තව ද එකෙක තර අදහස් නැත්තවුන්ට ඇසීම් පිරිවීම් නැත්තවුන්ට ශ්‍රැතම ය ප්‍රඥාව ත් නැත්තා සේ නුවණක් වඩනට නැති නියාව චිත්තහත්‍ථ තෙරුන් වහන්සේ ගේ වස්තුවෙන් දතයුතු.
ඒ කෙසේ ද යත්-
සැවැත් නුවර වසන එක් කුල දරුවාණ කෙනෙක් වල් වන් ගොන් සොයා වලට ගොසින් පෙරවරු මුළුල්ලේ සොයා වල ඇවිද හිර මුදුනේ සිටි වේලාවට ගොන් දැක ගොන් ගෙරි සිටි තැනට බැස ලා උදාසන පටන් ඇවිදි හෙයින් බඩසා බලවත් ව ‘වහන්දෑ ළඟට ගියෙම් නම් වළඳන වේලේ සම්භ වූ තෙනකට ඇති ව තිබූවොත් අවශ්‍යයෙන් ම බත් දෙන හෙයින් මට ත් බත් සම්භ වෙයි සිතා වෙහෙරට ගොසින් වහන් දෑ වැඳ ලා එකත් පස්ව සිටියේ ය. එසමයෙහි ද වැළි ත් අවක්කාර පාත්‍රවල[1] ඉතිරි බත් තබා ලා[2] සයින් ආවවුන්ට තිලින් බත් හැර ගෙන කව යි වදාරණ සේක. බුදු සමයෙහි වහන්දෑට උපදනා බත් නම් එ වක මිනිසුන්ගේ අදහස පරිද්දෙන් අති පවිත්‍ර ව නො එක් සූප ව්‍යඤ්ජන ඇති ව උපද්දි. උපාසකයෝ ද වහන්දෑගෙන් විධාන ලදින් ඉන් යැපෙන පමණක් හැරගෙන අනුභව කොට ලා පැනු ත් බී පිපාස සන් හිඳුවා අත සෝධා පියා ‘කුමක් ද, ස්වාමීනි, අද ආරාධනාවක් කොට දන් දුන්නෝ ඇද්දැ’යි විචාරා ‘නැත, උපාසකයෙනි, සිඟා ගිය ත් නිරන්තර ව මෙසේ ම උපද්දී’ වදාළ කල්හි අප හී පිරිහී හවුරුද්ද මුළුල්ලෙහි කර්මාන්ත කොට ත් මෙ බඳු බතක් ලද නො හෙම්හ. වහන්දෑ සිඟා ගොසින් පියන ගමන විනා කිසි ත් ආයාසයක් නො ගෙන මේ බත් ලබන කල මා දැන් ගිහි ව සිට ආයාස ගැන්මෙන් ප්‍රයෝජන කිම් ද? මහණ ව ගනිමි’ සිතා අදහසෙහි පවිත්‍රාවක් නැත ත් තමන් මහණ කරන්ට වහන්දෑට කීහ.
වහන්දෑ ත් ‘යහපතැ’යි ගිවිස මහණ කොට ලා මහලු පැවිදි කළ සේක. වත පිළිවෙත ත් හැසිර බුද්ධානුභාවයෙන් උපන් දෙය සුව සේ වළඳා මස්-ලෙය ඇති ව ගෙන මා දැන් සිඟා කා ත් ප්‍රයෝජන කිම්ද? සිවුරු හරිමි’යි සිතා ගෙට ගොසින් සිවුරු හැර නිකම් හැසිල්ලෙකු ත් හින්නට[3] නැති ව කර්‍මාන්ත කිරීමෙන් හා ඉඳුරා බතක් නො ලැබීමෙන් හා දුර්‍වල ව ‘මේ දුකින් ප්‍රයෝජන කිම්ද? මහණ වෙමි’යි සිතා පෙරළා අවුත් මහණ ව ලී බන් භුත්තියෙක මැටි ගසා ලී වසාලූවා සේ ඇට පිපී ගිය ශරීර ය සුව සේ වළඳා මස්-ලෙස් ඇති ව තව ත් උකටලී ව සිවුරු හළ වූ ය. නැවතත් කීප දවසකින් ගිහි ගෙයි කළකිරී වෙහෙරට අවුත් මහණ කරන්ට කිවූ ය. වහන්දෑ ත් සිටි තෙක් දවස් මුන් සුවච කීකරු හෙයින් කී සේම මහණ කරවණ සේක. මෙසේ ස මුරයක් මහණ ව ස මුරයක් සිවුරු හළවු ය. වහන්දෑ ද උන් සිත් වසඟ ව ඇවිදිනා හෙයින් ගුණ විශේෂයක් දිය නුහුණත් චිත්තහත්‍ථ ය යන නම දුන් සේක.
මෙ සේ සිවුරු පොරවා සිවුරු හැර ඇවිදිනා කලට ඇඹේණියන් බඩ දරු කෙනෙක් ඇති වූහ. සත් වෙනි වාරයේ සී සා පියා නඟුල් විය දඬු හැරගෙන ගෙට අවුත් නඟුල් වියදඬු තබා පියා හිණ කෝනමයෙන් කළු දෑ රෙද්ද හැරගන්ට වැද හෝනා කුස් සියට වන්හ. එ වේලාවට ඇඹේණියෝ ත් මෝල් කොටා විඩාව පියා හන් පිළි කොයි යන බව ත් නො දැන නිඳති. දෙ කොළින්[4] කුණු කෙළ ත් වැගිරෙයි. බවා පලවන්ට ම කරන්නා සේ නාස ය ත් හඬව යි. නිඳන හෙයින් ඇස පී තිබෙන ත් කට ත් දැල් වී තිබෙයි. ගෙට ගිය තැනැත්තවුන්ට අසුභ දසයෙන් දැරි ඇති බව නිසා උද්ධුමාතක අසුභයක් සේ වැටහිණ. දැක අනිත්‍යය සලකා මෙ තෙක් කල් මම නිකසළ බුදු සසුන් වැද මහණ ව මේ මාගම් කසළ නිසා ඒ නියා බුදු සස්නෙහි රඳාගත ත් නො හී මේ තරම් දුකකට පැමිණියෙමි’ කළු දෑ කඩ බඩ ගන්ව ගන්වා ම ගෙන් නික්මුණා වුය.
ඉක්බිති ගෙයි සිටි නැන්දණියෝ බෑනණුවන් දැක ‘කුඹුරේ සිට දැන් ම අවුත් ගෙයි මඳකුත් රඳා නො පියා හිණ කඩ එක තින් ගෙන වෙහෙර බලා යෙති. කුමක් දෝ හෝ යි දුවණියන් වැද හොත් ගෙට ගොසින් නිඳන දුවණියන් දැක ලා ‘මෑ වැදහෙව අසඤ්ඤත ව නිඳන ලෙස බලා කළකිරී යන වනැ’යි සිතා ගෙන දුවණියන් ගසා පුබුද්දා පියා ‘කාලකණ්ණිය, නැඟී සිට. තී සැමි අවුත් තී වැද හොත් ලෙස බලා කළකිරී පලා ගියේ ය. මෙ වක් පටන් තිට ඒ නැත්තේ වේ දැ’යි කිවු ය. ඕ ඒ අසා ආදි සේම දෝ හෝ යි සිතා ‘අම්ම, මුඹ නො දොඩන්නේ උන්ට ගමනෙක් කොයින්ද? කීප දවසකින් පෙරළා එති උන්ගේ අදහස මට දැනෙන්නේ වේ’යි කිවු ය.
උයිත් සිතට වැටහුණු අසුභ විෂය කොට තිලකුණු මෙනෙහි කෙරෙමින් මහණ වන්ට යෙමින් සිටම තමන්ටම ප්‍රයෝජන වත් ලෙස නිඳු නිඳි හෙයින් සෝවාන් වූහ. සෝවාන්ව ලා වහන්දෑ ළඟට ගොසින් මහණ කරන්ට ආරාධනා කළහ. වහන්දෑ උන් සෝවාන් වූ නියා ව නොදත් හෙයින් තොප මහණ කරන්ට අපට බැරි ය. මහණ ය යි යන්නා තොපට ලඝු හෙයින් ලඝු තරම් නැති තැනටත් ලඝු නියා ද? තොපගේ හිස නම් අපගේ කර මුවා ත් තබන ගලක් හා සරි වුව කර ත් චිතරෙක ගා මුවා ත් තබ ත් මුත් එක් වන් ගෑ කලත් යහපත් ද? යව’යි වදාළ සේක. ලෙඩ සන්හිඳෙන නියාව දැන බෙහෙත් අනුභව කරන්ට තරයා සේ ‘ස්වාමීනි, මේ එක මුරයට මහණ කළ මැනැව’ යි තත්පර ව කීහ. වහන්දෑ ත් තමන් වහන්සේට අත් පා මෙහෙයෙන් උපකාරී හෙයින් මැළි වුව ත් කරුණ කරවා ගන්ට හෙයින් මහණ කළ සේක. මහණ වූ දවස් ගණනකින් ම සිව්පිළිසිඹියා පත් රහත් වූ සේක. වහන්දෑ ද රහත් වූ නියාව නො දැන ‘හැයි, යන කල් නොදත් නියා ද? මෙවක් කල් ගිය නියා වේ දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි, මෙ තෙක් කල් සසර කල් ගිය හෙයින් ගමන කල් නො ගියේ ය. දැන් සසර කල් නො ගිය හෙයින් ගමන කල් ගියේ ය.
“යෙන දෙවූපපත්‍යස්ස – ගන්ධබ්බො වා විභඞ්ගමො,
යක්ඛත්තං යෙන ගච්ඡෙය්‍යං – මනුස්සත්තඤ්ච අබ්බජෙ;
තෙ මය්හං ආසවා ඛීණා - විද්ධස්තා විනළීකතා”
යනු හෙයින් සිවුරු හරණට ගමන් තබා භව ගමනුත් නැති වී ය’යි රහත් වූ නියා ව හැඟවූ සේක. වහන්දෑ ඔබ බුදුන් කරා කැඳවා ගෙන ගොසින් ‘ස්වාමීනි, අප මෙ ලෙස කී හෙයින් මෙ ලෙසක කියා තමන් රහත් නියාව කිවු ය. නැත්ත වේ දැ’ යි කි සේක. ඒ අසා වදාරා බුදුහු ‘එම්බා මහණෙනි. යම් කෙනකුන්ගේ සිත අසුන් පිට තබා ලූ පුසුලක් මෙන් දෝ හෝ
නොහොත් දවසේ ගොඩක හිදුවා ලූ කණුවක් මෙන් ද නැවත තළ ඔළුවෙක තබා ලූ කැණහිල්ල මලක් මෙන් තර නො වේද, නැවත සත් තිස් බෝධි පාක්ෂික ධර්‍මය යම් කෙනෙක් නොදනිද් ද, සැදෑ නැත්තෝ ද නොහොත් මඳකින් ම ඉපිළ යන තරම් වූ තර නො වන සැදෑ ඇත්තෝ ද එසේ වූවන්ට කාමාවචර නුවණ පමණකුත් සම්භ නොවෙයි. රූපාවචර වූ ත් අරූපාවචර වූ ත් ලෝකොත්තර වූ ත් ප්‍රඥා කැලම නො පිරෙයි.
එසේ කල ඒ චතුර් විධ වූ ප්‍රඥාව ඇති වන්නේ කාට ද යත්- යම් කෙනකුන්ගේ සිත රාගාදියෙන් රැඳී නො තිබේ නම්, ද්වේෂයෙන් කැළඹී නො තිබේ නම්, එ සේ වූ රහත් මඟින් නටුවා වූ පින්-පව් ඇත්තවුන්ට ය ම පුත් වූ චිත්තහත්‍ථ තෙරහුද තමන්ගේ සිත තරයක් නැති අවධියේ ඇවිද්දෝ ය. දැන් විවසුන් නමැති චනුවළ ඇති නිවන් නමැති ගල අර්හත් ඵල නමැති කණු ගසා සිත් සතන් නමැති ලණුව බැඳ ලූ හෙයින් ගමන් හළ වූ ය`යි වදාළ සේක. මේ දේශනාවෙන් බොහෝ දෙනාට වැඩ සෑදිණ.
නැවත එක් දවසක් වහන්දෑ ඔවුනොවුන් වහන්සේ ලා කථා වක් කරණ සේක් ‘ඇවැත්නි, මේ කෙලෙස්හු නම් පොරව කුඩා වුවත් මහත් ගසු ත් පැහැර ගන්නා සේ කවර තරමුන්ටත් පීඩා කෙරෙති. මෙ සේ රහත් වන්ට නිසි කුල දරුවාණෝ පවා සවා රෙක සිවුරු හැර සත් වරෙක මහණ වූ ය. රහත් වූ හෙයින් මුත් තව සිවුරු නො හරිද්දැ’යි කියා කථාව කළ සේක.
බුදුහු දිව කනින් ඒ කථාව අසා වදාරා ඒ වේලාවට නිසි ගමනෙ කින් ධර්‍ම සභාවට වැඩ බුදු සස්නෙහි වැඩ හුන් සේක් ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කුමන කථාවක් කොට හුනුදැ’යි විචාරා මේ කථාව නියාව දැන්වූ කල්හි ‘හෙම්බා මහණෙනි, කෙලෙස් සතුරෝ යම් තෙනකට පැමිණියෝ නම් ගෙවල් අත් ගානා සොරු වස්තු ඇති වීමෙන් තරම් ගෙවල් සලක ත් නමුත් මූ තරම් සලකන්නෝ වෙති. ඉදින් මුන් මූර්තිමත් ව එක් තැනෙක ලතොත් සක් වළ ත් සරසින් හක ය. බඹ ලොව ත් උසින් මිටි ය. මූම බොහෝ වූය. පැරුම් බිම දී අප වැන්නන් පවා සලා පෙළා පි යන්නෝ අනික් කවුරුන් බලද්ද ? මම පවා වරා මනාවක් හා උදලු කෙටියත් නිසා ස වාරෙක මහණ ව සවාරෙක ගිහි වීමි’ වදාරා කවර කලද ‘ස්වාමීනි’ විචාළ කල්හි අසනු කැමැති නියා වේ දැයි වදාරා එසේය යි දැන්වූ කල්හි ඉකුත් වත් ගෙන හැර දැක්වූ සේක.
යට ගිය දවස බරණැස බඹදත් නම් රජකු රජ කරණ කල්හි කුද්දාල නම් කෙනෙක් හිමවතට ගොසින් වල් කලා සිවුරු හැඳ පෙරව මහණව හිමත් ගිමන් අට මස හිමවු පියස වැස වැසි සමයේ බිම තෙමුණු කල්හි ‘අප ගේ ගෙයි වරා මනාවක් හා උදලු කෙටියක් ඇත. මෙවක නො වපුළොත් වරා බිජුවට නපුරු වෙයි’ තවුස් වෙස් හැර ගිහි ව එක් බිම් පියසක් හුදැල්ලෙන් කොටා වරා බිජුවට වපුට පියා වරා පැසුණු කල දා ගෙන ගොයම් ගොඩ නඟා වරා බිජුවට නැළියක් තබා ලා සෙස්ස කා පියා ‘මෙ වක කර්‍මාන්තයක් නැති ව ගිහි ව රැඳීමෙන් කම් කිම් දැ’යි නික්ම මහණ වූ ය. මෙ ම ලෙසින් නැළියක් විතර වරා හා හුදලු කෙටියක් නිසා සත් වරෙක ගිහි ව සත් වරෙක මහණ ව සිතන්නෝ ‘මෙම වරා බිජුවට නැළිය හා උදලු කෙටියක් නිසා සත් වරෙක මහණ වීමි. ඒ මෙ තෙක් වර ගිහි වීමි. මූ තමා කෙටි බව මුත් කරවා ලන කට යුත්ත කෙටි නො වෙයි. තුබු තුබූ පමණින් අවැඩක් මුත් වැඩක් නො කෙරෙයි. දමමී’ සිතා ලා ගඟ බඩට ගෙන ගොස් හුණු තැන් දිටිමි නම් පෙරළා ත් හැර ගන්ට සිතෙයි සිතා යම් සේ හුණු තැන් නො පෙනෙ ත් නම් එ ලෙසට දමමී සිතා ලා වරා බිජුවට නැළිය පොට්ටනියෙක බැඳ ලා හුදලු තැටිල්ලේ බැඳ ලා සතුරන් දෙන්නකු එක්කොට බැඳලා ගලින් පාතට දමන කලක් මෙන් හුදලු මිට අගින් අල්වා ගෙන ගඟ බඩ සිට ඇස පියා ගෙන තුන් විටක් ඉස වට සිසාරා පියා ගඟ දියට දමා පියා නැවත බලා හුණු තැන් නො දැක ‘දිනා ගියෙමි’ තුන් විටක් කොට කිවු ය.
එ වේලාවට බරණැස් රජ්ජුරුවෝ පසල් දනවුවේ සොරුන් හකුළුවා ලා අවුත් ගඟ බඩ කඳවුරු බැඳ ගෙන නාන්ට ගඟට බටුවෝ ‘ දිනා ගියෙමි’ යන බස අසා ලා තමන්ට එසේ වූ බස් අප්‍රිය හෙයින් කුද්දාල පණ්ඩිතයත් ළඟට ගොසින් ‘මම සතුරන් පරදවා දිනා අයිමී. තෙපිත් දිනා ගියෙමි කිව. ඒ කිම් දැ යි විචාළෝ ය. කුද්දාල පණ්ඩිතයෝ ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේට පැරදී පිට පුම්බා ‘සතුරෝ බලයක් ලද්දු නම් පෙරළා මුඹ වහන්සේ ත් පරදවති. එ හෙයින් තෙල සේ වූ දිනීම් දිනීමට ගත නො හැක්ක. මම මසුරු සොරුන් පරදවාපීමි. ඌ මා පෙරළා පරදවා නො හෙති. එ සේ වූ දිනීම යහපතැ’යි කියාලා ගඟ දිය බල බලා සිටියෝ දිය පීරා යමක් හැර ගන්නා සේ ධ්‍යාන උපදවා අභිඥාලාභී ව අහස පළක් බැඳ ගෙන හුන්හ. රජ්ජුරුවෝ කුද්දාල පණ්ඩිත තවුසන් ගෙන් බණ අසා පැහැද මහණ කරන්ට ආරාධනා කොට පිරිස හා සමග මහණ වූහ. තවුස් පිරිස සතර ගවුවක් විතර ගලා ගෙන සිටියහ.[5]
අනික් රජ්ජුරු කෙනෙක් බඹදත් රජුන් මහණ වූ නියාව අසා ‘රට හැර ගනිමි’යි අවුත් ධන ධාන්‍ය සම්පත්තීන් පිරී තුබූ නුවර දැක මෙ සේ වූ නුවරක් හැර ගොස් මහණ වන්නේ ඊ නපුරක් නැති බැවින. මම ත් මහණ වෙමි’යි සිතා ගොසින් මහ සතුන් ළඟ සහපිරිවරින් මහණ වූ ය. මෙම ලෙසින් රජ දරුවන් සත් දෙනෙක් රජ සැපත් හැර අවුත් මහණ වූ ය. මුන් හැම දෙනා වසන පන් සල ත් දිගින් පළලින් අට විසි ගවුවෙක. මූ හැම දෙනම ධ්‍යානයෙන් නො පිරිහී බඹ ලොව උපන්හ. එ වක කූද්දාල පණ්ඩිතයෝ නම් මම ය. අප වැන්න වුන්ට තෙල ලෙසක් කරන්නෝ මහ මෙර සොලවා පියන සුළඟ හිඹුල් පුළුනේ නො නවත්නා සේ මුන් බලද් දැ”යි වදාළ සේක.
නුවණැත්තවුන් විසින් මේ අනුශාසනා සිත තබා කිසි ලෙසකිනුත් කෙලෙස් සතුරන්ට අවසරයක් නො පෑ කුසල් ධර්‍ම පුරා ත්‍රිවිධ බෝධීන් එක් බෝධියකට පැමිණිය යුතු.