50. ඡත්තපාණි උපාසක වස්තුව

star_outline

තව ද තුනුරුවන් විෂයෙහි ආදර ගෞරව ඇති ව විසිය යුතු තරම ඡත්තපාණි උපාසක වස්තුවෙන් දක්වමු.

ඒ කෙ සේ ද යත් :-

සැවත් නුවර තෙවළා බුදු වදන් දන්නා අනාගාමි ඡත්තපාණි නම් උපාසක කෙනෙක් අනැගැමියන් පොහෝ දවසින් පොහෝ දවසට පොහො’ ඟ සමාදන් වුව මැනැවැ යි නැති හෙයින් සමහර රජ දරු කෙනකුන්ට අභිෂේකය හා සමඟ පහළ වන රාජර්ධිය සේ පහළ වන අනැගැමි මඟ හා සමඟ ම පහළ වූ පොහො අඟ ඇති හෙයින් පෙහෙ ව බුදුන් කරා ගොසින් වැඳ ලා බණ අස අසා හුන්හ. එ වේලාවට කොසොල් රජ්ජුරුවෝ බුදුන් දක්නට අවුය. ඡත්තපාණි උපාසකයෝ රජ්ජුරුවන් එන නියාව දැක නැඟී සිටිය යුතු දෝ කිම්දෝ හෝයි සිතා ගණන් නැති සක්වළවලට අග රජ වූ බුදුන් ළඟ හිඳ සියලු දඹ දිව තබා දඹ දිවින් භාගයක් විතරට ත් නායක කම් නැති රජ්ජුරුවන් දැක නැඟී සිටියෙම් නම් බුදුන්ට ආදර කළා නම් නො වෙයි. රජ්ජුරුවෝ තමන් දැක නැඟී නොසිටියාට මුසුප්පු වෙති. උන් සිත් රක්නා නිසා නැඟී සිටි යොත් බුදුන්ටත් වඩා උන් උසස් කළ නිසා ය.

“උසස් කළ මනා බුදුන් වැඩ හින්ද දී මේ රජ්ජුරුවන් උසස් නො කෙරෙමි’ යි දැක නැඟී නො සිටියහ. නුවණැති කෙනෙක් වූ නම් ගරුතර තැන් ළඟ හිඳ නැගී නො සිටිය යි මුසුප්පු නො වෙති. මේ රජ්ජුරුවෝ තමන් නුවණ මඳ හෙයින් කාරණ සලකා ගත නො හී මුසුප්පු වූ ය. උන් කෙරේ මුසුප්පු ඇත ත් බුදුන් කෙරෙහි මුසුප්පු නැති හෙයින් වැඳ ලා එකත් පස් ව හුන්හ. බුදුහු රජ්ජුරුවන් උපාසකයන් කෙරෙහි මුසුප්පු නියාව දැන ලා මේ මුසුප්පුව සිත තබා ගෙන තමා රජ හෙයින් මුන්ට අනර්ථයක් සිතා පී නමුත් නපුරැ යි’මහ රජ, මේ උපාසකයෝ ත්‍රිපිටකධරය, මහා නුවණැති ය. සැවැත් පුරෙහි හිඳිනා පමණක් මුත් අනැගැමිව නිවන් පුර අත්වෙන හිඳිනා කාරණා ත් දන්ති’ යනාදීන් උපාසකයන් ගේ ගුණ බොහෝ කොට වදාළ සේක. ගුණ අස ත් අස ත් රජ්ජුරුවෝ මුසුප්පු හළවූ ය.

ඉක් බිත්තෙන් එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මාළිගාවේ මතු මාලේ සිටියෝ ඡත්තපාණි උපාසකයන් බත් කාලා කුඩ ය හැරගෙන සෙණ්ඩුලුවෙන් යන්නවුන් දැක කැඳවා යවු ය. ඌ එ වේලෙහි හිසට කළ කුඩය ත් හැර පියා පය ලා ගෙන යන වහනු ත් පයින් ගළවා පියා රජ්ජුරුවන් කරා ගොසින් වැඳ ලා එකත්පස් ව සිටියහ. රජ්ජුරුවෝ ‘හැයි, තෙපි හිසට කොට ගෙන ආ කුඩය ත් පය ලූ වහනු ත් හළා නැ’යි විචාරා ‘මුඹ වහන්සේ කැඳවා වදාළ නියා ව අසා ය’යි කී කල්හි ‘අප රජ රජ නියා ව දන්නේ අද දැ’ යි කිවු ය. ‘රජ්ජුරුවන් වහන්ස, අපි හැම දවස් ම දනුම් හ’යි කිවු ය. ‘එ සේ කල එ දවස් බුදුන් ළඟ හුන් ගමනේ අප දැක නැඟී නො සිටියේ හැයි දැ’යි විචාළෝ ය. ‘රජ්ජුරුවන් වහන්ස, මම තුන්ලොවට උතුම් රජ්ජුරුවන් ළඟ හිඳ මුඹ වහන්සේ දැක නැමී සිටියෙම් නම් බුදුන්ට කෙළේ ආදර නොවන්නේ වේදැ යි දැක නැඟී නොසිටියෙමී’ කිවු ය. ‘පින්වත, ඒ වන්නාට ය, ඒ කෙසේ වේව යි තොප බහුශ්‍රැත ව ආගමධර බැවින් අපගේ පුරඟනන්ට බණ කියව’යි කිවුය.

‘ස්වාමීනි, රජ ගෙවල කටයුතු නම් මහා බැරි ය. අපගේ පෙර රජ ගෙවල හැසිරීමකු ත් නැති හෙයින් අමුතු ව ලා ඒ බැරි ය’යි කිවු ය. ‘දැක නැඟී නො සිටිය නියාවට අප මුසුප්පු ඇතැ යි නො සිතා බණ ඇසීමෙහි තරව අභිප්‍රාය ඇත්තවුන්ට බණ කියව’යි කීවත් ‘අපට බැරි මය. ශාසනික තැනක් ලවා බණ කියවුව මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘යහපත, තෙපි යව’යි කියා ලා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මල්ලිකා බිසවුත් වාසභඛත්තියාවෝ ත් බණ උගනුම්හ’යි කියති. පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ රජ ගෙට වැඩ උන් බණ උගන්වා වදාළ මැනැව’යි කිවු ය. ‘මහරජ, සර්‍වඥවරයන්ගේ නිබඳ ව එක් තැනකට එළඹීම් නැත. බොහෝ දෙනාට පින් පිරෙන්ට නැති හෙයිනැ’යි වදාළ සේක. ‘එ සේ වී නම් එක් භික්ෂු කෙනකුන් වහන්සේට භාර කළ යහපතැ’යි කිවු ය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේට භාර කළ සේක. අනඳ මහ තෙරුන් වහන් සේ ද එක් වන් රජ ගෙට වැඩ බණ උගන්වන සේක. ‘මුන් දෙන්නා ගෙන් මල්ලිකා බිසවු උගන්නා කලත් බණ සකසා ඉගෙන හදාරා පිරිවා පසුව වනපොත් පිරිවති. වාසභඛත්තියාවෝ උගන්නා කල ත් සකස් කොට නො උගනිති. නො හදාරති. නො පිරිවති. වනපොත ත් කියා ලිය නො හෙති.

එක් දවසක් බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‛කුමක් ද, ආනන්දයෙනි, බිසෝවරු බණ උගනිත් දැ’යි විචාරා ‘එ සේ ය ස්වාමීනි’ කී කල්හි ‘උන් දෙන්නා ගෙන් සිත හෙළා සකස් කොට බණ උගන්නෝ කවුරු දැ’යි විචාළ සේක. ස්වාමීනි, මල්ලිකාවෝ බණ සකස් කොට උගනිති. හදාරන නියාව ත් වන පොත ත් යහපත, මුඹවහන්සේගේ නෑයන්ගේ දූ වූ වාසභඛත්තියාවන් බණ උගන්නා නියාව ත්, හදාරන පිරිවානා නියාව ත් වන පොත් කරණ නියාව ත්, යහපත් නො වෙ’යි වදාළ සේක.

බුදුහු ඒ අසා, ‘ආනන්දයෙනි, මා ගේ බණ නම් සකස් කොට නො උගන්නවුන්ට පෑය ඇතිව ත් සුවඳ නැති මල් පැළඳීමෙන් ප්‍රයෝජන විඳිනවුන්ට ප්‍රයෝජනයක් නැත්තා සේ හදාරන පිරිවානා නියාව ත් වනපොත ත් යහපත් වුව ත් ඒ වූ පරිද්දෙන් නො පිළිපැද නව ලොවුතුරා දහම් නමැති අබරණින් නො සැර හෙන්නවුන්ට ප්‍රයෝජන නැත. යම් කෙනෙක් සකස් කොට ඉගෙන හදාරා පිරිවා ඒ වූ පරිද්දෙන් පිළිපදි ත් නම් පෑය නැතිව ත් සුවඳැති මල් පළඳින්නවුන්ට මහා ප්‍රයෝජන වන්නා සේ නව ලොවුතුරා දහම් නැමති මලුත් පලඳවා ලන හෙයින් මහා ප්‍රයෝජන ය. බණ සකස් කොට උගැන්ම නම් මෙලෝ පර ලෝ වැඩ සාධා දීල’යි වදාළ සේක. බණ දෙසුන් කෙළවර බොහෝ දෙන සතර මග සතර ඵලයට පැමිණියහ. පස්වා දහසක් මුළුල්ලෙහි ත් බොහෝ දෙනහට වැඩ සාදා දින.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් උගන්නා බණ දහම් සකස් කොට ඉගෙන උගන්නා පමණක් නොව සකසා පිළිපැද පර්‍ය්‍යාප්ති-ප්‍රතිපත්ති දෙක මුල් ව ප්‍රතිවෙධය ත් සිද්ධ කට යුතු.

_________