53. සක්දෙවිඳු බත් දුන් වත

star_outline

තව ද උපදෙස් දන්නවුන්ට කුසල් නිරායාසයෙන් සිද්ධ වන නියා ව හඟවනු පිණිස මහසුප් තෙරුන් වහන්සේට සක් දෙවිඳු බත් දුන් වත දක්වමු.

කෙ සේ ද යත්-

එක් දවසක් මහසුප් මහ තෙරුන් වහන්සේ සතියක් මුළුල්ලෙහි නිරෝධයට සම වැද වැඩ හිඳ එයින් නැඟී රජගහා නුවර ගෙපිළිවෙළින් සිඟන්ට නික්මුණු සේක. එ කල සක් දෙවිඳුහුගේ අඩු තුන් කෙළක් පුරඟනන් ගෙන් පරෙවියන්ගේ පා සේ රත් වූ පතුල් ඇති දෙවඟනෝ පන් සියයෙක් ‘මහසුප් මහ තෙරුන් වහන්සේට දනක් දෙම්හ’ යන බලවත් අදහසක් ඇති ව බත් වසුන් පන්සියයක් ගෙන්වා ගෙන අවුත් අතුරුමඟ සිට ‘ස්වාමීනි, අපට කරුණා කොට මේ බත් පිළි ගත මැනවැ’යි ආරාධනා කළහ. ‘තෙපි යව, තෙල් කෑ වළඳේ ම තෙල් වත් කළ යි සෙසු වළන් තෙල් කා ද? පැන් පිරුණු වළන් ම උතුරුවා පැන් වත් කළ කලට සිස් වළන් සිස් ම වේ ද, එ සේ ම තොපට සංග්‍රහ කළ යි සෙසු සංග්‍රහ ලද මනා වුන්ට සංග්‍රහ කෙ සේ ද? දියෙහි වස්නා වැස්සට වඩා ගොඩ වස්නා වැස්සෙන් ප්‍රයෝජන බොහොව. මම දුක් පතුන්ට සංග්‍රහ කෙරෙමී’ වදාළ සේක.

ස්වාමීනි, අපට වන වැඩට බාධා නො කළ මැන ව. අනුග්‍රහ කරන්ට ම වුව මැනැවැ’යි කිවුය. මහතෙරුන් වහන්සේ නැවත ත් ප්‍රතික්‍ෂෙප කොට වදාරා ඉවත් නොව ආරාධනා කරන්නවුන්ට ‘තොපගේ පමණ ත් නො දනු ද? ඉවත් වව’යි කෝප ලවයක් නැත ත් ඒ ආකාරයෙන් අසුර ගසා ලූ සේක. අසුර ගසා ලූ හඬින් භයින් තැති ගෙන පියා සිටිය නො හී පලා ගොසින් දෙව් ලොවට ම ගියාහු ‘කොයි ගියාදැ’යි සක් දෙවිඳුන් විචාළ කල්හි මහසුප් මහ තෙරුන් වහන්සේට බතක් පිළිගන්වන්ට ගෙන ගිය නියාව කිවුය. ‘පිළිගන්වා ගතුදැ’යි විචාළ කල්හි ‘නො පිළිගත් සේකැ’ යි කිවු ය. ‘කුමක් වදාරා ලා නොපිළිගත් සේක් දැ’යි ශක්‍රයන් විචාළ කල්හි ‘දුප්පතුන්ට සංග්‍රහ කරම්හ’යි වදාරා ලා ය’යි කිවු ය.

‘බත් ගෙන්වා ගෙන තෙපි කවර ලෙසින් ගියා දැ’යි විචාරා ‘දෙවතා. වෙසින් ම ය’ කී කල්හි, ‘තොප වැන්නෝ ත් ඔබට බත් පිළිගන්වා ගත හෙත් ද? බලා සිටුව, මම බත් පිළිගන්වමී’ කියා ලා ජරා ව දිරා ගොසින් මාලු වූ දෑකැත්තෙක දැති වැගිර ගියා සේ දත් වැගිර ගියා වූ ශරීර නමැති දර ගොඩෙහි ජරා නමැති ගිනි වැද ගෙන දා අළු ව ගියාක් වැනි වූ නරකෙස් ඇති වූ, වක බිඳී ගියා වූ, දුටු කල ඉතා කම්පා කරණ තරම් මාලු සාලි වෙසක් මවා ගෙන සුජාතාවනු ත් එසේ මෑලි සාලි දූ වෙසක් මවාලා හූ වත් කොට කොට සිටියෝ ය.

මහ තෙරුන් වහන්සේ ද ‘දුක්පත් කෙනකුන්ට සංග්‍රහ කෙරෙ මී’ නුවරට වඩනා සේක. නුවරින් පිටතම වීථි ය දැක ලා වීථිය ඇතුළත බලන සේක් මාලු මෑලි දෙන්නා දුටු සේක. එ වේලාවට ජරා ශක්‍රයෝ යන නම් තරමට මාලු-ලෙසින් සිටි ශක්‍රයෝ හූ වත් කෙරෙති. මෑලී ලෙසින් සිටි සුජාතාවෝ දඬු හඹරති. මහ තෙරුන් වහන්සේ එයි ත් දැක සැබෑ කට යුත්තෙකැ යි සිතා මෙ තරම් අවස්ථාවේත් කර්‍මාන්ත කෙරෙති. නො පැදෙන හෙයින් මුත් වැද හෝනා තරම්හ. මේ නුවර මුන්ට වඩා දුක් පත්තු ඇත්තා සේ නො වෙයි. මුන් දී ලූ බත් සරළුවෙක් ඇත් නම් ඒ පිළිගෙන මුන්ට මෙ ලෝ පර ලෝ දෙකින් ම සංග්‍රහ කෙරෙමි’යි උන්ගේ ගෙය බලා නික්මුණු සේක.

ශක්‍රයෝ ද ඔබ වඩනා දැක සුජාතාවන්ට ‘සොඳුර, මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ මුබ වඩනා සේක. තෙපි නුදුටු බඳුව ලා බැණ නො නැගී හිඳුව. නො හඟවා ඇසිල්ලෙකින් බතක් පිළි ගන්වා ගනුම්හ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේත් පද්දොර,[1] සිඟා වැඩ සිටි සේක. ඌ දෙන්නා ත් නුදුටු බඳු ව ලා තමන් කරණ කර්‍මාන්ත ම දැන් සමයේ සමහර කෙනකුන් සේ කෙරෙති. මෙ ලෙසින් මඳක් කල් යවා ලා එ විට දුටු ලෙසට ‘දොර වහන්දෑ සැටි ය, ගොසින් බලග’යි මෑල්ලන්ට පැරැත්ත ගත්හ. ‘මෙයට සොයා ගත් නියා යහපත. දුක් සුවත්[2] නො දත මනා ද? ගත් බලයක් නැති හෙයින් මම මා ගෙන නැඟී හින්ද නොහෙමි. මුඹට මේ කරන්නා තබා ය. මුඹ ගොසින් බලන්නැ’යි මාලන්ට කිවු ය.

උයිත් අබලම් හඟවා ඇදී පැදී ගෙන් නික්ම වෙවුලා වෙවුලා පසඟ පිහිටුවා වැඳ ලා ආයාස මහත් නියාව හඟවන්ට සුස්ම සුස්මා දණ අත ඔබා ගෙන වැඳ සිට පියා කෙළින් නැගී සිට සිඟා සිටි සේක් කවුරුන් වහන්සේ දෝ හෝ යි ඇස් බමණ හෙයින් දැන ගත ත් නො හෙමී” කියා ලා ඇස ගෙන අවු ව වසා ලා අත නළල තබා ගෙන මූණ බලා පියා ‘අනේ දුකක් නැතත් කලෙකින් මහ සුප් ස්වාමීන් වන, සිඟා මෙයට වැඩි සේක් ඇස් ඇඳිරි බලවත් හෙයින් හැඳින්නේ ත් දුකින. මේ ගෙයි හුයා පළා තුබූ යමක් ඇත්දැ’යි මෑල්ලන් අතින් විචාළෝ ය. මෑල්ලෝ ත් දැන් සමයේ සේම පිට ගැසී පියා ලෑටී ව එළිනෝ ‘කුමක් සේ දෝ කිසිවක් ඇතෙ’යි කියා දුක්පත් කම් හැඟවූ ය.

එවේලෙහි මාලු ලෙසින් සිටි ශක්‍රයෝ ස්වාමීනි, යහපත නපුර නො සලකා අපට අනුග්‍රහ කළ මැනවැ’යි ආරාධනා කොට පාත්‍ර ය හැර ගත්හ. මහ තෙරුන් වහන්සේ ‘මුන් දුන් පළා කො ළක් වුවත් කුඩු වුවත් මුන් මේ දුකින් මුදනු පිණිස වළඳ මී’ සිතා ලා පාත්‍ර ය දුන් සේක. උයි ත් ඇතුළු ගෙට වැද ලා වකගැසූ පමණක් මුත් තමන් දුක්පත් කෙනෙක් නො වන හෙයින් දිව්‍ය භෝජනයෙන් පාත්‍රය පුරා ලා මහතෙරුන් වහන්සේ අතට පාත්‍ර ය පිළිගන්ලූවාය. අනුරුද්ධ කුමාරයන්ට දෙවියන් දුන් කැවුම් තළියේ සුවඳ කිඹුල්වත් නුවර පැතුරුණා සේ ම මේ බත් පාත්‍රයේ සුවඳත් දෙවියන්ම දුන් හෙයින් රජගහා නුවර මුළුල්ලෙහි පැතිරිණ. ශක්‍ර නියා ව නො හඟවන්නට දෙවරු[3] කළ වඤ්චා කෙ සේ දෝ විය. මහ තෙරුන් වහන්සේ ත් ‘මූ ඉතා දුක්පත්හ. දීලු බත දුක්පත් තරමට නො වෙයි. සක් දෙවිඳුහුගේ සුධාභොජන ය හා සම ය. කවුරු දෝ හෝ’යි එ විට පරීක්‍ෂා කරණ සේක් ශක්‍රයන් නියා ව දැන ‘දුක්පතුන්ට වන ප්‍රයෝජන උදුරා ගත් සේ නපුර. ඉතා දුක් පත් කෙනෙක් අද මට දනක් දුන්නු නම් සෙනෙවිරත් තනතුරු හෝ සිටු තනතුරු ලැබෙති. තොප මේ කුමක් කළ නියා දැ’යි වදා රා ‘මට ත් වඩා දුක්පතුන් ඇති නියා දැ’යි කී කල්හි ශක්‍ර සම්පත් ලැබත් දුක්පත් කම් නොහැරේ දැ’යි වදාළ සේක.

ඒ අසා ශක්‍රයෝ ‘ස්වාමීනි, මා ශක්‍ර වන්ට පින් කෙළේ බුදුන් නූපන් සමයෙක. බුදු හමුයෙහි පින් කළ චූලරථ ය මහාරථ ය අනන්ත වර්‍ණය යන මේ දිව්‍ය පුත්‍රයෝ තුන් දෙන මට ආසන්න ව උපන්හ. මට නො එක් ලෙසින් බලවත්හ. උන් තුන් දෙන උත්සවයට සහපිරිවරින් වීථියට බට කලට මම ලජ්ජාව පලා ගොසින් විජයත් පායට වැදයෙමි. උන්ගේ ශරීර ශෝභාව අවුත් මා වසා පිය යි. මා ගේ ශරීර ශෝභාව උන් කරා යා නො හෙයි. එ සේ හෙයින් මට වඩා දුක් පත්තු කවුරුදැ’යි කියා ගත් දුක් පත් කම එ ලෙසින් ම සෑධූ ය. ‘එ සේ වුව ත් මෙ වක් පටන් මෙසේ වළහා දන් නො දෙව’යි වදාළ සේක. ‘වළහා ත් මුඹ වහන්සේට දුන් දනෙහි ඉෂ්ට විපාක වැළහේ දැ’යි විචාරා ‘සොරා කාපු බතිනු ත් බඩ පිරෙන්නා සේ ම පින් තොපට ඇතැ’යි වදාළ කල්හි ‘සොරා වේවයි පෙනී වේව යි මට උවමනා පින්ම වේ දැ’යි කියා ලා මහ තෙරුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගෙන සුජාතාවන් හා සමඟ සක් දෙවිඳු ලෙසින් අහසට පැන නැඟී ලා ‘මහසුප් සාමීන් කෙරෙහි පිහිටි දන උතුම් දනැ’යි උදන් ඇනී ය.

බුදුහු ත් වේළුවනාරාමයෙහි වැඩ හුන් සේක් දිව කනින් ශක්‍රයන්ගේ උදන් අසා වහන්දෑ බණවා ලා ‘ශක්‍රයන් උදන් අනා ගෙන අහසින් යන්නවුන් බලව’යි වදාළ සේක. කුමක් කොට පියා උදන් අන ත් දැ’යි විචාළ කල්හි ‘වඤ්චා ලෙසකින් තමන් ශක්‍ර නියාවක් ම නො හඟවා මහසුප් මහ තෙරුන්ට බතක් දී පියා සොර සටනක් කොට ලත් ජයක් සේ සමාධි ව උදන් අනමින් යෙතී” වදාළ සේක. ‘තෝර ලා මහ තෙරුන් වහන්සේට දන් දීම යහපතැ’යි කෙ සේ සිතා ගත් නියා දැ’යි විචාළ සේක.

‘මහණෙනි, ම පුතණුවන් මහා කාශ්‍යපයන් වැන්නවුන් දෙවියෝ ත් කැමති වෙති. ශක්‍රයෝ ද ම පුතුන්ගේ ගුණ සුගන්ධ ය අසා අවුත් දන් දුන්හ. සඳුන් තුවරලා ආදියෙහි සුවඳෙක් ඇත් නම් බුද්ධාදීන්ගේ ගුණ සුවඳ වූ නියාවට මහ මෙර ළඟ හබ ඇටක් තබා ලූ වා සේ ඉතා ම ලඝු ය. මිනිස් ලොව තුබූ තුවර ලා ආදියෙහි සුවඳ දෙව් ලොව හමන්ට නැත. ගුණ ඇත්තවුන්ගේ ගුණ සුවඳ බඹ ලොව දක්වා හම යි’ වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් කෙලෙස් මල හරන පිණිස සිල් නැමැති සුවඳ විලවුන් ගෙන නව ලොවුතුරා දහම් නමැති අඛරණ ලා සැරහී ගෙන නිවන් පුරට යා යුතු.

  1. බත්දොරපත් - දොර

  2. දුක්පත්වත්

  3. දෙවුරු