තවද යම්සේ මහ පොළොව කපුරු-කළු වැල්-සඳුන් ආදිය ලීමෙහි ත් කෙළ සොටු ආදී වූ අපවිත්‍ර ය ලීමෙහි ත් සම ද, එ පරිද්දෙන් ලාභ යශස් ප්‍රශංසා සුඛයෙහි උඩඟු කමු ත් අලාභ අයස් නින්දා දුක්හි කලකිරුමුත් නැති, තව ද යම් සේ මහ පොළොව සුවඳ විලවුන් ආදී වූ සැරහීම් නැති ව ත් ශුද්ධාෂ්ටක විනිර්මුක්ත පොළොවක් නැති හෙයින් කලාපගත ගන්ධයෙන් සුවඳවත් ද එ මෙන් සුවඳ විලවුන් නැත ත් සිල් නමැති සුවඳින් සුවඳවත් වූ-
තව ද යම් සේ මහ පොළොව කඩ නොව, සිදුරු නො ව, බොල් ව ඝන ව පැතිර සිටී ද එ මෙන් ඛණ්ඩාදී භාවයට නො පමුණුවා ධොත සඞ්ඛයක් සේ නිම්ල කොට සීල පූරණ ය ඇති- තව ද යම් සේ මහ පොළොව, නුවර දනවු ගම් ආදිය උසුලා නමුත් පසු බැස්ම නැත්තී ද, එ මෙන් අවවාද අනුශාසනාදියට පසු බැස්මක් නැති, තවද යම් සේ මහ පොළොව ක්‍රොධානුනයක් නැත්තී ද, එමෙන් සියල්ලවුන් කෙරෙහි සම අදහස් ඇති සත්පුරුෂයන්ගේ ගුණ ශෝභා ව හැම තැන පවත්නා ලෙස හඟවන්ට අනඳ මහ තෙරුන් වහන්සේ ගේ පැන විසඳීම් වත දක්වමු.
කෙ සේ ද යත්:-
එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ ‘සඳුන් ආදි වූ හර සුවඳත්, හිරිවේරිය ආදි වූ මුල් සුවඳ ත්, දෑ සමන් ආදි වූ මල් සුවඳ ත් බුදුහු උතුම් කොට වදාළ සේක. එහි සුවඳ ත් යටි සුළඟට යන්නක් මුත් උඩු සුළඟට යන්නක් නැත. යමෙක සුවඳ උඩු සුළඟට ත් යේ නම් එ සේ වූ දෙයකුත් ඇත් දෝ හෝ’යි සිතා ‘මෙ ම සේ සිතා ප්‍රයෝජන කිම් ද? තරාදිය තිබිය දී අතින් කිරන්නා සේය. බුදුන් ම විචාරමි’යි සිතා බුදුන් කරා ගොසින්, ‘ස්වාමීනි, සඳුන් ආදි වූ සාර ගන්‍ධයෙහි ත්, හිරිවේරිය ආදි වූ මූල ගන්‍ධයෙහි ත්, චම්පක පුෂ්පාදි වූ පුෂ්ප ගන්‍ධයෙහි ත්, සුවඳ යටි සුළඟට හමත් මුත් උඩු සුළඟට නො හම යි. යටි සුළඟට ත් උඩු සුළඟට ත් හමන සුවඳ ඇත් දැ’යි විචාළ සේක. විචාළ ප්‍රශ්න ය විසඳන බුදුහු ‘හෙම්බා ආනන්‍දයෙනි, තොප විචාළ යටි සුළඟට උඩු සුළඟට තබා දස දිගට ම හමන සුවඳ ඇත.
“ඒ කවරේද යත්–හෙම්බා ආනන්‍දයෙනි, යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේව යි, තොටෙක වේව යි, ගෑනු කෙනෙක් වෙත්ව යි, පිරිමි කෙනෙක් වෙත්ව යි, කවුරු වෙත් ව යි, තිසරණ පිහිටා වෙසෙත් ද, පස් පවිනු ත් දුරු ව වෙසෙත් ද, දස පින්කිරිය වත පුරත් ද, මසුරු සිත් නැති ව දන් දෙත් ද, උන්ගේ ගුණ ඒ ඒ දිග මහණ බමුණෝ ත් කියති. ඒ ඒ දිග වසන දෙවියෝ ත් කියති. එසේ හෙයින් උන්ගේ ගුණ සුගන්‍ධ ය දස දිග ම හම යි. සෙසු මල් තබා සාර සියයක් ගවු විතරට සුවඳ හමන පරසතු-මඳාරා මල්හි සුවඳ පවා යටි සුළඟින් සාර සියයක් ගවු හමන පමණක් මුත් උඩු සුළඟින් අඟලක් විතරට ත් නො හම යි. සදුන් තුවරලා ආදියෙහි සුවඳ ත් යටි සුළඟින් තමා හමන විතරක් හමත් මුත් උඩු සුළඟින් කෙසඟක් විතරක් නො හම යි. ඒ එ සේ වුව ත් බුද්ධාදී වූ සත් පුරුෂයන්ගේ ගුණ සුවඳ උඩින් අකනිටා බඹ ලොව දක්වාත් සරසින් අනන්තා පරිමාණ සක්වල ත් පාතින් නාග භවන ගරුඬ භවනාදියෙහි ත් හමයි. උන්ගේ ගුණ ශෝභා ව මහත් ව පැතිරීමෙන් මහත් වූවා සේ ම උන්ට දුන්නා වූ ලඝු දානයත් විපාක වසයෙන් මහත් වෙ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන නිවන් දුටුවු ය.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් පුණ්‍ය ක්‍ෂෙත්‍ර හැම කල ලද නො හැකි හෙයින් ලත් අවධියෙහි කුසල් පුරා අනුශාසනා ලෙසින් අකුසලින් දුරු ව ත්‍රිවිධ බෝධීන් එක් තරා බෝධියකට පැමිණිය යුතු.
_________