඳ බණ වදාරා ලා පර්‍ෂදට සමුදී යවා පියා පැන් සනහනු කැමැත්තො ත් ධර්මාසනයෙන් නැඟී සිට උපස්ථායකයන් පැන් සපයා තුබූ තැනට වැඩ උපස්ථායක තැන අතින් ජල ශාටිකාව හැර ගෙන නහන කොටුවට වදිනා සේක. උපස්ථායක තැනත් ගඳ කිළි පිරිවෙන බුදු හස්නක් පන වන සේක. බුදුහු ත් පැන් සනහා පියා සිවුරු වැලඳ ගෙන ගඳ කිළි පෙර මාලට අවුත් වැඩ හිඳිනා සේක. පස්වරු පසළොස් පැය ත් මෙ ලෙසින් ම යෙයි.

‛හැසිල්ලක් එ තැන වැඩ හුන් කලට වහන්දෑ ත් අවුත් එතැනට රැස් ව සමහර කෙනෙක් ප්‍රශ්න විචාරන සේක. සමහර කෙනෙක් කමටහන් විචාරන සේක. සමහර කෙනෙක් බණක්ම නො ඇසුවා සේ ම බණට ආරාධනා කරණ සේක. බුදුහු ත් පැන විසඳමින්, කමටහන් උගන්වමින්, බණ කියමින්, පෙර යම් දස පැය යවන සේක.

‘මැදි යම් දස පැය දී දස දහස් සක්වළ දෙවි බඹහු එ වේලේ අවසර ලදින් බුදුන් කරා අවුත් ප්‍රශ්න විචාරති. බුදුහු ත් උන්ට පැන විසඳන සේක් මැඳ යම් දස පැය යවන සේක.

‛අළුයම් දස පැය සතර භාගයක් කොට පියා දෙපෑ සමාරක් සක්මන් කරණ සේක. දෙ පෑ සමාරක් ගඳ කිළියට වැඩලා දකුණැළයෙන් සැතපෙන සේක. දෙ පෑ සමාරක් විචරෙහි දොළොස් කෙළ ලක්‍ෂයක් පමණ වූ ඵල සමවතට සමවදනා සේක. දෙ පෑ සමාරක් විචරෙහි දොළොස් කෙළ ලක්‍ෂයක් පමණ වූ මහ කුලුණු සමවතට සමවැද එයින් නැඟි සත්‍වොපකාර නීසා ලොව බලා බොහෝ දෙන නිවන් දක්වන සේක’යනාදීන් දල්වා ගත් කටින් බොහෝ ගුණ කීහ.

‘එ බඳු ගුණ ඇති නියා ව මෙ තෙක් කල් මට නො කීවා නෑ, යව, ගොසින් මාගේ ආරාධනාවෙන් බුදුන්ට ආරාධනා කරව. සෙට දවස් මම දන් දෙමී’ කී ය. සිරිගුත්තයෝ බුදුන් කරා ගොසින් වැඳලා ‘ස්වාමීනි, අපගේ යාළු වූ ගරහදින්නයෝ සෙට යට මුඹ වහන්සේට ආරාධනා කොට එවුය. පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ සෙට උන්ගේ ගෙට සිඟා වඩනා බව ය. බල එකෙක් ඇත. එක් දවසෙක උන්ගේ නිවටුන්ට මා කළ දෙයෙක් ඇත. ඒ සිත තබා ගෙන කළාට පෙරළා යමක් කරන්ට සිතා කළ ආරාධනාවක් බවත් පර සිත් දන්නා නුවණක් මට නැති හෙයින් නො දැනෙයි. ඉඳුරා සිතින් කරණ දෙයක් බව ත් නොදැනෙයි. තෙල සේ වූ දෙය දකිනා ඇසු ත් ඔබට ඇති බැවින් බලා වදාරා ඉවසිය යුතු වී නම් ඉවසා වදාරන බව ය. ඉවසිය යුතු නොවේ නම් තවත් සිඟන්ට ගෙවල් ඇති බැවින් නො ඉවසන බව ය’යි තමන් කළ උපාශ්‍ර ය යහපත් හෙයින් ඒ වූ නියාවට ම දන්වා ලූ ය.[3]

බුදුහු ත් උගේ අදහස් කවරේ දෝ හෝ යි බුදු නුවණින් බලන සේක් ‘දෙ ගේ මැඳ මහ වළක් කණවා පියා ගැල් අසූවක් විතරින් කිහිරි දර ගෙන්වා ගෙන ඒ වළ පුරා ලා ගිනි කොට අඟුරු බා ගෙන සඟ පන් සියය ත් මා ත් අඟුරු වළ හෙලන්ට සිත යි’ දැන වදාරා නැවත කුමක් දෝ මා එ තැනට යාමෙන් ප්‍රයෝජන ඇත් දෝ නැත් දෝ හෝ’යි බලන සේක් ‘මම ද වැළි ත් සහපිරිවරින් ගොසින් වසා ලා තුබූ අඟුරු වළට පය දික් කෙරෙමි. වසා ලා තුබූ කළාල් පැදුරු කඩවල් නැති වෙයි. අඟුරු වළ පීරා ගෙන රථසක් සා මහ පියුම් නැඟෙයි. මම පියුම් කෙමි මැඬ ගෙන ගොසින් බුද්ධාසනයේ හිඳිමි. පන් සියයක් පමණ භික්ෂූහු ත් මා මැඬි පියුම් කෙමි තුමූ ත් මැඬ ගෙන ගොසින් තම තමන්ට පත් හසුන් වල හිඳිති. බොහෝ දෙන ත් එ තැනට රැස් වන්නාහ. මම ගාථා දෙකකින් බණ කියමි. ඒ බණ අසා සුවාසූ දහසක් දෙන නිවන් දකිති. සිරිගුත්ත-ගහරදින්න දෙන්න ත් සෝවාන් වෙති. සෝවාන් ව ලා තමන්ගේ සම්පත් බුදු සස්නට ම නතු කෙරෙති. ඒ කුල දරුවන් නිසා යෑම යහපතැ’යි ඉවසා වදාළ සේක. සිරිගුත්තයෝ ද බුදුන් ආරාධනාව ඉවසූ නියා ව ගරහදින්නයන්ට කියා ලා ‘ලෝ උතුමාණන්ට සත්කාර යහපත් කොට කරව’ යි විධාන කළහ.

ගරහදින්නයෝ ද පිළිවන් වේදැ’යි කියාලා දෙ ගේ මධ්‍යයෙහි දිගත් ගැඹුරත් ඇති කොට පියා වළක් කණවා ගැල් අසූවකින් ගෙනා කිහිරි දර පුරවා ලා රාත්‍රියෙහි බොහෝ වෙලක් ම සම් මැඬ අඟුරු බස්වා ලා වළ මුඳුනෙහි නො පෙනෙන ලෙසට පුවරු අතුරු වාලා පුවරු කළාලින්, පැදුරෙන් වස්වා ලා පුරුව අතුරන ගමනේම එක් දසාවෙක දිරා ගිය පුවරු අතුරුවා ලා ඒ මැඬ ගෙන වඩනා ලෙසට ඉදි කැරවු ය. අඟුරු පීරා ගෙන පියුම් නැගෙන තරම් ආනුභාව ඇති නියා ව නො දැන මැඬ ලූ කලට පෝරු බිඳී ලා අඟුරුවළ හෙන සේකැ යි යන අදහසින් දිරා ගිය පෝරු ඇතිර වූ ය. පිසන ගේ දසාවෙහි සිරිගුත්තයන් කැර වූ ලෙසට ම කරවා දන් වළන් තබ්බවාලූ ය. ආසන ත් වැඩ උන් කල අඟුරු වළ හෙන ලෙසට ම පනවා ලූ ය.

සිරිගුත්තයෝ ද උදාසන ම ගරහදින්නයන්ගේ ගෙට ගොසින් ‘දන් සරසා කළ මනා දෙය කළා දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘සපයා තුබූ දන් කොයි දැ’යි විචාළෝ ය. ගරහදින්න

යෝ ත් කැඳවා ගෙන ගොසින් සිරිගුත්තයන් පෑ ලෙස ම පෑවු ය. සිරිගුත්තයෝ ත් ඇතුළත නො සිසැ යි සිතා සමාධි වූහ. බොහෝ දෙන ත් රැස් වූහ. කුමක් නිසා ද යත්:- මිථ්‍යා දෘෂ්ටිකයන් ආරාධනා කළ කල ‘මහණ ගොයුම් හට කරණ ගහට බලම්හ’යි මිථ්‍යා දෘෂ්ටිකයෝ ත් බොහෝ රැස් වෙති. සම්‍යග් දෘෂ්ටිකයෝ ත් ‘අද බුදුහු මෙ තෙක් දවසට ත් වඩා සවිශේෂ කොට බණ වදාරන සේක. බණත් අසම්හ. සර්‍වඥ ලීලා ත් බලම්හ’යි රැස් වෙති. එසේ හෙයින් ජන සන්නිපාත ය එ සේ වූ දවස් බොහෝ වෙයි.

ආරාධනා කළ දවසට දෙ වන දවස් බුදුහු නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ත් සමඟ සකල ශරීරයෙන් සවනක් රස් විහිදු විහිදුවා කුළ පවු පිරිවරා මහ මෙර එක් දසාවකට ගමන් ගත් කලක් මෙන් ගරහදින්නයන්ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. ගරහදින්නයෝ ත් ගෙන් අවුදින් පසඟ පිහිටුවා වැඳ ලා දෝත මුඳුනේ තබා ගෙන ඉදිරි ව ලා සිට සිතන්නෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේ තුන් කල් දනිතී’ යනාදීන් මුඹ වහන්සේගේ බොහෝ දැනුම් සිරිගුත්තයෝ කිවු ය. උන් කීයේ තත්‍ව වී නම්[4] ගෙට ගිය කල වන උවදුර ත් දැනෙන බැවින් නො වනු මැනවි. වනො ත් උන් කියා විස්තර කළ පමණෙක් මුත් දැනුමු ත් නැති නියා ය. කළ ආරාධනා සැබවැ’යි සිතත් මා ඉදි කැර වූ දනෙකු ත් නැත.

‛ඉදි කැර වූ දේත් ගේ ඇතුළටම වනොත් දැනෙ’යි සිතා ලා බුදුන් අතින් පාත්‍රය හැර ගෙන වැඩිය මැනැවැ’යි කියා ලා නැවත යන කලට පෙරාතු ව යන තැන අඟුරු වළ හුණු නියා ව බලා ලා සෙසු තැන් පසු බස්නා සේක’ යන සිතින් ‘ස්වාමීනි, අපගේ ගෙට, මෙතෙක් දවසෙක නො වැඩි හෙයින් වත් දැක වදාරන්ට නැත්තේ වේ ද, ඒ නොකැමැත්තේ ය. එක් වට එක් නමක් වඩනා බව ය’යි කිවු ය. බුදුහු ත් යහපතැයි වදාරා ලා වහන්දෑ සිටිය දී තමන් වහන්සේ ම නික්මුණු සේක. අඟුරු වළ කරා වැඩි කලට ගරහදින්නයෝත් තමන් ඉදි කැරවූ වළට තමන් නො වදනා සේ ඉවත් වූහ. බුදුහු අටෝරාසියක් මඟුල් ලකුණෙන් හොබනා ශ්‍රීපාදය අඟුරු වළට පොවා ලූ සේක. නැඟි හිරට වැසි වලා ඉවත් වන්නා සේ අතුළ පුවරුත් වසා ලූ කළාල් පැදුරුත් නැති විය. අඟුරු වළින් රථසක් සා පියුම් පැන නැංගේය. ඒ නැඟි සැටි නම් -

“කප්පක සායෙ කලියුගෙ - බුද්ධුප්පාදො අහො මහච්ඡරියං,

හුතාවහ මජ්ඣෙ ජාතං – පමුදිත මකරන්දමිවාරවින්‍දං”

යනු හෙයින් ‘යටත් පිරිසෙයින් අවුරුදු සියයෙන් මෑත හා උඩ ත් පිරිසෙයින් හවුරුදු ලක්‍ෂයෙන් ඔබ්බ බුදු වීමට කල් නො වන බව මුත් අතුරු කල් හෙයින් දස දහසක් හවුරුද්දට ආයු ඇති අවධියෙක උපන මනා තැන කලි යුග වූ හීන කාලයෙහි මුන් වහන්සේ පහළ වූ නියාව අප ගිනි අඟුරු පීරා ගෙන පැන නැංගා වන්නැ’යි බුද්ධෝත්පාදයෙහි අරුමය හඟවන්නට කළාක් වැන්න.

බුදුහුත් පියුමේ පියුම් තබන කලක් මෙන් පියුම් කෙමි පිටින් වැඬ යුගඳුරු මුඳුනෙහි වොරජනා අභිනව සූර්යයා මෙන් පන වන ලද බුද්ධාසනයෙහි වැඩ හුන් සේක. වහන්දෑ ත් පියුම් කෙමි මැඬ ගෙන ගොසින් පත් හසුන්වල වැඩ හුන් සේක. කළ ලෙසට පිටි පෑ තුබූ හෙයින් ගරහදින්නයන් ඇඟ දාහයක් මෙන් විය. ඌ සිරිගුත්තයන් කරා ගොසින් ‘ස්වාමීනි, මට පිහිට වුව මැන වැ’යි කිවු ය. ‘කුමක් දැ’යි විචාළ කල්හි සපයා ලූ දනක් නැති නියා ව කිවු ය. ‘දන් සරහා නුලූ කල තොප කෙළේ කිම්දැ’යි විචාළෝ ය. ‘මා කළ කට යුතු අඥාන ව කළ පමණක් මුත් කරන්නා තබා සිතු ව මනා දෙයකු ත් නො වෙයි. ගහටයක් කරන්ට සිතා දෙ ගේ මැද වළක් බිඳුවා අඟුරු බාවා කෙළෙමි. අඟුරු වළට බුදුන් පය පොවාලන්නාම අඟුරු පීරා ගෙන රථ සකක් විතර පියුමෙක් පැන නැගේ ය. ඒ අඟුරු වළ නම් එ වේලාට පැන නැඟී පමණක් මුත් පියුම් විලක් සේ විය. පියුම් කෙමි මැඬ ගෙන සහපිරිවරින් බුදුහු වැඩ පැන වූ හසුන්වල වැඩ හුන් සේක.

මෙ තරම් විස්මයක් දුටු විරූ නැත. ඔබට ගහට කරන්ට සිතා මට වූ ගහට මහත. ඇඟ මුළුල්ලේ දාහයක් සේ වැද ගත. ගිනි කරවා අඟුරු බාවන කල ත් මෙ තරම් ආයාසයෙක් නො වී ය. මට සහායක් වුව මැනැවැ’ යි කී ය. ‘හැයි, මා ගොසින් විචාළ ගමනේ සපයා තුබූ දන් පෑවා ව ද? මාගේ ස්වාමිදරුවන් කළ පිනින් නැති දෙය ඇති වත් මුත් ඇති දෙය නැති වන තරමට නො වත්. ඒ කිම්දැ’යි විචාළ කල්හි ‘ඒ නිකම් බොරු ය’යි කිවු ය. ‘යව, ගොසින් බලව. බැලූ කල නැත් නම් නැති නියා ය. ඇත් නම් ඇති නියා ය. බුද්ධානුභාව ය ඉන් දනුව’යි කියා ලා බලන්ට යවුය. ගොසින් බැලූ කලට ඒ සියල්ලෙහි කැඳ සැළැ යි කී සැළ හඹු කැඳ, කිරි කැඳ, දිය කැඳින් පිරිණ. අවුළු පතැ යි කී වළඳ අතිරස, පුලුබ්බදනා, මුං, ලාලු ආදී වූ අවුළුපතින් පිරිණ. බත් සැළ යි කී වළඳ හැල්සාලේ බත් ආදී වූ බතින් පිරිණ. මාළු යැයි කී වළඳ මත්ස්‍ය මාංස තෙල් ආදී වූ මාළුවෙන් පිරිණ. ඒ දැක රස උළු කැඳක් පූවා සේ ගරහ දින්නයන් ඇඟ දාහ නැති වි ය. සිත ත් යම් තරමෙක සතුටු වී ය.

සිය අතින් සකස් කොට මදන් වළඳවා ලා අන්තයෙහි අනුමෙවෙනි බණ ට ආරාධනා කළහ. බුදුහු බණ වදාරන සේක් ‘මෙ සත්හු නම් නුවණැස් නැති හෙයින් මාගේ ත් සවුවන්ගේ ත් ගුණ නො දනිති. කෙ සේ ඇස් ඇත ත් නුවණැස් යම් කෙනකුන්ට නැත් නම් ඌ අන්ධයෝ ය. ඇස් ඇත්තා නම් වන්නෝ නුවණැස් ඇත්තෝ ම ය. යම් සේ මාවතෙක හෝ ගම් දොරෙක හෝ රැස් කළ කසළ ගොඩක් පීරා ගෙන පවිත්‍ර වූ සුවඳ ඇති පෙත්තෙන් හා කෙසුරෙන් හා රේණුයෙන් හොබනා වූ පියු මෙක් නැංගේ වී නම් කසළ කසළට යතත් පියුමක් කසලට නො හරින පරිද්දෙන් කෙලෙස් කුණින් පිරුණු හෙයින් ඉතා කසළ වූ, නුවණැස් නැති හෙයින් අන්ධ වූ, පෘථග්ජනයන්ට බුදු සවුවෝ නුවණින් වඩිති’ වදාළ සේක. දෙශනා කෙළවර සුවාසූ දහසක් දෙන පෘථග්ජන කසළ හැර නිවන් දැක්මෙන් නික සළ ව ලොවුතුරා නුවණින් බබළා ගියහ. සිරිගුත්ත-ගරහදින්න දෙ දෙන ත් සෝවාන් වූහ. බුදුහු ත් විහාරයට වැඩ පී සේක.

සවස් වේලෙහි ධම් සෙබෙයි රැස් ව වැඩ හුන් වහන්දෑ ‘අනේ බුදුන්ගේ ආනුභාවයක් බලවත් නියා ය. ඒ සා මහත් අඟුරු පීරා පියුම් නැඟි නියාව විස්ම ය’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ දිව කනින් අසා වදාරා එ තැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා පියුම් නැඟි කථා නියාව කී කල්හි ‘මහණෙනි, මා බුදුහු අවස්ථාවෙහි අඟුරු පීරා පියුම් නැඟි නියාව විස්ම නොවෙයි. බෝධිසත්‍ව අවස්ථායෙහි ත් පසේ බුදු කෙනකුන්ට මා දෙන දන කට බාධා කොට වසවත් මරු මැවු ගිනි වළිනු ත් පියුම් නැංගේ ය යි වදාරා විස්තර කොට අසනු කැමැති වහන්දෑට ඛදිරඞ්ගාර ජාතක ය වදාළ සේක.

එසේ හෙයින් නුවණැත්තවුන් විසින් විෂ්කම්භනය ත් සමුච්ඡෙදය ත් බැරි වුව ත් තදඞ්ග වසයෙන් වී නමුත් කෙලෙස් කසළ සෝධා හැරීමෙන් නිකසළ ව කුසල් පුරා සිත් සතන් පිරි සුදු කට යුතු.

  1. මහවත් මඟ.

  2. ධම්මපදට්ඨකථාහි මේ කථාවස්තුව “ගරහදින්න වත්ථු” නාමයෙන් දක්වන ලදි.

  3. නො කිව නැ

  4. තත්‍වය වී නම් - ඇතැම්.