43. සොරෙය්‍ය වස්තුව

star_outline

තවද සිතින් සිතාපී පමණකිනු ත් අකුශලයෙහි එ තරම් ම නපුරක් ඇති නියාව හඟවනු පිණිස සොරෙය්‍ය වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

ති ලෝ ගුරු බුදුන් සැවැත් නුවර වසන කල දඹදිව සොරෙය්‍ය නම් නුවර සොරෙය්‍ය නම් සිටු පුත්‍රයාණ කෙනෙක් යාළුවාණ කෙනකුන් හා සමග වාහනයකට නැඟී මහ පිරිවරින් ගඟට නාන්ට යන්ට නුවරින් නික්මුණාවු ය. එ වේලාවට කසයින් මහ තෙරුන් වහන්සේ සොරෙය්‍ය නුවරට සිඟා වඩනා කැමැති ව නුවරින් පිටත සිට ගැටවටු ගන්වන සේක. මහ තෙරුන් වහන්සේගේ ශරීරය ද රූපත් වන පින් බොහෝ කොට කළ හෙයින් රන් කඳක් පරිද්දෙන් ඉතා ශෝභමාන. සොරෙය්‍ය නම් සිටුපුත් ඔබ දැක ‘මුන් වහන්සේගේ ගුණ ශෝභාව මට වී නම් යහපතැ යි නො සිතා රාගයෙන් රැඳී මුන් වහන්සේ මට පාදපරිචාරිකා වූ සේක් නම් යහපත. නොහොත් මුන් වහන්සේගේ රූප ශෝභාව අපගේ සිටු දියණියන්ට සම්භ වී නම් යහපතැ’යි සිතන සිතුත් නපුරු ලෙසින් සිතීම බාල ලක්‍ෂණ හෙයින් තමනු ත් එවකට එහි ඇතුළත් හෙයින් සිතූහ. සිත සිත හා සමග ම මිය ම උපන් කලක් මෙන් පුරුෂත්‍ව ය නැති වැ ස්ත්‍රී ව ගියෝ ය. ඌ ලජ්ජා ව වාහනයෙන් බැස පියා පලා ගියෝ ය.

පිරිවර ඇත්තෝ ත් හැඳින ගත නො හී මේ කිම් ද, මේ කිම් දැයි කිවු ය. සොරෙය්‍ය නම් සිටු පුත්‍රයෝ ද සසර වියවුල හඟ වන්නාක් මෙන් ගෑනු ව පියා දිසා පාමොක් ආචාරීන්ගෙන් සූප ශාස්ත්‍ර උගන්ට යන කෙනකුන් මෙන් තක්සලා නුවරට යන මඟට නික්මුණාවු ය. කැටි ව ආ යාළු සිටාණෝ ද ඈත මෑත බලාත් නුදුටුවාහු ය. හැම දෙන ම න හා පියා ගෙට නැඟී ගියහ. සිටු පුත්‍රයාණෝ කොයි දැ යි විචාළවුන්ට ‘නහාපියා අපට පෙරාතු පලා ආව යි සිතා පලා ආම්හ’යි කිවු ය. ඉක්බිත්තෙන් උන්ගේ දෙ මවු පියෝ ත් සොයා නො දැක හඬා පියා වැලප පියා මළ නියා ව නැ යි පින් පෙත් දුන්හ.

සිටු දියණියෝ ත් තක්සලා නුවරට යන සත්වා මුළක් දැක පසු පස්සෙහි යන්ට ගත්හ මිනිස්සු ද දැක අප පසු පස්සේ ත් එව. තොප කාගේ දරු කෙනකුන් බව ත් නො දනුම්හ. මේ කෙසේ වූ ගමනෙක් දැ’යි විචාළෝ ය. මා නොවිචාරා ගැලපදනා බව ය. ගැල පස්සේ මම එමි’යි කියා ලා නැතක් තැන් ගිය කලට පයක් රිදෙන්නේ[1] ඇඟිල්ලේ ලූ මුන්ද දීලා තමන්ට ත් ගැලින් අවසරයක් කරවා ගත්හ. මිනිස්සු ත් සිතන්නෝ තක්සලා නුවර අපගේ සිටු පුත්‍රයාණන්ට අඹුවෝ නැත. උන්ට මුන්ගේ පුවත කියා උන්ගෙන් සංග්‍රහ විඳුම්හ’යි සිතා ගෙන තක්සලා නුවරට ගොසින් සිටු පුත්‍රයාණන්ට ‘මුඹට තරම් ගෑනු බාලකෙනකුන් ගෙනාම් හ’ යි කිවු ය. උයි ත් ගෙන්වා ගෙන තමන්ගේ අදහස් ලෙසට උන් තරම් නියා ව දැක තමන්ට පාදපරිචාරිකා කළහ.

සසර ඉතා දික් හෙයින් පිරිමින් ගෑනු නො වූ විරූ ත් නැත. ගෑනුන් පිරිමි නො වූ විරූ ත් නැත. පිරිමි පරදාර කර්මයෙහි හැසිර අවුරුදු ලක්‍ෂ ගණන් නිරව දුක් ගෙන එයින් මිදී මිනිස් ලොව උප දි ත් නම් ගෑනිව සියක් වර උපදිති. කප් ලක්‍ෂයක් පිරූ පැරුම් ඇති අනඳ මහ තෙරුන් වහන්සේ පවා සසර සිටිනා කල බඩාල් කුලයෙක උපන් ගමනේ පරදාරයෙහි හැසිර නැතක් කල් නිරෑ දුක් ගෙන තව ඒ අකුශල ය ගෙවී නො ගිය හෙයින් තුදුස් ජාතියෙක ගෑනි ව උපන් සේක. ජාති සතෙක බීජොද්ධරණ ය ලත් සේක. ගෑනු මිනිස්සු දානාදී පින් කම් කොට ගෑනු වීමෙහි ඇලුම් නැති පිරිමි වීම පතා පුරුෂත්‍වය ලැබෙති. සෙසු පින්කම් නැත ත් පතිව්‍රතාව විසීමෙන් මිථ්‍යාචාරය නැති වත් පිරිමි ව උපදිති. සොරෙය්‍ය නම් සිටු පුත්‍රයාණෝ ද කසයින් මහ තෙරුන් වහන්සේ විෂයෙහි නො සිතුව මනා ලෙස සිතා එ ම ජාතියෙහි ඔබ්බකට නො ගොස් ගෑනු වූ ය.

තක් සලා නුවර සිටාණන් හා සහවාස ය නිසා සොරෙය්‍ය නම් සිටු දුවණියන් බඩ දරු කෙනෙක් ඇති වූ ය. දස මසකින් පුතණු කෙනකුන් වදා පියා උන් පියවර ඔසවා ඇවිදිනා අවධියට අනික් පුතණු කෙනකුන් වැදූය. මෙ සේ තුමූ ගෑනු ව දස මසක් කුසිනු’සුලා දරුවන් දෙන්නකු ලද්දා භ. පිරිමි ව සිටි අවධියේ තමන්ට උපන් දරුවන් දෙන්නෙකැයි පුත්තු සතර දෙනෙක් වූය.

එ කල සොරෙය්‍ය නුවර සිට උන්ගේ යාළු සිටු පුත්‍රයාණෝ ගැල් පන් සියයකින් බඩු ගෙන්වා ගෙන තක් සලා නුවරට ගොසින් යන්ට සැප වාහනයෙකින් නුවරට වන්හ. සොරෙය්‍ය සිටු දියණියෝ ද මතු මාලේ කවුළු දොර හැරලා වීථිය බල බලා සිටි තැනත්තෝ සිටු පුත්‍රයාණන් හැඳින ගෙන කෙල්ලක යවා කැඳවා ගෙන්වා ගෙන සැඳැල්ලේ හිඳුවා ලා සත්කාර සම්මාන කළහ. සිටු පුත්‍රයාණෝ ද සාද විඳ ගෙන ‘සිටු දියණියෙනි, නුඹ අපි පෙර හඳුනන්නෝ නැත. සාද සාමීචියත් බලවත. කුමක් නිසා දැ’යි විචාළෝ ය. නො හඳුනන්නේ හැයි ද? මම හඳුනමි. නුඹ හිඳිනේ සොරෙය්‍ය නුවර වේ දැ’යි කි වූ ය. එ සේ ය යි සිටු පුත්‍රයාණන් කී කල්හි දෙ මව් පියන් දෙන්නාගේ ද පිරිමි අවධියේ ඇඹේණියන්ගේ ද දරුවන් දෙන්නාගේ ද සුව දුක් විචාළා හ. සිටු පුත්‍රයාණෝ ද උන් හැම සුව සේ හුන් නියාව කියා ලා හඳුනන්නෝ ඇද්දැ යි විචාළෝ ය.

“එ සේ ය, දනිමී. උන්ගේ එක් පුතණු කෙනෙක් ඇත්තෝ වේ ද, ඌ දැන් කොයි දැ’යි විචාරා ‘මා අතින් උන් විචාරන්ට නො කැමැත්තෝ ය. එක් දවසක් උන් හා මා හා වාහනයෙක හිඳ නාන්ට ගොසින් උන් කොහි ගිය බවත් නුදුටු වම්හ. නො දැක ගොසින් දෙ මවු පියන්ට කිවු ය. උයි ත් සොයා නො දැක හඬා පියා මළ නියා යැ යි සිතා පින් පෙත් දුන්හ’යි කිවු ය. ඒ සිටු දියණියෝ ඒ අසා ‘එ සේ වී නම් ඒ සිටු පුත්‍රයාණෝ මම් ම ය’යි කිවු ය. ‘කුමක් කියවු ද? මා ගේ යාළුවාණෝ දිව්‍ය කුමාරයක්හු මෙන් පුරුෂයාණ කෙණෙකැ’යි කියා ලා නො ගිවිස් සෝය. ‘නුඹ කුමක් කියත ත් මම ඌ මැයි’කිවුය. ‘එසේ කල මේ කුමක් වූ නියා දැ’යි විචාළෝ ය. එ දවස් කසයින් මහ තෙරුන් වහන්සේ දුටුයේ දැ යි විචාරා ‘එ සේ ය. දිටිමි” කී කල්හි “එ දවස් මම ඔබ දැක මේ සා මහත් අකුශලයක් සම්භ ව ‘මුන් වහන්සේ හෝ මට අඹු වූ සේක් නම් යහපත. අප ගේ සිටු දියණියන්ට හෝ මේ රූප ශෝභාව වී නම් යහපතැ’යි සිතිමි. සැරහී සිටි කෙනකුන් ඇඟට කසළක් දමන්නා සේ කෙළෙස් කසළින් නිකසළ වූ ඒ ස්වාමි දරුවාණන් වහන්සේට එ තරම් කට යුත්තක් සිතා උඩු සුළඟ සිට දමා ලූ දෙයක් තමා ඇඟ වැද ගන්නා සේ මම් ම ගෑනු වීමි. ලජ්ජා බලවත් ව ගොසින් නුඹ පමණකට ත් කිසිවක් නො කියා පලා ගොසින් මීට නැඟී ආමි’යි කිවු ය. ‘කළ දෑ ඉතා නපුර කාට ත් නො කියත ත් මට නො කියන තරමෙක් ද? මිත්‍ර කම් නම් මෙසේ වූ තැනකට නො වේ ද? මහ තෙරුන් වහන්සේ ක්‍ෂමා කරවා ගන්නා පමණෙක් වී නම් ලෙසක් නො වන්නේ වේ ද? ක්‍ෂමා කරවීම වී ද, නො වී ‘යි විචාළෝ ය.

ස්වාමීනි, එ සේ වූ යහපත් කට යුතු ත් ඇති නියා ද? එ සේ වූ දෙයෙක් කෙළේ නැත. ඔබගේ පුවතක් දන්නෝ ඇද්දැ’යි විචාරා මෙ ම නුවර ය යි කී කල්හි ‘සිඟා වඩනා ගමනෙක මෙ සේ වැඩි සේක් වී නම් දන් දෙන්නමෝ වේ දැ’යි කිවු ය. ‘එ සේ වී නම් මහ දන් සරහා ලන්නේ. මම ක්‍ෂමා කරවා ලමි’යි කසයින් මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් වැඳ ලා එකත් පස් ව හුන්නෝ ‘ස්වාමීනි, සෙට ආරාධන මා ගෙනැ යි කිවු ය. ‘තෙපි ආගන්තුකවා දැ’යි වදාළ සේක. ‘එ සේ වදාරන්නට නො කැමැත්තේ ය. සෙට දවස් දන් මා ගෙන් ම ය’ යි කී කල්හි මහ තෙරුන් වහන්සේ ත් ඉවසා වදාළ සේක. ගෙයිත් දන් සැරහු ය මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි සේක. ඉක්බිත්තෙන් වඩා හිඳුවා ලා වළඳා අන්තයෙහි සිටු පුත්‍රයාණෝ සිටු දුවණියන් කැඳවා ගෙන ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ හොවා ලා ‘ස්වාමීනි, මුන් කළ වැරැද්දකට ක්‍ෂමා කොට වදාරන්නේ යහපතැ’යි කිවුය. ‘කුමක් දැ’යි විචාළ කල්හි ආද්‍යන්ත මුළුල්ල සැල කළෝ ය. ‘එ සේ වී නම් නැඟී සිටුව. ක්‍ෂමා කෙරෙමී’ වදාළ සේක.

මහ තෙරුන් වහන්සේ ක්‍ෂමා කෙළෙමියි වදාරන්නා ම ස්ත්‍රීත්‍වය නැති ව පිරිමි ව ගිය හ. පුරුෂත්‍වය පහළ වන්නා ම තක්සලා නුවර සිටාණෝ ‘සබඳ, මේ දරුවන් දෙන්නා තොප කුසින් උපන් හෙයිනුත් මට දා හෙයිනුත් අප දෙ පක්‍ෂයට ම භාරයෝ ය. එක්ව ම වසම් හ’යි කිවුය. ඒ අසා සොරෙය්‍ය නම් සිටු පුත්‍රයාණෝ ‘සබඳ, කුමක් කියවු ද? මම මේ එක ජාතියෙහි පළමු සිටු පුත්‍ර ව, දෙවෙනි ව සිටු දූ ව, තුන් වැනි ව සිටු පුත්‍ර වීමි, තවත් රඳා හිඳ සිටු දූ වන්ට ද? පෙර මා නිසා මට දා වූ දරු දෙන්නෙක. දැන් නුඹ නිසා මාගේ කුසින් වැදූ දෙන්නෙක. එක ජාතියෙක මේ තරමක් වන්නා තබා වෙතී යන්නකු ත් නො දැන දැන් වූ කලී ගිහි ගෙයි නො රඳන්ට මෙ විතරකු ත් මඳ නියාද? මා මේ හීන තරමින් උත්තර තරමෙහි තබා ලූ උත්තමයාණන් වහන්සේ ළඟ මහණ ව යම් තරමෙක් හැමට ම වැඩි සිටි නම් එ සේ වූ තරමු ත් ලබනු නිසා මහණ වෙමි. මේ දරුවන් දෙන්න නුඹට බාරයෝ ය. උන් රැක්ක මැනැවැ’යි කියා ලා දරුවන් දෙන්නා සනා පියා පියාණන්ට ම පාවා දී ලා නික්ම මහ තෙරුන් වහන්සේ ළඟ මහණ වූ ය.

මහ තෙරුන් වහන්සේ ද මහණ ත් මහලු පැවිදි ත් කොට ලා කැටි ව හැර ඟෙන සැරිසරා වඩනා සේක් සැවැත් නුවරට වැඩි සේක. උන් වහන්සේ ත් ආදි සොරෙය්‍ය සිටාණෝ ය යි ප්‍රසිද්ධ ව පසු ව සිටු දුවණියෝ ය යි ප්‍රසිද්ධ ව පසු ව සිටාණෝ ය යි ප්‍රසිද්ධ නො ව සොරෙය්‍ය තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්‍ධ වූ සේක. දනවු වැස්සෝ ද මෙ පවත් අසා විස්ම ව අවුත් මෙ සේ වූ පවතෙක් ඇසිණ. ඒ එ සේ ම දැ’යි විචාරා එ සේ ම ය යි වදාළ කල්හි ‘මෙ සේ ත් වන නියා වේ ද? නුඹ වහන්සේ එක නොබෝ කල කින් කැටි ව පුත්තු සතර දෙනෙක් ඇත්තෝ වෙත්ද? ඉන් කවුරුන් කෙරෙහි ප්‍රේම බලවත් දැ’යි විචාරති. ‘ගෑනි අවස්ථාවෙහි කුසින් උපන් දරුවන් දෙන්නා කෙරෙහි පෙම් බලවතැ’යි වදාරන සේක. ආ ආ යම් කෙනෙක්ම එම විචාරන්ට තබා ගත්හ. තෙරුන් වහන්සේ ද එක්වන් ව ම වදාරා ලජ්ජා ව ගොසින් පසු ව කථාවට නො ලැබී විවේක වාසයට පැමිණ විවසුන් වඩා පිළිසිඹියා සතර ත් මාර්‍ග‍ සතරත් ඵල සතර ත් නො බෝ කලකින් ලැබ රහත් වූ සේක.

රහත් වූ පසු ත් ආ ආ කෙනෙක් පුතුන් සතර දෙනා ගෙන් ප්‍රේම ය මහත් කවුරුන්ට දැ’යි විචාරති. එ සේ විචාළවුන්ට ‘මා කවුරුන්ට ත් ප්‍රේම නැතැ’යි වදාරන සේක. වහන්දෑ ද ඒ අසා ‘මූ මෙ තෙක් දවස් තමන්ගේ කුසින් උපන් දරුවන්ට පෙම් මහ තැ’ කියා ලා දැන් රහත් නියාව ත් හඟවන්ට දෝ කවුරුන්ට ත් ප්‍රේම නැතැ’ යි කියති’යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, ම පුත්තු එ බන්දක් කියන්නෝ නොවෙති. රහත් වූ තැන් පටන් කිසි කෙනකුන් කෙරෙහි ත් ප්‍රේමයක් නැත. අකුශල විෂයට නො හැර කුශල විෂයෙහි යොදා යහපත් කොට ගත්තා වූ සිත යම් ස්නේහයක් කොට ලා නම් ඒ ස්නෙහය දෙ මවු පිය නැඳි මයිල් බෑබුන් ආදීන් අතුරෙන් කිසි ද කෙනෙක් කොට ලිය නො හෙති. එ සේ හෙයින් කවර ලෙසකිනු ත් පන ත් කොට සකස් කළ මනා නම් තමාගේ සිත ම ය.

දෙ මවු පියෝ දරුවන්ට සම්පත් දෙත් නම් එක ජාතියක රැක ගන්නා තරමට මුත් වඩා දී ලිය නොහෙති. විසාඛාවන්ගේ දෙ මවු පියෝ පවා එතෙක් ම සම්පත් ඇති ව එක ජාතියෙක රැකෙනා පමණට මුත් වඩා දී ලිය නුහුණු වූ ය. දරුවන්ට සක්විති සැපත් දී ලිය හෙන දෙ මවු පියෝ නැත. දිව සැපත් කැල ම දී ලිය නොහෙති. දැන් සමවත් ආදී වූ ලෞකික ගුණ යක් වේව’යි මාර්‍ග ඵලා දී වූ ලොවුතුරා ගුණයක් වේව යි දී ලිය නොහෙත් ම ය. පිරිසුදු කළා වූ මෙකී සිත සියල්ල ම දී ල’යි වදාළ සේක. මේ දේශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණිය හ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් යම් උත්සාහයකිනු ත් සිත ම පනත් කොට ගෙන නිවන් පුර වැද සැනහෙන්ට උත්සාහ කට යුතු.

  1. රිදෙන්නා