47. පතිපූජිකා වස්තුව

star_outline

තව ද මිනිස් ලොව ආයු හවුරුදු අසංඛ්‍යයකට වුවත්, සමහර නරකවල ආයු දුටු කලට මකුළු හුයක් යටි පිටින් දා උඩු පිටින් කළු වන් වන විතරටත් මඳ සේ හෙයින්, මිනිසුන්ට පතුල් තෙමෙන්ට ත් මඳ පැන් කූඹුවනට මහ වතුරු වන්නා සේ ජීවත් ව සිටිනා හවුරුදු ගණන ත් වස් දවස් ගණන ත් අජරාමර සේ සිතා ගෙන පින හැසිරෙන්ට මැළියවුන් පිනෙහි හසුරුවනු සඳහා පතිපූජිකා වස්තුව දක්වමු.

ඒ කෙ සේ ද යත්:—

තවුතිසා දෙව් ලොව මල් පළඳනා දෙව් පුතෙක් දෙවඟනන් දහසක් පිරිවරා උයනට මල් පළඳින්ට වන. ඉන් පන් සියයක් පමණ දෙව් දූ ගස්වලට නැඟී මල් කඩා වගුරුවති. දෙවඟනෝ පන් සියයක් කඩා වගුරුවා ලූ මල් ගෙන ගොස් දෙවතාවා සරහති. මල් කඩා වගුරුවන දෙව් දූන් අතුරෙන් එක් දෙවතා දුවක් ආයු ගෙවුණු හෙයින් හෝ නොහොත් පින් ගෙවුණු හෙයින් මල් ගසදී ම මළා ය. තුන් ගවු උස සිරුර ත් පහණක් නිවා පූ කලක් මෙන් නැති වි ය. උයි ත් සැවැත් නුවර එක් කුලයෙක ඉපැද උපන් ඇසිල්ලෙහි ම ඉකුත් ජාති සිහි කරණ නුවණ ඇති ව තමා මාලාභාරී දෙව් පුත්හුගේ දෙවඟනක නියාව දැන වැඩි විය පැමිණ මල් පුදා, පාන් පුදා, බණ අසා, මාලාභාරී දෙව් පුත්හු ළඟ ම උපදනට පැතුව. උයි ත් තමන් සොළොස් හැවිරිදි කල සරණ ගොසින් ලා බත් ආදිය දන් දී ත් මාලාභාරී දෙව් පුත්හු ළඟම ඉපදීමට පතති. ඉක් බිත්තෙන් වහන්දෑ ‘මූ පින් කමක් කොට ලා පූර්ව ජාතියෙහි ස්වාමී ව සිටි දෙවතාවාණන් පතති. එ හෙයින් පතිපූජිකාවෝ ය’යි නම් තබා ලූ සේක.

දෙමවු පියන් තබා ලූ’නම් අප්‍රසිද්ධව එනමින්ම ප්‍රසිද්ධ වූහ. උයිත් නිරන්තරව තමන් ස්වභාවයෙන් ම සැදැහැ ඇති හෙයිනුත් මාලාභාරී දෙව් පුතුන් ළඟ උපදනට පතා ත් භෝජන ශාලාව ත් හමදිති. පැන් පරහා ගෙනවුත් තබති. හසුනු ත් පනවා ලති. මුන් සැදැහැ ඇති නියාව දැන සෙසු සෙස්සෝ ත් මාළු ගෙනවුත් දී ලා ‘පුත, තෙල ඉදි කොට වහන්දෑට දෙව’යි විධාන කෙරෙති. උයි ත් ඒ විධාන ලදින් දන් සකස් කොට ඉදි කොට ලා ගෙන වුත් දෙති. මෙ ලෙසින් මූ විහාරයට යන එන ගමනින් කුසල් සිත්හි උපදනා සවිභක්තික අවිභක්තිකයන්ගේ වශයෙන් චිත්තය හා සමඟ කුසල් ධම් සූ පණසෙක් ලැබෙති.

උන්ගේ කුස දරු කෙනෙක් ඇති වූ ය. දස මස් අයාමෙන් පුතණු කෙනකුන් වදා උන් පියවර ඔසවා ඇවිදිනා කලට අනික් කෙනකුන, උන් පියවර ඔසවන කලට අනික් කෙනකුනැ’යි පුතුන් සතර දෙනකු ලද්ද.

ඌ එක් දවසක් දන් දී ලා පූජා සත්කාරත් කොට බණ අසා පන් සිල් සමාදන් ව සවස් ව ගිය කලට එ වේලේ ම ඇති වූ රෝගයකින් මිය ගොසින් මාලාභාරි දෙව් පුතුන් මල් පළඳිමින් උන් තෙන ම උපන්හ. සෙසු දෙවඟනෝ පන් සිය ය මෙ තෙක් කල් මුළුල්ලෙහි මල් පළඳවත් ම ය. මල් කඩන දෙවඟනෝ මල් කඩත් මය. මාලාභාරි දෙව් පුත් ද එ විට උපන් දෙවඟණන් දැක ‘උදාසන පටන් මෙ තෙක් වේලා වන තුරු නුදුටුවමෝ කොයි ගියා දැ’යි විචාළෝ ය. ‘මළෙම් වේ දැ’යි කී කල්හි ‘කුමක් කියාද, හදහා ගත නො හී විචාළෝ ය. මළ නියාව ම නියත කොට කියා ‘කොයි උපනු දැ’යි විචාළ කල්හි සැවැත් නුවර කුල ගෙයක උපන් නියාව කිවු ය. ‘තොප ඔබ රැඳුණේ කෙ තෙක් කල් දැ’යි විචාළ කල්හි ‘මිනිස්ලොව මස් ගණනින් දස මසක් මවු කුස විසූ නියාවත් දස මස් අයාමෙන් මවු කුසින් බිහිව එවක් පටන් සොළොස් හැවිරිදි වන තුරු දෙ මවු පියන් අතුරෙහි රඳා එ වකට සරණ හිඳිනා වයස් හෙයින් සරණ ගොසින් ආදි උපන් දරුවන් පියවර ඔසවා ඇවිදිනා කලට අනික් දරු කෙනකුනැ’යි පුතුන් සතර දෙනකු වදා දානාදී වූ පින් කම් කොට මුඹ වහන්සේ ම පතා පතිපූජිකා නමින් ප්‍රසිද්ධ ව මුඹ වහන්සේ ළඟ ම උපනිමී’ කිවු ය.

‘මෙ වක මිනිසුන්ට ආයු කෙ තෙක් ඇද්දැ’යි විචාරා හවුරුදු සියයෙකැ යි කී කල්හි එ තෙක් ම දැ’යි විචාරා ආයු ශක්ති ය බොහෝ ව ඇති බක්කුල මහ තෙරුන් වහන්සේ පවා එක් සිය සැට අවුරුද්දක් ම ජීවත් වූ හෙයින් අවුරුදු සියයට මඳක් වඩා හෝ අඩුව මුත් ජීවත් වීම නැතැ යි කී කල්හි ‘මෙ තෙක් ආයු හැර ගෙන උපන් මිනිසුන් පව් කම යෙදී පමා ව වෙසෙද් ද නො හොත් මසු දහසක් ඇති කෙනකුන් අනික් දහස් ගණනක් උපදවා ගන්ට උපදෙස් කරන්නා සේ පින් කමු ත් කෙරෙද්ද’යි විචාළෝ ය. ‘ස්වාමීනි, කුමක් කියන සේක් ද? මියන්නන් දෙන්නන් බල බලා ත් හවුරුදු අසඞ්ඛ්‍යයක් ආයු ඇත්තා සේ ජරා පමණක් ම නැත්තා සේ ඇවිදිනා බව මුත් පින් කරන්නා තබා උත්සාහ පමණකුත් ඇත්තෝ බොහෝ නොවන්නෝ වෙත් දැ’යි කිවු ය මාලාභාරී දෙව් පුත් හට ‘මෙ තෙක් ආයු හැර ගෙන මිනිසුන් දන් පින් පමා නියා ය’යි බලවත් මුසුප්පු ඇති වි ය.

මිනිස් ලොවින් හවුරුදු සියයෙක් තවුතිසා වැසි දෙවියන්ට දව සෙක. එසේ වූ දවසින් තිස්දවසෙක් මසෙක. ඒ දෙවියන්ට මසනම් මිනිසුන්ට තුන් දහසක් හවුරුදුය. ඒ නිසා මසින් දොළොස් මසෙක් දෙවියන්ට හවුරුද්දෙක. ඒ දෙවියන්ගෙන් හවුරුද්දෙක් මිනිසුන් ට හවුරුදු තිස් දහසෙක. ඒ නියා හවුරුද්දෙන් ඒ දෙවියන්ට ආයු හවුරුදු දහසෙක. මිනිසුන්ට තුන් කෙළ සැට ලක්‍ෂයක් හවුරුදු ය. එ සේ හෙයින් පතිපූජිකාවන් හවුරුදු සිය ය පුරා නුහුන් හෙයින් මාලාභාරී දෙව් පුත් හට දවසක් පුරා නො ගියේ ය. ඇසිල්ලක් විතර ය එසේ හෙයින් දෙවතාවාණෝ මුසුප්පු වූ ය.

දෙ වන දවස් වහන්දෑ ද ගමට සිඟා වන් සේක් අසුන් හල නො හැමඳ පු නියාව ත් හසුන් පනවා නු තුබූ නියාව ත් පැන් පරහා නු තුබූ නියාව ත් දැක, පතිපූජිකාවෝ කොයි දැ’යි විචාළ සේක. ‘ස්වාමිනි, ඊයේ මුඹ වහන්සේ ලා වළඳා ලා වැඩ පී කලට සවස් වේලා වන තුරු කිසිද ලෙඩක් නැති ව හිඳ ලා සවස් වේලාව එ විට ම ඇති වූ ව්‍යාධියකින් මළෝ ය’යි කිවුය. ඒ අසා පෘථග්ජන වහන්දෑ උන්ගෙනු ත් ලත් උපකාර සලකා කඳුළු රඳවා ගත නො හී වැලපී සේක. රහත් වහන්සේට හඬන්ට කාරණා වූ ශෝක ය නැති හෙයින් සියලු ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්‍මයන් කෙරෙහි හයාකාරයෙන් පවත්නා නුවණ ඇති වි ය. ඒ වහන්දෑ වළඳා ලා වෙහෙරට ගොසින් ‘ස්වාමීනි, පතිපූජිකාවෝ කවර ත් පිනක් සොත්සාහ ව කොට ලා තමන්ගේ සමුණන් ම පැතූ ය. ඌ දැන් පර ලොව ගියහ. උන් උපන්නේ කොයි දැ’යි විචාළ සේක. ‘තමාගේ ස්වාමීහු ළඟ ම උපන්හ’යි වදාළ සේක.

‘උන් ළඟ නැති වුව, ස්වාමීනි,’ කී කල්හි ‘තෙල ස්වාමීහු පතා කළ පින් කමෙකු ත් නො වෙ යි. තුලූ පැතුයේ ත් නැත. පතිපූජිකාවගේ මීට පෙරාතු ජාතියෙහි තවුතිසා දෙව් ලොව මාල භාරී නම් දෙව් පුතෙක් ස්වාමි වූයේ ඇත. ඌ මල් පලඳනා වේලෙහි මිය මේ මිනිස් ලොව ඉපැද පෙරළා ත් මල් පළඳිමින් හුන් තෙන ම උපන. අනික් දවසෙක මල් පළඳිමින් හුන් විටෙකත් නො වෙයි. තමා මළ දවස් ම මල් පළඳිමින් හුන් දවස ය’යි වදාළ සේක. ඒ අසා වහන්දෑ ‘අනේ ස්වාමීනි, මේ මිනිසුන්ගේ ආයු ශක්ති ය ලඝු ය. පෙර වරු දවස් අප වළඳවා ලා සුව සේ ම හුන් තෙනැත්තෝ සවස් වේලාට මළෝ ය’යි මරණ සී භාවනාවට එයි ත් අරමුණු කළ සේක. බුදුහු ද ‘හෙම්බා මහණෙනි, මල්වත්තෙහි මල් කඩන මාලාකාරයා කඩමින් සිටි මල් කඩා නොනිමන තෙක් ම මල් ගෙතීම් ආදී වූ අත්‍යායික කටයුත්තෙක කැඳවා ගෙන යන සේ නො ලද සම්පත් පතා නො ලබන තෙක් ලද සම්පත් ප්‍රයෝජන විඳ නො නිමන තෙක් මර අවුත් වැද ලා හඬමින් වලපමින් සිටියදී ම කවුරුන් කෙරෙහි ත් අවස්ථාවක් නො කොට හැර ගෙන යෙයි’ වදාළ සේක. මේ දේශනා කෙළවරත් බොහෝ දෙන සෝවාන්-සෙදගැමි-අනගැමි රහත් වූහ.

එ සේ හෙයින් සත්පුරුෂයන් විසින් මිනිස් ලොව එක දවසක් රඳා හිඳිතත් නො පමාව පින් කොට භව සම්පත් වළඳා කෙළවර නිවන් සම්පත් සෑදිය යුතු.