48. මච්ඡරිය කෝසිය සිටාණන් ගේ වස්තුව

star_outline

තව ද මාලුවා ලිය වැළඳි ගස් කොළවල වැඩියුරුවක් නැත් තා සේ තද මසුරු සිත් ඇත්තවුන් පිනට නො ලැගෙන නියාව හඟවනු පිණිස මච්ඡරිය කොසිය සිටාණන්ගේ වස්තුව දක්වමු.

ඒ කෙසේ ද යත්:-

රජගහ නුවරට නුදුරු තෙන සක්ඛර නම් නියම් ගමෙක් ඇත. ඒ නියම් ගම මච්ඡරිය කොසිය නම් සිටාණ කෙනෙක් වෙසෙති. සම්පත් බලා ලූ කලට අසූ කෙළක් විතර ය. තණ අග ගලා තෙල් බින්දුවක විතරක් අනුන්ට දීල ත් නම් සිතට දුක් බලවත් හෙයිනුත් නොලබන දුක්පතුන් සේම තමන් ප්‍රයෝජන විඳිනට නැති හෙයිනු ත් දුක්පත්කම සම්පතට වඩා මහත අනුන්ට දී නො ලන හෙයිනුත් තමන් ප්‍රයෝජන නො විඳිනා හෙයිනුත් උන් ලද සම්පත නම් රකුස්සන් තමන් නො බොන හෙයිනු ත් අනුන් බිය නො දෙන හෙයිනුත් රකුසු රකවල තුබූ විලක් වැන්න.

බුදුහු එක් දවසක් අළු යම් වේලෙහි මහ කුලුණු සම වතින් නැඟී ගඳ කිළියේ පටන් සක්වළ මුව විට දක්වා නුවණ දැළ පතුරවා නිවන් දක්වන්ට නිසි සත්ත්‍වයන් බලන සේක් සැවැත් නුවරට එක් සිය අසූ ගවුවකින් ඔබ්බෙහි වසන මච්ඡරිය කෝසිය සිටාණන්ගේ හා සිටු දුවණීයන්ගේ හා සෝවාන් වීමට නිසි හේතුව දුටු සේක.

පෙරාතු දවසක දී සිටාණෝ රජ ගෙට ගොසින් එන තෙනැත්තෝ එක් සාකුස් ඇති දනවු මිනිසකු කුම්මාසයන් පිරුණු කබලු පූවක් කන්නවුන් දැක සම්පත් මහත් වූවත් අදහස කුඩා හෙයින් ඒ කබලු පූවෙහි රුචියක් ඇති ව ගෙන තමන්ගේ ගෙට ගොසින් ‘ඉදින් කබලු පූවක් කනු කැමැත්තෙමි කීම් නම් මා කැමති වූවා සේ ම බොහෝ දෙන ත් කන්ට සිතා ගනිති. එ සේ කලට මා ගෙන් බොහෝ සාල් හා කිරි පැණි සකුරු ආදි වූ බොහෝ දෙයට අළවි පෙනෙයි. කිසි කෙනකුන්ට ත් නො කියමි’යි සම්පත් ඇති නියා ව කාට ත් නො හඟවන්නා සේ ම කබලු පූවට කළ ආලය ත් සිටු දුවණියන් පමණකට ත් නො හඟවති. නො හැඟවීමෙන් කල් යත් යත් කසා යුස වත් කොට පිසූ කබලු පූ සේ පඬුවන් පැහැ ඇති විය. නො තර මාලු කඩෙක වැල් පැද ලූ කලක් මෙන් ඇඟ නහර වැලුත් ඉපිළ ගියේ ය.

කබලු පූවට රුචි බලවත් වත් ශ්‍රී යහන් ගබඩාවට වැද ලා, යහනට පැන නැඟී ලා, වස්තුව ප්‍රබල වුවත් සිත දුර්වල හෙයින් වක ගසා ගෙන කබලු පූවෙන් මුත් නො සන්හිඳෙන තරම් සිත ව්‍යාධි ය ඇතිව වැද හොත්තේ ය. එ සේ වුව ත් වස්තු හානිය ම සලකා ලජ්ජා සම්පන්න කෙනකුන් අස්ථානයෙහි ඇති ලෙඩක් අනුන්ට කියන්ට මැළි වන්නා සේ කියන්ට මැළි ව කිසි කෙනකුන්ට ත් නො කියති.

ඉක් බිත්තෙන් ඇඹේණියෝ හැඳ බඩට ගොසින් පිට පිරිමැඳ පියා ‘ඇඟට නුසුව කුමක් දැ’යි විචාළහ. ‘මට කිසි ත් අඵාසුවෙක් නැතැ’යි කී කල්හි ‘රජ්ජුරුවන් වහන්සේ ගෙන් උදහසක් වූ නියා දැ’යි විචාරා ‘එසේ ත් නැතැ’යි කී කල්හි ‘දූ දරුවන් ගෙන් හෝ ගෙයි කෙලි කොල්ලන් ගෙන් මුසුප්පු වන්ට නිස්සක් කළ නියා දැ’යි විචාරා එ සේ ත් නැතැ’යි කී කල්හි ගෙයි දඩ විචාරීමෙහි කුසී කමක් නැත්තා සේ ම විචාරීමෙහි නු කුසීත ව ‘එ සේ කල කිසි දෙයක් කන්ට රුචි ඇති නියා ද’යි විචාළහ. එසේ වුවත් වස්තුව අගිදම් වෙයි යන භයින් කිසිවකුත් නො කියා ම වැද හොත්හ. ඉක් බිත්තෙන් සිටු දුවණියෝ මට කියන දෙයට මැළි වන්නේ හැයි ද? කිව මැනැවැ’යි තරව කිවු ය. එ වේලෙහිදී රළු දෙයක් සපා දුක සේ ගලන පරිද්දෙන් කිසිවක් කන්ට ආලයෙක් ඇතැ’යි කිවු ය. ‘කුමකට දැ’යි විචාළ කල්හි සිත හා උනු ත් ගෙන කබලු පූවකට ය’යි නැතක් වේලකින් කෙසි විදට මහත් දෙයක් කෙසි විදකුන් අදනා කලක් පරිද්දෙන් දුක සේ කියා පීහ.

සිටාණන්ගේ අදහස පටු වුවත් තමන්ගේ අදහස විශාරද හෙයින් ‘ඇයි මෙ විතරක් කියන්ට මැළි වූයේ, අසූ කෙළක් වස්තු ඇති වත් දුක්පත් හෙයින් ද? සියලු ම මේ සක්ඛර නම් නියම් ගම් ඇත්තවුන්ට සෑහෙන ලෙස කබලු පූ පිසම්[1] දැ’යි එතෙක් කල් උන් ළඟ වැස ත් උන්ගේ අදහස සිතට නො නැංගා සේ විචාළෝ ය. ඒ අසා සිටාණෝ ‘උන් අපට හැයි ද? ඌ රුවි ඇත්ත වූ නම් තම තමන් ගෙන් කතී’ කිවු ය. ‘එ සේ වී නම් මේ නියම් ගම එක් වීථියක ඇත්තවුන්ට සෑහෙන ලෙස පිසෙම් දැ’යි කිවු ය. ‛හැයි තොප මා ඇතුන් නියා ව අපි දන්නමෝ වේ දැ’යි කියා ඊට ත් මැළි වූ ය. එ සේ වී නම් මේ මාළිගාව ඇතුළත වසන්නවුන්ට සෑහෙන ලෙස පිසම් දැ’යි කිවු ය. උන් තමන්ගේ අදහස් ලෙසින් විචාරන්නා ‘තොපගේ අදහස විශාරද නියා ව ආදි නොහැඟුණ ත් දැනු ත් නො හැඟේද? එසේ ත් නො කැමැත්තේ ය’යි කිවු ය. එ සේ වී නම් මුඹගේ අඹු දරුවන් පමණකට සෑහෙන සේ පිසම් දැ’යි කිවු ය. ‛සෙසු වුව මනා දවස් නැති හෙයින් අද ම වුම මනා ද? උන් හැම හැයි දැ’යි කිවු ය. ‘එ සේ කළ මේ සා මහත් සම්පත් ඇති මුඹ ම තනි ව තබා ගෙන අනුභව කරන්නේ කෙසේ ද? මුඹට ත් මටත් අප දෙන්නා පමණකට යට ත් පිරිසෙයින් සාල් එක් නැළිමනාවක් විතර වන හෙයින් එ පමණක් පිසමෝ දැ’යි විචාරා ‘තෙපි කා කුමක් කරා ද’යි කී කල්හි උන්ගේ මසුරු අදහස සියලු ලෙසින් දැන ලා ‘එ සේ වී නම් මුඹ පමණකට කබලු පිසෙම් දැ’යි විචාළෝ ය.

ඒ ගිවිස ලා ‘මෙ තැනදී පිසතො ත් බොහෝ දෙන ආල ය කෙරෙති. සාල් ඇර ගන්නා කලත් නො කඩ සාල් හැර නො ගෙන කඩ සාල් හැර ගෙන ඉඳින්නකු ත් කබල් පූ කිරිත් හැර ගෙන කිරි පැණිත් මී ත් කබලුව කා ගන්නා විවර මුත් වඩාත් හැර නො ගෙන සත් මාල් මාලිගාවේ උඩු මාලට නැඟී ලා පිසව. මම ත් උඩු මාලේ දීම කමි’යි තමන්ගේ මසුරු කමෙහි තරම සුඟකුත් පසුව හඟවන්ට නො තබා හඟවා පූ ය. උයිත් යහපතැ යි ගිවිස කබලු කැවුමට වුව මනා දෙය ගෙන්වා ගෙන මාළිගාවට නැගෙන්නෝ කෙල්ලනුත් සිටුවා පියා සිටාණන් පමණක් හැර ගත්හ. උයිත් මාලින් මාලේ අගුළු ලා ගෙන සත් වන මාලට නැඟී ලා සත් වන මාලේ කවුළු දොරත් පියා පුවො ත් අඳුරු හෙයින් කවුළු දොර හැර තබා ලා මහ දොර අගුළු ලා ගෙන කබලු කන්ට දැපී උන්හ. සිටු දියණියෝ ත් උදුනෙහි ගිනි මොළවා ලා කබල උදුනේ තබා ලා පාත දී ම කොටා සලා ගත් පිටි හෙයින් කබලු පිසන්ට පටන් ගත්හ.

ඉක් බිත්තෙන් බුදුහු උදාසනම ඍද්ධිමත් තැනට අග පත් මුගලන් මහ තෙරුන්වහන්සේ බණ වා ලා “හෙම්බා මුගලන්නි” රජගහ නුවරට නුදුරු සක්ඛර නම් නියම් ගම මසුරු සිටාණන් කබලු කමින් ‘මී අනික් කෙනෙක් දැක ආලය කෙරෙත් දෝ හෝ’යි යන භයින් සත්වන මාළිගාවේ උඩු මාලේ වැද හිඳ කබලු පිසවයි. තෙපි ඔබ ගොසින් තොපගේ ආනුභාවයෙන් මසුරු සිත් හරවා තොප කෙරෙහි පහදවා ගෙන උන් දෙ මාල්ලන් ලවා පිසූ කබලු පූත් පැණි ආදිය ත් ගෙන්වා ගෙණ තොපගේ ආනුභාවයෙන් එක් සිය අසූ ගවුව ගෙවා වළඳන වේලාවට මේ දෙව්රමට එව, නිති පිරිවර පන් සියයක් භික්ෂූන් හා සමඟ වෙහෙර ම රඳා තනි සිටාණන් පමණකට ඉදි කළ කබලු ම සහපිරිවරින් හිඳ වළඳම් හ”යි වදාළ සේක.

මුගලන් මහ තෙරුන් වහන්සේ ‘යහපතැ’යි ගිවිස බිමින් යන ගමන් කල් යන හෙයින් අහසින් ඒ නියම් ගමට වැඩ මාළිගාවේ සිවු මැදුරු කවුළුව ගාවා ගැටවටු ගන්වා අහස ඉඳුනිල් මිණි රුවනක් මෙන් වැඩ සිටි සේක. සිටාණෝ ද තෙරුන් වහන්සේ දැක, “මමත් වැළි ත් මෙ තැනට එන්නෙම් පාත වී නම් යමෙක් එ තැනට සම්භ වෙති. සම්භ වූ නම් මා පවා පිලිණි කබලු කෑමට ආල ය කළ කල ඌ තුමූ මෙ තරම් දෙයකට කැල ම ආල ය කෙරෙතියි උන් කෙරෙහි ම සැකයෙන් මෙ තැනට අයිමි. සීනෙන් සැඟවෙන්නට බැරියා සේ මුයි ත් අවුදින් මෙ තැනට සම්භ වූ ය. ආදිම කවුළු දොර ත් මෙසේ වූ අවුල් තකා වසාලන්නට නුවූ හෙයින් මුන් අවුත් සිටිය දී වසා ලන්ට ත් තරම් නො වෙයි. කළ මනා කිම් දෝ හෝ ‘යි සිතත් කබලු කන්ට සිතා ගත් උපදේශ මුත් පරලොවින් ගැළවෙන්නට උපදෙස් පමණකුත් තමන් නොදත් හෙයින් එ සේ වූ තැනට සිතන්ට නිස්සක් සිතා ගත නොහී ගින්නට දමා ලූ ලුණු මෙන් ත තනමින් ‘මහණ, මේ අහස සිටිනා තබා සක්මන් කෙළෙහි නමුත් මින් ලබන දෙයෙක් නැතැ’යි කී ය. ඒ අසා මහ තෙරුන් වහන්සේ උන්ට ඒ බැරෑරුම් වූව ත් තමන් වහන්සේට බැරෑරුම් නො වන නියාව හෙයින් නිරාලම්බන වූ අහස සක් මන් කරන්ට පටන් ගත් සේක.

සක් මන් කරණ නියාව දුටු කල හිඳිනට පිළිවන් ම නියා වේ දැ යි සිතා ගත නොහී ‘සක්මන් කරන්නා තබා අහස පලක් බැඳ හුන්න ත් මින් ලබන දෑ නැතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ද මුන් කී කී දෙයක් ම කළ මනා වේ දැ යි කාය චිත්ත ගතිය ලඝු කොට ගෙන අහස වැඩ හුන් සේක. ‘තෙල ලෙසින් හිඳ කුමක් ද? අහසින් අවුත් කවුළු දොර කෙරේ සිටිය නමුත් මින් ලබන දෙයෙක් නැතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් වැඬ කවුළු දොර එළි පත වැඩ සිටි සේක. ‘එ තන සිටියා තබා දුමා ගිය ත් මින් ලබන දෙයෙක් නැතැ’යි කිවු ය.

මහ තෙරුන් වහන්සේ කබලු පිසන උදුනෙන් නැඟෙන දුමට ත් වඩා දුමා ගිය සේක. සියලු මාළිගාව දුම් ගෙයක් සේ විය. සිටාණන්ගේ ඇසට දුම් වැද ලා කබලු මඳ හෙයින් හඬන්නා සේ ඇසින් දිය වැගිරෙන්ට වන. ‘දුමන්නා තබා දිළිහී ගිය නමු ත් නො ලබව’යි කිව මනා බස ගෙය දා යේ දෝ හෝ යි යන භයින් නොකියා ‘මේ මහණ මටත් වඩා කැවුමට රුචි ඇති වන. නො ලද හොත් මේ තරම් තරයක් ඇති තැනැත්තෝ නො යෙති. එක් කබලු කැවුමක් දෙවමි’යි පිස නිමියායෙන් දෙත හොත් එක් කබලු කැවුම මහතැයි සිතා සිටු දුවණියන්ට ‘කුඩා ම කොට ලා කබලු කැවුමක් පිස ලා තුලුන්ට දී උන් මෙ තැනින් නික්මෙන ලෙසක් කරව’යි කිවු ය.

සිටු දුවණියෝ ද හැඳි අගින් පිටි සිඟිත්තක් හැර ගෙන කබලු පිසන කබලේ වත් කොට ලූ ය. සුධා භොජන ජාතකයෙහි මෙ ම මසුරු සිටාණන් කිරි බත් කන්ට පත් ගෙනෙන්ට කී කල හිම වතට අත පුවා ලා අඬන්නා සා මහත ඇති මාලුවා පත් අතුළා සේම පිටි සුඟක් වත් කළත් මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් ආදි පිසූ කබලු මුළුල්ලට ත් වඩා කුඩා කරන්ට සිතූ කබලු කැවුම මහත් විය. ‘ඒ මහතැ’යි තවත් කුඩා ම කොට පිසන්ට ප්‍රයෝග කළ සේම කැවුම මහත් වේ ම ය. සිටාණෝ මුසුප්පුව පියා සිටු දුවණියන්ට කියන්නෝ ‘සොඳුර, කුඩා වත් කිම, මහත් වත් කිම? තිලින් එක් කබලු කැවුමක් දී පියව’යි කිවුය. සිටු දුවණියනු ත් එකක් හැර ගෙන පිළිගන්වන්ට ය යි එකක් අල්වන්නා මහ තෙරුන් වහන්සේගේ ආනුභාවයෙන් හැම කබලු කැවුම් ම එක බඳ ව ඇලිණ.

සිටු දුවණියෝ එකක් වෙන් කරන්ට උත්සාහ කොට ලා ‘මේ කබලු කැවුම පිසීමෙන් වෙන් බව මුත් තිබීමෙන් එක් විය. වෙන් කොට ගත නො හැකි ය’යි කිවු ය. එ සේ වී නම් ඉඳෙ යි කියා ලා තුමූ ත් එකක් වෙන් කරන්ට යත්න කොට වෙන් කොට ගත නුහුණුවු ය. පිසූ තැනැත්තවුන් හා පිස වූ තැනැත්තවුන් හා දෙන්න එක්ව එකක් වෙන් කොට ගන්ට යත්න කොට ත් වෙන් කොට ගත නුහුණුවු ය. ගත් ආයාසයෙන් ඇඟින් ඩා ත් වැගිරෙන්ට වන. කබලු කැවුමට රිසි ත් ගියේ ය. ඉතිකින් දෙන්ට ත් සිතා ගෙන ‘අපට කබලු කැවුම් නො කැමැත්තේ ය. පැසින් ම දී පියව’යි කියා සිටු දුවණියන්ට කිවු ය. උයි ත් කබලු පැස හැර ගෙන මහ තෙරුන් වහන්සේ ළඟට ගියෝ ය. මහ තෙරුන් වහන්සේ උන් දෙන්නාට තුනුරුවන ගුණ ත් දන් දීමෙහි අනුසසු ත් විභූතකොට දක්වා බණ වදාරා දෙන්න ම සතුටු කැරවූ සේක.

බණ අසා පහන් සිතැ’ති සිටාණෝ ‘ස්වාමීනි, ඇතුළු මාළිගාවට වැඩ ශ්‍රී යහන් මත්තේ වැඩ හිඳ කබලු වැළඳුව මැනැවැ’යි කිවු ය. ‘සිටාණෙනි, අප එ සේ වළඳන්නේ කෙසේ ද? බුදුහු නිති පිරිවර සඟ පන් සිය ය හැර ගෙන සිඟා ත් නො වැඩ කබලු වළඳන්ට වෙහෙර ම වැඩ හුන් සේක. තොපගේ කබලු කැවුමට රුචි තැත ත් බුදුන් කරා යන්ට රුචි ඇත්තා නම් සිටු දුවණියන් හා තෙල හැම ගෙන්වා ගෙන යම්හ’යි වදාළ සේක. සිටාණෝත් ‘බුදුහු දැන් කොයි දැ’ යි විචාරා ‘මෙ තැනට එක් සිය අසූ ගවුවෙකින් ඔබ්බේ දෙව් රම් වෙහෙර වසන සේකැ’යි වදාළ කල්හි ‘වේලා නො වරදවා මෙ තෙක් කතර යා හැකි දැ’යි විචාළහ.

‘සිටාණෙනි, තෙපි රුචි ඇත්තා නම් මම මාගේ ආනුභාවයෙන් කැඳවා ගෙන වේලා නො වරදනා තෙක් ඔබ ලා ලමී’ වදාළ සේක. එතැන තබා බඹ ලොව වැඩ හුන්න ත් ඔබ වී නමුත් ලා ලන්ට බල ඇති සේක. මෙ සේ වදාරා ලා ‘සිටාණන්ගේ මාළිගාවේ හිණි හිස මේ මාළිගාවේ ම වේව’යි හිණි පා මුල දෙව් රම වේව යි ඉටා ලා උන් දෙ මල්ලන් කැඳවා ගෙන උඩු මාලෙන් යට මාලට බසිනා වේලාවට ත් වහා ම දෙව්රමට වැඩි සේක. ඔහු දෙන්න ද බුදුන් ළඟට ගොසින් වළඳන වේලා නියාව දැන්වූහ. බුදුහු වළඳන ගෙට වැඩ පනවන ලද බුදු හස්නෙහි සඟ ගණ පිරිවරා වැඩ හුන් සේක. සිටාණෝ ද බුදු පාමොක් සඟගණ අතට පැන් දුන්හ. සිටු දුවණියෝ බුදුන්ගේ පාත්‍රයට කබලු පිළිගැන්වූ ය. බුදුහු ත් යපෙන පමණක් පිළිගත් සේක. පන් සියයක් දෙනා වහන්සේ ත් තමන් වහන්සේ යපෙන පමණක් පිළිගත් සේක. සිටාණෝ ද මී සකුරු පැණි ආදිය පිළිගැන්වූ ය. බුදුහු සහ පිරිවරින් බතට ත් කොට කබලු ම වැළඳූ සේක.

සිටාණෝ ද වළඳා ඉතිරි ව ගිය දෙය හෙයින් ඇඹේණියන් හා සමඟ බඩ පුරා ම කෑවු ය. වළඳන වේලාවට වෙහෙරට රැස් වූ සිය ගණන් සිඟන්නන් පුලන්නන්ට ත් දීත් සිටාණන් පමණකට ඉදි කළ කබලු නො නිමා සිටු දුවණියන් විචාළ ලෙසින් සියලු සක්ඛර නම් නියම් ගම ඇත්තවුන්ට දුන ත් නො නිමන තරමේ තිබෙයි. උතුරු කුරු දිවයිනි න් ගෙනා සාල් නැළියෙක කබලු ත් නො වෙයි. වහන්දෑ ද බුදුන් ළඟට ගොසින් කබලු නො නිමෙන නියාව දැන්වූ සේක. බුදුහු ඒ අසා ‘එ සේ වී නම් වෙහෙර දොරටුව කෙරේ ලවා පියව’යි වදාළ සේක. වදාළ විධානයෙන් දොරටුව ළඟ ගල් තල්ලෙක ලා පී සේක. ඒ ගලට අද දක්වා ත් ‘කබලු ගල ය’යි කියති. සිටාණන් හා සිටු දුවණියෝ ද බුදුන් ළඟට ගොසින් වැඳ ලා එකත් පස්ව සිටියහ. බුදුහු උන් අනුභව කළ කබලු රස ය වෘත්ත සන්නිශ්‍රිත හෙයින් විවෘත්ත සන්නිශ්‍රිත රසයක් දෙවනු නිසා බණ වදාළ සේක. බණ අසා දෙන්න ම සෝවාන් ව බුදුන් වැඳ ගෙන වෙහෙර දොරටුවෙහි පිහිටා තුබූ හිණට නැඟී ලා තමන්ගේ මාළිගාවට ම ගියහ. සිටාණෝ ද එ වක් පටන් අසූ කෙළක් වස්තු මසුරු සිත් නැති වූ හෙයින් දන් විධානයට ම නිල කළහ.

දෙ වන දවස් සවස ධම් සෙබෙයි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවයක් බලව, මසුරු සිටාණන්ගේ සැදෑ ත් නො නසා සම්පතට ත් හානියක් නොකොට ඇසිල්ලකින්ම උන් පහදවා ගෙන පාත්‍රයට පිළිගෙන ගෙනෙන්ට පිළිවන් කබලු උන් ලවා ගෙන්වා ගෙන අවුත් බුදුන්ට ළං කොට ලා සෝවාන් කරවා ලූ සේක. අනේ ඔබගේ ආනුභාවයක් බලවත් නිසා ය’යි ඔබගේ ගුණ වදාළ සේක.

බුදුහු එ තැනට වැඩ කෙරෙමින් හුන් කථාව විචාරා වදාරා මුගලන් මහ තෙරුන් වහන්සේගේ ගුණ කථාව නියාව දැන් වූ කල්හි ‘මහණෙනි. කුල පහදවන්නවුන් විසින් සැදෑවට ත් භෝගයටත් හානියක් නොකොට මල් රොන් ගන්නා මී මැසි බඹර මැසි ආදීන් මලෙහි පෑයට ත් සුවඳට ත් හානියක් නො කොට වුව මනා රොන් පමණක් හැර ගෙන මී රස කරණු නියා වලට ගොසින් ගස් සිදුරු ආදියෙහි මල් රොන් ලා ලා සෙසු ත් වුව මනා දෙය ත් ලා ලා මී බැඳ මී රස අනුභව කරන්නා සේ ගම්වල සිඟා ඇවිද ලද දෙයක් ගමින් පිටත පැන් ඵාසු තැනක දී හිඳිනා කඩ ලා ගෙන වැද හිඳ පිළිකුල් විසින් මෙනෙහි කොට බත අනුභව කොට ලා වලට වැද කමටහන යෙදී මාර්‍ගඵල උපදවා ගෙන නිවන් රස අනුභව කරන්නෝ ය’යි වදාරා බොහෝ දෙන නිවන් දක්වා මුගලන් මහ තෙරුන් වහන්සේ ගිය දවස ත් ශක්‍ර ව ඉපැද මසුරු සිටාණන් දන් පින්හි යෙදූ සැටි ය දක්වන්ට -

“උභො ඛඤ්ජා උභො කුණී - උභො විසමචක්ඛුලා,

උභින්නං පිළකා ජාතා - නාහං පස්සාමි ඉල්ලිසං”

යනාදීන් ඉල්ලීස ජාතකය ත් වදාළ සේක.

එසේ හෙයින් නුවණ ඇත්තවුන් විසින් මසුරු සිත නම් දියෙහි හට ගත් සෙවෙලක් මෙන් කුසල් සිතට පිළිපක්[2] හෙයින් කළ පිටින් සෙවෙල් ඉවත් කරන්නා සේ තදඞ්ග වශයෙන් වුව ත් මසුරු සිත නැති කොට කුසල්හි යෙදී නිවන් අත් කට යුතු.

  1. පිසෙම්

  2. පිළිවක්