3. බුද්ධ චරිත ය

star_outline

“අචේතනායං පඨවී - අවිඤ්ඤාය සුඛං දුඛං,

සාපි දානබලා මය්හං - සත්තක්ඛත්තුං පකම්පථ.”

යනු හෙයින් මහ පොළොව ගුගුරුවා මහ දන් දීමෙන් පැරුම් කුළු ගෙන, ආයු කෙළවර තුසී පුරෙහි ඉපැද සත් පනස් කෙළ සැට ලක්ෂයක් භවුරුදු දිව සැපත් වළඳා, දසදහසක් සක් වළ දෙවි බඹුන් අවුත් මෙ එක සක්වළට රැස්ව-

“කාලෝයං තේ මහාවීර - උප්පජ්ජ මාතු කුච්ඡියං,

සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං.”

යන හෙයින් බුදු වන්ට කල් දැන්වූ කල්හි කල් දෙස් ආදිය බලා බුදු වන්ට කල් නියාව දැන, උපදනට දඹදිවින් මධ්‍ය දේශයත් නියම කොට එ කලට රජ කුල ය උතුම් නියාවත් සලකා මහාමායා බිසොවුන් දස මස් සත් දවසකට ආයු ඇති නියාවත් දැන ඇසළ පුර පසළොස්වක් ලද අඟහරුවාදා උතුරුසළ නැකතින් මධ්‍යම රාත්‍රි වේලෙහි තුසී පුරෙන් චුත ව, දඹදිව මැදුම් පියස කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ්ජුරුවන් නිසා මහාමායා බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් මුළුල්ලෙහි දෑවාණ කරඬුවකට වඩා ලූ රන් පිළිමයක් මෙන් වැස දස මස් අයාමෙන් -

විභූසිතා බාලජනාතිවාලිනී

විභූසිතඞ්ගී වනිතේ ව මාලිනී[1]

තදා ජනානං නයනාලිමාලිනී

විලුම්බිනීවාති විරෝචි ලුම්බිනී

යන තරමට සැරහී සිටි ලුම්බිනී වන නම් උයන්හිදී බිහි ව කලාවෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් වැඩි විය පැමිණ පුරා පිරුවා වූ‍[2] ත්‍රිවිධ සුචරිතානුභාවයෙන් ත්‍රිවිධ සෘතුවට නිසි ව පහළ වූ මාළිගා තුනෙහි බිම්බා බිසොවුන් ප්‍රධාන කොට ඇති සතළිස් දහසක් පුරඟනන් පිරිවරා ශක්‍ර සම්පතට අපහාස්‍ය කරන්නාක් වැනි වූ රජ සැපත් විඳින දෑ උයන් කෙළියට යන තුන් දවසෙක ජරා පිළිකුල් රුවක් - රෝගී රුවක් හා මළ රුවක් ද දැක සසර කලකිරී සතර`චැනි මුරයේ සන්හුන් පියෝ ඇති මහණ රුවක් දැක මහණ වීමෙහි රුචි උපදවා එ දවස් උයනට ගොසින් උයන් කෙළියෙන් දවස් යවා මඟුල් පොකුණු බඩ සලවට මත්තෙහි හුන් දෑ කපු වෙස් ගෙන ආ විස්කම් දෙව් පුත්හු විසින් සරහන ලදු ව -

සුද්ධෝදන නරිනේද් - පේසිතං සාසනුත්තමං,

පුත්තෝ තෙ පුත්ත ජාතෝ’ති - සුත්‍වං තං දිපදුත්තමෝ.

යනු හෙයින් බිම්බා බිසොවුන් රහල් කුමරුවන් වැදූ නියා මහබිනික්මන් වහා නික්මෙන්ට කියා එවාලූ මෙහෙවරක් මෙන් සුදොවුන් රජ්ජුරුවන් ගෙන් කියා යැවූ හස්න අසා “දරු පෙම් නම් බලවත් දෙයක. පුත්‍ර ප්‍රතිලාභයට වඩා ශ්‍රමාණ්‍ය ඵල ප්‍රතිලාභය උතුම. තව ද මූ එක ම පුතණු කෙනෙක් වෙද් ද? මහබිනික්මන් නික්ම බුදු වුවොත් අසඞ්ඛ්‍ය ගණන් දරුවන් ලද හැක්කැ”යි වැඩියුරුවක් සිතා කරන යත්නයක් සේ එ දවස් ම මහබිනික්මන් නික්මෙන්නට සිතා ගෙන සවස් වේලෙහි දෝ නො හොත් සූර්ය නැමැති වල්ලභයා ගේ වියෝගයෙන් විල් නැමැති අඞ්ගනාවන් බඹර වැළ නැමැති වළලු ගලවන්ට පියුම් නැමැති අත් හකුළුවන් ට පටන් ගත් කල්හි මහ පෙළහරින් ඇතුළු නුවරට වඩනා දෑ—

‘නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතෝ නූන සෝ පිතා,

නිබ්බුතා නූන සා නාරී – යස්සා’යං ඊදිසෝ පති.’

යනු හෙයින් බැදෑණි කෙනෙකුන් තුන් විටක් කොට ම “නිවී ගියේ ය. සැනහී ගියේ ය”යි කියා ලූයහපත් මුවට, හාරය අනර්ඝ වුවත් පෙනී තුබූ ලක්ෂයක් අගනා මුත් හර ගලවා සතුටු හඟවන්ට යවා ලා තමන්දැ ගේ මාළිගාවට ගොසින් ශ්‍රී යහනේ හොත් දැ නිදන නළු ගෑනුන් ගේ දත් කෑම් ආදී වූ නො එක් විකට දැක තමන්ටදෑට විවරණ දුන් සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේ බුදු වන ජාතියෙහි උඩත් පිරිසෙයින් දස දහසක් හවුරුදු හා යටත් පිරිසෙයින් දෙ දහසක් හවුරු ගිහි සැපත් අනුභව කළත් විසිනව හවුරුද්දෙකින්ම ගිහි සැපතෙහි ඇලුම්හැර සසර තරයේ කලකිරී ගොසින් එක දවස් උපන් සන් නමැති ඇමති, රුවන් හිණි පා මුල හොත්තවුන් කැඳවාලා කන්ථක නම් අස් රජහු ගෙන්වාගෙන බුදු වූ කල ප්‍රඥා නැමැති සෛන්ධව අශ්වයා පිටට පැන නැඟී විෂය ව තුබූ අනන්තාප්‍රමාණ සක් වළවල ඥාන ගතීන්යන්ට අභ්‍යාස කරන්නාක් මෙන් ඒ අස් රජු පිටට නැඟී මිනිසුන්ගෙන් සන් ඇමැත්තන් හැරගෙන දස දහසක් සක්වළ දෙවිබඹුන් පිරිවරා අනන්ත වූ පූජා සත්කාර ඇති ව මහබිනික්මන් නික්ම බුදු වන වේලෙහි සර්‍වඥතාඥාන නමැති අසුපිටින් තෘෂ්ණා නමැති මහ ගඟ පැන නිවන් පරතෙරට පැමිණෙන්නා සේ ම අනෝමා නම් ගඟින් එ තෙර ව ඝටීකාර නම් මහ බඹු ගෙනා අට පිරිකරින් මහණ ව ගෙන සතියක් මුළුල්ලෙහි මහණ සුවෙන් දවස් යවා අට වැනි දවස් රජගහා නුවරට සිඟා ගොසින් ලද්දා වූ කෙණෙසි අහර පාණ්ඩව නම් ගල් තල්ලෙහි දී වළඳා අන්තයෙහි දී බිම්සර මහ රජුන් රාජ්‍යය කරන්නට ආරාධනා කළත්—

‘මා නික්ඛම මහාවීර - ඉතෝ තේ සත්තමේ දිනේ,

දිබ්බන්තු චක්ක රතනං - අද්ධා පාතුභවිස්සති’

කියා වසවත් මරහු කළ ආරාධනාත් නො ඉවැසූ හෙයින් නො ඉවසා ‘එසේ වී නම් බුදු වැ ලා අනික් නුවරකට නො වැඩ ආදියෙන් අප ගේ නුවරට වැඩිය මැනැ වැ’යි කළ ආරාධනාව එයින් උන්ට වන වැඩ බුදු නුවණින් නුදුටත් දම්සක් පවතුන් සූත්‍ර දේශනාව බරණැස දී ම වුවමනා හෙයින් ඒ ගමන හැර ඉවසා ඉක්බිත්තෙන් ආලාරක නම් වූත් උද්දක නම් වූත් තවුසන් දෙන්නා කරා ගොසින් උන් දෙන්නා ගේ උපදෙසින් උපදවාගත් සමවත් පමණෙක නො සිටි විවරණ දුන් බුදුවරුන් වහන්සේ උඩත් පිරිසෙයින් දස මසක් හා යටත් පිරිසෙයින් සතියක් බුදු වන්ට වීර්‍ය්‍යය කළත් තමන් දෑ සාවුරුද්දක් මුළුල්ලෙහි කරන්නා තබා සිතන්ටත් සෙස්සවුන්ට නො පිළිවන් මහා වීර්‍ය්‍යය කොට එයින් බුද්ධත්‍වය සාදාගත නොහී විරේචනයෙන් දුර්‍වල වූ ශරීරයක් ස්නේහ පානයෙන් සතපන්නා සේ දුෂ්කර ක්‍රියායෙන් මිරිකී ගිය ශරීරය උරුවෙල් දනවු ගොසින් මධුරාහාරයෙන් පිනවාගෙන බුදු වන කල් සමෘද්ධ හෙයින් වෙසඟ මැදි පොහෝ දවස්:-

‘තතෝ සේනානි නිගමේ-සුජාතා නාම දාරිකා,

වහමපාතිං ස පායාසා - සීසේනාදාය ඕණතා.’

යනු හෙයින් සෙනානී නම් නියම්ගම සෙනානී නම් සිටාණන් ගේ දුව සුජාතාවන් දුන් කිරි පිඬු බුදු ව එක් තැනකට පිරිනැමුණු ලාභයක් අනික් තැනක් නො ඉවසන්නට සිඛ පද පනවතත් මේ දේවතාවාට පිරිනැමුවා වේ දැ’ යි සංශය කරන කෙනකු ඇත් නමුත් කප්ලක්ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේටම පිරිනැමුණු නියාව හඟවා සංශය හරවන්නාක් මෙන් නො හොත් එ දවස් බුදු වන තැනකට මුත් කවුරුන් කෙලෙස සිතා කළත් අනික් කෙනෙකුන්ට නො නිසි හෙයින් පිළිගෙන වළඳා අන්තයෙහි බුදු වන නියාව විමසන්ට තළිය උඩු ගං බලා යවා ඒ තළියත් සියලු ම බුදු වරුන් වහන්සේ බුදු වන්ට මහණ වන දවස් ලබන සිවුරු පිරිකර ලබන්නාට පෙරාතු බඹලොව තිබෙන්නා සේ සියලු ම බුදුවරුන් වහන්සේ බුදු වන දවස් වැළඳූ තළි නාග භවනයෙහි තිබෙන නියාව වේ ද? මෙ කප බුදු වූ කකුසඳ ආදී වූ තුන් දෙනා වහන්සේ ගේ තළි නාග භවනයෙහි තුබූ හෙයින් මා ත් ඔබ ගියමනා වේ දැ’යි ගිය කලක් මෙන් නාග භවනයට බට කල්හි නොහොත් මේ මහා පුරුෂයා බුදුව විවරණ දුන් බුදු වරුන් වහන්සේ උඩත් පිරිසෙයින් හවුරුදු ලක්ෂයක් හා යටත් පිරිසෙයින් විසි දහසක් හවුරුදූ ජීවත් වුවත් තමන් වහන්සේ පන්සාළිස් හවුරුද්දක් ජීවත් ව භවුරුදු ලක්ෂයෙනුත් සූවිසි අසඞ්ඛ්‍යයක්ම නිවන් දක්වන හෙයින් ඊට අඩු නො කොට නිවන් දැක්වීම් ආදී විසින් සියලු බුද්ධකෘත්‍ය නිමවා පිරිනිවි කල්හි ඔබ ගේ ශරීර ධාතු නම් පෑළ ගණනින් ලාසු ගණනින් කෙතෙක් වත් කිම? නැළි ගණනින් එක් සිය අට විසි නැළියෙක.

ධාතු බෙදන ගමනේත් අජාසත් රජ්ජුරුවන් පටන් රජ දරුවන් අට දෙනකුට සොළොස් සොළොස් නැළි බෙදී පසු ව- පියා ගිය මෝරිය රජ දරුවෝ ආදාහනයෙන් අඟුරු පමණක් ලැබෙති. ධාතු මැන දුන් බමුණාණෝත්[3] සඟවා ගත් දළදා වහන්සේත් උන්ට තරම් නොවන නියාව දැන ශක්‍රයන් හැර ගන්නා හෙයින් ධාතු නැති ව කුරුණිය පමණක් ලැබෙති.[4] නයින්ට එදාත් ධාතු නැත. නැවත රාම නම් ගම් පිහිටි දාගබ ගඟට ආසන්න හෙයින් ගඟ වතුරු අවුත් ඉවුරු ගසා දා ගබත් බිඳී කරඬුව පිටින් නාග භවනයට ගිය ධාතු සොළොස් නැළි ය ම සම්භවුවත් පසුව ලක් දිව අනුරාධපුර නුවර දුටුගැමුණු රජ්ජුරුවන් ශක්‍රයන් ගේ විජ ය තුරා සක සා කොට කර වූ රුවන් මැලි දා ගබ පිහිටන හෙයින් සම්භ වූ ධාතුයෙනුත් ප්‍රයෝජන මඳ. නැවත මේ මහ පුරුෂයාණන් මහණ වන දවස් දෙවියන් තකා දෝ අහසට දමා ලූ කෙස් වැටිය—

‘ජෙත්‍වාන මොලිං වර ගන්ධවාසිතං

වේහාසයං උක්ඛිපි සක්‍යපුඞ්ගවෝ,

සහස්සනෙත්තෝ සිරසා පටිග්ගහී

සුවණ්ණචඞ්ගෝටවරේන වාසවෝ”

යනු හෙයින් සක් දෙවිඳු හැරගෙන ගොසින් මෙර මුඳුනෙහි සතර ගවුවක් පමණ රන් දා ගබට වඩා ලා පුදති. හැඳගෙන ගිය සළු සඟළ මහණ ව ලා බඹුන් තකා දෝ අහසට දමාපීවා ඝටීකාර නම් මහ බඹාණෝ ගෙනා සිවුරු පිරිකරට මිලක් මෙන් බඹ ලොවට ගෙන ගොසින් අට සාළිස් ගවුවක් උස රන් දා ගබකට වඩාලා පුදති. බත් තලිය සෝධා පියා උඩු ගං[5] බලා යැවූයේ නම්[6] නයින් නිසා යැ’යි ගිය කල් මෙන් නාග භවනයට ගි ය කල්හි

නො හොත් ‘සර්‍වඥ නැමැති සූර්‍ය්‍යයා අද පහළ ව ජාතික්‍ෂෙත්‍රවූ දස දහසක් සක් වළත් ආඥාක්ෂේත්‍ර වූ කෙළ ලක්ෂයක් සක් වළත් විෂ යක්ෂෙත්‍ර වූ අනන්ත සක් වළත් මට අපහාස්‍ය කරන්නාක් මෙන් ඥානාලෝකශරීරා ලෝක පවත් ව යි. මා ආලෝක පවත්වන්නේ

එක සක්වළෙක. එහිත් එකවට දිවයින් තුනකට මුත් වඩා පවත්වාලිය නො හෙමි, තමා එ තරම් කල එ සේ කරන නිහර සර[7] දක්නා බලාත් සැඟවී යාගැන්ම යහපතැ’යි තාලි ව්‍යාජයෙන් පියෙවි හිර නැඟී භවනයට බැස පී කල මෙන්, ඒ සුජාතාවන් දුන් තලිය නාග භවනයට බට කල්හි වළඳා අන්තයෙහි පටන් සවස් වේලා ආසන්න වන තෙක් නිල්දල‍[8] හෝ බඩ සල් උයන්හි දාවල් දවස් යවා සවස් වේලෙහි සොත්‍ථිය නම් බමුණානන් දුන් හී තණ හැරගෙන මහ පෙරහරින් කාල නම් නා රජහු විසින් වනන ලද නව අරහාදී ගුණ ඇති ව බෝ මැඩට වැඩ, හී තණ සලා බිම වගුරුවා එ තැන්හි පොළොව පළා ගෙන පැන නැඟි තුදුස් රියන් විදුරස්නෙහි හිඳැ ‘බුදු ව මුත් නැගී නො සිටිමි’ යන තර අදහස් ඇති ව හිර ගලා නොහෙන තෙක් ම බුදු බව උගුළුවන්නට ආ වසවත් මරු හා සෙනඟ-

‘ගජම්මාරෝ සමාරූළ්හෝ - යුද්ධායච්චන්තමුන්නතං,

මග්ගමන්වේසතී නූනං-ජිනභීතෝ පලායිතුං’

යනු හෙයින් වසවත් මරහු නැඟී ගෙන ආ යෙළ සියයක් යොදුන් දිග ඇති අනූ යොදුන් උස ඇති ගිරිමෙඛලා බිඳී යන්ට මං සොයන්ට නැඟී ගල් කන්දක් වැනි කොට පියා සමතිස් පැරුම් නැමැති යෝධ භටයන් තිස් දෙනා පමණෙකින් බිඳ පලවා පෙර යම් දස පැයින්, පෙර විසු කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවාගෙන, මැදියම්[9] දස පැයින් දිව ඇස් උපදවාගෙන අලුයම් දස පැය නිමන ආසන්නයෙහි මහ පොළොව ගුගුරුවා බුදු ව වදාරා බෝ මඬට ආසන්නයෙහි සතළිස් නව දවස යවා වදාරා අට වැනි වූ සතියෙහි අජපල් නුගය මුල වැඩ හිඳ ධර්‍මය ගැඹුරු නියාව සැලකීමෙන් රෝග තර නියාව දැන දන්නා පිළියම මුත් නොකරන්ට සිතන වෙදවරුන් සේ නො දෙසන්ට සිතාත් නො ව මහ බඹහු ලවා ආරාධනා කරවාගෙන බ්‍රහ්ම ගරුක ලෝ වැස්සන්ට බණ දෙසනු නිසා මැළි ලෙසක් ඇති ව ලා පසු ව මහ බඹහුගේ අයදමෙන් බණ දෙසනු කැමැති ව බුදු ඇසින් ලොව බලා පළමු කොට කවුරුන්ට බණ කියම් දොහෝ යි බලන සේක්-

ආලාරක-උද්දක තවුසන් දෙන්නා මළ නියාව දැන පස් වග වහන්දෑ උපකාරී නියාව සලකා දැන් කොයි දොහෝ යි බලන සේක් බරණැස ඉසිපතන නම් උයන්හි වසන නියාව දැන ඔබ වඩනා සේක් අතුරු මඟ දී පසු ව තමන් වහන්සේගේ බණ අසා අනාගාමී ව ඒ ඇසිල්ලෙහි ම මිය ගොස් අවිහ නම් වූ ශුද්ධාවාස බඹ ලොව ඉපැද උපන් ඇසිල්ලෙහි ම රහත් වන පින් ඇති උපක නම් ආජීවකයන් හා කථා කොට ඇසළ මැදි පොහෝ දවස් පස් වග වහන්දෑ වසන ඉසිපතන නම් උයනට වැඩ බුදු වූ නියාව නො දැන නො නිසි ලෙසින් කතාකරන්ට වන් වහන්දෑට තමන් වහන්සේ බුදු වූ නියා ව වදාරා ගිවිස්වා ගෙන, තුන් පෙරළියක් ඇති, දොළොස් ආකාරයක් ඇති, දහම් සක් පවතුන්[10] සුත් දෙසා වදාරා අටළොස් කෙළක් බඹුන් හා සමඟ පස් වග වහන්දෑ ගෙන් කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ සෝවන් කරවා අව පෑලවිය පටන් ජලවක් දක්වා අනික් සතර නම දවස නමක් ඔවා දියෙන් සෝවාන් කරවා, අව විසේනිය දවස් පස් වග පස්දෙනා වහන්සේ ම රහත් කරවා, එදවස්ම යස නම් සිටු පුත්‍රයාණන් සෝවාන් කරවා, දෙවන දවස් රහත් කරවා රහත් වූ පසු ගිහි ව සිටී ම යුක්ත නො වන හෙයින් මහණ කරවා යස තෙරුන් වහන්සේ ගිහි අවස්ථාවෙහි මිත්‍ර වූ අනික් සූ පනස් දෙනකු මහණ කොට රහත් කරවා, මෙ සේ ලෙව්හි තමන් වහන්සේ ඇතුළු ව එක් සැටක් පමණ රහතන් ඇති වූ කල්හි විසූ වස් පවරාලා ඒ සැට වහන්සේ—

“අඤ්ඤාකොණ්ඩඤ්ඤපමුබේ – භික්ඛු ඛිණාසවේ ජිනෝ,

විධාතුං ධම්මදූතෙය්‍යං - විස්සජ්ජේසි තහිං තහිං.”

යනු හෙයින් තුනුරුවන් ලොව පහළ වූ නියාව හඟවන්නට ඒ ඒ දිග යවා වදාරා තමන් වහන්සේ උරුවෙල් දනවුවට වඩනා සේක් අතුරු මඟ කපු වනයෙහි දී- තුණ්ඩිල ජාතකයෙහි හූරු ව උපන් බෝසතුන් ගේ තුඩින් කියා ලූ බණ අසා සැට දහසක් හවුරුදු පන් සිල් රැකි රා සොඬුන්-තිස භද්දවග්ගිය රජ කුමරුවන් නිවන් දක්වා ඒ තිස් නම ත් ‘මහණෙනි, මෙ සේ එව’යි වදාළ බස් පමණකින් මහණ මාලු පැවිදි කොට රහත් කරවා, ඒ ඒ දිග යවා වදාරා තමන් වහන්සේ උරුවෙල් දනවුවට වැඩ තුන් දහස් පන්සියයක් විතර පෙළහර දක්වා දහසක් දුළුල්ලන් පිරිවැරූ තුන් බෑ දුළුල්ලන් ගේ දෘෂ්ටි නැමැති අඳුරු පෙළහර නැමැති හිරු රැසින් දුරු කොට, නැවත සර්‍වඥ නැමැති සූර්ය තෙම උරුවෙල් කසුප් ආදීවූ දුළුලු නැමැති පියුම් ආදිත්‍ය පර්‍ය්‍යාය සුත් නැමති හිරු රැසින් ප්‍රබුද්ධ කරවා හෙවත් රහත් කරවා, සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම නැමැති ඝට පටාදී වස්තූන් ද ප්‍රකාශ කෙරෙමින් තුන් බෑ දුළුල්ලනුදු පිරිවර දහසක් මහණ කොට ගෙන ඒ රහතන් වහන්සේ දහස පිරිවරා බිම්සර මහ රජුන් ආදි ම කළ ආරාධනාවෙන් රජගහා නුවරට වැඩ සල් උයනෙහි වැඩ හිඳ, වැඩ හුන් නියාව අසා එක් ලක්ෂ විසි දහසක් පමණ පිරිස් පිරිවරා ආ බිම්සර මහ රජුන්ට බණ වදාරා රජ්ජුරුවන් ඇතුළු වූ එක්ලක්ෂ දස දහසක් දෙනා සෝවාන්

කරවා දස දහසක් දෙනා නුවණ මුහුකරන තෙක් තනතුරට බාලයන් තකා සිටුවන්නාසේ ශරණ ශීලයෙහි පිහිටුවා දෙ වන දවස් ළදරු වෙස් ගත් ශක්‍රයන් ලවා මිනිසුන් ඉවත් කරවමින් රජගහා නුවරට වැඩ රජ ගෙයිදී වළඳා වෙළුවන විහාරය පිළිගෙන එහි විසූ සේක.

බුදුන් එහි වසන නියාව පරම්පරා කථාවෙන් සුදොවුන් රජ්ජුරුවන් අසා බුදු වූ පුතණුවන් වහන්සේ දක්නා කැමති ව නව වාරයෙක දහස දහස පාවා දී ඇමැත්තන් නව දෙනකු බුදුන් කරා යවා ගිය ගියවුන් රාජ නියෝගයෙන් අනික් කෙනකුන් කරා මෙහෙවරෙක ගියවුන් අත්ලස් හැර ගෙන ගිය මෙහෙවර පෙරළා ගොසින් නො කියන්නා සේ අර්හත් ඵල නැමති මහා අත්ලස් හැර ගෙනැ ගිය මෙහෙවර නොකියා කල් යන හෙයින්; දස වෙනි වාරයෙහි බුදුන් හා එක දා උපන් කාළුදායි ඇමැත්තන්ට දහසක් පාවා දී යවා උන් බුදුන්ගේ බණ අසා රහත් ව මහණ ව රාජ පක්ෂපාත කෙනකුන් අත්ලස් ලෝභයෙන් අත්ලස් හැර ගෙනත් රාජ පක්ෂපාත කමින් ගීය මෙහෙවරත් නො වරදවන්නා සේ රජ්ජුරුවන්ගේ මෙහෙවර කාළුදායි මහ තෙරුන් වහන්සේ බුදුන්ට දැන්වූ කල්හි, බුදුහු ඒ අසා විසි දහසක් පමණ රහතුන් පිරිවරා කිඹුල්වත් නුවරට වැඩ ‘මේ සිද්ධාර්ථ කුමාරයෝ වයසිනුත් නෑ කමිනුත් අපට බාලයෝ ය. වයස බාල වුවත් නෑ කම හෝ මූකුරා සිටිය මැනව, එ ලෙසකුත් නැති කලට අපි නො වඳුම්හ. තෙපි වඳුව යි’ බාල බාල නෑයන් ලවා වන්දවා තමන් හැම නො වැඳ මන් කොට හුන් නෑයන් ගේ මන් මඬනා නිසා කිඹුල්වත් නුවර අහස්හි රුවන් සක්මන මවා යමා මහ පෙළහර කොට ශරීරයෙන් නිකුත් ගිනි කඳෙහි තේජසෙක් ඇත් නම් ඒ නිවන්ට වට කළාක් මෙන් දොහෝ නොහොත් සඤ්ජය- ඵුසති ය-විශ්වන්තර ය-මද්‍රී ය-ජාලි ය- කෘෂ්ණජිනා ය යන රජ දරුවන් ස දෙනා පමණක් රැස් වූ තන්හි වට කළ එක් ලක්ෂ සැට දහසක් ශාක්‍ය රජ දරුවන් රැස් වූ තැන වටමනා බැවින් වටුවා සේ පොකුරු වැසි වට කල්හි ඒ වැස්ස අරභයා වෙසතුරු දා වදාරා, මී පැණියෙන් පිපාසා නොසන්සිඳෙන්නවුන්ට ශර්‍කරා පැන් වක්කරන කලක් පරිද්දෙන් රුවන් සක්මන වැඩ සිට බුද්ධ වංශත් දෙසා වදාරා, උපන් දවස් කලදෙවළ නම් අභිඥාලාභි වූ තවුසන්ගෙන් වැඳුම් ලත් මහා පුරුෂයන් බුදු ව යමා මහ පෙළහරින් නෑයන් ගේ මන් බිඳ වන්දවාගැන්ම විස්මය නො වෙයි. එතකු දු වුවත් නෑයන් ලවා වන්දාගෙන ප්‍රබන්ධ වාසය එකතැනක වී නම් සත්ත්‍වෝපකාර ය මඳ හෙයින් සැරිසරා ඒ ඒ තන්හි වඩනා සේක් එක් සමයෙක්හි සැවැත් නුවරට වැඩ අනේපිඬු මහ සිටුහු විසින් සියුපනස් කෙළක් ධන වියදම් කොට කරවා පිළිගැන්වූ දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක.

ඒ එසේ මැ යි: බුදුහු මවු පක්ෂයෙන් අසූ දහසක් හා පිය පක්ෂයෙන් අසූ දහසක් හා එක්ලක්ෂ සැට දහසක් පමණ නෑයන් කරවා පිළිගැන්වූ නුග අරම එක ම වසක් විසූ සේක. දෙව්රම් වෙහෙර දස නව වසක් විසූ සේක. විශාඛාවන් සත් විසි කෙළක් පමණ ධන වියදම් කොට කරවා පිළිගැන් වූ දෙව්රමට නැඟෙනහිර වෙහෙර වස් සයක් විසූ සේක. මෙසේ උන් දෙපක්ෂයේ ඇත්තවුන්ගේ ගුණ මහත්ත්‍වය නිසා, සැවැත් නුවර නිසා විහාර දෙකෙයි කැටි ව පස් විසි වසක් විසූ සේක.

උන් ගේ ගුණ මහත්‍ව ය කවරේ ද යත්—

අනේපිඬු මහ සිටාණෝත් විශාඛාවෝත් දවස දෙ විටෙක විහාරයට යෙති. යන කලත් අලුත මහණ වූ වහන්දෑ කිරි බොන දරුවන් මෑණියන් දුටු කල කිරට එලෙන්නා සේ ‘ගෙනා යේ කිම්දැ’යි විචාරන සේක් ම ය යි සි‘සතින් නොගිය විරූහ. පෙරව්රු යන කල අවුළු පත් ආදී වූ පෙරවරු වළඳන්ට නිස්ස ගෙන්වා ගෙන යෙති. පස්වරු යන කල ශර්‍කරා ගිතෙල් ආදිය හා පාන වර්‍ග‍ ගෙන්වාගෙන යෙති. මුන් දෙන්නාගෙන් එකි එකී කෙනකුන් ගේ‍ ගෙයි දී ම සඟ දෙ දාසක් වළඳන සේක. හිඳිනා ආසන දෙ දාසක්[11] නූගුළුවා ම තිබෙයි. යම් යම් කෙනකුන් වහන්සේ යමක් යමක් වළඳන්ට කැමති සේක් වී නම් ඒ අනාථපිණ්ඩික කප් රුකින් හා විශාඛා කල්ප ලතාවෙන් සමෘද්ධ වෙයි.

උන් දෙන්නා ගෙන් අනේපිඬු සිටාණෝ බුදුන් ගෙන් එක දවසකුත් ප්‍රශ්නයක් නොවිචාළෝ ය. කුමක් නිසා නොවිචාළෝ ද යත් – ‘මුන් වහන්සේ බුදු සිවු මැළි සේක. රජ සිවු මැළි සේක. උපකාරි සිටාණෝ යයි මට බණ වදාරා ම විඩා වන සේකැ’යි සිතා මුත් ‘වදාරා ලිය නො හෙති’යි සිතා නො වෙ යි. එතකුදු වුව ත් බුදුහු ‘මේ සිටාණෝ මා නො රැක්ක මනා තන්හි රක්නට සිතති. මම වැළිත් පැරුම් බිම දී ඉස්-ඇස්-මස්-ලේ දන් දෙන්නෙම් අනිකක් නිසා නුදුන්නෙමි. බුදුව නිවන් දක්වමි යන අදහසිනි. නිවන් දක්වන්නේත් බණ නොකියා නො වෙයි. බුදු-පසේ බුදු දෙ පක්ෂය හැර පරතොඝොෂ ප්‍රත්‍යය නැත්තේ කාට ද?

“ගණ්ඩුප්පාදෝ කිකීවේව - කුන්තෝ බ්‍රාහ්මණ ධම්මිකෝ

ඒතෙ අභායා භායන්ති - සම්මූළ්හා චතුරෝ ජනා.”

යනුවෙන් පොළොව පස් බොහෝ කොට බඩ පුරා කැව හොත් පසුව සැඟ වී වැද හෝනා තැනුත් නැතැ යි යන විරුද්ධ කල්පනාවෙන් ගැඩවුලුන් පස් සුඟ කොට කන්නා සේ, නැවත අහස වැටී ගියත් එ විතරක රැඳුණ මැනැවැ යි යන විරුද්ධ කල්පනාවෙන් කිරළුන් පා උඩුකුරු කොටලා වැද හෝනා සේ, නැවත කොස්වා ළිහිණියන් නොසැලී සිටිනා කලට පොළොව ධරා ලිය නොහෙතී යන විරුද්ධ කල්පනාවෙන් පෙඳ සලන්නා සේ මූගේ විරුද්ධ කල්පනාවත් බලවත් නියා ය”යි ගිය ගිය විටක ම උන් නො කීවත් බණ කථාවක් වදාරණ සේක.

  1. පාලිනී

  2. පුරා පිවාවූ

  3. බමුණාණොත්.

  4. ලැබෙති.

  5. ගම්

  6. යැවුයෙම්.

  7. නිහසර

  8. නිල්දරා-නිල් තරා.

  9. මැදයම්.

  10. පැවැතුම්

  11. සඟ දාස දාස ආසන ද දාස දාස,