තවද සිත් ඔස්සේ ම ගොසින් කුසල් මං වරදනවුන්ට වන ආයාස දක්වනු සඳහා භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
සැවැත් නුවර එක් කුළ දරුවාණ කෙනෙක් බුදුන් ගෙන් බණ අසා ගිහිව සිට බණ වූ ලෙස පිළිපැදීම බැරි හෙයින් ගිහි ගෙන් නික්ම මහණව උපසම්පදා ලදින් සඞ්ඝරක්ඛිත තෙරුන් වහන්සේ යයි සසුනඹර පුන් සඳ මෙන් ප්‍රසිද්ධ ව රහත් වූ සේක. උන් වහන්සේගේ නං උපාසිකාවෝ ද පුතණු කෙනකුන් වදා උන්ට නම් තබන්නෝ තෙරුන් වහන්සේගේ නම ම තුබූ ය. භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත කුමාරයෝ ය’යි ප්‍රසිද්ධ ව මහණ වුව මනා වයසට පැමිණ මයිලණුවන් වහන්සේ කෙරෙහිම මහණ ව විසි හවුරුද්ද පිරෙන්නා ම මාලු පැවිදි ව එක් තරා ගමෙක වස් වැස වස් අන්තයෙහි වස් වාසික ලාභ වශයෙන් සත් රියන් ඉණ කඩක් හා අට රියන් ඉණ කඩක් ලදින් අට රියන් ඉණ කඩ උපාධ්‍යායයන් වහන්සේට දෙමි යි සිතා සත්රියන් හිණ කඩ තමන් වහන්සේට සිවුරු කර ගන්ට සිතා ගෙන වස් අන්ත වූ පසු උපාධ්‍යායයන් වහන්සේ දක්නට වඩනා සේක් අතුරු මග සිඟා වළඳා අවුත් තෙරුන් වහන්සේත් සිඟා වළඳා නො වඩනා තෙක් විහාරයට වැඩතෙරුන් වහන්සේ දාවල් හිඳිනා තෙන හැමඳ පියා පා දෝනා පැනු ත් එළවා තබා වැඩ හිඳිනා ආසනයකු ත් පනවා ලා පෙර මං බල බලා වැඩ උන් සේක.
ඉක් බිත්තෙන් වඩනා තෙරුන් වහන්සේ දැක පෙර මඟට ගොසින් පාත්‍රය ත් සඟළ ත් හැර ගෙන තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලාගිම් නිවා පත් සලා ගිම් නිවි කල්හි වළඳනට පැන් දෙවා ලා පය සෝධා දිය සිඳ පියා වැඳ ගෙන අට රියන් හිණ කඩ ගෙනවුත් උභතොසුද්ධික වසයෙන් පා මුල තබා ලා ‘ස්වාමීනි, තිලින් ප්‍රයෝජන වුන මැනැවැ’යි ආරාධනා කොට ලා පත් සල සලා සිටි සේක. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ අපිස් හෙයින් ‘සඞ්ඝරක්ඛිතයෙනි, අපගේ තුන් සිවුරු ම තර ය. තෙපි ම ප්‍රයෝජන විඳුව’යි වදාළ සේක. ‘ස්වාමීනි, ලත් තැන් පටන් නුඹ වහන්සේට දෙමි’ යි නියම කෙළෙමි. ප්‍රසාද හානි ය නො කොට ප්‍රයෝජන වුන මැනැවැ’යි දෙවෙනි ව ත් ආරාධනා කළ සේක. දෙවෙනිව ත් තෙරුන් වහන්සේ නො ඉවසූ සේක. තුන් වෙනි වත් ‘ස්වාමීනි, ප්‍රතික්‍ෂෙප නො කළ මැනව. මුඹ වහන්සේට ප්‍රයෝජන වුනොත් අපට මහා ලාභ ය’යි වදාළ ත් තෙරුන් වසන්සේගේ ඊට සිත්ගන්නා ව්‍යාජ අපිස් කමක් නොවන හෙයින් හා කමල පත්‍ර ගත ජල බින්දුවක් සේ කිසිවෙක ඇල්මක් නැති හෙයින් නො ඉවසූ ම සේක.
නො ඉවසන්නා ම ඔබ සිතන සේක් ‘මම මුන් වහන්සේට ගිහි අවස්ථාවෙහි බෑනණු වෙමි. මහණ වත් සද්ධි විහාරිකයෙමි. මේ ලෙසින් ම අවශ්‍යව සිටිය ත් මා සන්තකය ප්‍රයෝජන විඳිනට මැළි සේක. එ සේ මැළි කල මා මහණ ව සිටීමෙන් කම් කිම්ද? ගිහි වෙමි. ගිහි කම් කටුල් බලා ලූ කලට ඉතා ගහට ය. කෙලෙසින් ජීවත් වෙම් දෝ හෝ, යි සිතන සේක් ‘සිවුරු හැර පියන පමණකට සත් රියන් පමණ හිණ කඩ ඇත. අට රියන් හිණකඩ දී පියා එළියන් වහා වදන හෙයින් එළියක හැර ගනිමි. ඕ වදයි. වැදු වැදූ එළුවන් විකොට ධනී ව වෙමි. ධනී ව ගෙන ලා ගෙදර ඇති කෙරෙමි. ගෙදර විචාරන්ට නිසි තෙනකින් සරණක් විචාරා ගෙනෙමි. ගෙනා කල දරුවන් වදන්නන් එළියන් ම නො වන හෙයින් උයිත් පුතණු කෙනකුන් වදති. උපන් කුමාරයන්ට මාගේ මයිලණුවන් වහන්සේ ගේ නම තබමි. ඉක් බිත්තෙන් ගැලක් ඉදි කරවා ගෙන දරුවනු ත් අඹුවනුත් ඒ ගැල ලා ගෙන අපගේ මයිලණුවන්වහන්සේ වඳිනට යම්හ යි යන ගමනේ අතුරු මගදී දරුවන් මට වඩා ලව’යි උන්ගේ මෑණියන්ට කියමි. ‘එයි ත් මම වඩා ගෙන යමි. නුඹ ගැල පදිනැ’යි කියා ලා මට ත් නො වඩා තමාට ත් පසු ව බර විට දී දරුවන් බිම හෙළා පියයි. වැටීගිය දරුවන් ගැල්සක් මීරිකා ගෙන යෙයි. මම ‘මටත් වඩානුලු යේ යි. තොයි ත් වැඩිය නො හී හෙළා මට මේ සා මුළාවක් කෙළේ ය’යි ඉපල් සොයා ඉපල් නැති වන්නා කැවිටි ලීය බා ලා පිට අවුරා පහරක් ගසමි”යි සිතූ සේක් සලමින් සිටි තල් වටින් තෙරුන් වහන්සේගේ ඉසට පිළී ‛පිළි නො ගත් රොස ත් පලවන්නා සේ පහරක් පහළ සේක.
තෙරුන් වහන්සේ ත් සඞ්ඝරක්ඛිතයන් තල් වැටින් මා ඉස පහරින්ට කාරණ කිම් දෝ හෝ’ යි පර සිත් දන්නා නුවණින් බලා උන් වහන්සේ සිතූ සියල්ල ම හෙළියේ හිඳ කරණ දෙයක් උන්ට නො පැනී බලා දක්නා සේ දැක ‘සඞ්ඝරක්ඛිතයෙනි, ගෑනුන් මැරිය නොහීද අප මාල්ලන් මරන්නේ ය’යි වදාළ සේක. ඒ අසමින්’මට වූයේ කුමන මුළාවෙක් ද? මා සිතූ සියල්ල මා ගේ උපාධ්‍යායයන් වහන්සේ දත් බැවින් ශාසනයෙහි රැඳීමෙන් ප්‍රයෝජන කිම් දැ’යි සලමින් සිටි තල් වැට දමා පියා සිවුරු හරිනට යන්ට නික්මුණු සේක. යාළු මිත්‍ර වහන්දෑ ලුහුබඳවා අල්වා ගෙන බුදුන් කරා ගෙන ගිය සේක. බුදුහු ත් ඒ වහන්දෑ දැක ‘හැයි, මහණෙනි, කුමකට අවුදැ’යි විචාරා වහන්දෑගෙන් එ පවත් අසා එ සේ ද තෙපි සිවුරු හරනට යන්ට නික්මිණි දැ’යි විචාළ සේක. එ සේ ය යි කී කල්හි ‘ඇයි, මහණ, තා එසේ කරණට කාරණ කවරේ ද? තා අල්ප ස්වල්ප එකකු නො වත් වීරිය ඇති බුදු කෙනකුන්ගේ පුතකු වුව. පියන්ට ඇති වීර්‍ය්‍යය පුතුන්ට නැත මනා ද? එ බඳු බුදු කෙනකුන්ගේ සස්නෙහි
මහණ ව සෝවානැ යි හෝ සෙද ගැමි ය යි හෝ අනගැමි ය යි හෝ රහතැ යි හෝ කියවා ගත නොහී ද? මෙ සේ ම කළේ නැ’යි වදාළ කල්හි වස් වාසිකය ලත් තැන් පටන් තල් වැටින් මයිලණුවන් වහන්සේට පහර පහළ තැන් දක්වා වදාරා මයිලණුවන් වහන්සේ ඒ සිතිවිල්ල දත් හෙයින් ලජ්ජා බලවත් ව නික්මුණු නියාව කී සේක.
බුදුහු එ විට ‘තෙපි ඊට අනිකක් නො සිත ව. සිත නම් කෙසඟක් පමණ තෙනට නො යන මුත් පාත අජටාකාශ ය පටන් උඩ අජටාකාශ ය දක්වා දුර වූ ත් දෙය අරමුණු කරණ හෙයින් දුරට යන සුලු ය. එ සේ හෙයින් තොප මෙ තෙක් සිතිවිලි සිතන්ට අරුම නැත. නැවත මේ සිත කැණක් බැන්දා සේ එක විට දෙ තුන් සිතක් පවත්නට නැති හෙයින් සොරුන් හා ත් එක් නො වන මහ සොරකු සේ තනි ව ම හැසිරෙයි. එසේ හෙයිනුත් මූ හසුකරන්ට බැරි ය. මේ සිත දැක හැඳින ගන්ට ශරීරව ත් සැටි යකුත් නැත්තේ ය. අරූප ධර්‍මයා හෙයින් එක් තරා පැයකුත් මූට නැත. එ සේ හෙයින් මේ ය යි බුදු නො ව දන්ට ත් බැරිය. නැවත නියං සමයේ ගෙරි සරක් කොයි ත් කාලා පැනිත්තෙක හෙව වැද භෝනා සේ හෘත්වස්තු වේ[1] අඩුකුළුඳුල්ලක්[2] ලේ නිසා[3] පවත්ති[4] මෙසේ වූ සිත යම් සේ පිරිමි කෙනෙක් වෙත්ව යි, ගෑනු කෙනෙක් වෙත්ව යි, ගිහි කෙනෙක් වෙත්ව යි. පැවිදි කෙනෙක් වෙත්ව යි, දෙවි කෙනෙක් වෙත්ව යි, බඹ කෙනෙක් වෙත්වයි, සෙසු ත් කවුරු වේව යි, නූපන් කෙලෙසුන් නො ඉපැද දී සිහි මඳ ව උපන් කෙලෙසුන් දුරු කෙරෙමින් සිත පනත් කෙරෙත් නම් කම් වටිනු ත් විවා වටිනුත් කෙලෙස් වටිනු ත් මිදෙතී’ වදාළ සේක. දේශනා කෙළවර භාගිනෙය්‍ය සඞ්ඝරක්ඛිත තෙරුන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසුත් බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.
එ සේ සුජනයන් විසින් වපට පෙරාතු කුඹුර කම් පස් කරන්නා සේ සිත් සතන් පිරිසුදු කොට ගෙන සසර දුක් ගෙවන්ට තැත් පිරිය යුතු.