තවද යම් කෙනෙක් වස්තු සොයා වෙළඳාමේ ගියවුන් වෙළඳාමට මැළි ව සියතින් එන්නා සේ නව ලොවුතුරා බඬු නිසා පිළිවෙත් වෙළඳාම් කළ මනා තෙන ඊට මැළි ව නව ලොවුතුරා බඩු නොලදින් සිස් වෙත් නම් මේ උපදෙසින් එයින් උන් නොසිස් වනු නිසා නම් ගොත් හෙයින් ප්‍රසිද්ධ කමක් නැති එක් භික්ෂු කෙනකුන් ගේ වස්තුව කියමු.
කෙසේද යත්:
බුදුන් සැවැත් නුවර වසන කල්හි එක් සිටු පුත්‍රයාණ කෙනෙක් කුලුපග ව වැඩ හිඳිනා තෙර කෙනකුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි මම සිර ගෙයකින් ගැළවෙනු කැමැත්තා සේ සසර දුකින් මිදෙනු කැමැත්තෙමි. දුකින් මිදෙන්ට නිසි ලෙසක් වදාළ යහපත’යි කිවු ය. ‘යහපත, සිටු පුත්‍රයෙනි, දුකින් මිඳෙනු කැමැත්තා නම් සඟනට ලා බත් දෙව. සිවු පස ය දෙව, තොපගේ සම්පත් තුන් කොටසක් කොට ලා එකක් වියදම් කොට කෘෂි වණික් ආදි කර්මාන්ත කරව. එකක් වියදම් කොට එයිත් අභිවෘද්ධි කාරණයක් හෙයින් අඹු දරුවන් රකුව. එකක් මත්තට තබනු නිසා අනුගාමික නිධි කොට දන් දෙව’යි වදාළ සේක. උයි ත් වදාළ ලෙස නො වරදවා කොට අනික් කුමක් කෙරෙම් දැ යි තවත් ඔබ අතින් විචාළෝ ය. එ සේ වී නම් තුන් භවයෙහි දුක් හැරෙනු නිසා තිසරණ පිහිට ව. පඤ්ච ගති නිවෘත්ති ය නිසා පන් සිල් පිහිටව’යි වදාළ සේක.
එ ලෙස ත් කොට ලා අනික් කළ මනා කිම් දැ’යි විචාරා ‘වීරිය ඇතොත් දස සිල් රකුව’යි වදාළ කල්හි දස සිල ත් පිහිටා ගත්හ. මෙ සේ තෙරුන් වහන්සේ වදාළ පිළිවෙළ නොඉක්මවා එලෙසින් ම කළ හෙයින් පිළිවෙළ සිටාණෝ ය යි ප්‍රසිද්ධ වූහ. තව ද තෙරුන් වහන්සේ කරා ගොසින් සසර දුකින් මිදෙන්වුන් කළ මනා මෙ තෙක් ම ද? තව ත් කළ මනා දෑ ඇද්දැ’යි විචාරා ‘එ සේ වී නම් නිවන් පුර වදනාවුන්ට වාසල් වැනි වූ සසුන්වැද මහණ වව’යි වදාළ කල්හි සැප ත් හැර අවුත් මහණ වූ ය. මහණ වන ගමනේ විදම් හදාළ කෙනකුන් වහන්සේ සිවුරු හඳවා පොරවා ආචාරි වූ සේක. විනය ධර කෙනකුන් වහන්සේ සිල් දීමෙන් හා නිස දීමෙන් උපාද්ධ්‍යාය වූ සේක.
උන් වහන්සේ උපසම්පන්න වූ පසු ආචාරීන් වහන්සේ විදම් විෂ ය වදාරා ලා බුදු සස්නෙහි මේ කළමනා දෙය ය. මේ නො කළ මනා දෙය ය යනාදීන් වදාරණ සේක. උපාධ්‍යායයන් වහන්සේ තමන් වහන්සේ ළඟට ගිය කල වින ය පිළිවෙත් පෑ ලා අවවාද වදාරණ සේක. දෙ පක්ෂයේ අවවාද අසා ‘දුකින් මිඳෙනු පිණිස මහණ වීමි. පිළිවෙත වැරදි නම් දුකට කාරණ ය. කරණ ලෙසක වී නම් චතුසම්පජඤ්ඤ ලෙසින් වී නම් අත පය දික් කරන්ට බැරි ය. මේ අට්ටාල් බලා ගිහිව පින් කිරීම යහපත’යි සස්නෙහි උකටලී ව භාවනා ත් නො කොට ග්‍රන්ථධුර ය ත් නුපුරා වැර ගොසින් කයිනු ත් දුර්‍වල ව පිළිවෙත පිරීමෙහි අදහස් මඳ වීමෙන් සිතිනු ත් දුව හිඳිනා සේක. යාළු මිත්‍ර වහන්දෑ ද ඇවැත්නි, මේ කිම්ද? ශාසනික තැන් කළ මනා ධුරද්ව ය විය දමාපු ගොන් පරිද්දෙන් දමා පියා ඉතා මැළිව සිටි තැන සිට ම පියා හුන් තෙන ම හිඳ පියා දවස් යවව. කුමක් නිසා දැ’යි විචාරා ශාසනයෙහි ආල ය මඳ නිසා අසා උන් වහන්සේගේ ඇදුරු තෙරුන් වහන්සේටත් උපාධ්‍යාය තෙරුන් වහන්සේටත් කී සේක.
ඒ අසා ඒ දෙ පක්‍ෂය උන් වහන්සේ කැඳවා ගෙන බුදුන් කරා ගෙන ගිය සේක. බුදුහු ‘හැයි, මහණෙනි, අවුන’යි විචාරා වදාරා ආචාර්‍ය්‍ය උපාධ්‍යාය දෙනම එ පවත් දැන් වූ කල්හි බුදුහු උන් වහන්සේ අතිනුත් දෙසුන් දෙස් කියා සිටිය ත් වරද ඇත්තවුන් අතිනු ත් විචාරන්නා සේ ‘එ සේ ද? ශසනාභිරති නැත්තෙහි දැ’යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘තෝ, මහණ, එකක් රැක ගත හෙයි නම් සෙස්ස රකින්ට ආයාස නොගත මැනැවැ’යි වදාරා රැක්ක මනා කවරේ දැ යි විචාළ කල්හි ‘තමා ගේ සිත පමණෙක. යම් කෙනෙක් ගැඹුරු දියට වන් කුඩමස්සකු සේ තෙමී එක බඳ අකුරු සේ සොයා ගත නො හැකි. එ සේ හෙයින් ඉතා සියුම් වූ ජාති ආදි ය බැලීමක් නැති ව යම් කිසි ලෙසකින් ම පවත්නා සුලු වූ සිත ගොයම් කුඹුරට සරක් වැද්ද නො දෙන්නා සේ අකුසල් විෂයට වැද්ද නොදී රැක්කෝ වූ නම් එ සේ රැකි ඒ සිත ඓහලෞකික පාරලෞකික වූ ත් ප්‍රයෝජන සාධා දෙව’යි වදාළ සේක.
දේශනා කෙළවර පිළිපදින්ට බැරිය යි ගිහි වන්ට සිතා ඉතා දුර්‍වලව නිශ්ශොභා වූ භික්ෂූන් වහන්සේ සෝවාන් ව චිත්ත පුෂ්ටිය ත් ඇති ව සෝවාන් ඵල නමැති ආභරණ පැළඳ ලා ශෝභාවත් වූ සේක. තවත් බොහෝ දෙන ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන්ගේ අපාටවාදි අවස්ථා වශයෙන් සෝවාන්, සෙදැගැමි, අනැගැමි, රහත් වූහ.
නුවණැත්තාවූ සුජන තැන් විසිනු ත් නව කෙළ දහස් එක්සිය අසූ පනස් ලක්‍ෂ සතිසක් විතර ව තිබෙන බොහෝ දෙය රක්නට බැරි වුව ත් රක්නට පිළිවන් ව තිබෙන සිත් පමණක් රැක ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.