49. පාඨෙය්‍යකාජීවක වස්තුව

star_outline

තව ද සුචරිත පූරණයට නම් අනුන් අත් බලා හිඳීමෙන් ප්‍රයෝජන නැති නියාව දක්වන්නමෝ පාඨෙය්‍යකාජීවක වස්තුව දක්වමු.

කෙසේ ද යත්

සැවැත් නුවර හිඳිනා එක් උපාසිකාවක් පාඨෙය්‍යක නම් ආජීවකයකු තමාගේ වදා[1] පුතකු නො වන හෙයින් පුත් තරමේ තබා උගෙන් කිසි ද ප්‍රයෝජනයක් නැත ත් පිළිදග්ගි ඉක් බිති ගෙවල මිනිස්සු බුදුන් කරා ගොසින් බණ අසා අවුත් ‘අනේ බුදුන්ගේ බණක් ඉතා මධුර නිසා ය’යි විස්තර කොට කියති. ආජීවකයාට මවු ව හිඳිනා උපාසිකාවෝ ද බුදුන් ගෙන් බණ අසනු කැමැති ව එ පවත් ආජීවකයාට කියා ලා යම්හ යි කිවූ ය. ඒ යන්ට නො කැමැත්තේ ය යි වැළකී ය. උපාසිකාවෝ ‘තෙමේ තමා සැදෑවක් නැති හෙයින් කා ගත නො හෙන්නවුන් අනුනු ත් කනු නො කැමැත්තා සේ විහාරයට ගොසින් බණ අසා ගත නො දෙයි. ආරාධනා කොට බුදුන් මුබ ගෙන්වා ගෙන මුබ දී ම බණ අසමී’ සවස් වේලේ පුතනුවන් බණවා ලා ‘යව, විහාරයට ගොසින් සෙට දවස් බුදුන් මුබ දී වළඳන්ට වඩනා නියායෙන් නිල කොට ගෙන එව’යි කිවු ය.

උයි ත් විහාරයට යන තැනැත්තෝ පළමු කොට ආජීවකයා ළඟට ගොසින් වැඳ ලා හුන්හ. ආජීවකයා ‘කොයි යවු දැ’යි විචාරා ‘මෑණියන්ගේ විධානයෙන් බුදුන්ට ආරාධනාවට යෙමී’ කී කල්හි, ‘තෙපි ආරාධනාවට විහාරයට නො යව’යි කී ය. ‘මම අපගේ මෑණියන් වහන්සේ කියා ලූ මෙහෙවර. වරද්දා නො පියහෙමි’යි කිවු ය. ‘එ සේ නො කැමැත්තේ ය. උන්ට ඉදිකළ දන් දෙන්න එක් වලා කම්හ නො යව’යි කී ය. ‘මුඹගේ විධානයට වඩා අපගේ මෑණියන් වහන්සේගේ විධානය ම අපට වැටෙන හෙයින් යෙම් ම’යි කිවු ය. ‘එ සේ තොප තත්පර පසු ගොසින් සාමාන්‍යයෙන් ආරාධනා කොට ලා ‘තොප හිඳිනා ගෙය අසවල් වීථියේ ය. අසවල් තැන ය යි නො කියා අසවල් මඟ වැඩිය මැනැවැයි නො කියා එව යි. තමා කුසල් මං අකුසල්, මං නොදන්නා සේ ම බුදුනුත් උන්ගේ ගෙය පමණට ත් මං නො දනිතී සිතා එයි ත් නො කියන්ට කී ය.

එ ලෙස කියා ලා කළ මනා ලෙස කියන්නේ ‘තොප ආලෙද ත් නො කියා මඳක් සිට ලා` අනික් මගෙක එව’යි කිවු ය. එයි ත් ඒ ගිවිස ගෙන බුදුන් ළඟට ගොසින් ආරාධනා පමණක් කොට ලා අසවල් මඟින් අසවල් වීථියේ අසවල් ගෙට වඩනා බව යයි නොකියා මඳක් සිට ලා ආ ලෙ ද තබා ලා අනිත් මඟෙකින් ආජීවකයා ළඟට අවුත් කියා ලූ ලෙසට නො වරදවා කළ නියාව කී ය. ආජීවකයා ද ඒ අසා ‘කළ දෑ යහපත ඉදි කළ දන දෙන්න කම්හ’යි කියා ලා දෙවන දවස් උදාසන ම ආජීවකයා එ ගෙට ගියේය. ඌ කැඳවා ගෙන පිටිපස්සේ ගෙයක හිඳුවා ලා ඒ උපාසිකාව තමන් බුදුන්ට දන් දී නුපුරුදු හෙයින් අසුන් පනවන ලෙස නො දන්නා ඉක් බිති ගෙවල මිනිස්සු එ ගෙයි ගොම පිරි බඬ ගෙන ලා ලද පස් මල් විසුරුවා ලා බුදුන් වැඩ හිඳිනට මාහැඟි කොට හස්නක් පනවා ලා කළ මනා පිළියෙළ කොළෝ ය.

බුදුවරුන් වහන්සේ එක් කෙනකුන් මඟ කිව මැනවැ යි නැත. පැරුම් පුරා නිමවා බෝ මැඬ වැඩ හිඳ බුදු වන දවස් ම තව බුදු නො වන තුරු ‘මේ නරකයට යන මග ය, මේ තිරිසන් යෝනි යට යන මග ය, මේ ප්‍රේත ලෝකයට යන මග ය, මේ මිනිස් ලෝකයට යන මග ය, මේ දෙව් ලොවට යන මග ය, මේ බඹ ලොවට යන මග ය, මේ නිවන් මග ය’යි සියලු ම මං දැක වදාළ හෙයින්, ගම් නියම් ගම් ආදියට මං කැලම දැන වදාළ හෙයින්, බුදුහු උදාසන ම තමන් වහන්සේ පමණකට කළ ආරාධනා හෙයින් පා සිවුරු තමන් වහන්සේ ම හැර ගෙන උපාසිකාවන්ගේ ගෙදොරට වැඩි සේක. උයිත් පෙර මගට අවුත් බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ගෙන ඇතුළු ගෙට වඩා ගෙන ගොසින් හස්නෙහි වඩා හිඳුවා සස්නෙහි පහන් ව අතට පැන් වඩා ලා තමන් තමන්ගේ බල පමණෙක ඉදි කළත් දෙවියන්ගේ වසයෙන් අති මධුර වූ ආහාර වළඳවා ලා වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණට ආරාධනා කොට පාත්‍ර ය ගත්හ.

බුදුහු මියුරු කට හඬින් බණ වදාරන්ට පටන් ගත් සේක. උපාසිකාවෝද සාධුකාර දි දී බණ අසති ආජීවකයා ද පිටි පස්සේ ගෙයි හුන් තැනැත්තේ උපාසිකාවන් බණ අසා සාධුකාර දෙන හඬ අසා හිස රුජා ව ඇති කෙනකුන් මහත් කොට දොඩන බස් ඉවසි ය නො හෙන්නා සේ කන මි වත් කරන්නා සේ ඇසෙන සාධුකාර සැදැහැ නැති හෙයින් කන හුල් ගසන්නා සේ තෙමේ ඉවසා ගත නො හී ගේ පිටි පස්සෙන් අවුත් ‘කාලකණ්ණි තැනැත්තිය, තුලුන්ට තෙල ලෙස සත්කාර කොට බණත් අසා මෙතෙක් දවස් ගරුතර ව හුන් තරම ත් නසා ගත්තී ද, ඉතිකින් තිට වැඩෙක් නම් නැත’යනාදීන් උපාසිකාවන්ට ත් දොඩා ගෙන කළ ආරාධනාවෙන් දන් වළඳන්ට වැඩ හුන් බුදුන්ටත් දන් වළඳා බණ වදාළ පමණකට බැණ ගෙන නිරා වදිනට පලා ගියේ ය.

උපාසිකාවෝ දඋගේ දෙඩීම් බිණීමෙන් බලවත් ලජ්ජා ඇතිව සිත එකඟ නො වී බණ දෙසුම් ලෙසට නුවණ මෙහෙයා ගත නුහු ණු වූ ය, බුදුහු ඒ දැන ‘කුමක් ද, උපාසිකාව, කෙතකට පැන් ඇ ළත් යොමු කරන්නා සේ බණට සිත යොමු කොට ගත නො හේදැ’ යි විචාරා ‘එ සේ ය, ස්වාමීනි, වැඩෙමින් සිටි දළුවකට නියඟක් කළ වියවුලක් මෙන් තුලුගේ කථාවෙන් වික්ෂේපයට පැමිණ සිත එකඟ නො වෙ’ යි කිවු ය. බුදුහු ද ඒ අසා තෙල සේ වූ වන්ගේ බස් නම් වැසි නැති ව හඬන අහසක් මෙන් නිෂ්ප්‍රයෝජන හෙයින් සිත් හෙළා ඇසි ය යුතු නො වෙ යි. ඇසී ගිය ත් සිත තිබි ය යුතු නො වෙ යි. කවුරුන් කුමක් කීව ත්, කුමක් බිණුව ත්, දෙඩීම් බිණීම් ලබන්ට වරදක් නැති පසු ඒ උන්ට ම නැගෙ යි. සිතාගෙන ගිහි වූ වොත් ‘අසවල් තැනැත්තෝ සැදැහැ නැත්තෝ ය, දන් පින් නො කෙරෙති” කියා ත් ශාසනික වූ වොත් ‘අසවල් වහන්දෑ සැදෑ නැති සේක.

‘ඇදුරු වතෙක් වේවයි, තෙර වතෙක් වේව යි, ආගන්තුක වතෙක් වේව යි, ගමික වතෙක් වේව යි. මහ බෝ වතෙක් වේව යි, පොහො’ග වතෙක් වේව යි, බොජුන් හල වතෙක් වේව යි, ගිනි හල් ගෙයි වතෙක් වේව යි, වතෙකැයි කියා කරණ දෙයෙක් නැත’ යනාදීන් එයි ත් නො සලකා තමා ම කළ නො කළ දෙය සලකා කළ දෙය කළාට ම හැර නො කළ වත් පිළිවෙත් ශාසනිකයන් විසින් කොට ගිහින් විසිනු ත් තුන් සුසිරි පුරා නිවන් අත් පත් කට යුතු ය යි වදාළ සේක. ඒ බණ අසා උපාසිකාවෝ සෝවාන් ව ආජීවක භක්ති සත්කාය දෘෂ්ටි නැති වීමෙන් ම හළ වූය. මේ දේශනාව බොහෝ දෙනාට ත් ප්‍රයෝජන වි ය.

එසේ හෙයින් සැදෑ ඇති කුල දරුවන් විසින් කවුරුන් කුමක් කීව ත් ඒ සිතට නොනඟා තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා නිවන් දහම් පසක් කට යුතු.

_________

  1. වැදූ, වදාපු