කෙ සේ ද යත්:-
අප ගේ ති ලෝ ගුරු බුදුහු මෙයින් සාරා සැකි කප් සුවහස් මතුයෙහි දඹදිව:
‘නගරෙ අමරවතියා – සුමේධෝ නාම බ්‍රාහ්මණෝ,
අනේක කෝටි සන්තිචයෝ – පහූත ධන ධඤ්ඤිවා’
යනු හෙයින් දඹදිව අමරවතී නම් නුවර සුමේධ නම් බමුණු කුමාර ව-ඉපැද බොහෝ වූ ධන ධාන්‍ය සම්පත්තීන් සමෘද්ධ ව, උගත මනා ශිල්ප ඉගෙන මා පිය දෙ දෙනා ගේ අයාමෙන් උපයා රැස් කළ වස්තු රාශි ය දැක:
‘ධනං සන්නිචයං කත්‍වා - අහො මය්හං පිතාදයෝ,
ගතා මාසකමේකම්පි – නේවාදාය දිවං ඉති’
යනු හෙයින් “අනේ! අපගේ දෙමවුපිය ආදීහු මෙ තෙක් වස්තු උපයා, මී බැඳ පියා බැඳී මීයෙන් කිසිවකුත් නොගෙන යන මී මැස්සන් මෙන් මියැ පර ලොව යන්නාහු මස්සක් විවරත් නො ගෙන ගියහ. උන් හැම හැර ගෙන යන්නට නිසි උපදෙස් නො දැන නො ගෙන ගියත් උපදෙස් දන්නා මා ඒ වස්තුව මා හා කැටි ව ගෙන යන්නට වුව මැනව. මේ හැම ඵල්ගු සහිත හෙයින් මෙ ලෙසින් ගෙන යන්නට බැරි වුවත්, ධර්‍මයෙහි සාරය නම් ධර්‍ම තත්වය වන්නා සේම, මේ වස්තුවෙහි සාරය නම් මේ වස්තුව දාන විෂයෙහි පරිත්‍යාග කිරීම වසයෙන් පැවති කුසල ය. මේ කුශලය තෙමේ ලඝු වී නමුත්, තිබ්බටුවකටත් කුඩා මැණික් ගලින් සමහර මැණික් ගලෙක අගයක් ම නැත්තා සේ විපාක විසින් පමණ නැත්තේ ය. එ හෙයින් දන් දෙමි” සිතා නුවර බෙර ලවා
“හේරිනාද සුගනේධ්න - යාචකාලි සමාගතේ,
දානකිඤ්ජක්ඛ ඔඝෙන - සත්තාහං පීනයී තතෝ”
යනු හෙයින් භේරි නාද නමැති සුවඳින් රැස් වූ, යාචක ජන නැමැති බඹරුන්[1], දාන නැමැති රොනින් සතප්වා, එ සේ දීත් වස්තුව නොනිමන නියාව දැක, “ඉතිරිය අත පුරා සිත පුරා හැර ගනුව’යි විධාන කොට ලා හිමවු පියෙසට ගොසින්:
‘හිමවන්තස්ස අවිදූරේ - ධම්මිකෝ[2] නාම පබ්බතෝ,
අස්සමෝ සුකතෝ මය්හං - පණ්ණසාලා සුමාපිතා’
යනු හෙයින් සක් දෙවිඳු ගේ විධානයෙන් විස්කම් දෙව් පුත් හු දහම් නම් ගල් බඩ මැවූ පන්සලට වැද මහණ ව, මහණ වූ සතිය ඇතුළත පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා, එක් දවසක් නිල් වූ ගුවන් කුසින් නොමැකී පවත්නා විදු ලියක් මෙන් දො-හෝ නොහොත් දකුණු මුහුද නික්මුණු රන් නැවක් මෙන් නොහොත් නිල් බිමක් රන් හූ ගසා බෙදන කලක් මෙන් එක් තරා දසාවකට යන දෑ, එ සමයෙහි පුරා නිමියා වූ පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් චුත ව අවුත් රම්මවතී නම් නුවර, සුදෙව නම් රජුන් නිසා සුමෙධා නම් බිසොවුන් කුස පිළිසිඳගෙන, මැණිකෙක අවුණා ලූ පලස් හුයක් මෙන් දස මසක් වැස, ආකාශයෙන් නිකුත් ශරත් චන්ද්‍රයා මෙන් මවු කුසින් බිහිව වැඩි විය පැමිණ, දිව සැපත් වැනි මනු සැපත් විඳිමින් දස දහසක් හවුරුදු මුළුල්ලෙහි රජ සැපත් වළඳා ස්ත්‍රීන් ලක්ෂයකට ප්‍රධාන වූ පදුමා නම් බිසොවුන් උසභක්ඛන්ධ නම් පුත් කුමරුවන් වැදූ කල්හි, දස දහසක් සක්වළ දෙවි බඹුන් තමන් ගේ අයදමෙන් නොපමා ව මිනිස් ලොව ඉපිදත් එහි කල් යවන නියාව දැන වහා බුදු වන්ට නික්මවන්ට මෙහෙවර එවා ලූ දිව්‍යකුමාර කෙනකුන් වැනි පුත් කුමරුන් දැක මහබිනික්මනට ඉක්මන් ව, ඓරාවත නම් හස්තිරාජයා නැඟී අසුර මථනයට නික්මුණු ලෙසටත් වඩා සුවාසු ඇතුන් පිරිවැරූ ඇත් වාහනයෙකින් මඟුල් උයනට ගොසින් ඒ උයන්හි දී කෙලෙස් සතුරන්හා යුද්ධයට නොවතත් තමදෑ පිරිවරා ඇවිදිනා ලෙසට පුරුෂයන් කෙළක් හා සමඟ මහණ ව, පැරුම් බිම දී කළ වීර්‍ය්‍ය නොමඳ ව ඇතත්, බුදුවන ජාතියේ එ විතරකුත් ඇත මනා බැවින් දස මසක් ප්‍රධන් වීර්ය්‍යයෙහි හැසිර:-
කවරත් බුදු කෙනකුන් වහන්සේ වෙසඟ මැදි පොහෝ දවස් බුදු වන හෙයින් බුදු වන දවස් මහණ ගණා පිරිවරා එක් නුවරෙක සිඟා වැඩ, උත්පත්ති දෙවියන්ට ඉදි කළ කිරි බත විසුද්ධි දෙවි ව පිළිගෙන, තමන් වහන්සේට පැමිණි කොටසෙහි දෙවියන් දිව ඕජස් බහා ලූ හෙයින්, සෙසු දවස් වළඳන භෝජනය එ සේ මෙ සේ සතියක් විචර ආහාරජ රූප ප්‍රසන්න කරත් මුත් වැඩියකට බල නැති හෙයින් එ දවස් ඒ කිරි බත බුදු වූ සතළිස් නව දවසක් සිඟන ගමනුත් නැති ව කළ මනා බුද්ධ කෘත්‍යය ඇති හෙයින් දවසකට ආලොපයක් වන නියායෙන් සතළිස් නව පිඬක් කොට වළඳා නිල් දලා හෝ බඩ සල් උයන්හි දාවල් දවස් යවා සවස සුනන්ද නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන, බොධි වන්නේ පුළිල ගසක් හෙයින් ඒ පුළිල බෝධීන් වහන්සේ කරා එළඹ, අනූ රියන් උස ඇති බෝ රුක් මුල්හි වැඩ හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක් පවත්වා, සූවිසි අසඞ්ඛ්‍යයක් සත්වයන් එක තැන වැඩ හිඳ නිවන් දක්වන්ට බැරි හෙයින් දඹදිව සැරි සරනු නිසා දීපඞ්කර බුදුරජාණන් වහන්සේ රඹ ගම් නුවරට වැඩ සුදසුන් වෙහෙර වසන කල්හි රඹ ගම නුවර ඇත්තවුන් බුදුන්ට ආරාධනා කොට ලා සිඟා වඩනා මඟ සතුටු සතුටු ව ඉදි කරන්නවුන් දැක අහසින් යන ගමන් තබා සක්විති රජ්ජුරු කෙනකුන් අහසින් යන ගමනේ කනින් ගැලවී වැටෙන රුවන් තෝඩුවක් මෙන් බිමට බැස, උන් හැම අතින් විචාරා, බුදු කෙනකුන් වහන්සේ වඩනට ඉදි කරන මඟක් නියාව අසා, තමන් දෑත් මං ඉදි කිරීමට සහාය වීමටත් වඩා කුසල් නැමැති බිජුවට වපුරන්ට තුනුරුවන් නැමැති කෙත විනා අනික් කෙතක් නැති බැවින් කරන්ට සිතන කුසලයට කෙත් වූ මං පෙත් ඉල්ලාගෙන සෙස්සවුන් තමන් තමන් පමණක් නිවන් පුර වදනට කුසල් මං කරන හෙයින්:-
‘යා පලාලමයං මාලං - නාරී දත්‍වාන චේතියේ.
අලත්‍ථ කඤ්චනමයං මාලං - සත්තබොජ්ඣඞ්ගිකඤ්ච සා’
යනු හෙයින් දා ගබකට පිදුරු කැටියක් මාලාවක් කොට සිතා පුදා ලු පමණෙකින් පසුව ලක්ෂයක් අගනා රන්මාලාවකුත් අගයක් ම නැති නිවන් නැමැති මහ ලිය පළඳනාවත් කුමාරිකා කෙනකුන් ලත් හෙයින් ළං තැනකට කරන හරසර මඟක් සේ ලඝු වූත් ප්‍රයෝගයෙන් කුසල් මං පෙති හැම[3] සාදන්නා සේ, ඒ ඒ දෙනාට නියම වූ මං පොලු නිමා ගියත් ඒ මහා පුරුෂයා බුදු බව පතා සූ විසි අසඞ්ඛ්‍යයක් පමණ දෙනාත් හැර ගෙන නිවන් පුර වදනට සොයන කුසල් මඟ, සාරා සැකි කප් සුවහස් ගිය කලට මුත් අතුර මුළුලු නොවන නියාවට දෘෂ්ටාන්තයා සේ ඉදි කරන්ට පටන් ගත් මං කපොල්ල නොනිමන තෙක්ම වැඩියා වූ තිලෝගුරු බුදු රජුන් වහන්සේට ‘කෙලෙස් වතුරින් පිරුණු සසර නැමැති මහ මුහුදින් චතුර්විධ විනේය ජනයන්[4] එ තර වන්ට ලු හෙයක් වැනි මම ද නුඹ වහන්සේට හෙයක් වෙමි’යි දොඹ මල් ඇතිරියක් වැනි වූ අඳුන් දිවි සම කළල් මඬ මත්තෙහි අතුට:-
‘කිමඤ්ඤාතකවෙසෙන – ක්ලෙස නිබ්බාපනෙන මෙ,
අයං බුද්ධොව’හං බුද්ධො – හුත්‍වා ලොකෙ අනුත්තරො,
ජනතං ධම්මනාවාය – තාරෙත්‍වාන භවණ්ණවං,
නිබ්බානපුරමානෙත්‍වා – සෙය්‍යා මෙ පරිනිබ්බුතං’.
යනු හෙයින් සසරට පිටි පානා පමණක් මුත් බුදු බවට මුහුණ ලා මූණින් වැද හෙව ඒ තිලෝගුරු බුදුන් ගෙන් ද ‘මේ තෙමේ මතු එන දවස සිල් නැමැති පොළොවැ, ප්‍රඥා නැමැති මුල් ඇති, සිහි නුවණ නැමැති තෝතැන්නක් ඇති, කරුණා නැමැති පැනින් ඇති වූ, සමාධි නැමැති කඳක් ඇති, මෙත් නැමැති ලියෙකින් වළඳනා ලද පඤ්ච විධ විමුක්ති නැමැති අතු පතර ඇති, ත්‍රි විධචර්‍යා නැමැති පල්ල ව ඇති, අභිඥා නැමැති මල් ඇති, බෝධි සම්භාර කප් රුක සර්‍වඥතාඥාන නැමැති අමා ඵල ගන්වයි හෙවත් බුදු වෙයි. මොහු බුදු වන ජාතියෙහි උපදනා නුවර කිඹුල්වත් නම් නුවරය. මුන්ගේ මෑණියෝ මහාමායා බිසෝ ය. පියාණෝ සුදොවුන් මහ රජාණෝ ය. මූ තුමූ ගෞතම නම් හ. සැරියුත්-මුගලන් ය යන තෙර සඟළෙක් අග සවු වෙති. ආනන්‍ද නම් තෙර කෙනෙක් අග්‍ර උපස්ථායක වෙති. ඛේමාවෝ ය. උප්පලවණ්ණාවෝ ය. යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවිකා වෙති. බොධි වන්නේ ඇසතු ගසෙක’ යනාදීන් ඔබ ගෙන් විවරණ ලදින්:-
නැවත ඔබට ඉක්බිති ව කප් අසංඛ්‍යයක් ගිය කලට තුන් අසංඛ්‍යයක් කප් හා තවත් කල්ප ලක්ෂයක් තිබිය දී, පැරුම් පුරා නිමවා සිටි කොණ්ඩඤ්ඤ බෝසත්හු තුසී පුරෙන් චුත ව අවුත් දඹදිව රම්මවතී නම් නුවර සුනන්‍ද නම් රජ්ජුරුවන් නිසා සුජාතා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් බිහි ව, ශක්‍ර සම්පත් විඳැ කුසීතව මිනිස් ලොව රජ සැපත් විඳින සක් දෙවිඳු ලෙසින් දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තුන් ලක්ෂයක් පමණ පුරඟනන්ට ප්‍රධාන වීමෙන් අග මෙහෙසුන් වූ රුචි නම් බිසොවුන් විජිතසෙන නම් පුත් කුමරුවන් වැදූ කල්හි, මහබිනික්මනට සිතා, රථ වාහනයෙකින් නික්ම දස කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, දස මසක් මුළුල්ලෙහි ප්‍රධන් වීර්ය්ය කොට, බුදු වන දවස් සුරීන්‍ද නම්-ගම යශෝදරා නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා, සවස් වේලෙහි සුචන්‍දක නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන, කොණ්ඩඤ්ඤ නම් බුදුන්ට බෝධි – බුදුන් සමයෙක හා සක්විත්තන් සමයෙහි මුත් සෙසු කලෙක පහළ නොවන – කලණ ගස හෙයින් ඒ සල් කලණ නම් බෝධීන් වහන්සේ කරා එළඹ, තණ බිම සලා වගුරුවා අට පනස් රියන් තණ ඇතිරියෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා, බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා, කෙළ ලක්ෂයක් පමණ රහතන් පිරිවරා දනවු සැරිසරන සේක් චන්ද්‍රවතී නම් නුවරට වැඩි සේක.
එ කල අපගේ බෝසත්හු විජිතාවි නම් සක්විති ව බුදුන් ඒ නුවරට වැඩි නියාව අසා, දහම් සක පැවති කලට සක් රුවනෙහි අනුභව[5] නැති හෙයින් දහම් සක ම අසනුවන්ට බුදුන් කරා එළඹ වැඳ පවරාගෙන වස් සාර මස මහදන් දී නිකම් වැසි තරමටත් වඩා දහම් වැසි වස්වා ඔබගෙනුත් වීවරණ ලදින්:
ඔබට ඉක්බිති ව තවත් කප් අසඞ්ඛ්‍යයක් බුද්ධ ශූන්‍ය වූකල්හි දෙ අසංඛ්‍ය කප් ලක්ෂයක් තිබිය දී මඞ්ගල නම් බෝසත්හු තුසී පුරෙන් සැව දඹදිව සියලු නුවරවලට උතුම් ව සිටිනා හෙයින් උත්තරා නම් වූ නුවර යස සම්පත්තීන් වඩනා රජ්ජුරු කෙනකුන් නැති හෙයින් උත්තර නම් වූ රජුන් නිසා රූපශෝභාදීන් වැඩි සිටිනා බිසෝ කෙනකුන් නැති හෙයින් උත්තරා නම් බිසොවුන් කුස පිළිසිඳගෙන දස මස් අයාමෙන් බිහි ව වැඩි විය පැමිණ දහසක් පුරඟනන්ට ප්‍රධානවූ යසවතී නම් බිසොවුන් සීලව නම් පුත් රුවන වැදූ කල්හි මහණ වන්ට, නික්මෙන දා, වලාහක නම් අශ්වරාජයා පිටට පැන නැඟී දික් විජය[6] කරන සක්විත්තන්ට අපහාස කෙරෙමින් මෙන්[7] අස් වාහනයෙකින් නික්ම තුන් කෙළක් පමණ පුරුෂයන් හා සමඟ මහණව, අට මසක් බුදු වන්ට වීර්‍ය්‍ය කොට, බුදු වන දවස් උත්තරා නම් ගම උත්තර නම්සිටුදියණියන් දුන් කිරි බත වළඳා, සල් උයන්හි[8] දාවල් දවස් යවා උත්තර නම් ආජීවකයන් දුන් හී තණ අට මිට හැර ගෙන, ඔබට බෝධි-නා ගස හෙයින් නා බෝධීන් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා අට පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ, බුදු ව සත් සති යවා මහබඹහුගේ අයදමෙන් දහම් සක පවත්වා දනවු සැරිසරන සේක්- දඹදිව මේඛලා නම් නුවරට වැඩි සේක. එ කල අප ගේ බෝසත්හු සුරුචි නම් බ්‍රාහ්මණ ව බුදුන් ඒ නුවරට වැඩි නියා අසා බුදුන් කරා එළඹ මියුරු වූ බණ අසා බුදුන් කෙරෙහි පැහැද, බුදුන් ප්‍රධාන වූ කෙළ ලක්ෂයක් මහ සඟනට ආරාධනා කොට වඩා ගෙන ගොසින්, සක් දෙවිඳුහු මවා ලූ අට සාලිස් ගවු පමණ දිග-පළල ඇති රුවන් මඩුවෙහි වඩා හිඳුවා, සතියක් මුළුල්ලෙහි අසාගත්, කෙලෙස් කසල නුමුසු බණ සේම, පැන් නුසුමු කිරි බත් දන්දී, කෙළවර දවස කෙළ ලක්ෂයක් පමණ පාත්‍රා පුරවා ශර්‍කරා- ගිතෙල්-උක් සකුරු-මී ආදී වූ බෙහෙත් බඩුත් හැමටත් අඩු තරම් සිවුරු පිරිකර ලක්ෂයක් වටිනා තරමේ කෙළ ලක්ෂයක් පමණ සිවුරු පිරිකරත් දන් දීලා, බුදු බව පතා ම කළ පරිත්‍යාගයක් හෙයින් ඔබගෙනුත් විවරණ ලදින්:-
ඔබට ඉක්බිති ව එම කප සුමන නම් බෝසත්හු පුරා නිමියා වූ පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් චුත ව දඹ දිව් නැමැති ඔටුන්නෙහි ඔබාලූ මැණිකක් වැනි වූ මෙඛලා නම් නුවර සුදත්ත නම් රජුන් නිසා, සිරිමා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන, දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ නව දහසක් හවුරුදු රජ සැපත් වළඳා තෙ සැට දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ වටංසකා නම් බිසොවුන් අනූපම නම් පුතණුවන් වැදූ කල්හී මහබිනික්මන් නික්මෙන කල ඇත් වාහනයෙකින් නික්ම තිස් කෙළක් මිනිසුන් හා සමඟ මහණ ව, මහණ ගණා පිරිවරා දස මසක් මුළුල්ලෙහි ප්‍රධන් විර්ය්ය කොට බුදු වන දවස් අනූපම නම් නියන් ගම අනූපමා නම සිටු දියණියන් දුන් කිරි බත වළඳා, සවස් වේලෙහි අනූපම නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන, ඔබටත් බෝධි නා ගස හෙයින් නා බෝධීන් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා, තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා දනවු සැරි සරන සේක.
එ කල අප ගේ බෝසත්හු අතුල නම් දිව්‍ය නාග ව බුදුන් ලොවඋපන් නියාව අසා, නාග භවනයෙන් අවුත් කෙළ ලක්ෂයක් පමණ වූ බුදු පාමොක් මහ සඟනට මහ පුද කරවා, මහ වතුරක් මෙන් මහ දන් දී කෙළ ලක්ෂයක් පමණ සළු සඟළවලුත් දන් දී, ප්‍රතිසන්ධිය අහේතුක වුවත් කරන කුසලයෙහි අහේතුක කමක් නැති හෙයින් ඔබගෙනුත් විවරණ ලදින්-
ඔබට ඉක්බිති ව එම කප පැරුම් පුරා නිමවා සිටි රේවත නම් මහ බෝසත්හු තුසී පුරෙන් සැව සියලු ධන ධාන්‍යසම්පත්තීන් සමෘද්ධ වූ සුධඤ්ඤවතී නම් නුවර සව් බරණින් සැරහුණු ශුචි පවිත්‍ර වූ පිරිවර ඇති සම්පත්තීනුත් විපුල වූ, විපුල නම් රජුන් නිසා සියල්ලන්ගේ නෙත් නැමැති බඹරුන් විසින් ගැවසී ගත් නෙත් නැමැති මහනෙලින් හා මුව නැමැති පියුමෙන් හා බබළන පියුම් විලක් සේ ශෝභාවත් වූ ආයු ශක්තිය විපුල නුවුවමනා හෙයින් විපුල නුවූවත් සම්පත් ආදීන් විපුල වූ විපුලා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් සිත් කුළු පවුවෙන් බස්නා රන්වන් හංසයකු මෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ ස දාසක් හවුරුදු ගිහි සැපත් වළඳා තෙ තිස් දහසක් පුරඟන්ට ප්‍රධාන වූ සුදසුන් නම් බිසොවුන් වරුණ නම් පුත් රුවන වැදූ කල්හි මහණවන්ට නික්මෙන දා දෙ දෙව්ලොව දෙවියන් පිරිවරා විජයොත්[9] රථයට නැඟී නඳුන් උයනට නික්මුණු සක් දෙවිඳු ලෙසින් සිවුරඟ සෙනඟ පිරිවරා රථයෙකින් නික්ම, කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණව, සත් මසක් මුළුල්ලෙහි බුදු වන්ට වීර්‍ය්‍ය කොට බුදු වන වෙසඟ මැදි පොහෝ දවස් යසෝධරා නම් බිසොවුන් දුන් කිරි බත් වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි තරුණින්ධර[10] නම් ආජීවකයන් දුන් හී තණ හැරගෙන ඔබටත් බෝධි නා ගස හෙයින් නා බෝධීන් වහන්සේ කරා එළඹ තණ සලා වගුරුවා, තෙ පනස් රියන් තණ ඇතිරිය අතුට එහි වැඩ හිඳ බුදුව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා සත්ත්‍වානුග්‍රහ නිසා දනවු සැරිසරන සේක.
එ කල අප ගේ බෝසත්හු අතිදේව නම් බ්‍රාහ්මණ ව බුදුන් කරා ගොසින් ඔබ ගේ බණ අසා, තමන් ගේ වේද වේදාඞ්ගයෙහි නොපිහිටා සරණ ශීලයෙහි පිහිටාගෙන තමන් සක්කතයෙහි අභ්‍යාස බලවත් හෙයින් සිලෝ[11] දහස් ගණනින් බුදුන් ගේ ගුණ කියා ලක්‍ෂයක් අගනා උතුරු සළුවක් පුදා, ඒ රේවත නම් බුදුන්ගෙනුත් විවරණ ලදින්-
ඔබට ඉක්බිති ව එම කප සෝභිත නම් බෝසත්හු තුසී පුරෙන් චුත ව සුධර්මා නම් නුවර සුධර්‍ම නම් රජුන් නිසා සුධර්මා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන, දස මස් අයාමෙන් මවු කුසින් මේඝ මුඛයෙකින් නිකුත් පුන් සඳක් මෙන් නිකුත් ව වැඩිවිය පැමිණ නව දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, සැත්තෑ දහසක් පුරඟනන්ට ප්‍රධානවූ මඛිලා නම් බිසොවුන් සීහ නම් පුතණුවන් වැදූ කල්හි, එ දවස් ම මහණ වි ය යුතු හෙයින් දුර නො ගොසින් මාළිගාවේ දී ම මහණ ව, සතියක් මුළුල්ලෙහි මාළිගාවේදී ම ප්‍රධන් වීර්ය්ය කොට බුදු වන දවස් මඛිලා නම් බිසව දුන් කිරි බත මාළිගාවේ දී ම වළඳා මහබිනික්මන සිතූ දෑය, සිතන්නා ම මාළිගාව නිල්වූ ගුවන් කුසට එදවස් මැදි පොහොයේ නැඟෙන සඳට අපහාස්‍ය කෙරෙමින් නැඟෙන අනික් සඳක් මෙන් පැන නැඟීලා සියලු අහස[12] බබුළුවමින් ගොසින් අටාසූ රියන් උස ඇති, සුදු වූ කඳක් ඇති, මලින් පල්ලෙන් සැදුම් ලත් නා බෝධිය මධ්‍යකොට ලා බිම පිහිටා ගත. නළු ගෑනුත් කිසි කෙනකුන් ගෙනුත් විධානයක් නැති ව ම මාළිගාවෙන් බැස පියා නැඟී ගියහ. බෝසත්හු ද බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක පවත්වා ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප ගේ බෝසත්හු රම්‍යවතී නම් නුවර සුජාත නම් බ්‍රාහ්මණ ව බුදුන් ගෙන් බණ අසා, ශරණ ශීලයෙහි පිහිටා බුදු පා මොක් මහ සඟනට තුන් මසක් මහ දන් දී තිවට නසන්නට හේතු කොට ගෙන ඒ සෝභිත බුදුන් ගෙනුත් විවරණ ලදින්-
තව ද ඔබට ඉක්බිති ව කප් අසඞ්ඛ්‍යයක් ගිය කලට මෙ කපට ඒකාසඞ්ඛ්‍ය කප් ලක්ෂයෙක දී පුන් පැරුම් ඇති අනෝමදස්සී බෝසත්හු තුසී පුරෙන් සැව දඹ දිව සඳවත් නම් නුවර යසවත් නම් රජුන් නිසා රන් වන් හංස යුග්මයක් වැනි පයෝධර ඇති යසෝධරා නම් බිසවුන් කුස පිළිසිඳගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව, වැඩි විය පැමිණ, දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තෙ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සිරිමා නම් බිසොවුන් උපවාන නම් පුතණුවන් වැදූ කල්හි රන් සිවිගෙයෙකින් මහබිනික්මන් නික්ම මිනිසුන් තුන් කෙළක් හා සමඟ මහණ ව, දස මසක් ප්‍රධන් භූමි යෝග කොට බුදු වන දවස් අනුපමා නම් බමුණු ගම අනුපමා නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා, සවස් වේලෙහි අනෝපම නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි කුඹුක් ගස හෙයින් කුඹුක් බෝධීන් වහන්සේ කරා එළඹ හී තණ බිම සලා වගුරුවා අට තිස් රියන් තණ ඇතිරියේ හිඳ බුදු ව සත් සති යවා, මහ බඹහු ගේ අයැදමෙන් බණ දෙසා, සත්ත්‍වානුග්‍රහ නිසා දනවු සැරිසරන සේක.
එ කල අප මහබෝසත්හු මහානුභාවසම්පන්න යක් සෙනෙවි ව බුදුන් කරා අවුත් සඳ මඬල දෝ හෝ යි සිතන තරම් රුවන් මඬුවක් මවාලා සතියක් මුළුල්ලෙහි බුදු පාමොක් මහ සඟනට මහ දන් දී අනෝමදස්සී බුදුන්ගෙනුත් ‘දැන් මූ තුමූ යක් සෙනෙවි වූවෝ වෙත් ද, මතු එන දවස දහම් සෙනෙවි කෙනකුන් ඇතිව දහම් සක් පවත්වතී’ විවරණ ලදින්-
ඔබට ඉක්බිති ව එම කප පුන් පැරුම් ඇති පදුම නම් බෝසත්හු තුසී පුරෙන් සැව චම්පා නුවර සරි සාමාන්‍ය[13] අනික් රජ්ජුරු කෙනකුන් නැති හෙයින් අසම නම් රජ්ජුරුවන් නිසා රූප ශෝභාදීන් අනන්‍ය සාධාරණ බැවින් අසමා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහිව වස් වන දහම් වැස්සට පෙරාතු ව[14] මුළු දඹදිව පියුම් වැසි වස්වා වැඩි විය පැමිණ දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තිස් තුන් දහසක් පමණ පුරඟනන්ට ප්‍රධාන වූ උත්තරා නම් බිසොවුන් රම්‍ය නම් පුත් කුමරුවන් වැදූ කල්හි, මහබිනික්මන් නික්මෙන දා රථ වාහනයෙකින් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමග මහණ ව, අට මසක් මුළුල්ලෙහි ප්‍රධන් වීර්ය්ය කොට බුදු වන දවස් ධඤ්ඤවතී නම් නියම් ගම ඒ නමැති සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි තිත්‍ථක[15] නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි හුණ ගස හෙයින් හුණ බෝධින් වහන්සේ කරා එළඹ හී තණ සලා බිම වගුරුවා, අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව, සත් සති යවා සද්ධර්‍මවර චක්‍රවර්ති වූ නියාවට දහම් සක පවත්වා එක් කලෙක හිමවු පියසට වැඩි සේක.
එ කල අප මහ බෝසත්හු නරසීහ වීමට පූර්‍ව නිමිත්තයා සේ සිංහ ව ඉපැද හිමවු පියසට වැඩි පදුම නම් බුදුන් දැක බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා බුදු වූ කල සති සතක් ම සිඟා නොයන්නා සේ සතියක් මුළුල්ලෙහි සොයා ලබන ගොදුරට බුද්ධාලම්බන ප්‍රීති ගොදුරු ඉතා රසවත් හෙයින් ගොදුරට නො ගොස් නො ලත් ගොදුරු සරියට ඔබ ගෙනුත් විවරණ ලදින්—
ඔබට ඉක්බිති ව එම කප නාරද නම් මහ බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින්, තුසී පුරෙන් චුත ව දඹදිව ධඤ්ඤවතී නුවර සංවෘත්ති වෙද්යන්ට උතුම් හෙයින් සුදේව නම් රජුන් නිසා ලාමක කමක් දුස්නායෙන්[16] නැත හෙයින් අනෝමා නම් බිසවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් බිහි ව වැඩි විය පැමිණ, නව දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා එක් ලක්ෂ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ විජිතසේනා නම් බිසවුන් නන්‍දුත්තර නම් පුතණුවන් වැදූ කල්හි මහබිනික්මනට ඉක්මන් ව, වාහන සෙවීම කල් යන්නා සේ මහ සෙනඟ පිරිවරා පයින් ම උයනට ගොසින් ලක්ෂයක් දෙනා හා සමඟ මහණ ව[17]සතියක් ප්‍රධන් විර්ය්ය කොට ලා බුදු වන දවස් විජිතසේනා නම් බිසොවුන් දුන් කිරි බත වළඳා, ඒ උයන දාවල් දවස් යවා, සවස සුදසුන් නම් උයන් පල්ලා දුන් හී තණ හැරගෙන ඔබට බෝධි මුරුත ගස හෙයින් මුරුත බෝධීන් වහන්සේ කරා එළඹ හී තණ සලා බිම වගුරුවා අට පනස් රියන් තණ ඇතිරිය පිට හිඳ බුදු ව සත් සති යවා, බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා ජනානුග්‍රහ නිසා දනවු සැරිසරන සේක.
එ කල අප මහ බෝසත්හු තවුස් වෙස් ගෙන මහණව අභිඥා ලාභී ව හිමවු පියෙසැ වසන දෑ ය. නාරද බුදුහුත් බෝසතුන් කෙරෙහි අනුකම්පාවෙන් අසූ කෙළක් රහතන් ද, අනැගැමි උපාසකවරුන් දස දහසක් ද හැර ගෙන හිමවු පියසට වැඩි සේක. මහ බෝසත්හු ද බුදුන් දැක පැහැද මහතට පතන හෙයින් පන්සලක් මහත් කොට මවාලා තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහිත් බුදු වූ කල නන්‍ද මහ තෙරුන් වහන්සේ ගේ බණ තුන් යම් රාත්‍රියෙහි අසන්නාසේම-අසා දෙවන දවස් උතුරු කුරු දිවයිනට ගොසින් සිඟාගෙනවුත් අසූ කෙළක් රහතුන් පිරිවරා වැඩි බුදුන් වළඳවා, අනැගැමි උපාසක වරුනුත් අනුභව කරවා, මේ නියායෙන් සතියක් උපස්ථාන කොට රත් සඳුන් ගෙනවුත් ඉන් බුදුන්ට පූජා කොට ඔබ ගෙනුත් විවරණ ලදින්—
තව ද ඔබට ඉක්බිති ව කප් අසඞ්ඛ්‍යයක් ගිය කලට මෙ කපට ලක්ෂයක් වන කප පුන් පැරුම් ඇති පියුමතුරා නම් බෝසත්හු තුසී පුරෙන් සැව දඹ දිව හංසවතී නම් නුවර ආනන්ද නම් රජුන් නිසා සුජාතා නම් බිසොවුන් කුස පිළි- සිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ දස දහසක් හවුරුදු ගිහි සැපත් වලඳා, එක් ලක්ෂ විසි දහසක් රහතුන්ට ප්‍රධාන වූ වසුදත්තා[18] නම් බිසොවුන් උත්තර නම් නිරුත්තර පුත් රුවන වැදූ කල්හි මහණ වන්ට නික්මෙන්ට සිතන්නා ම, වසවත් නම් පහය අහසට පැන නැඟී ලා මහබිනික්මන් කරන දවස් රාත්‍රියට එක සඳ මඳ හෙයින් අනික් සඳක් නැඟි කලක් මෙන් අහසින් ගොසින් බෝ මැඬ මධ්‍ය කෙරෙමින් බට. මහ බෝසත්හු ද මාලිගාවෙන් බැස ලා කැටි ව ගියවුන් ගෙන් ගෑනුන් පමණක් සිටිය දී මහණ වුවමනා සෙස්සවුන් හා සමඟ මහණ වූ දෑ ය. මාළිගාවත් අවුත් ආදි තිබූ තැන ම පිහිටි ය. මෙ සේ මහණ වලා සතියක් ප්‍රධන් වීර්ය්ය කොට බුදුවන දවස් උජ්ජේනි නම් නියම් ගම රුචිනන්දා නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා, සල් වෙනෙහි දාවල් දවස් යවා, සවස් වේලෙහි සුචිත්ත නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන, ඔබට බෝධි සළල ගස හෙයික් සළල බෝධීන් වහන්සේ කරා ගොසින් තණ සලා බිම වගුරුවා අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ, බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා ජන සංග්‍රහ සඳහා දනවූ සැරසරන සේක.
එ කල අප ගේ බෝසත්හු ජටිල නම් රැටි ව බුදු පාමොක් සඟනට මහ දන් දී සිවුරු පිරිකරත් පිළිගන්වා, ඔබ ගෙනුත් විවරණ ලදින්—
ඔබට ඉක්බිති ව කප් ලක්ෂයෙන් සැත්තෑ දහසක් කප් ගිය කලට මෙ කපට තිස් දහසක් කපින් ඔබ්බෙහි පුන් පැරුම් ඇති සුමේධ නම් බෝසත්හු තුසී පුරෙන් චුත ව, සුදසුන් නම් නුවර සුදන්ත නම් රජුන් නිසා, සුදන්තා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන, දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ නව දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, අටසාළිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සුමනා නම් බිසොවුන් පුනබ්බසුමිත්ත නම් පුතණුවන් වැදූ කල්හි, මහබිනික්මන් නික්මෙන ගමනේ, ඇත් වාහනයෙකින් නික්ම කෙළ සියයක් විතර මිනිසුන් හා සමඟ මහණ ව අට මසක් බුදුවන්ට වීර්‍ය්‍ය කොට බුදු වන දවස් නකුල නම් නියම් ගම නකුලා නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දවල් දවස් යවා, සවස සිරිවඩ්ඪන[19] නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි බක් මී ගස හෙයින් බක් මී බෝධීන් වහන්සේ කරා එළඹ ගෙන ගිය තණ සලා බීම වගුරුවා, විසිරියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා, දහම් සක පවත්වා ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු සියලු ලෙසින් නිරුත්තර වූ උත්තර නම් දරු ව[20], අසූ කෙළක් වස්තුව බුදු සස්නට ම වියදම් කොට සසුන් වැද මහණ ව ලොවුතුරා ගුණ නොලදත් ඔබගෙනුත් වීවරණ ලදින්—
ඔබට ඉක්බිති ව එම කප සුජාත නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරෙන් සැව සුමඞ්ගල නම් නුවර සියලු ලෙසින් උද්ගත හෙයින් උද්ගත නම් රජුන් නිසා. ප්‍රභාවතී නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් බිහි ව, වැඩී විය පැමිණ දස දහසක් හවුරුදු ගිහි ගෙයි වැස, තෙ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සිරිනන්දා නම් බිසොවුන් උපසේන නම් පුතණුවන් වැදූ කල්හි මහබිනික්මන් නික්මෙන ගමනේ හංස වසභ නම් අස් වාහනයෙකින් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, නව මසක් බුදු වන්නට වීර්‍ය්‍ය කොට බුදු වන දවස් සිරිනන්‍ද නම් නුවට සිරිනන්‍ද නම් සිටාණන් ගේ දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස සුනන්ද නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන ඔබටත් බෝධි හුණ ගස හෙයින් ඒ හුණ බෝධීන් වහන්සේ කරා ගොසින් හී තණ සලා’බිම වගුරුවා, තෙ තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා උතුම් වූ දහම් සක පවත්වා, ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු සක්විති රජව ඉපැද බුදුන් කරා ගොසින් ආර්‍ය්‍ය ධනය[21] ලබන්ට රුවන් සතත් බුදු වන්ට පුදා චතුස්සත්‍ය ප්‍රතිවේධය නිසා කොදිව් සහිත සතර මහ දිවයිනත්[22] පුදා, රටින් උපන් අයෙක් ඇත් නම් ඉන් බුදු පා මොක් මහ සඟනට උපස්ථාන කරන්නට රට වැස්සන්ට නිල කරවා ලා මහණ ව ඒ සුජාත නම් බුදුන්ගෙන් ද විවරණ ලදීන්-
ඔබට ඉක්බිති ව මේ අප ගේ බුදුන් බුදු වූ කපට එක් සිය අටළොස් කප් තිබිය දී එක් කපෙක පියදස්සි නම් බෝසත්හු පුරා නිමියා වූ පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් සැව සුධඤ්ඤ නම් නුවර සුදත්ත නම් රජුන් නිසා පුන් සඳක් වැනි සොමි මුහුණක් ඇති හෙයින් චන්ද්‍රා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව නව දහසක්[23] හවුරුදු ගිහි සැපත් වළඳා තෙ තිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ විමලා න බිසොවුන් කඤ්චනවේඨ නම් පුත්රුවන වැදු කල්හි රථ වාහනයෙකින් මහබිනික්මන් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, ස මසක් බුදු වන්ට වීර්‍ය්‍ය කොට, බුදු චන දචස් වරුණ නම් බමුණු ගම වසභ නම් බමුණානන් ගේ දියණියන් දුන් කිරිබත වළඳා, සල් උයන්හි දාවල් දවස් යවා, සවස සුජාත නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි කුඹුක් ගස හෙයින් කුඹුක් බෝධීන් වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා බිම චගුරුවා, තෙ පනස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා සත්ත්‍වානුග්‍රහ පිණිස දනවු සැරිසරන සේක.
එ කල අප මහ බෝසත්හු කාශ්‍යප නම් බ්‍රාහ්මණ ව බුදුන් කරා ගොසින් ඔබ ගෙන් බණ අසා ති ලකුණු මෙනෙහි කිරීමෙන් ත්‍රිවෙදය අත් හැර තිසරණ පිහිටා, කෙළ ලක්ෂයන් පමණ ධන වීයදම් කොට විහාරයකුත් කරවා දන් දී ඔබ ගෙනුත් විවරණ ලදින්—
ඔබට ඉක්බිති ව එම කප අත්‍ථදස්සී නම් බෝසත්හුපුන් පැරුම් ඇති ව, තුසී පුරෙන් චුත ච ශෝභන නම් නුවර සාගර නම් රජුන් නිසා සුදොවුන් නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩී විය පැමිණ දස දහසක් හවුරුදූ ගිහි සැපත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ විශාඛා නම් බිසොවුන් සෙල නම් පුතණුවන් වැදූ කල්හි, අස් වාහනයෙකින් මහබිනික්මන් නික්ම නව කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණව අට මසක් ප්‍රධන් වීර්ය්ය කොට බුදුවන දවස් සුචින්‍දිරා[24] නම් නාග මාණවිකාවන් දුන් කිරි බත වළඳා, සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි මහා රුචී නම් නා රජහු දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි සපුගස හෙයින් සපු බෝධීන් වහන්සේ කරා එළඹ[25] හී තණ සලා බිම වගුරුවා තෙ පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් ධම් සක් පවත්වා, ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු චම්පක නම් නුවර සුසීම නම් බ්‍රාහ්මණ ව, කෙළ ගණන් සැපත් යාචකයන්ට දන් දී හිමවූ – පියසට ගොසින් මහණ ව අභිඥාලාභී ව අත්‍ථදස්සී නම් බුදුන් ලොව පහළ වූ නියාව අසා ඔබ කරා ගොසින් ඔබ වස්වන දහම් වැසි දැක තමන් දෑගේ අනුභාවයෙන් සතර මහා දිවයින එක පැහැර වස්වන වැස්සක් පරිද්දෙන් පරසතු-මඳාර ආදී වූ දිව මල් වැසි වස්වා, මට මල් තොරණ ආදිය මවා, මදාරා මලක් බුදු වන්ට කුඩයක් කොට සිට ‘මේ මට කළ මල් කුඩයට තුන්ලොව පතළ කීර්ති නමැති හෙළ කුඩ ලදීන් බුද්ධ රාජ්‍යය[26] සාධා ගෙන සද්ධර්‍ම චර චක්‍රවර්ති වෙයි’ කියා ඔබ ගෙනුත් විවරණ ලදින්—
ඔබට ඉක්බිති ව එ ම කප ධම්මදස්සී නම් බෝසත්හු පුන් පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් සැව සරණ නම් නුවර සියලු ලෝ වැස්සන්ට සරණව සිටිනා සරණ නම් රජුන් නිසා සුනන්දා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව, වැඩි විය පැමිණ අධිකරණ ශාස්ත්‍ර පොත්වල යුක්ති පමණක් තිබිය දී අයුක්ති නැති කරවා අට දහසක් හවුරුදු රජ සිරි විඳ, එක් ලක්ෂ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ විචිකොලි[27] නම් බිසොවුන් පුඤ්ඤවඩ්ඪන නම් කුමාරයන් වැදූ කල්හි ‘මහණ වන්ට නික්මෙමී’යි සිතූ සිතුවිල්ල හා සමඟ සුදසුන් නම් මහ පාය තෙමේ ම වාහන ව අහසට නැඟී එක් අතකට ගමන් ගත් බඹ විමනක් පරිද්දෙන් සියුරඟ[28] සෙනඟ හා සමඟ අහසින් ගොසින් රත් කරවූ බෝධියට ආසන්න ව ලා බිම පිහිටා සිටි ය. මහා පුරුෂයාණෝ ද ඇතුළු මාළිගාවේ දී ම මහණවැ ලා මාළිගාවෙන් බැසලා සිටියහ. මාළිගාව පෙරළාත් අහසින් ගොසින් රත්කරවූ බෝධිය මධ්‍ය කෙරෙමින් බෝධි ගෙවල් කරන්නවුන්ට ආදර්ශ වන්නා සේ පිහිටා සිටි ය. බිසෝ වරුන් පටන් ගෑනු මුළුල්ල මාලිගාවෙන් බැස පියා ගවු සමාරක් විතරට පලා ගොසින් සිටියහ. මහාපුරුෂයාණන් මහණ වන විට පිරිමි කෙළ ලක්ෂයක් විතර මහණ වූ හ. මෙ සේ මහා පුරුෂයාණෝ මහණ ව ලා සතියක් ප්‍රධන් වීර්ය්ය කොට බුදු වන දවස් වීචිකෝලි බිසොවුන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දහවල් දවස් යවා සවස් වේලෙහි සිරිවඩු නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙණ රත්කරවූ බෝධින් වහන්සේ කරා ගොසින් භී තණ සලා බිම වගුරුවා, තෙ පනස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා බඹහු ගේ අයදමෙන් බණ දෙසා, ජනානුග්‍රහ පිණිස දනවු සැරි සරන සේක.
එ කල අපගේ බෝසත්හු සක් දෙවිඳු ව දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා අවුත් දිව්‍ය තූර්යයෙන් පූජා කරවා ඔබ ගෙනුත් විවරණ ලදින්—
ඔබට ඉක්බිති ව එ තැනින් එක් දාස් සත් සිය කප් සයක් විතර ගි ය කලට මෙ කපට අනූ සතරවන කප සිද්ධාර්ථ නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරෙන් චුත ව වෙභාර නුවර උදේනී නම් රජුන් නිසා, සුඵස්සා නම් බිසව කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් වලා ගැබකින් නිකුත් වන පුන් සඳක් මෙන් බිහි ව වැඩි විය පැමිණ දස දහසක් අවුරුදු මුළුල්ලෙහි ගිහි සැපත් වළඳා අට සාළිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සොම්නස් නම් බිසොවුන් අනුපම නම් පුතණුවන් වැදු කල්හි රන් සිවි ගෙයෙකින් මහබිනික්මන් නික්ම කෙළ ලක්ෂයක් පමණ පුරුෂයන් හා සමඟ මහණ ව දස මසක් ප්‍රධන් වීර්ය්ය කොට බුදු වන දවස් අසදිස නම් බමුණු ගම සුනෙත්තා නම් බැමිණිය දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දහවල් දවස් යවා සවස වරුණ නම් යව පල්ලා දුන් හීතණ හැරගෙන ඔබට බෝධි කිණිහිරිගස හෙයින් කිණිහිරි බෝධීන් වහන්සේ කරා ගොසින් ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සතළිස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් බණ දෙසා සත්වෝපකාර සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප ගේ බෝසත්හු සුරසේන නම් රට මංඟල නම් නුවර මංගල නම් බ්‍රාහ්මණ ව මහ සම්පත් දුක්පතුන්ට දන් දී තවුස් වෙස් ගෙන මහණ ව අභිඥාලාභී ව සිද්ධාර්‍ථ නම් බුදුන් උපන් නියාව අසා බුදුන් කරා අවුත් නිවන් රසයෙන් රසවත්කොට වදාළ බණ අසා පැහැද දනක් දෙන්ට වස්තුව ආදි ම නිමි හෙයින් යම්හෙයකින් “යම් දඹයක් නිසා මේ දිවයිනට දඹ දිව” ය යි කියද් ද ඒ දඹ ගස කරා ගොසින් දඹ ගෙනවුත් අනූ කෙළක් මහණ ගණයා හා සමඟ සිද්ධාර්‍ථ බුදුන් වළඳවා සර්‍වඥතාඥාන නැමැති අමා රස ලබන නියාවට ඔබගෙනුත් විවරණ ලදින්-
තව ද ඔබට ඉක්බිති ව මෙ කපට දෙයානූ වන කප පුන් පැරුම් ඇති තිස්ස නම් බෝසත්හු තුසීපුරෙන් සැව ඛේම නම් නුවර ජනසණ්ඩ නම් රජුන් නිසා පියුම් නම් බිසොවුන් කුස පිළිසිඳගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සත්දහසක් හවුරුදු රජසැපත් වළඳා තෙතිස්දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සුභද්‍රා නම් බිසොවුන් ආනන්ද නම් පුතණුවන් වැදූ කල්හි අස් වාහනයෙකින් මහබිනික්මන් නික්ම මිනිසුන් කෙළක් හා සමඟ මහණව අට මසක් ප්‍රධන් වීර්ය්ය කොට බුදු වන දවස් වීර නම් නියම් ගම වීර නම් සිටාණන්ගේ දියණියන් දුන් කිරිබත වළඳා සළල වෙනෙහි දහවල් දවස් යවා සවස විජිත සංගාම නම් යව පල්ලා දුන් හී තණ ගෙන තමන් වහන්සේට බෝධි පියා ගස හෙයින් ඒ බෝධීන් වහන්සේ කරා එළඹ[29] ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සතළිස් රියන් තණ ඇතිරියෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා උතුම් වූ දහම් සක බ්‍රහ්මාරාධනාවෙන් පවත්වා ‘බුද්ධො බොධෙය්‍යං’ යන පිළිණ ලෙසට දඹ දිව සැරි සරන සේක.
එ කල අප ගේ බෝසත්හු යසවත් නම් නුවර සුජාත නම් රජ ව ඉපැද රජ සම්පතටත් වඩා නිවන් සම්පත් උතුම් හෙයින් රජ සැපත් හැර මහණ ව අභිඥාලාභි ව බුදුන් ලෙව්හි පහළ වූ නියාව අසා ඒ තිස්ස නම් බුදුන් කරා අවුත් ‘ඔබට පූජාවක් කෙරෙමි’යි සිතා දෙව්ලොවට පලා ගොසින් සිතුලිය වන ආදියෙහි ඇවිද ගවුවක් සා රුවන් කරඬුවක නො එක් පෑ ඇති මල් පුරා ගෙන අහසින් අවුත් පුදා ලා ඉඳු නිල් මිණි මුවා දණ්ඩක් ඇති රන්මුවා පියුම් කෙමියක් ඇති රත්වූ පියුම් කෙසරු ඇති පියුම් සතක් බුදුන් මුදුනට කොට ඔබ ගෙනුත් විවරණ ලදින්—
තව ද ඔබට ඉක්බිති ව එම කප පුන් පැරුම් ඇති ඵුස්ස නම් බෝසත්හු තුසී පුරෙන් චුත ව කසී නුවර ජයසේන නම් රජ්ජුරුවන් නිසා සිරිමා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සදාසක් හවුරුදු ගිහි සම්පත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ කිසාගෝතමි නම බිසොවුන් අනුපම නම් පුතණුවන් වැදූ කල්හි ඇත් වාහනයෙකින් මහබිනික්මන් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව ස මසක් බුදු වන්ට වීර්‍ය්‍ය කොට බුදු වන දවස් එක්තරා නුවරෙක සිටු දියණි කෙනකුන් දුන් කිරි බත වළඳා හිංසලු වෙනෙහි දවල් දවස් යවා සවස සිරිවඩු නම් තවුසාණ කෙනකුන් දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි ඇඹුල ගස හෙයින් ඇඹූල බෝධීන් වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා වගුරුවා අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් උතුම් වූ දහම් සක පවත්වා ජන සංග්‍රහ නිසා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු විජිතාවි නම් රජ ව ඒ බුදුන්ගේ බණ අසා මහ දන් දී රජ සැපත් හැර සසුන් වැද මහණ ව තෙ වළා බුදු වදන් ඉගෙන එ වක ප්‍රසිද්ධ වූවා සේ ම පසු ව බුදු වත් ප්‍රසිද්ධ වන නියාවට ඔබ ගෙනු ත් විවරණ ලදින්—
තව ද ඔබට ඉක්බිති ව මේ කපට එකානූ වන කප පුන් පැරුම් ඇති විපස්සී නම් බෝසත්හු තුසී පුරෙන් සැව බන්ධූමතී නම් නූවර නොයෙක් බන්ධූන් ඇති බන්ධූමා නම රජුන් නිසා බන්ධූමතී නම් බිසොවුන් කුස පිළිසිඳගෙන දස මස අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ අට දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා එක් ලක්ෂ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සුතනු නම් බිසොවුන් සමවත්තක්ඛන්ධ නම් පුතණුවන් වැදූ කල්හි රථවාහනයෙකින් මහහිනික්මන් නික්ම සුවාසූ දහසක් පමණ පුරුෂයන් හා සමඟ මහණ ව අටමසක් මුළුල්ලෙහි බුදු වන්ට දුෂ්කර ක්‍රියා පුරා බුදු වන දවස් සුදසුන් නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි සුජාත නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි පළලු ගස හෙයින් ඒ බෝධීන්වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා වගුරුවා තෙ පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා උතුම් වූ දහම් සක පවත්වා සත්වානුග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු අතුල නම් දිව්‍ය නාග ව[30] ඉපැද සහපිරිවරින් බුදුන් කරා අවුත් සඳ මඩල බිම තුබුවා සේ මනහර රුවන් මඩුවක් මවා සතියක් මුළුල්ලෙහි මහ දන් දී බුදු බැවින් පිහිට ලබන්නට සත් රුවන් මුවා පුටුවක් දන් දී ඔබ ගෙනුත් විවරණ ලදින්—
තව ද ඔබට ඉක්බිති ව එයින් එකුන් සැටක් කප් ගිය කලට මෙයට එක් තිස් වන කප වියළි දරින් ඇවිළී ගිතෙල් ඉස්මෙන් සතුටු වූ වහ්නි ශිඛාවක් වැනි තේජස් ඇති ශිඛී නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරෙන් චුතව සම්පත්තීන් අරුණක් නැතත් නමින් අරුණවතී නම් නුවර ගුණෙන් අරුණක් නැතත් නමින් අරුණවතී නම් රජුන් නිසා රන් පිඩු රැස් වළල්ලක්[31] සේ ශොභාවත් බැවින් ප්‍රභාවතී නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සත් දහසක් හවුරුදු ගිහිගෙයි වැස සූ විසි දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සබ්බකාමා නම් බිසොවුන් අතුල නම් පුතණුවන් වැදූකල්හි ඇත්වාහනයෙකින් මහබිනික්මන් නික්ම සැත්තෑලක්ෂයක් පුරුෂයන් හා සමඟ මහණව අට මසක් මුළුල්ලෙහි බුදුවන්ට වීරිය කොට බුදු වන දවස් සුදසුන් නම් නියම් ගම සුදසුන් නම් සිටු දියණි කෙනකුන් දුන් කිරිබත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි අනෝමදස්සී නම් තවුසාණන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි ඇටඹ ගස හෙයින් ඇටඹ බෝධිය කරා එළඹ, ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සූවිසි රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් දහම් සක පවත්වා සත්වානුග්‍රහ පිණිස දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු අරින්දම නම් රජ ව ඉපැද බුදුන් ලොව පහළ වූ නියාව අසා බුදුන් කරා එළඹ, බුදුන් පවරා ගෙන සතියක් මුළුල්ලෙහි මහ දන් දී කෙළවර දවස් මාහැඟි පිළිත් දන් දී බුද්ධනාගත්‍වය පතා නැඟී ගෙන ගිය ඇතුත් දන් දී ඇතු උස පමණ කැප පිරිකරත් දන් දීලා දුන් පිරිකරට වඩනා තරමේ ඔබ ගෙනුත් විවරණ ලදින්—
නැවතත් ඔබට ඉක්බිති ව එම කප සියලු ලෝ වැස්සන් මැඩ පවත්වන්නා වූ චෙස්සභු නම් බෝසත්හු පැරුම් පුරා නිමියෙන් තුසී පුරෙන් චුත ව උපමා රහිත හෙයින් අනූපම නම් නුවර ඉතා ප්‍රසිද්ධ හෙයින් සුප්පතීත නම් රජුන් නිසා යසවතී නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ ස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්‍රධාන වූ සුචිත්තා නම් බිසොවුන් සුප්පබුද්ධ නම් කුමරුවන් වැදූ කල්හි මහබිනික්මන් නික්මෙන කල රන් සිවි ගෙයෙකින් නික්ම ස තිස් දහස් දෙනා හා සමඟ මහණ ව ස මසක් මුළුල්ලෙහි බුදු වන්ට වීර්‍ය්‍ය කොට බුදු වන දවස් සුචිත්ත නම් නියම් ගමදී සිරිවැඩි නම් නැයින්න[32] දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දහවල් දවස් යවා සවස් වේලෙහි නරින්ද නම් නා රජුන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි සල් ගස හෙයින් ඔබ කරා එළඹ ගෙන ගිය හී තණ සලා වගුරුවා සතළිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා දහම් සක පවත්වා ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එ කල අප මහ බෝසත්හු සුදසුන් නම් රජ ව බුදු පාමොක් සඟනට මහ දන් දී එපමණෙක නො සිට සිවුරු පිරිකරත් දන් දෙවා බුදුන් වසනු පිණිස ගඳකිළියකුත් කරවා ඒ වටා විහාර දහසකුත් කරවා සියලු සම්පත් බුදු සස්නට ම වියදම් කොට ඔබ ළඟ මහණ ව අවිශේෂ කොට ශීල පාරමිතා ම පුරා ඔබගෙනුත් විවරණ ලදින්-
ඔබට ඉක්බිති ව ඒ කපත් නිමා ගොසින් මධ්‍යයෙනුත් විසි නව කපක් ගිය කලට සර්‍වඥවරයන් වහන්සේ පස් නමක ගෙන් හෙබි හෙයින් භද්‍ර කල්ප නම්වූ මේ කප කකුසඳ නම් බෝසත්හු තුසී පුරෙන් සැව ඛේමවතී නම් නුවර ඛේමරජ්ජුරුවන්ට පුරෝහිත වූ අග්ගිදත්ත නම් බමුණානන් නිසා, විශාඛා නම් බ්‍රාහ්මණින් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් රන් ගුහාවෙකින් නික්මෙන රන්වන් හංසයක්හු මෙන් බිහි ව වැඩි විය පැමිණ සාර දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා රෝචිනි නම් බ්‍රාහ්මණීන් උත්තර නම් කුමාරයන් වැදූ කල්හි රථ වාහනයෙකින් මහභිනික්මන් නික්ම සතළිස් දහසක් දෙනා හා සමඟ මහණ ව අට මසක් වීර්‍ය්‍ය කොට බුදු වන දවස් සුචින්දර නම් නියම්ගම වජිරින්ද නම් බමුණානන්ගේ දියණියන් දුන් කිරිබත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා, සවස් වේලෙහි සුභද්ද නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි මහරි ගස හෙයින් ඒ බෝධීන් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ බිම සලා වගුරුවා සූ තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්‍රහ්මාරාධනාවෙන් දහම්සක පවත්වා ජන සංග්‍රහ සඳහා දනවු සැරි සරන සේක.
එකල අප මහ බෝසත්හු ඛේම නම් රජ ව බුදු පාමොක් සඟනට සිවුරු පිරිකර සහිත වූ මහ දන් දී බෙහෙත් බඩුත් පිළිගන්වා ඔබගෙනුත් විවරණ ලදින්:
තව ද ඔබට ඉක්බිති ව මෙම කප කෝනාගමන නම් බෝසත්හු තුසී පුරෙන් සැව ශෝභාවතී නම් නුවර යඥදත්ත[33] නම් බමුණු උතුමාණන් නිසා උත්තරා නම් බ්‍රාහ්මණීන් කුස පිළිසිඳගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ තුන් දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා සොළොස් දහසක් බ්‍රාහ්මණීන්ට ප්‍රධාන වූ රුචිගත්තා නම් බ්‍රාහ්මණීන් සත්‍ථවාහ නම් පුතණුවන් වැදූ කල්හි මහබිනික්මන් නික්මෙන දා ඇත් වාහනයෙකින් නික්ම තිස් දහසක් දෙනා හා සමඟ මහණ ව සමසක් බුදු වන්ට වීර්‍ය්‍ය කොට බුදු වන දවස් අග්ගිසේන නම් බමුණානන් ගේ දියණියන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි තින්දුක නම් යව පල්ලා දුන් හී තණ හැරගෙන තමන් වහන්සේට බෝධි දිඹුල් ගස හෙයින් දිඹුල් බෝධීන් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා විසි රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදුව සත් සති යවා මහ බඹහු ගේ ඇයැදුමෙන් බණ දෙසා සත්ත්‍වෝපකාර සඳහා දනවු සැරිසරන සේක.
එ කල අප මහ බෝසත්හු මිළිඳු නුවර පර්‍වත නම් රජ ව කෝනාගමන බුදුන් මිළිඳු නුවරට වැඩි නියාව අසා බුදුන් කරා එළඹ ආරාධනා කොට මහ දන් දී වසත් පැමිණි හෙයින් වසුත් වස්වා, තුන් මස මුළුල්ලෙහි මහා ප්‍රවාහයක් මෙන් හෙවත් මහ වතුරක් මෙන් මහ දන් දී වස් අන්තයෙහි සළු පිළි ආදිය කප්වා සිවුරු ද දන් දී ඔබගෙනුත් විවරණ ලදින්—
තව ද ඔබට ඉක්බිති ව මෙම කප කසුප් නම් බෝසත්හු පැරුම් පුරා නිමි.හෙයින් තුසී පුරයෙන් සැව බරණැස් නුවර බඹදත් නම් බ්‍රාහ්මණ උතුමාණන් නිසා ධනවතී නම් බ්‍රාහ්මණීන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ දෙදාහක් හවුරුදු ගිහි ගෙයි වැස අට සාළිස් දහසක් බ්‍රාහ්මණීන්ට ප්‍රධාන වූ සුනන්දා නම් බ්‍රාහ්මණීන් විජිතසේන නම් පුතණුවන් වැදූ කල්හි මහබිනික්මන් නික්මෙන්ට සිතු දෑ ය. සිතූ සිතිවිල්ල හා සමඟ ම වැද හුන් මාළිගාව වාහන සරසා ගෙනෙන කල කල් යවන්නා සේ අහසට පැන නැඟිලා තරු කැල පිරිවැරූ පුන්සඳක් මෙන් නො එක් දෙනා පිරිවරා අහස් නැමැති වියනෙහි වියන් සිත්තමක් මෙන් ද කුසලානුභාවය හඟවන්නාක් මෙන්ද, සත්ත්‍වයන් ගේ ඇස් තමා කරා නම්වන්නාක් මෙන් ද ගස් කොළ අක් පොළඹන්නාක් මෙන් ද ගොසින් නුග බෝධිය මධ්‍ය කොට ලා බෝධි ගෙයක් ව පිහිටා සිටි ය. කැටි ව ගියවුන් ගේ ගෑනු මිනිසුන් හැර සෙස්සවුන් හා සමඟ මහණ වූ දෑ ය. නළු ගෑනුත් මාළිගාවෙන් බැස පියා ගවු සමාරක් විතර පලා ගොසින් රඳා හුන්හ. මහා පුරුෂයාණෝ ද මෙ ලෙසින් මහණ ව ලා සතියක් ප්‍රධන් වීර්ය්ය කොට වෙසඟ මැදි පොහෝ දවස් සුනන්දා නම් බැමිණියන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි සොම නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි නුග ගස හෙයින් ඔබ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා පසළොස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා මහ බඹු ගේ අයදමෙන් දහම්සක් පවත්වා ජන සංග්‍රහ සඳහා දනවු සැරිසරන සේක. එ කල අප මහ බෝසත්හු ජෝතිපාල නම් බ්‍රාහ්මණ ව ඝටීකාර නම් අනාගාමී කුඹල් උපාසකයාගේ සමවායෙන් බුදුන් කරා එළඹ බණ අසා බණ ලෙස පිළිපැදීම ශාසනික ව මුත් බැරි හෙයින් මහණ ව තිවට දුක් නසන නිසා තෙවළා බුදු වදන් ඉගෙන ඔබගෙනුත් විවරණ ලදිනැ යි-[34]
මෙ සේ විසිදහසක් හවුරුද්දට ආයු ඇති වඩු රියනින් විසි රියන් උස ඇති කසුප් නම් බුදුහු ය. තිස් දහසක් හවුරුද්දට ආයු ඇති තිස් රියන් උස ඇති කෝනාගමන නම් බුදුහු ය. සතළිස් දහසක් හවුරුද්දකට ආයු ඇති සතළිස් රියන් උස ඇති කකුසඳ නම් බුදුහු යැ යි මෙ ම කප තමන් වහන්සේට පෙරාතු ව බුදු වූ තුන් තුන් දෙනා වහන්සේ ගෙන් ද, නැවත සැට දහසක් හවුරුද්දට ආයු ඇති සැට රියන් උස ඇති වෙස්සභු නම් බුදුහු ය. සැත්තෑ දහසක් හවුරුද්දට ආයූ ඇති සැත්තෑ රියන් උස ඇති සිඛී නම් බුදුහු යැ යි. එක කප උපන් දෙදෙනා වහන්සේගෙන් ද, තව ද අසූ දහසක් හවුරුද්දට ආයු ඇති අසූ රියන් උස ඇති විපස්සි නම් බුදුන්ගෙන්ද, නැවත අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අට පනස් රියන් උස ඇති ඵුස්ස නම් බුදුහු ය, හවුරුදු ලක්ෂයකට ආයු ඇති සැට රියන් උස ඇති තිස්ස නම් බුදුහු යැ යි එක කප උපන් දෙදෙනා වහන්සේගෙන් ද, තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති සැටරියන් උස ඇති සිද්ධාර්ථ නම් බුදුන් ගෙන් ද, තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති අසූ රියන් උස ඇකි ධම්මදස්සි නම් බුදුහු ය. හවුරුදු ලක්ෂයකට ආයු ඇති අසූරියන් උස ඇති අත්‍ථදස්සි නම් නම් බුදුහු ය, අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අසූරියන් උස ඇති පියදස්සී නම් බුදුහු යැ යි එක කප උපන් තුන්දෙනා වහන්සේගෙන්ද, තවද අනූ දහසක් හවුරුද්දට ආයු ඇති පනස් රියන් උස ඇති සුජාතා නම් බුදුහු ය. අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අටාසූ රියන් උස ඇති සුමෙධ නම් බුදුහු යැ යි එක කප උපන් දෙනමගෙන් ද-
තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උස ඇති උර දෙක හස්ස අටළොස් රියන් පළල ඇති පස් රියන් නළලක් ඇති එකළොස් රියන් අතුල් පතුල් ඇති හවුරුදු ලක්ෂයක් මුළුල්ලෙහි ඔබාලූ පයට පොළොව පළාගෙන නැඟෙන අනුරියන් පමණ මහ පෙති ඇති, තිස් රියන් පමණ් කෙසරු ඇති නව කළයක් පමණ රෙහෙණු ඇති, රත් පියුමෙන් හෙළ පියුමෙන් ප්‍රසිද්ධ වූ පියුමතුරා නම් බුදුන් ගෙන්ද, තව ද, අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අටාසූ රියන් උස ඇති නාරද නම් බුදුහු ය, හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උස ඇති පදුම නම් බුදුහු ය. හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උස ඇති අනෝමදස්සි නම් බුදුහු යැ යි එක කප උපන් තුන් දෙනා වහන්සේ ගෙන් ද, තව ද අනුදහසක් හවුරුද්දට ආයු ඇති අට පනස් රියන් උස ඇති සෝභිත නම් බුදුහු ය, සැට දහසක් හවුරුද්දට ආයු ඇති අසූරියන් උස ඇති රේවත නම් බුදුහු ය, අනූ දහසක් අවුරුද්දට ආයු ඇති අට අසූ රියන් උස ඇති මඞ්ගල නම් බුදුහු යැ යි එක කප උපන් තුන් දෙනා වහන්සේගෙන් ද, තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට අසූ රියන් උස ඇති කොණ්ඩඤ්ඤ නම් බුදුන්ගෙන් ද, හවුරුදු ලක්ෂයකට ආයු ඇති දීපඞ්කර නම් බුදුන්ගෙන් දැ යි සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේගෙන් විවරණ ලදින් සම තිස් පැරුම් පුරා චෙසතුරු අත් බැව්හි සිට:
-
බඹරුනි. ↑
-
ධම්මකො. ↑
-
කුසල් මං පෙනීයාම. ↑
-
විනේ ජනයන්. ↑
-
ආනුභාව. ↑
-
දිග්විජ ය. ↑
-
කෙයරමිනි. ↑
-
සල් වෙනෙහි ↑
-
විජයොත් ↑
-
තරුණින්ධ. ↑
-
සොලෝ. ↑
-
ආස. ↑
-
සමාන- ↑
-
පෙරත්තු - පරෙත්තු. ↑
-
නත්‍ථක. ↑
-
දුස්නායෙන්, දූෂණයෙන්, දූෂණායෙන, දර්‍ශනයෙන්, තෘෂ්ණායෙහි. ↑
-
මහණට. ↑
-
වසුදන්තා. ↑
-
සිරීවඩ්ඪ. ↑
-
ළදරු. ↑
-
ආර්‍ය්‍ය ධනව්‍ය. ↑
-
කොදෙව්. ↑
-
දස දාසක්. ↑
-
සුචින්දරා-සුචින්ධරා. ↑
-
එළඹ ගොසින් ↑
-
බුද්ධරාජ්‍යය. ↑
-
වීචකොලි. ↑
-
සිව්රඟ-සිවුරඟ ↑
-
එළැඹැ, එළඹ. ↑
-
දිව්‍ය නාගරාජ ව. ↑
-
රන් පිඩ වල්ලක් සේ හෝ පිඩ රැස් වල්ලක් සේ. ↑
-
නා මෙනෙවිය. ↑
-
යඤ්ඤදත්ත ↑
-
ගියවුන්ගෙන් ↑