තව ද සප්‍රයෝජන වූ ස්වර්‍ග මෝක්‍ෂ බාධක නො වන කථා මුත් බාහ්‍ය කථාවෙන් කිසි ත් ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්ට පෘථිවි සන්නිශ්‍රිත කථා කරණ භික්‍ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
ඒ කෙසේ ද යත්—
බුදුන් හා සමඟ දනවු සැරිසරා ගිය පන් සියයක් දෙනා වහන්සේ සැවැත් නුවර දෙවුරමට අවුත් සවස් වේලෙහි සන්නි පාත ශාලාවෙහි හිඳ ‘මේ පොළොව නම් පස් පොළොව ය, දිය පොළොව ය. වා පොළොව යි තුනෙක. ඒ පොළොවල දිග සඞ්ඛ්‍යාවක් නියමයක් නැති හෙයින්ම නැතත් පස් පොළොව බොළ-
“දුවෙ සතසහස්සානි - චත්තාරි නහුතානි ච,
එත්තකං බහළත්තෙන - සඞ්ඛාතායං වසුන්ධරා”
යනු හෙයින් යොදුන් ගණනින් දෙ ලක්‍ෂ හතළිස් දහසක් යොදුන. ගවු ගණනින් නව ලක්‍ෂ සැට දහසක් ගවු ය. දිය පොළොවෙහි ගැඹුර යොදුන් ගණනින් සාර ලක්‍ෂ අසූ දහසක් යොදුන. ගවු ගණනින් දහ නව ලක්‍ෂ විසි දහසක් ගවු ය. වා පොළොවෙහි ඝනය යොදුන් නව ලක්‍ෂ විසි සැට දහසක් යොදුන. ගවු ගණනින් අට තිස් ලක්‍ෂ සතළිස් දහසක් ගවු ය. බුදු නුවණින් දැන වදාළ හෙයින් මුත් කවුරුන්ට මේ දැන ගැන්ම පිළිවන් දැ’ යි යන මේ කථාව තබා පියා තමන් වහන්සේ ගිය ගිය තෙන ‘අසවල් ගමට යන්නා වූ මඟ සෙල් බැවින් නැති බැවින් සැප ය. අසවල් තෙන සෙල් ඇත. අසවල් තෙන මඩ බොර දැඩි ය. අසවල් තෙන බොරලු බොහෝ ය. අසවල් තෙන බිම මැටි කළු ය. අසවල් තෙන තඹ වනැ’යි මෙ සේ වූ කථාවක් කරන සේක.
බුදුහු වැඩ විචාරා වදාරා කරමින් හුන් කථාවේ ලෙස දැන් වූ කල්හි ‘එම්බා මහණෙනි, තෙල පොළොව ගොයම් කිරීම ආදී වූ බාහ්‍ය කාරියට ආධාර වත් මුත් විවසුන් සී සා මාර්‍ග නමැති බිජුවට වපුට ඵල සමවත නමැති බත් කොට ගන්ට ආධාර නො වෙයි. තොප විසින් සිත් සතන් නමැති පොළොව පිළිබඳ දෙයක් ම කිය යුතු ය’යි වදාරා ඒ වහන්දෑ තදනුරූප වූ කථාවෙන් විචාරන්ට අසමථි හෙයින් තමන් වහන්සේ ‘කවර කෙනෙක් මේ අත් බැව් නමැති පොළොව තමන්ගේ නුවණින් දනිද්ද, දෙව් ලොව මිනිස් ලොව හා සමග මේ සතර අපාය කවුරු දනිද්ද, මල් කැඩීමෙහි දක්‍ෂ මාලා කාරයකු ගොතන්ට නිසි මල් හැඳින නෙළා ගන්නා සේ සත් තිස් බෝධ පාක්ෂික ධර්‍මය කවර කෙනෙක් දනිද්දැ’යි වහන්දෑ විචාරණ ලෙසින් තමන් වහන්සේ විචාරා විභාග කොට වදාරන සේක්- ‘අරි පුඟුලන් අට දෙනා ගෙන් අට වැනි තැනත්තන් ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්ම නිමා සිටි හෙයින් උන් හැර අනික් සත් දෙන මේ අත් බැව් නමැති පොළොව රහත් මගින් එහි ඇලුම් හරණාහු අනුන්ට දෙන දෙයක් ගැන නියම දැන දෙන්නා සේ හරණාවුනුත් තත්‍වය දැන හරනා හෙයින් දනිති. සියලු ම ආර්‍ය්‍යයන් අපාය භූමි - අසඤ්ඤ භූමියෙහි නූපදනා හෙයිනු ත් රහතන්ගේ සෙසු භූමිවලත් උත්පත්ති නැති හෙයිනු ත් දෙව්ලොව මිනිස් ලොව සහිත වූ සතර අපාය ක්‍රම ක්‍රමයෙන් භව නිකාන්තිය හැර ගෙන ගොසින් රහත් මඟ දී සියලු ලෙසින් හරණ හෙයින් එයි ත් ඔහු ම දනිති.
මල් ගෙතීමේ දක්‍ෂ මල් කරුවා මල් වත්තට ගොසින් ලා ලා කැකුළු ත් පණුවන් කෑවා ත් පර මලු ත් හැකිළීමෙන් ගොතන්ට බැරි වූවාත් හැර යහපත් මල් ම තෝරා කඩා ගන්නා සේ ශෛක්‍ෂයෝ සත් දෙන ම බෝධි පාක්ෂික ධර්‍මයෙන් සත් තිස් දෙනා නො එක් ලෙසින් විභාග වත් කොට තමන්ගේ නුවණින් දනිති. එ හෙයින් තෙපි හැම ත් මේ හැම දනු නම් ශෛක්‍ෂ වන්ට උත්සාහ කරව. මේ පොළෝ කථාවෙන් ප්‍රයෝජන නැතැ’යි වදාළ සේක. මේ දේශනා කෙළවර පන් සියයක් දෙනා වහන්සේ පොළෝ පිළිබඳ කථාව තබා බිම ත් උඩ ත් උත්පත්ති නැති ව සිවුපිළිසිඹියා පත් රහත් වූ සේක.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් නිෂ්ප්‍රයෝජන කථා නම් හස්සාරාමතාවෙහි ඇතුළත් බැවින් හැර අල්පෙච්ඡතාදී වූ සප්‍රයෝජන කථාවෙන් යුක්ත ව සුචරිත පුරා භව ක්‍ෂයට උත්සාහ කටයුතු.