තව ද ජීවිත ය විදුලියක් මෙන් චිරස්ථිතික නො වන නියා ව ද හවුරුදු අසඞ්ඛ්‍යයක් සිටියත් දිය බුබුලක් මෙන් බිඳෙන සුලු නියාව ද තණ අග පිනි බින්දු මෙන් ආයුඃක්‍ෂයෙහි සිඳෙන නියාවද දියෙහි ඇඳි හිරක් මෙන් මැකෙන නියාව ද දක්වන්නමෝ පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්
සැවැත් නුවර වැසි කුල දරුවාණ කෙනෙක් බුදුන් වදාරණ බණ අසා සස්නෙහි ළැදී මහණ ව උපසම්පදා ව ලදින් තිස්ස තෙරුන් වහන්සේ ය’යි ප්‍රසිද්ධ වූ සේක. කල් යෑමකින් ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් අසාධ්‍ය ඉතා බලවත් රෝගයෙක් ඇති විය. කෙ සේ ඇති වී ද යත් - හබ සා විතර සීන් කස් ඇති ව ලා පසු ව මුං සා ව, පසු ව මෑ ඇට සා ව, පසු ව ඇඹුල සාව, පසු ව බෙල් සා ව, ලා පැසී ගොසින් පැළී සිල් වන්ට වන. සියල් සිරුර වේයන් කෑ පරඬල් පතක් මෙන් සිදුරු විසිදුරු වි ය. එවක් පටන් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්‍රසිද්ධ වූ සේක. පසු ව දවස් ගණනෙකින් ඇට ත් බිඳින. බැලීමටත් අක්‍ෂම වූ සේක. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස් කා ගිය පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑ ත් බැලිය නො හී අත්හල සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නැති ව මඤ්ච පරායණ ව හොත් සේක.
බුදුවරුන් වහන්සේ ත් දවසකට දෙවිටක් ලොව බලන සේක. අළුයම ලොව බලන කල සක්වළ මෝ විට පටන් වැඩ හිඳිනා ගඳ කිළියට නුවණ පතුරුවා බලන සේක. සවස බලන කල ගඳ කිළියේ පටන් සක්වළ මෝ විට දක්වා නුවණ පතුරුවා බලන සේක.
එ කල බුදුන්ගේ නුවණ දැළ ඇතුලට ඇඟින් කුණු වුව ත් රහත් වන්ට නිසි පිණක් කුණු නොවන පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පෙනුණු සේක. බුදුහු උන්වහන්සේගේ සන්තානයෙහි මඬක තුබූ මැණිකක් මෙන් රහත් වන්ට නිසි හෙතු දැක ‘මුන් සබ්‍රම්සරහු ත් පිළිදගින්ට බැරි ම හෙයින් අත්හළ වූ ය. කෙලෙස් ලෙඩට පිළියම් දන්නා මා සෙසු ලෙඩට ත් දන්නා හෙයින් මා විනා මුන්ට අනික් පිහිටෙක් නැත. තනා මැටියෙන් ගොමින් පිරියම් කට නොහැක්කා සේ මුන්ට තුබූ රෝගයට ප්‍රතිකාර නො කොට කෙලෙස් පිළියම් කට නො හැක්ක. සෙසු කරන්නවුන් නැති කල මා වී නමුත් කළ මනා වේදැ’යි ගඳ කිළියෙන් නික්ම වෙහෙර ඇවිදිනා සේක් ගිනි හල්ගෙට වැඩ පැහුණු කරණ සැළි ය කුස රජ කලත් වළන් සෝධා පුරුදු බැවින් සෝධා පියා, උදුනේ පුරුදු හෙයින් තබා ලා පැන් නඟා ලා පැන් හුණු වන තෙක් ගිනි හල් ගෙයි පුක්කුසාති නම් කුල දරුවාණ නිසා කුඹල් හල වැඩහුන්නා මෙන් වැඩසිටි සේක. සිට ලා පැන අත ගාලා පැන් හුණු වූ නියාව දැන තෙරුන් වහන්සේ වැඩ හොත් තෙනට වැඩ හැඳින් ම මෑත් කරන්ට හැඳ එක් දිසාවක් අල්වා ගත් සේක.
එ වේලෙහි වහන්දෑ ‘ස්වාමීනි, වැඩ සිටිනා බව ය. අපි අල්වම්හ’යි හැඳ පිටින් ම ඔසවා ගෙන ගිනි ගල් ගෙට ගෙනා සේක. බුදුහු හොරුවක් ගෙන්වා ගෙන හුණු පැන් වත් කරවා ලා වහන්දෑ ලවා, පොරෝනා සිවුරු මෑ ත් කරවා හුණු පැන් මඬවා වදාරා මඳ අවුවෙක රළු ව නො වියළෙන්ට ලවා ලූ සේක. කෙළෙස් කුණට කැත ඇති පමණක් මුත් තෙල සේ වූ කුණට කැතයක් නැති හෙයින් උන් වහන්සේ ළඟ ම වැඩ සිට මතු ඇති වන තැනට දෘෂ්ටානුගතිය නිසා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් උණු පැන් වත් කොට උළා නෑවූ සේක. උන් වහන්සේ ද ආරෝග්‍යතාවට පින් නැත ත් ශක්‍ර බ්‍රහ්මාදීන් ගෙන් අත් පා මෙහෙ ලබන බුදුන් ගෙන් අත් පා මෙහෙ ලබන්ට පින් ඇති හෙයින් බුදුන් නාවන නෑවීම ලැබී වැඩ හොත් සේක. නාවා පී කලට පොරෝනා සිවුරු වියළිණ. ඒ ගෙනවුත් හඳවා ලා හඳනා සිවුරු හුණු පැණින් සෝධවා අව්වේ ලවා ලූ සේක. නෑ ඇඟ දිය සිඳී ගත් කලට හඳන ය ත් වියළිණ. උන්වහන්සේ ද හඳනයත් වැළඳ ගෙන පොරෝනයත් පෙර ව පූයා කුණු හැරී ශරීරය ත් ලඝු ව එකඟ සිතින් හැඳ වැද හොත් සේක.
බුදුහු ඉස් දොර වැඩ සිට හුණු පැන් නහා ඉක් බිත්තෙන් භෝජනානු භවයක් කර වන්නා සේ ‘එම්බල, මහණ, යම් සේ දඬු පතින් ප්‍රයෝජන ඇති මිනිස්සු වලට වැද ලා හැද නැති දඬු හැද නැති සැටියේ හා වක් දඬු වක් සැටියේ කපා ගෙණ සිදුරු ඇති තැන් දිරා ගිය තැන් ගැට තැන් කපා එ තැන්හිම හැර පියද්ද, පසු ව ත් දඬු පත් සොයා ආ කෙනෙක් නිසි දණ්ඩක් පතක් කපා ගෙනයත් මුත් කපා හළ දඬු කැබලි එ මේ හැර නො ගනිද් ද තවත් ඉන් පා අළු ආදියකට ප්‍රයෝජනයෙක් වී නමුත් මේ අත් බැව දෙ තිස් කුණු කොටසින් එක් කොටසකු ත් පා අළු ආදි වූ කිසිවකට ගත නො හැකි බැවින් කපා හළ දඬු කැබැලි ආදිය ත් වඩා නිෂ්ප්‍රයෝජන ද එ හෙයින් මේ ශරීරය ද අරූ දිවිදු නැති වන්නා ම ශ්‍රී යහන්වල හොත ත් දැවීම් ආදි ය පොළොවට ම වන හෙයින් නොබෝ කලකින් ප්‍රයෝජන නැති හෙයින් හළ දඬු කඩක් මෙන් පොළොවට ම පැමිණෙයි.
සියල්ලකට ශරීරය ක්‍ෂම නොවතත් සිත තරව තුබූ බැවින් බඳු කුණු අත් බැවු තබාලා තච පඤ්චක පමණක් මුත් වඩා කුණු කොටස් නැති දිව අත් බැව් හා බඹ අත් බැවු ත් නැති ව ම නිසා භව ක්‍ෂයට උත්සාහ කට යුතුය යි වදාළ සේක. මේ දේශනාව කෙළවර පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ සිවු පිළිසිඹියා පත් රහත් ව කෙලෙස් ලෙඩින් ගොඩ නැගී ආයු ශක්තිය එතෙක් ම හෙයින් පිරිනිවන් පෑ සේක. සෙසුත් බොහෝ දෙන නිවන් දුටුවු ය. බුදුහු ඔබ ආදාහන කරවා පියා ධාතු ගෙන දා ගබක් කරවූ සේක.
වහන්දෑ ‘ස්වාමීනි, තෙරුන් වහන්සේ මේ සා දුකකින් පෙළී ශරීර වේදනාව බලවත් වූ හෙයින් චුති සුද්ධිය කෙ සේ ද? කොයි උපන් සේක් දැ’යි විචාළ සේක. බුදුහු පිරිනිවි නියාව වදාළ සේක. රහත් වූ නියාව අසා ‘ස්වාමීනි, රහත් වන්ට නිසි මේ තරම් පින් ඇති ව ශරීර ය කුණු වූයේ ත් හැයි ද? ඇට මුළුල්ල බිඳී ගියේ ත් හැයි ද? රහත් වූයේ ත් කෙ සේ දැ’යි විචාළ සේක. ‘එම්බා මහණෙනි, මේ මුළුල්ලම අනික් කෙනකුන් කළ දෙයක් නො වෙයි. මුන් තමන් තමන් ම කළ ලෙස ය’යි වදාරා කර්‍ම ස්වරූපය අසනු කැමැති වහන්දෑට ‘එ සේ වී නම්, මහණෙනි, අසව, මේ තෙමේ කසුප් බුදුන් සමයෙහි පක්ෂීන් බදා විකුට ජීවත් වන වැදි කුලයෙක ඉපැද මොනර කුකුළු ආදී වූ පක්ෂීන් බදා ගෙන නො මරා වඩනු නිසා බොහෝ දෙනාට ත් දෙයි. ඉතිරි පක්ෂීන් ඇත් නම් මරා කන්නවුන්ට ත් විකිණෙයි. විකුට ත් ඉතිරි පක්ෂීන් මරා තුබූ කලට කුණු වෙති. පියාසර නො කොට හැකි ලෙසට කකුල් ඇට ආදිය බිඳ තබා ලා විකුණෙයි. ඉතා බොහෝ කොට ලත් නම් තෙමේ ත් පිසවා කයි.
මූ එක් දවසක් මස් රසයක් පිසූ කලට රහත් කෙනෙක් සිඟා ඇවිදිනෝ මුගේ ගෙ දොරට ගියෝ ය. තෙමේ උන් දැක පැහැද ‘අනේ බොහෝ ප්‍රාණ වධ කෙළෙමි. මුන් වහන්සේ මා ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. ගෙයි මස් රසයකු ත් ඇත. මසවුළෙන් යුක්ත කොට බතක් දන් දෙමී’ ආරාධනා කොට පාත්‍ර ය හැර ගෙන මස් රසයෙන් යුත් බත් පාත්‍රය පිළිගන්වාලා රහත් තෙරුන් පසඟ පිහිටුවා වැඳ ගෙන ‘ස්වාමීනි, නුඹ වහන්සේ ලත් නිවන් රස මා දුන් මස් රසයෙහි මුඛ්‍ය විපාකයෙන් මට ත් වේව’යි පැතූයේ ය. රහත් මහ තෙරහු ත් ඒ එ සේ ම වේව’යි කීහ. මහණෙනි. එ කල පක්ෂීන් ගේ ඇට බිඳලූ ලෙසින් මුගේ ශරීරය ත් කුණු විය. ඇට ත් බුන. රහතුන්ට දුන් බතෙහි අනුසසින් නිවන් රස ලදැ’යි වදාළ සේක.
සත් පුරුෂයන් විසින් සද්ධර්‍ම රත්නාවලියෙහි ඇවිණි. මේ සදහම් රුවන පමණිනුත් පින් කම් නමැති බඩු සොයා ගෙන ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කටයුතු.