තව ද කුල දරුවන් ජීවිතයට ත් වඩා උපදවා ගත් ගුණ විශේෂයෙහි ම ඇලුම් ඇති නියාව හඟවනු පිණිස ගොධික තෙරුන් වහන්සේ ගේ වත දක්වමු.
කෙ සේ ද යත්:-
ගොධික තෙරුන් වහන්සේ ඉසිගිලි පවුව ගාවා කළුගල වසන සේක් නොපමා ව භාවනා කොට ධ්‍යාන උපදවා ගෙන විකඹුන් වසයෙන් මුත් සමුච්ඡෙද වසයෙන් කෙලෙසුන් නසන්ට නුවූ හෙයින් කෙලෙස් නමැති සොරු වැද ලා ධ්‍යාන නමැති වස්තු සඟවා ගත්හ. එ සේ හෙයින් ධ්‍යානයෙන් පිරිහී නට නට ධ්‍යාන ය පිරිහුණු පිරිහුණු සේ ස වාරයක් දක්වා උපදවා පියා ස වන වාරයේ ත් ධ්‍යානයෙන් පිරිහී සත් වන වර ධ්‍යාන උපදවා ගෙන සිතන සේක් ‘ස වාරයක් විතර ම ධ්‍යානයෙන් පිරිහිණිමි. ධ්‍යාන ලාභී වු වොත් බඹලොව උපදනා බව මුත් ධ්‍යානයෙන් පිරිහුණන්ගේ ගති අනියම ම ය. උපදවා ගත් ධ්‍යානයෙන් පෙරළා ත් පිරිහිණීම් නම් නපුර. නපුරු සිත් සිත සිතා හිඳී ම ට වඩා මිය යාම යහපත. බොටුව කපා ගෙන මිය යෙමි’ හිස කේ බානා කර ය හැර ගෙන බොටුව කපන්ට හැඳ වැද හොත් සේක.
වසවත් මර ඔබගේ අදහස දැන මේ මහණ බොටුව කපන්ට කර ය හැරගෙන වැද හොත්තේ ය. බොටුව කපන්ට සිතන්නාහු ජීවත් වීමෙහි ත් ඇලුම් නැත්තාහ. එ සේ කලට බොටුව කපා හෙව නො මියන තෙක් විවසුන් වඩා රහත් වන සේ ත් දනිති. ඉදින් මම ගොසින් වැළකීම් නමුත් නො නවතිති. බුදුන් ලවා ම වළක්වමී, අප්‍රසිද්ධ වෙශයකින් බුදුන් කරා ගොසින්-
“මහාවීර මහාපඤ්ඤ - ඉද්ධියා යසසා ජලං,
සබ්බවෙර භයාතීත – පාදෙ වන්දාමි චක්ඛුම.
සාවකො තෙ මහාවීර - මරණං මරණාභිභූ,
ආකංඛති චේතයති – තං නිසෙධ ජුතින්ධර.
කථන්නු භගවා තුය්හං – සාවකො සාසනෙ රතො,
අප්පත්තමානසො සෙඛො – කාලං කයිරා ජනෙසුත.”
යනු හෙයින් ‘මහත් වූ වීර්‍ය්‍ය ඇති, මහානුවණැති ගුණ ශෝභාවෙන් අගපත් වූ බුදුරජුන් වහන්ස, මුඹ වහන්සේගේ පත්ල වැඳ දන්වමි. මුඹ වහන්සේගේ සවු කෙනෙක් මියනු කැමැති ව මරණ ප්‍රයෝග කෙරෙති. ඒ වළකා වදාළ මැනව. ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ සවුවන් රහත් නො ව මළ කල හේ කවරේ ද? නොමියන තෙක් වළකා වදාළ යහපතැ’යි කී ය. වළකා ලිය හැක්කේ වී නමුත් ශාක්‍යයන්ගේ කර්‍මය සේ අනිවාර්‍ය්‍ය කර්‍මයට මාරයා කිව යි වඩනා සේක් ද? තෙරුන් වහන්සේ ත් එ වේලාට බොටුව කපන්ට පටන් ගෙන කැපුණු කැපුණු පමණින් වේදනා පරිග්‍රහය කොට බොටුව කැපීම් පසාරයෙන් ඊ පිට ලා ලා කෙලෙසුන් කපන්නට තර හෙයින් විවසුන් වඩා නිකම් කරයෙන් බොටුව ත් අර්හන් මාර්‍ගඥාන නැමැති කරයෙන් සියලු කෙලෙස් බොටුව ත්, කපාපී සේක. බොටුව කපා නිමාව ත් රහත් වීම ත් එක විට වි ය. බුදුහු ත් ඔහු මරහු නියාව දැන ලා−
“එවං හි ධීරා කුබ්බන්ති - නාවකඞ්ඛන්ති ජීවිතං,
සමූලං තණ්හං අබ්බුය්හ - ගොධිකො පරිනිබ්බුතො”
යනු හෙයින් ‘හෙම්බලමාරය, නුවණැත්තෝ ජීවිතයට ත් වඩා භවක්‍ෂයෙහි ඇලුම් ඇත්තෝ ය. එසේ හෙයින් බොටුව කපමින් සිට ම රහත් වූහ’යි වදාළ සේක. මෙ සේ වදාරා ලා බුදුහු බොහෝ වහන්දෑ කැඳවා ගෙන ගොධික තෙරුන් වහන්සේ පිරිනිවි තැනට වැඩි සේක. එ වේලේ වසවත් මර-
“උද්ධං අධො ච තිරියං ච - දිසං ච විදිසං තථා,
අන්වෙසං නාධිගච්ඡාමි - ගොධිකො සො කුහිං ගතො”
යනු හෙයින් ඔබ ගේ පිළිසඳ සිතක් නැති නියාව තමා නො දත් හෙයින් ඒ පිහිටියේ කොයි දෝ හෝ යි විමසනු නිසා දුම් රැසක් සේ අඳුරු පිඬක් සේ ව පියා ඒ ඒ තැන සොය යි. බුදුහු ඌ දුම් වූ නියාවත් අඳුරු වූ නියාව ත්, ආදි ම මූ තමාගේ තරම් දන්නා හෙයින් ම දැන වදාරා වහන්දෑට පෑ ලා ‘හෙම්බා මහණෙනි, මාරයා දුම් ව පියා අඳුරු ව පියා හැම තැන පැතිර ගොධික තෙරුන්ගේ පිළිසඳ සිත පිහිටි තැන් සොය යි. උන් පිරිනිවි හෙයින් මූට පෙනෙන්නට නැතැ’යි වදාළ සේක. මාරයා ත් බලා වෙහෙසී ගොසින් සිට දැක ගත නො හී කුඩා කොලු වෙසක් මවා ගෙන වීණාවක් හැර ගෙන බුදුන් කරා ගොසින් ‘සියලු දස දිග බලා ත් නුදුටුයෙමි. ගොධික තෙරුන් වහන්සේ කොයි දැ’යි විචාළ. බුදුහු රහත් ව පිරිනිවි නියාව වදාළ සේක. ඒ අසා තමාගේ මනොරථ ය නුවූ හෙයින්-
තස්ස සොකපරෙතස්ස - වීණා කච්ඡා අභස්සථ,
තතො සො දුම්මනො යක්ඛො - තත්‍ථෙවන්තරධායථ.”
යනු හෙයින් මුසුප්පු ව වීණාවත් හෙළා ගෙන අතුරුධන් වි ය. බුදුහු ඔහු සැඟවී සිටි තැනැත්තවුන්ට “නමිනුත් අන්තක නම් වූ ගුණෙනු ත් අන්ත වූ මාරය, තට ගොධික තෙරුන් ගේ උත් පත්ති ස්ථාන විමසීමෙන් ප්‍රයෝජන කිම්ද? ඒ විමසා එ ලෙසක් කොට ගන්නා කෙනකුන්ට වී නම් තවත් යහපත. තවත් දකිත් නම් නවලොවුතුරා දහම් නමැති නව මාල් පායෙන් අට වන මාලට නැඟී කෙනෙක් බලා උත්පත්ති ඇත් නම් එයි ත්, නැත් නම් එයි ත් දකිති.
‘මම ත් ඒ නව මාල් පායේ අට වන මාලට නැඟ බලමි’ සිත යි නම් ඒ පාය මේ තා සේ වූවන්ට පෙනෙන පායෙක් නො වෙයි. උපසම්පදා මාලකයෙහි පටන් ආපාණකොටික ව රක්‍ෂා කළා වූ සිවු පිරිසුදු සිල් ඇති, හබ ඇටකට ත් කුඩා වූ වරද මහ මෙරට ත් මහත් කොට සිතන කිසි කලෙක පමා ව විසීමක් නැති, තදඞ්ගවිමුක්ති ආදි වූ පඤ්චවිධ විමුක්තීන් විශේෂයෙන් මිඳී සිටි, භවොත්පත්ති ය සුන්නවුන්ගේ උත්පත්ති ස්ථානයක් නැති හෙයින් ම තා වැන්නෝ දැක ගත නො හෙතී” වදාළ සේක.
චක්‍රවර්ති භෝජනයෙන් චණ්ඩාලයන්ට ප්‍රයෝජනයක් නැත් තා සේ වදාළ බණින් මාරයන්ට ප්‍රයෝජනයක් නූ බව මුත් බොහෝ දෙන විවසුන් නමැති හිණින් නව ලොවුතුරා නමැති නව මාල් පායට පැන නැංගෝ ය. එ හෙයින් මේ දේශනාව ත් බොහෝ දෙනා හට ප්‍රයෝජනවත් වි ය.
එ හෙයින් නුවණැත්තන් විසින් මාරයන් සේ අච්ඡන්‍දික නො ව කුශලච්ඡන්‍ද ය ඇති ව කුසල් හි හැසිරිය යුතු.