තව ද පින් කිරිය වත සැබවින් දාන ශීල භාවනා තුන ඇතුළත් හෙයිනු ත් දන් දීත්, සිල් රක්ෂාකොට ත්, ති ලකුණු පමණ වුවත් භාවනායෙකින් මුත් මාර්ගාධිගම ඵලාධිගම ය නො වන හෙයින් භාවනාමය කුශල ම අත්‍යන්තොපකාරී නියාව හඟවනු පිණිස මිරිඟු කමටහන් කළ භික්ෂූන් වහන්සේගේ වස්තුව දක්වමු.
ඒ කෙසේ ද යත්-
භව ක්‍ෂය කිරීමෙහි බලවත් රුචි ඇති එක් තරා භික්ෂු කෙනකුන් වහන්සේ බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන ‘මහණ ධම් කෙරෙමි” කියා මහ වලට ගොසින් බොහෝ වූ උත්සාහයෙනු ත් රහත් විය නො හී ‘බුදුන් වදාළ ලෙසින් අඩුවක් ඇති නියා ය’යි නිර්ජට කොට නිරාකුල කොට පෙරළා ත් කමටහන් කියවා ගනිමි’ යි බුදුන් ළඟට වඩනා සේක් අතුරු මඟදී මහ අවුවේ පෙනෙන මිරිඟු දැක ‘යම් සේ මේ ගිම් අවධියේ පෙනෙන මිරිඟු දුර සිටිය වුන්ට සැලෙන්නා සේ පෙනේ ද, මුවන්ට පැන් පරිද්දෙන් වැටහේද, ළඟට එත් එ ත් නො පෙනේ ද එ පරිද්දෙන් මේ අත් බැව ත් ඉප දීමෙන් හා උපන්නා සේ ම නස්නා හෙයින් මේ මිරිඟු සේ යයිද දුර සිටිය වුන්ට පෙනෙන ලෙස ඉපදීම හා ළඟට ගිය කලට නො පෙනෙන නියාව නස්නා සැටියට සිතා ගෙන භාවනා කොට කොට එන සේක් ගමන් විඩා ව අචිරවතී ගඟට බැස නහා පියා හැළි බඩෙක රුප්පායෙක හුන් සේක් මහත් පෙණ පිඬු නැගි නැගී බිඳෙන්නා දැක මේ අත්බැව ත් ඉපැද ලා නැති වීමෙන් මෙවැනි ය යි සිතා ගත් සේක.
බුදුහු ගඳ කිළියේ වැඩ හුන් සේක් ම සතර ගවුවෙක තිබූ දෙය ම’සැසට පෙනෙන හෙයින් ගඟක් බඩ වැඩ හුන් තෙරුන් වහන්සේ දැක ‘මහණ, ඒ එ සේ ම ය. නුවණින් සලකන්න වුන්ට මේ අත් බැව අතිදුර්‍වල ලෙසින් පෙණ පිඩක් හා සරි ය. ඇති ව නැති වන හෙයින් මිරිඟු හාත් සරිය’යි වදාරා, යම් කෙනෙක් මෙ ලෙස දත්තු නම් තදනුරූප වූ පිළිවෙතින් රහත් බැව්හි පිහිටා නිරුපධිශෙෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවන් පාතී වදාළ සේක. දේශනා කෙළවර මිරිඟුත් දැක පෙණ පිඬු ත් දැක භාවනා කෙරෙමින් හුන් තෙරුන් වහන්සේට කැඩ පත නිර්‍මල කලට රූප ගාත්‍රය ත් ප්‍රසන්න ව පෙනෙන්නා සේ භාවනා ව ත් විභූත ව ලා ති ලකුණු ත් සකස් ව වැටහී සිවු පිළිසිඹියා පත් රහත් ව සටන ජය ගත් යොධයාණ කෙනකුන් කළ දස් කම රජ්ජුරුවන්ට කියන්ට යන කලක් මෙන් සිවුරඟ සෙනඟිනු ත් ජය ගත නො හැකි කෙලෙස් සතුරන් තනි ව ජය ගත් හෙයින් බුදුන් කරා ගොසින් වැඳ තමන් වහන්සේගේ ජයලත් නියාව ත්, තමන් වහන්සේට පටහැණි වූ කෙලෙස් සතුරන් අර්හත් මාර්‍ග ඥාන නමැති කඩුවෙන් පොලු ගැසූ නියාවත්, බුදුන්ට හැඟවූ සේක.
සාධු ජනයන් විසින් තිලකුණු පමණ වූ ත් භාවනාමය පින් කම හැසිර අවශ්‍යයෙන් භව ක්‍ෂයට උත්සාහ කට යුතු.