40. ආරබ්ධ විදර්ශක භික්‍ෂූන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද විදර්ශනා ධුරයෙහි යෙදී වසන තැන් එහි රුචි කරවනු සඳහා ආරබ්ධ විදර්‍ශක භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙසේ ද යත්:

සැවැත් නුවර වසන පන් සියයක් දෙනා වහන්සේ බුදුන් ගෙන් අර්හත්‍ව ය දක්වා කමටහන් ඉගෙන ගෙන මහණ ධම් කරම්හ යි සාර සියයක් ගවු විතර දුරු බා ගොසින් එක් බොහෝ මිනිසුන් ඇති ගමකට වැඩි සේක. පෙර වරු වේලේ වැඩි හෙයින් එ ගම මිනිස්සු පවරා ගෙන වඩා හිදුවා මධුරාහාර වළඳවා වළඳා අන්තයෙහි.වඩනේ කොයි දැ යි විචාරා වස් වැස ගන්නා තෙනකට යම්හ යි වදාළ කල්හි ‘මේ අත වැස මෙහි ම විසුව මැනව. අපි මුඹ වහන්සේ මුල් ව තිසරණ පිහිටා පන් සිල් පමණක් වුවත් රැක ගනුම්හ’යි ආරාධනා කොට ආරාධනාව ඉවසූ කල්හි ‘ස්වාමීනි, නුදුරු තැනක වන ලැහැබෙක් ඇත. ඊ වැස වදාළ මැනැවැ’යි කියා ලා ඔබ යවූහ. වහන්දෑ ද ඒ වන ලැහැබට වැඩි සේක. ඒ වල වසන දෙවියෝ සිල්වතුන් වහන්සේ මේ වලට වැඩි සේක. ස්වාමි දරුවන් මෙහි වසන් කල දරු මල්ලන් හැර ගෙන ගස් උඩවල ‘හින්ට බැරි ය’යි බිමට බැස පියා ‘ස්වාමි දරුවෝ අද එක දවසක මෙ තැන රඳවා ලා සෙට වඩනා සේකැයි සිතූහ. වහන්දෑ ද දෙ වන දවස් ඇතුළු ගම සිඟා වළඳා ලා නැවත ඒ වනයට ම වැඩි සේක. දෙවියෝ සිතන්නාහු ‘සෙටට ආරාධනාවක් ඇති නියා ය. එසේ හෙයින් වඩනේ ය. සෙට දවස් වඩනා සේකැ’යි සිතූහ.

මෙ ලෙස ම සිතා දෙපෝයක් විතර බිමම රඳා උන්හ. බිම ඉඳ වේසී පියා සිතන්නාහු ‘මුන් වහන්සේලා මී ම රඳනා සේක් වී නම් අප ගස් උඩවල හිඳිනට ත් රිලවුන් – වඳුරන් නො වන හෙයින් බැරිය. ඊට වඩා බිම විසීම ත් අනභ්‍යාස හෙයින් දුක. යම් කිසි ලෙසකින් මේ වහන්දෑ මෙ තැනින් යවා පුවොත් යහපතැ’යි ඒ ඒ රෑ වසන තැන්වල ද දාවල් වසන තැන්වලද සක්මන් කෙළවර ද තමන්ගේ ආනුභාවයෙන් මිනී හිසුත්, හිස් නැති කොටවලු ත් මවා දක්වන්ට වන්හ. භය ජනක වූ යක් හඬක් ගසති. වහන්දෑට ද කැසි කිඹිසි ආදී වූ ලෙඩ දුකු ත් ඇති කළහ. ඔවුනොවුන් වහන්සේ අතින් ලෙඩ දුක් විචාරා අපට කැසි ඇත. අපට කිඹිසි ඇතැ’යි කියා ‘ඇවැත්නි, අද සක්මන් කෙළවර මිනී හිසක් දුටුම්හ. රෑ වසන තෙන හිස් නැති මිනියක් දුටුම්හ. අපි දාවල් රඳා හුන් තැන යකුන් ගසා පූ හඬකුත් ඇසුම්හ’යි කියා ලා ‘එසේ හෙයින් මෙ තැන හළ යුතු ය. බුදුන් ළඟට ම යම්හ’යි නික්ම බුදුන් කරා ගොසින් ‘වැඳ එකත් පස් ව හුන් සේක.

බුදුහු ‘කුමක් ද, මහණෙනි, එ තැන රඳා ගත නුහුණු දැ’යි විචාරා ‘එසේ ය, ස්වාමීනි, මේ මේ ලෙස උවදුරු ඇති හෙයින් රඳා ලිය නො හී මුහුදුළිහිණියා සේ මුඹ ආම්හ’ යි දැන්වූ කල්හි ‘මහණෙනි, තෙපි ඔබ යෑම ම යහපතැ’යි වදාළ සේක. ‘එසේ බැරි ය, ස්වාමීනි, කී කල්හි ‘මහණෙනි, තෙපි නිරායුධ ව ගියහ. ආයුධ අත ඇත් නම් බූමාටු දෙවියන් තබා කවර කෙනකුන් තොපට කුමක් කටහෙද්දැ’යි වදාරා ‘දැන් ආයුධ ඇති ව යව’යි වදාළ කල්හි ‘අප ගෙන ගිය මනා ආයුධ කවරේ දැ’යි විචාළ සේක. ‘ආයුධ හඳුනන්නෝ ආයුධ ශ්‍රම දන්නෝ ය. තොපට නො දැනෙයි. කරණීය මෙත් සුත් චක්‍රා යුධ ය ගෙන යව. එ සේ ගොසින් තෙල සූත්‍ර ය උවසර හිම පටන් පිරිවාමින්[1] ඇතුළු විහාරයට යව’යි වදාරා ලා කරණීය මෙත් සුත් උගන්වා ලා යවා වදාළ සේක. ඒ වහන්දෑ ද බුදුන් වැඳ ගෙන නික්ම එ තැනට වැඩ විහාරයෙන් පිටත සිට ම කරණීය මෙත් සුත් පිරිවමින් වන ලැහැබට වන් සේක.

සියලු වනයේ දෙවියෝ සූත්‍රානුභාවයෙන් මෙත් සිත් ලදින් වහන්දෑ දක්මින්ම පෙර ගමන් කොට ගොසින් ව්‍රත සම්පන්නයන් මෙන් පා සිවුරුත් ඉල්වූහ. අතපත රුජා ඇත් නම් මඬිමෝ දැයි විචාළහ. වසන තෙක් කල් උවදුරු නැති ලෙසට රක්‍ෂාවක් තබාලූහ. හුණු දෙයක් පැනක ලාපු කලක් මෙන් සන්හුන්හ. ඒ වහන්දෑගේ සිතු ත් ලබන නානා වික්‍ෂෙප ය නැති ව එකඟ විය. රෑ වසන තෙනත් දාවල් වසන තෙන ත් හිඳ විදර්ශනාවට ම සිත යොමු කොට මේ අත් බැව බිඳෙන බැවින් හා තර නොවන බැවින් කුඹල් වළඳක් වැනි ය යි සිතා විවසුන් වඩන්ට පටන් ගත් සේක. බුදුහු ත් ගඳ කිළිසේ වැඩ හිඳ සාර සියයක් ගව්වෙන් ඔබ්බෙහි හුන් වහන්දෑගේ සිත විදර්ශනාවට නැඟී නියාව දැන රස් කඳක් විහිදුවා ළඟ වැඩ හුන් සේ ‘හෙම්බා මහණෙනි, දුර්වල හෙයිනුත් බොහෝ කලක් නොපවත්නා හෙයිනුත් යම් තාක් පවතී නම් ඒ තාක් මුත් වඩා නො පවත්නා හෙයිනු ත් මේ දෙ තිස් කුණු කොටසින් ගැවසී ගත් මේ ශරීර ය බිඳෙන සුලු ලෙසට කුඹල් වළඳක් මෙන් සිතා යම් සේ නුවරෙක් ගැඹුරු අගල් හා උස් පවුරු ඇති හෙයිනු ත් මහ වාසල් පැන් වාසල් අට්ටාල් ආදි ය ඇති හෙයිනු ත් පිටතිනු ත් තර ව මනා කොට විභාග කරණ ලද වීථී හා වීථි සන්ධි හා සල් පිල් ආදිය ඇති හෙයින් ඇතුළෙනු ත් තර ව පිටතින් ආ සොරුන්ට පිළිවන්ව නො තිබේද, එමෙන් ම විවසුන් සිත ත් තර පාරු නුවරක් මෙන් තර කොට තබා ගෙන නුවර ඇතුළත සිටියවුන් ආයුධ අත ලා අවුත් සොරුන් අල්වා ගන්නාක් මෙන් විදර්ශනා සම්ප්‍රයුක්ත වූ ත් ආර්‍ය්‍ය‍ මාර්‍ග සම්ප්‍රයුක්තවූ ත් ප්‍රඥා නමැති ආයුධයෙන් ඒ ඒ මාර්‍ගයෙන් මැරිය යුතු කෙලෙස් සොරුන් මැරිය යුතු ය.

නැවත යම් සේ යෝධයෙක් සටන් බිම බල කොටුවක් කොට ගෙන සතුරන් හා සටන් කරන්නේ බඩ සා වී නම් හෝ පිපාසා වී නම්, හෝ සන්නාහ ය ලීල් වී නම් හෝ ආයුධ ය හෙළා පී නම් හෝ බළ කොටුවට වැදලා මඳක් සැතපී ලා බතුත් කා පැනු ත් බී ගෙන සන්නාහය ත් තර කොට බැඳ ගෙන ඇතුළෙන් ආයුධයකු ත් හැර ගෙන පිටත් ව ලා සටන් කොට සතුරන් පරදවා ද, ජය නො ගත් සටන ජය ගනිද් ද, ලත් ජය තර කෙරේ ද, වන් ගමනේ ඉදින් බළ කොටුවේම රඳා පීනම් රට සතුරනට ම හරී ද, එ මෙන් ලැබ ගත් තරුණ විදර්ශනාවත් ආවාස සත්ප්‍රාය ය, ඍතු සත්ප්‍රායය, භෝජන සත්ප්‍රාය ය, පුද්ගල සත්ප්‍රාය ය, ධර්‍ම ශ්‍රවන සත්ප්‍රාය ය යනාදිය අත් නො හැර සෙවුණේ අතරතුරේ ලද මාර්‍ගයේ ඵල සමවතට සම වැද ත් එයින් නැඟී විවසුන් සිතින් සංස්කාරයන් සමනමින් තරුණ විපස්සනාවන් රක්නේය. එලෙස ම ඵල සමවත් ම සම වදී නම් මතු මත්තෙහි මාර්‍ග ඵල උපදවන්ට අසමර්ථ ය’යි වදාළ සේක. මේ දේශනා කෙළවර පන් සියයක් දෙනා වහන්සේ හුන් තෙන ම හිඳ සිවු පිළිසිඹියා පත් රහත් ව බුදුන්ගේ රන් වන් ශරීරයට ස්තුති කෙරෙමින් වඳිමින් ආ සේක.

එසේ හෙයින් ශාසනික වූ යෝගාවචර කුල දරුවන් විසින් ග්‍රන්ථ ධුරය පුරතත් බත් කා අන්තයෙහි බුලත් කා කපුරු තකුල් ආදිය කන්නා සේ හැසිල්ලක වුව ත් විදර්ශනාභියෝග ය කට යුතු.

  1. පිරිවහමින්