51. විශාඛා වස්තුව

star_outline

තව ද හීන ජාතියෙහි උපන ත් බෝධිසත්‍වවරයන්ගේ ගුණයෙන් අඩුවක් නැත්තා සේ ලඝු අදහස් ඇති ස්ත්‍රී ව ඉපැද ත් ජාතියෙන් සරි වුවත් අදහසින් සරි නොවන්නවුන් කරා පැමිණ ත් අදහසෙහි අඩුවක් නැතිව බොහෝ පින් කොට දික් ව තිබෙන දෙයක් කපා ලුහුඬු කළා සේ හේතුසම්පන්න යන්ට අක් ඇත ත් මුල් නො පෙනෙන හෙයින් දික්වූ සසර ලුහුඬු කළ ලෙස දක්වන්ට විශාඛා වස්තුව කියමු.

කෙ සේ ද යත් -

පියුමතුරා නම් බුදුන් සමයෙහි එක් උපාසිකා කෙනකුන් වර අටක් ලදින් ඒ බුදුන්ට උපස්ථාන කරන්නවුන් දැක ඊ නිසා කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ත් අග්‍ර උපස්ථායිකා වීමට පතා විශාඛාවෝ දඹදිව් තෙලෙහි අඟුරට භද්දිය නුවර මැඬ මහ සිටාණන්ගේ පුත් වූ ධනඤ්ජය සිටාණන්ට දාව උන්ගේ ඇඹේණියන් සුමනා දේවීන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් උපන්හ. විශාඛාවන් සත් හැවිරිදි අවස්ථාවෙහි බුදුහු හිරුරැස් ගැසී පිපෙන්ට තුබූ පියුම් සේ නිවන් දක්නට නිසි ව සිටි සෙල බ්‍රාහ්මණාදීන් නිවන් දක්වනු පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ පිරිවරා අන්තොමණ්ඩල ය මධ්‍යමණ්ඩලය බාහ්‍ය මණ්ඩලය යන මණ්ඩල තුනින් එක් තරා මණ්ඩලයෙක සැරිසරා වඩනා සේක් භද්දිය නුවර ත් හේතුසම්පනයන් ඇති බැවින් ඊ පැමිණි සේක.

එ සමයෙහි ද වැළිත් මැඬමහ සිටාණෝ මහ පිනැත්තන් පස් දෙනකු ගෙන් අනික් සතර දෙනාට තුමූ නායක ව සිටු කම් කෙරෙති. මහ පිනැති පස් දෙන නම්:- මේ මැඬ මහ සිටාණෝ තුමූය. උන් ගේ ම නායක අඹු වූ සඳපියුම් නම් දේවී ය. උන් ගේ ම පුත් වූ ධනඤ්ජය සිටාණෝ ය, උන් ගේ ඇඹේණියෝ සුමනා දේවීය, හැම දෙනාටම අයති වූ පුණ්ණ නම් කොල්ලණුවෝ ය යි මොහු පස් දෙන ය.

තව ත් බිම්සර රජ්ජුරුවන්ගේ විධාන පවත්නා රට ජෝතිය සිටාණෝ ය, ජටිල සිටාණෝ ය, පුණ්ණක සිටාණෝ ය, කාකවලිය සිටාණෝ ය’යි මහ සම්පත් ඇති සිටුවරු සතර දෙනෙක් ඇත. මැඬ මහ සිටාණන් ඇතුළු වූ මහ සම්පත් ඇත්තෝ පස් දෙන ය.

ඉන් මැඬ මහ සිටාණෝ බුදුන් තමන් හිඳිනා භද්දිය නුවරට වැඩි නියාව දැන තමන්ට මිණිබිරි වූ පුතණුවන්ට දූ වූ විශාඛාවන් බණවා ලා ‘මිණිබිරිනි, තොපට ත් අපටත් මහා වැඩ ය. තොපගේ පිරිවර පන් සියයක් පමණ කුඩා කෙල්ලන් හා සමඟ රථ පන් සියයකට නැගී පූජාභාණ්ඩ ත් පිරිවර කෙල්ලන් ලවා ගෙන්වා ගෙන බුදුන්ට පෙර ගමන් කොට යව’යි කිවු ය. උයි ත් යහපතැ යි ගිවිස නික්ම විදුර කුඩා වුව ත් කැපීමේ අඩුවක් නැත්තා සේ මැණික කුඩා වුව ත් අගය මහත් සේ තමන් බාල වුව ත් නුවණ මහත් හෙයින් හා කාරණාකාරණ දන්නා හෙයින් බුදුන් පෙනෙන තැන් දක්වා රථයෙන් ගොසින් බුදුන් දැක රථයෙන් බැස පියා ළඟට ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. බාල ව සිටි කල පෙර ගමනට ප්‍රසාදයක් දෙන්නා සේ අදහස් බලා බණ වදාළ සේක. ලෙඩ සන්සිඳෙන්ට නිසි බෙහෙතක් පූ කල වහා ලෙඩින් ගොඩනැඟෙන්නා සේ බණ අසා සෝවාන් වී මෙන් බලවත් ලෙඩ තුනෙකින් ගොඩ නැඟී සසර භයින් මිඳුනවු ය. කැටි ව ගිය කෙළි සුඟු පන් සියය ත් කැටි ව ම සෝවාන්ව නිවන් පුර වන්හ.

මැඬ මහ සිටාණෝ ද බුදුන් කරා ගොසින් බණ අසා සෝවාන් ව දෙවන දවසට ආරාධනා කොට ලා දෙවන දවස් තමන්ගේ ගෙයි දී බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ මධුරාහාර ය වළඳවා ලා මෙම ලෙසින් දෙපෝයක් මුළුල්ලෙහි මහදන් දුන්හ. බුදුහු ත් භද්දිය නුවර නිවන් දුට මනාවුන් නිවන් දැක නිමන තෙක් වැස ලා එ නුවරින් අනික් තැනකට වැඩ පී සේක.

එ සමයෙහි ද වැළිත් බිම්සර රජ්ජුරුවන්ගේ නැගණියන් කොසොල් රජ්ජුරුවන් කෙරේ හෙයිනු ත් කොසොල් රජ්ජුරු වන්ගේ නැගණියන් බිම්සර රජ්ජුරුවන් කෙරේ හෙයිනු ත් එ ලෙසින් දෙන්න දෙ සුරුබඩුවෝ ය. කොසොල් රජ්ජුරුවෝ එක් දවසක් සිතන්නෝ ‘බිම්සර රජ්ජුරුවන්ගේ රට මහා සම් පත් ඇති සිටුවරු ජොතිය ය, ජටිල ය, මෙණ්ඩක ය, පුණ්ණක ය, කාකවලිය යි පස් දෙනෙක් ඇත. මාගේ රට එසේ වූ කෙනකුත් නැත. බිම්සර මහ රජු ගෙන් ඉන් එක් කෙනකුන් ඉල්වා ගතිම් නම් යහපතැ’ යි සිතා රජගහා නුවරට ගොසින් බිම්සර මහ රජු ගෙන් සාද සාමීචි විඳ ගෙන ආ කටයුතු විචාළ කල්හි මුඹගේ විධාන පවත්නා රට සිටුවරු පස් දෙනෙක් ම ඇත. මාගේ රට සිටුවරුන් ගෙන් දෙවියන් නැති කෝවිල් සේ, පැන් නැති විල් සේ, ඵල ජාති නැති ගස් සේ, වහන්දෑ නැති විහාර සේ. රජුන් නැති රට සේ සිස. එක් කෙනකුන් කැඳවා ගෙන යෙමී සිතා අයිමී. එක් කෙනකුන් මා හා කැටි ව එවන්ට වුව මැනැ වැ’යි කිවු ය.

‛දරු මුණුබුරු පරම්පරාවෙන් නො ගිල පැවත ආ කුල ය. වර්‍ග පරම්පරාව ත් මහත. උන් හැම මුල් බැස හුන්නවුන් හෙයින් සොලවා ලන්ට බැරි ය’යි බැරි ම හෙයින් කිවු ය. ‘මහ කුලවල් සොලවා උගුළුවා ලන්ට ඔබ බැරි වී නම් නො ලදොත් යන්ට මටත් බැරි ය’ යි කොසොල් රජ්ජුරුවෝ කිවු ය. ‘මුඹ තත්පර වුව යි කුමක් කොට ලිය හැකි දැ’යි ඇමැත්තන් හා කථා කොට ජොතියාදී සිටුවරු පස් දෙනා උගුළුවා ලීම නම් පොළොව සොලවා ලන්ට බැරියා සේ බැරි නියාව දැනමැඬ මහ සිටාණන්ගේ පුත් ධනඤ්ජය නම් සිටාණ කෙනෙක් ඇත. උන් හා කථා කොට ලා නිහඬ කියා ලිය හැක්කැ’ යි උන් ගෙන්වා ලා ‘පුත කෝසල රජ්ජුරුවෝ තකා පතකා සිටාණ කෙනකුන් තමන් රට නිල කරන්ට කැඳවා ගෙන යන්ට අවු ය. තෙපි උන් හා කැටි ව යව’යි කිවු ය. අප කෙසේ පොහොසත් වුවත් රජ දරුවන් අයිති හෙයින් නො යන්ට පිළිවන්ද? වදාළ කල ගිය මනා වේ දැ’යි කිවු ය. ‘තොප හැම ලඝු තරමුන් නො වන හෙයින් සිතා ලා යන්ට පිළිවන් ද? ගමන් සරහා ගනුව’යි කිවු ය. උයි ත් ගමන් සරහා ගත්හ.

රජ්ජුරුවෝ ද තමන්ගේ විධානයෙන් යන හෙයින් බොහෝ සංග්‍රහ කොට ලා ‘අර්ථී ව ඉල්වන හෙයින් මුත් යවිය යුත්තෝ නො වෙති. මුන් කැඳවා ගෙන ගිය මැනැවැ’ යි කොසොල් රජ්ජුරුවන්ට. පාවා දුන්හ. රජ්ජුරුවෝ උන් කැඳවා ගෙන උන් ම රැක හිඳ නැතක් දවස් පලා ගිය හෙයින් කල් යවන්ට බැරි වන්නා සේ එක් තැනෙක දෙ රැයක් නො ලැග වහා යන්නාහු එක් දවසක් රෑ වූ තැනක දී වාස ඵාසු තැනෙක නවාතැන් ගත්හ. ධනඤ්ජය සිටාණෝ ‘මේ බිම කවුරුන් සන්තක දැ’යි විචාරා කොසොල් රජ්ජුරුවන් තමන් සන්තක තැන් නියා ව කී කල්හි ‘සැවැත් නුවර කෙ තෙක් තැන් ඇද්දැ’යි විචාරා ‘අට විසි ගවුවක් විචර ඇතැ’යි කී කල්හි ‘අපගේ රැස් පිරිස් බොහෝ හෙයින් නුවරට කිට්ටු ව ගිය කලට අඵාසු ය. දුර කලට ඵාසු ය’යි සිතාලා ‘රජ්ජුරුවන් වහන්ස, අභිප්‍රාය ඇති සේක් වී නම් මෙ තැන ම රඳනු කැමැත්තම්හ’ යි කිවුය. රජ්ජුරුවෝ ත් ‘යහපතැ’යි ගිවිස එතැන නුවරක් ඉදි කරවා දී ලා නැඟී ගියෝය. එ තැන සවස් වේලෙහි නවාතැන් ගත් හෙයින් ඉදි කළ නුවර ට ත් ‘සාකෙත නුවර ය’ යි නම් තබා ලූ ය.

සැවත් නුවර ම ත් වැළි ත් මිගාර නම් සිටාණ කෙනෙක් ඇත. උන් ඇති ව සිටුවරුන් සොයා ගියේ හැයි ද යත හොත්- නම් පමණක් මුත් ජෝතියාදීන් තරමට උන් මහා ධන සිටු නො වන හෙයිනි. සිටුවරුන් ගෙන් රට සිස් නියා ව කීයේ ත් ධන සිටුවරුන් ගෙන් සිස් බව නියා ය. ඒ මිගාර සිටාණන්ගේ පූර්‍ණ වර්ධන නම් සොළොස් හැවිරිදි පුතණු කෙනෙක් ඇත. දෙ මවු පියෝ ‘පුත, තොපට අභිප්‍රාය තැනකින් සිටු දුවණි කෙනකුන් විචාරව’යි කිවු ය. ‘එ සේ වූ අවුලෙන් මට ප්‍රයෝජන නැතැ’යි නො කැමැති වූ ය. ‘පුත, එ සේ නො කර ව, දරුවන් නැති කල වර්‍ග පරම්පරා ව නො පවත්ති. ජාති සරි තැනකින් විචාරා ගෙනෙව’යි කිවු ය.

දෙමවුපියන්ගෙන් විධාන බොහෝ වත් බැරි ලෙසක් කියා ලූ කලට කන්සන් නැති වෙයි සිතා ‘එ සේ වී නම් රන් පර්‍වත මුඳුනෙකින් හුණු කළු ගඟක් මෙන් දෝ හෝ නො හොත් මුඛපද්මයෙහි ශෝභා කිඤ්ජල්ක ය නිසා අවුත් රැස් වූ බමර වැලක් වැනි ව නිල් වූ උනා හෙළා ලූ කලට විළුඹ දක්වා හී ලා බිම නො ගැවී අක් බඹුරු ව තිබෙන හිස කේ ඇති, නැවත රූප නැමැති සාගරයෙහි ගමන් ගත් පබළුම ය නැව් සඟලක් වැනි වූ තොල් සඟළක් ඇති, තව ද පබළු දළුවෙක හිඳුවා ලූ විදුරු පෙළක් වැනි වූ දෝ හෝ නොහොත් චන්ද්‍රයාගේ සොළොස් කලාවෙන් සොළොස්වන කලාව දන්ත ශ්‍රේණිව්‍යාජයෙන් මුඛ ප්‍රවිෂ්ට වූවා සේ ඉතා ශෝභාවත් වූ දත් ඇති, තව ද කැළියෝ වී නම් නිල් මහනෙල් මලක ඡවියක්සේ ඡවි ඇති, හෙළිල්ලෝ වීනම් කිණිහිරි පෙත්තක ඡවියක් සේ තල කැළල් ආදීන් මුසු නො වන ඡවි සමෘර්ධියක් ඇති, දරු දස දෙනකු ලද ත් හැම කලම සොළොස් හැවිරිදි කෙනකුන් තරමේ ම සිටිනා වූ කෙනෙක් සම්භ වූ නම් එ සේ වූ කෙනකුන් කෙරේ අභිප්‍රාය ඇත්තෙමී’යි කී කල්හි-

දෙමවු පියෝ අටෝරාසියක් බමුණන් ගෙන්වා ගෙන කිරිබත් අනුභව කරවා ලා මුන් කියා ලූ තරම් ස්ත්‍රීහු මිනිස් ලොව වෙසෙත් දැ’යි විචාරා තමනු ත් නුදුටු විරූ හෙයින් වේදශාස්ත්‍ර බලා ‘වෙසෙතී’ කී කල්හි ‘එ සේ නම් එසේ වූ කෙනකුන් විමසා ගෙනෙන්ට වුව මැනැව’යි අටෝරාසියෙන් අට දෙනකු තෝරා ලා බොහෝ වස්තු දීලා එසේ වූ කෙනකුන් ලදින් අවු නම් ආ කලත් බොහෝ සංග්‍රහ කරම්හ’ යි කියා ලා එ සේ වූ කෙනකුන් දුටු කල බත් බුලත් කවන ලෙසට තෙලේ පළඳවා ලව’යි ලක්‍ෂයක් වටනා රන් මාලාවක් දී ලා යවූහ.

උයි ත් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ නුවරවලට ගොසින් විමසා ත් එ සේ වූ කෙනකුන් නො දැක නැවත පෙරළා එන්නාහු කවුරුනු ත් එළි බස්නා නකත් කෙළි දවසෙක සාකේත නුවරට අවුත් වැද ‘අද අප ආ කටයුත්ත සමෘද්ධ වන්නැ’යි සිතූහ. එ නුවර ද වැළිත් අවුරුදු පතා ඒ උත්සව ය පවත්තී. එ කල හිර සඳ නො හැඳින හින්නවුන් සහපිරිවරින් ගෙන් නික්ම නො සැංගී නො පැට වී පයින් ම ගං බඩට යෙති. එ දවස් රජ–බමුණු-වෙළෙඳ-ගොවි ආදි ප්‍රසිද්ධයන්ගේ දරුවෝ ‘තම තමන් හා සරි සමාන කුල දැරියන් දැක මල් දමා ලා නිල කොට ගනුම්හ’යි මඟ ඒ ඒ තැන සිටිනාහ.

බමුණෝ අට දෙන ත් ගඟ බඩ එක් ශාලාවකට වැද ලා සිටියෝ ය. එ වේලාවට සොළොස් හැවිරිදි වයස් නමැති සොළොස් කලාවෙන් පිරුණා වූ විශාඛා නමැති පුන් සඳ ද ආභරණ නමැති රශ්මීන් යුක්ත ව පන් සියයක් කුමාරිකා නමැති තරු කැළ පිරිවරා ගඟට ගොස් නා පියමී යි ගං බඩට ගියහ. එ වේලාවට ම වැස්සෙක් නඟා ලා වස්නට පටන් ගත. පන් සියයක් කුමාරියෝ වභා දිවගෙන ගොසින් ශාලාවට වන්හ. ශාලාවේ හුන් බමුණෝ බලා ඉන් එක් කෙනකුනු ත් සිටු පුත්‍රයාණන් කියා ලූ තරම් ඇති නියා වක් නො දැක තවත් එන කෙනකුන් බල බලා හුන්හ. එ කල විශාඛාවෝ ද සසරින් නික්මෙන්නට ඉක්මන් බවක් මුත් නිකම් ගමනේ ඉක්මනක් නැති හෙයින් සෙමෙන් සිට ම ශාලාවට වන්හ. එ දැක බමුණෝ ‘අනේ, දරුවෝ මැළි කෙණෙක. මෙ සේ වූවන් රක්‍ෂා කළ කෙනකුන්ට කාඩි පමණකු ත් සම්භ නො වෙ’යි කීහ. එ කල විශාඛාවෝ ‘කුමක් කියවුදැ’යි විචාරා උන් කළ කථාව කී කල්හි ‘කවර කාරණයකින් එ සේ කියවුදැ’යි විචාළහ. එ බසට බමුණෝ කියන්නාහු ‘මුඹගේ පිරිවර කුමාරිකාවෝ හැම දෙන ම නො තෙමී ශාලාවට දිව ගත්හ. මුඹ වහා එක පමණකු ත් නැති ව තෙමී ගෙන ආ දෑය. එ සේ හෙයින් මෙ සේ කිය කියා උනුම්හ’යි කීහ.

‘එ සේ එක විටෙක ත් නොකිව මැනව. දිවගෙන එත ත් මම උන්ට වඩා බල ඇත්තෙමි. කාරණයක් තකා දිව ගෙන නො ආමි’යි කිවු ය. ‘කාරණ ය කවරේ දැ’යි විචාළ කල්හි ‘සතර පක්‍ෂයක ඇත්තෝ දිවෙන කල නො හොබිති. අනිකු ත් කාරණ යෙක් ඇතැ’යි කිවු ය. ‘දිවෙන කල නොහොබිනා සතර පක්‍ෂය කවුරුදැ’යි බමුණෝ විචාළෝ ය. ‘එතරමකු ත් මුඹ හැම නො දත් බැවින් කිව මනා වේ ද? ඔටුනු පළන් රජ්ජුරුවෝ සව් බරණ ලා සැරහී ගෙන අමුඩක් ගොතා පියා දිවෙත් නම් ඉතා නො හොබිති. ‘මෙ රජ ගොවියකු මෙන් දිවෙ’යි කියා දුටුවන්ගෙන් නින්‍දා ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. රජ්ජුරුවන්ගේ මඟුලැතා ත් ආභරණ ලා සරහන ලද්දේ දිවේ නම් නො හොබී. හස්ති ලීලායෙන් සෙමෙන් සිට යන්නේ ම හොබී. තපස්වීවරු ත් සමාහිත ව යන ගමන් හැර දිවෙත් නම් නො හොබිති. දුටු යම් කෙනකුන්ගෙන් ම ‘ශ්‍රමණ ලීලා නැති ව ගිහීන් පරිද්දෙන් දිවෙති’ යි නින්දා ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. මුන් හැමටත් වඩා ගෑනු මිනිස්සු දිවෙත් නම් ඉතා නො හොබිති. ‘කිමෙක්ද? මෝ පිරිමියකු මෙන් ගෑනු ලීලාවක් නැති ව දිවෙ’ යි කියා නින්දා ලැබෙති. සෙමෙන් සිට යෙත් නම් හොබිති. ගෑනුන්ට නො හොබනා දෙය කරන්නේ කෙසේ දැ යි කියා වහා නො ආයෙමි’ කිවු ය.

බමුණෝ ඒ අසා ‘පුත, එ වන්නා ඒ කාරණ ය ගිවිස්සම්හ. අනික් කාරණ කවරේ දැ’යි මඳ බණක් අසන්ට සිතා ත් බණ කියා ලන නියා යහපත් හෙයින් බොහෝ කොට බණ අසන්නා

සේ දත් පෙළ දක්නා තරමට යම් තම් කථාවක් කරුණු කැමැති බමුණෝ කථා කරණ නියාව යහපත් හෙයින් අනික් කාරණය ත් විචාළෝ ය. ‘මවු පියෝ දූන් වඩනා කල වදා පියා හූරන් සේ හැර නො පියති. අත පය හඹා, කන් නාසා හඹා උන්ගේ ත් ප්‍රයෝජන විඳ ගන්නා සෙයින් කෙරෙති. අපි නම් විකිණි බඩුවක් හා සරියම්හ. විකිණි බඬුවක් මැසී තුබුවො ත් විකපත් වන බව මුත් යම්කිසි ලෙසකින් නපුරු වී නම් විකපත් නො වෙයි. අපිත් තෙමෙන්ට මැළි ව දිව වැටී හුණුමෝ නම් අත හෝ කොර වෙයි. පය හෝ කොර වෙයි. එ සේ කලට සරණ ගෙණ යන කෙනකුන් නැති ව දෙ මවු-පියන්ට ම භාර වම්හ. තෙමී ගිය යි වන හානි කවරේද? ගෙට ගිය කල තෙමී ගිය පිළි වනා පියන්නා වියළී යෙයි. ආභරණ ත් ගළවා තබා පියන්නා හිණි ගැනී යෙයි. හැම සලකා වහා නො ආයෙමි’යි කිවු ය.

බමුණෝ උන් කථා කරණ වේලේ සක්පත් සඟළක් වැනි ඉතා ශෝභාමත් වූ දත් පන්ති දැක ‘මෙ සේ වූ රූප ශෝභාව මුඹට ම තරමැ’යි කියා ලා ගෙන ගිය රන් මාළාව කර පළඳවා ලූහ. මාලාව පළඳවා ලූ ලෙසින් ම එක් තැනකට විචාළ නියා ව දැන ගෙන ‛කවර නුවරක සිට ද ආවෝ’යි විචාරා ‘සැවැත් නුවර සිට ය’යි කී කල්හි විචාරා එවූ සිටු පුත්‍රයාණන්ගේ පියාණෝ කි නම් දැ’යි විචාරා මිගාර සිටාණෝ ය යි කී කල්හි, සිටු පුත්‍රයාණන්ගේ නමත් විචාරා පූර්‍ණවර්ධන කුමාරයෝ ය යි කී කල්හි ජාති සරි නියාව දැන ඉවසා එන කල පයින් ආව ත් යන කල නැඟීගෙන යන්ට රථ එවුව මැනවැ යි පියාණන්ට කියා යවු ය.

යන කල රථයෙන් යන්ට කාරණ කවරේදැ යි යතහොත්- පරිග්‍රහ ය නිසා මාලාව පළඳවා ලූ තැන් පටන් පයින් ගමන බැරි හෙයින් පොහොසතුන්ගේ දරුවෝ ඉදෝළි-කූනම් රථ ආදි වූ යාන වාහනයෙන් යෙති. එක් තරම් වූ කුඩයක් හෝ තල් වැටක් හෝ ඉසට කොට ගෙන යෙති. එයි ත් නැත්නම් හැඳගත් කඩින් පටක් හැඳගෙන පටකින් දසරුව වසාගෙන යෙති.

විශාඛාවන්ගේ පියාණෝ පන් සියයක් රථ එවාලූ ය. විශාඛා වෝ ද සහ පිරිවරින් රථවලට නැඟීලා ගියහ. බ්‍රාහ්මණයෝ අටදෙනත් කැටිව ම ගියහ. සිටාණෝ ත් දුවණියන් පළන් මාළාව දැක දැන ගෙන බමුණන් අතින් කොයි සිට අවුදැ යි විචාරා සැවැත් නුවර සිට ය යි කී කල්හි සිටාණන්ගේ ත් සිටු පුත්‍රයාණන්ගේ ත් නම් විචාරා, පියාණන් මිගාර සිටාණන් නියාත් පුතණුවන් පූර්‍ණවර්ධන නම් නියා ත් අසා වස්තු කෙතෙකට ඇද්දැ යි විචාළහ. සතළිස් කෙළෙකැ යි කී කල්හි අපගේ සම්පත් තරමට මහමෙර ළඟ හබ ඇටක් තබා ලූවා සේ සම්පත් ඉතා ම මඳ සිටු කුලයක් බැවින් රන් මාලාවකුත් පළඳවා ලූ පසු සෙස්සෙන් කම් කිම්දැ’යි ඉවසා පූහ. ධනඤ්ජය සිටාණෝ ද මෙහෙවර ගිය බමුණන්ට සාද කොට එක් දෙ දවසක් රඳවා ලා යවාපූහ.

උයි ත් සැවත් නුවරට ගොසින් යම් තරම් කෙනකුන් විම සන්ට යවු නම් එ තරම් ම කෙනකුන් නිලකළ නියා ව මිගාර සිටාණන්ට කීහ. මිගාර සිටාණෝ ත් කවුරුන්ගේ දරු කෙනෙක් දැ යි විචාරා ධනඤ්ජය සිටාණන්ගේ දුවණියන් නියාව කී කල්හි එ තරමුන්ගේ දරුවෝ රූ නැතත් පින් ඇත්තෝ ය. වහා ගෙන් වුවමනා වේ දැ’යි සරණ ගෙනෙන්ට ඔබ යන නියාව කොසොල් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ඒ අසා බිම්සර රජ්ජුරුවන්ගෙන් උන් ලදින් කැඳවාගෙන අවුත් එ තැන රඳවා ලූයෙම් මම් ම ය. මමත් එමී කිවු ය. උයිත් යහපතැ යි ගිවිස ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නෝ -

අප ඔබ එන කළ රජ්ජුරුවන් වහන්සේ ත් වඩනා සේක. රජ සෙනඟ ත් මහත. මෙ තෙක් දෙනාට බත් දෙන්ට පිළිවන් වූවො ත් කියා එවන බව ය’යි කියා යවූහ. ධනඤ්ජය සිටාණෝ සම්පතට ත් වඩා සිත ත් උදාරතර හෙයින් ‘එක රජ්ජුරු කෙනකුන් තබා රජ දරුවන් දස දෙනකු වුව ත් අමුතු ව අවුත් මෙ තැන රඳා හුන්නැ යි නො සිතා කැඳවා ගෙන අව මැනවැ’යි කියා යවු ය. මිගාර සිටාණෝ ද ඒ සා මහත් නුවර ගෙවල් දොරවල් බලන පමණක් මිනිසුන් රඳවා ලා සෙසු සත් කෙළක් විතර මිනිසුන් කැඳවා ගෙන ගොසින් සාකෙත නුවරට දෙ ගවුවක් පමණේ සිට රජ්ජුරුවනු ත් තමනු ත් ආ නියාව කියා යවූහ.

ධනඤ්ජය සිටාණෝ රජ්ජුරුවන්ට ත් සිටාණන්ට ත් පඬුරු යවා ලා දුවණියන් විශාඛාවන්ට කියන්නෝ ‘පුත, තොපගේ මයිලණුවෝ කොසොල් රජ්ජුරුවන් වහන්සේ ත් කැඳවා ගෙන අවු ය. තොපගේ මයිලණුවන්ට නවාතැනට කවර ගෙයක් නිලකරමෝ ද? රජ්ජුරුවන් වහන්සේට කවර ගෙයක් නිල කරමෝද? යුව රජ්ජුරුවන්ට කවර ගෙයක් නිල කරමෝද? සෙනෙවි රදුන්ට කවර ගෙයක් නිල කරමෝ ද? ලඞ්කා අධිකාර-දෙමළ අධිකාර මුදල් පත් ආදි වූ ඒ ඒ දෙනාට කවර කවර ගෙවල් නිල කරමෝ දැ’යි විචාළෝ ය.

කප් ලක්‍ෂයක් පිරූ පැරුම් ඇති විදුරු සේ සියුම් නුවණ ඇති සිටු දුවණියෝ ‘අසවල් ගෙය අපගේ මයිලණුවන් වහන්සේට නිල කළ මැනව. අසවල් මාළිගාව රජ්ජුරුවන් වහන්සේට නිල කළ මැනව. යුව රජ - සෙනෙවිරත් ආදීන්ට මේ මේ ගෙවල් නිල කළ මැනවැ’යි සියලු ගෙවල් ම නිල කරවා ලා කර්‍මාන්ත කරන්නවුන් බණවා ලා ‘රජ්ජුරුවන් වහන්සේට කළ මනා මෙහෙවර මෙතෙක් දෙන කරව, යුව රජ-ඇමැති ආදීන්ට කළ මනා මෙහෙවර මෙ තෙක් දෙන කරව’යි විධාන කොට ලා ඇත් ගොවු අස් ගොවු ආදි වූ සියල්ලෝ ම ‛විශාඛාවන්ගේ සරණ මඟුලට ගොසිනු ත් ඇත් අස් ආදීන් ම රැක ඇවිදි බව මුත් අප මඟුල වුන් සැප කවරේ දැ’යි කිය ත් නමුත් එ සේ ත් නො කියවා ඇතුන් බැලීම් ආදිය ත් මෙ තැන රඳා හිඳිනා තෙක් දවස් තෙපි ම කරව’ යි තමන්ගේ මිනිසුන්ට ම විධාන කළහ.

එ දවස් ම විශාඛාවන්ගේ පියාණෝ දුවණියන්ට මහ ලිය පළඳනාව කරවනු පිණිස කර්‍මාන්තයෙහි දක්‍ෂ බඩාල් පන්සියයක් ගෙන්වා ගෙන ශුද්ධ රත්රන් පස් විසි දහසක් හා හුයින් කළ මනා මෙහෙවර රිදියෙන් කරණ ලෙසට රිදීත් මැණික් සතළිස් නැළියකු ත් විදුරු සතර නැළියකු ත් දෙවා ලූහ. බඩාල්ලු ත් කර්‍මාන්තයට පටන් ගත්හ.

රජ්ජුරුවෝ දවස් ගණනක් රඳා ලා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නෝ ‘අප මෙ තෙක් දෙනා හෙයින් කල් යවා රැඳුණු කලට තමන්ට ම ආයාස ය. සිටු පුත්‍රයාට දුවණියන් පාවා දෙවා ගමන උදවු කරවුව මැනැවැ’යි මෙහෙවර කියා යවු ය. සිටාණෝ ඒ අසා රජ්ජුරුවන්ට කියා යවන්නෝ ‘දැන් මේ වැසි කල ය. වැසි මස හෙයින් මේ සාර මස ගමන් බැරි ය. කැටි ව ආ රැස් පිරිස් නම් සත් කෙළක් විතර වේද? උන්ට වුවමනා සියල්ලෙක් ඇත් නම් මට භාර ය. මා දන්වා ලූ විටෙක වඩනා බව ය’යි තමන්ගේ ප්‍රභුශක්ති තෙල තරමිනු ත් හැඟවූ ය.

එ වක් පටන් සාකේත නුවර නිරන්තරයෙන් ම මඟුල් ගෙයක් මෙන් සැරහී සිට්ටි. වෙන වෙන ම තම තමන්ට කරණ සාදයක් සේ සිතන ලෙසට බත් දෙවන්ට පටන් ගත්හ. මෙ ලෙසින් තුන් මසක් පලා ගියේ ය. පලඳනාවේ කර්‍මාන්ත ත් විශාඛාවන් කළ පින් බොහෝවා සේම බොහෝ හෙයින් නොනිමෙයි. බත් මාළු ඉඳි කරවා දෙන්නෝ ද අවුත් සිටාණන්ට ‘වී සාල් ආදී වූ සෙස්සෙන් අඩුවෙක් නැත. බත් මාළු පිසන්ට දර නැතැ’යි කිවු ය.

‘තෙල විතරකින් බත් නොදෙන්ට පිළිවන් ද? මෙ නුවර මාළු ඇත් හල්, අස් හල් ද. මාළු ගෙවල් ද, බිඳ දර හැර ගෙන බත් පිසවා දෙව’ යි විධාන කොළෝ ය. එ සේ ත් කරන්නවුන්ට දෙ පෝයක් ගියේ ය. නැවතත් ගොසින් දර මුට්ටු නියාවක් ම කිවු ය. ‘ඝන වැසි හෙයින් දර සොයා දුර යන්ටත් බැරි ය. බත නො දෙන්ට ත් බැරි ය. පිළී පත්තායම්වල යතුරු හැර දළ දළ පිළී හැර ගෙන වැටි කොටා පියා තෙල් සැළවල ගලා දරට මොළවා බත් මාළු උදව’යි විධාන කළහ. එ ලෙස ත් කරන්න වුන්ට දෙ පෝයක් විතර ගොසින් සාර මස නිමිණ. පළඳනාව ත් කොට නිමියේ ය.

ඒ පළඳනාවෙහි හුයින් කර්‍මාන්ත නො කළහ. හුයින් කළ මනා කර්‍මාන්ත රිදී කෙන්දෙන් ම කළහ. ඒ ආභරණයත් පළන් කල ඉස්මුදුනේ පටන් පිටි පත්ල ගසා සිට්ටි. ඒ ඒ තැන ගැට මනාලෙසට මුඳු ත් යොදා කළහ. ගන්වා ලන කොකු රත්රන් මය ය. මළ රිදීම ය ය. ඉස් මුදුනෙහි දී කොක්කක් හා මළෙක. කන් සිළු දෙක කෙරේදී දෙකක. ගලවළුව කෙරේදී එකෙක. දසරුවේදී දෙකෙක. වැළමිටි දෙක කෙරේදී දෙකෙක. උකුළු කෙරේදී දෙකෙක. එ තැන පටන් පාත ප්‍රයෝජන නැති හෙයින් නැත.

ඒ පළඳනායෙහි මුඳුන නටන මොනරකු කළහ. ඔහුගේ දකුණු පියායෙහි රත්රන්මය වූ තඹවන් පත් පන් සියයෙක. වම් පියායෙහි ත් එ සේ ම රන්මුවා තඹවන් පත් පන් සියයෙක. තුඩ පබළුමුවා ය. ඇස් නිල්මිණිමුවා ය. ග්‍රීවය ත් පිලු ත් එ සේ ම නිල් මිණිමුවා ය. තඹවන් තටු රිදීමුවා ය. පා සඟල ත් එසේ ම රිදීමුවා ය. ආභරණ ය පළන් කලට විශාඛාවන්ගේ ඉස් මුදුනෙහි පෙනෙන මොනරා රන් ගල් මුදුනෙක නටන මොනරකු මෙන් පෙනෙයි. තඹවන් තටු දහසේ හඬ දිව්‍ය ගීතිකා නාදයක් මෙන් ද පසඟතුරු හඬක් මෙන් ද ඇසෙයි. ළඟට ගිය කෙනෙක් ම ඌ ජීව මොනර නො වන නියාව දනිති. පළඳනාව රන් අගයෙන් නව කෙළක් අග්ගි. කළ මිල ලක්‍ෂයක් දුන්හ.

විශාඛාවෝ ඒ පළඳනාව කුමන පිනක් කොට ලද් දූ ද යත්- ඌ තුමූ කසුප් බුදුන් සමයෙහි විසි දහසක් රහතන්ට සිවුරට පිළී දන් දී ලා ගෙත්තම් කරන්ට හූ ඉදිකටුත් දුන්හ. කොට නිමි සිවුරු රඳන්ට විටියල ත් තමන් ගෙන් ම පසුන්හ. එහි අනුසසින් මේ මහලිය පළඳනාව ලත්හ. ගෑනු ව යම් කෙනෙක් අට පිරිකර දන් දුන්නු නම් මෙහෙල පළඳනාවෙන් ලෞකික සැපත් මුඳුන් පමුණු ව යි. පිරිමි ව දුන් අට පිරිකරෙහි විපාක බුදු කෙනෙකුන් වහන්සේ කරා පැමිණ ‘මහණෙනි, මෙ සේ එව’යි වදාළ බස් පමණින් ම පළන් ආභරණ හා හන් පිළී අතුරුධන් ව ඍද්ධිමය වූ තුන් සිවුරු පාත්‍ර පහළ වීමෙන් මුදුන් පමුණුවයි.

සිටාණෝ ද සාර මසක් විතරින් මඟුල් පෙරහර සරහා ලා දුවණියන්ට දායාද දෙන තැනැතෝ ගැල් පන් සියයෙක පුරා මසුරන් දුන්හ. රන් තළි රන් මණ්ඩා රන් මුණ්ඩම් ආදි වූ රන් වළන්වලින් පුරා ගැල් පන් සියයක් දුන්හ. රිදී තළි රිදී මණ්ඩා රිදී මුණ්ඩම් ආදි වූ රිදී වළන් පුරා ගැල් පන් සියයක් දුන්හ. තඹ සැළ තඹ කටාර ආදි වූ තඹ වළන් හා ලෝකඩ තළි මණ්ඩා මුණ්ඩම් ආදි වූ ලෝ වළන් පිරුනු ගැල් පන් සියයක් දුන්හ. සළු සොළී පිළී ආදි වූ නො එක් පිළියෙන් පිරුණු ගැල් පන් සියයකු ත් දුන්හ.

ගිතෙල් තල තෙල් ආදි වූ තෙල් කළවලින් හා තෙල් සැල වලින් පිරුණු ගැල් පන් සියයක් දුන්හ. හැල් සාල් පිරූ ගැල් පන්සියකු ත් දුන්හ. කැති හුදලු වෑ පොරෝ නියන් ආදී වූ යහාවුද ත් පිරූ ගැල් පන් සියයකු ත් දුන්හ. නඟුල් විය දඬු ආදි වූ සියල්ල ත් ගිය තැන ගෙවලට ඉල්වා නො යවුව මනා වේ දැ’යි එ පමණකු ත් දෙවූහ. උන් ගිය තැන නාවා, ඉස් සෝධ වා පිරිමැසුව මනා වේ දැ’යි පා මුඳු පාඩගම් නුරුවලා ආදිවූ ආභරණ ලා සැරහුණු කම්මිත්තන් එ කි එ කී රථයේ තුන් දෙනා ඔබාදීන් කම්මිත්තන් යෙළ දාසකු ත් පාවා දුන්හ.

ඉක් බිත්තෙන් සරක් දායාද දෙන සිටාණෝ මිනිසුන්ට විධාන කොට ‘කුඩා ගොවුදේ හිදි හැර ලා ගෙරි සරක් සැලසී සිටි විතර දන්නා පිණිස දිගින් තුන් ගවුවෙක. ගවුවකට බෙරක් ඔබාදීන් බෙර තුනක් අල්වා ගෙන සිටුව. පළලින් සම රියනින් එක් සිය සතළිස් රියනක් දිගින් තුන් ගවුවෙක. අතුරු හැර ලා දේවනාත බෙර අල්වා ගෙන සිටුව. දිගින් තුන් ගවුව ගොසින් පිරෙන තෙක් නො නවතව. පළලින් එක් සිය සතළිස් රියනින් වඩා යා නො දෙව. දිගින් තුන් ගවුව හා පළලින් එක් සිය සතළිස් රියන පිරුණු කල ගොවුද ඉදි ලව’යි විධාන කොට ලා එ ලෙස කළ කල්හි එ තෙක් තැන් පිරුණු ගෙරි සරක් දායාද කොට දුන්හ.

විශාඛාවන්ගේ කුශලානුභාවයෙන් රකිනා මිනිසුන් නැවතු ව ත් ඉදිවරු පැන ගෙන සැට දහසක් දෙනුන් හා සැට දහසක් ගොන්නු පැන වැගුරුණාවු ය. නවත් ව නවත්වා ත් එක් ලක්‍ෂ විසි දහසක් ගෙරි පැන වැගිරෙන්ට කළ පින් කවරේ ද යත්- වළක්ව වළක්වා ත් දුන් දනෙහි විපාකයෙන. විශාඛාවෝ වැළි ත් කසුප් බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන්ගේ දූන් සත් දෙනා ගෙන් හැම දෙනාට බාල සඞ්ඝදාසි නම් ව විසි දහසක් දෙනා වහන්සේට පස් ගෝ රස දන් දුන්නාහු වළක් ව වළක්වා ම දන් දුන්හ. ඊ අමුඛ්‍ය විපාකයෙන් ගෙරි සරකු ත් නවත් ව නවත්වා ම පැන වැගුරුණාහු ය.

සිටාණන් මෙ තෙක් දායාද දුන් කල්හි සිටු දියණියෝ ‘මුඹ වන්නා සම්පත් මුඛ්‍ය ව ඇති හෙයින් මෙ තෙක් දෑ දුන්නේ වේ ද? ගිය තැන තුමූ තමන්ට මෙහෙ කොට ගෙන කත් ද? කෙලී කොල්ලන් නුදුන්නේ හැයි දැ’යි විචාළෝ ය. ඒ අසා සිටාණෝ ‘නො දෙන නියා නො වෙයි. හිත පක්‍ෂයන් දන්නා පිණිස ය. මම උන් ලා කැටි ව නො යන කෙනකුන් බලයෙනුත් නො යවමි. යන කෙනකුන් රඳවන්නෙ ත් නැත. මුන් නික්මුණු කල මුන් හා කැටි ව යනු කැමති කෙනකුන් ගිය මැනවැ යි විධාන කොට ලමි. යනු කැමැති කෙනෙක් එක බසින් ම නික්මෙති. උන් හිත පක්‍ෂ නියාව දැනෙයි. යමෙක් එ සේ කියා ත් නො ගියවු නම් උන් අහිත අපක්‍ෂ නියාව දැනෙයි. අහිතයන් අපක්‍ෂයන් යවා ත් ප්‍රයෝජන නැති බැවින් මුන් මුන් දෙමි’ යි නියමයක් නො කළ නියාව කිවු ය.

කියා ලා සෙට වෙනි දවස් සරණ නික්මෙති යන කලට ම අද දවස් ම ගබඩාවලට කැඳවා ලා ‘හෙම්බා පුත, සරණ ගොසින් රැකෙන්නවුන් විසින් මෙ ලෙස කළ මැනැවැ’යි දුවණියන්ට මාලු කම් කිවු ය. මිගාර සිටාණෝ ද ආසන්න ගබඩාවෙක හුන් තැනැත්තෝ ධනඤ්ජය සිටාණන් දුවණියනට කියන මාලු කම් ඇසූහ. උයි ත් අවවා ද කරණ තැනැත්තෝ ‘පුත, නැඳිමයින්ගේ ගෙයි රඳා හිඳිනා කල නම් ඇතුළෙන් ගිනි පිටතට ත් නො දිය යුත්තේ ය. පිටතින් ගිනි ඇතුළට ත් නොගත යුත්තේ ය. දෙන්නවුන්ට ම දිය යුත්තේ ය. නො දෙන්නවුන්ට නො දිය යුත්තේ ය. දෙන්නවුන්ට ත් නො දෙන්නවුන්ට ත් දිය යුත්තේ ය. සුවයෙන් හින්ද යුතු ය. සුව සේ අනුභව කට යුතු ය. සුව සේ වැද හොත යුතු ය. ගිනි පිරිමැසි ය යුතු ය. ඇතුළත දෙවියෝ වැන්ද යුත්තාහු ය’යි මේ මාලු කම් දස ය කියා ලා දෙ වන දවස් කැටි ව යන්නවුන් රැස් කරවා රාජ පර්‍ෂද් මධ්‍යයෙහි කෙලෙඹි පුත්‍රයන් අට දෙනෙකුට-

‘ඉදින් ගිය තැන නුවණින් මුහුකුරා සිටියත් වයසින් බාල දරුවන්ගේ වරදෙක් පෙණිනි. නමුත් තොප අට දෙනා ඒ විචාරන්නට වුව මැනැවැ’යි කියා ලා නව කෙලක් අගනා මහලිය පලඳනා වෙන් දුවණියන් සරහා ලා ඇඟ උළන්ට කසා සුණු හැර ගන්නා පිණිස සිවු පනස් කෙළක් වස්තු දෙවා ලා විශාඛාවන් සැවැත් නුවරට යන්ට රථයට නැඟි කලට සාකෙත නුවර තමන් සන්තක මහතින් ලක්දිව අනුරාධපුර නුවර සා බත්ගම් තුදු සේ හිඳිනා පරිවාරයට ම දුන් හා කැටි ව යනු කැමැති කෙනකුන් ගිය මැනැවැ’යි විධාන කළහ. ඔහු හැම දෙන ඒ අසා සිටාණන්ගේ විධානයට ත් වඩා විශාඛාවන්ගේ කුශල කර්‍ම විධාන ය බලවත් හෙයින් ආදි ම යනු කැමැත්තාහු ගම් තුදුසෙහි කිසි කෙනෙකුන් නො රඳා නික්මුණවු ය. පින් කම් කරණ කල සමාදන් කැර වූ නියාවට තව ඌ බොහෝ නො වෙති.

ධනඤ්ජය සිටාණෝ ද කොසොල් රජ්ජුරුවන්ට හා මිගාර සිටාණන්ට ආදි නො කළ සේම සත්කාර සම්මාන කොට මඳ තැනක් පසු ගමන් කොට ගොසින් දුවණියන් නික්මවා ලා තුමූ රැඳුණවු ය. මිගාර සිටාණෝ ද හැමට පස්සේ යන්නෝ රැසක් පිරිසක් සේ පස්සෙහි එන බොහෝ දෙනා දැක ‘මූ හැම කවුරු යි විචාරා ‘යේළණියන්දෑගේ දායාද වහලැ’යි කී කල්හි කළ පින් ලෙසට සම්භව වූ පටු අදහස හෙයින් ‘මෙ තෙක් දෙනාට බත් කොයින් ද? මරා තළා රඳවව. අර්ථිව එන කෙනකුන්ට එන්ට ය’යි විධාන කළහ.

යම් සේ රජ දරුවෝ කෙතෙක් රට ලද ත් බොහෝ ය යි නො සිතත් ද, මුහුද කප මුළුල්ලෙහි කෙතෙක් ගං වන ත් උතුරුවා නො පියා ද, ගිනි කෙතෙක් දර වුව ත් නො හරී ද එ මෙන් විශාඛාවෝ ත් තමන් උදාරතර අදහස් ඇති බැවින් ‘උන් නො වළකව. සොයා උපයා වුවත් බැළ මේ කොට ආයු පමණින් ජීවත් වුවමනා හෙයින් තුමූ ම තමන්ට බත් සොයා ගනිති’ කිවු ය. එ සේ කීව ත් මිගාර සිටාණෝ ‘යේළිනි, මෙ තෙක් දෙනා ගෙන් ප්‍රයෝජන නැත. තෙපි තත්පර නොව’යි කියා ලා නො රඳන හෙයින් මරා තළා රඳවා පියා තමන් අදහස් විතරක් කැඳවා ගෙන නික්මුණවු ය.

විශාඛාවෝ සැවැත් නුවර වාසල කරා ගිය කලට දෝළි කූනම් ආදි වූ වාහනයෙන් යෙම් දෝ හෝ නොහොත් රථයෙන් යෙම් දෝ හෝ යි සිතූහ. ‘ඉදින් දෝළි ආදියෙන් යෙම් නම් මහලිය පළඳනාවේ බලවත නුවර වැස්සන්ට පෙනෙන්ට නැතැ’යි අධිගත ගුණ විශේෂ ය හඟවන්ට මැළි වුවත් ආභරණ ශෝභාව හඟවනු පිණිස රථයකින් නුවර ඇතුළට වන්හ. සැවැත් නුවර ඇත්තෝ මහලිය පළඳනාවෙන් ඉතා හොබනා රුවක් ඇති ලොවි ලොවුතුරා ගුණ විශේෂයෙන් හැනී අති පවිත්‍ර වූ සිත් ඇති විශාඛාවන් දැක සාකෙන නුවර දී ඒ තරමුන් දැක්ම නියම නැති හෙයින් ‘විශාඛාවන් නම් පරසතු රුක ශාඛාවක් සේ මුන්දෑ ද ? මුන්දෑගේ රූප ශෝභාව මුන්දෑට ම තරමැ’ යි ආ වැඩූහ. මෙසේ මහ පෙරහරින් මිගාර සිටාණන් ගේ ගෙට සුදු වලා ගබකට වදනා විදුලියක් මෙන් වන්හ.

ගිය දවස් ම සියලු නුවර ඇත්තෝ ‘ධනඤ්ජය සිටාණන් දෑ තරමුන්ගේ නුවරට ගිය ගමනේ අප හැමට බොහෝ සාද කළ සේකැ’ යි බල පමණින් මඟුල් පඬුරු දුන්හ. විශාඛාවෝ ද එ සේ ලත් පඬුරු එක් කොට නො තබා මුන් ගෙන් එවා ලූ දෙය තුලුන්ට යවා, තුලුන් ගෙන් එවාලූ දෙය මුන්ට යවා, යවන ගම නෙත් තරමුන්ගේ තරම් ලෙසට තෙල ‘අපගේ මෑණියන්දෑට දෙව, තෙල අප ගේ පියාණන්දෑට දෙව, තෙල අප ගේ බෑණන්දෑට දෙව, තෙල අප ගේ බූනණියන්ට දෙව, තෙල අප ගේ මලණුවන්දෑට දෙව, නැඟණියන්දෑට දෙව’යි පඬුරු ගෙන්වා ගෙන ගියවුන් ගෙන් ම තරම් විචාරා දැන ප්‍රිය තෙපුලෙන් ම සිත් ගෙන ගිය දවස් ම නුවර වැස්සන් නෑයන් සියන් මෙන් කොට ගත්හ.

ගිය දවස් රෑ ම එ ගෙයි වෙළඹක් වදා පුව. විශාඛාවෝ කෙල්ලන් ලවා දඬු වැට පහන් ගෙන්වා ගෙන එ තැනට ගොසින් වැදූ වෙළඹ හුණු පැනින් නාවා පියා ඇඟ තල තෙල් ගල්වා ලා සැතපෙන ගෙට ම ගියහ.

මිගාර සිටාණෝ ද පුතණුවන්ට විවා මඟුල් කරණ තැනැත්තෝ ආසන්න විහාරේ වැඩ හිඳිනා බුදුන් තබා ලා ගිනි තිබිය දී කනමැදිරියන් පිඹිනා සේ, මැණික් තිබිය දී බොරලු අවුළන්නා සේ, පාපයෙහි භය ලජ්ජා නැති ලෙස පිළී නො හැඳීමෙන් ම හඟවන නිවටුන් කෙරෙහි තමන් බලවත් භක්ති ඇති හෙයින් ‘මේ මඟුලේ අපගේ රහතන්ට ත් උපස්ථානයක් කෙරෙ මි’යි එක් දවසක් නො එක් සිය ගණන් අලුත් සැළවල පැන් නුමුසු කිරිබත් පිසවා පන් සියයක් නිවටුන් පවරා ගෙට ගෙන්වා ගෙන අපගේ යේළණියන් අවුත් රහතන් වැන්ද මැනැවැ’යි විශාඛාවන්ට කියා යවූ ය.

විශාඛාවෝ ද තමන් මාර්‍ග ගත අචල ශ්‍රද්ධාවෙහි පිහිටි හෙයින් රහතන් වහන්සේ ය යි කියන බස අසා ම බලවත් සතුටු ව උන් බත් කන තැනට අවුත්, දඩයම් බලු මුළක් රැස්ව වැඩ හිඳ තළා සපා බත් කන්නා සේ නො සන්හුන් සැටි යෙන් වැද හිඳ බත් කන්නවුන් දැක ‘විළියක් ලජ්ජාවක් නැති මෙ සේ වුන් ළඟට අප වැන්නවුන් කැඳවා එවන්ට අපගේ තරම නො දත් නියා වේ ද, අනිස’ය යි කියා ගෙන තමන් වසන තැනට ම ගියහ.

නිවටෝ ද ඒ දැක බලු මුළක් බුරා වන්නා සේ එක විට ම සිටාණන්ට දොඩා වැද ගියාහු ‘කුමක් ද, සිටාණෙනි, මේ සා මහත් රටින් තොපගේ පුතණුවන්ට නිසි කෙනකුන් නැති හෙයින්ද, මහණ ගොයුම් හට පක්‍ෂ ව හිඳිනා මේ කාලකණ්ණි කෙල්ල ගෙනායේ? තොපගේ පුතණුවන්ට යහපතක් වුව මනා වී නම් තෙල කාලකණ්ණිය වහා මෙ ගෙන් නෙරැ’යි කිවුය. සිටාණෝ ඒ අසා ‘මූ මහා පෝසතුන්ගේ දරුවෝ ය. මෙ පමණකට නෙරපීම යුක්ත නො වෙ’යි සිතා කියන්නාහු ‘බාලයෝ නම් කට යුතු නොදන්නෝ වේ ද? මුඹ වහන්සේ ලා ක්‍ෂමාකරණ පක්‍ෂයේ හෙයින් ක්‍ෂමා කළ මැනැවැ’යි කියා උන් යවා පියා මාහැඟි කොට අතුළ හස්නෙක වැද හිඳ රන් තළියෙක ලවා ගෙන පැන් නුමුසු කිරි බත් කති. එ වේලෙහි එක් තෙර කෙනකුන් වහන්සේ ගෙ පිළිවෙළින් සිඟන සේක් එයි ත් ගෙයක් වන්නා ඊට ත් සිඟා වැඩි සේක.

විශාඛාවෝ ද බත් කන මයිලණුවන්ට පත් සල සලා සිටියෝ “දොර වහන්දෑ ය’යි කීම යුක්ත නො වන්නේ වේ දැ”යි යම් ලෙසකින් තෙරුන් වහන්සේ දකි ත් නම් එ ලෙසට ඉවත් ව ලා සිටියෝ ය. සිටාණෝ තුමූ තෙරුන් වහන්සේ දැක ත් කෑමෙහි ලෝභයක් මුත් පිනෙක ලෝභයක් නැති හෙයින් නුදුටු බඳු වලා කරබා ගෙන හිඳ කති. විශාඛාවෝ ද, ඒ බව දැන ලා ‘ස්වාමීනි, අනික් ගෙවලකට සිඟා වඩනා බව ය. අපගේ මයිලණුවන් වහන්සේ පුරාණ ය අනුභව කරණ සේකැ’යි කිවු ය.

සිටාණෝ නිවටුන් ගෙන් නෙරනට විධාන කළත් ඉවසාහුන් තැනැත්තෝ කියා ලූ බසෙයි සාරාර්ථය දැන ගත නො හී දුෂ්ටාර්ථයක් සිතා ගෙන බතින් අත ඔසවා ගෙන ‘තෙල තළියේ බතු ත් ඉවත් කරව. මේ නියා මඟුල් දවසෙක මා අනුභව කරණ බත අශුචි නො වන තෙක් ම අශුචි කොට කිය’යි. අප වැන්නනු ත් තමා අශුචි කන්නවුන් කෙරේ ද, තෙලුන් මේ ගෙන් නෙරුව’යි විධාන කළහ.

උන් එසේ කීව ත් තැන සිටිනවුන් විශාඛාවන් සන්තක මිනිසුන් ම හෙයින් කවර නම් කෙනෙක් උරණ ව ලා උන් ඇඟ අල්වත්ද? විශාඛාවෝ ද මයිලණුවන්ගේ කථාව නිස්සාර වුවත් තමන් සාර භාව හෙයින් කියා ලූ බසට ම නො ඉගිළ ‘අප තමා පැනට ආ කළ මිඬියන් ගෙනෙන්නා සේ ගෙනා ගමනක් නො වන හෙයින් තෙල විතරකින් නැඟී නො යම්හ. මවු පියන් නැති කෙනකුන් මුත් මවු පියන් ඇත්තෝ කියාලූ බසට ම නැඟී නොයෙති. අපගේ පියාණන් වහන්සේත් මා මුඹ එවන ගමනේ ගිය තැන වරදක් පෙණිනි. නමුත් විචාරා ලවයි කෙළෙඹි පුත්‍රයන් අට දෙනකු මෙ බඳු කට යුතු නිසා ම එවූ සේක් වේ ද? උන් කැඳවා ලා අපගේ වරදෙක් ඇත් නම් විචාළ මැනැවැ’යි කිවු ය.

සිටාණෝ ත් මුන් කියන්නේ කට යුතු යයි තමන්ගේ කාර්‍ය්‍ය ශක්ති ය නැත ත් වෙළෙවි නොවන හෙයින් කෙළෙඹියන් අට දෙනා ගෙන්වා ලා ‘එම්බා, මේ දරුවෝ අද මා බත් කන ගමනේ පත සල සලා සිටි තැනැත්තෝ පැන් නුමුසු කිරි බත් කන මා අශුචි කතී කිවු ය. තෙලේ උත්තුඞ්ග දෝෂ වේ ද, තෙමේ වරද ඇති නියාව ගිවිස්වා ලා මෙ ගෙන් නෙරුව’යි කිවු ය. උයි ත් ඒ අසා සැබෑ දැ යි විචාරා “මුන්දෑ සිතූ ලෙසට මා සිතා කීයේ නැත. එක් තෙර කෙනෙකුන් වහන්සේ දොරකඩ සිඟා සිටියදී පාත්‍ර ය හැර ගන්ට වේව යි බත් පිළිගන්වන්ට වේව යි නො කියා කරබා ගෙන හිඳ කන බත් ම කන දෙස මා බලා සිට පියා ‘අපගේ මයිලණුවන් වහන්සේ පර ලොව නිසා මෙ ලොව පින්කමක් නො කරන සේක. පෙර කළ පිණින් ලද දෙය ම අනුභව කරන සේකැ’යි සිතා පුරාණ’ කුශලය සලකා එසේ කීමි. ඊ වරද කවරේ දැ’යි කිවු ය.

කෙළෙඹි පුත්‍රයෝ ඒ අසා ‘එක අර්ථයට නො එක් ශබ්ද ඇති හෙයිනු ත්, එක ශබ්දයෙන් නො එක් අර්ථ ප්‍රකාශ වන හෙයිනු ත් තෙල අර්ථය ත් තෙල බස ඇති හෙයින් එම සලකා කී පසු අපගේ දරුවන් ගෙන් වරද කවරේ දැ’යි විචාළෝ ය. ‘වන්නාට ය. ඒ වන්නා මම් ම සිතා වරදවා පීමි. තව ත් දත් දෙයෙක් ඇත. මූ එක් දවසක් මධ්‍යම රාත්‍රි වේලේ කෙල්ලන් විටක් පිරිවරා ගෙන ගෙ පිටි පස්සට ගියෝ ය. අපට කියා ලා ගිය ගමනක් නොවන හෙයින් අපි මුන් කුමට ගිය බව ත් නො දනුම්හ’යි චූලනී රජ්ජුරුවන් කේවට්ටයන්ගේ වරද කියන ගමනේ ‘ඇස් ගෙඩි දල්වා ගෙන බලතී’ කීවා සේම උන් නො වරදවා කළ ත් තුමූ ම වරදවා සිතා ගෙන එයිත් වරදක් කොට කිවුය.

‘ඒ කුමක් දැ’යි කෙළෙඹියන් විචාළ කල්හි ‘අනික් අකාරියෙක මා ගිය ගමනෙක් නො වෙයි. ‘මෙ ගෙයි වෙලඹක් එදා රෑ වදාපුව. මෙහෙ ත් ඒ දන්නා කෙනකුන් නැති හෙයින් මාත් නොදත් කල නපුරැ යි කෙල්ලන් ලවා දඬු වැට පාන් ගෙන්වා ගෙන වැදූ වෙළඹට කළමනා දෙය කෙළෙමි. වරදෙක් ඇත්නම් කිව මැනවැ’යි කිවු ය. ඒ අසා කෙළෙඹියෝ ‘හැයි. වහන්ස, අපගේ දරුවන් මෙ තරම් තරමෙක සිට ත් මුඹ ගෙයි කොල්ලනු ත් නො කරණ නිකෘෂ්ට කටයුත්ත කළාට යම් වරදක් වතොත් මුත් සෙසු වරද කවරේ දැ’යි ඒ වරදත් සිටාණන් කෙරේ ම ලූ ය.

ඊට ත් කිය හැකි උත්තර නැති ව ‘එයි ත් නිවරද නියාවට ගිවිස්සම්හ. මුන්ගේ පියාණෝ මුන් එන ගමනේ අග ත් මුල ත් නො කියා මාලුකම් දසයක් සඟවා කිවු ය. මුනුත් ඒ විභාග කොට නො විචාළ හෙයින් කුමට කියාලූ බවත් නො දනිමි. ඊ අභිප්‍රාය ත් අපට කියන්ට වුව මැනව. ආදි කොට ම ‘ඇතුළත ගිනි පිටතට නොහළ යුතු ය’යි කිවු ය. උන් එ සේ කීවත් ඉක්බිති ගෙවල ඇත්තවුන් ගිනි සොයා ආ කල තමාගේ ගෙයි ගිනි ඇති ව එයි ත් වස්තුවක් සේ නො දෙන්ට පිළිවන් දැ”යි කිවු ය. කෙළෙඹියෝ ‘ඒ කිම් දැ’යි විචාළෝ ය. අපගේ පියාණන් වහන්සේ මෙ තෙක් සම්පත් දෙන දෑ ගිනි නො දෙන්ට කුමකට කියන සේක්ද? මා දැනගත හෙන හෙයින් සඟවා කියා ලූ බව මුත් ගිනි නො දෙන්ට කී දෙයෙක් නොවෙයි. ‘හෙම්බා පුත, තොප ගේ නැඳි මයිලන්ගේ වේව යි, සමණන්ගේ වේව යි නුගුණයක් දැක පිටත ඒ ඒ තැන නො කියව. කේළමට වඩා ගින්නෙක් නැතැ යි මේ සඳහා කී සේකැ’යි කිවු ය.

‘මා සිතා ගත නුහුණු පමණක් මුත් ඒ එසේම ය. ඒ එ ලෙසට ම ගිවිසීමි. මුන්ගේ පියාණෝ පිටතින් ගිනි ඇතුළට ගෙනා යුතු නො වෙයි කිවු ය. තමාගේ ගෙයි ගිනි නිවී ගිය විටෙක පිටතින් ගිනි නො ගෙනෙන්නට පිළිවන් දැ’යි කිවු ය. ‘තෙලෙ කිම් දැ’යි කෙළෙඹියන් විචාළ කල්හි ‘අපගේ පියාණන් වහන්සේ තෙලෙ මෙ තෙක්ම වී නම් අපට ම තෝරා ලා කියන සේක් ද? කැටි ව එන්නවුන්ට කීව ත් පමණ ම වේද? උන් වහන්සේ කී යේ ‘හෙම්බා පුත, ඉක්බිති ගෙවල ඇත්තෝ තොප ගේ නැදි මයිලන් ගේ ත් සමණන්ගේ ත් නුගුණයක් කිවු නම් උන් කී දෙය සිත තබාගෙන අවුදින් බිඳුවන නිසා වේව යි යමක් ලබනු නිසා වේව යි නො කියව. එසේ කිවු නම් පිටතින් ගිනි ඇතුළේ ලූ නියා ය. තෙල පිටත නුගුණ ඇතුළට කියන ගින්නට වඩනා ගින්නෙක් නැතැ යි’ මේ සඳහා කී සේකැ” කිවු ය.

තෙල විතරකින් ම ඔබ නො විචාරා තබා පුව මනා තැන තමන්ගේ නො පණ්ඩිත කම ත් හඟවා ‘බොහෝ දෙය කී කලට වරදෙක් සම්භ වේ නමුත් ය’ යි තෙලෙ ත් නිවරද ගිවිස්සම්හ. මුන්ගේ පියාණෝ ‘දෙන්නවුන්ට ම දිය යුතු ය’යි කිවුය. කෙලි කොල්ලන්ට දෙන දෙයක උන් ගෙන් යමක් ලැබ දුන මනා ද? ඒ කිම් දැ” යි විචාළෝ ය. කෙළෙඹියෝ ඒ අසා ඒ කුමක් දැ යි විචාළෝ ය. “අප ගේ පියාණන් වහන්සේත් තෙල ලෙස කියා ලූයේ ‘යම් කෙනෙක්, පුත, තොපගෙන් ණයක් ගනිත් නම් පරීක්‍ෂා කොට ලා පෙරළා දී ලිය හෙන කෙනකුන්ට දිය යුතු ය. ණය දීමෙන් වන වියවුල් මහතැ’ යි මේ නිසා කී සේකැ” යි කිවු ය.

‘නො දෙන්නවුන්ට නො දිය යුතු ය’යි කීවෝ වේද ඒ කුමක් නිසා දෑ” යි විචාළ කල්හි ‘හැර ගන්නා කල නො එක් පයිලි කම් කියා හැර ගෙන දිය යුතු අවස්ථාවෙහි නො එක් වඤ්චා ලෙසින් නො දෙත් නම් එසේ වූවන්ට දීලූ කල තමා ගේ වස්තුව ත් නස්සි. හිත මිත්‍ර කම ත් නස්සී. එ සේ වූවන්ට නො දීමෙන් වන හානි නැතැ යි මේ සඳහා කී සේකැ’යි කිවු ය.

“දෙන්නවුන්ට ත් නො දෙන්නවුන්ට ත් දිය යුතු ය’යි කිවු ය. දෙන්නවුන්ට දිය යුතු ය යි යන භාව ය විසඳා කියා ලූ හෙයින් ඒ ගිවිසුම්හ. ‘නො දෙන්නවුන්ට නො දිය යුතු ය’යි ආදි කියා ලා දැන් ‘නො දෙන්නවුන්ට ත් දිය යුතු ය’ යි කී කල ඒ ගිවිස්නේ කෙසේ ද? එයි ත් කියන්ට වුව මැනැව”යි කිවු ය. ‘ඒ කියා ලූයේ දුක් පත් ව පියා නෑයන් – සියන් තමා කරා ආ කල උන් දී ලිය හෙය කිම – නො හොත් කිම? උන්ට දියයුතු ම ය යනු සඳහා කී සේකැ’යි කිවු ය.

“වන්නාට එයිත් කාරණය. ‘සුව සේ හින්ද යුතුය’යි මුන්ගේ පියාණෝ කිවු ය. හැම දවස් ම ආසන පනවා තිබෙන්ට නැත. ඒ කෙ සේ දැ” යි විවාළ කල්හි එයි ත් තෙල ලෙසට සිතා කී දෙයක් නොවෙයි. නැඳි මයිලනු ත් සමණනු ත් දුටු කල නො ඉගිළී ම හිඳිනා ලෙසට කී නියා ය. උන් හැම දුටු කල ඉගිළෙතොත් ඒ සුව සේ හුන් නියා නම් නො වන්නේ වේ දැ’ යි කිවු ය.

“එයි ත් යුක්ති ය. එයි ත් ගිවිසුම්හ. ‘සුව සේ කෑ යුතු ය’යි කිවු ය. රජ දරුවන්ට පවා කිසි කලෙක බත් මුට්ටු ය. එ සේ වන්නා හැම දා ම සුව සේ කන්නේ කෙ සේ දැ”යි විචාළෝ ය. “එයි ත් තෙල සිතා ගත් ලෙසට ඔබ කීයේ නැත. ‘හෙම්බා පුත බත් කන කල නැඳි මයිලනු ත් සමණනු ත් බත් කවා ලා තව ත් බත් ලද්දවුන් නො ලද්දවුන් විචාරා එයි ත් පිරිමසා ලා පසු ව තමා වැද හිඳ කතො ත් සුව සේ කෑවා නම් වෙයි” කියා මේ සඳහා කී සේකැ” යි කිවු ය.

එයි ත් ගිවිස ලා “සුව සේ වැද හොත යුතු ය’යි කිවු ය. හැම දවස් ම යාන් පනවා තිබේ ද? ඒ කිම් දැ” යි විචාළෝ ය. “එයි ත් තෙල ලෙස සිතා නො වෙයි. ‘හෙම්බා පුත, බත කා ලා හැම දෙනාට පෙරාතු හැඳට නැඟී ලා වැද හොත යුතු නො වෙයි. නැඳි මයිලන්ට ත් සමණන්ට ත් කළ මනා සිරිත් කොට ලා තමා පසු ව වැදහොත යුතු ය’ යනු සඳහා කී සේකැ” යි කිවු ය. එයි ත් ගිවිස නැවත ‘ගිනි පිරිමැසිය යුතු ය යි කිවු ය. හැම දවස්හි ම ගිනි නො නිවා තබා ගන්නා සේරු නැත. ඒ කෙ සේ දැ’යි විචාළ කල්හි ‘මුඹ දැනගත නො හෙන්නාට කුමක් කරමෝ ද? නැඳි මයිලනු ත්, රක්‍ෂා කළ ස්වාමීහු ත් ගිනි කඳක් මෙන් ද සර්පයන් මෙන් ද දැක්ක යුතු ය යි මේ සඳහා කී සේකැ’යි කිවු ය.

කියන යම් දෙයක් ම සකාරණකොට කියා ලූ හෙයින් එයි ත් ගිවිස ලා ‘‛ඇතුළත දෙවියෝ වැන්ද යුත්තාහ’යි කිවු ය. විෂ්ණු ඊශ්වරාදී දෙවියන් ළං කොට තබා ගන්ට ත් පිළිවන් ද? ඒ කෙසේ දැ යි විචාළ කල්හි ‘පින් පමණ නුවණ ය’ යනු ව්‍යවහාර හෙයින් බොහෝ සේ පින් ඇත්තවුන්ට නුවණකු ත් ඇත. වඩා නැත ත් මෙ පමණක් දන්නා නුවණ නැති වන්ට කාරණ කිම ද? එබඳු පිනක් නො කළ හෙයින් ස්වාභාවික නුවණ ත් සත් පුරුෂොපාශ්‍රයෙක් ඇත් නම් උන් හා කථා ව නිසා ඇති වන ශ්‍රැතමය ප්‍රඥාත් ඇත්තේ වේ ද ? එයි ත් නැත්තේ සත් පුරුෂොපාශ්‍රය ත් නැති නියා වේ ද? අවවාද දසයෙන් නවයෙක අර්‍ථ කියා ලූ බැවින් දස වන අවවාදයේ අර්ථ ත් අප ම කීවො ත් මුත් කියා ලූ දෙයෙහි එල්බ තදුපදෙශයෙන් දත නොහෙන පසු කියා ම සිතට නං වම්හ. ‘ඇතුළත දෙවතාවෝ ය යි නැඳී මයිලන් හා සමණන් හා දේවතාවන් ලෙස තැකි ය යුතුය’යි මේ සඳහා කී සේකැ”යි කිවු ය.

මිගාර සිටාණෝ ද මේ අවවාද දශයේ අර්‍ථ අසා පියා අනික් කියා ලියා හැකි වරදක් නැති ව වරද කොට සිතා ගත හැකි නිවරදකුත් නැති ව සිරිමන්‍ද ප්‍රශ්න ය උගත් විතරක් කියා නිමවා පියා කිය යුතු උත්තර නැති ව සේනක පණ්ඩිතයන් හුන්නා සේ ම කර බා ගෙන හුන් භ.

කෙළෙඹි පුත්‍රයෝ අට දෙන ‛කුමක්ද, සිටාණෙනි, තව ත් අප ගේ දරුවන්ගේ වරදක් ඇත් දැ’යි විචාරා නැතැ යි කී කල්හි ‘එ සේ කල නිවරද තැනැත්තවුන් ගෙන් නෙරනට කාරණ කිම්දැ’ යි විචාළෝ ය. විශාඛාවෝ එ විට කියන්නෝ, මම මුන් වහන්සේ යන්ට කී වීට ම නික්මිණිම් නම් හික්මුණු නියාව නොවන්නේ වේද? අපගේ පියාණන් වහන්සේ ත් මුඹ අට දෙන මා හා කැටිව මොබ එවා ලූයේ මෙ ම නිසා වේද ? විචාරා නිවරද නියාව ත් දන්නෝ ඇත්තෝ වේ ද, ආදි යන්ට ත් යුක්ති නො වෙයි. දැන් රැඳෙන්ට ත් යුක්ති නො වෙයි. එ සේ හෙයින් ගිය මැනැවැ’යි මිනිසුන්ට යාන වාහන සරහා ගමනාරම්භ කරව’ යි විධාන කළහ.

මිගාර සිටාණෝ ද ඒ කෙළෙඹියන් සහාය කොට ගෙන “යේළි, මා නොසලකා කියාපි දෙයට ක්‍ෂමා කරව. මා මෙ ලෙස ක්‍රියා කොට ත් තොප ගේ ඥාන ශක්තියම වේද ප්‍රකාශ වූ යේය’යි කිවු ය. විශාඛාවෝ ඒ අසා ‘මා ගේ අක්‍ෂමාවක් නැති හෙයින් ක්‍ෂමා කෙරෙමි. මම වැළි ත් බුදු සස්නෙහි තර ව පැහැද හිඳිනා කුලවලට දරු මුනුබුරු වීමි. එ සේ හෙයින් තුනුරුවණින් වෙන්ව විසිය නො හෙමි. මහලිය පළඳනාවේ මෙ තෙක් රුවන් විතර ට ත් මට ප්‍රිය නම් බුද්ධාදි වූ රුවන් තුන ම ය. ඉදින් මා ගේ අදහස් ලෙසින් බුදු පාමොක් සඟනට උපස්ථාන කට හෙම් නම් රඳමි’යි කිවු ය. සිටාණෝ එ වකට තමන් සැදෑ නැත ත් විශාඛා වන්ගේ රැඳීම නිසා ‘මුඹ රුචි ලෙස මුඹගේ රහතන්ට උපස්ථාන කරන්නැ”යි කිවු ය.

විශාඛාවෝ බුදුන්ට ආරාධනා කරවා දෙ වන දවස් තමන්ගේ මාළිගාවට වළඳන්ට වඩා ගෙන්වු ය. නිවටෝ ද බුදුන් මිගාර සිටාණන්ගේ ගෙට සිඟා වඩනා නියා ව අසා ගොසින් ගෙය වට කොට ගෙන හුන්හ. විශාඛාවෝ ද බුදුන් අතට පැන් වඩා ලා ‘දන් සපයා ලීමි. අවුත් වළඳන බව ය’යි මයිලණුවන්ට කියා යවු ය. උන් යන්නවුන් නිවටෝ යා නු දුන්හ. තමන්ගේ ගමනට බාධා වූ හෙයින් ‘අපගේ යේළණියන්ට තමන් ම වළඳවන්ට කියව’යි විධාන කොට යවූහ.

විශාඛාවෝ ද කසුප් බුදුන් සමයෙහි විසි දහසක් දෙනා වහන්සේ වළඳවා පුරුදු හෙයින් වළඳවන සේ දන්නා බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වළඳවාලා වළඳා අන්තයෙහි බත් වළඳ වන්ට නො ආවත් දහම් රස වළඳන්ට තමන් දෑ අව මැනවැ’ යි කියා යවූහ. සිටාණෝ ද ‘දෙ විටක් කැඳවා ත් නො යාම යුක්ති නොවෙ’යි නික්මුණවු ය. නිවටෝ නැවත ත් රඳවා ලා නොනැවත යන හෙයින් ‘ගිය නමුත් මහණ ගොයුම්හු ළඟට නො ගොස් තිරයෙන් පිටත හිඳ අසව’යි කියා ලා පෙරාතු පලා ගොසින් බුදුන්ට අවුරා තිරයක් බැඳ ගත්හ. උයිත් ගොසින් නිවටුන්ගේ බස් නො කරණ තරමක් තව නුවූ හෙයින් පිටත හුන්හ.

බුදුහු ‘තෙපි තිරයෙන් පිටත වුව ත් හිඳුව. පවුරකින් පිටත වුවත් හිඳුව. පර්වතයෙකින් පිටත වුවත් හිඳුව. මේ සක්වළ හැර ලා පිළිවන් වී නම් පලා ගොසින් අනික් සක් වළෙක වුව ත් හිඳුව. මෙ ලොව බුදු කෙනෙක් වෙත් නම් මම්ම ය. අනික් බුදු කෙනෙක් නැත, තොප කොයි හුන ත් අස්වා බණ කියා ලන්ට මට පිළිවනැ’යි සිතා වදාරා මුල පටන් කඳ වෙළෙප් තේරුණු තැනට ගවු දෙ සියක් උස ඇති, එ තැන පටන් අතු අගට ගවු දෙ සියයක් උස ඇති එක් කොට සාර සියයක් ගවු විතර උස ඇති, නැඟෙන හිර අතු අග පටන් බස්නාහිර අතු අගට සාර සියයක් ගවු පමණ වු, දකුණු දිග අතු අග පටන් උතුරු දිග අතු අගට සාර සියයක් ගවු පමණ වූ, වටින් එක් දහස් දෙ සියයක් පමණ ගවු වට ඇති දඹ ගස අල්වා ගෙන සොල්වා දඹ වගුරුවන කෙනකුන් මෙන් ද, අමා වැස්සක් වස්වන කෙනකුන් මෙන් ද, බණ දෙසන්ට පටන් ගත් සේක. බුදුවරුන් වහන්සේ බණ දෙසන කල-

“සද්ධම්ම දෙසනාකාලෙ - පිට්ඨිභාගාදිනිස්සිතා,

පුණ්ණචන්‍දං ව ගගනෙ – මුඛං පස්සන්ති සත්‍ථුනො.”

යනු හෙයින් ඉදිරියෙහි සිටියාහු ත් පස්සෙහි සිටියාහු ත් දෙ ඇළයෙහි සිටියාහු ත් සිය ගණන්, දහස් ගණන්, ලක්‍ෂ ගණන් සක්වළවලින් ඈත සිටියාහු ත් උඩින් අකණිටා බඹ ලොව සිටියා හු ත්, ‘බුදුදු මා මූණ බලා මට ම බණ වදාරණ සේකැ’යි වෙන වෙනම කියති. නොදැක නොබලා බුද්ධානුභාවයෙන් කියන්නෝ නො වෙති. බුදුහු උන් උන් ම මූණ බලන්නා සේ උන් උන් හා කථා කරන්නා සේ වන සේක.

බුදුහු නම් සඳ වැනි සේක. යම් සේ සඳ අහස් මැදට පැමිණියේ කොතැනක සිටියවුන්ට ත් මධ්‍යවම පෙනේද, එපරිද්දෙන් බුදුවරහුත් කොයි සිටියවුන්ට ත් අභිමුඛයෙහි සිටියා සේ ම පෙනෙන්නෝ ය. මේ වැළිත් ඔටුන්නෙන් සරහන ලද හිස් කපා දීමෙන්, පස් පෑ දිස්නා ඇස් දන් දීමෙන්, මස් දන් දීමෙන් ජාලිය කුමාරයන් වැනි පවිත්‍ර අදහස් ඇති පුතුන් හා එ පවිත්‍ර අදහස් ඇති කෘෂ්ණජිනාවන් වැනි දුන් දෑසි දස් දන් දීමෙන්, මද්‍රි බිසොවුන් වැනි අඹුවන් දන් දීමෙන් පුරා මුඳුන් පත් කළ සම තිස් පැරුමෙහි අනුසස.

මිගාර සිටාණෝ ත් බුදුන් බණ දෙස ත් ඇසට මුවා වන පමණක් මුත් තිරය කනට මුවා නො වන හෙයින් බණ අසා දහසක් නයින් සැදුම් ලද සෝවාන් පෙලෙහි පිහිටා අචල ශ්‍රද්ධාවෙන් යුක්ත ව තුනුරුවනෙහි සැක නැති ව තිර ය ඔසවා පියා ගොසින් විශාඛාවන්ගේ ප්‍රයෝගයෙන් ලත් නිවන් හෙයින් පළමු කොට බුදුන් කරා නො ගොස් ලත් නිවන් රසය ත් සෝවාන් පමණක් ම හෙයින් මඳ වූ යෙන් විශාඛාවන් ලත් නිවන් රසයෙන් මඳක් බොනු කැමැති ව රන් තැටියක් කට තබා ගත්තා සේ විශාඛාවන්ගේ තන පුඩුව කට ලා ගෙන ‘මෙ වක් පටන් මුඹ මා ගේ මෑණියන් වහන්සේය’යි මවු තනතුරේ තබා ලා බුදුන් කරා ගොසින් රත් නෙළුම් මල් පලඳනා සේ ශ්‍රී පාද ය හිස තබා වැඳ ගත්හ. විශාඛාවෝ ත් එ වක් පටන් මිගාරමාතාවෝ යයි ප්‍රසිද්ධ වූ ය. පසු ව, පුතණු කෙනකුන් වදා උන්ට මිගාර නම තබා ඒ නම තර කළහ.

සිටාණෝද ‘මම, ස්වාමීනි, මිගාර සිටා ය’යි නම තුන් විටක් අස් වා ලා -

“සොහං අජ්ජ පජානාමි - යත්‍ථ දින්නං මහප්ඵලං,

අත්‍ථාය වත මෙ භගවා - සුණිසා ඝරමාගතා.”

යනු හෙයින් ‘ස්වාමීනි, මා මෙ තෙක් කල් මුළුල්ලෙහි තුනු රුවන් විෂයෙහි කළා මේ තරමෙකැ’යි නිවටුන් ළං කිරීමෙන් දත නුහුණුයෙමි. අද වූ කලි වැඩකරු මාගේ යේළණියන් නිසා දතිමි. සසර දුකින් භාග තුබූ ව ත් අපාය දුකින් මිඳිණිමි. මාගේ යේළණියෝ මුබ එන තැනැත්තෝ මට ම වැඩ පිණිස, අවු ය’ යනාදීන් විශාඛාවන්ට ආ වැඩූ ය. විශාඛාවෝ දෙ වන දවසටත් බුදුන්ට ආරාධනා කොට දෙවන දවසු ත් දන් දුන්හ. දෙ වන දවස් නැන්දණියෝ සෝවාන් වූ ය. එවක් පටන් එ ගෙයි සැපත් බුදු සස්නට ම පිරිනැමිණ.

ඉක් බිත්තෙන් සිටාණෝ සිතන්නෝ ‘අපගේ යේළියන්ගේ අපට උපකාරි කම මහත. උන් කළ උපකාරයට ප්‍රත්‍යුපකාරයක් කළ තරමට කට නො හැකි වුවත් තරමක කළ මැනව. උන් පලඳනා මහලිය පළඳනාව බර හෙයින් හැම වේලේ පලඳනට නො පිළිවන. හැම වේලේ ම පලඳනා ලෙසට ලඝු සැහැල්ලු කොට ආභරණයක් කරවා පලඳවමී’ සිතා ලක්ෂයක් වටනා නියායෙන් ඝනමට්ටක නම් ආභරණයක් කරවා ලා ආභරණය කොට නිමි කල්හි බුදු පාමොක් සඞ්ඝයා වහන්සේට ආරාධනා කරවා සකස් කොට දන් වළඳවා ලා විශාඛාවන් සුවඳ පැන් සොළොස් කළයක් විතරින් නාවා පියා බුදුන් ළඟ දී ම ආභරණය පලඳවා ලා බුදුන් වැන්දවු ය. බුදුහු උන්ට ඝනමට්ටක නම් පලඳනාව පිටට සදහම් නමැති ආභරණය ත් දෙවා ලා වෙහෙරට ම වැඩි සේක.

විශාඛාවෝ ත් එ වක් පටන් දානා දී වූ පින් කරන්නෝ කැඳ දීම්, ආගන්තුක වහන්දෑ වැඩි දවස් දන් දීම්, අනික් තැනකට වඩනා දවස් දන් දීම්, ගිලන් තැනට බෙහෙත් පස දීම්, ආදී වූ වර අටක් බුදුන්ගෙන් ලදින් ශාසනාකාශයෙහි චන්ද්‍රලේඛාකාරයෙන් ප්‍රසිද්ධ ව දූන් පුතුන්ගෙන් වැඩියුරු බවට පැමිණියහ. ඒ එසේ මැයි. විශාඛාවෝ පුතුන් දස දෙනකු හා දූන් දසදෙනකු එක් කොට දරු විස්සක් වැදූ ය. ඉන් එකි එකී කෙනෙක් ම දරුවන් විස්ස විස්ස ලත්හ. ඉනුත් එකි එකී කෙනෙක් විස්ස විස්ස ලත්හ යි දරු මුනුබුරු මී මුනුබුරු පරම්පරාවෙන් අට දහස් සාරසිය විස්සක් විතර දරු මුනුබුරු මී මුනුබුරු වූහ. තුමූ ත් දරු මුනු බුරු මී මුනුබුරෝ ත් එක් සිය විසි හවුරුද්දක් ම ජීවත් වූහ. ආරෝග්‍යතාවට ත් පින් කළ හෙයින් හැම දෙන ම නිරොගියහ.

එ තෙක් කල් මුළුල්ලෙහි ජාත්‍යන්තරයෙහි ලූවා වූ කුසල් නමැති කරුප්පු නිසා නර ත් මුන් හැම දෙනාට ම ඇති නොවී ය. මූ හැම දෙන ම නිරන්තරයෙන් අටළොස් හැවිරිද්දා සේ ම සිටිති. දරු මුනුබුරන් පිරිවරා විහාරයට හෝ එක් තැනකට නික්මුණු කලට මින් විශාඛාවන්දෑ කවුරුන්දෑ දැ යි විචාරණ තරමේ ම එක් වැනි දරුමුනුබුරන් ලත්හ. යම් කෙනෙක් විශාඛාවන් යන්නවුන් දුටු වූ නම් ‘මඳක් වුව ත් යන දෑ ව යි. ගමන් ම යහපතැ’යි කියති. යම් කෙනෙක් සිටියවු දුටුවු නම් ‘පය එළෙත ත් සිටිය ද වී නම් යහපතැ යි සිටි නියාව ම යහපතැ යි කියති. යමෙක් හුන්නවුන් දුටුවු නම් හිඳිනා ලෙස ම යහපතැ’යි කියති. යම් කෙනෙක් වැද හොත්තා දුටුවු නම් මදක් වුවත් වැදහොත්තෝ යහපත. වැද හෝනා ලෙස යහපතැ’ යි කියති. සතර ඉරියවුවෙන් අසෝ ඉරි යවුවක් නපුරැ යි කියන්ට බැරි ය. නැවත සසර ගමන් නැති වූ හෙයිනුත් සසර රඳා හිඳී ම නැති හෙයිනුත් සසර නමැති මකුණු හැඳ වැළඳ හෙවීම් නැති හෙයිනු ත් මෙ ලෙසින් සතර ඉරියවුව ඉතා යහපත.

ගෑනු පමණක් මුත් බල දායක පින් බොහෝ කොට කළ හෙයින් ඇතුන් පස් දෙනකුට බල ඇත්තෝ ය. කොසොල් රජ් ජුරුවෝ ඒ නියා ව අසා විමසනු කැමැති ව බණ අසා එන වේලාවට ඇතු මෙහෙයාලූ ය. ඒ ඇත් සොඬ ඔසවා ගෙන අඳුන් පවුවක් මෙන් විශාඛාවන්ට අභිමුඛ ව නික්මිණ. පිරිවර පන් සියයක් ගෑනුන් ගෙන් සමහර කෙනෙක් ළෙන් ගත්තෝ වී මුත් භය බලවත් ව ආත්මප්‍රේම බලවත් හෙයින් පලා ගියෝ ය. සමහර කෙනෙක් උන් වැලඳ ගෙන සිටියහ.

‘මේ කුමක් දැ’යි විශාඛාවන් විචාළ කල්හි ‘රජ්ජුරුවන් වහන්සේ මුඹදෑගේ බල බලන්ට ඇතු විහිදුවූ සේකැ’යි කිවු ය. විශාඛාවෝ මූ දැක පලා යෑමෙන් ප්‍රයෝජන කිම්ද? ඉදින් තරයේ අල්වා ගතිම් නම් මේ ඇත් මිය යෙයි. කවර ලෙසක අල්වමෝ දෝ හෝ’යි දෑඟිලි හස්සකින් සොඬ බදා මොළොකෙක අල්වා ගෙන මඳක් නමා ලූය. ඇත් සිටිය නොහී සෙණ්ඩුලූයෙහි[1] එළිල්ලෙන් හිණ. බොහෝ දෙන සාධුකාර දුන්හ. විශාඛාවෝ ත් සුව සේ ම ගෙට ගියහ. රජ්ජුරුවන්ට ත් සැක හැරිණ.

විශාඛාවන්ගේ එ තෙක් දරු මුනුබුරන් ගෙන් ලෙඩ රෝගී එක කෙනකු ත් නැත. එවක ආයු පමණින් සිට මුත් අතුරේ මළ කෙනකුත් නැත. ඒ ප්‍රාණ වධ නො කිරීමෙහි අමුඛ්‍ය විපාක ය. සැවැත් නුවර ඇත්තෝ ත් මඟුලෙහි උතුළායෙහි විශාඛාවනු ත්, අට දහස් සාර සිය විස්සක් විතර දරු මුනුබුරනු ත් තමන් තමන්ගේ ගෙවලට කැඳවා ගෙන ගොසින් කරණ මඟුලෙන් වැඩ සඳහා පළමු කොට කවා පොවා ලා පසු ව මඟුල් කෙරෙති. එක් මඟුල් දවසෙක නුවර ඇත්තෝ සැදී පැහැදී ගෙන වහන්දෑගේ දැක්මත් එක් මඟුලක් හෙයින් විහාරයට යෙති. විශාඛාවෝ ත් මහලිය පළඳනාවෙන් සැරහී ගෙන විහාරයට යන්නෝ අතුරු මඟ දී විහාර ය ආසන්න කලට තමන්දෑ සේ ම ඇතුන් පස් දෙනකුට බල ඇති කෙල්ල බණවා ලා ‘හෙම්බල කෙල්ල, ගුරුන් වහන්සේ ළඟට යන කලට කෙළි පානට යන

විද්දත් දූන් සේ හිස පටන් පිටි පත්ල දක්වා සිටින ආභරණ ලා ගෙන යෑම අප වැන්නවුන්ට තරම් නොවෙ’යි කියා ලා ආභරණ ය ගළවා ලා කඩක බැඳ ලා කෙල්ල දතට දී ලා ‘විහාර යට ගොසින් එන අත පළඳින්ට දී ල’යි සම්මත කොළෝ ය.

ඒ කෙල්ල විනා උන්ගේ ගෙයි ඒ පළඳනාව ඔසවා ලිය හෙන කෙලි කෙනෙක් නැත. ඒ පළඳනාව ඈ අතට දීලා ඝනමට්ටක පළඳනාව පැළඳගෙන බුදුන් කරා ගොසින් බණ අසා ගෙන අන්තයෙහි බුදුන් වැඳ ගෙන ගෙට යන්ට නික්මුණවු ය. ඒ කෙලි ත් යන ගමනේ සලකුණු නැති ව ආභරණ ය ගණයේ තබා පුව. බණ අසා යන්නෝ යම් කිසිවක් සිහි නැති ව තබා පූ නම් අනඳ මහ තෙරුන් වහන්සේ තැන් පත් කොට තබන සේක. එ දවස් මහලිය පළඳනාව දැක ‘විශාඛාවෝ මහලිය පළඳනාව සිහි නැති ව තබා පියා ගියහ’යි බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ අසා ‘එක් පසෙක තබව’යි ඔබට ම විධාන කළ සේක. තෙරුන් වහන්සේ ත් කාය බලයෙන් ඇතුන් පස් දෙනකුට බල ඇති සේක. එ සේ හෙයින් ඔසවා ගෙන හිණ කෙරේ එල්වා තබා පී සේක.

විශාඛාවෝ ද සුප්පියා නම් උපාසිකාවන් හා සමඟ අමුතු ව ආ තැන්, බැහැර යන තැන්, ගිලන් තැන් ඇත් නම් විචාරණ පිණිස යන අතර විහාර වලට යෙති. උන් විහාරවලට ගිය කලට බාල වහන්දෑ තළු-තැටි හැර ගෙන ගිතෙල්-මී-ශර්‍කරාදිය නිසා බොහෝ සේ පිරිවරන සේක. එ දවසු ත් එ සේ ම පිරිවරා ගත් සේක.

සුප්පියාවෝ එක් ගිලන් නමක් දැක ‘රුචි පිපාසා කුමකට දැ’යි විචාරා ආර්‍ය්‍ය ශ්‍රාවිකාවන් හෙයින් ප්‍රාණවධ නොකරණ නියාව දැන නො වළහා ‘දඩ මසකට රුචි ඇතැ’යි කී කල්හි ‘යහපත, එවමී’ කියා ලා ගොසින් දෙවන දවස් කැප සරුප් මසක් නොලදින් සිඛ පද නො පැන වූ සමය හෙයින් තමන්ගේ කළවයේ මස ලියා ගෙන ඉදි කොට යවා ගිලන් නමගේ දඩ මසෙහි රුචිය ත් සන්හිඳුවා බුද්ධානුභාවයෙන් තුමූ ත් පියවි වූහ. දෙ වන දවස් ම පය වණය ත් සුව වි ය.

විශාඛාවෝ ත් ලෙඩ දුක් වහන්දෑ විචාරා පියා අක් දොරටුයෙකින් නික්ම වෙහෙර සිම සිට ‘කෙල්ල, ආභරණ ය පළඳින්ට ගෙනැ’යි කිවු ය. එ වේලෙහි කෙලි සිහි නැති ව තබා පියා ආ නියාව දැන ‘ස්වාමීනි, සිහි නැති ව තබා පීමි’යි කිවු ය. ‘ඵ සේ වී නම් ගොසින් තබා ලූ තැන ම තුබූයේ නම් හැරගෙන එව. අනඳ මහ තෙරුන් වහන්සේ එක් තැනක තබා වදාළ සේක් වී නම් නො ගෙනැ’යි ඔබ එ සේ තිබී ගිය දෙය තබන නියා ව දැන කිවු ය.

තෙරුන් වහන්සේ ද ඒ කෙල්ල දැක ‘කුමකට අයි දැ’යි විචාරා ‘පළඳනා ව සොයා ය’යි කී කල ‘තෙල හිණ ගාවා එල්වා ලූයේ ගොසින් හැර ගනැ’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ ඒ ආභරණ ය අතින් අල්වා වදාළ හොත් නො ගෙන යන්ට කී සේකැ’යි කියා ලා සිස‘තින් ම ගොසින් ‘කුමක් දැ’යි විශාඛාවන් විචාළ කල්හි එ පවත් කිව. ‘මා ගේ ස්වාමිදරු වූ අනඳ මහ තෙරුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ගෑවුණා මම නොපළඳිමි. ඒ ඔබම සන්තක ය. එතකුදු වුව ත් ඒ පිරිමසන්ට ඔබට බැරි ය. ඒ වියදම් කරවා කැප බඩුවක් ගෙන දෙමී’ කියා ‛ගොසින් ගෙනැ’යි කිවු ය. ඔයි ත් ගෙනවුත් දුන.

විශාඛාවෝ ත් නො පැළඳ ම ගෙට ගෙන ගොසින් බඩාලුන් ගෙන්වා ගෙන අගය කරවා ‘නව කෙළක් අග ය. කළ මිළ ලක්ෂයකැ’යි කී කල්හි පළඳනා ව ගැලෙක තබ්බවා ලා ‘තෙල ගෙන ගොස් විකුණව’යි විකුණන්ට යවා සියලු නුවර එ තෙක් මිළ දී ලා හැර ගත හෙන කෙනකුන් නැති හෙයින් විශාඛාවෝ තුමූ ම නව කෙළක් හා තව ත් ලක්ෂයක් දී ලා හැර ගත්හ. මිළ දී හැර ගන්නා තබා පළඳින්ට ත් මුළු පොළොව විශාඛාවන් හා බන්ධුල මල්ලිකාවන් හා බරණැස් සිටාණන්ගේ දුවණියන් හා මුන් තුන් දෙනා විනා නැත.

විශාඛාවෝ ද පළඳනාවෙහි මිළ ය ගැල් ලවා ගෙන වෙහෙරට ගෙන්වාගෙන ගොසින් බුදුන් වැඳලා ‘අනඳ මහ තෙරුන් වහන්සේ අල්වා වදාළ මහලිය පළඳනා ව පළඳින්ට මැළිව විකුණුවා කැප දෙයක් පවත් කරවමී-විකුණන්ට යවා එ තෙක් මිළ දී ලා හැර ගත හෙන කෙනකුන් මෙ නුවර නැති හෙයිනු ත් හැර ගත ත් පළඳන්ට නිසි කෙනකුන් මා විනා මෙ නුවර නැති හෙයිනු ත් මම් ම ඊට මිළ දී පළඳනා ව හැර ගෙන මිළ ගන්වා ගෙන අයිමි. ‘සිවු පසයෙන් කවර පසයක් හෙළවම් ද, ස්වාමීනි’ කිවුය. බුදුහු ඒ අසා ‘එ සේ වී නම් නැගෙන හිර දොරටුව කෙරේ සාඞ්ඝික කොට ගෙයක් කරව’යි වදාළ සේක. විශාඛාවෝ විහාර කරවා දීමෙහි අනුසස් බලවත් නියාව ආදි ත් දන්නා හෙයින් සතුටු ව බිම ඇත්තවුන් ගෙන් නව කෙළක් දී ලා බිම ඉල්වා ගත්හ. අනික් නව කෙළක් දී ලා විහාර ය කරවන්ට පටන් ගත්හ.

එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි ලොව බලන සේක් දෙව් ලොවින් සැව අවුත් භද්දිය නුවර සිටු කුලෙහි උපන් භද්දිය සිටාණන්ට රහත් වන්ට නිසි පින් ඇති නියාව දැන අනේපිඬු සිටාණන්ගේ ගෙයි දී වළඳා ලා නුවර උතුරු වාසල බලා නික්මුණු සේක. පියවින් ම බුදුහු විශාඛාවන් ගේ ගෙයි දී වළඳා ලා දකුණු වාසලින් නික්ම දෙව් රම වසන සේක. පූර්වාරාමය ඇති වූ පසු අනේපිඬු සිටාණන්ගේ ගෙයි දී වළඳා ලා නැගෙනහිරි වාසලින් නික්ම පූර්වාරාමයෙහි වසන සේක. උතුරු වාසල බලා බුදුන් නික්මුණු කලට සැරිසරා පිටත වඩින සේකැ’යි දනිති. විශාඛාවෝ උතුරු වාසල බලා වඩනා නියා ව අසා වහ වභා අවුත් වැඳ ලා සැරිසරා වඩනා නියා දෑ’ යි අසා ‘ඵ සේ ය යි වදාළ කල්හි ‘මෙ වකට අටළොස් කෙළක් වියදම් කොට මුඹ වහන්සේට විහාරයක් කරවීමි. රඳා වදාළ යහපතැ’යි කිවුය. ‘නො නවත්වන ගමන, විශාඛාවෙනි’ වදාළ සේක. ‘නිවන් දක්වන්ට නිසි කෙනකුන් දැක වදාළ නියා ය’යි සිතා ලා ‘නො නැවත වඩනා පසු කළ නො කළ මෙහෙවර දැන නො කළ දෙයට විධානයට එක් කෙනකුන් වහන්සේ රඳවා ලා වදාළ යහපතැ’යි කිවු ය. ‘යම් කෙනකුන් රඳවනු කැමැත්තාහු වී නම් උන්ගේ පාත්‍ර ය හැර ගනුව’යි වදාළ සේක.

ඌ කිසි සේත් අනඳ මහ තෙරුන් වහන්සේ කෙරෙහි මමායනය ඇත්තෝ ය. එතකුදු වුව ත් මුගලන් මහ තෙරුන් වහන්සේ සෘද්ධිමත් හෙයින් උන්වහන්සේගේ ආනුභාවයෙන් කර්‍මාන්ත වහා නිමවනු පිණිස ආරාධනා කොට ඔබගේ පාත්‍රය හැර ගත්හ. තෙරුන් වහන්සේ බුදුන් මුහුණු බැලූ සේක. බුදුහු ‘තොපගේ පිරිවර පන් සියයක් භික්ෂූන් හැර ගෙන රඳව’යි වදාළ සේක, බුදුන්ගේ විධානයෙන් ඔබත් රඳා වදාළ සේක. උන් වහන්සේගේ ආනුභාවයෙන් දඬු පත් ආදි ය නිසා ගවු දෙ සියයකු ත් දෙ සිය හතළිස් ගව්වකුත් වඩා ත් ගියාහු කවර තරම් දෙයක් හැර ගෙන ත් එ දවස් ම එති. ගැල්වලට දඬු පත් නඟන කල ත් ගල් නඟන කල ත් මිනිසුන්ට කිසි ත් ආයාස නැත. කො සා බරක් නැඟුව ත් ගැලු ත් නො බිඳෙයි. නො බෝ කලකින් ම දෙ මාල් පායක් කළහ. යට මාලේ ගබඩා පන්සියයෙක උඩු මාලේ ගබඩා පන් සියයෙක. එ හෙයින් ඒ පාය ගබඩා දහසකින් හෙබියේය.

බුදුහු මහා මණ්ඩලයට වැඩි හෙයින් නව මසක් සැරිසරා වදාරා පෙරළා සැවත් නුවරට ම වැඩි සේක. විශාඛාවන් කරවන දෙ මාල් පායේ කර්මාන්ත‍්‍ ත් නව අවුරුද්දකිනු ත් නොනිමන තරම් වුව මුගලන් මහතෙරුන් වහන්සේගේ සෘද්ධ්‍යානුභාවයෙනුත්, විශාඛාවන්ගේ කුශලානුභාවයෙනු ත්, බුදුන්ගේ බුද්ධානුභාවයෙනු ත්, නව මසකින් නිමියේ ය. පායෙහි කොත පැන් සැට කළයක් ගන්නා වීතර මහත් කොට රත්රනින් ම කැරවූහ. බුදුන් දෙව්රමට වඩනා නියා ව අසා පෙර ගමන් කොට ගොසින් තමන් කැරවූ විහාරයට ම වඩා ගෙන ගොස් ‘ ස්වාමීනි, මේ සාර මස ම ඔබ්බකට නො වැඩ අලුත කළ විහාරයේ ම වැඩ හිඳිනා බව ය. විහාර නිමි පූජා ව කරවමි”යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක. උයි ත් එවක් පටන් සිඟා නොයවා බුදු පාමොක් සඟනට වෙහෙරට ම දන් බාවති.

විශාඛාවන්ගේ එක් යෙහෙළි කෙනෙක් දහසක් අගනා ඵක් කඩක් හැර ගෙන අවුත් විශාඛාවන්දෑට ‘මම මේ හිණ කඩ මුඹගේ පායේ බුමුතුරුණු කොට අතුරනු කැමැත්තෙමි. එක් අවසරයක් පැව මැනැවැ’යි කිව. ‘යෙහෙළි. මම ඉදින් අවසර නැතැ යි කීම් නම් තෙපි අවසරයක් පාන්ට මැළි ව ය’යි සිතව. තෙපි ම උඩු මාල ත් යට මාල ත් ගබඩා දහස ත් බලා පියා නිසි තැනක් දනුව’යි කිවු ය. උයි ත් දහසක් වටනා කඩ හැර ගෙන ගොසින් බලා අතුළ පිළියෙන් ඊට අඩු තරම් පිළියක් නො දැක මේ පින් කම මුසුවන්ට නැති නියා වේ දැ’යි මුසුප්පුව ගෙන එක් තැනක හඬ හඬා සිටියෝ ය.

අනඳ මහ තෙරුන් වහන්සේ උන් හඬන නියා ව දැක සත්තු භත්ත ජාතකයෙහි බමුණු ව උපන් තමන් වහන්සේ හඬන කාරණ සේනක පණ්ඩිත ව උපන් මහ බෝසතුන් විචාළ සේ ම ‘කුමකට හඬවු දැ’යි විචාළ සේක. ඒ අසා හඬන්ට කාරණය කී කල්හි ‘තෙපි මුසුප්පු නො වව. මම නිසි තැනක් කියාල මී වදාරා ලා ‘හිණට ත් සඳකඩ පාණට ත් අතරෙහි බිස්සක් සේ හකුළු වා ලා තබා ල ව. වහන්දෑ පය සෝධා පියා තිලි පය පිය පියා ඇතුළු ගෙට වඬනා සේක. එසේ කලට තොපට අනුසස් මහතැ’යි විශාඛාවනු ත් සලකා ගත නුහුණු තැන වදාරා උන් ලවා කරවා පින් කම උනු ත් මුසු කළ සේක.

විශාඛාවෝ ද සාර මස මුළුල්ලෙහි ඇතුළු වෙහෙරදී ම බුදු පාමොක් සඟනට දන් දුන් හ. කෙළවර දවස් කසුප් බුදුන් සමයෙහි විසි දහසකට දී ඉතිරී ය තබා ගෙන හිඳ ලා ඒ වහන්දෑට දෙන කලක් මෙන් තුන් සිවුරට සෑහෙන ලෙස සිවුරු පිළි දුන්හ. හැම තැනට බාල තැන ලත් සිවුරු පිළි රන් එ වකට අරුම නො‍ වන හෙයින් දෝ මසු දහසක් වටී. හැම දෙනා වහන්සේගේ ම පාත්‍ර පුරා එ තෙක් සරක් ඇත්තවුන්ට ගිතෙල් අරුම නො වන හෙයින් හෙළගිතෙලු ත් ශර්‍කරා ආදි වූ බෙහෙත් බඬුත් පුරා දුන්හ.

දන් දීමට ම අග ය කළ කලට නව කෙළක් වියදම් වී ය. විහාරයට බිම හැරගන්ට නව කෙළෙක. වෙහෙර කරවන්ට නව කෙළෙක. විහාර ය කරවා නිමි පූජාවේ දන් දීමට නව කෙළෙකැ යි සත්විසි කෙළක් බුදු සස්නට වියදම් කළහ. ගෑනුව සිට මිථ්‍යා දෘෂ්ටික ගෙවලට පැමිණ ත් පින් විෂයෙහි මෙ බඳු වියදමෙක් විශාඛාවන් විනා අනික් කෙනකුන් ගෙන් එ වක නො වී ය. ඌ විහාර පූජාව නිමි දවස් පස්වරු වේලේ දරු මුනු බුරන් පිරිවරා යමක් තුමූ පැතුවෝ වී නම් සියල්ල ම අඩුවක් නැති ව මුඳුන් පැමිණි හෙයින් කරවා ලූ පාය වට කොට ඇවිද ඇවිද –

කදාහං පාසාදං රම්මං - සුධාමත්තික ලෙපනං.

විදාහාරනං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො.

කදාහං මඤ්චපීඨං ච - භිසිබිම්බොහනානි ච,

සෙනාසනභණ්ඩං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො.

කදාහං සලාකභත්තං - සුචිං මංසුපසෙවනං,

භොජනදානං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො.

කදාහං කාසිකං වත්‍ථං - ඛොමකොටුම්බරානි ච

චීවරදානං දස්සාමි සඞ්කප්පො මය්හ පූරිතො.

කදාහං සප්පි නවනීතං – මධු තෙලඤ්ච ඵාණිතං

භෙසජ්ජදානං දස්සාමි - සඞ්කප්පො මය්හ පූරිතො’

යනු හෙයින් ‘කෛලාශකූට ප්‍රතිභාග ව සුණුවමින් බබළන මිනිස් ලොවට විජයත් පායක් හා සමාන වූ පායක් කරවා කවර කලෙක දන් දෙම් දෝ හෝ යි සිතා ඒ අදහස ත් සමෘද්ධ වි ය. නැවත හැඳ බිසි කන්වයින් ආදි වූ සෙනසුන් පිරිකර කරවා ලූ පහයට කවර කලෙක ලම් දෝ හෝ යි සිතා එයිත් දැන් සමෘද්ධ වි ය. නැවත අති පවිත්‍ර රස මසවුළෙන් යුක්ත ආහාර ය ත් සපයා කවර කලෙක සඞ්ඝයා වහන්සේට ලා බත් කොට දෙම් දෝ හෝ යි සිතා එයි ත් දැන් සමෘද්ධ වි ය. නැවත සළු සොළී පිළී ආදි වූ පිළී කප්පවා සිවුරු කරවා සිවුරු දනක් කවර කලෙක දෙම් දෝ හෝ යි සිතා එයි ත් සමෘද්ධ වි ය. නැවත ගිතෙල් මී සකුරු ආදි වූ දෙය පාත්‍ර පුරා කවර කලෙක සඞ්ඝයා වහන්සේට දෙම් දෝ හෝ යි සිතා එයි ත් අද සමෘද්ධ වී ය’යි මේ හඟවා තෙල ගාථා පස කිවු ය.

වහන්දෑ ඒ අසා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මේ විශාඛාවන් මෙ තෙක් කල් මුළුල්ලෙහි ගීයක් කියන්නා ඇසූ විරූ නැත. අද දරු මුනුබුරන් පිරිවරා ගෙන තුමූ කුඩා කෙල්ලක සේ ගී කිය කියා පාය සිසාරා ඇවිදිති. කුමක් ද? විහාරයේ කර්මාන්ත විධාන නිසා වාග්ව්‍යායාමයෙන් පිත් කිපි නියා ද? නොහොත් යක්‍ෂොන්මාදයක් නියා දැ’ යි විචාළ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ම දු ගී කියන්නී නො වෙ යි. තමා පැතූ පැතීම මුදුන් පැමිණි හෙයින් සතුටු ව උදන් අනන්නී ය’ යි වදාරා ‘උන් පැතූ ප්‍රාර්ථනාව කවර කලෙක දැ’යි විචාළ කල්හි අසනු කැමැති නියා දැ යි විචාරා ‘එ සේ ය, ස්වාමීනි’යි කී කල්හි “මහණෙනි. මෙ මා බුදු වූ පඤ්චබුද්ධ ප්‍රතිමණ්ඩිත භද්‍රකල්පයට ලක්‍ෂයක් වන කප ජීවත් ව සිටිනා හවුරුදු ලක්‍ෂය මුළුල්ලෙහි අහසින් යන ගමන් හැර පොළොවින් යම් තැනකට යන කලට අනූ රියන් පමණ පියුම් පෙති ඇති, තිස් රියන් පමණ කෙසුරු ඇති, නව කළයක් පමණ රේණු ඇති, දොළොස් රියන් පමණ පියුම් කෙමි ඇති, හෙළ පියුමෙන් රත් පියුමෙන් නික්මෙන හෙයින් හෙවත් ඒ පියුම් මැඬ ගෙන නික්මෙන හෙයින් පියුමතුරා නම් බුදු කෙනෙක් ලොව උපන් හ.

උන් උපන් නුවර හංසවතී නම. පියාණෝ ආනන්ද නම් රජ්ජුරුවෝ ය. මෑණියෝ සුජාතා නම් බිසවු ය. නිත්‍ය පරිවාර භික්ෂූහු ලක්‍ෂයෙක. ගෑනු ව සිට යම් කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කෙරෙත් නම් උන්ට උතුම් ව වර අටක් ලදින් එක් උපාසිකා කෙනෙක් උන්ට උපස්ථාන කෙරෙති. සවසත් උදාසන ත් බුදුන් වඳනට යෙති. උන්ගේ එක් යෙහෙළි උපාසිකා කෙනෙක් උන් හා කැටි ව එක්වන් විහාරයට යන්නෝ අර මුන් බුද්ධවල්ලභ නියාව දැක ‘මෙ සේ බුද්ධවල්ලභ වන්නේ කුමන පිනක් කොට දෝ හෝ’යි සිතා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මෙ අප ගේ යෙහෙළි තැනැත්තෝ මුඹ වහන්සේට කුමක් වෙත් දැ’යි විචාරා ‘අග්‍ර උපස්ථායිකාවෝ ය’යි වදාළ කල්හි ‘ස්වාමීනි, කුමන පිනක් කොට මේ තනතුර ලද හැකි දැ’යි විචාරා ‛කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි පින් කම් කොට පතා ය’යි වදාළ කල්හි ‘මෙ වක පතා ලද හැකි දැ’යි විචාළෝ ය. බුදුවරුන් නමුත් මා ම නො වත් අග්‍ර උපස්ථායිකාවරුනු ත් මුන් ම නො වත් දැන් පතාත් ලද හැක්කැ’යි වදාළ සේක.

‘ස්වාමීනි, එ සේ වී නම් ලක්‍ෂයක් දෙනා වහන්සේ හා සමග සතියක් මාගේ ආරාධනාව ඉවසා වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු ත් ඉවසා වදාළ සේක. උයි ත් මහ වතුරක් මෙන් සතියක් දන් දී ලා කෙළවර බුදු පාමොක් සඟනට සිවුරුපිළි දන් දී ලා බුදුන් වැඳ ගෙන හෙව ‘ස්වාමීනි, මේ සා මහත් දන් දී ලා ශක්‍ර සම්පත්, බ්‍රහ්ම සම්පත් ආදියක් නො පතමි. මුඹ වහන්සේ වැනි බුදු කෙනකුන් වහන්සේ කරා පැමිණ වර අටක් ලදින් මවු තනතුරෙහි සිට සිවු පසයෙන් උපස්ථාන කරණ ගෑනු ජාතියට අග්‍ර වෙම්ව’යි පැතූ ය.

බුදුහු ත් ‘මුන්ගේ ප්‍රාර්ථනාව මුන් දුන් දන සේ ම උදාරතර ය. සමෘර්ධවේ දෝ හෝ’යි මතු එන දවස් අනාගත ඥානයෙන් බලන සේක් සමෘර්ධ වන නියාව දැන ‘මෙයට ලක්‍ෂයක් වන කප ගොතම නම් බුදු කෙනෙක් ලොව පහළ වෙති. උන් උපදනා නුවර කිඹුල් වත් නම. පිය රජ්ජුරුවෝ සුදොවුන් නම්හ. මවු බිසවු මහාමායා නම්හ. දකුණ ත් සවු නම සැරියුත් නම්හ. වමත් සවු නම මුඟලන් නම්හ. ඛේමා නම් උප්පලවණ්ණා නම් මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වෙති. ආනන්‍ද නම් මහ තෙර කෙනෙක් අග්‍ර උපස්ථායක ව අත් පා මෙහෙ කෙරෙති. අනාථ පිණ්ඩික නම් සිටාණ කෙනෙක් අග්‍ර උපස්ථාන කෙරෙති. තෙපි එ කල අභිමතාර්ථි දායක වූ කල්පවෘක්‍ෂ ශාඛාවක් සේ විශාඛා නම් ව ඒ බුදුන් ගෙන් වර අටක් ලදින් මවු තනතුරැ සිට සිවු පසයෙන් උපස්ථාන කොට උපාසිකාවරුන්ට අග්‍ර නියාවට එතදග්‍ර පාළියට නැඟී උපස්ථාන කරව’යි වදාළ සේක.

කප් ලක්‍ෂයකින් වන දෙය උන්ට අවධි නියම වූ හෙයින් සෙට දවස් ලබන දෙයක් සේ සිතින. ඌ ත් ආයු පමණින් තව තව ත් පින් කම් කොට එයින් සැව දෙව් ලොව ඉපැද ව්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් ඇවිදින්නෝ කසුප් බුදුන් සමයෙහි කිකී නම් කසී රජ්ජුරුවන්ගේ දූන් සත් දෙනාට බාල ව සඞ්ඝදාසී නම් ව තුනුරුවන් සරණ විනා අනික් සරණකට නො ගොස් බූන් හා සමග විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි බොහෝ පින් කම් කොට කසුප් බුදුන් සමයෙහිත් මෙම තනතුරම පැතූහ. එවක් පටනු ත් කළ පින් බොහෝ හෙයින් අපායට නො ගොස් දෙව් ලොව මිනිස් ලොව සැප ත් විඳිනාහු මෙවක මැඬ මහ සිටාණන් ගේ පුත් වූ ධනඤ්ජය සිටාණන්ට දූව ඉපැද මාගේ සස්නෙහි බොහෝ පින් කොළෝ ය. එ සේ හෙයින්, ‘මහණෙනි, ම දුව ගී කියන්නේ නැත. තමා සිතූ පැතූ දෙය සමෘද්ධ හෙයින් උදන් අනයි’

වදාරා මෙහෙවර කියා ගියවුන්ට ප්‍රමාද දෙන්නා සේ ‘හෙම්බා මහණෙනි, යම්සේ මල් ගෙතීමෙහි දක්‍ෂ මාලා කාරයෙක් බොහෝ මල් රැසකින් නො එක් පෑ ඇති මල් තෝරා හැර ගෙන එක් දසාවකට නටු තබා ය. දෙකෙළවරට නටු තබා ය. සතර අතට නටු තබා ය යනාදීන් නොඑක් ලෙස මල් වඩම් ගොතා ද, එ පරිද්දෙන් සත්‍වයන් විසින් දන් දීම්, සිල් රක්‍ෂා කිරීම්, භාවනා කිරීම්, පින්දීම්, පින් අනුමෝදම් වීම්,[2] බණ ඇසීම්, ගුරුන්ට සිල් වතුන්ට මෙහෙ කිරීම් ආදී විසින් බොහෝ පින් කටයුතු ය.

යම් සේ මල් ගොතන මාලාකාරයා දක්‍ෂ වී නමු ත් මල් මඳ වී නම් සිත් ලෙසට මල් ගොතා ලිය නො හේ ද, මල් බොහෝ ව ත් මල් ගෙතීමෙහි අදක්‍ෂ වී නම් ගොතා ලිය නො හේ ද, මලුත් බොහෝ වී නම් මාලාකාරයා ත් දක්‍ෂ වී නම් මල් ගොතා ද- එ පරිද්දෙන් යම් කෙනෙක් පින් කිරීමෙහි දක්‍ෂයෝ වූ නමු ත් සම් පත් නැත්තෝ වූ නම් උයි ත් දිළිඳු හෙයින් සැදෑ ඇත ත් පින් කොට ගත නො හෙති. සම්පත් බොහෝ වුව ත් සැදෑ නැති ව පින් කිරීමෙහි අදක්‍ෂයෝ වූ නම් උයි ත් පින් කොට ගත නො හෙති. යම් කෙනෙක් විශාඛාවන් මෙන් සම්පත් ඇති ව පින් කිරීමෙහි අදහසුත් ඇත්තෝ වූ නම් කුශල ය සිද්ධ වන්නේ උන්ට ය. සැදෑ නැත්තවුන්ට සම්භව වූ සම්පත් නම් රකුසු රකවලින් තුබූ විල් වන්නැ’යි වදාළ සේක.

එ සේ හෙයින් සෞජන්‍යයෙහි පිහිටි නුවණැත්තවුන් විසින් අකුසලින් දුරු ව කුසල්හි පිහිටා සිත් සතන් පිරිසුදු කට යුතු.

  1. සෙණ්ඩුවාලයෙහි - සෙණ්ඩුවාලුවෙහි ඇතැම්.

  2. අනුමෝදන් වීම්