තව ද මෙ ම සිත හික්මවා පනත් කිරීමෙහි අනුසස් දක්වන්නමෝ එක්තරා භික්ෂු කෙනකුන් වහන්සේගේ වස්තුව කියමු.
කෙ සේ ද යත්−
කොසොල් රජ්ජුරුවන්ගේ විධාන පවත්නා රට ගල් වල් මුසු තෙනක සියල්ලෙන් ම සමෘද්ධ වූ ඇළගමු නම් වූ ගමෙක් ඇත. එකල සැටදෙනකුන් වහන්සේ බුදුන් ගෙන් ම රහත් වන්ට කමටහන් ඉගෙන ඵ ගමට වැඩ පෙරවරු වේලාව හෙයින් සිඟා වන් සේක. එගමට නායක මාතික නම් උපාසකයන්ගේ මෑණියෝ වහන්දෑ දැක පැහැද ගෙයි වඩා හිඳුවා ලා උදෑසනම වැඩි හෙයින් කැඳ අවුළු පතුත් වළඳවාලා දවල් බතුත් වළඳවාලා ‛ස්වාමීනි, වඩනේ කොයිදැ’යි විචාළෝය. ‛උපාසිකාවෙනි, ඵාසු තැනකට යම්භ’යි වදාළ සේක. උපාසිකාවෝ ද වයසින් මූකළ පමණක් නොවනුවණිනුත් මූකුරා සිටි හෙයින් වස් වසන තැන් සොයා යන නියා ය යි බස කියා ලූ ලෙසින් ම දින බැස හෙව වැඳ ලා ‘ස්වාමි දරුවෝ ඉදින් මේ වස් තුන් මස මෙහි විසූ සේක් නම් මම ද වැළි ත් තිසරණ පිහිටා පන් සිල් සමාදන් ව පොහොයෙන් පොහොය පෙහෙවස්ද රකිමී’ කිවු ය. වහන්දෑද ‘අපිත් මුන් මුල් කොට සිවු පසයෙන් අඵාසු ත් නැති ව සසර මුහුද ගෙවා නිවන් පරතෙරට පැමිණෙම්හ’යි ආරාධනාව ඉවසූ සේක. උපාසිකාවෝ ද විහාරයක් කරවා දුන්හ. සැට දෙනා වහන්සේත් එහි වසන සේක් එක් දවසක් රැස් ව ලා ඔවුනොවුන් වහන්සේට ඕවාද දෙන සේක් ඇවැත්නි, අප හැමට පමා වී ම නපුරි.
“න පිතා න ච තෙ මාතා – න ඤාති න ච බන්ධවා,
කරොන්තා ඊදිසං කිච්චං - සීලවන්තස්ස කාරණා.”
යනු හෙයින් මේ උපාසිකාවෝ අප සැට නමින් එක් නමකට වුව ත් මේ ජාතියෙහි නෑ කමක් නැත්තෝ ය. හඳුනන්නේ ත් මේ ආ ගමනේ ය. එතකුදු වුව ත් සිල්වත් සේක. ගුණ ඇති සේක යන අදහසින් තමනුත් සසර දුකින් මිඳෙන ලෙසට නෑ සිය තෙනකට ත් වඩා උපස්ථාන කෙරෙති. උන්ගේ අදහස් තරමට විසුව මැනව. එ ලෙසට නො වසමෝ නම් උන් කරණ උපස්ථානයෙහි අදහස් පවිත්‍ර හෙයින් උන්ට විපාකයෙහි අඩුව නැත ත් අප ගේ පිළිවෙත් අඩු වීමෙන් අපට අඩු ව ඇත. සැතපෙන ගෙවල දොර පියා ලිය හෙමෝ ද පමා ව කළ මනා ලෙස තිබිය දී අනික් ලෙසක් කරමෝ නම් නරක දොර වසා ලිය නො හෙම්හ. කමටහන් උගන්නමෝ ත් කරුණා නිධාන වූ මනා පිළිවෙත යහපත් ව හසල මනා පිළිවෙතකින් මුත් වඤ්චා ප්‍රවෘත්තීන් මඳකු ත් සිත් ගෙන ලිය නො හැකි හිතොපදෙශක වූ ශුද්ධෝදනීය වූ දෙවාතිදෙව වූ ශක්‍රාතිශක්‍ර වූ බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ වන්‍දනීයාභිවන්‍දනීය වූ බුදුරජාණන් වහන්සේ ගෙන් ම උගතුම්හ. බුදුවරහු නම් ඡායාවක් සේ විසූවත් ඉඳුරා අදහසකින් මුත් වඤ්චාවෙන් සිත් ගත නොහෙන සේක.
“නො පමා වුව මැනව, දෙ නමක් එක් තැනක නො සිටිය යුතු ය. සවස වත් පිරිත් වේලේ හා උදාසන සිඟා යන වේලේ එක් තැන් වම්හ. සෙසු වේලක දෙ නමක් එක් තැන් නො වම්හ. බල එකෙක් නම් ලෙඩ තෙනක් ඇත හොත් වෙහෙර මැද බැඳ එල්වා තිබෙන ගෙඩිය ගසා ලන්නා ඒ සලකුණෙන් අවුත් බෙහෙත් කරම්හ’යි මෙසේ කතිකාව තර කොට ගෙන වසන කල එක් දවසක් උපස්ථාන කරණ උපාසිකාවෝ තෙල්, මී, සකුරු ආදිය ගෙන්වා ගෙන කෙලි-කොල්ලන් පිරිවරා සවස් මාන[1] වෙහෙරට අවුත් විහාර මධ්‍යයෙහි වහන්දෑ නො දැක වහන්දෑ කොයි වැඩි සේක් දැ යි මිනිසුන් අතින් විචාරා තමන් වහන්සේ රෑ වසන තැන නියා ය’ යි කී කල්හි දක්නට පිළිවන් සේක් දැ යි විචාළෝ ය.
ඉක් බිත්තෙන් වහන්දෑගේ කතිකා වත දන්නා මිනිස්සු ගෙඩි දණ්ඩ ගසා ලන්නා රැස් වන සේකැ යි කිවු ය. උයි ත් ගෙඩි දණ්ඩ ගස්වා ලූ ය. වහන්දෑ ගෙඩි දණ්ඩ ගසාලු හඬ අසා සිතන සේක් ලෙඩ නියා ය යි වැඩ හුන් තෙනින් නික්ම විහාර මධ්‍යයට රැස්වූ සේක. දෙ නමක් එක් මඟකින් වැඩියේ නැත. උපාසිකාවෝ ඒ ඒ තෙනින් එකී එකී නම ම වඩනා දැක ‘මා ගේ දරුවන් වහන්සේ ඔවුනොවුන් වහන්සේලා ඩබරක් ඇති නියාවනැ’යි සිතා වහන්දෑ වැඳ ලා ‘ස්වාමීනි, ඩබරයක් නියා දැ’යි විචාළෝ ය.
‘ඩබරෙක් නැත, උපාසිකාවෙනි’ වදාළ සේක. ඩබරයක් නැති කල්හි සිඟා වඩනා කල එක් ව වඩනට ත් දැන් වෙන වෙන වඩනට ත් කාරණ කිම් දැ යි විචාළෝ ය. ‘උපාසිකාවෙනි, වෙන වෙන වැද හිඳ මහණ ධර්‍ම කරම්හ’ වදාළ සේක. උපාසිකාවෝ මහණ ධම් නම් කුමක් දැ යි විචාළෝ ය. දෙතිස් කුණු කොටසුන් මෙනෙහි කිරීමෙන් කා ගියා සී කමටහන යෙදෙම්හ’යි තිලකුණු මෙනෙහි කරම්හ’යි වදාළ සේක. උපාසිකාවෝ මහණ ධම් අසා දරුවන් වැදීමේ දුක් නිසා වඳ බෙහෙදක් කන්ට සිතන්නා සේ ගර්භාවක්‍රාන්ති දුක් සලකා තුමූ ත් භාවනාභියෝගයකට යෙදෙනු කැමැති ව ‘ස්වාමීනි, ඒ හැම නුඹ වහන්සේලාට ම ප්‍රතිනියත ද? අපට ත් නිසි දැ’යි විචාරා ‘කාට වුව සියලු රෝගයට බෙහෙදක් සේ විහිත ය’යි වදාළ කල්හි ‘එ සේ වී නම් ඒ ක්‍රමය මට ත් වදාළො ත් යහපතැ’යි කිවු ය. වහන්දෑ ත් යහපතැ යි භාවනා ක්‍රමය මුළුල්ල ම තමන් වහන්සේ දන්නා තරමින් වදාළ සේක.
උපාසිකාවෝ ද භාවනාභියෝගයෙහි යෙදී භාවනා ක්‍රම ය ඉගැන් වූ වහන්දෑ ට පෙරාතුකොට අනාගාමි වූහ. අනාගාමී මඟ හා සමඟ ම සිවු පිළිසිඹියාවෝ ද ලෞකික වූ අභිඥාවෝද සම්භ වූ ය. ඌ සමවත් සුවෙන් නැඟී ‘මා ගේ දරුවන් වහන්සේ මේ ගුණ විශේෂයට කවර කලෙක පැමිණෙන සේක් දෝ හෝ’ යි දිවසින් බලා අධිගම තබා ධ්‍යාන පමණකු ත් නැති නියාව දැන රහත් වන්ට නිසි හේතු ඇද්දෝ හෝ යි නැද්දෝ හෝ යි බැලූ තැනැත්තෝ රහත් වන්ට නිසි පින් ඇති නියාවත් දැක සෙනස්න ඵාසු දෝ හෝ යි අඵාසු දෝ හෝ යි බැලුවෝ එයි ත් ඵාසු නියාව දැන ආහාර ඵාසුව කුමක් දෝ හෝ යි දිවසින් බලනුවෝ අභිප්‍රාය ලෙස ම සම්භ නො වන හෙයින් ඒ ඵාසු නොවන නියාව දැන එ වක් පටන් නො එක් සැටි ඇති කැඳ ද නො එක් අවුළු පත් වර්‍ග ද ඉදි කරවා තමන්ගේ ගෙයි ම වඩා හිඳුවා ‘ස්වාමීනි, අභිප්‍රාය දෙයක් වැළඳුව මැනවැ’යි ආරාධනා කෙරෙති. උන් වහන්සේලාත් අභිප්‍රාය දෙයක් හැරගෙන වළඳන සේක.
සත්ප්‍රාය වූ බොජුන් ලදින් කාය ඵාසු ඇති වත් විල යහපත් කලට පැනුත් යහපත් වන්නා සේ සිත ත් එකඟ වි ය. එකඟ සිතින් විවසුන් වඩා සිවු පිළිසිඹියාපත් රහත් ව පියා ‘අනේ මේ උපාසිකාව මියන ගසකට පැන් වත්කරන්නා සේ අපට මහා උප කාරී වූ හ. ඉදින් අපි භෝජනයෙන් ඵාසුවක් නො ලදමෝ නම් මාර්‍ග ප්‍රතිවෙධ-ඵල ප්‍රතිවෙධ දෙක නො වෙයි. දැන් වස් පවරා ලා බුදුන් දකුම්භ. කෘතකෘත්‍ය ව ගෙන බුදුන් දැක්ම මුන් නිසා විය. යන්නමෝ මුන්ට කියා යම්හ’යි ‘බුදුන් දකින්ට යනු කැමැත්තම්හ. මහා උපාසිකාවෙනි’යි වදාළ සේක. උපාසිකාවෝ තමන් කළ උපස්ථාන ය සප්‍රයෝජන හෙයින් සමෘධි ව ‘යහපත, වැඩිය මැනවැ’යි පසු ගමන් කොට ගොසින් ‘ස්වාමීනි, තව තවත් මොබ වඩනේ යහපත’යි ආරාධනා කොට ලා රැඳුණාහ. ඒ සැට දෙනා වහන්සේ ද සැවැත් නුවරට වැඩ බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක් ‘සුව දුක් කිම් ද, මහණෙනි, වදාළ සේක ‘කිසි ත්, ස්වාමීනි, අඵාසුවෙක් නැත. අප ගිය තෙන මාතික නම් උපාසකයන්ගේ මවු උපාසිකාවෝ අපගේ අදහස් දැන මෙබඳු භෝජනයෙක් දුන්නු නම් යහපතැ යි සිතූ කලට සිතූ ලෙසින් ම සපයා දෙතී, උන්ගේ ගුණ කථාව වදාළ සේක.
එක්තරා භික්ෂු කෙනකුන් වහන්සේට උන්ගේ ගුණ කථා අසා ඔබ යනු කැමැති ව බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙන ‛ස්වාමීනි, මම ත් තෙල වහන්දෑ වදාළ ගමට යෙමි’යි කියා ලා දෙවුරමින් නික්ම අතුරේ සැතපි සැතපි එ ගමට වැඩ විහාරයට වැඩි දවස් ‘මේ උපාසිකාවෝ ත් සිතු සිතූ දෙයක් දනිත් ල. මම ත් වැළි ත් ගමන් විඩායෙමි. විහාර ය හැමඳ ගන්ට ආයාස ඇත. හැමඳ පියන්ට නිසි කෙනෙක් එවු නම් යහපතැ’යි සිතූ සේක. උපාසිකාවෝ තමන්ගේ ගෙයි හිඳ ම දිවැසින් බැලු තැනැත්තෝ ඒ කාරණ ය දැන ‘යව, ගොසින් විහාර ය හැමද එව’යි මිනිසකු යවූ ය. භික්ෂූන් වහන්සේ ද පැන් පිපාසා ඇති ව ‘පැන් පිපාසා බලවත. උපාසිකාවෝ ශර්‍කරා පැනක් එවූ නම් යහපතැ’යි සිතූ සේක. උපාසිකාවෝ ශර්‍කරා පැනුත් යවු ය. දෙවන දවස් දුවාපු දිය කැඳ ඩැහැගෙන වළඳන්ට අවුළුපතක් එවු නම් යහපත’යි සිතූ සේක. උපාසිකාවෝ එ ලෙස ම යවූහ. කැඳිත්ත වළඳා ලා අතරු වළඳන් ටත් අවුළුපතක් එවූ නම් යහපතැ යි සිතූ සේක.
උපාසිකාවෝ ද බාල දරුවන් ඇවිටි වූ දෙයක් දෙන මෑණි කෙනකුන් මෙන් ඒත් යවූ ය. භික්ෂූන් වහන්සේ ‘මේ උපාසිකා වෝ අප සිතු සිතූ සියල්ල ම ගොසින් ම ඉල්ලූ දෙයක් මෙන් එවූ ය. ‘දවාලට සකස් කොට ඉදිකරවා දනක් ගෙන්වා ගෙන තුමූ ත් අවු නම් යහපතැ’යි සිතූ සේක. උපාසිකාවෝ ද ‘ම පුතණුවන් වහන්සේ මා දක්නා කැමැති සේකැ’යි දන් ගෙන්වා ගෙන විහාරයට ගොසින් දන් පිළිගැන්වූ ය. දන් වළඳා අන්තයෙහි මාතිකමාතාවෝ නම් මූ දැ’යි විචාළෝ ය, “එ සේය, පුතණු වන් වහන්සැ’යි කිවූ ය. තුමූ පරසිත් දනිද්දැ’යි විචාළ සේක. කුමක් නිසා ද, එ සේ විචාළේ ය’යි කිවු ය. ‘මා සිතු සිතූ සියල්ලක් ම එ ලෙසින් ම වූ හෙයිනැ’යි වදාළ සේක.
‘පරසිත් දන්නා වහන්දෑ බොහෝ සේක් වේ දැ’යි කිවු ය. ‘මම ඔබ්බෙක පරසිත් දැන්මක් විචාළෙම් නො වෙමි. තමන් පර සිත් දන්නා නියා ය මා විචාළේ ය’යි වදාළ සේක. එ සේ වු වත් අධිගතයන් එබඳු කරුණක් ඇතොත් මුත් තමන් ලත් ගුණ විශේෂ ය අනුන්ට නො හඟවන හෙයින් ‘මම පරසිත් දනිමි’යි නො කියා ‘පරසිත් නොදන්නෝ මෙ සේ කෙරෙද් ද, පුතණුවන් වහන්සැ’යි කිවු ය. භික්ෂූන් වහන්සේ ‘පෘථග්ජනයෝ නම් යහපතු ත් සිතති. නපුරු ත් සිතති. ඉදින් ‘මම නපුර ක් සිතීම් නම් වස්තුව හා සමඟ සොරුන් අල්වන්නා සේ මා සිතුවා දැන මුළාවකට පමුණුවා පියති. පලා ගියෙම් නම් යහපතැ’යි සිතා ‘උපාසිකාවෙනි, අපි යම්හ’යි වදාරා කොයි යි විචාළවුන්ට බුදුන් සමීපයට ය යි වදාළ සේක. ඔබ පෘථග්ජන හෙයින් ඔබට කුමක් සිතෙත ත් තමන්ට නපුරු සිත් නැති බැවින් ‘ ස්වාමිනී, රඳන බව ය’යි රඳන්ට ආරාධනා කළහ. රඳන්ට බැරිම ය යි වදාරා බුදුන් ලඟට වැඩි සේක. බුදුහු ‘හැයි මහණ, එ තැන නොරඳා අයිනැ’යි වදාළ සේක. ‘එ සේ ය, එ තැන රඳන්ට බැරි ය’යි වදාළ සේක. කරුණු කිම් දැ’යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, උපාසිකාවෝ පරසිත් දනිති. අපි පෘථග්ජන හෙයින් කුමකු ත් සිතන්නා ලද්දම්හ. එ සේ හෙයින් නපුරු සිතක් සිතාපුමෝ නම් උන් අනගැමි නියාව තමන් වහන්සේ නොදන්නා හෙයින් පර සිත් දැනීම පෘථග්ජනයන්ට ත් ඇති හෙයින් සිතූ සිත දැනගෙන මුළාවකට පමුණුවද්දෝ හෝ යි සිතා අයිමි’යි වදාළ සේක.
‘මහණ, තා ඔබ යන්ට බැරිදැ’යි විචාරා බැරිය යි කී කල්හි ‘කුමක් ද, මහණ, බොහෝ දෑ තබා එකක් රැකගත නො හෙයිදැ’යි වදාරා කුමක් දැ යි විචාළ කල්හි ‘තාගේ සිත පමණක් රැක-යම් කෙනෙක් කුළුගොන් පරිද්දෙන් නිගා කට නොහැකි වූ හසුරු සනකට කෙළ ලක්ෂයක් පමණ චිත්තප්‍රවෘත්ති වෙයි. යනු ඖදාරික වශයෙන් කී හෙයින් ලඝු වූ පැවතුම් ඇති ලබන තැන් වේව යි නො ලබන තැන් වේව’යි නිසි තැන් වේව යි නොනිසි තැන් වේවයි ජාති වේව යි ගොත්‍ර වේව යි වයස් වේව යි නො සලකා යම් යම් තෙනක පවත්නා කැමැත්තේ වී නම් එ තැන ම පවත්නා සුළු වූ සිත යම් සේ මහ මුහුද මළකුණක් හා එක් ව නො පැ සේ ද එ මෙන් රා දොස් ඈ කෙලෙසුන් හා එක් නො කොට, යම් සේ මහ මුහුද මැණික් ආදී වූ නො එක් රුවන් දරන්නේත් පිටතට උතුරුවා නො හරී ද. එ මෙන් ශීල සමෘධ්‍යාදී ගුණ රුවන් කෙතෙක් වුව ත් බොහෝ ය යි නොහැර නැවත මහ මුහුද තමා කෙරෙහි වසන මහ සතුන් ඇත්තේ ද එ මෙන් ම ලජ්ජි පෙසල වූ සත් පුරුෂයන් භජන කොට යම් සේ මහ මුහුද වතුරු පිරුණු ගඞ්ගා යමුනාදී වූ දහස් ගණන් ගං වල පැනිනු ත් වැසි පැනිනු ත් පිරි මූද කෙළවර නො ඉක්මේ ද එ මෙන් ලාභ සත්කාරාදිය නිසාත් ජීවත් වීම පිණිස ත් පව්හි නො හැසිර යම් සේ මහ මුහුද ගං ආදියෙන් නො පිරේ ද, එ මෙන් උද්දෙස පරිපුච්ඡාදියෙන් පිරීමක් නැතිව ය යි මෙ ලෙසින් දැමීම යහපත.
එසේ දමාගත් සිත මෙලෝ පරලෝ-වැඩ සාධ’යි වදාරා මහණ, තෝ අනිකක් නො සිතා ගොසින් එහි ම වසව’යි වදාළ සේක. උන් වහන්සේ ද බුදුන්ගේ අවවාද අසා අනික් සිතක් ම නැති ව ඒ ඔවා සිතමින් වැඩි සේක.
උපාසිකාවෝ ද දිවසින් බලනුවෝ වැඩියා වූ තෙරුන් වහන්සේ දැක ‘ඔවා දුන් ඇදුරු තෙනක් ඇති ව පුතණුවන් වහන්සේ ආ නියා ය’ යි තමන්ගේ නුවණින්ම දැන අදහස ලෙසට කමටහන් බුදුන්ගෙන් ලද ත් රුචි ලෙසට දනක් තුමූ ඉදි කරවා දුන්හ. උන් වහන්සේ ද භෝජන සත්ප්‍රාය ලදින් කීප දවසකින් ම රහත් ව රහත් ඵල සුවෙන් දවස් යවන සේක් ‘අනේ මේ උපාසිකාවන් භව සයුරෙන් එතරවීමට නැවක් පරිද්දෙන් පිහිට වූ නියාව යහපත. මේ ජාතියේ වන්නා පිහිට වූවෝ ද සසර ඇවිදිනා කල අනික් ජාතියෙක ත් මෙ සේ පිහිට වූ දෝ හෝ’යි සලකන සේක් ජාති එකුන් සියයක් සිහි කළ සේක. ඒ ජාති එකුන් සියයේ ම උපාසිකාවෝ මුන් වහන්සේට පාද පාරිචාරිකාව අනික් කෙනකුන් හා බැඳි මුන් වහන්සේ එකුන්සියයක් ජාතියේ ම මරවා පීහ. තෙරුන් වහන්සේ මෙතෙක් නුගුණ රාසිය දැක අනේ මේ උපාසිකාවන් කළ දෙයක් ය’යි අමා මුදුනේ වසක් තබා පුවා සේ නුගුණ ය සිතූ සේක.
උපාසිකාවෝ ත් ගෙයි හිඳ ම “කුමක් දෝ ම පුතනුවන් වහන්සේට මහණ ධම් මුළු ලු දෝ හෝ’යි දිවසින් බලනුවෝ රහත් වූ නියාව දැන තව ත් බලනුවෝ ම පුතණුවන් වහන්සේ රහත් ව මා වූ උපකාර සිතා වදාරා යට ගිය දවස ත් වූ උපකාර ඇද්දෝ හෝ යි බැලූ සේක් ජාති එකුන් සියයක් පෙර විසූ කඳ-පිළිවෙළ දන්නා වූ නුවණින් සිහි කළ සේක. මම වැළිත් ඒ ජාති එකුන් සියයේ ම අනික් කෙනකුන් හා බැඳි මුන් වහන්සේ මරවා පීමි. මුන් වහන්සේ නුගුණ රැස දැක ‘අනේ මුන් කළ දෙයක් ය’යි සිතූ සේක. ‘වන්නාට සසර සිටිනා කල මා කළ අනික් උපකාරයෙක් නැද්දෝ හෝ’ යි තුමූ බලන්නෝ සියක් වන ජාතියෙහි දී මුන් වහන්සේ ට පාදපරිවාරිකාව මුන් වහන්සේ මරණ තෙනක ගලවා පූ නියාව දැක ඒ උපකාරය එකුන් සියයක් අනුපකාර වසා ලන්ට ඇතැ යි ගෙයි හිඳ ම ‘වළඳන්ට රුචි මඳ වුවත් ආරාධනාවෙන් සුඟක් වළඳන්නා සේ සුභක් ඔබ්බෙනු ත් සිහි කළ මැනව, පුතණුවන් වහන්සැ’යි කිවු ය. උන් වහන්සේ ත් දිව කනින් අසා වදාරා ඔබට බලන සේක් සියය ක් වන ජාති ය දැක ඊ දි ජීවිත රැක දුන් නියාව සලකා ‘අනේ උපකාරීහු ය’යි සතුටු ව වදාළ සේක.
සත් පුරුෂයන් විසින් එක ජාතියෙහි ම ආගන්තුක ව ගිය වෙහෙර මළු හමඳිනවුන් සිතා මළු හැමදීමෙන් වූ ආයාසයක් නැත ත් පාන වර්‍ග සිතා දෙ වන දවස් උදාසන කැඳ අවුළු පත් සිතා දාවල ට බත් සිතා නො එක් ලෙසින් අපනත් සිතා බුදුන්ගේ අවවාදයෙන් පනත් කොට සිතුව මනා ලෙසක්ම සිතා රහත් බව ම සාධා ගෙන ජාති සියයෙක පැවැති දෙය ත් ප්‍රයෝජනයත් පෙනුණ. තව වැඩියක් වුවත් දන්නට සමර්ථ වූ නම් ගොත් සෙයින් අප්‍රසිද්ධ වුවත් රහත් ගුණෙන් ප්‍රසිද්ධ තෙරුන් වහන්සේ මෙන් සිත් සතන් පනත් කොට සසර දුක් ගෙවිය යුතු.
-
සවස් මාන වේලෙහි ↑