46. විඩුඩභ වස්තුව

star_outline

තව ද යුගාන්ත කාලයෙහි සත් හිර පහළ ව හැම මූදු නැති කළා සේ බුදු හමු නමැති යුගාන්තයෙහි නව ලොවුතුරා දහම් නමැති නව හිර පහළ ව මහ ගඟු ත් සසර මුහුද ත් වියැළීයෙත් මුත් යම් තාක් කෙලෙස් මහ ගං ඇත නම් සසර මුහුද නුසුන් නම් කළ කුශලයෙහි ඉෂ්ට විපාකය ත් අකුශලයෙහි අනිෂ්ට විපාකය ත් නො සිඳී පවත්ති. ඉන් අකුශලයෙහි අනිෂ්ට විපාක ය නො නවත්නා නියාවට විඩූඩභ වස්තුව ගෙන හැර දක්වා සතුන් අකුශලින් මුදමු.

ඒ කෙ සේ ද යත්:—

සැවත් නුවර මහ කොසොල් රජ්ජුරුවන් ගේ පුත්වූ පසේනදී කුමාරයන් හා විසල් මහ නුවර මහාලී නම් ලිච්ඡවි කුමාරයන් හා කුසිනාරා නුවර රජ්ජුරුකෙනකුන්ගේ පුත් වූ බන්ධුල කුමාරයන් හා, තුන් දෙන දිසා පාමොක් ආචාරීන් ගෙන් ශිල්ප උගන්නා පිණිස තමන්ගේ නුවර ශිල්ප උගන්වා ලිය හෙන්නවුන් ඇත ත් දෙශකීර්ති දන්නා පිණිස ත් තමන්ගේ ශරීරක්‍ෂම කරණු නිසා ත් තක්සලා නුවරට ගොසින් නුවරින් පිටත් ව තිබෙන ශාලාවකට සම්භව ඔවු නොවුන්ගේ නෑයන් සියනු ත් රට බිමු ත් ජාති ගොත්‍ර ත් ආ කාරණ ත් විචාරා තුන් පක්ෂය ම රජ නියාව දැන මිත්‍ර ව එක් ව ම ආචාරීන් කරා ගොසින් ගිය නොබෝ කලකින්ම පින් පමණ නුවණ ඇති බැවින් ශිල්ප ඉගෙන නිමවා ගෙන ආචාරීන්ට කියා ලා තේරෙන තැන් දක්වා එක් ව ගොසින් තමන් තමන්ගේ නුවර වලට ගියහ. ඉන් පසේනදී කුමාරයෝ තමන් උගත් ශිල්ප පියාණන්ට දක්වා පහන් පිය රජ්ජුරුවන්ගෙන් රාජ්‍ය සම්පත් ලදහ. මහාලී කුමාරයෝ විසල් මහ නුවර ලිච්ඡවි රජුන්ට ශිල්ප දක්වන්නෝ මහත් වූ උත්සාහයෙන් දැක් වූහ. ආයාස ය නිසා උන්ගේ ඇස් දෙක ම නටහ. ලිච්ඡවි රජ්ජුරුවෝ ද ‘උන් ඇස් නැත ත් නුවණැස් ඇති හෙයින් අත් නො හරුම්හ, රකුම්හ’යි සිතා ගෙන සුංගම් රනින් ම ලක්ෂයක් නිමන වාසලක් දුන්හ. උයි ත් ඒ වස්තුව නිසා ජීවත් වන්නෝ පන් සියයක් ලිච්ඡවි කුමාරවරුන් ශිල්ප උගන්වති.

බන්ධුල කුමාරයෝ ද එකි එකී මිටියට හුණු දඬු සැටක් සැටක් ගෙණ හුණු දඬු මධ්‍යයෙහි ය නාරාව ලා හුණු දඬු සැට මිටියක් සිටුවා ලා මල්ල රජ දරුවන් ‘තෙපි කඩු සරම උගත්තෝ නම් තෙල හුණු දඬු සැට මිටි ය පොලු ගසා වගුරුවා පු කල ය’යි කී කල්හි කඩුව අත ලා ගෙන අහසින් අසූ රියනකට පැන පියා බිමට බැස කඩුවෙන් හුණ දඬු මිටි පොලු ගසා ගෙන යන්ට වන්හ. කෙළවර මිටියෙහි දී කඩුව ය නාරාචයේ වැද ගත් හඬ අසා මේ කිම් ද යි විචාරා හුණු දඬු සැට මිටියේ හුණ දණ්ඩක් පාසාය නාරාච ලූ නියාව අසා කඩුව දමා පියා මුසුප්පුව ගෙන ‘මාගේ මෙ තෙක් නෑයන් සියන් අතුරෙහි එක ද කෙනකුන් මට හිත ව මෙ පවත් කියාලුවෝ නැත. ඉදින් මම දනිමි නම් ය නාරාච ය නොහඬවා ම ගසා පියමි. මුන් හැම දෙන ම මා මරා රාජ්‍යය කරණ නියා වේ දැ’යි දෙ මවු පියන්ට කිවු ය. ඌ ඒ අසා අදහස දැන ‘පරම්පරාවෙන් පැවත ආ රාජ්‍යය එ සේ හැරගන්ට බැරිය’යි කිවු ය. උන් කෙසේ කීව ත් කුසිනාරා නුවර රඳන්ට මැළි හෙයින් එසේ වී නම් තොපට මිත්‍ර ව හිඳිනා කොසොල් රජ්ජුරුවන් ළඟට යව’යි කී කල්හි සැවත් නුවරට ගිය හ. පසේනදී රජ්ජුරුවෝ ද බන්ධුලමල්ල කුමාරයන් එන නියාව අසා පෙර ගමන් කොට ගොසින් මහ පෙරහරින් නුවරට ගෙන ගොසින් සෙනෙවිරත් තනතුරු දෙවා සංග්‍රහකළහ. බන්ධුලමල්ල සෙනෙවි රද්දු තුමූ තරව පිහිටා ගෙන දෙ මවු පියනු ත් කුසිනාරා නුවර රෑඳීමෙන් වන උවදුරෙක් ඇත් නමු ත් ඒ නිසා ගෙන්වා ගෙන සැවත් නුවර ම රැඳ වූ ය.

එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ මාලිගාවේ මතු මාලේ සිටි තෙනැත්තෝ වීථි ය බලා අනේ පිඬු සිටාණන්ගේ ගෙට ද සුළු අනේ පිඬු සිටාණන්ගේ ගෙට ද, විශාඛාවන් හා සුප්පියා වන්ගේ ගෙට ද, නොයෙක් දහස් ගණන් වහන්දෑ වඩනා දැක ‘මේ වහන්දෑ කොයි වඩනා සේක්දැයි’ විචාරා ‘රජ්ජුරුවන් වහන්ස! අනේ පිඬු මහ සිටාණන්ගේ ගෙට ත් නිති බත්, ගිලන් බත් නිසා සඟ දෙදාසෙක් වඩනා සේක. සුළු අනේ පිඬු සිටාණන්ගේ ගෙට ත් සඟ පන් සියයක් වඩනා සේක. විශාඛාවන්ගේ ගෙට ත් සුප්පියාවන්ගේ ගෙට ත් එ සේ ම සඟ පන් සියයක් වඩනා සේක. උන් හැම බලවත් ම සැදැහැ ඇති හෙයින් නිබඳ වඩනා නියා ය’යි කිවු ය. රජ්ජුරුවෝත් ඒ අසා තුමූත් වහන්දෑට උපස්ථානයක් කරනු කැමැතිව වෙහෙරට අවුත් බුදුපාමොක් සඟ දහසකට ආරාධනා කොට සතියක් මුළුල්ලෙහි දන් දී සත් වන දවස් වැඳ ලා නිත්‍ය පරිවාර සඟ පන් සියය හා සමඟ බුදුන් රජ ගෙයි නිරන්තර ව සිඟන්ට ආරාධනා කළහ.

බුදුහු වදාරණ සේක් ‘මහරජ, බුදුවරු එක් තෙනකින් නිබඳ නො වළඳන්නාහ’යි වදාළ සේක. ‘එ සේ වී නම් සඟ පන්සියය හැර ගෙන අසූ මහ සවුවන් වහන්සේගෙන් එක් කෙනකුන් වහන්සේ නිරන්තර ව වඩනා ලෙස විධාන කොට වදාළ යහපතැ’යි කිවු ය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේට භාර කළ සේක. රජ්ජුරුවෝ ද ‘මුන් වහන්දෑ වළඳවා ලුව මැනවැ’යි එක් කෙණකුන්ට භාර නො කොට සතියක් මුළුල්ලෙහි තුමූ ම සිට දන් වළඳවා ලා අට වැනි දවස් විධාන කළ මනා රාජකාරිය ඇති බැවින් පමා වූ ය. රජ ගෙවල ත් රාජ විධානයක් ඈති ව මුත් තමන් ම සිතා ගෙන හිඳිනා අසුන් පනවා වඩා හිඳුවා වළඳවන කෙනකුන් නැති හෙයින් වහන්දෑ රැක සිට වෙහෙසී පියා බොහෝ තැන් වැඩපී සේක. රජ්ජුරුවෝ දෙ වන දවසු ත් එන තෙනැත්තෝ කල් යවා පීහ. දෙවන දවසු ත් ඊයේ දවස් රැඳුණු වහන්දෑ ගෙන් බොහෝ වහන්දෑ වැඩපී සේක. තුන් වන දවසු ත් කල් යවා පීහ. එ දවස් අනඳ මහ තෙරුන් වහන්සේ පමණ සිටියදී සෙසු වහන්දෑ වැඬපී සේක.

මහ පිනැති තැන් නම් පින් බරින් බර හෙයින් ලඝු නො වන සේක. කාරණ සිතිය හෙන සේක. ශීල සංරක්‍ෂණය සේ ම උපාසක කුලයාගේ අදහසු ත් රක්නා සේක. අපගේ බුදුන්ට ත් සැරියුත් - මුගලන් දෙ අගසවුවන් වහන්සේ හා මෙහෙණි සස්නෙහි අග්‍රශ්‍රාවිකා දෙ නම හා උපාසකවරුන් අතුරෙහි චිත්ත නම් සිටාණන් හා හත්‍ථාලවකයන් හා උපාසිකාවරුන් අතුරෙහි වෙළු කණ්ඩකී නන්‍ද මාතාවන් හා ඛුජ්ජුත්තරාවෝ ය යි මේ අට පක්‍ෂය පටන් ඒ ඒ තනතුරට පැමිණි සියලු ම සවුවන් වහන්සේ දස පැරුමෙන් සමහරක් වුව ත් පිරූ හෙයින් මහ පිණැති සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් ඊට ම ඇතුළත් හෙයින් මහ පිණැති සේක. කාරණ සලකා උදක ප්‍රසාද මාණික්‍යයක් මෙන් රජ්ජුරුවන්ට උපන් ප්‍රසාදය අඩු නො වන නිසා වහන්දෑ හැම යෙතත් තමන් වහන්සේ පමණක් රඳාපී සේක. ඔබ පමණක් වඩා හිඳුවා වැළඳ වූ ය.

රජ්ජුරුවෝ වහන්දෑ වැඩපී කලට අවුත් ‘සඟ පන් සියයට සපයාලූ දන් එක නමක් වැළඳූ පමණෙකින් අඩුවක් නැති ව තුබුවා දැක ‘වහන්දෑ අද නොවැඩි නියා දැ’යි විචාරා අනඳ මහ තෙරුන් වහන්සේ පමණක් වැඩි නියාව අසා සෙසු වහන්දෑ ආරාධනාව ඉවසා ලා නො වැඩි නියාවට මුසුප්පුව බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි, මම සඟ පන් සියයකට දන් ඉදි කරවා ලීමි. ඉදි කළ දන් වළඳන්නට එක අනඳ මහ තෙරුන් වහන්සේ පමණක් වැඩි සේක. රජ ව සිටි මා කළ ආරාධනාවට මා ගෙන් අඩුවක් නොදැක මෙ ලෙස කරන්ට කාරණ කවරේ දැ’යි කිවු ය.

බුදුහු වහන්දෑගේ වරද නැති හෙයින් ම වරද නො වදාරා රජ්ජුරුවන්ගේ වරද කථා ලෙශයකින් වදාරණ සේක් “මහ රජ, මාගේ සවුවන් තොප හා පුරුදු කමෙක් නැත. එ සේ හෙයින් නො ගිය නියාවනැ යි වදාරා වහන්දෑ බණවා ලා, කුලවලට එළඹෙන්ට කාරණා ත් නො එළඹෙන්ට කාරණා ත් වදාරණ සේක්: මහණෙනි, යම් කුලයකට එළඹි කල දැක ඉඳුරා නැඟී නො සිටිද්ද, ලා හෙළා කරණ ලෙස මුත් ඉඳුරා වැද නො ගනිද්ද, ඉඳිනා අසුන් පමණකුත් පනවා නො දෙද්ද, විද්‍යමාන වූ දෙය ධර්‍මය ත් දෙන්ට මැළි ව නො එක් දුප්පත්කම් කියා හඟවද්ද, බොහෝ ව ඇත ත් සිත කුඩා හෙයින් මඳක් දෙද්ද, මිහිරි දෙය තෝරා තබා ගෙන තමන්ට ත් ප්‍රයෝජන නැති නපුරු දෙයෙක් දෙද්ද, දෙන දෙය ත් නිහරසර ව දමන දෙයක් මෙන් දෙද්ද, අනුමෙවෙනි අසන්ට නො රඳද්ද, රඳාපු නමුත් නැති යම් කථාවක් ලා ගෙන හෝ කෙළියක සිනාවෙක ඇවිස පියා හෝ අනිකුත් ලෙසකින් ඉඳුරා අසා නො ගනිද්ද, එ සේ වූවන්ගේ කුලයට ආදි නො එළඹුනොත් එළඹෙන්ටත් තරම් නො වෙයි. නො සලකා එළඹුනො ත් හිඳින්න ත් තරම් නො වෙයි. එළඹෙන් ට ත් එළඹ හිඳිනට ත් තරම් කුල කවරේ ද? යත්:

දැක අනාදර භයින් වහා නැඟී සිටිද්ද, පෙමු ත් ආදරය ත් උපයා වැද ගනිද්ද, හිඳිනා නියායෙන් හසුන් පනවා දෙද් ද, ඇති ව තුබූ දෙය ත් ආදි එළියේ තුබුවා කොල්ල භයින් සඟවන්නා සේ සඟවා නො තබද්ද, බොහෝ ව තමන්ට ඇත් නම් අදහස් මහත් බැවින් අදහස් ලෙස ම බොහෝ කොට දෙද්ද, මිහිරි දෙය මිහිරි කොට දෙද්ද, දෙන දෙය ත් කම් ඵල අදහා සකස් කොට දෙත් මුත් නිහරසර ලෙසින් නො දෙද් ද, අධිගතය ත් නව ලොවුතුරා දහම්හි රුචි ඇත්තා සේ බණ ඇසීමෙහි රුචි ඇත්තෝ ද, ඇසූ දෙය ත් ගල කොටා පූ අකුරු මෙන් සිත තබත් ද, එ සේ වූ කුලවලට ආදි නො ගිය විරූ වුව ත් එළඹෙන්ටත් තරම හැසිල්ලක් වුව ත් හිඳිනට ත් තරම’යි වදාරා ‘මහ රජ, මාගේ සවුවනු ත් තොපගේ එ බඳු තරමක් නැති හෙයින් නොගිය නියා ය’යි වදාරා නිකම් කියා ලුව යි නො ගිවිස්සවුන්ට කාරණා කියා ගිවිස්නා සේ අතීත කථාවක් එළවා ගිවිස්වනු පිණිස ‘එම්බල මහ රජ, පෙර නුවණැත්තෝ පුරුදු කමක් නැති තෙන කරණ උපස්ථානය කවර තරමෙක බලවත් වුව ත් මරණාසන්න තරම් ලෙඩ ඇති ව පුරුද්දවුන් ඇති තෙනට ම ගියෝ වේ ද’යි වදාරා එ පමණෙක ම නො රඳා ‘ඒ කෙ සේද, ස්වාමීනි, විචාළ රජ්ජුරුවන්ට භස්ම ප්‍රච්ඡන්නජාත වෙදයක් ප්‍රකාශ කරන කලක් පරිද්දෙන් දෝ හෝ නො හොත් වලාවෙන් සැඟවී තුබූ සඳ වලා පීරා පානා කලක් පරිද්දෙන් දෝ හෝ නොහොත් සිත්තම් කොට හකුළුවා තුබූ පෙත්තක් විදහා පානා කලක් පරිද්දෙන් ඉකුත් වත් දක්වන සේක.

යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජ කරණ සමයෙහි දඹ දිව එක් නුවරෙක කෙශව නම් රජ්ජුරු කෙනෙක් රජ සැපත් හැර මහණ වූ ය. උන් මහණ වන ගමනේ කැටි ව පන්සියයක් දෙන මහණ වූ ය. රජ ව ප්‍රසිද්ධ වූ වා සේ ම මහණ වත් කෙශව තාපසයෝ ය යි ප්‍රසිද්ධ වූ ය. මඟුල් කපුවාණෝත් මහණ ව කප්ප නම් අතවැසි වූ ය. කෙශව තවුසෝ තවුස් පිරිස් හා සමග අට මසක් මුළුල්ලෙහි හිමවත වැස වස් අවධියෙහි ලුණු ඇඹුල් අනුභවය වූවො ත් මුත් රෝග හට ගන්නා හෙයින් ලුණු අඹුල් සෙවුනා නිසා බරණැසට අවුත් නුවර ඇතුළට සිඟා වන්හ. රජ්ජුරුවෝ සන්හුන් පියෝ ඇති තවුසන් දැක පැහැද වස් සාර මස තමන් ළඟ වසන ලෙසට ආරාධනා කොට උයන වස්වා සවස ත් උදෑසන ත් තවුසන් වඳින්නට පුදන්ට යෙති. සෙසු තවුසෝ ත් කීප දවසක් රඳා ලා ගම් ආසන්න ව රඳා හිඳි හෙයින් නො එක් අරගල අසා උකටලී ව ‘ආචාරීන් වහන්ස, මෙ තැන රඳන්ට කාය ඵාසුව ඇත ත් චිත්ත ඵාසුව නැත. චිත්ත ඵාසු ව නැති කල හුදක් කාය ඵාසුවෙන් කම් නැත. යම්හ’යි කිවු ය. ‘යන්නේ කොයි දැ’යි විචාළ කල්හි ‘මිනිස් අරගල නැත්තේ හිමවත වේ ද, ඔබ යම්හ’යි කීහ.

‘රජ්ජුරුවෝ අප හැම ආ දවස් ම වස් සාර මස රඳන්ට ආරාධනා කොළෝ ය. අපිත් ආරාධනා ගිවිස්සම්හ. මසක් විතර ත් රඳා නො පියා නැඟී යන්නේ කෙසේ ද? උන්ගේ ප්‍රසාද හානිය වන්නේ වේ දැ’යි කිවු ය. ‘ආරාධනා කරන්නා ම අප හැම නො විචාරා ආරාධනා ඉවසූ සේකු ත් මුඹවහන්සේ ය. ප්‍රසාද හානිය නොවන්නට රඳත ත් ඔබ ම රඳන බව ය. රජ දරුවන්ගේ අදහස් පුරන මුඹ වහන්සේගේ අදහස් පුරා අප රඳන්ට බැරි ය. දුර ත් නො ගොසින් පව ත් ඇසෙන තැනෙක රඳා පවතු ත් දැන ළඟක හිඳුම්හ’යි වැඳ ගෙන නික්මුණාවු ය. කපු කුලෙන් මහණ වූ කප්ප නම් තවුසාණෝ පමණක් ආචාරීන් හා සමග රැඳුණා වූය. රජ්ජුරුවෝ අවුත් ‘තවුසන් වහන්සේ‍ කොයි දෑ’ යි විචාළෝ ය. ‘රඳනු අභිප්‍රාය නැත්තම්’යි කියා ලා හිමිවතට ම ගියෝ ය”යි කප්ප නම් තවුසාණෝ ද කීප දවසක් රඳා ලා උකටලී ව ආචාරීන් රඳන්ට කීව ත් නො රඳා ම නික්මුණා වු ය. සෙසු තවුසන් ළඟට නො ගොසින් ආචාරීන්ට නුදුරු ව රඳා හුන්හ. කල් යෑමක දී අත වැස්සන් කෙරෙහි ශෝක ඇති ව ආචාරීන් බඩ රෝගයෙක් ඇති විය. රජ්ජුරුවෝ වෙදවරුන් ලවා පිලියම් කරවති. විපිළිසර මුල් ව ඇති වූ රෝගය හෙයින් පිළියමින් සන් නො හිඳෙයි.

කෙශව තාපසයෝ විචාරන්ට ආ රජ්ජුරුවන්ට ‘මහ රජ, මාගේ රෝග පීඩා සන්හිඳුවනු කැමැත්තාදැ’යි විචාරා ‘ඉදින් පිළිවන් වී නම් දැන් ම සන්හිඳුවනු කැමැත්තෙමී’යි කී කල්හි ‘ඉදින් මහ රජ, එ ලෙසක් කැමැත්තා නම් මා අපගේ අතවැස්සන් ළඟ ලවා පියව’යි කීහ. රජ්ජුරුවෝ ත් යහපතැයි ගිවිස දෝළි සැල්ම ආයාස වේ දැයි හැඳක් පන්ති කරවා ලා එහි සතප්පවා ලා නාරද නම් ඇමැත්තන් ඇතුළු වූ ඇමැත්තන් සතර දෙනකුට ‘තෙපිත් කැටි ව ගොසින් මුන් වහන්සේගේ ලෙඩෙහි පවත් දැන මට කියා එව’ යි කැටි ව යවූහ. කප්ප නම් තවුසාණෝ ඇදුරු තවුසන් එන නියාව අසා පෙර ගමන් කොට ගොසින් සෙස්සෝ කොයි යි විචාළ කල්හි අසවල් තෙන වෙසෙතී කීහ. එ බස් අසමින් ම කායික රෝගයට ඒ තමා බෙහෙදක් නො වන හෙයින් ඒ පසු කොට චෛතසික රෝග වූ ශෝක ය සන්හුණ. සෙසු තවුසෝ මුළුල්ල ත් ඇදුරු තවුසන් ආ නියාව අසා එ තැනට ම අවුත් ආචාරීන්ට පැන් හුණු කොට දී ලා ඔජා සම්පන්න ඵලා ඵල ගෙනවුත් දුන්හ. රෝග කාරණ ය තවුසන් දුටු ගමනින් ම සන්හිඳී ඵලා ඵල අනුභව කරන්නා ම බඩ රෝගය ත් සන්හුණ. කීප දවසකින් ම දුර්වල කම ත් හැරී ගොස් නඟා පී රන් පිළිමයක් මෙන් රන් වන් වූ හ.

නාරද නම් ඇමැත්තෝ ද -

“මනුස්සින්‍දං ජහිත්‍වාන - සබ්බකාම සමිද්ධිනං,

කථන්නු භගවා කෙසි - කප්පස්ස රමති අස්සමෙ”

යනු හෙයින් අපගේ රජ්ජුරුවන් වහන්සේ ගෙන් එ තරම් උපස්ථානයක් ඇතත් උයන ඵාසු වුව ත් කප්ප නම් තවුසන් වහන්සේගේ පන්සල සිත ඇලෙනැ’යි විචාළහ.

“සාදූනි රමනීයානි - සන්ති රුක්ඛා මනොරමා,

සුභාසිතානි කප්පස්ස - නාරද රමයන්ති මං”

යනු හෙයින් ‘උන්ගේ පන්සල බඩ සිටියා වූ ගස් කොළ ත් උන්ගේ මියුරු කථා ත් මා සිත අලව යි’ කිවු ය. ඒ අසා නාරද ඇමැත්තෝ -

.

“සාලීනමොදනං භුත්‍වා - සුචිං මංසුපසෙවනං,

කථං සාමාකනීවාරා - අලොණා ඡාදයන්ති තං”

යනු හෙයින් ‘අපගේ රජ්ජුරුවන් වහන්සේගෙන් දෙවන රස මසවුළෙන් යුක්ත හැල් සාලේ බත වළඳා හිඳ ඵලා ඵලයෙන් යපෙන්නේ කෙසේ දැ’යි විචාළෝ ය. තවුසෝ ඒ අසා-

“අසාහුං යදි වා සාදුං - අප්පං වා යදි වා බහුං,

විස්ස‍ත්‍ථො යත්‍ථ භුඤ්ජ‍ෙය්‍ය - විස්සාසා පරමා රසා”

යනු හෙයින් ‘යහපත් වේවයි නපුරුවේව යි මඳ වේවයි බොහෝ වේව යි ප්‍රේම ඇත්තවුන් දුන් දෙයෙහි ම රස යහපතැ’යි කිවු ය.

බුදුහු මේ දේශනාව ගෙනවුත් දක්වා ‘එ කල රජ්ජුරුවෝ නම් මුගලන් මහ තෙරහු ය. නාරද ඇමැත්තෝ සැරියුත් මහ තෙරහු ය. කප්ප නම් තවුසෝ අනඳ මහ තෙරහු ය. කෙශව තවුසෝ මම ය’යි වදාරා ‘මහ රජ, මෙසේ පෙර නුවණැත්තෝ බලවත් ලෙඩට පැමිණ ත් පුරුදු තෙනට ම ගොසින් පිළියමින් නො සන්හුන් ලෙඩ සෙසු ලෙසින් නො සන්හුන් කෙලෙසුන් මාර්‍ගයෙන් සන්හිඳවූවා සේ ගුණ කළහ. මාගේ සවුවන් තොප හා එ බඳු පුරුදු කමෙක් නැති නියා ය’යි වදාළ සේක.

රජ්ජුරුවෝ වහන්දෑ හා පුරුදු ව ගන්නා කැමැති ව කෙසේ කළහොත් පුරුදු විය හැකි දෝ හෝ යි සිතා ‘බුදුන්ට නෑ වන ශාක්‍ය කුලයෙහි බිසෝ කෙනකුන් ගෙන්වා අග මෙහෙසුන් කෙළෙම් නම් බුදුහු මට නෑ වන සේක. එ සේ කලට බාල වහන්දෑත් වැඩි මහලු වහන්දෑ ත් බුදුන්ගේ නෑ රජ්ජුරුවෝ ය යි එක් වන් මා ළඟට වඩනා සේකැ’යි සිතා ශාක්‍ය රජදරුවන්ට දූ දරු කෙනකුන් සරණ එවන්නට කියා ය වූ ය. යවන්නෝ ම ‘අසවල් ශාක්‍ය රජ්ජුරුවන්ගේ දුවණියෝ ය යි නියම දැන අවුත් කියව’යි විධාන කළහ. ඔහු ද ගොසින්, ශාක්‍ය රජ්ජුරුවන්ට එ පව ත් කි වූ ය. ශාක්‍ය රජ්ජුරුවෝ ද රැස් ව ‘පක්‍ෂ බල ඇති රජ්ජුරුවෝ ය. ජාති මදෙන් මත්ව දූ දරු කෙනකුන් සරණ නුදුන්නමෝ නම් එයි ත් කාරණ නො වෙයි. තමන් බලී හෙයින් අප දුර්වල වන්නා නසා පියති. රජ පමණක් මුත් ජාති අපගේ ජාති ය හා සම නො වෙයි. කළ මනා කිම් දෝ හෝයි’ කථා කළෝ ය.

මහානාම ශාක්‍ය රජ්ජුරුවෝ ‘අපගේ කෙල්ලකගේ දුවක් අපට දා ය. රුවින් බැලූ කලට මිඬි තරමක් නැත්තී ය. ඈ සරණ දෙම්හ’යි නියම කොට ලා ආ මෙහෙවර කරන්නවුන්ට ‘යහපත, තොපගේ රජ්ජුරුවන්ට අප ගෙන් දූ දරුවන් සරණ දෙම්හ’යි කිවු ය. ‘කවර රජ්ජුරු කෙනකුන් වහන්සේගේ දුවණි කෙනකුන් දැ’යි විචාළ කල්හි බුදුන්ට කුඩා පිය වූ අමිතොදන නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ පුත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට බෑණ වන මහානාම ශාක්‍ය රජ්ජුරුවන්ගේ දූ වූ වසභඛත්තියාවෝ ය’ යි කී කල්හි උයි ත් ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කිවු ය.

කොසොල් රජ්ජුරුවෝ ද ඒ අසා ‘එ සේ වී නම් ඔබ්බකට නිල නො වන තෙක් වහා ගෙනෙව. රජ දරුවෝ නම් බොහෝ මායම් දනිති තමන්ගේ දූ ය යි කියා ලා කෙල්ලකගේ දුවක් වත් එවා ලන සේ දනිති. බුදුන්ට නෑ වන්ට සිතා කොල්ලන්ට නෑ වුවො ත් නපුර. පියාණන් හා කැටි ව හිඳ බත් කෑ කෙනකුන් ගෙනෙව’ යි විධාන කොට යවූහ. උයි ත් මහානාම රජ්ජුරුවන්ට ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේ හා කැටි ව කන කෙනකුන් දැක කැඳවා ගෙන යන්ට වදාළ සේකැ’ යි කිවු ය. මහානාම රජ්ජුරුවෝ ත් තමන් මේ නිමවා නිමන වේලාට වාසභඛත්තියාවනු ත් ආභරණ ලා සරහා ගෙන්වා ලා එක් ව කෑම නැත ත් එක පාවාඩයේ හුන් පමණකිනු ත් කැටි ව කෑ ලෙසක් ගියවුන්ට හඟවා ලා කැඳවා ගෙන යන්ට නිළ කළහ. උයි ත් කැඳවා ගෙන සැවැත් නුවරට ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කිවු ය. රජ්ජුරුවෝ සතුටු ව උන් පන් සියයක් ගෑනුන්ට නායක කොට අකුශලක් පැමිණ මිඬි වුව ත් බිසෝ වන්ට නිසි පින් ඇති හෙයින් අග මෙහෙසුන් කළහ.

උයි ත් නොබෝ කලකින් ඔටුනු පළඳනා පින් ඇති රන් වන් වූ පුතණු කෙනකුන් වදා පූ ය. උන්ට නම් තබන දවස් රජ්ජුරුවෝ තමන්ගේ නැඳි මයිලන් ළඟට ‘ශාක්‍ය රජදරුවන්ගේ දූ වූ වාසභඛත්තියාවෝ පුතණු කෙනකුන් වැදූ ය. උපන් කුමාරයන්ට තුබු ව මනා නම් කියා එවන්ට වුව මැනව’යි කියා යවූ හ. මෙහෙවර ගිය තැනැත්තවූ කන් මඳක් බීරි ය. ඒ ගොසින් කොසොල් රජ්ජුරුවන් කී පවත් නැඳි මයිල් රජ දරුවන්ට කීය. ඌ ඒ අසා ‘වාසභඛත්තියාවෝ පුතුන් නො වදා ත් රජ්ජුරුවන්ට වල්ලභයෝ ය. දරුවන් වැදූ පසු වල්ලභ කම් කියනු කිම් දෑ’ යි කිවු ය. බීරි ඇමැති ත් ‘වල්ලභ’ ය යන බස වරදවා අසා ගෙන ‘විඩූඩභ’ ය යි සිතා ගෙන රජ්ජුරු වන් කරා අවුත් ‘රජ්ජුරුවන් වහන්ස, කුමරුන්දෑට විඩූඩභ යන නම තබා ලුව මැනැවැ’යි කීය. රජ්ජුරුවෝ ද ඒ උන්ට පැවත ආ නමක් නියා ය යි සිතා විඩූඩභ ය යි නම් තබා ලූහ. උන් බාල කල්හි ම බුදුන්ගේ නෑ තෙනැත්තවුන් හෙයින් ඔබට සතුටක් කළ මනා වේ දැ යි සෙනෙවිරත් පට බඳිනට වයසක් නො වත ත් ඇති ව ගත නො හෙන ගස් බාල කල ම පල ගන්නා සේ සෙනෙවිරත් කළහ.

උයි ත් කුමාර පෙරහරින් වඩනෝ සත්හැවිරිදි වයස දී සෙසු කුමාරවරුන්ගේ මුතුන් පක්‍ෂයෙන් ඇත් රූ අස් රූ ආදිය ගෙනෙන්නා දැක මෑණියන්ට කියන්නෝ ‘සෙසු කුමාරවරුන්ගේ මුතුන් පක්‍ෂයේ නො එක් පඬුරු ගෙනෙති. අපට ගෙනෙන කිසි කෙනෙක් එවන කෙනකුන් නැති හෙයින් දෝ නැත. කුමක් ද? මුඹගේ දෙ මවු පියන් නැති නියා දැ’ යි විචාළෝ ය. පුත, කුමක් කියවු ද? ශාක්‍ය රජ දරුවෝ තොපගේ මුතුන් පක්‍ෂ ය. දුර වසන හෙයින් කිසිවක් නො එවතී’ කියා පුතණුවන් යවා ලූය. නැවත ත් ඌ සොළොස් හැවිරිදි අවස්ථාවෙහි ‘මුතුන් මිත්තන් දක්නා කැමැත්තෙමී’ යි කියා නො කැමැත්තේ ‘පුත, එ තෙක් කතර ගොසින් ප්‍රයෝජන කිම් දැ’යි නො එක් ලෙසින් බාධා කොට කීවත් කුමාරයෝ යන්ටම තත්පර යෝ ය. තත්පර කලට රැඳවීම යුක්ති නො වන්නේ වේ දැ යි යහපතැ යි ගිවිස්සෝ ය. ඌ පිය රජ්ජුරුවන්ට කියා ලා මහ පෙරහරින් නික්මුණාවු ය.

වාසභඛත්තියාවෝ තමන්ගේ පුතණුවන්ට කුමක් වුව ත් තමන්ට දැනෙන හෙයින් පතක් පෙරාතු කොට යවන තෙනැත් තෝ ‘මම මෙ තැන සුව සේ රැකෙමින් සිටියෙමි. ස්වාමි දරුවන් කිසි ලෙසකිනු ත් තෙල ගියවුන්ට තොරතුරක් නො පෑව යහ පතැ’යි යච්ඤා කොට කියා යවූ ය. ශාක්‍ය රජ දරුවෝ ද විඩූඩභයන් එන නියාව දැන ‘වයසින් බාල වුව ත් අප ගෙන් කිසි කෙනකුන් උන් වඳිනට තරම් නො වන්නෝ වේ දැ’යි බාල කුමරුවන් දනවුවලට යවා පියා වයසින් වැඩී සිටියාහු තේරී ගෙන උන් කිඹුල්වත් නුවරට වන් කල්හි හැම දෙන රැස්වන්නා වූ ශාලාවට රැස්වූහ. කුමාරයනුත් ගොසින් සිටියවුන්ට ‘තුලු තොපගේ මුත්තණුවෝ ය. තුලු තොපගේ මයිලණුවෝ ය’ යනාදීන් ඒ ඒ දෙනා තෝරා කිවු ය. ඌ තුමූ නෑ කම් නැත ත් වැන්ද මනාවුන් හෙයින් ම වැඳ වෙහෙසී පියා තමන්ට වඳිනා එක කෙනකුනු ත් නො දැක ‘මා මෙතෙක් දෙනා වැන්ද ත් මා වඳිනා එක කෙනකුනු ත් නැති නියා දැ’යි විචාළෝ ය. ශාක්‍ය රජ දරුවෝ ‘පුත, තොපගේ මස්බෑයෝ කිසි කටයුත්තෙක දනවු වට ගියහ’යි කිවු ය. කියා ලා උන්ට මහත් කොට සත්කාර කොළෝ ය. උයි ත් කීප දවසක් රඳා ලා මහ පිරිවරින් නික්මුණා වුය.

එක් කෙල්ලක් උන් හුන් පුවරුව සෝධන තෙනැත්තී ‘මිඬියගේ පුතු හුන් පුවරුව ය’යි බැණ බැණ කිරි පැන් සඳුන් පැනින් සෝධ යි. එක් හේවායෙක් තමාගේ ආයුධ ය සලකුණු නැති ව තබා පියා ගොසින් පෙරළා ආ තෙනැත්තෝ කෙල්ල විඩූඩභයන්ට බණන හඬ අසා ඒ තොරතුරු ඈ අතින් විචාරා ගෙන සේනාවට කියාලී ය. ‘වාසභඛත්තියාවෝ බිසෝ බවට වන් බව මුත් කෙල්ලගේ දුවණියෝ ල. විඩූඩභයෝ රජ කමට ගැසෙන මුත් මිඬියගේ පුතණුවෝ ල’යි මහා කොලාහල වී ය. විඩූඩභයෝ ඒ අසා ‘මා හුන් පුවරු ව මුන් කිරි පැන් සඳුන් පැනින් සේධ වූ පසු මා රජ පැමිණි කල මුන්ගේ බොටුවල ලෙහෙයෙන් මා හුන් පුවරුව සෝධවමී’ සිතා ගත්හ. උන් සැවැත් නුවරට ගිය කල්හි ඇමැත්තෝ ඒ සියලු පවත් රජ්ජුරුවන්ට කිවු ය. කොසොල් රජ්ජුරුවෝ ‘තමන්ගේ මිඬියගේ දුව අපට බිසෝ කමට පාවා දුන් නියා වේ දැ’යි ශාක්‍ය රජ්ජුරුවන්ට මුසුප්පු ව දුර හුන්නවුන්ට කට හැක්කක් නැත ත් වාසභඛත්තියාවන්ට දුන් බිසෝ තනතුර ත් පුතණුවන්ට දුන් සෙනෙවිරත් තනතුරත් උදුරා ගෙන කෙළි කොල්ලන් ලැබ්බ යුතු විතරක් ම දෙවා උන් වහල් නියාවට ප්‍රසිද්ධ කළහ.

කීප දවසකින් බුදුහු රජ ගෙට වැඩ පනවන ලද බුදු අස්නෙහි වැඩ හුන් සේක. රජ්ජුරුවෝ ත් අවුත් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ නෑයෝ මා තමන්ට නෑ කමට නො තරම් හෙයින් දෝ තමන්ගේ කෙල්ලකගේ දුවක් තමන්ගේ දූය යි කියා ලා මට පාවා දුන්හ. මා උන් මිඬි නියාව ඔබින් දත් පමණෙකින් ම තරම් නොදැන දෙ පුතු මවුන්ට දුන් තනතුරු හැර ගෙන කෙළි කොල්ලන් ලද මනා විතරක් ම දිනිමී’යි කිවු ය.

බුදුහු ඒ අසා ‘මහ රජ, මාගේ නෑයන් වුව ත් කෙළේ අයුත්තිය. නො දෙතොත් නො දෙත් නමුත් දෙන කල සරි සමාන කෙනකුන් දිය යුතු ය. මහ රජ, තොපට එකක් කියමි. මෙ වාසභඛත්තියාවෝ මවු පක්‍ෂ ය කුම් වුව ත් රජ්ජුරු කෙනකුන්ට දායෝ ය. නැවත රජ්ජුරු කෙනකුන්ට අග මෙහෙසුන් වූ ය. විඩූඩභයෝ ද රජ්ජුරු කෙනකුන්ට දාව උපන්හ. මවු පක්ෂයෙහි යාපතින් නපුරින් ප්‍රයෝජන කිම් ද, පිය පක්‍ෂය යාපත් කලය? පුරාතන රජදරුවෝ දිලිඳු ව දර විකුට කන කෙල්ලට අග මෙහෙසුන් තනතුර දුන්හ. ඈ කුස උපන් කුමරු අට සාලිස් ගවු පමණ දිග පළල ඇති බරණැස් නුවර ඔටුනු පැළඳ කට්ඨවාහන නම් රජ වී ය’යි කට්ඨහාරි ජාතක ය වදාළ සේක. රජ්ජුරුවෝ ද දහම් නැමැති මියුරු පැන් බී කෝප නැමති ගිම් නිවා ගෙන පිය පක්ෂය ම උතුම් ල යි සතුටු ව උදුරා පී පැළ දෙකක් නොමියන තෙක් හිඳුවා ඇති කරන්නා සේ දෙ පුතු මවුන්ට ආදි දී ලා හැර ගත් තනතුරු පෙරළා දුන්හ.

බන්ධුල සෙනෙවි රදුන්ගේ ත් කුසිනාරා නුවරම උපන් වැඩී මල්ලිකා නම් දේවී බොහෝ කලක් උන් කෙරේ රඳා හිඳ ත් දරු කෙනකුන් නො ලත්හ. බන්ධුල සෙනෙවිරද්දු දේවීන් වඳ හෙයින් මුසුප්පු ව ‘තොපගේ දෙමවු පියන්ගේ ඔබ යව’යි කුසිනාරා නුවරට ම යවා පීහ. උයිත් ඔබ යන්නෝ “බුදුන් වැඳ ගෙන යෙමී’යි දෙවුරමට ගොසින් වැඳලා සිටියෝ ය. බුදු රජුන් වහන්සේ කොයි යවු දැ යි විචාරා වදාළ කල්හි බන්ධුල සෙනෙවි රදුන් නෙරනා හෙයින් දෙමවු පියන්ගේ ඔබ යන නියාව දන්වා කාරණ කවරේ දැ යි විචාරා වදාළ කල්හි තමන් වඳ නියා හෙයින් යයි දැන් වූය. ‘එ සේ වී නම් යාමෙන් ප්‍රයෝජන නැත. රඳා ප්‍රයෝජන ඇති වන බැවින් රඳව’යි වදාළ සේක. ඌ තුමූ බුදුන් වදාළ බස ම දරුවන් ලද්දා සේ සිතා සතුටු ව බුදුන් වැඳ ගෙන ගෙට ගොසින් ‘රඳා පියේ හැයි දැ’යි විචාළ කල්හි ‘බුදුන්ගේ පැරැත්තට වඩනා පැරැත්ත නැත්තේ වේ ද, ඔබ වදාළ හෙයිනැ’යි කිවු ය.

බන්ධුල සෙනෙවිරද්දු ‘රැඳීමෙහි ප්‍රයෝජන නු බුදු හෙයින් මා නොදත ත් ඒ මුනි උතුමාණන් වහන්සේ දත් නියා ය’යි සිතා රැඳීම තුමූ ත් ගිවිස්සෝ ය. දේවී ත් නො බෝ කලකින් දරු කෙනකුන් උපන් සිටි හෙයින් දොළක් ඇති ව තමන්ට දොළ දුක් ඇති නියාව සමුණන්ට කිවු ය. කෙසේ වූ දොළෙක් දැ’යි විචාළ කල්හි විසල් මහ නුවර රජ කරණ සත් දහස් සත් සිය සත් දෙනකු පමණ රජදරුවන්ගේ අභිෂේකයට පැන් හැර ගන්නා මඟුල් පොකුණට බැස නා පියන්ට ත් පැන් බී පියන්ට ත් දොළ ඇති නියාව කිවු ය. බන්ධුලයෝ ත් යහපතැ යි කියා ලා දහසක් දෙනා ඇද ලන තර ය ඇති දුන්න හැර ගෙන රථයකට පැන නැඟි ලා සැවත් නුවරින් නික්ම රථ ය පදිනා තෙනැත්තෝ මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවන්ට දුන් වාසලින් විසාලා නුවරට වන්හ. මහාලී ලිච්ඡවින්ගේ ගෙය ත් වාසල ගාවා ය. ඌ රථ ය එළි පත වැද ගත් හඬ අසා ‘බන්ධුල මල්ලයන්ගේ රථය හඬ ය. ලිච්ඡවීන්ට අද භයෙක් ඇති වෙයි’ කිවු ය. පොකුණ වසා ලෝ දැළක් හැද තිබෙන හෙයිනු ත් පිටත ත් රැකවල් ඇති ව තිබෙන හෙයිනුත් මිනිසුන්ට තබා පක්ෂීන්ට වුවත් වැද ගන්ට බැරිය. බන්ධුල සෙනෙවි රද්දු රථයෙන් බැස පියා රකවල සිටියවුන් වේ වැළින් ගසා පලවා පියා කඩුවෙන් ලෝ දැල කපා පියා ඇතුළු පොකුණෙන් ඇඹේණියන් නාවා පැනු ත් පොවා පියා තුමූ ත් දොළ දුක් නැත ත් නා පියා නැවත රථයට පැන නැඟී නුවරින් නික්ම ආපස්සේ නික්මුණාවු ය. රකවල සිටියෝ ත් ලිච්ඡවීන්ට ගොසින් කිවුය. ලිච්ඡවීත් කිපී ගොසින් පන් සියයක් දෙන පන් සියයක් රථවව්ලට නැඟී බන්ධුල මල්ලයන් අල්වම්හ යි නික්මුණාවු ය. ඒ බව මහාලී රජ්ජුරුවෝ අසා උන් හැම කැඳවා ලා. ‘අපි බොහෝ දෙනය. උන්තනි තෙනැත්තවුන් කිම්දැ’යි සිතා යවු නමුත් තමන් සමර්ථ හෙයින් තොප හැම ම මරති. උන් සමර්ථ, නියාව තොප මෙ තෙක් දෙනා හුන් තෙනට තනි ව නැඟී ආ ගමනින් ම නො දැනේද ? නොයව’යි තමන් උන්ගේ තරම ඉඳුරා ම දන්නා හෙයින් නැවතූහ. ඌ හැම දෙන යන්ට තරයෝ ය. ගමන නවතා ගත නො හී ‘අර්ථී ව යව් නම් උන්ගේ රථ සක සක් නැබ දක්වා පොළෝ ගැලී ගිය තෙනක් දුටු නම් එ තැන දී නැවත පියව. එ සේ ත් නො නැවත ගියහු නම් ඉදිරියේ දී සෙණක් ගසා පීවා සේ මහත් හඬක් ඇසූ නම් එ තැන දී රඳා පියව. එසේ ත් නො රඳා ගියා නම් තොපගේ රථ පන් සියයේ විය ම එක එල්ලට සිටියා දුටු නම් එ තැන පටන් නවතුව. ඉදිරියට යන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. උන් කෙසේ කීව ත් ක්‍රෝධ වේගයට වඩා කර්‍ම ‍වේගය බලවත් හෙයින් මහාලීන් කීව නො ගිවිස ලුහුබඳවා ගත්හ. මල්ලිකාවෝ රථයේ පසු කෙළවර හුන්නෝ එන්නවුන් දැක ‘රථ සමූහයෙක් පෙනෙන්නේ ය. ස්වාමීනි, කිවු ය. එ සේ වී නම් බලා හිඳ ලා එක රථයක් සේ පෙනෙන කලට කියාලව’යි කිවු ය. උයි ත් බලා ඉඳ ලා එක රථයක් සේ පෙණෙන කලට ‘ස්වාමීනි, එක රථයක් සේ පෙනෙ’යි කිවු ය.

‘ඵසේවී නම් තෙල රෑණ අල්වා ගනුව’යි රෑන උන් අතට දී ලා රථයේ සිට දුන්න නඟා ලූ ය. රථසක නැබ දක්වා පොළොව ගිලිණ. ලිච්ඡවීහු එ තැන දැක ත් කර්‍ම ස්වරූපය නොදැක නික්මුණෝ වූ මය. බන්ධුලමල්ලයෝ මඳ තැනක් ගොස් ලා දුනු දිය අත පොළාලූ ය. ලිච්ඡවීන් පන්සියයට වන හානි නිසා සෙණ ගසා පීවා සේ මහත් ව හඬා පී ය. ඒ අසා ත් ඌ නො නැවැත්තෝ ය. ලුහු බඳවා දිවෙත්මය. බන්ධුල මල්ලයෝ රථයේ සිට ම විෂ පෙවූ පළල් හීයක් විදපූය. ඒ හීය ත් පන්සියක් රථවල රිය හිස් සිදුරු කොට ගෙන සන්නාහ ලා සිටි රජ දරුවන් පන් සියයක් විදගෙන කළ අපරාධ ය බලවත් හෙයින් සැඟවෙන්නා සේ පොළොවට වන. ඌ හැම තමන් විත් කෑ නියාව සන්නාහ බැඳ ගත් වේගයෙන් නොදැන ‘කොල සිටුව, කොල සිටුව යි කිය කියා ලුහුබඳවත් ම ය.

බන්ධුලයෝ රථ ය රඳවා ලා ‘තෙපි හැම දෙනම මේ මුරයට මිය ගියව. මළවුන් හා මා හා කුමන සටන් දැ’යි කිවුය. රජ පන් සියය ඒ අසා කොල, මළවුනු ත් අප සේ මදිවන නියා දැ’යි කිවුය. එසේවී නම් මළ නොමළ නියාව දන්ට පෙරාතුසිටි තෙනැත්තන් ගේ සන්නාහය උනව’යි කිවු ය. ඒ අසා සන්නාහය උනා පියන්නාම මිය හුණුවු ය. ‘තෙපි හැම දෙන ත් තෙල තෙක්මය. ගෙවලට පලා ගොසින් විධාන කළමනා දෙයත් විධාන කොට ලා අඹු දරුවන්ටත් කිවමනා මාලු කම් කියා ලා සන්නාහ උනව’යි කිවු ය. උයි ත් එ ලෙස ම කොට මහාලී ලිච්ඡවීන්ගේ අවවාද මැඬ ත් මරු මැඬ පිය නුහුණුවූ ය.

බන්ධුලමල්ලයෝ ද මල්ලිකාවන් සැවැත් නුවරට ම කැඳවා ගෙන අවු ය. උයි ත් සොළොස් වරකින් නිමුන් පුතුන් දෙතිසක් වදාලූය. හැම දෙන ම උගත මනා ශිල්පත් ඉගෙන නිමවා බොහෝ දවසක් ජීවත් වීමට අසමර්ථ වුවත් සෙසු ලෙසින් සමර්ථ වූහ. එකි එකී දෙනාගේ ආණ්ඩුව දහස දහස ය. මුන් තිස් දෙනා දෙතිස් දහස පිරිවරා නික්මුණු කලට රජ්ජුරුවන්ගේ සෙණ්ඩුවාලුව උන්ගෙන් ම පිරෙයි.

ඉක්බිත්තෙන් එක් දවසක් යුක්තියක් බැණ පැරදි එකෙක් බන්ධුලමල්ලයන් හුන්නවුන් දැක අධිකරණ නායකයන් අත්ලස් කා ලා කරණ අයුක්තිය කිව. ඌ ඒ අසා අධිකරණයට ගොසින් යුක්තිය තරාදියක් සේ මැදහත් ව විචාරා හිමි තැනැත්ත වූ ම හිමි කොළෝ ය. බොහෝ දෙනත් යුක්තිය තමන් සිතටත් නැඟී හෙයින් සාධුකාර දුන්හ. රජ්ජුරුවෝ ත් මේ කිම් දැ’යි විචාරා එ පවත් අසා සතුටු ව අධිකරණ නායක සියල්ලවුන් ම හැර බන්ධුල මල්ලයන්ට ම අධිකරණ කටයුත්ත නිළ කළහ. එ වක් පටන් අයුක්ති නැතිව ඒ නැති වීමෙන්ම අල්ලසුත් නැති ව පෙර අධිකරණ නායක වරු දුක්පත් ව ගොසින් බන්ධුල මල්ලයන් නසා පියන්ට උපදෙස් බලන්නෝ රජ්ජුරුවන් කරා ගොසින් ‘රජ්ජුරුවන් වහන්ස, මේ බන්ධුල මල්ලයෝ පුතුන් දෙතිසකු ත් ඇති ව සමර්ථ හෙයින් මුඹ වහන්සේ මරා රාජ්‍යය ගන්ට සිතා යුක්ති පිට ලා ලා හැම දෙනා සිත් ගනිතී” කිවු ය.

රජ්ජුරුවෝ ත් මුන් සමර්ථ නියාව ත් හැම දෙනා මුන්ට ලැබෙන නියාව ත් දැන උන් තරම් නොදත් හෙයින් සැබව’යි සිතාගෙන මෙ තනදී ම මරවා පීවො ත් පෙනී සිටි ද්‍රෝහයක් නැති හෙයින් රට වැස්සෝ කළකිරෙතී යන සිතින් කාටත් නො හඟවා තමන්ගෙන් ම මිනිසුන් යවා පසල් දනවුව පහරවා ලා බන්ධුල මල්ලයන් කැඳවා ලා ‘පසල් දනවුව පෙරළි වූයේ ල. පුතුන් කැඳවා ගෙන ගොසින් සොරුන් අල්ව’යි විධාන කොට යවාලා ගිය තෙන දී පුතුන් දෙතිස හා සමග බන්ධුලමල්ලයන් මරා ඉස් ගෙනව යි සමර්ථ වූ බලවත් යෝධයන් උන් හා කැටි ව ම යවූහ. උන් පසල් දනවුවට යන්නා ම නො සොර සොරහු පලා ගියෝ ය. ඌ එ තැන සොරුන් හකුළුවා ලා ගියවුන් ගෙන්වා සලස්වා ලා නුවරට එන්ට අවුය. නුවරට නුදුරු තෙනකට ආ කලට විධාන ලත් යෝධයෝ පුතුන් දෙතිස හා සමඟ බන්ධුලමල්ලයන් මරා පියා ඉස් කපා ගත්හ.

එ දවසට වැලි ත් බන්ධුල මල්ලිකාවෝ පන් සියයක් දෙනා වහන්සේ හා සමඟ අග සවු දෙ දෙනා වහන්සේට ආරාධනාවක් කොළෝ ය. පෙර වරු වේලේ ම සමණනු ත් පුතුනු ත් මරාපී නියාව කියා පතකුත් ගෙනවුත් මල්ලිකාවන්ට දුන්හ. ඌ එ පවත් දැන කාටත් කුමකුත් නොකියා පත එකුරුත්තේ බැඳ ගෙන වළඳවන වැළඳීම වළඳවති. කැටි ව වළඳවන්නෝ බත් පිළිගන්වා ලා කන තෙල් සැළක් ගෙනෙන්නාහු තෙරුන් වහන්සේ ළඟ දී බිඳ පූ ය. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ‘බිඳෙන සුලු දෙය බිඳෙයි. මුසුප්පු වියයුතු නො වෙ යි’ වදාළ සේක. ආදිම තමන් ඒ බණ සැලකූ නියාව හඟවන්ට දෝ හෝ නොහොත් තමන්ගේ සාර ගුණ ය හඟවනු පිණිස එකුරුත්තේ තුබූ පත මෑත් කොට ලා ‘පුතුන් සමඟ බන්ධුල මල්ල සෙනෙවි රදුන් වහන්සේගේ පෙනෙන වරදක් නැත ත් මරාපී නියාවට මේ ගෙනා පත ය. මම් මෙ පවත් අසා පවා අමුත්තක් නොසිතුයෙම් තෙල් සැළකට කුමක් සිතම් දැ’යි කිවු ය. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද ශෝක තුනී වන්ට කාරණ වූ බණ වදාරා ලා විහාරයට වැඩ පී සේක.

බන්ධුල මල්ලිකාවෝ ද යේළින් දෙතිස බණවා ලා තොප හැම දෙනාගේ ස්වාමීහු නිරපරාධයෝ ය. එතකුදු වුව ත් කර්මාපරාධය බලවත් හෙයින් මේ තරමකට පැමිණියෝ ය. ශෝක කිරීමෙන් ප්‍රයෝජන නැති හෙයින් තෙපි ශෝක ත් නො කරව. රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි ත් මුසුප්පු නොවව’යි අවවාද කොළෝ ය. රජ්ජුරුවන්ගෙන් හැර, මුන් හැම මරවා පී හෙයින් නුවර වැස්සන් කියන බණන කථා අසන්ට නිල කළ චර පුරුෂයෝ ඒ කථාව අසා උන් නිවරද නියාව ගොසින් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ත් නොවිමසා කළ කට යුත්තක් හෙයින් මුසුප්පුව පියා බන්ධුල මල්ලිකාවන්ගේ ගෙට තුමූ ම ගොසින් උනුත් උන්ගේ යේළියනුත් ක්‍ෂමා කරවා ගෙන මල්ලිකාවන්ට වරයක් දෙමී කිවු ය. ‘ඌ පසුව පිළිවනැ’යි කියා ලා රජ්ජුරුවන් ගිය කල මළවුන්ට පින් පෙතු ත් දෙවා ලා ඉස්සෝධා නා පියා රජගෙට ගොසින් ‘රජ්ජුරුවන් වහන්ස, වරයක් දෙවා වදාළේ ඇත්තේ වේ ද? මට අනික් වරයකින් ප්‍රයෝජන නැත. අපගේ යේළියනු ත් අප ත් දෙ මවුපියන්ගේ ඔබම යන ලෙස සමු දෙවු ව යහපතැ’යි කිවු ය. රජ්ජුරුවෝ ත් ‘යහපතැ’යි ගිවිස්සෝ ය. යේළියන් උන් උන්ගේ දෙමවු පියන් ළඟට යවා පියා තුමූ කුසිනාරා නුවර තමන්ගේ දෙ මවු පියන් ළඟට නැගී ගියහ.

රජ්ජුරුවෝ ත් බන්ධුලමල්ල සෙනෙවිරදුන්ගේ දීඝකාරායණ නම් වූ බෑනණුවන්ට සෙනෙවිරත් පට දුන්හ. ඌ සෙනෙවිරත් තනතුර ලද ත් මයිලණුවන් මරවා පී හෙයින් ඒ වෛර ය සිත තබා ගෙන විපාක දී පියන්ට අවසරයක් බලන කුසල් අකුසල් පරිද්දෙන් අවසරයක් ම බලති. රජ්ජුරුවෝ ද නිරපරාධ වූ බන්ධුල මල්ලයන් මරවා පු තැන් පටන් බලවත් වූ විපිළිසර ඇති ව සිතට සැපයක් නො ලැබෙති. රජ ඉසුරු ත් නො විඳිති. එ කල බුදුහු ශාක්‍ය රජ දරුවන්ගේ උලුම්ප නම් නියම් ගම වසන සේක.

රජ්ජුරුවෝ ඔබ ගොසින් වෙහෙරට නුදුරු තෙනක කඳවුරු බඳවා පිරිස රඳවා ලා මඳ දෙනකු හැර ගෙන බුදුන් වඳිනට වෙහෙරට ගොසින් මඟුල් කඩුව පටන් පඤ්චරාජ කකුධභාණ්ඩය දීඝකාරායණයන්ට දී ලා තන් ව ම ගඳ කිළි ඇතුළට වන්හ. සෙසු කිය යුතු සියල්ල ම ධම්මචෙතිය සූත්‍රයෙහි කියා ලූ ලෙසින් දත යුතු. රජ්ජුරුවන් ගඳ කිළියට වන් කලට දීඝකාරායණයෝ අතට සම්භ වූ මඟුල් කඩුව ය, හෙළ කුඩ ය, නළල් පට ය, රන් මිරිවැඩි සඟළ ය, වල් විදුනාව ය යන මේ රජ පෙරහර ඇති ව විඩූඩභයන්ගේ රජ කමට යම්තම් පිණක් ඇති හෙයින් උන් ඔටුනු පළඳවා ගෙන රාජ සම්පත් ඇති රජ්ජුරුවන්ට අසකු හා ගැනියක රඳවා ලා සැවත් නුවරට ගියහ.

රජ්ජුරුවෝ ද බුදුන් හා මියුරු කථා කොට ලා පිටත් තෙනැත්තෝ සේනාව නො දැක රඳා සිටි ගෑනි ය. අතින් විචාරා එපවත් අසා ‘මාගේ බෑන අජාසත් රජ්ජුරුවන් කැඳවා ගෙන අවුත් විඩූඩභයා අල්වමි’ රජගහ නුවරට යන තෙනැත්තෝ සවස් ව ගොසින් නුවර වාසල් යතුරු ලාපී හෙයින් නුවරින් පිටත ශාලාවක ලැග ගමන් අවුත් මිරිකී ලා එ දවස් රෑ ම මළහ. පාන් ව ගිය කල ‘අනේ රජ්ජුරුවනි, තිසරණ ව මළ සේකැ’ යි කොසොල් රජ්ජුරුවන්ගේ පවත් කියා හඬන ගෑනියගේ හැඬීම අසා අජාසත් රජ්ජුරුවන්ට කීහ. උයි ත් අවු ත් මහ පෙරහරින් කොසොල් රජ්ජුරුවන් මළවුන්ට කළ යුතු දෙය සිරිත් විසින් එ තෙක් ම හෙයින් දවා පීහ.

විඩූඩභයෝත් රජ පැමිණ ශාක්‍ය රජදරුවන් කෙරෙහි බැඳ ගත් වෛර සලකුණු කොට පියා ‘ශාක්‍යයන් මරමි ‘සෙනඟ සරහා ගෙන කිඹුල් වතට යන්ට නික්මුණාවු ය. බුදුහු එ දවස් අලුයම ලොව බලන සේක් නෑයන්ට වන විනාශ ය දැක ඥාත්‍යර්ථචර්යාව ත්‍රිවිධ චර්‍ය්‍යාවෙන් එකක් වන හෙයින් නෑයන්ට සංග්‍රහයක් කෙරෙමී සිතා පෙර වරු සිඟා වළඳා අන්තයෙහි ගඳ කිළියෙහි සිංහ ශය්‍යාවෙන් සැතපී ලා සවස් වේලේ අහසින් වැඩ කිඹුල් වත් නුවර බඩ තුනී සෙවණ ඇති එක් ගසක් මුල වැඩ හුන් සේක.

විඩූඩභයන්ගේ රටෙහි මැද ඝනච්ඡායා ඇති මහත් නුග ගසෙක් ඇත. විඩූඩභයෝ බුදුන් දැක ගොසින් වැඳ ලා ‛ස්වාමීනි, මේ ගිම් වේලේ සෙවණ සකස් නැති මේ ගස මුල වැඩ හුන්නේ හැයි ද? තෙල ඝන වූ සෙවණ ඇති ගස මුල වැඩ හිඳිනේ යහපතැ’යි කිවු ය. ‘වන්නාට, මහරජ, නෑ සෙවණ සිහිල් වේ දැ’යි වදාළ කල්හි නෑයන් පිණිස වැඩි නියා ය යි සිතා ලා බුදුන් වැඳ ලා පෙරළා සැවැත් නුවරට ම ගියෝ ය. බුදුහු ත් අහසින් දෙව් රමට වැඩි සේක.

විඩූඩභයෝ වෛර ය සිත තබා දෙවනුවත් නික්ම ආදී ලෙසින් බුදුන් දැක රඳාපීහ. තුන් වන වර ත් නික්ම බුදුන් දැක රැඳුණාවු ය. සතර වන වර විඩූඩභයන් නික්මුණු කලට බුදුහු ‘මේ මා දැක තුන් වාරයක් ගමන් තබා පියා සතර වනුව ත් නික්මිණ. අර මුන් හැම සසර සිටිනා කල කළ අකුසල් කවරේ දෝ හෝ’යි බලන සේක. ගඟෙක කුඩ මස්සන්ට වසයක් ලා මැරූ පව් කම වැළකිය නො හැකි බව දැන සතර වැනි වර බුදුහු නො වැඩි සේක. විඩූඩභයෝ ත් ශාක්‍යයන් මරමි. මහ සෙනග හැර ගෙන නික්මුණාවු ය. බුදුන් නෑයෝ වැළි ත් තුමූ මියෙත් නමු ත් අනුන් නො මරණ හෙයින් ප්‍රාණ වධ නො කරතත් විදමන දක්‍ෂ හෙයින් ‘අපගේ ධනුශ්ශිල්පයෙහි අරුමය පෑ පලවම්හ’ යි සන්නාහා ලා නික්ම සටනට පටන් ගත් හ. උන් විදි හී දඬු විඩූඩභයන්ගේ පිරිස් හසු හස්සෙන් ශාක්‍ය රජ දරුවන් ප්‍රාණ වධ නො කරණ නියාව හඟවන්නාක් මෙන් එක් කෙනකුනු ත් ඇඟ වැඳ නො ගෙන සිස් ව ම යෙයි. මිනිසුන්ට ළං වී නමුත් පටාල හස්සෙන් හෝ ඔවා ගත් අත් හස්සෙන් හෝ කන් සිදුරෙන් හෝ පලා යෙයි.

විඩූඩභයෝ හී දඬු විදිනා නියාව දැක “හැයි ශාක්‍යයෝ ප්‍රාණ වධ නො කරම්හ’යි කියා හිඳු ත් තෙලෙ කුමක් කරණ නියා දැ’යි කිවු ය. එ තැන සිටි එකෙක් පවිටු අදහස් ඇත්තවුන් හැම කල්හි ම ඇති බැවින් ‘මුඹ වහන්සේ කියන්නේ කිම් දැ’යි විචාරා ‘ශාක්‍යයෝ විද මාගේ පිරිස් නසතී’ කී කල්හි ‘මුඹ වහන්සේ ගෙන් මළ එක් කෙනකු ත් නැත. මාගේ බස් නො අදහතොත් පිරිස් ගණවා පිව මැනැව’යි කිවු ය. දුටු ගැස්වීමෙන් ගණවා පියා එක් කෙනකුන් ගෙනුත් අඩුවක් නුදුටුවූ ය. යන්ට ගොසින් තබා ලා නැවත අවුත් ‘කොල, යම් කෙනෙක් ශාක්‍යයම් හ යි කිවු නම් නො තෝරා මරව. යම් කෙනෙක් අපගේ මුතුන් මහානාම ශාක්‍ය රජ්ජුරුවන් වහන්සේ ළඟ සිටියෝ වී නම් උන් නො මරව’ යි විධාන කොළෝ ය. ශාක්‍යයෝ ත් දිවි රක්නා උප දෙසක් නො ලදින් සමහර කෙනෙක් තණ ගස් ඩෑ ගෙන සිටියෝ ය. සමහර කෙනෙක් හුණු දඬු අල්ලා ගෙන සිටියෝ ය. ‘තෙපි ශාක්‍යයෝ ද නො වේ දැ’යි විචාළ කල්හි පණ යේ නමුත් තමන් බොරුවක් නො කියන හෙයින් තණ ඩෑ ගෙන සිටියාහු ‘මේ ශාක්‍යයෝ නො වෙයි. තණ ය’යි තණ ය’යි කියති. හුණ දඬු ගෙන සිටියාහු, ‘මේ ශාක්‍යයෝ නො වෙයි. හුණ දඬු ය’යි කියති.

ශාක්‍ය නො වෙයි කී බසින් ශාක්‍යයෝ නො වෙතී සිතා ගෙන උනුත් මහානාම රජ්ජුරුවන් ළඟ සිටියවුනු ත් හැර සෙසු කිරි බොන දරුවන් දක්වා ත් නො තෝරා මරවා ලේ ගඟක් කරවා උන්ගේ බොටුවල ලෙහෙයෙන් තමා හුන් පුවරුව සෝදවා පියා පුවරුව ශුද්ධ නු වූවා සේ ම තෙමේ ත් ශුද්ධ ව ගත නො හිණ. ඉන් යම් කෙනෙක් තණ ඩෑ ගෙන සිටියෝ වූ නම් ඌ ජාති අඩුව එ වකට ඒ ක්‍රියා දෝෂයක් හෙයින් දෝ තෘණ ශාක්‍ය වූහ. යම් කෙනෙක් හුණ දඬු අල්වා ගෙන සිටියෝ වූ නම් ඌ නළ ශාක්‍ය වූහ. මෙසේ ශාක්‍ය වංශය විඩූඩහයෝ නැසූ හ.

ඌ මහානාම ශාක්‍යයන් කැඳවා ගෙන යන්නෝ පෙරවරු වේලේ බත් කන්ට හිඳ පොහොසත් කම මුත් තරම නො සලකා කැටි ව කන්ට නො පොහොසත් තරම දත ත්, තරම් ඉන් වී නමුත් සිටුවන්ට කැටි ව කන නියායෙන් මහානාම ශාක්‍යයන් කැඳවා යවූහ. ශාක්‍ය රජ්ජුරුවෝ මියෙත් නමුත් වාල් කැටි ව නො කති. එයින් මහානාම ශාක්‍යයෝ ‘ඇඟ කුණු ය. තෙල විලට බැස නාන්ට වුව මැනවැ’යි විඩුඩභයන්ට කියා යවූහ. රජ කමට පැමිණි බව මුත් තමන් උභයකුල පරිශුද්ධ වන්ට මවු පක්‍ෂ ය යහපත් නො වන හෙයින් රජ මායම් සිතිය නො හී ‘යහපත, අපගේ මුත්තණුවන් වහන්සේ නාවව’යි විධාන කළහ. මහානාම ශාක්‍යයෝ ද ‘මේ තමා හා කැටි ව නො කෑවොත් මරවයි ඌ අත මියනු නො තරම්, මා මමිය යෑම යහපතැ’යි හිසකේ හුනා පියා අග දී ගැට ගසා ලා දියට බැස ලා පය මා පටැහිලි හිසකේ අග ගසා ලූ ගැටෙහි අවුළුවා ගෙන දියෙහි ගිලුණා වු ය.

උන්ගේ ගුණානුභාවයෙන් නාග භවන ය. විල පත්ලෙහි හෙයින් හුණුවිය. නා රජ්ජුරුවෝ කුමක් දෝ හෝ යි විමසන්නෝ එ පවත දැන අවුත් මහානාම ශාක්‍ය රජ්ජුරුවන් මුචලින්‍ද නම් නා රජ්ජුරුවන් දරණ ගැබ වැඩහුන් බුදුන්ගේ මලණු කෙනකුන් හෙයින් මුනුත් පණයෙහි හිඳුවා ගෙන නාග භවනයට ගෙන ගියහ. උයිත් ගිය දොළොස් අවුරුද්දක් නාග සම්පත් විඳ නාග භවනයේ හුන්හ.

විඩූඩභයෝ ත් ‘මාගේ මුත්තණුවන් දැන් එන සේක. දැන් එන සේකැ’යි වේසී පියා ඉතා ම කල් යන්නා විල පරීක්‍ෂා කරවා පියා තවත් බැලුව මනා තැන් විමසවා බලවා නො දැක නැඟී ගිය නියා ය යි තුමූ ත් නික්ම සවස් වේලාවට අචිරවතී ගඟ කරා අවුත් ගඟ බඩ කඳවුරු බැඳ ගත්හ. සමහර කෙනෙක් ඇතුළු ගඟ වැලි තලා මත්තෙහි නියං සමය හෙයින් වැද හොත්හ. සමහර කෙනෙක් ගොඩ වැද හොත්හ.

ගඟ ඇතුළ වැද හොත්තවුන් ගෙන් එදා මියන්ට නිසි පෙර කළ පව් නැත්තවුන් වැද හොත් තැන කඩියෝ නැඟී ලා උන් කා උගුළුවාලූය. ඌ පලා ගොසින් ගොඩ වැද හොත්තෝය. ගොඩ වැද හොත්තවුන් ගෙන් එදා මියන්ට කළ පව් ඇත්තවුන් වැද හොත් තෙන ත් කඩියෝ නැඟි ලා කා උගුළුවාලූය. උයි ත් ගොසින් ගං වැල්ලේ වැද හොත්හ. මෙසේ කළ පින් ඇත්තවුන් තේරී ගොඩට වූ කලට කළ පව් ඇත්තවුන් තේරී ගං වැල්ලට වූ කලට වැස්සෙක් නඟා ගෙන ගං හිස පාණ වැස්සෙක් වැස ගඟ මහ වතුරු අවුත් ගං වැල්ලට පැමිණි පිරිස් හා සමග විඩූඩභයන් සසර මුහුද නැතක් කල් පීනන්නවුන් හෙයින් අතුරෙක නො රඳා මුහුද ලා පී ය. මුහුදට පැමිණි හැම දෙන ම ‘මුහුදු බත් වූහ’ යනු ව්‍යවහාර පමණක් හෙයින් මස් කැස්බන්ට බත් වූහ.

බොහෝ දෙන ත් ‘අනේ ශාක්‍ය රජ දරුවන්ට තමන්ගේ ආවා වූ මරෙක මිය ත් මුත් මෙ ලෙසින් ආයුධ ලා කොටා මැරිය යුක්ත නොවෙ’යි කථා ඉපදවූහ. බුදුහු ඒ අසා වදාරා ‘කි සි සේ ත් මේ ජාතියෙහි තෙල ලෙස මිය යෑම යහපත් නො වෙයි. පෙර කළ පව් ලෙසට තෙලේ තරම් ම ය’යි වදාරා පෙර කළ පව් කවරේ දැ යි විචාළවුන්ට හැම දෙන ම එක් ව ලා ගඟ කුඩ මස්සන් මියන්ට විෂයක් ලූ නියාව වදාළ සේක.

නැවත එක් දවසක් ධම් සෙබෙහි රැස්ව හුන් වහන්දෑ ‘විඩූඩභයෝ එක් ලක්‍ෂ සැට දහසක් විචර ශාක්‍ය රජ දරුවන් බොහෝ සේ මරා එන තැනැත්තෝ තමන්ගේ මන දොළ මුදුන් නො පැමිණෙන තෙක් මෙ තෙක් දෙනා සමග වතුරේ ගොසින් මස් කැස්බන් බත් වූහ’යි කථාවක් ඉපද වූ සේක. බුදුහු ත් ඒ අසා ‘මහණෙනි, යම් සේ මාලා කාරයෙක් මල් වත්තකට වැද ලා මල් කඩා ගනිමි යි ගසෙක මල් කඩා නිමවා ගෙන අනික් ගසෙක මල් කඩනු නිසා යන්නේ මල් වත්ත මුළුල්ල ම සිත හෙළා ද මල් කඩන තැනැත්තේ කඩන මල් මුත් අනිකෙක සිත නො හෙළා මල් කැඩීමෙහි ගෙන සෙසු ත් කළ මනා දෙයෙහි පමාවේ ද එපරිද්දෙන් සමහර කෙනෙක් නො එක් මල් ගසින් යුත් මල් වත්තක් වැනි වූ පස්කම් ගුණයට පැමිණ සිත්කලු වූ රුවක් ලදින් එ පමණෙක නො සිට යහපත් ශබ්දයක් අසනු කැමති වෙද්ද, යහපත් සුගන්ධයක් අගනු කැමති වෙද්ද, යහපත් රසයක් ලබනු කැමති වෙද්ද, යහපත් පහසක් ලබනු කැමැති වෙද්ද, නොහොත් ඒ පසින් එකක් ලදින් අනික් නො පතා ලද දෙයෙහි ම මමායන ය කෙරෙද්ද, නැවත කෙත් වත් ලදින් ගම් බිම් හා ගම් බිම් ලදින් රට තොට හා, රට තොට ලදින් සෙසු සියල්ලක ඇලුම් කෙරෙද්ද, අනගාරික කෙනෙක් වූ නම් වෙහෙර පිරිවෙන් පා සිවුරු ආදියෙන් යම් කිසිවෙක ඇලුම් කෙරෙද්ද, ලෙස දෙ පක්‍ෂය ම ඇලුම් කරමින් සිටියදී ම මර සොර අවුත් ලා නිඳන ගම් වැස්සන් නිඳමින් සිටිය දී වතුරක් අවුත් ලා ගෙන යන්නා සේ හැර ගෙන ය යි’ වදාළ සේක.

මේ වන්නා ශාක්‍ය වංශ ය නට ලෙස ය. මුන් හැම මුලින් පහළ වූ සැටි කෙසේද යත්--

මේ කප ආදියෙහි රජකම් කොළෝ මහා සම්මත නම් රජ්ජුරු කෙනෙක. උන්ට ඉක්බිති ව උන්ගේ පුත් වූ රෝජ රජ්ජුරු වෝය. උන්ට ඉක්බිති ව උන්ගේ පුත්වූ වරරෝජ රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිතිව උන්ගේ පුත්වූ කල්‍යාණ රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ වර කල්‍යාණ රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව උන්ගේ‍ පුත් වූ උපොසථ රජ්ජුරුවෝ ය. උන්ට ඉක් බිති ව උන්ගේ පුත් වූ මහාමන්ධාතු නම් සක් විති රජ්ජුරු වෝ ය, උන්ට ඉක් බිති ව චර රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව උපචර රජ්ජුරුවෝ ය, උන්ට ඉක් බිති ව මඛාදෙව රජ්ජුරුවෝය:

“අසඞ්ඛෙය්‍යායුකා එතෙ - අට්ඨවීසති භූමිපා.

කුසාවතිං රාජගහං – මිථිලඤ්චාපි ආවසුං”

යනු හෙයින් මූ හැම දෙන වෙන වෙන අසඞ්ඛ්‍යායුෂ්කව කුසා වතී ආදි වූ නුවර තුනෙහි රඳා හිඳ රජ කම් කළහ. ඉන් කෙළවර මඛාදේව රජ්ජුරුවන්ගේ පරම්පරාවෙහි අසූ දහසක් රජ දරුවෝ වූහ. උන්ට මෑත ඔක්කාක පරම්පරා තුනෙක් විය. ඉන් තුන් වන ඔක්කාක රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසෝ වරු පස් දෙනෙක් වූහ. මේ බිසෝවරුන් පස් දෙනාගෙන් එ කී ඵ කී තැනැත්තන්ට පන් සියය පන් සියය වන නියායෙන් පිරිවර ගෑනු ත් දෙ දාස් පන් සියයෙක් ඇත. බිසෝවරු පස් දෙනා ගෙන් හැම බිසෝවරුන්ට වැඩි මාලු බිසොවුන්ගේ පුත්තු සතර බෑ කෙනෙක් ඇත. දූ පස් දෙනෙක් ඇත. ඉන් එක් දුවණි කෙනෙක් ඇම දෙනාට ම වැඩි මාල්ලහ. අනික් දූ සතර දෙන පිරිමි පුතුන්ට බාලයහ. මෙ සේ ඒ වැඩිමාලු බිසවු දරුවන් නව දෙනකු වදාලා මළහ. රජ්ජුරුවෝ ද ප්‍රධාන බිසොවුන් මියන්නා ම පස් දෙනා පුරා අනික් බිසෝ කෙනකුන් ගෙන්වා අග මෙහෙසුන් කළහ. උයි ත් රජ්ජුරුවන්ට පුතණු කෙනකුන් වදා දරු දස දෙනා පුරා ලා උපන් පස් දවසින් කුමාරයන් සරහා ලා රජ්ජුරු වන්ට පෑවූය. රජ්ජුරුවෝ සතුටු ව වරයක් හැර ගන්ට කිවු ය. උයි ත් රජ්ජුරුවන්ගේ ආදි උපන් පුතුන් සතර දෙනකු හින්ද දී පසු ව උපන් තමන්ගේ පුතණුවන්ට රාජ්‍ය ය ඉල්වා තමන් ගේ නො දැන් ම හැඟවූහ.

රජ්ජුරුවෝ රාජ්‍ය ය ඉල්වූ බිසොවුන්ට බැණ පියා ‘හැයි මාගේ වැඩි විය පැමිණි සිටි පුතු නැ’යි කිවු ය. අපෝ කොට ලා තව තව ත් තමන්ගේ පුතණුවන්ට රාජ්‍ය ය ඉල්වත් ම ය. රජ්ජුරුවෝ රාජ්‍ය ලෝභයෙන් ම පුතුන්ට විනාශයක් කොට පූ නමුත් නපුරැ’යි පුතුන් සතර දෙනා කැඳවා ලා ‘එම්බා දරුවෙනි, මම තෙල පසු ව ගෙනා බිසොවුන් වැදූ කුමාරයන් දැක උන්ගේ මෑණියන්ට යුහු ව වරයක් දිනිමි. ඌ තමන්ගේ පුතණුවන්ට රාජ්‍යය කරණු කැමැත්තෝ ය. උන් කැමැත්ත ත් මම නො කැමැත්තෙමි. තොප සතර දෙනා මුබ හුන් පමණින් නසා පූ නමුත් නපුර. යම් කිසි තැනකට පලා ගොසින් රඳා හිඳ ලා මා අයාමෙහි අවුත් රට ගනුව’යි විධාන කොට ලා ඇමැත්තන් අට දෙනකු පාවා දී ලා යවූහ.

ඌ සතර බෑයෝ ත් බූනණියනු ත්, නඟුන් සතර දෙනා ත් කැඳවා ගෙන සිවුරඟ සෙනඟ හා සමඟ නුවරින් නික්මුණාහ. රට වැස්සෝද ‘මේ කුමාරවරුන් වහන්සේ පියාණන් වහන්සේගේ අයාමෙහි මේ රට කරණ සේක. මෙ වක් පටන් ම අත් නො හැර සිටුම්හ’යි බොහෝ දෙන කැටි ව නික්මුණාහ. පළමු දවස් සතර ගවුවක් විතරේ පුරා ගත්හ. දෙවන දවස් අට ගවුවක් විතරේ පුරා ගත්හ. තුන් වන දවස් දොළොස් ගවුවක් විතරේ පුරා ගත්හ. කුමාරවරු රැස් පිරිස් බොහෝ නියා ව බලා පියා ‘සටන් කොට එක් විචර රටක් හැර ගතත් මුන් මෙ තෙක් දෙනාට නො සෑහෙයි. අනුන්ට ගහට කොට ත් දැන් උදුරා මතු දෙන බව වේ ද ? දඹ දිව රට කුඩා නො වත ත් වල් පාළු ව තිබෙන තෙනක නුවරක් මවම්හ’යි හිමවු පියස බලා නික්මුණා වූ ය.

නික්ම හිමවු පියසට ගොසින් වසන තෙනක් බලා ඇවිදිති. එහි හිමවු පියස ත් කපිල නම් තවුසාණ කෙනෙක් වෙසෙති. උන් වසන්නේ ත් පොකුණක් බඩ ය. ඌ හැම දෙනා ත් උන් වසන තෙනට ගියහ. තවුසාණෝ ත් උන් හැම දැක ආද්‍යන්ත විචාරා සියලු පවත් දැන ජීවිතාශාවෙන් විජිතාශාව හැර වල් වන් නියාවට කම්පා වූහ. ඒ තවුසාණෝද වැළි ත් යම් විද්‍යාවෙක බලයෙන් පොළොවින් අසූ රියනක් හා අහසින් අසූ රියනෙක දොෂා දොෂ දැනේ නම් එ සේ වූ භුම්මාජාල නම් වූ විද්‍යාවක් දනිති. එසේ හෙයින් තවුසාණන් පන්සල කළ තැන නම් ජය භූමියෙක.

ජය භූමි වූයේ කෙ සේ ද යත් - එ තැන හුන් හූරු කෙනෙක් මුව කෙනෙක් එ තැනට ආ සිංහ-ව්‍යාඝ්‍රාදීන් ලුහුබඳවා ගනිති. මඬුවන් හා මීයෝ සර්පයන් භය ගන්වති. එ හෙයින් ජය භූමි ය.

තවුසාණෝ රජ කුමරුවන් බණවා ලා ‘ඉදින් මෙ තැනමා ගේ නමින් නුවරක් කරවු නම් දෙමී’ කිවුය. උයි ත් ගිවිස්සෝ ය. තවුසාණෝ එතැන තරම කියන්නෝ: ‘මෙ තැන සැඩොලෙක් රඳා හුන් නමුත් සක් විති සෙනඟක් ආ මුත් පරදව’යි කියා ලා ‘මේ පන්සල රජ්ජුරුවන්ට ගෙය කොට ලා වට කොට නුවර ඉදි කරව’යි කියා අවසර කොට ලා තුමූ ඊට නුදුරු තෙනක ගල් පාවුලක් බඩ පන්සලක් කොට ගෙන විසූ ය. කුමාරවරුත් තවුසන්ගේ විධාන ලෙස ම නුවර කරවා ලා කපිල නම් තවුසාණන් විසූ තැන්හි වූ හෙයින් කිඹුල්වත් නුවර ය යි නම් තබා ලා විසූහ. ඇමැත්තෝ අට දෙන හා කුමාරයන් වහන්සේද වැඩී ගිය සේක.

‘පියාණන් වහන්සේ මුබ වුවොත් බිසෝවරුන් වහන්සේ නිල කරණ සේක. මෙ විට අපට භාර වේ දැ’යි සිතා ලා කුමාර වරුන් හා කථා ත් කළහ. කුමාරවරු ‘රටවල් තබා ලා වලට පලා ආ හෙයින් සරි සමාන කුලවලින් බිසෝවරුන් නො ලබම්හ. ජාති සම්භේදයක් වී නම් නපුරැ’යි බුන් බිසොවුන් මවු තනතුරෙහි තබා ලා සතර බෑයෝ නඟුන් සතර බින්නන් අග මෙහෙසුන් කළහ. බුන් බිසොවුන්ට කුෂ්ඨ රෝගයෙක් ඇති විය. ඇඟ මුළුල්ල ම කොබෝලීල මල් සේ විය. රාජ කුමාරවරු ‘මුන් වහන්සේට මේ ඇති වූ කුෂ්ඨ රෝගය එක්ව රඳා හිඳීමෙන් අපට ත් ආ නම් නපුරැ’යි සිතා ලා උයන් කෙළියට යන බඳු ව බිසොවුන්. වාහනයෙක ලවා ගෙන මහ වලට ගොසින් ගැඹුරු කොට වළක් කණවාලා දැව සිටුවා පෝරු අතුරුවා ලා ඇතුළේ ම බත් පැනු ත් නිළ කරවා ලා මතුපිට පස් වස්වා පියා නැඟී ගියහ.

එ සමයෙහි ඊට පෙරාතු ව රාම නම් රජ්ජුරු කෙනෙක් කුෂ්ඨ ඇති ව නුවර රඳන්ට ලජ්ජාවෙන් වැඩි මාලු පුතණුවන්ට රාජ්ජය දී පියා වලට ගොසින් වන මුල් පකා පැකී අනුභව කරන්නාහු කිසි බෙහෙතක් සම්භ ව කුෂ්ඨ නැති ව රන්වන්ව ගොසින් හිම වූ පියස ඇවිදිනා තෙනැත්තෝ සිදුරක් ඇති මහ ගසක් දැක ඇතුළත සොළොස් රියන් උස ගස් සිදුර පීරඹු කසළ හැර පල්ලෙන් පුවරු උස් කොට අතුට ගෙන ඇතුළත් වන්ටත් පිටත් වන්ට ත්, දොරකු ත් ලා ගෙන කවුළු දොරකුත් තබාගෙන හිණ කුත් බැඳ සිටුවා ගෙන ඒ ගස් සිදුරේ හිඳිති. රෑ දවස් වක් ගිනි කබලෙක ගිනි මොළවා තබා ගෙන වැද හොවිති. යම් තෙනක සිංහකෙනකුන්-ව්‍යාඝ්‍රකෙනකුන්-දිවි කෙනකුන් හැඬු නියාවක් ඇසූ නම් පාන් වූ කල ඔබ ගොසින් කා වගුරුවා පූ මස් ගෙනවුත් කකාරා ගෙන කති. එක් දවසක් අලුයම් වේලෙහි ගිනි මොළවාලා හුන්න. එ කල ව්‍යාඝ්‍රයෙක් ඉව බලවත් හෙයින් බිසොවුන් ඇඟ මනුෂ්‍ය ගන්ධය අසාලා වසා ලා ලු පස් පීරාපියා පුවරු ත් උගුළුවා සොලවා පී ය. යට හුන් බිසවු පෝරු හස්සෙන් ව්‍යාඝ්‍රයා දැක හඬා මුර ගෑවු ය. මනුෂ්‍ය ශබ්ද ය භය ජනක හෙයින් ව්‍යාඝ්‍රයාත් පලා ගියේ ය.

රජ්ජුරුවෝ ත් ඒ හඬ අසා ගැනු කෙනකුන්ගේ හඬ ය යි කියා ත් දැන උදාසන එ තැනට ගොසින් ‘තෙල තැන කවුරු දැ’යි කිවු ය. බිසවු ඒ අසා ‘ගෑනියකමි, ස්වාමිනි’ කිවු ය. මෑත පලා එව’යි කිවු ය. ‘එ සේ නො එමි’ කී කල්හි ‘නො එන්ට කාරණ කිම් දැ’යි කිවුය. තමන් මුළාවට පැමිණිය ත් අභිමානයට වූ හානි නැති හෙයින් තමන් බිසෝ නියාව කිවු ය. රාම රජ්ජුරුවෝ ද ආද්‍යන්ත මුළුල්ල ම විචාරා දැන ‘මම ත් වලට ආ බව මුත් රජ්ජුරු කෙණෙකිමි. කිරට හෙළඟිතෙල් සම්භ වූවා වැන්න. පලා එව’යි කිවු ය. රජ නියාව ත් තත්ත්‍ව හෙයින් ම දැන ගෙන මා ඇඟ කුෂ්ඨ රෝගයෙක් ඇත. පිට ත් වන්ට බැරි ය’යි කිවු ය. ‘මට ත් කුෂ්ඨ නැති වූ බෙහෙත් ඇති බැවින් බෙහෙත් පිළිවන, මෑ ත් වව’යි හිණක් සිටුවා මෑත් කොට ගෙන තමන් අනුභව කළ බෙහෙත් ම දී නො බෝ කලෙකින් ම කුෂ්ඨ ය නැති කොට උන් තමන්ට බිසෝ කළහ. උයිත් දැරි ඇති ව ලා වර්‍ග පරම්පරාව මහත් වුවමනා හෙයින් සොළොස් වාරයකින් දෙන්න දෙන්නා ඔබාදීන් පුතුන් දෙ තිසක් වදා පූහ. උන් ශිල්ප උගන්නා අවස්ථාවෙහි දී පියාණෝ ශිල්ප ඉගැන්වූහ.

එක් දවසක් රාම රජ්ජුරුවන්ගේ නුවර වසන එකෙක් ආකරවල රුවන් සොයා ඇවිදිනේ එ තැනට අවුත් රජ්ජුරුවන් දක හැඳින ගෙන තමා හඳුනන නියාව කියා කොයි සිට අයි දැ යි විචාළ හෙයින් නුවර සිට ආ නියාව කිවු ය. උන් කථා කරමින් හින්දදී කුමාරවරු අවු ය. කුමාරවරුන් දැක ‘මූ කවුරු දැ’යි විචාළහ. දරුවන් නියාව කී කල්හි ‘ස්වාමීනි. මෙ තෙක් රජ පෙර හැර ගෙන වල හිඳිනේ හැයි ද ? නුවරට වැඩිය මැනැවැ’යි කී ය. ‘දරුව, ඔබ හැයි ද? මෙම සැප ය’යි කිවු ය. එ තෙමේ මා ගරා පෙරා ඇවිදින්නේත් රුවන් ම වේද? මේ ගොසින් කී කලට ඔබින් ද රුවන් මතු ද නො වෙයි. බිම් පමුණුත් ලබමි’යි නුවරට ගොසින් රාම රජ්ජුරුවන්ගේ පුතණුවන්ට කී ය. උයිත් පියාණන් කැඳවා ගෙන යන ලෙසට අවුත් නො එක් ලෙසින් කැඳවා ත් යන්ට මැළි හෙයින් ‘එ සේ වී නම් මෙ තැන ම නුවරක් ඉදි කරවමි’යි සිතා ඒ ගෙය කොට ගෙන හුන් ගස උදුරුවා දම්මවා පියා එ තැන මාළිගාවක් ඉදි කරවා ලා වට නුවරක් කරවා ලා කොලොම් ගස උදුරුවා එතැන්හි කළ හෙයින් එනුවරට කොලිය නුවර ය යි නම් තබා ලා පලා ගියහ.

කුමාරවරුන් දෙතිස වැඩි විය පැමිණි කල්හි මවු බිසවු ‘කිඹුල් වත් නුවර හිඳිනා රජ දරුවෝ මාගේ මලුන් හෙයින් තොපගේ මයිලෝය. උන්ගේ දූ ඇත්නම් තොපට බිසෝ කරව’යි කිවුය. කුමාරවරුත් ඒ අසා රාජ කුමාරිකාවරුන් දිය කෙළියට එන වේලාවට තුමූ පලා ගොසින් සැඟවී සිට ලා දෙන පිළී නම්, බුලත් නම්, තමන් නියා ව හඬගා කියා ලා තමන් අභිප්‍රාය කෙනකුන් හැර ගෙන යෙති. රජ දරුවෝ ත් අසා ‘උන් සිතක් ය. අවශ්‍ය බෑණන් හෙයින් ගෙන්වා ත් පාවා දුන මනා තෙන කළ දෑ යහපතැ’යි කියා ලා හිඳිති. මේ කෝලිය රජ දරුවන් ඇති වූ ලෙස ය.

කිඹුල් වත පහළ ව නුවර කොට ගෙන හුන් නියා ව අසා ඔක්කාක රජ්ජුරුවන් සමර්ථයෝ ය යි කියා ලූ බස නිසා ශාක්‍ය රජ දරුවන් ඇති වූ ලෙස ය. සුද්ධෝදන ය, අමිතෝදන ය, ධොතොදන ය, සුක්කොදන ය, සක්කොදන ය යි යන පස් බෑ රජුන් දක්වා පැවැති එක් ලක්‍ෂ සැට දහසක් පමණ රාජ කටක ය පහළ වූ ලෙස යැ. තෙල විඩූඩභයන්ගේ වශයෙන් නට ලෙස ය.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් මර සොර නො එන තෙක් අනිත්‍යතාවට මේ සෑහෙන හෙයින් අනිත්‍යතාව සලකා පින්හි හැසිර නිවන් අත් පත් කටයුතු.